2020 ජනවාරි 04 වන සෙනසුරාදා

පොහොට්ටුව එක්ක අපේ ගිවිසුම තාම වලංගුයි

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 117

► මහ ඡන්දයේදී එජාපෙන් අපට කිසිම තරගයක් නෑ
► තරුණයෝ වගේම ජ්‍යෙෂ්ඨයොත් පාර්ලිමේන්තුවට ඕනෑ
► වැරදි කරන කවුරුත් දඬුවම් විඳින්න ඕනෑ
► වෙනස්වීම් දරාගන්න තරම් අපට ඉවසීම තිබිය යුතුයි
► මෛත්‍රීපාල මහත්තයට විරුද්ධ වීමට අපට හේතුවක් නෑ
► ආර්ථික අවුල ලිහාගැනීම අවශ්‍යයි
► රටේ ඇතිවෙන වෙනසට අපි කැමතියි
► ජනාධිපතිතුමා නොදැන පත්වීම් කරන්න බෑ

මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නේ ආණ්ඩුව ඇතුළේ. මේ ආණ්ඩුව හදන්න කලින් ශ්‍රීලනිපය යම් ක්‍රියාශීලී තැනක තිබුණත් දැන් ඒ බව පේන්න නම් නෑ. ඇයි ඒ?

පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාම ක්‍රියාශීලීව පාක්ෂිකයොත් එක්ක වැඩ කරනවා. ඒ දේවල් ඉතාම පිළිවෙළට පක්ෂ අභ්‍යන්තරය ඇතුළේ සිද්ධ වෙනවා. ඔබලට නොපෙනුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හොඳ ක්‍රියාශීලී පක්ෂයක්.

ඔබලා කිව්වෙ නම් මැතිවරණයෙන් පස්සේ පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා, අලුත් ගමනක් ආරම්භ කරනවා, දේශපාලනමය වශයෙන් විශාල තීන්දු තීරණ රැසක් ගන්නවා කියලා. ඒත් ඒවා වෙන පාටක් නෑනේ.

ඒ කිසිම දෙයක් කල් ගිහින් නෑ. අපේ සංවිධායකයන් හරහා ඒ දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒ හැමදේම මාධ්‍යයේ පළනොවුණට සිදුවිය යුතු ප්‍රතිසංවිධාන කටයුතු පක්ෂය තුළ සිදුවෙමින් පවතිනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹෙන මහ මැතිවරණයේදී පොහොට්ටුවත් එක්ක සන්ධානගත වෙලා අලුත් ලාංඡනයකින් අලුත් සන්ධානෙකින් තරගයට එනවා කිව්වා. දැන් මොකද්ද ඒ සාකච්ඡාවට වෙලා තියෙන්නේ?

අපි ඉදිරියටත් ඡන්දය ඉල්ලන්නේ පුළුල් සන්ධානෙකිත් තමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහාය දක්වන්න තීරණය කළා වගේ අපි මහ මැතිවරණෙදිත් එකට එකතු වෙලා පුළුල් සන්ධානයකින් තරග කරනවා.

ශ්‍රීලනිපයේ පිරිසක් කියනවා ඊළඟ මහ මැතිවරණය අලුත් ලකුණකින් අලුත් සන්ධානෙකින් එන්නෙ කියලා. තව කට්ටියක් කියනවා පොහොට්ටුවෙම තරග කරන්න කියලා. මේ වගේ බෙදුණු තීන්දුවක් එක්ක කොහොමද ශ්‍රීලනිපය අවසන් තීන්දුවක් ගන්නේ?

ඒ සම්බන්ධයෙන් තවම අපි අවසන් තීන්දුවට ඇවිත් නැහැ. ඔබ දකින්න ඇති ගෝඨාභය රාජපක්ෂ මහත්මයත් එක්ක පක්ෂ 17ක් පමණ සන්ධානගත වෙනවා. ඒ සන්ධානගත වුණේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය එකම සන්ධානෙකින් තරග කරනවා කියලා. ඒ නිසා ඉදිරියේදී පක්ෂ නායකයොත් එක්ක සාකච්ඡා කරලා මහ මැතිවරණය මොන ආකාරයෙන්ද තරග කරන්නේ කියලා අවසන් තීන්දුවකට එනවා.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ගත්තොත් පක්ෂ ගණනාවක් තියෙනවා. ඔබ කියන්න ඔබේ පක්ෂෙ නායකයාගේ තීරණය මොකද්ද කියලා.

