2020 මාර්තු 07 වන සෙනසුරාදා

යූ.එන්.පී. සන්ධානය බෝඩ් ලෑල්ලක් විතරයි

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 152

පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි එක අම්මාගේ දරුවෝ
ශ්‍රීලනිපය ඇතුළේ කලකිරුණ අය ඉන්නේ අතලොස්සයි
ජනාධිපතිතුමාට අපි අලියා දුන්නට හෙණ්ඩුව දීලා නෑ
උකුසු කතාවට පක්ෂ දෙකේ සමගිය ලඝු කරන්න එපා
පටන්ගන්නකොටම රණ්ඩු ඇති වුණොත් ජනතා විශ්වාසය නැති වේවි
සන්ධානයක අමාරුම වැඩේ නාමයෝජනා ලබාදීමයි
කෙනහෙලිකම් නිසා අපි වැටෙන්න ඕන නෑ

 - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොහොට්ටුවයි පහුගිය කාලේ වෙන වෙනම හිටියේ. දැන් දෙගොල්ලෝ එක ගමනක් යන්න පටන්අරන් තියෙනවා. මොකද මේ අලුත් ගමන ගැන ඔබතුමා හිතන්නේ?

මේ අලුත් ගමන මේ රටේ දේශපාලනය සහ ජනතාවගේ අවශ්‍යතාවයක්. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න දිහා බැලුවම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ප්‍රශ්න උග්‍ර අතට පත්කරලා තියෙනවා. ඒ ප්‍රශ්නවලින් ගොඩ එන්න තමයි ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්මයට සුවිශේෂී ජයග්‍රහණයක් ලබාදුන්නේ. මුස්ලිම් ඡන්ද නෑ, දෙමළ ඡන්ද නෑ කියලා මතයක් හදලා තියෙද්දි ඒ සියල්ල බොරු කරමින් ඒ ජයග්‍රහණය ලබා දුන්නා. ඒ ඡන්දය දුන්නේ බඩ ගැන කල්පනා කරලා නෙවෙයි රට ගැන කල්පනා කරලා. මිනිස්සු හිතුවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයට ඡන්දෙ දීලා රට, ජාතිය, ආගම රුකගන්න. 

එතුමට බලය දුන්න ජනතාවට එතුමා ඒ පොරොන්දු ඉෂ්ට කරයි. මම අහන්නේ මේ දෙගොල්ල එකතු වෙලා යන ගමනේ රහස මොකද්ද?

එතුමට අලියා දුන්නාට අපි හෙණ්ඩුව දීලා නෑ. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ සුහද සුසංයෝගයකින් පමණයි. එතකොට අපි අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ බලය ලබාගන්න ඕන. එතකොට පුළුවන් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. ඒ නිසා තමයි ශ්‍රීලනිපය විනාශකාරී තීන්දුවකට යන්නෙ නැතුව ප්‍රායෝගික හා ජනතාවාදී තීන්දුවක් ගත්තේ. ඒකෙ ආරම්භය හැටියට තමයි ගෝඨාභය මහත්මයා ජනාධිපති කළේ. ඊළඟ අරමුණ තමයි ජන බලය සහිත බහුතර ආණ්ඩුවක් එතුමට ලබාදෙන එක.

ගොඩක් අය කියන්නේ ශ්‍රීලනිපය පොහොට්ටුවට එකතු වුණාට පස්සේ විනාශ වෙලා යයි කියලා. ඒක ඇත්තද?

මාළුවෙකුට ජීවත් වෙන්න පුළුවන් වතුර තියෙනකොට විතරයි. ඒ වගේම දේශපාලන පක්ෂයකට රැඳෙන්න පුළුවන් ජනතා පදනම තිබු‍ණොත් විතරයි. අපි ජනතා සිතුම් පැතුම් එක්ක බද්ධ වෙන්නෙ නැතුව උඩුගං බලා පීනුවට තේරුමක් නෑ. මේ ජනතාව විසින් තමයි දේශපාලනය මෙහෙයවන්නේ. ජනතාව හිතන පැත්තෙන් හිතන්න ඕන වගේම ජනතාවට ඕන විදිහට අපි වැඩ කරන්න ඕන.

