2020 ජනවාරි 11 වන සෙනසුරාදා

මටත් කට හින්දා නහින්න වෙයි කියලා හිතෙනවා

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 344

මේක රඟපෑමක් නම් ඒක මරණ වරෙන්තුව අතේ තියාගැනීමක්
මම කවදාවත් අයිසින් දාලා කතා කරන්නෙ නෑ
ඔත්තුකාරයො දුකට පත්වෙන නිසා නාමල්ගෙ මඟුලට ගියේ නැහැ
මහින්දානන්ද ඇමැතිවරයා අනුකම්පාව දිනාගන්න හදනවා
අන්දරේ කියන්නෙත් හොඳ වැඩකාරයෙක්
නඩු තීන්දු වෙනස් කළ හැකි නම් මම මාර මිනිහෙක්නෙ
මට අල්ලස් දෙන්න ආපු අය ගැන සේරම විස්තර කියනවා

- පාර්ලිමේන්තු මන්ත්‍රී - රන්ජන් රාමනායක

ඔබ නළුවෙක්. ඔබ රඟපාන්න දක්ෂයි. ඔබ මේ කරන වැඩත් එක්ක තේරෙන්නෙ රඟපෑමක් කියලා. ඇයි මේ නළු වැඩ කරන්න හදන්නෙ දේශපාලනය ඇතුළෙ?

කවුරුහරි කියනව නම් මේක රඟපෑමක් කියලා මේක තනිකරම මරණ වරෙන්තුව අතේ තියාගෙන කරන වැඩක්. මේ නිසා ගොඩක් දෙනෙක්ට වෛරයක් ඇතිවෙනවා. තරහක් ඇතිවෙනවා. මේක රඟපෑමක් වගේ ඇක්ෂන් කට් කියන එකක් නෙමේ. මේක ජීවිතයත් මරණයත් අතර සටනක්. ජීවිතය පරදුවට තියල කරන හෙළිදරව්වක්.

ඔයා ජීවිතේ පරදුවට තියල වැඩ කරනවලු. හැබැයි රාජ්‍ය සේවකයො ගොඩක් මේ සිද්ධිය නිසා ගිනි වතුරට වැටිල ඉන්නෙ?

මම කතා කරල තියෙන්නෙ ඒ අයගේ ආරක්ෂාව ගැන. ඒ අයට සිදුවෙච්ච අසාධාරණය ගැන. බලන්න සරත් අඹේපිටිය මහත්තයා ඔය වගේම තීන්දුවක් දීලා ගේ ඉස්සරහ වෙඩි කාලා මළා. අන්තිමට ඒකට පොට්ට නවුෆර් අහුවෙලා එල්ලුම්ගස් ගිහිල්ලා දැන් බන්ධනාගාරයේ ඉන්නවා. මම හැමදාම කරන්නෙ රාජ්‍ය සේවකයන් ආරක්ෂා කරන්න. මට ඉන්ෆොමේෂන් දෙන මිනිස්සු පාවාදීලා නෑ. හොඳම උදාහරණය නාමල් රාජපක්ෂ කතා කරල මට එයාගේ විවාහයට එන්න ආරාධනා කළා. ඒත් මම ගියෙ නෑ. ඒ ගියෙ නැත්තෙ මම ගියා නම් මගේ ඔත්තුකරුවො දුකට පත්වෙනවා. එතකොට ඒ අය මට ඔත්තු දෙන්නෙ නෑ. ඒ නිසා මගේ මතයේ මම හිටියා. 2015 ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරන්න මම වැඩ කටයුතු කළා.

ඇත්තටම ඇයි රන්ජන් රාමනායක මේ කෝල් එක්ලක්ෂ ගාණක් රෙකෝඩ් කරන්නෙ?

මට එදා කාලෙ ඉඳන් මගේ යාළුවො කිව්වා හොඳම ෆෝන් එක ඇපල් ෆෝන් එක කියලා. මට තිබ්බ අත්දැකීම් එක්ක වැටිච්ච නඩුත් එක්ක මම හැමදාම පාවිච්චි ක‍ළේ සැම්සුන් ෆෝන් එකක්. ඒ ෆෝන් එක ඔටෝ රෙකෝඩ් වෙනවා. එතකොට අපිට කිව්ව දෙයක් කවදාවත් නෑ කියන්න බෑ. මතක නෑ දන්නෙ නෑ කියන්න බෑ. මම සාක්ෂි සටහන් වාර්තා ගෙන්න ගන්නවා වගේම ඒවා රෙකෝඩ්වලිනුත් ගන්නවා. ලංකාවෙ සමහරු මුසාවාදා කියලා පන්සිල් රැක්කට උසාවිවලට නැගලා බොරුමයි කියන්නෙ. හැබැයි මට බොරු කිව්වොත් මම කියනවා ඇයි එදා ඔයා කිව්වෙ කියල. ඒකත් නෑ කිව්වොත් තමයි මේවා තියන් ඉන්නෙ.

