2020 පෙබරවාරි 28 වන සිකුරාදා

ආණ්ඩුව කියන මැජික් පෙන්නන්න බැහැ!

 2020 පෙබරවාරි 28 වන සිකුරාදා, ප.ව. 07:52 67

මෙයාල යන්නෙත් පරණ පාරෙමයි
මුස්ලිම් කොංග්‍රසය දෙමළ සන්ධානය එක්ක අපි යන්නෙ නැහැ
රනිල්ට හපන් සජිත්
දේශපාලනය කනපිට ගහන කතා බොරු
ගෝඨාභයලම ඊළඟ ආණ්ඩුව හදාවි

- ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී 
වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජනාධිපතිවණයට ඉදිරිපත් වෙච්ච ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ මේ වෙනකොට අලුත් සන්ධාන අලුත් කණ්ඩායම් සමඟ ඊළඟ මහමැතිවරණය සඳහා සූදානම් වෙනවා. ඇයි තවම ජනතා විමුක්ති පෙරමුණ ඊළඟ මහ මැතිවරණය සඳහා අලුත් සූදානමක් නව මුහුණුවරක් පේන්න නැත්තෙ?

ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ තරග කළේ බලය ලබාගැනීමේ අරමුණින්. ඒ වගේම ආණ්ඩු කිරීමේ අරමුණින්. ඒ අරමුණින් තමයි ජාතික ජන බලවේගයත් රට හදන ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළේ. මොකද අපි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළා නම් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආණ්ඩුවක් හදනවා. ඒ අරමුණින් තමයි ඒ ප්‍රතිපත්ති මාලාව හැදුණෙ. හැබැයි ජනතාව ඒ ගැන බලන්නෙ නැතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හැටියට පත්කර ගත්තා. එතකොට ඉදිරි වසර පහ එතුමා තමයි ජනාධිපති. සාමාන්‍යයෙන් අපේ රටේ අලුතෙන් පත්වන ජනාධිපතිවරයා නියෝජනය කරන කණ්ඩායම තමයි ඊළඟට ආණ්ඩුව හදන්නෙ. ඒ නිසා අපිට පේනවා එතුමා නියෝජනය කරන කණ්ඩායමට ඊළඟ මැතිවරණයෙන් ආණ්ඩුවක් හැදීමේ හැකියාවක් තියෙනවා කියලා.

එතකොට ජනාධිපතිවරණය දින්න කණ්ඩායමට බලය දීලා ජනතා විමුක්ති පෙරමුණ සටන අත්හරින්නද හදන්නෙ?

කිසිසේත්ම නෑ. දැන් අපිට වුවමනාව තියෙන්නෙ ඒ අලුතින් පත්වෙන ආණ්ඩුව ලව්වා ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් ලබාගන්න බල කරන්නත් ආණ්ඩුව අත්තනෝමතික ලෙස වැඩ කටයුතු කරනකොට ඒවා වළක්වන්නත්. සරලව කිව්වොත් ශක්තිමත් විපක්ෂයක්. 

එතකොට මෙවර මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ඉල්ලන්නෙ මොකක්ද?

ආණ්ඩුවක් හදන්න නෙමෙයි. අපි ඉල්ලන්නෙ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇති කරන්න. ඒ වගේම ශක්තිමත් විපක්ෂයක් හදන්න. ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු අපි මේ වෙනකොට සකසමින් ඉන්නවා. දෙසැම්බර් සහ ජනවාරි මාස වෙන් කරල තිබ්බෙ කොට්ඨාස වශයෙන් ඊට අවශ්‍ය බලය සකසා ගන්න. පෙබරවාරි මාසෙ දිස්ත්‍රික්ක මට්ටමෙන් සමුළු පවත්වලා අපේ අපේක්ෂකයො හඳුන්වා දීගෙන යනවා. මැතිවරණ ප්‍රකාශයෙන් පස්සෙ මීට වඩා පුළුල් ප්‍රචාරණයකින් අපේ වැඩ කටයුතු බලාගන්න පුළුවන් වේවි. 