ඔය නොකියා කියන්නේ ශ්‍රීලනිපයට ජනතා පදනමක් නැද්ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබ්බේ සමස්ත ජනතා පදනම පොදු ජන පක්ෂය ආවට පස්සේ ඒ පැත්තට ටිකක් ගියානේ. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ සමස්ත ශ්‍රීලනිපයේ ජනතා පදනම නෙවෙයි. අපිට තියෙන්නේ ඒකෙන් 1/3ක වගේ කොටසක්. අපිට හයියක් නැතුව අපිට ශක්තියක් නැතුව අපිට පුළුවන්ද? සටන්වලට යන්න. අපිට ශක්තිය ලබාගන්න ගන්න ඕන හොඳම ක්‍රියාමාර්ගය මොකද්ද කියලා තමයි තීරණය කරලා ඒ තීරණය ගන්න ඕන. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආරක්ෂා කරගෙන ඒ ප්‍රතිපත්තිත් රැකගෙන ජනතා මතයට ගරු කළ යුතුයි. මොකද අපිට එක්සත් ජාතික පක්ෂයට යන්න බෑ. ඉතාම සමීප පක්ෂය තමයි පොදු ජන පක්ෂය. එක අම්මගේ දරුවෝ දෙන්නෙක්ගේ වගේ කතාවක්. කාලයක් වෙන් වෙලා හිටියා. නැවත අපි එකතු වෙලා ඉන්නවා.

ඔබ ඇතුළු ශ්‍රීලනිපයේ කිහිපදෙනකුට පොහොට්ටුවට බැඳෙන්න කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා ආරාධනා කළා කියන්නේ ඇත්තද?

නෑ එහෙම ආරාධනා නෑ. අපි එහෙම යන්නේ නෑ. අපි ශ්‍රීලනිපය ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් මේ එකතු වී ඉන්නේ.
අලුතින් හදන සන්ධානෙට ගිය ශ්‍රීලනිපයේ අය කියනවා පොහොට්ටුවේ අයගෙන් කෙනහෙලිකම් එනවා කියලා.
අපි තනි පක්ෂයක් හැටියට බලය තිබුණනම් වැඩි කොටස බෙදාගන්නේ අපි. ඒක තමයි දේශපාලනයේ යථාර්ථය. මේ සන්ධානය අපේ පක්ෂය සමඟ පොහොට්ටුවේ බල තුලනය බැලුවොත් ඒ ප්‍රමාණයට අනුවනේ අපිට සැලකීම් ලැබෙන්නේ. එතකොට තමයි අපිට අවශ්‍ය ක්‍රමයට ඇමැතිකම්, උප ඇමැතිකම් බෙදාගන්න පුළුවන් වෙන්නේ. එතන තව ප්‍රශ්නයක් තියෙනවා. පහළ මට්ටමේ අය පොහොට්ටුවට ළං වුණේ විශාල බලාපොරොත්තුවක් ඇතුව. ඒ අය කැමති නෑ පසු කාලෙක වෙන අය එකතු වෙනවට. ඒ නිසා පොඩි පොඩි කෙනහෙලිකම් වෙනවා. එහෙම වුණා කියලා අපි වැටෙන්න ඕන නෑ. අපි දේශපාලනය තේරැම් අරන් මේ ගමන යන්න ඕන. අපි මෙතනදී යම් තැනකට ඇවිල්ලා නිවැරදි අදහසකට එන්න ඕන. ප්‍රධාන පක්ෂය තියෙන්න ඕන තැන, අපි කොතනද ඉන්න ඕන කියලා තේරැම්ගන්න ඕන. මොන දේ කරන්නත් අපි රට ගැන හිතන්න ඕන. රට වැටිලා තියෙන අගාධයෙන් ගොඩගන්න ඕන.

ඔබට හිතෙනනෙ නැද්ද 2015දි ගත්ත තීරණය නිසා තමයි ශ්‍රීලනිපය අද මෙවැනි තැනකට වැටිලා තියෙන්නේ කියලා?

ඒ ගැනත් විවිධ අදහස් තියෙන්න පුළුවන්. අපිට තිබුණා විපක්ෂයේ ඉන්න. නමුත් අපි තීන්දුව ගත්තේ සමස්ත තීරණය ගත්තේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය මත. ඔය පොහොට්ටුවට ගිය මන්ත්‍රීවරුත් ඒකට අත ඉස්සුවා. ඒ අය තමයි කිව්වේ ජාතික සමගි බලවේගයට යන්න කියලා. වෙල්ගම මහත්මයා විතරයි විරුද්ධ වුණේ. අපි පක්ෂයට, පක්ෂයේ තීන්දුවට ගරු කරන්න ඕන. අපි එවැනි තීරණයක් ඒ වෙලාවේ ගත්තෙ නැත්නම් අපේ පාක්ෂිකයන්ට අපේ වෘත්තීය සමිති නායකයන්ට විශාල පීඩනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිට ඒ ප්‍රශ්න 90%කින් හරි නවත්තගන්න පුළුවන් වුණේ ඒ රජයේ පර්ශ්වයක් හැටියට එකතු වුණ නිසා.

මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පසුගිය දවසක උකුස්සෙක්ගේ කතාවක් කියලා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. ඔහු මේ නැවතත් පොහොට්ටුව අන්දන්නද හදන්නේ?

මම හිතන්නෙ නෑ එතුමා එහෙම රවට්ටන්න හදනවා කියලා. පක්ෂයක් හැටියට අපි බොහොම සහයෝගයෙන් වැඩ කරනවා. දැන් බලන්න එතුමම තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති කළේ. එතුමම තමයි නැවත මහින්ද රාජපක්ෂ මහත්මයාව පත් කළේ. ඇයි ඒවා අමතක කරන්නේ? මේ උකුස්සෙක්ගේ කතාවකට පක්ෂ දෙකේ සමගිය ඒකට ලඝු කරන්න එපා. මෛත්‍රීපාල මහත්මයා කියන්නේ ශ්‍රීලනිපයේ පුද්ගලයෙක් පමණයි. තව විශාල පිරිසක් ශ්‍රීලනිපයේ ඉන්නවා. ඒ හැමදෙනාගෙම ප්‍රාර්ථනය පොහොට්ටුව එක්ක ගමනක් ගිහින් රට හදන්න. බලන්න මෛත්‍රීපාල මහත්මයගේ සටන තමයි ගෝඨාභය මහත්මයට 2/3 අරගන්න දීලා රට හදන එක. අපි හැමදෙනාම ඉන්නේ එක මතයේ.

ඔබලට නැති විරෝධයක් මෛත්‍රීපාල මහත්මයට පොහොට්ටුව ඇතුළෙන් එනවා අඩුමගානේ නාම යෝජනාවත් දෙන්න එපා කියලා. මොකද ඒ?

මම හිතන්නේ නෑ එහෙම දෙයක් වෙනවා කියලා.

රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග වගේ අය සෘජුව ප්‍රකාශ කරනවා ඒ කාරණය ගැන.

රොෂාන් රණසිංහ මහත්මයා නියෝජනය කරන්නේ පොදු ජන පක්ෂය. එතකොට රොෂාන් රණතුංග මහත්මයාට නාම යෝජනා දෙන නොදෙන එක ගැන පූර්ණ බලතල තියෙනවා ඒ පක්ෂෙට. එතකොට ශ්‍රීලනිපයට තියෙනවා මෛත්‍රීපාල මහත්මයට හෝ මට හෝ නාම යෝජනා දෙනවද කියලා තීරණය කිරීමේ අයිතිය. ඒ නිසා අපිට අයිතියක් නෑ අහවල් පුද්ගලයාට දෙන්න එපා කියන්න. පොහොට්ටුවේ අයටත් කියන්න අයිතියක් නෑ ශ්‍රීලනිපයේ අයට දෙන්න එපා කියලා. මොකද පක්ෂ නායකයෝ අතර අවබෝධයකින් තමයි මේ සන්ධානය ගොඩනැගෙන්නේ. හැබැයි අපි ආරම්භයේම රණ්ඩු සරුවල් ඇති කරගත්තොත් ජනතාව අපි ගැන විශ්වාසයක් තියාගන්න එකක් නෑ.

ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රීලනිපයට නාම යෝජනා ලැබෙන ප්‍රමාණය ගැන. ඇත්තද ලැබෙන ප්‍රමාණය අඩුයි කියන්නේ?

අපේ පක්ෂෙ මහ ලේකම්තුමා අපි බලාපොරොත්තු වෙන දේ පොදු ජන පෙරමුණට දැනුම් දීලා තියෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරනවා. අපිට සාකච්ඡා කරලා පුරුදුයි. අනික මේ සන්ධාන ගතවුණු පළමු අවස්ථාවත් නෙවෙයි. ඒ වගේම සන්ධානගත වුණාට පස්සේ අමාරුම සාකච්ඡාවත් ඔය නාම යෝජනා සාකච්ඡාව තමයි. මොකද හැමෝම නාම යෝජනා ඉල්ලනවනේ. ඡන්ද 25 තියෙන අයත් එනවා. ඒක බැරෑරුම් ප්‍රශ්නයක් තමයි හැබැයි විසඳෙයි ඒකත්. මගේනම් අදහස නාම යෝජනා කෝටා එක නිසාවත් පක්ෂයේ සමගිය නැති කරගන්න නරකයි.

