2020 ජනවාරි 25 වන සෙනසුරාදා

අපට වැරැද්දුවේ හිටපු ජනාධිපතියි

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

► සජිත්ට නායකත්වය නොදීම ජනතා මතයට පයින් ගැසීමක්

► අපේ නායකයා අද කරන්නේ එදා සිරිමාවෝ කරපු දේමයි

► බොරු නඩු හදන්න කාටවත් බෑ

► පක්ෂය දැන් මෙහෙයවන්නේ සුළුතර ඩීල්කාර පිරිසක්

► ආයෙ කවදාවත් හවුල් ආණ්ඩු හදන්නෙ නෑ

► ස්වාධීන අධිකරණය, ප්‍රජාතන්ත්‍රවාදය රැක දුන්නේ යහපාලන ආණ්ඩුවයි

► රන්ජන් සදාචාර විරෝධී පුද්ගලයෙක්

රන්ජිත් මද්දුමබණ්ඩාර - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී

ඔබලා විශාල සටනක් කළා සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන්න. ඊටපස්සෙ ඕන වුණා විපක්ෂ නායක කරන්න. ඒ දෙකම කර ගත්තා. හැබැයි අවුරුදු ගාණක ඉඳන් බලන් ඉන්න පක්ෂ නායකකම අදටත් ඔහුට අහිමිවෙලා තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නෙ?

මේ රටේ ජනතාවගේ වගේම පාක්ෂිකයන්ගේ අරමුණ තමයි සජිත් ප්‍රේමදාස මහත්මයා පක්ෂ නායකයා කරන්න කියන එක. ඒකයි අපි දිගින් දිගටම ඒ ඉල්ලීම කළේ. අපි කිව්වා ජනතා ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රී කණ්ඩායම කැඳවලා ඒ සම්බන්ධයෙන් ඡන්දයක් තියන්න කියලා. නමුත් අපි මත විමසීමක් කළා ඒකෙන් 90෴ක් විතර සජිත් ප්‍රේමදාස මහත්මයා පක්ෂ නායකත්වයට අවශ්‍යයි කියලා කැමැත්ත පළ කළා. හැබැයි තවම එය හම්බවුණේ නෑ. ජනතාවගේ මතය පැත්තකට දැමීමක් තමයි අපේ පක්ෂයෙ අය කරන්නෙ.

සාමාන්‍යයෙන් පක්ෂයක මන්ත්‍රීවරුන්ටත් පිළිගත හැකි බලතල තියෙනවා. හැබැයි එජාප මන්ත්‍රීවරැන්ට එහෙම බලතලයක් නෑ කියලයි පේන්නෙ. මොකද ඔවුන් ගන්න තීන්දු පක්ෂ නායකත්වය විසින් එක තීන්දුවෙන් වෙනස් වෙනවා?

එක්සත් ජාතික පක්ෂයේ අතීතය බැලුවොත් පක්ෂයේ තීන්දු තීරණ අරගෙන තියෙන්නෙ මන්ත්‍රී කණ්ඩායම. විශේෂයෙන් 1978 ජේ.ආර්. ජයවර්ධන මහත්මයා අගමැතිකමේ ඉඳලා ජනාධිපතිකමට යනකොට ඊළඟ අගමැති කවුද කියලා තේරුවෙත් මේ මන්ත්‍රී කණ්ඩායම. ඒ වගේම තමයි 1997 දි විපක්ෂ නායක කවුද කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයත් ගාමිණී දිසානායක මහත්මයත් තරග කරලා ගාමිණී දිසානායක මහත්මයා මන්ත්‍රීවරු වැඩි ඡන්දයෙන් පක්ෂ නායක වුණා. ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ පක්ෂයේ තිබ්බා. නමුත් පහුගිය කාලෙ අපේ ව්‍යවස්ථාව වරින්වර දැනුවත්ව සහ නොදැනුවත්ව වෙනස් කරලා නායකත්වයට අසීමිත බලතල දීලා තියෙනවා.

ඔබ මේ පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්. නමුත් සුළු හරි තීන්දුවක් ගන්නට ඔබලාට හැකියාවක් නැහැ. එහෙම තත්ත්වයක් තිබියදී ඔය මන්ත්‍රී ධූරයෙන් ඇති වැඩක් තියෙනවද?

මේ තත්ත්වය නිසා තමයි දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂයේ ශක්තිය අඩුවෙලා තියෙන්නෙ. විශේෂයෙන් ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව මැතිවරණ පරාජය වුණායින් පස්සෙ මිනිස්සු ඉවත්වෙලා යන්න ඕන. අපේ රටේ තමයි මේ ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ. ඕක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් කළා. දැන් අපේ නායකයත් ඒක කරනවා.

