2017 ජුනි 10 වන සෙනසුරාදා

හීලෑ කරපු විපක්ෂයක් හදාගෙන රට විකුණනවා

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

 ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී - දිනේෂ් ගුණවර්ධන 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වීමත් සමඟයි මේ ඒකාබද්ධය කියන සංවිධානය ගොඩනැගෙන්නේ. මොකක්ද මේ සංවිධානයේ අරමුණ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දුන් පිරිස එකතු වෙලා හිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ක. ඒක යූ.ඇන්.පී. විරෝධී ප්‍රධානතම දේශපාලන බලවේගය. අනෙකුත් සියලු පක්ෂ යූ.ඇන්.පී.යත් එක්ක එකතු වෙලයි මහින්ද රාජපක්ෂ පැරැද්දුවේ. ඒ නිසා අපි පොදු වේදිකාවක් හදාගත්තා. යූ.ඇන්.පී. ආණ්ඩුවක් හරහා රටට වෙන හානිය වළක්වාගන්නත් ඊට එරෙහි වෙන්නත් කටයුතු කරන්න. ඒ අනුව තමයි, නුගේගොඩ වේදිකාව ආරම්භ කළේ. ඒ හරහා තමයි මහා ජනරුල්ලක් ඇති කළේ.

ඔබලා ඔවැනි දේ කිව්වට ශ්‍රීලනිපයෙන් කියන්නේ මේ කෙරුවේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ මෙහෙයුමක් කියලා.

කිසිම සාධාරණ ප්‍රකාශයක් නෙමෙයි ඒක. බණ්ඩාරනායක මැතිනිය පරාජය වුණා කියලා කවදාවත් ජේ.ආර්.ගේ ආණ්ඩුවේ තනතුරැ ගත්තේ නෑ. අද අපි ඇති කරලා තියෙන්නේ යූ.ඇන්.පී. විරෝධය නිසි තැන ඒකරාශී කරලා තියෙන එක. අද ශ්‍රී ලංකා ප්‍රතිපත්තිය නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. හැමෝම වැඩ කරන්නේ යූ.ඇන්.පී. ප්‍රතිපත්තියේ. ඒ නිසා සැබෑ ශ්‍රී ලංකා සහ ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් නායකත්වය ගත්තේ. ඒක පක්ෂ කැඩිල්ලක් නෙමෙයි.

මහින්ද රාජපක්ෂට ගෙදර යන්න වුණේ කොටි පරද්දපු නිසා

ඇත්තම කතාව මහින්ද මහත්තයා නැත්නම් දිනේෂ් ගුණවර්ධනලට ජයග්‍රහණයක් නෑ කියන එකද?

මහින්ද රාජපක්ෂ මහත්තය පරාජය වෙලා ගෙදර ගියහම සතුටු වෙච්ච අය තවම කියනවා මහින්ද රාජපක්ෂ ජීවමානයි තවමත් යෝධ ඡන්ද පදනමක් තියෙනවා කියලා. මොකක්ද මේ කියන්නේ. දැන් බලන්න අද ඔය කතා කරන මහින්ද මහත්තයා පරාජයෙන් පස්සේ අගෝස්තු මාසයේ එතුමගේ නායකත්වයෙන් ඡන්දයට ආවා අපිත් එක්ක. ඉතිං එයාලට වෙනම යන්න තිබුණත් එහෙම නොගියේ ජනබලය මහින්ද රාජපක්ෂ මහත්තයා ගාව කියන එක ඔවුන් පිළිගන්න නිසා. එහෙම පිමි අරගෙන ජනතාවට පොරොන්දු දීලා නැවත ආයිත් යූ.ඇන්.පී. අගමැති යටතේ කටයුතු කරන්න ගියා. මේක ප්‍රජාතන්ත්‍රවාදය හෝ ජනවරම හෝ කොටින්ම දේශපාලන සදාචාරය නෙමෙයි.

විශ්‍රාම සුවයෙන් ඉන්න තිබූ මහින්ද මහත්තය ඔබලා නැවත දේශපාලනයට අරගෙන ඇවිත් අමාරැවේ දැම්මා කියලයි ගොඩක් දෙනෙක් කියන්නේ?