පැහැදිලිවම අනාගතයෙදී ප්‍රශ්නයක් වුණොත් බඩු ටික එළියට දානව කියල තමයි ළඟ තියාගත්තෙ නේද?

ඔව්. අපි ඉතිහාසෙ ඉඳන් දැක්කනෙ මන්ත්‍රීවරුන් සල්ලිවලට ගන්න ට්‍රයි කළා. මම දේශපාලනයට ආපු කාලෙ ඉඳන්ම අල්ලස්වලට ගන්න හැදුවා. රාජ්‍ය නායකයො මහ ඇමැතිවරු මට අල්ලස් දෙන්න ආපු හැටි මා ගාව සේරම තියෙනවා.

දැන් ඔබත් එක්ක කතා කළ රාජ්‍ය සේවකයන්ට රස්සාව නැති වුණොත් කන්න බොන්න බලාගන්න රන්ජන් රාමනායක ඉදිරිපත් වෙනවද?

ඒගොල්ලො වරදක් කරල නැත්තම් රස්සාව නැතිවෙන්නෙ නෑනෙ. ඒගොල්ලො කතා කරල තියෙන්නෙ හරිම සාක්ෂි නියම තොරතුරු විතරයි. තමුන් කිව්ව දේ වගකීම ගන්න ඕනෙ. මොකද රාජ්‍ය සේවකයන්ට බොරු කියන්න බෑ.

ශානි අබේසේකර කියනවා තැනකදි සර් දුන්න කෝල් එක නිසා තමයි වැඩේ හරියන්නෙ නැත්තෙ කියල. ඊටපස්සෙ විනිසුරුවරියක් කියනවා මම මේ ජජ්මන්ට් එක දුන්නා මගේ උසස්වීම මොකක්හරි කරල දෙන්න කියල. ඒ මේ දේවලුත් එක්ක සැකයක් එනව නේද ඔබ අධිකරණ තීන්දුවලට බලපෑම් කළා කියල?

එහෙම වෙන්නෙ නෑනෙ. නඩුව තියන නිසා මම වැඩිය කතා කරන්න කැමති නෑ. ඔය කතා යද්දි පරීක්ෂණ කරලත් ඉවරයි. තීන්දු දීලත් ඉවරයි. ඒ නිසා මගෙන් කිසිම බලපෑමක් එල්ලවෙලා නෑ. හිතන්න ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් අනුමත කරපු නඩුවක් ඒ වගේම පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් අනුමත කරපු නඩුවක් රන්ජන් රාමනායකට වෙනස් කරන්න පුළුවන් නම් මම මාර මිනිහෙක්නෙ.

අපිටත් තියෙන්නෙ ඔය ප්‍රශ්නෙම තමයි. රන්ජන් රාමනායක එච්චර වැඩ්ඩෙක්ද කියල නීතිය භාර ලොක්කන්ට ප්‍රකාශ කරන්න තරම්. කොහොමද රන්ජන්ට එහෙම හයියක් ආවෙ?

මමත් අහන්නෙ ඒක තමා. මේක මහ හතර බීරි කතාවක්. මළසිරුරු හතරක් තියෙනවා. හිස් උණ්ඩ කොපු තියෙනවා. ගිය වාහන තියෙනවා. ලේ තියෙනවා. සීසීටීවී ෆුටේජ් තියෙනවා. ටී 56 තියෙනවා. ඇසින් දුටු සාක්ෂි තියෙනවා. මේ සියල්ල වෙනස් කරල රන්ජන් රාමනායකට තීන්දු දෙන්න පුළුවන් නම් මම විශ්වකර්මයෙක්නෙ.

හැබැයි මේ සිද්ධියත් එක්ක රන්ජන් රාමනායකට උසස්වීම් නම් දෙන්න පුළුවන් කියල සමහරු හිතන්න පුළුවන්?