ඔබලා එක වෙලාවකට එළියට ඇවිල්ලා කියනවා පක්ෂ නායකත්වය සජිත්ට දෙන්න කැමති වුණා රනිල් වික්‍රමසිංහ මහත්මයා පක්ෂයේ ඉහළ තනතුරකට යනවා වගේ කතා. හැබැයි එහෙම වෙන්නෙ නෑ. මේ පාක්ෂිකයන් රවට්ටන්න කියන කතාද?

එහෙම තත්ත්වයක් පක්ෂය ඇතුළෙ තිබ්බා. නමුත් නායකතුමාටත් වැඩිය වෙනත් පිරිසක් මේක මෙහෙයවනවා. මට හිතෙන්නෙ ඒ අය වෙනත් පක්ෂයක කොන්ත්‍රාත්තුවක් කරනවා වගේ.

ඔබ වගේම පක්ෂයේ වෙනත් අයත් කියනවා එක්තරා පිරිසක් විසින් තීන්දු තීරණ වෙනස් කරනවා කියලා. ඒ කියන්නෙ පක්ෂයේ බහුතරයකටත් වඩා සුළුතර පිරිසකට පක්ෂයේ තීන්දු තීරණ වෙනස් කර ගන්න පුළුවන්ද කියලා පාක්ෂිකයන්ට ප්‍රශ්නයක් තියෙනවා?

පාක්ෂිකයන්ට විතරක් නෙමේ අපිටත් ඒ ප්‍රශ්නය තියෙනවා. අපිටත් තියෙන ප්‍රශ්නෙ තමයි සුළුතරයක් වෙච්ච ඩීල්කාරයොත් එක්ක මේ පක්ෂය කරන වැඩ ගැන.

මෙහෙම ගියොත් එජාපයටත් ශ්‍රීලනිපයට වෙච්ච ඉරණමම සිදුවෙන්න පුළුවන් කියලා පාක්ෂිකයන් ඇතුළු ගොඩක් දෙනකුට ප්‍රශ්නයක් තියෙනවා?

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් පක්ෂයක්. අපේ පක්ෂය තමයි මේ රටේ ප්‍රධානම පක්ෂය. මෙතන තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්.

එක්සත් ජාතික පෙරමුණේ සහෝදර පක්ෂ ඇතුළු ඔබලා ඉල්ලලා තියෙනවා අලුත් සන්ධානයක් හදාගෙන වෙනම ගමනක් යමු කියලා. දැන් ඒ ගමන යන්න ලෑස්තිද?

අපි විතරක් නෙමෙයි අපිත් එක්ක ඉන්න දෙමළ, මුස්ලිම් වැනි සුළු පක්ෂ වගේම බෞද්ධ බලවේගය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ පවා කීවේ සජිත් ප්‍රේමදාස මහත්තයගේ නායකත්වයෙන් අලුත් ගමනක් යමු කියලා. ඒක ජනතාවගේ ඉල්ලීමක්. අපි වෙනම කඩාගෙන යන්න බලාපොරොත්තුවක් නෑ. අපි එක්සත් ජාතික පක්ෂය සමඟයි දිගටම ඉන්නෙ. පක්ෂයේ මූලිකත්වයෙන් තමයි මේ සන්ධානය හදන්නෙ. ඒ කටයුත්ත කරන්න අවශ්‍ය ශක්තියත් නායකත්වයත් සජිත් ප්‍රේමදාසට ලබාදෙන්න කියලයි අපි නායකත්වයෙනුත් අනෙකුත් අයගෙනුත් ඉල්ලන්නෙ.

යම් ආකාරයකින් මේ නායකත්ව ප්‍රශ්නය විසඳගන්න බැරි වුණොත් මොකක්ද ඔබලා ඊළඟට ගන්න ක්‍රියාමාර්ගය?

යම් ආකාරයකින් ඒක ඉෂ්ඨ කර ගන්න බැරි වුණොත් එදාට අපි එකතුවෙලා සාකච්ඡා කරලා අපි තීන්දුවක් ගන්නවා.

ඔබගේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇත්තටම මේ ගැන මොකක්ද දරන අදහස?