මහින්ද මහත්තයා කියන්නේ පැරදුණාම ගෙදර යන්න, තනතුරු ලැබුණාම සද්ද නොකර ඉන්න දේශපාලනඥයෙක් නෙමෙයි කියලා එතුමා ඔප්පු කරලා තියෙනවා. මම දැකලා තියෙනවා ඔහු 70 තරුණ මන්ත්‍රීවරයකු හැටියට ඇතුළට එනවා. මම දැකලා තියෙනවා පැරදිලා 89 වෙනකල් මහජනයා අතර ඉන්නවා. එවැනි අත්දැකීමක් තියෙන දේශපාලනඥයෙක් විශ්‍රාම ගැන්වීම බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් බලන්න විශ්‍රාම අරගෙන ගිය චන්ද්‍රිකා මැතිනිය ආපහු ආවා. කොහොමත් විශ්‍රාම ගන්න එක දේශපාලනඥයන්ට ලෙහෙසි දෙයක් නෙවෙයි. ජේ.ආර්. ජයවර්ධන මහත්තය විතරයි විශ්‍රාම අරගෙන ගෙදර ගියේ.

ය කියන විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයා නැත්නම් ඒකාබද්ධයට නායකයෙක් පේන්න නෑ වගේ නේද?

එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි මේ රටේ ඉන්න බලවත්ම ජනතා නායකයා. ඒක ආණ්ඩුවේ ඇතුළේ අයත් පිළිගන්නවා. අනික එතුමා නායකත්වය දෙන්නේ යූ.ඇන්.පී. විරෝධී ජනසමාජයට. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ.

හැබැයි මේ ඒකාබද්ධය ආණ්ඩුවේ හරි දේටත් බාල්දි පෙරළා බොරැවට දඟලනවා විතරනේ?

කිසිම ලෙසක අපි ළඟ බාල්දි පෙරළන දේශපාලනයක් නෑ. අපි කරන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්. දැන් බලන්න එක්සත් ජාතික පක්ෂය විසින් ඒකීය රාජ්‍යය ෆෙඩරල් කිරීමට විරැද්ධවීම මහජන මතයක් සහ රජයේ සම්පත් විදේශකරණය කිරීමට එරෙහි වීම මහජන මතයක් ගොඩනැගිලා එවැනි ප්‍රගතිශීලී දේශපාලන මත වෙනුවෙන් අපි පෙනී සිටිනවා. අපි වැරැද්දක් වුණොත් හෙළිකරනවා. බිය නැතුව අපි මහ බැංකු බැඳුම්කර වංචාව හෙළිකළා. ඒක අපේ වගකීම නෙවෙයිද? එයාලට හීලෑ වෙච්ච විපක්ෂ නායක කෙනෙක් පත්කරගෙන ඉන්නේ. ඒත් මහජන මතය ඒවගේ හීලෑ වෙලා නෑ. මේ අය වැරදි කරන්නෙ නෑ කියලා අරගෙන කරන්නෙම වැරදි දේ. ඒත් බලන්න අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආවා. ඒකට අපි ඡන්දය දුන්නා. ඒ නිසා අපි ආයුධ අතට අරගෙන කඩාකප්පල්කාරී වැඩකරලා නෑ. අපි කරන්නේ මහජන මතය ප්‍රකාශ කරන එක. එ්කත් එපා කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමය එපා කියන එකද මේ කියන්නේ.

අපි ළඟ බාල්දි පෙරළන දේශපාලනයක් නෑ

සමහර දේවල්වලට එරෙහි වෙන්නේ ඔබලා නියෝජනය කරපු ආණ්ඩුවේදී ගත් තීන්දු තීරණවලට. දැන් ඒවා වහගන්නද මේ ආණ්ඩුවට කෑගහන්නේ?

නෑ. එහෙම සරලව කියන්න බෑ. නිශ්චිත කාරණා තියෙනවා නම් අපිට පුළුවන් පැහැදිලි කරන්න.

ඔබලා මේ සයිටම් ප්‍රශ්නය වෙනුවෙන් කෑගහනවා. ඒත් සයිටම් කියන්නේ ඔබ නියෝජනය කළ ආණ්ඩුවේ නිෂ්පාදනයක් නේද? සාධාරණද එහෙම කරන එක?