හැබැයි විශාල ආසන සංඛ්‍යාවක් හරි බලයක් හරි ලබාගන්න අලුත් වැඩපිළිවෙළක් අලුත් මුහුණුවරක් සාමාන්‍ය ජනතාවට පේන්න තියෙන්න ඕනෙ නේද?

මෙරට දේශපාලනයේ ඛේදවාචකය නිරූපණයක් තමයි ඔබ ඔය ගැන කියන්නෙ. දේශපාලන ව්‍යාපාරයක් නම් විකුණගන්න පුළුවන් දේවල් හදන එක තමයි සාමාන්‍ය තත්ත්වය. එහෙම නැත්නම් භාණ්ඩය හොඳ හෝ නරක වුණත් කෙසේ හෝ විකුණගැනීමේ ක්‍රමවේදයක් සකසා ගැනීම තමයි ඔබ ඔය කියන්නෙ. අපි කියන දේශපාලනය එහෙම එකක් නෙමෙයි. ඒක ඍජුවම ජනතාවගේ කැමැත්ත මත සිදුවන දෙයක්. එතකොට අපි යම් දේශපාලන ප්‍රතිපත්තියක් සකසලා ඒක ජනතාවට පහදමින් දේශපාලන ගමනක් යනවා. මොකද අපි මොනව කියල බලය ගත්තත් වැඩක් නෑ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැරි නම්. ඒ ප්‍රතිපත්තිවලට ජනතාව එකඟ නැත්නම්. ඒ නිසා අපි යන ගමන දුෂ්කරයි. මිනිස්සු රවට්ටලා මොනව හරි කියල බලය ගන්න එක ඊට වඩා ලේසියි. හැබැයි එහෙම බලය ගත්තා කියල රටට සෙතක් සිදුවෙලා නෑ කවදාවත්. ඒක අවුරුදු 72 ක් පුරාවටම ඔප්පුවෙලා තියෙනවා. එහෙම සොයා බැලීමක් නොකර ජනතාව හිතුමතේ රවට්ටලා ඇමැති ධූර ලබාගැනීම නිසා තමයි අද ජනතාව මේ වගේ තත්ත්වයකට වැටිලා තියෙන්නෙ. ජනතාව හිතල කතිරෙ ප්‍රකාශ කළා නම් මෙහෙම දුක් විඳින්න ඕනෙ නෑ. ඒ නිසා අපි ලෑස්ති නෑ කොයි වෙලාවකවත් ජනතාව රවට්ටලා බලය ගන්න. 

සාමාන්‍යයෙන් ඔබලගෙ අරමුණ වෙන්න ඕනෙ එක්කො වර්තමානෙ තියෙන පාර්ලිමේන්තුවේ ආසන 6 වැඩිකර ගන්න. එහෙම නැත්නම් ඒ තියෙන ආසන 6 රැකගන්න. හැබැයි ජනාධිපතිවරණයේ දී ඡන්ද ප්‍රමාණය අඩුවීමත් එක්ක එහෙම අරමුණක් තියාගන්න පුළුවන්ද? 