ඒක එතුමගෙන් තමයි අහන්න ඕනෙ. එතුමා තමයි තීන්දුව දෙන්න ඕනෙ. පක්ෂයේ බහුතර පිරිසගේ ඉල්ලීම, පක්ෂයේ පාක්ෂිකයන්ගේ ඉල්ලීම, පක්ෂයට ආදරය කරන අයගේ ඉල්ලීම සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒකට තවම පිළිතුරක් නෑ. එතුමා අවුරුදු 26ක් පක්ෂයේ නායකත්වය දැරුවා. ඒ 26ටම බලයේ ඉඳලා තියෙන්නෙ අවුරුදු 6 යි. තවම කිසිම ජනාධිපති කෙනෙක් පත්කර ගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා එතුමා ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙක් හැටියට යම් තීන්දුවක් ගන්න එක හොඳයි.

රනිල් වික්‍රමසිංහ මහත්මයා පැත්තකින් තියලා සජිත් ප්‍රේමදාස මහත්මයා ගැන කතා කළොත් එතුමා තමයි ඔබලගෙ කැමැතිම නායකයා. හැබැයි ඔහු අද වෙනකම් මේ නායකත්වය ගන්නවත් මොකද කරන්නෙ කියලා කිසිම ප්‍රකාශයක් දීලා නෑ. දැන් පාක්ෂිකයන්ට හිතෙන්න පුළුවන් නේද ඔබලා හරිම නායකයද තෝරගෙන ඉන්නෙ කියලා?

මෙහෙමයි. අපි ගමට ගියාම ගමේ පාක්ෂිකයාගේ ඉල්ලීම තමයි අපි ඔය ප්‍රකාශ කරන්නෙ. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්බන්ධවත් සජිත් ප්‍රේමදාස මහත්මයා සම්බන්ධවත් අපේ අදහස නෙමෙයි ඉදිරිපත් කරන්නෙ. අපි ඉදිරිපත් කරන්නෙ ජනතාවගෙ අදහස.

එක්සත් ජාතික පක්ෂයේ වෙලාව කොච්චර හොඳ නැතිද කියන්නෙ එක ප්‍රශ්නයක් ඉවර වෙද්දි තව ප්‍රශ්නයක් එනවා. දැන් මේ දවස්වල රන්ජන් රාමනායක මන්ත්‍රීවරයගෙ හඬපට සිද්ධිය. ඔබ ජ්‍යෙෂ්ඨයෙක් හැටියට මේ ගැන දකින්නෙ මොකක්ද?

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සදාචාරයට වැරැද්ධව කටයුතු කරන පුද්ගලයෙක්. අද ඒ හඬපට ආණ්ඩුව යොදාගෙන තියෙනවා බඩු මිල වහගන්න ආණ්ඩුවේ නොහැකියාව වහගන්න වගේ දේවල්වලට. මේක පෞද්ගලික ප්‍රශ්නයක්. මේක එජාපයේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඔහුත් එදා කියලා තිබ්බා කවුද හොරු කවුද හොරු නොවෙන්නෙ කියලා.

මේ සිද්ධියෙන් චෝදනාව එල්ල වෙන්නෙ යහපාලන ආණ්ඩුවේ මන්ත්‍රීවරු දේශපාලන බලය යොදලා නීතිය මෙහෙයුවා කියලා. ඒක සුළුපටු චෝදනාවක් නෙමෙයි?

යහපාලන ආණ්ඩුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදය රැක්කා. අද අපි දැක්කා ජාත්‍යන්තර වාර්තාවලට අනුව අපේ රට ඉදිරියට ගිහිල්ලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය නිසා. විශේෂයෙන් එක්කෙනෙක් කළ දේකට සමස්ත ආණ්ඩුවක් වගකියන්න ඕන නෑ. එතන තියෙන්නෙ සාමාන්‍ය දුරකතන සංවාද.

ඔබ නීතිය භාර ඇමැති තිබුණු යහපාලන ආණ්ඩුවේ. ඔබට හොරා ඔබේ පොලීසිය රන්ජන් රාමනායක මෙහෙයවලා තියෙනවා කියලා සාක්ෂි තියෙනවා?

කිසිම වෙලාවකට එවැනි දෙයක් වෙලා නෑ. කවුරුවත් එවැනි ඇඟිලි ගැසීම් සිදු කළේ නෑ. ස්වාධීනව කටයුතු කරන්න අපි පොලීසියට උපදෙස් දීලා තිබ්බෙ.

ආණ්ඩුවේ ඉන්න අය කියන්නෙ මේ හඬපට හරහා රාජපක්ෂවරු දඩයමක් සිදු වුණා කියලා. එහෙම දේශපාලන පළිගැනීම් සිදුකළේ ඇයි?