මම උසස්වීම්වලට සුදුසු අය දේශපාලන පළිගැනීම්වලට ලක්වෙලා තියෙනවා නම් අදාළ අංශවලට යොමු කරල තියෙනවා. මට උසස්වීම් දෙන්න බෑ. ඒ අයට අසාධාරණයක් වෙලා තියෙනව නම් ජනාධිපතිතුමනි අගමැතිතුමනි මේ අයට අසාධාරණයක් වෙලා තියෙනව කියල කියල තියෙනවා.

ඔබයි හිටපු අගමැතිතුමයි තමාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කළා කියල මහින්දානන්ද මහත්තයා චෝදනා කරනවා. ඇත්තටම මොකක්ද වුණේ?

ඒක තනිකර විහිළුවක්. අනුකම්පාව දිනාගන්න ඒ ඇමැතිවරයා කරන රඟපෑමක්. මහින්දානන්ද මහත්මයයි මමයි හොඳ මිත්‍රයො. අපි දෙන්නා අතර කිසිම වාදභේදයක් තිබ්බෙ නෑ ඒ දවස්වල. මගේ හොඳ මිත්‍රයෙක්. දවසක් මම ගෙදර ඉන්නකොට ඔහුගෙම සහෝදරයා ආනන්ද අලුත්ගමගේ අපේ ගෙදර දුවගෙන ආවා. රන්ජන් මන්ත්‍රීතුමා මාදිවෙල නිවාස සංකීර්ණයේ කෙළවරම නීති විරෝධී ජිප් එකක් නතර කරල තියෙනවා කියල කිව්වා. නොම්මර පාට වෙනස් කරල තියෙනවා කියල කිව්වා. ඉතිහාසයක් තියෙනවා ඒකට. ඒක පාවිච්චි කළේ මේ මේ දේවල්වලට කියල කිව්වා. මාව ඇහැරගෙන එක්කන් ගියේ. මම ෆේස්බුක් එකේ ලයිව් දුන්නා. ඕක මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා පාර්ලිමේන්තුවෙ ඉඳන් බලාගෙන හිටියා. අන්තිමට මම පාර්ලිමේන්තු යනකොට කොරිඩෝ එකේදි රණ්ඩුවෙලා ගහගන්න තැනකට ආවා. මගෙ මවත් මතක් කළා. ඊටපස්සෙ නිර්නාමික දුරකතන ඇමැතුම් එන්න ගත්තා මරණවා කියල. මම පොලිසියට ගියා. මම ඉස්සෙල්ලම වෙපන් ට්‍රේනින් කළේ හිටපු මේජර් වැලිකලත් එක්ක. අර අපේ නිළියගෙ මහත්තයා. ඊටපස්සෙ තමයි මම ඔය කියන දවසෙ වෙපන් ට්‍රේනින් කළේ. එතනදි බැරිවෙලා තමයි තුවක්කුව පත්තු වුණේ. එහෙම කොහොමත් කාවවත් මරන්න වුවමනාවක් නෑ. මම එහෙම කෙනෙක් නෙමේ.

අපි දැක්කා සමාජ මාධ්‍යවල යනවා සමහර දේශපාලනඥවරියන් සහ සමහර ප්‍රභූ කාන්තාවො ළඟින් ඇසුරු කළා කියල. ඒවාවලත් හඩපට තියෙනවද?

අ.... හ්ම්...

ඇයි උත්තර දෙන්න බැරිද?

මම කියන්නෙ වංචා දූෂණ ගැන හොයද්දි මම විවිධ පාර්ශ්ව එක්ක කතා කරල තියෙනවා. ඒ සේරම ප්‍රතිලාභ ජනතාවට. වඩාත් ඵලදායී සේවාවක් ලබාදීම සඳහා ඒ දුරකතන සංවාද පටිගත වෙනවා කියල බැංකුවල දාල තියෙනව. දන්නවනෙ.

ඇයි එහෙනම් උසාවියට ගිහිල්ල හඩපට ටික අයින් කරගන්න උත්සාහ කළේ?

හතරවැනිදා තමයි මගේ ගෙදරට පොලිසියෙන් පැමිණියේ. මේ අද ඔබත් එක්ක කතා කරන මොහොතෙ තමයි සීඩී දෙකක් ගංගොඩවිල උසාවියට බාර දුන්නෙ. මගේ ලෝයර් කතා කරල කිව්වා. පහුගිය ටිකේම කොපි ගහල විකුණලා නාලිකාවලට. දැන් ගිහිල්ල උසාවියට දෙනවා. මට කමක් නෑ තව දාන්න. හැබැයි මම කියන්නෙ කෝටි ගණන්වලට විකුණන්න එපා නාලිකාවලට.