දේශපාලනය කියන්නෙ වෙනස් නොවන ආධානග්‍රාහී එකක් නම් ඔබ ඔය කියන තත්ත්වය හරි. ඒ වගේම දේශපාලනය කියන්නෙ ජනතාව ඔබ කියන ආකාරයට හැම මැතිවරණයම එකම විදිහට හිතන ක්‍රමය නම් ඔබ කියන තර්කය හරි. එහෙනම් ඇයි අපේ රටේ ඡන්ද හතරක් තියන්නෙ. එක ඡන්දෙකට කෝටි 500 ඉඳන් 750 දක්වා මුදල් වියදම් කරනවා. ඒ සියල්ලම ජනතාවගේ බදු මුදල්. ජනතාව හිතන්නෙ එකම විදිහට නම් ඔය ඡන්ද හතරම එක දවසෙ තියලා ඔය සල්ලි ටික ඉතුරු කර ගන්න පුළුවන්නෙ. එහෙම නොකරන්නෙ ලෝක ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාව ඒ ඒ මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රකාශ කරන විදිහ මත. යුරෝපයේ වගේ නෙමේ. අපි වගේ ආසියාතික රටවල ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස්. කොයිම වෙලාවකවත් තුන්වැනි අපේක්ෂකයෙක් ලක්ෂ 5ට වැඩිය ඡන්ද අරගෙන නැහැ. ඒ නිසා ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මහ මැතිවරණයේ ප්‍රතිඵලත් එක්ක සංසන්දනය කරන්න බෑ. ඔබ කියන ආකාරයට එහෙනම් ශ්‍රීලනිපය ^77 දේශපාලනය අත්හරින්න ඕනෙ. එහෙනම් එක්සත් ජාතික පක්ෂය ^56 දී දේශපාලනය අත්හරින්න ඕනෙ. එහෙම නෑ. හොඳම උදාහරණය 2019 නොවැම්බර් ජනතා මතයද අද වෙනකොට ජනතාවගෙ තියෙන්නෙ. අද වෙනකොට ගෝඨාභය මහත්තයට ඡන්දය දුන්න ජනතාව 100% ක් සතුටින්ද ඉන්නෙ. ඒ නිසා මැතිවරණ එහෙම සංසන්දනය කරන්න බෑ.

එක්සත් ජාතික පක්ෂය දැන් සජිත් ප්‍රේමදාස මහත්තයගෙ සන්ධානයෙන් අලුත් ගමනක් යන්න පටන් අරන්. ඔවුන් ආරාධනා කරනවා ආණ්ඩුවට විරුද්ධ ඕනෑම කණ්ඩායමක් ඔවුන් සමඟ එන්න කියලා. දැන් ජනතා විමුක්ති පෙරමුණට එහෙම එක ගමනක අරමුණක් නැද්ද?

එක්සත් ජාතික පක්ෂය මූලික වෙලා හදන අලුත් බලවේගයකට හරි අලුත් සන්ධානයට හරි ජනතා විමුක්ති පෙරමුණ හරි ජාතික ජන බලවේගයේ හරි කිසිදු සහායක් හෝ එකතු වීමක් වෙන්නෙ නෑ. අද මේ රට වැටිලා ඉන්න තත්ත්වයට බාගයකට වඩා වැඩි ප්‍රමාණයක් වගකියන්න ඕනෙ එක්සත් ජාතික පක්ෂය. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විසින් ආරම්භ කරන ලද රට විකුණන, රාජ්‍ය දේපොළ විකුණන, රාජ්‍ය සේවය දුර්වල කරන ප්‍රතිපත්ති මාලාවෙම තමයි වර්තමාන අයත් ඉන්නෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයට ඊට වඩා දශමයක්වත් ජනතාව වෙනුවෙන් හිතන්න විදිහක් නෑ. රනිල්ට හපන් සජිත්. සජිත් ප්‍රේමදාස මහත්තයා බලය ලබාගන්න විවිධ උප්පරවැට්ටි යොදනවා හැරෙන්න රට හදන්නෙ කොහොමද, ජනතාවට සේවය කරන්නෙ කොහොමද කියන එක ගැන අබමල් රේණුවක තැකීමක් නෑ. එතුමාට තියෙන්නෙ හිස් වචන ටිකක් විතරයි. ඒ වෙනුවෙන් ඔහු වටා ඉන්න අයත් ඒ වගේමයි කියල ඔවුන්ගේ හැසිරීම්වලින් පේනවා. උදාහරණය තමයි නවීන් දිසානායක. එතකොට දැන් මේ අයද අලුත් දේශපාලන සංස්කෘතියක් ගේන්න ඉන්නෙ. විපක්ෂයේ ඉඳලත් නවීන් දිසානායක එහෙම හැසිරෙනවා නම් බලයක් ලැබුණොත් කොහොම තියෙයිද? 

හැබැයි ඔවුන් කියන්නෙ අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනඟනවා කියලා?