සම්පූර්ණ සාධාරණයි. රටේ නිදහස් සෞඛ්‍ය සේවය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි කතා කළා. සයිටම් ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නීතියට යටත් වෙන්න ඕනෑ. ඒ නීතියට එරෙහි වෙලා වෛද්‍යවරයෙක් ලියාපදිංචි කරන්න යනවා නම් නිදහස් සෞඛ්‍ය සේවයට හා අධ්‍යාපනයට විශාල හානියක්. දැන් බලන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තය අපේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැතිවෙලා ඉන්න කාලයේ මේකට විරුද්ධ වුණා. කමිටුවකුත් පත්කළා. ඒ කමිටුවේ වාර්තාව වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයාට ලබාදීලා තියෙනවා. නමුත් ඔහු මේ නීතිවිරෝධී ක්‍රියාදාමයට ඉඩදීලා බලාගෙන ඉන්නවා. නමුත් අපේ ආණ්ඩුව එහෙම දේවල් කළේ නෑ. අපි නීතිමය ක්‍රමවේද චක්‍රලේඛ අනුව වැඩකරලා තියෙන්නේ. එහෙම කළ යුතුයි කියන තැන අපි හිටියා.

නීතියට වැඩකළ නිසාද කවදාවත් නැති විදිහට 18 වැනි සංශෝධනයක් ගෙනල්ලා ජනාධිපති සර්ව බලධාරියෙක් කරන්න ලෑස්ති වුණේ. ඔබත් අත ඉස්සුවා ඒ දේවල්වලට?

මෙහෙමයි ජනාධිපති වෙච්ච හැම කෙනාටම ඔය ආසාව තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරු හතර දෙනෙකුට කරන්න බැරිවෙච්ච දේ කරපු නිසයි මේ බලය කියන කතාව ගැන පහර දෙන්න එන්නේ. හේතුව කොටි හමුදාව පරාජය කළා. ඒ නිසා විධායක බලතල ඒ අවස්ථාවේදී අවශ්‍ය වෙලා තිබුණා. ඒ දේ නොකළ නම් රට බෙදනවා. ඒක කිසිකෙනෙකුට අමතක කරන්න බෑ. හැබැයි අපි ඊට පස්සේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කිව්වා ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. බලයේ වෙනස් කම් කරනවා කියලා පැහැදිලිවම කිව්වා.

හැබැයි ඒ සිදුකළ දේ නිසා නේද ඔහුට ගෙදර යන්න වුණොත්?

මම නම් හිතන්නේ එතුමගේ පරාජයට හේතුවුණේ කොටි පැරදවීම. ඒ හරහා ජාත්‍යන්තරය එරෙහි වුණා. ඒ විදේශ බලය තමයි ඔහුව පරාජය කළේ. ඒක ඉලක්කගත ගිවිසුමක්. ඒත් රටේ ප්‍රතිසංස්කරණයක් ඇතිවිය යුතුයි කියන මතයේ හිටිය නිසයි පරාජය වන බව දැන දැනත් අපි උතුරේ ඡන්දය තිබ්බේ. එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුට කිසිවක් කියන්න බෑ. ඒ නිසා උතුරේ දේශපාලනඥයන්ට ඒක අමතකවෙලා.  ඒ විතරමද අපේ රටේ හැමෝටම අමතක වෙලා. උතුරට ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ ඇයි කියලා.

මුදල් ඇමැති මාරු කළේ අපි වැරදි හෙළිකරපු හින්දා

ඔබලා පරාජය වුණාමත් කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා. එතකොට මේ රටේ මිනිස්සු ජාත්‍යන්තර කුමන්ත්‍රණවල ගොදුරැද. ඔබලා රටේ මිනිස්සුන්ගේ ඡන්දය ඇයි මේතරම් හෑල්ලු කරන්නේ?

අපේ රටේ මිනිස්සුත් අවබෝධයෙන් ඡන්දය දුන්න නිසා තමයි මහින්ද රාජපක්ෂ මහත්තය ආසන 95ක් දිනුවේ. ඒකෙන් ඔප්පු කළා රට බෙදන්න තියෙන ප්‍රදේශ තමයි මහින්ද රාජපක්ෂව පැරුද්දුවේ කියලා. ඒවා මෙහෙයුවේ ජාත්‍යන්තරය. ප්‍රභාකරන් ගැන ලිව්ව අලුත්ම පොතෙත් හිටපු ඉන්දීය විදේශ කටයුතු ලේකම්තුමා කියනවා අන්තිම මොහොතෙත් ප්‍රභාකරන්ව බේරගන්න ජාත්‍යන්තරය කටයුතු කළා කියලා. ඊට පස්සේ මොකද කළේ. අපේ ආණ්ඩුවට විරැද්ධව නොයෙකුත් යෝජනා ගෙනාවා. ඒ ඇයි? ප්‍රභාකරන් පරාජය කළා කියලා. ඒ නිසා පැහැදිලිවම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. ඒ නිසා එලෙස ජාත්‍යන්තර කුමන්ත්‍රණ මගින් පරාජය වුණු පළමු නායකයා මේ අවස්ථාව නෙමෙයි. පහුගිය අවුරුදු දහයම එවැනි දේවල් සිද්ධ වුණා.