අපේ පැත්තෙන් විශේෂ මතයක් එහෙම දරන්නේ නෑ. මොකද අපේ පැත්තෙන් ඉදිරි මහ මැතිවරණය පුළුල් සන්ධානෙකින් තරග කරන්න අවශ්‍ය කරන ගිවිසුමකින් බැඳිලා තියෙනවා. ඒ නිසා අපි පමණක් නෙවෙයි අපේ නායකතුමා ඉන්නෙත් අපේ මතේමයි. අපි විතරක් නෙවෙයි අනිත් සියලු පක්ෂත් ඉන්නේ ඒ මතේමයි.

ජනතාවත් සමඟ දේශපාලනය කරන ඔබට ලක්ෂ 69ක් ලබාගත්ත පොහොට්ටු ලකුණට වඩා වෙන ලාංඡනයක් වෙන සන්ධානයක් සුදුසුයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද?

අපි ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි එකඟතාවයකට පත්වුණා ජනාධිපතිවරණයේදී ඉදිරි මහ මැතිවරණ සඳහා වෙනත් පුළුල් සන්ධානයකින් සහ වෙනත් සලකුණකින් තරග වදින්න. ඒ නිසා ඒ ගැන අවසන් තීන්දුවකට එන්න වෙන්නේ ඉදිරියේදී සියලු දෙනා එකතු වෙලා සාකච්ඡා කරලා.

ඔබලා අලුත් සන්ධානයක් ඉල්ලුවට පොහොට්ටුවේ අය එහෙම සන්ධානයක් අවශ්‍ය නොවන බවට දැඩි තීන්දුවක හිටියොත් ශ්‍රීලනිපය මොකද්ද එදාට ගන්න තීරණය?

එහෙම දෙයක් ගැන හිතන්න වෙන්නේ එහෙම දෙයක් වෙච්ච දවසක විතරයි. ඒ නිසා ඊට කලින් හිතලා වැඩක් නෑ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමන්ගේ දේශපාලන ජීවිතය නැවත අලුත් කරන්න හදනවා. ඒ ගැන පක්ෂ අභ්‍යන්තරය තුළ සාධනීය ප්‍රතිචාරයක් තියෙනවද?

අපිට එහෙම ඒ ගැන සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. එතුමා පොළොන්නරුවෙන් එනවා කියලා තියෙනවා. ඒ නිසා අපිට ඒකට විරුද්ධ වෙන්නවත් ඒ ගැන සාකච්ඡා කරන්නවත් අවශ්‍ය නෑ. ඒක එතුමාගේ දේශපාලන අයිතිය.

ඔබලා හිතනවද පොහොට්ටුව යම් ආකාරයකින් නැතිවුණොත් ශ්‍රීලනිපයට තනි ගමනක් යන්න ඡන්ද ප්‍රමාණයක් තියෙනවා කියලා?

ශ්‍රීලනිපයට තිබෙන ඡන්ද ප්‍රමාණය කොච්චරද කියලා පසුගිය ජනාධිපතිවරණයේදී රටම දැනගත්තා. මොකද ලක්ෂ 50ක් ලක්ෂ 69 වෙන්නේ ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති කාරණත් එක්ක. ඒ නිසා අපේ ඡන්ද ප්‍රමාණය අපිට තාම තියෙනවා. ඒත් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ගෝඨාභය ජනාධිපතිවරයා සම්බන්ධයෙන් රටේ තිබ්බ විශ්වාසය 2/3කින් ශක්තිමත් කරලා එතුමට අවශ්‍ය ශක්තිය දෙන්න.

ඔබලා ජනාධිපතිවරණයේදී ගිවිසුම්ගත වුණේ ජනාධිපතිවරයා එක්කද, නැත්නම් පක්ෂයක් වශයෙන්ද?

අපි ජනාධිපතිවරණයකදී ජනාධිපතිවරයා සමඟ ගිවිසුම්ගත වෙලා තියෙනවා. ඒ වගේම පක්ෂයක් වශයෙනුත් ගිවිසුම්ගත වෙලා තියෙනවා.

ඔබලා ජනාධිපතිවරයාත් සමඟ හරි, පක්ෂයක් සමඟ හරි ගිවිසුම්ගත වුණේ බලාපොරොත්තුවක් මතනේ. ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙනවද?

පැහැදිලිවම ඉෂ්ට වෙලා තියෙනවා.

ඔබලා ගිවිසුම්ගත වුණ කාරණා එක්ක සාර්ථක වුණ කාරණා මොනවද?