එහෙම කිසිම අරමුණක් ඔවුන්ට නෑ. කිසිම දේශපාලන සංස්කෘතියක් නෑ. ඔය ඉන්නෙම අර අවුරුදු හතරකට අධික කාලයක් මේ රට පාලනය කරපු අය. ඒ නිසා මේ රට වර්තමානයේ වැටිල තියෙන තත්ත්වයට ආසන්නවම වගකියන්න ඕනෙ රනිල් සජිත් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා ඒගොල්ලො මොන අය එකතු කර ගත්තත් කිසිම වෙනසක් නෑ. හරියට නිකම් අලුත් බෝතලයට පරණ වයින් දැම්මා වගේ වැඩක්. 

අපි දැක්කා රවුෆ් හකීම් මහත්තයා කියනවා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අලුත් ගමනක් යන්න පුළුවන් කියලා?

ඒ ප්‍රවෘත්තිය පළ කළ මාධ්‍ය ඒක නිවැරදි කළා. ඒ වගේම අපිත් ප්‍රකාශයක් ලබාදීලා ඒක නිවැරදි කරල තියෙනවා. එළඹෙන මැතිවරණයේ දී මුස්ලිම් කොංග්‍රසය හරි දෙමළ ජාතික සන්ධානය එක්ක හරි කිසිදු සන්ධානයක් ඇතිකර ගන්න අපේ අරමුණක් නෑ. ඒ වගේම ඒ ගැන සාකච්ඡාවක් හෝ එහෙම හිතලවත් නෑ. රවුෆ් හකීම් ඇමැතිවරයා හැමදාම එහෙම තමයි. ඔහුගේ දේශපාලනය ගැන කතා කරනවා. 1994 පාර්ලිමේන්තු ඇවිල්ලා එතන ඉඳලා හැම ආණ්ඩුවෙම ඇමැතිවරයෙක්. ඔහු ඇමැති ධූරයක් නැතිව හිටියෙ අර දින 52 ආණ්ඩුවේ සහ මේ ජනාධිපතිවරණයෙන් පස්සෙ තමයි. ඒ කියන්නෙ ඒ අවුරුදු 26ටම. දැන් මුස්ලිම් ජනතාව ගාවට යන්න බැරි වුණාම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක යනවා කියල කියන එක ඒ සඳහා හොඳ උපායක් හැටියට ඔහු හිතනවා ඇති. ඕක ඒ අයගෙ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂෙත් ඡන්දය ළං වෙනකොට ජනතාවගේ හිත දිනාගන්න ගහන වල්ආසියෙක් තමයි ජනතා විමුක්ති පෙරමුණත් එකතු කර ගන්නවා කියන්නෙ.

එහෙම එකතු වෙන්න ආරාධනාවක් කළොත්?

එහෙම කිසිම එකතු වීමක් වෙන්නෙ නෑ. අපේ පක්ෂය විනාශ කරපු අපේ පක්ෂ සාමාජිකයන් නැති කරපු එක්සත් ජාතික පක්ෂයත් එක්ක කිසිම එකට ගමනක් නෑ. 

එහෙම නැත්නම් කොහොමද ජවිපෙ එජාපයේ කොටසක් කියල කතා හැදෙන්නෙ?

අපේ රටේ යම් සන්ධානයක් ගහලා පක්ෂයක් එක්ක එකතු වුණා නම් එකතු වුණේ ඒ ශ්‍රීලනිපයත් එක්ක විතරයි. අපි වාර තුනක් ශ්‍රීලනිපයට උදව් කරල තියෙනවා. ආණ්ඩුවකට නියමයෙන් හරි අනියමයෙන් හරි ඇතුළුවෙලත් තියෙනවා. අපි මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ගෙනාවා වගේම තමයි ඔහුට විරුද්ධව කටයුතු කළා. 2010 දී පොදු අපේක්ෂකයකුට උදව් කළා. ඒ වගේම 2015 දී මහින්ද රාජපක්ෂ මහත්තයව පරාජය කළා. මේ නිසා තමයි අපිට ඔවුන්ගෙ හිතවාදීන් විසින් මේ කතාව ගොඩනගන්නෙ. අපිට 2015 මැතිවරණයේ දී සීනුවෙන් තරග කරලා ආසන 6 ක් හම්බවුණා. අපි ගිහින් විපක්ෂයෙන් වාඩි වුණා. හැබැයි අපිට චෝදනා කරන අය එජාපය එක්ක හවුල් ආණ්ඩු කළා. වරප්‍රසාද ගත්තා. ඒ නිසයි අපිට ඒ අය අවලාද නගන්නෙ. හැබැයි අපි ඒ චෝදනාවෙන් සැලෙන්නෙ නෑ. අපි දිගටම අදාළ පක්ෂවලට ප්‍රහාර එල්ල කරනවා. ඒ ප්‍රහාරවලදී මෑතකදී ආණ්ඩු කළ අයට වැඩියෙන් ප්‍රහාර එල්ල වෙනවා.