ඇත්තද උතුරු නැගෙනහිරට ශ්‍රීලනිපය අත ලකුණින් ඉදිරිපත් වෙන්න හදනවා කියන්නේ?

ඒක ගැන මත දෙකක් තියෙනවා. උතුරු නැගෙනහිරට අත ලකුණෙන් හරි බුලත් කොළෙන් හරි ඉල්ලුවොත් වැඩි ආකර්ෂණයක් ලබාගන්න පුළුවන් වෙයි.

මේ කරන්න හදන්නේ දේශපාලන ප්‍රයෝගයක්ද?

නෑ. මේ කරන්නේ දේශපාලන ප්‍රායෝගික ප්‍රවේශයක්. මොකද ඒ හරහා අපිට පුළුවන් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ගෙන්නගන්න.

කුමාර වෙල්ගම මහත්මයා ශ්‍රීලනිපය අසරණ වෙලා අනාථ වෙලා ඉන්න පාක්ෂිකයන්ට පක්ෂයක් හදලා නායකත්වය දෙන්න යනවා කියනවා. ඒක ශ්‍රීලනිපයට අභියෝගයක් නෙවෙයිද?

එහෙම අසරණ වුණ කනගාටු වුණ කිහිපදෙනෙක් ඇති. නමුත් 99%ක්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් සතුටින් ඉන්න අය. කලකිරීමෙන් ඉන්න කිහිපදෙනෙක් ඇති. මම නෑ කියන්නේ නැහැ. හැබැයි අතලොස්සක් පමණ.

එජාපය ප්‍රමුඛ කණ්ඩායමක් විරුද්ධ පැත්තෙන් විශාල සන්ධානයක් හදනවා. ඒක ඔබලට අභියෝගයක් නෙවෙයිද?

කිසිසේත් අභියෝගයක් නෑ. ඔය සන්ධානය නාම පුවරුවක් විතරයි. සන්ධානයක්නම් ඒකට පොදු ලකුණක් තියෙන්න ඕන. රනිල් මහත්මයා කියනවා අලියා කියනවා. සජිත් මහත්මයා කියනවා ටෙලිෆෝන් එක කියලා. මේක බිම් මට්ටමේ ඉන්න එජාප පාක්ෂිකයට අපභ්‍රංසයක්. මම තව දෙයක් කියනවා. එජාපයේ දුර්වලතාවය මත අපේ ජයග්‍රහණය ලබාගත යුතු නැහැ. අපි අපේ ශක්තිය මතයි ජයග්‍රහණය ලබාගත යුතු. එජාපය ඕන දෙයක් කරගත්තාවේ.

සජිත් ප්‍රේමදාස මහත්මයා ඔබට ආරාධනා කළා එතුමා එක්ක ගමනක් යන්න එන්න කියලා.

කවුද ගිලෙන බෝට්ටුවට නගින්නේ? අපි හැමදාම හිටියේ ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති සහ දර්ශනය මත. අපිට එජාපයට ගිහින් ලබාගන්න දෙයකුත් නෑ. ලබාගන්න උවමනාවකුත් නෑ. 

ඇත්තද හිටපු ජනාධිපතිවරිය ඔබලගේ සන්ධානයට එකතු වෙන්න යනවා කියන්නේ?

අපිත් ප්‍රාර්ථනා කරනවා ඔය පරණ දේවල් අමතක කරලා අපි එක්ක අලුත් ගමනක් යන්න එයි කියලා. ප්‍රගතිශීලී දේශපාලන කඳවුර ශක්තිමත් කරන්න එතුමිය එකතු වෙයි කියලා.

බදුල්ලේ ජනතාව ඔබට නැවත වරම් දෙයි කියලා විශ්වාසයක් තියෙනවද?

බදුල්ලේ ජනතාව මේ අලුත් සන්ධානය ගැනත් අලුත් ගමන ගැනත් සතුටින් ඉන්නේ. මම මුල් කාලෙදිම සටනක් කළා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයාට සහයට දිය යුතුයි කියලා. අවසානයේ මගේ ස්ථාවරය පක්ෂයේ ස්ථාවරය බවට පත්වුණා. ඊටපස්සේ පොදු ජන පක්ෂයේ අයටත් වඩා ඉදිරියෙන් ඉඳලා ගෝඨාභය මහත්තයට වැඩ කළා. ඒ කළේ රට වෙනුවෙන්. ඒ නිසා බදුල්ලේ ජනතාව මම අරන් තියෙන දේශපාලන ස්ථාවරය ගැන විශ්වාසයෙන් සහ සතුටින් ඉන්නවා. ඒ ගැන මට සැකයක් නෑ.

ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00