සමහර අය නම් කියන්නෙ ඔබ ගාව හිටිය කෙනෙක් තමයි මේව එළියට දැම්මෙ කියල?

ඒවගේ කතා නම් ගොඩක් තියෙනවා. සමහර අය මම දුන්නා කියලත් කියනවා. සමහර අය කියනව මේ රජය ටෙලිෆෝන් ටැප් කරනවා. ඒවාවලින් ගත්තා කියල කියනවා. සමහර අය කියනවා සර්වර් එකෙන් ඇද්දා කියලා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයව හිරේ දාන්න උත්සාහ කළා. දැන් ඔහු රටේ ජනාධිපති. බය හිතෙන්නෙ නැද්ද?

මම කවදාවත් වේදිකාවෙවත් බොරු චෝදනා කරල නෑ. මම කොයි වෙලාවකවත් අයිසින් දාල කතා කියන්නෙ නෑ. කාවත් විනෝද කරන්න ජොලි කතා කියනවා. මම හැමදාම කතා කළේ ෆ්‍රැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක්ක. ඒ නිසයි මම මෙහෙම ඉන්නෙ.

ඔබට බාහිරින් එනවා චෝදනාවක් අධිකරණයට අපහාස කළා කියල. ඔබ කියනවා මම කියන්නෙ ඇත්ත කියල. මේ කෝල් රෙකෝඩ්ස් ළඟ තිබෙන නිසාද ඔබ එහෙම කිව්වෙ?

අනිවාර්යෙන්ම. මා ළඟ තියෙනවා. සමහරු ඩ්‍රයිවර් එක්ක ගිහිල්ල අල්ලස් ගත්ත හැටි. ඒවා බොරු නෙමෙයි. මේ සියලු තොරතුරු මා ළඟ තියන් තමයි මම කතා කළේ. මේ මජර වුණු සිස්ටම් එක ඇතුළෙ උඩුගම් බලා පීනන විනිසුරුවරු ඉන්නවා.

දැන් ඔබ කියන්නෙ ඔබට කතා කළ විනිසුරුවරු ඒ වගෙ අයද?

මම තොරතුරු දුන්නු අයව ආරක්ෂා කරනවා. මට ගොඩක් අය කතා කරල තියෙනවා. ගොඩක් අය විස්තර දීලත් තියෙනවා. පෙට්‍රල් ෂෙඩ් තියෙන අය හැම්පර් හම්බවෙන අය ඉඩම් හම්බවෙන අය ගැනත් කියල තියෙනවා. ඔය කතා එන්න හේතුව තමයි විජේදාස රාජපක්ෂ මහත්තයට එරෙහිව ප්‍රශ්නෙ ආපු වෙලාවෙ මම කියපු දේවල්.

ඔබ සමහර සංවාදවලදි පක්ෂ නායකත්වයයි සජිත් ප්‍රේමදාස මහත්මයයි විවේචනය කරනවා? ඇයි එහෙම කළේ?

සමහර අය කතා කරද්දි ඒ පුද්ගලයා ඉන්නෙ කොතැනද කියල දැනගන්න මම එහෙම හැසිරෙනවා. යම් යම් උපක්‍රම පාවිච්චි කරනවා.

ඒ කියන්නෙ රන්ජන් රාමනායක හොඳට ඒ තැන්වලදි නළුකම පාවිච්චි කරනව?

ඔව්. මම සමහර අවස්ථාවල උපාය දූතයෙක් හැටියට වැඩ කරපු අවස්ථාත් තියෙනවා. ස්පාවලට ගියාම උපාය දූතයෙක්. ඒ තැන්වලට ගිහිල්ල තියෙනවා. අපේ මන්ත්‍රී ආසනයට එහා පැත්තෙ ස්පා එකක් තියෙනවා. අයිතිකාරයා කවුද කියල දැනගන්න මම ඒකට යනවා. 

ඔබට උපාය දූතයෙක් වෙන්න බෑනෙ. ඔබ රටම දන්න ජනප්‍රිය නළුවෙක්. දේශපාලනඥයෙක්.?

මම ඒ අයත් එක්ක මිත්‍රවෙලා නංගි මේකෙ අයිතිකාරයා කවුද කියල අහනවා. ආදායම් මාර්ග අහනවා. සමහර වෙලාවට ඕව අහන්නද මෙහෙ ආවෙ කියලත් අහනවා. 