එහෙම බොරු නඩු හදන්න බෑනෙ. 2015 ජනතාව බලය දුන්නෙ හොරු අල්ලන්න. ඒකට තමා අපේ ආණ්ඩුව කටයුතු කළේ. ඒ අතර සමහර අය කටයුතු කරපු ආකාරයේ අපැහැදිලිතාවක් තිබ්බා. කොහොමත් ලංකාවේ නීතිය අනුව දඬුවම් ලබන්න කාලයක් ගත වෙනවා. අපි කියන්නෙ මේ දේවල්වලට උත්තර අධිකරණයෙදි දෙන්න. මේ නඩුවලට අධිකරණයේදී මුහුණ දෙන්න. එතකොට ඇත්ත එළිවෙයි.

ඔය නීතියට හරිහැටි ක්‍රියාත්මක වීම දඬුවම් ලබාදීම වැනි කාරණා නිසා තමයි පරාජය වෙන්න සිදු වුණේ කියලා ඔබලට හිතෙන්නෙ නැද්ද?

බැඳුම්කර සිද්ධියටම 10෴ක වගේ සංඛ්‍යාවකටයි අපේ චෝදනා තියෙන්නෙ. අද වෝහාරික වාර්තාව අනුව ලොකුම බැඳුම්කර වංචාව වෙලා තියෙන්නෙ 2008 ඉඳලා 2015 වෙනකම්. ඒක කෝටි දහස් ගාණක්. අපිට තියෙන ප්‍රශ්නෙ අන්න ඒ ගැන පරීක්ෂණ නොකර මේ එකක් ගැන විතරක් පරීක්ෂණ කළේ ඇයි කියන එක. මම අපේ සිද්ධිය ගැන පරීක්ෂණ කරන්න එපා කියනවා නෙමෙයි. ඒ වගේම අනෙක් ඒවා ගැනත් හොයන්න ඕනෙ.

එජාපයේ විපක්ෂ නායකකමත් වෙනත් වීමෙන් පස්සෙ තාම විපක්ෂයේ කාර්යභාරය හරිහැටි සිදුවෙන්නෙ නෑ කියලා චෝදනා තියෙනවා. මොකක්ද ඒකට හේතුව?

ඒක තමයි අපි කියන්නෙ පක්ෂයේ නායකකමත් විපක්ෂ නායකකමත් එක්කෙනකුට එන්න ඕනෙ කියලා. මේ ප්‍රශ්නය බලපාල තියෙනවා මේ දේවල්වලට. නමුත් අපේ අය අවශ්‍ය කාර්යභාරය ඉටු කරනවා. ආණ්ඩුව මේ වෙනකොට මධුසමය ගත කරන කාලෙ. අවශ්‍ය වෙලාවට අපි වැරදි හොයාගෙන එළියට එනවා.

ඉස්සෙල්ලා ගිය ආණ්ඩුවේ දූෂණ වංචා සිදු කරපු අයට විරැද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මේ ආණ්ඩුවෙන් කියනවා?

අනිවාර්යෙන්ම ඒ ගැන හොයන්න ඕනෙ. අපි සිදු කරපු බැඳුම්කර චෝදනාව සම්බන්ධයෙන් වූ වෝහාරික වාර්තාව තාම ලැබිලා නෑ. නමුත් මේ අය මහ ලොකුවට කෑගහපු විදිහට මේ දේවල් සිදු කරන්නෙ නෑ. අපිත් බලන් ඉන්නවා මොකද වෙන්නෙ කියලා ජනතාව වගේම.

ඔබේ කණ්ඩායමේ පිරිසක් ගේනවා අලුත් මතවාදයක් ගෝඨාභය ජනාධිපති සජිත් අගමැති කියලා. මේ දිනන්න කරන උප්පරවැට්ටියක්ද?

මම නම් එහෙම කොහෙවත් කියලා නෑ. කොහොමත් ගෝඨාභය මහත්තයා අවුරැදු පහකට පත්වෙලා ඉවරයි. මම කියන්නෙ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවන්න ඕනෙ අගමැති කරවන්න ඕනෙ. එහෙම නැතුව දෙන්නා එකතු කරලා සංවාද හදන එක නෙමෙයි උත්තරේ. ඉස්සෙල්ලා කරන්න ඕනෙ ජයග්‍රහණය කරන එක.

ඔබේ පක්ෂයේ අය කියන්නෙ නම් රටට ගැලපෙන සුසංයෝගය ඒක කියලා. ඔබත් ඒ මතයෙද?