මේ වෙනකොට සමාජයේ චෝදනාවක් එල්ල වෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නවක වදය සහ පරිපාලනයට බාධා කරන තැනකට පත්වෙලා කියලා. ඔබලත් ශිෂ්‍ය සංගම් නියෝජනය කරන කණ්ඩායමක්. මොකක්ද මේ වෙන්නෙ ඇත්තටම?

සමහර ශිෂ්‍ය සංගම් තියනවා අපිට හිතවත්. ඒ වගේම සමහර ශිෂ්‍ය සංගම් තියෙනවා අනිත් අයට හිතවත්. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ නවක වදයට එකහෙළා විරුද්ධයි. ප්‍රචණ්ඩත්වයෙන් යම්කිසි දෙයක් දිනාගන්න බෑ කියන එක අපි විශ්වාස කරනවා. විශේෂයෙන් නවකවදය වෙනුවට ළමයි අතර සුහදත්වය ඇති කරන්න පක්ෂයක් හැටියට අපි වැඩ කටයුතු දියුණු කරගෙන යනවා. ඒ නිසා ශිෂ්‍යයන් විසින් සිදු කරන සමහර ක්‍රියාකාරකම් අපි අනුමත කරන්නෙ නෑ. හැබැයි මම කනගාටු වෙනවා ඔය කැලණි විශ්වවිද්‍යාලයේ කැමරා පද්ධතිය ඉවත් කිරීම වගේ දේවල්වලට ලබාදෙන මාධ්‍ය ඉඩකඩ ඔවුන් සිදු කරන හොඳ දේවල්වලට ලබා නොදීම ගැන. ඔවුන් විශාල ප්‍රජා සත්කාර සිදු කරනවා. සෞන්දර්ය, ක්‍රීඩා වගේ දේවල්වල නිරත වෙනවා. ඒ කිසි දේකට මාධ්‍යයෙන් ඉඩකඩක් නෑ. මම කියන්නෙ ඒ දේවල්වලට ඉඩ ලබා දීමෙන් පුළුවන් හොඳ ශිෂ්‍ය පරපුරක් හදන්න. 

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට දේශපාලනය කරන්න ඔබේ පක්ෂයෙන් ආරාධනා කළා කියලා කියනවා. ඒක ඇත්තද?

එතුමා සමඟ ඒ වගේ කිසිම සාකච්ඡාවක නිරතවෙලා නෑ. පුද්ගලයන් අතර සිදුවන සංවාද පටිගත කිරීම කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඒක ශිෂ්ට සම්පන්න සමාජයකට ගැලපෙන දෙයක් නෙමේ. මොකද පුද්ගලයන් දෙන්නෙක් අතර සිදුවන සංවාදවලදී අතිශය පෞද්ගලික දේවල් විශ්වාසය පිට කතා කරන්න පුළුවන්. එවැනි දෙයක් එළියට ඒම තුළ කාට කාටත් හානි සිදුවෙන්න පුළුවන්. හැබැයි එහෙම සංවාද එක එක අරමුණු වෙනුවෙන් මාධ්‍ය මගින් එළියට දැමීමත් අපි අනුමත කරන්නෙ නෑ. ඒ වගේම මේ සංවාද ඇතුළෙ මේ රටේ සිදුවන වංචා දූෂණ එළිකර ගැනීමේ අරමුණක්ද පේනවා. ඒකත් වටිනවා. හැබැයි පාර්ලිමේන්තුවට ඇතුළත් වන 225 ඇතුළෙ එවැනි හැසිරීම් බලාපොරොත්තු වෙන්න බෑ. රන්ජන් තමන්ගෙ භූමිකාව මොකක්ද කියන එක හඳුනාගන්න ඕනෙ. හැබැයි ඒ දේවල් හදාගෙන අපි බලාපොරොත්තු වන දේශපාලන භූමියට රන්ජන් ඇතුළත් වෙනවා නම් අනාගතයේ දී අපිට ඒ ගැන හිතලා බලන්න පුළුවන්. 