ඔය ජාත්‍යන්තර කුමන්ත්‍රණය සාර්ථක වූ නිසා නෙවෙයිද මහින්ද මහත්තයයි රණවිරුවොයි විදුලි පුටුවට යන එකෙන් බේරුණේ. ඒ වගේම රටට ජී.එස්.පී. ප්ලස් බදු සහනය හිමිවුණා. ආර්ථික සම්බාධක වැටෙන්න ගිහින් බේරුණා නේද?

ආර්ථික සම්බාධක වැටෙන්න ගියා කියලා කවුද කියන්නේ. ඒ කියන්නෙත් බටහිර. දැන් බලන්නෙ ලෝකයේ පෝසත් කියන රට චීනයෙන් ආධාර ගන්නවා. අපිත් හිටියේ චීනය එක්ක. ඒ නිසා එහෙම සම්බාධක තිබ්බේ නෑ. ඒ නිසා බටහිර රටවල් පවත්වාගෙන යන්න මෙවැනි දේවල් කරනවා. එක්කෝ ආණ්ඩු පෙරළනවා. නැත්තම් යුද්ධ, ආණ්ඩු හදනවා. නැත්තම් ස්වාධීන රටවලට නොයෙකුත් බලපෑම් කරනවා. ඕක තමයි කරන්නේ. දැන් අරාබිකරය පෙරළන්නේ තෙල් නිසානේ. එහෙම පෙරළපු රටවල් දියුණුවෙලා තියෙනවද? නෑ. රට අරාජික වෙලා විතරයි. මේ රටට මොකද වෙලා තියෙන්නේ අවුරුදු දෙකක් තිස්සේ දියුණුවක් තියෙනවද? සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද? නමුත් කට වචනයෙන් කියනවා.

ඔබලට තියෙන චෝදනාවක් තමයි යුද හමුදාව යොදාගෙන සිවිල් සමාජය බිය වද්දුවා කියන එක. අද යුද හමුදාවේ සාමාජිකයන් වැටිලා ඉන්නේ ඒ චෝදනාව නිසා?

යුද හමුදාව කිසිම අයුරකින් වැටිලා නෑ. හැබැයි ආණ්ඩුව නම් ගිලා බහිනවා. පසුගිය ආපදාවේදී රට ගොඩගත්තේ ඔය ඇමතිවරුද, නිලධාරීන්ද? නෑ. හමුදාව. හැම ව්‍යවසනයකදීම ඉදිරියට ආවා. අපිට කිව්වේ මොකක්ද? හමුදාව දාගෙන සංවර්ධන වැඩ සිදුකරනවා කියලා. ඒ නිසා හමුදාව එක්ක ඇති තරහා මොකක්ද? ඒකටත් හේතුව කොටි පරද්දපු නිසා. ඉන්දියන් සාගරයේ ඉන්දුනීසියාව හරියට ගිහිල්ලා එල්.ටී.ටී.ඊ. එකේ යුද නැව්වලට ප්‍රහාර එල්ල කරද්දී ලංකාව වගේම පිටරට අයත් කුපිත වුණා. ඒ නිසා යුද හමුදාව යම් යම් තීරණ ගත්තා. ඒවා ක්‍රියාත්මක කළා. නිලධාරින් අතර යම් යම් මතබේද තියෙන්න පුළුවන්. ඒවා සාමාන්‍ය ස්වභාවය.

ප්‍රජාතන්ත්‍රවාදෙ තියෙන්නෙ වචනවල විතරයි

මංගල සමරවීර මහත්තයා පහුගියදා පාර්ලිමේන්තුවේදී කිව්වා යුද හමුදාවේ ඉන්න සමහර මී හරක් තමයි මේ අහුවෙන්නේ කියලා. යුද හමුදාව අද ඔවැනි වචන අසන්නේ පහුගිය ආණ්ඩුවේ වැරදි නිසා නේද?