මේ යන විදියට රන්ජන් රාමනායකට ආයෙ දේශපාලනය කරන්න හම්බවෙන්නෙ නෑ. පක්ෂය ඇතුළෙන්ම විරෝධයක් එනවා. මොකද ඊටපස්සෙ කරන්නෙ?

මම ඒ අයගෙන් අහනවා මම කළ අසත්‍ය චෝදනා මොනවද කියල. මට ඒවා පැහැදිලි කරන්න. මම මිනී මරලද? කුඩු ගෙන්නලද? ඒවා පැහැදිලි කරන්න. වස්තුව රැස් කරලද? කොමිස් ගහලද? එහෙම කියන්න. මොනවද තියෙන චෝදනා කියල මට පෙන්නන්න. චාජ් ෂීට් එකක් තියෙන්නත් එපායැ. චෝදනාත් එක්කම. පක්ෂය අමාරුවෙ වැටෙන විදිහට මම වැඩ කරල නෑ කොයි වෙලාවකවත්. 

ඔය පක්ෂයෙ අයගෙ තියෙනවද වොයිස් කට් එහෙම විශේෂයෙන් බැඳුම්කරයෙ වගේ?

අපි හිමිහිට බලමු. මා ගාව තවත් හොඳ වටිනා හඬපට තියෙනවා.

අන්දරේටත් තියෙනවා සද්දවිද්ද කියල වාසගමේ කොටසක්. ඔබටත් තියෙනව සද්දවිද්ද කියල වාසගමේ කොටසක්. දෙන්නගෙම වැඩ එක සමානයි කියලා සමහරැ කියනවා. නෑදෑකමක්වත් තියෙනවද?

අන්දරේ කියන්නෙ හොඳ එන්ටර්ටේනර් කෙනෙක්. ස්ථානෝචිත ප්‍රඥාව හොඳටම තිබ්බ කෙනෙක්. ඇන්ඩෘ කියන්නෙ හොඳ වැඩකාරයෙක්. ඕනම රජෙක් පවා මෙල්ල කරපු කෙනෙක්. 

ඔව් මමත් අහන්නෙ ඒක තමා. මේක හිනා යන වැඩක් වුණාට ඇතුළෙ තියෙන්නෙ බරපතළ කාරණාවක්. වෘත්තිකයන් රැසක් විනාශ වුණා. අන්දරේගෙ වැඩත් එහෙමයි. හිනා ගියාට පිටිපස්සෙ වෙන්නෙ ඊට වඩා බරපතළ දේවල්?

එයා රජතුමාගෙ කනෙන් පවා රිංගුව කෙනෙක්. රජතුමාට කරදර වුණු ගෙම්බෙක්ට ඒ සද්දෙට විද්ද නිසා තමයි සද්දවිද්ද කියන්නෙ. රාජපක්ෂ කියල තියෙනවා. ඒ කියන්නෙ රජයට පක්ෂයි. ඒ කියන්නෙ ජනතාවට පක්ෂයි. හැබැයි නෑදෑකමක් නම් තියෙනවද කියල මම නම් දන්නෙ නෑ.

අන්තිම ප්‍රශ්නෙ මේ අහන්නෙ. හිතෙන්නෙ නැද්ද රන්ජන් රාමනායකට කට නිසා කොයි වෙලාවෙ හරි නහින්න වෙනවා කියල. ඔබේ සුප්‍රකට කාලෝ ෆොන්සේකා මාමත් කිව්ව නේද කට බේරගන්න බෑනො කියල?

ඔය කිව්වට මාමත් එහෙම තමා. මාමා මට එහෙම කිව්වට කතරගම ගිහිල්ල ගිනි පාගපු අයට අභියෝග කරපු කෙනෙක්. ඔය විජය කුමාරතුංග මාමටයි කාලෝ මාමටයි කපුවො කට්ටියක් රත්මලානෙදි පිහියෙන් අනින්නත් ආවා. විජය කුමාරතුංග මාමත් එහෙමයි. එක එක එක්කෙනා විවේචනය කළා කියල ඔළුවට වෙඩි කන්න වුණා. මගේ පවුලෙ පරිසරයත් එක්ක මටත් කට හින්ද නහින්න වෙයි කියල හිතෙනවා. ඒක මම විශ්වාස කරනවා.

► ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00