දැන් අලුත් කතාබහක් යනවා දේශපාලනයට අලුත් මුහුණු, උගත් බුද්ධිමත් අය එන්න ඕනෙ කියලා. ඔබේ පක්ෂයෙන් මේක දකින්නෙ මොන ආකාරයෙන්ද?

අපි දන්නවා වෛද්‍යවරයෙක් වෙන්න දැනුම සහ සුදුසුකම් අවශ්‍යයි. මාධ්‍යවේදියකුටත් එහෙමයි. හැබැයි එහෙම තත්ත්වයක් තියෙද්දී සමහරු දන්වන්න උත්සාහ කරනවා කාටත් දේශපාලනය කරන්න පුළුවන් කියලා. දේශපාලනය ගැන කිසිම දැනුමක් නැතත් ඕන කෙනකුට උඩින් ඇවිල්ලා කරන්න පුළුවන් කියල හිතනවා. දේශපාලනය එහෙම නම් දේශපාලන විද්‍යාව කියල විෂයයක් බිහිවෙන්නෙත් නෑ. ලෝකයක් රටක් පාලනය කරන්න දේශපාලනයට බාර දෙන්නෙත් නෑ. දේශපාලනයටත් යම් අත්දැකීමක් ඕනෙ. කැපකිරීමකුත් ඕනෙ. තමන්ට තියෙන වෙන ජනප්‍රියතාවයක් යොදාගෙන ඡන්දෙ දිනලා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් සෙතක් වෙන්නෙ නෑ. එහෙම නොවෙන බව පසුගිය ඉතිහාසයේ ඉඳන්ම පෙන්නලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවෙ එහෙම අය හිටියා. ඔවුන් මොකක්ද අන්තිමට කළේ? පැන්ෂන් එක ගත්තා විතරයි. අනිත් එක මේ පාර්ලිමේන්තුවේ උගතුන් බුද්ධිමතුන් නෑ කියල හිතන්න එපා. මේකෙ ඉන්නවා වෛද්‍යවරු 6 දෙනෙක්. නීතිඥවරැ විශාල ප්‍රමාණයක් ඉන්නවා. රාජ්‍ය සේවයේ හිටිය අය ඉන්නවා. හමුදා පොලීසියේ වැඩ කරපු අය ඉන්නවා. ඉතින් එවැනි අයගෙන් සම්පූර්ණ වෙච්ච තැනක් තමයි වර්තමාන පාර්ලිමේන්තුවත්. ඒ නිසා අලුතෙන්ම ඇවිල්ලා මේ දේශපාලනය කනපිට ගහන්න පුළුවන් වෙයි කියල හිතන්න එපා.

හැබැයි මේක ගේන්නෙ අලුත් ජනාධිපතිවරයා ආවට පස්සෙ ඔවුන්ගෙ පැත්තෙම අයයි?

අලුත් ජනාධිපතිවරයා ආවෙත් ඒකටම තමයි. හැබැයි දින 100 ක් පහුවෙනකොට පේනවා ඔහුගේ ක්‍රියාකාරීත්වය. ඔහුත් පරණ අය පත් කරගෙන නැවත සුපුරැදු ගමන යන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ඔය කියන දේවල් කරලා මැජික් පෙන්නන්න බෑ.  

► ගයාන් ගාල්ලගේ 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00