මංගල සමරවීර මහත්තයා කතා කරන්නේ වෛරයෙන්. ඔහු කැමතියි, අපි පැරදිලා කොටි දිනුවා නම්. ඔහු හැමදාම හැදුවේ ඒකීය රාජ්‍යය වෙනුවට ෆෙඩරල් රාජ්‍යයක් බිහිකරන්න. ඒ නිසා ඔහුගේ ප්‍රකාශ නිලධාරීන් ගණන් ගන්න හොඳ නැහැ. යුද හමුදාවට ජනවාරි 8 වැනිදායින් පස්සේ චෝදනා රාශියක් එල්ල කළා. අද වෙනකල් ඒකත් ඔප්පු කරගන්න බැරිවෙලා තියෙනවා. හමුදාව වැරැද්දක් කරලා තියෙනවා නම් අධිකරණයට ගේන්න. එහෙම නැතුව ප්‍රකාශවලින් ඔවුන් වැරදිකාරයෝ කරන්න බෑනේ.

ඔබලා ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මැතිවරණය තියන්න කියනවා. ඒත් ඔබ හදපු මැතිවරණ ක්‍රමයේ අවුලක් නිසයි තවමත් මේ පළාත් පාලන මැතිවරණය තියාගන්න බැරිවෙලා තියෙන්නේ.

ඒ නීතිය සම්මත කරන දවසේ පාර්ලිමේන්තුවේ හැමෝම ඡන්දය දුන්නා. බරපතළ නීතිමය වෙනසකට භාවිතය වන දෙයක් ඒකච්ඡන්දයෙන් සම්මත වුණා නම් ඒ බය ඡන්ද නීතිය. එහෙනම් ඊට පස්සේ කොහොමද වැරදියි කියන්නේ ඒ අය. ඒ ක්‍රියාත්මක වුණු ඡන්ද නීතිය නවත්තන්න හැදුවා ඊට පස්සේ. සීමානිර්ණ අවුල්සහගතයි කියලා. අපි ගෙදර ගියා. කරු ජයසූරිය පළාත් පාලන ඇමැතිවරයා වුණාම අභියාචනාධිකරණ කමිටුවක් පත්කළා. ඊට පස්සේ එතුමා කිව්වා දැන් නිවැරදි කළා ඔහු අත්සන් කළා කියලා. ඒක ජනාධිපතිතුමාට යැව්වා. එතුමා අත්සන් කළා කිව්වා ඊට පස්සේ කමිටු දෙකක් පත්කළා. ඒකෙනුත් බැලුවා. දැන් හිතාමතා පරක්කු කරමින් ඉන්නවා. ඇත්තටම ඡන්දය තියන්නේ නැත්තේ පරදියි කියලා බයට. ඒ නිසා මේ කරන්නේ මෝඩ වැඩක්. ඡන්දයට වෙච්චර බය නම් කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් කියලා කියන්නේ.

විශේෂයෙන් මේ ආණ්ඩුවෙන් එල්ල කරන චෝදනාවක් තමයි ඔබලා ජාතිවාදය ආණ්ඩු තිබෙන කාලෙත් දැනුත් ඇති කරනවා කියන එක. ඇයි එහෙම දේවල් කරන්නේ?

කිසිම ජාතිවාදී වැඩපිළිවෙළකට අපි උදව් කරලත් නෑ. උදව් කරන්නෙත් නෑ. මේ රටේ සෑම පුරවැසියකුගේම අයිතිය ආරක්ෂා කරන්න අපි වැඩකරලා තියෙනවා. ඉදිරියටත් වැඩ කරනවා. ඒ නිසා ඕක බොරු චෝදනාවක්.

රට ගොඩගත්තේ ඔය ඇමැතිවරුද, නිලධාරීන්ද? නෑ. හමුදාව

ආණ්ඩුව ගත්තු දවසේ ඉඳලා ඇමැතිවරැ කේන්ද්‍ර කරගනිමින් ප්‍රහාර එල්ල කළා. දැන් ඇමැති මාරුවක් සිදුවෙලා? දැන් සතුටුද?