නෑ මම එවැනි මතයක නෑ.

ඔබලා ඊළඟ මහ මැතිවරණයට අලියගෙන්ද හංසයගෙන්ද එන්නෙ කියලා පාක්ෂියන්ට ප්‍රශ්නයක් තියෙනවා?

ඒක අපි ඒ වෙලාවට බලමු. කොහොමත් අපි දැන් කල්පනා කරලා තියෙන්නෙ සන්ධානයකින් එන්න. ඒ සන්ධානයෙන් එනකොට කොයි ලකු‍ණෙන්ද කොයි පක්ෂයෙන්ද එන්නෙ කියලා එදාට කියන්නම්.

අලුත් මතවාදයක් යනවා හොරු දූෂිතයෝ පාර්ලිමේන්තු යවන්න එපා කියලා. ඔබේ පක්ෂයේ ඒ සම්බන්ධයෙන් මතය මොකක්ද?

මමත් කියනවා පාර්ලිමේන්තුවට දූෂිතයන් යවන්න එපා කියලා. අධ්‍යාපන මට්ටම මම නම් දන්නෙ නෑ. මොකද ඉගෙනගත්ත හැමෝටම රට පාලනය කරන්න පුළුවන් කියලා හිතන්නෙ නෑ. හැබැයි යම් අධ්‍යාපන මට්ටමකුත් තියෙන්න ඕනෙ.

ඔබේ පක්ෂයේ හිටිය ජාතික ලැයිස්තු අපේක්ෂක ජයම්පති වික්‍රමරත්න ඉවත් වුණා. ඒකට සිවිල් ක්‍රියාකාරියකු වන සමන් රත්නප්‍රිය පත් කරන්න යනවා. ඒක ඔබ සියලු දෙනාගෙම තීන්දුවක්ද?

නෑ අපි නම් දන්නෙ නෑ ඒ ගැන. මොකද කෘත්‍යාධිකාරී මණ්ඩලයත් දැන් නෑ. ඒ නිසා අපි ඒ ගැන දැනුවත් කිරීමකුත් නෑ.

ඔබලා රාජපක්ෂවරුන්ට නොයෙකුත් චෝදනා එල්ල කළා. අවසානයේ ඔබලා විසින්ම රාජපක්ෂලා රටට අවශ්‍යයි කියලා පෙන්නුවා. දැන් ඔවුන් බලයට ඇවිත්?

මෙහෙමයි. ජනතාව ඒ අවස්ථාවේ හිටියෙ දූෂණ වංචාවලට වඩා ජාතික ආරක්ෂාව ගැන. ඒ වගේම බෞද්ධකම ගැන. නමුත් මේ වෙනකොට දූෂණ වංචා තියෙන මැති ඇමැතිවරු නැවතත් බලයට ඇවිල්ලා තියෙනවා. චෝදනා තියෙන නිලධාරීන් නැවතත් සුපුරුදු තැන්වලට ඇවිල්ලා. ඉතින් ජනතාවට තේරෙයි ඉස්සරහට යනකොට.

පක්ෂයේ සිදුවෙන දේවල් ගැනත් පක්ෂයේ අනාගතය ගැනත් ඔබ ඉන්නෙ කලකිරීමෙන්ද?

අපි ආණ්ඩුව කරනකොට වැරදුණු තැන් කීපයක් තියෙනවා. එකක් තමයි ජනාධිපති අපිට විරුද්ධව හිටිය එක. කොහෙවත් හිටිය ගැලපෙන්නෙම නැති පක්ෂයක් එක්ක ආණ්ඩු හැදුවා. ඒ ආණ්ඩුවේ බහුතර ඇමැතිකම් ඒ පක්ෂයට දුන්නා. අවසානයේ ඒ අය එළියට ගිහින් ඇතුළෙ වෙච්ච දේවල් විවේචනය කළා. ඒ නිසා පාක්ෂිකයෝ පවා කලකිරැණා. ඒ නිසා ඒ කලකිරීමෙන් මිදිලා ආණ්ඩුවක් හදන එකයි අපේ අරමුණ.

ඒ කියන්නෙ නැවත හවුල් ආණ්ඩු නෑ?

කවදාවත් ආයෙ හවුල් ආණ්ඩු හදන්නෙ නෑ. අපේ සහෝදර පක්ෂ එක්ක ආණ්ඩු හදනවා මිසක් වෙන අය එක්ක නෑ.

► ගයාන් ගාල්ලගේ