කිසි ලෙසකින් සතුටු නෑ. මොකද එයින් රටට යහපතක් වෙන්නේ නෑ. එකම සතුට අපි කියපු දේ ජනාධිපතිතුමා පිළිගත්තා. මෙවැනි මුදල් ඇමති කෙනෙක් එක්ක කටයුතු කරන්න බෑ කියලා. කවදාවත් මුදල් ඇමැති මාරැවෙන්නේ නෑ, ඒකාබද්ධය විසින් මුදල් අමාත්‍යංශයේ වැරදි හෙළි නොකළා නම්. හැබැයි ඒ මාරැව විතරක් නෙමෙයි හුඟක් අය මාරුවෙන්න ඉන්නවා ආණ්ඩුවෙන්. අපි බලන් ඉන්නේ ඒ අය මාරුවෙනකල්.

හැබැයි ආණ්ඩුව කියන්නේ නම් මුදල් ඇමැතිවරයා බෙල්ල තිබ්බේ ඔබලාගේ ආණ්ඩුවේ කරපු පව්වලට කියලා?

දැන් බලන්න මුදල් ඇමැතිවරයාම කියනවා ඡන්දයෙන් නැතුව පිටිපස්ස දොරෙන් ආපු අපේම මිනිස්සු නිසයි ගෙදර යන්න වුණේ කියලා. ඔහු දන්නවා මුදල් ඇමැතිකම කරගෙන යන්න තරම් හැකියාවක් ඔහුට නැතිවුණා කියලා. ආර්ථිකය ගෙනියන්න බෑ කියලා ආණ්ඩුව කියනවා නම් අපිට පුළුවන් ආර්ථිකය ගොඩදාලා ආණ්ඩුවක් ගෙනියන්න. බොරුවට චෝදනා කරලා වැඩක් නෑ.

ඒ වගේම තමයි ඔබලා චෝදනා කරනව ආණ්ඩුව ඉඩම් විකුණනවා කියලා. නමුත් ආණ්ඩුව කියනවා රාජපක්ෂ ආණ්ඩුව වික්ක ඉඩම් බේරගත්තා කියලා?

ඉඩම් විදේශිකයන්ට දෙන්නේ නෑ කියන ප්‍රතිපත්තිය අපි අනුගමනය කළා. බදු දෙන එක කළා ක්‍රමයකට. නමුත් මේ ආණ්ඩුව හම්බන්තොට වරාය දෙන්න යනවා 99 අවුරුද්දකට. ඒකට අපි විරැද්ධයි. පරම්පරා තුනක් වෙනකම් අයිති වෙන්නේ නෑ. ආණ්ඩුව සංවර්ධනයට පැහැදිලි දැක්මක් නැතුව වැඩ කරනවා. හරි කලබලයි. සැලැස්මක් නෑ. ඔවුන්ට තියෙන්නේ සිල්ලර සංවර්ධනයක්. ඉතින් ඒවට අපිද පළි.

දැන් ඔබලට විධිමත් සංවර්ධනයක් තිබ්බා කියලා හිතුවට එදා ආණ්ඩුවේම හිටිය ඇමැතිවරු අද කියනවා දකුණට ගංවතුර බලපෑවේ අවිධිමත් සංවර්ධනය ගියා කියලා?

ආණ්ඩුවේ හිටියට තවත් තනතුරු ගන්න තවත් ආණ්ඩුවකට ඒ අය ගිහින් ඉන්නේ. ඒකට උත්තරය දීලා තියෙනවා ආණ්ඩුවේම ඇමැතිවරයෙක් වන වජිර අබේවර්ධන. ඔහු කියලා තියෙනවා ඒක වලංගු නෑ කියලා. එහෙනම් ඇයි මම ඒකට උත්තර දෙන්නේ. ඕවා බොළඳ කතානේ.

ජනාධිපතිවරයා ආරාධනා කළොත් සන්ධානගත වෙන්න නැවතත්?

එහෙම කතා කරන්නේ නෑනේ. කොහොමද රනිල් වික්‍රමසිංහගේ යූ.ඇන්.පී.යත් එක්ක වැඩ කරන්නේ. අපි වැඩ කරන්නේ නෑ ඔවුන් එක්ක. අපිට ජනතාව වරම දුන්නේ ගිහින් යූ.ඇන්.පී. විරෝධී ආණ්ඩුවක් හදපන් කියලා. අපි ඉන්නේ එතන.

ගයාන් ගාල්ලගේ