එහෙම නොම්මර වශයෙන් කියන්න බෑ. හැබැයි රටක් හැටියට මේ රට අද ඉදිරියට යන්නේ ඒ වෙනසත් එක්ක. ඒ රට ඉදිරියට යන්නනම් තීන්දු තීරණ ගත යුතුයි. මේ කාරණා තමයි අපි පක්ෂයක් හැටියට බලාපොරොත්තු වුණේ. කියන්න සතුටුයි ඒ කාරණා එකින් එක ඉෂ්ට වෙමින් යනවා.

ජනාධිපතිවරයා ආදර්ශමත් වුණාට සමහර අමාත්‍යවරුන්ට මේ වෙනස දරාගන්න බෑ කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙන දේවල් එක්ක පේනවා. ඔබ හිතන්නේ මොකද්ද එහෙම වෙන්න හේතුව?

දේශපාලනික වශයෙන් රටේ බහුතර ජනතාවගේ යම් බලාපොරොත්තුවක් තිබ්බනම් ඒ බලාපොරොත්තුව වෙනුවෙන් අපි පෙනී ඉන්න ඕන. ඒකට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා මේ වෙනස්වීම තිබුණොත් අපි දේශපාලනඥයෝ හැටියට අපි ඉවසගෙන ඉන්න ඕන. අපි දැන් පුරුදු වෙන්න ඕන රටේ ජනතාවගේ බලාපොරොත්තුවේ හැටියට ජීවත් වෙන්න.

පසුගිය කාලයේ සිදුකරපු සමහර පත්වීම් ජනාධිපතිවරයා අතින් මාරු වුණා. එහෙම වුණේ ඒ පත්වීම් ජනාධිපතිවරයාට නොදැනීම සිදුකරපුවා නිසාද?

මම දැනුවත්ව නම් ජනාධිපතිවරයාට නොදැනිම එහෙම පත්වීම් සිදුවෙන්න බෑ.

එහෙනම් ඇයි ඒ පත්වීම් ජනාධිපති නවත්වන්නේ?

ඒ ගැනනම් අහන්න ඕන ජනාධිපති ලේකම්ගෙන්. අපි නම් ජනාධිපතිවරයාගේ දැනුවත්කම මතයි පත්වීම් සිදුකරන්නේ. එහෙම වෙනවනම් ඒ කරන අමාත්‍යංශයෙන් තමයි අහන්න වෙන්නේ. හැබැයි මම දන්න තරමින් එහෙම නෑ.

දේශපාලනඥයෙක් වුණාම තමන්ගේ අයට රස්සාවක් දෙන්න, හිතවතෙකුට උදව් කරන්න පුළුවන් කියලා යම් මට්ටමේ සංස්කෘතියක් පසුගිය කාලේ තිබුණා. ඒත් දැන් එහෙම දෙන්න විදිහක් නෑ. දැන් අනාගතේ දේශපාලනේ කරලා ඉවරද?

මම කියන්නේ ඔය කියන සිතුවිල්ලම නිසා තමයි අපි තවමත් මෙතැන ඉන්නේ. රටක් විදිහට හිතන්න ඕන කියන කාරණය තමයි රටේදි ජනතාව අතර තියෙන්නේ. අපි කොච්චර උදව් කරනවද අසාධාරණයට ලක්වෙච්ච අයට කොහොමද උදව් කරන්නේ කියලා. හැබැයි මගේ මතය තියෙන්නේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න ඕන.

ඔබ තරුණ දේශපාලනඥයෙක් හැටියට නැවත පාර්ලිමේන්තු එන්න කැමති තමන්ට රස්සාවක්වත් දෙන්න බැරැව නැවත අනාගතේ දේශපාලනය කරන්න පුළුවන් වෙයි කියලා හිතනවද?

මමනම් කැමතියි මේ වෙනසට. අපි දැකලා තියෙනවා ලෝකෙ දේශපාලනේ කරන හැටි. ඒ දේශපාලන සංස්කෘතීන් දැකලා තියෙනවා. පසුගිය කාලේ සිද්ධවෙච්ච විදිහට මමනම් පොඩ්ඩක්වත් කැමති නෑ. මම කැමතියි මේ අලුත් වෙනසට. මේකෙන් තරුණ දේශපාලනඥයන් විදිහට අපිට කිසිම අසාධාරණයක් වෙන්නෙ නෑ. වැඩිහිටියන් එන්න එන්න අඩු වෙනවා. කොහොමත් ඉදිරි අනාගතයේ රට බාරගන්න ඉන්නේ තරුණයෝ. ඒ තරුණ ළමයින්ගේ බලාපොරොත්තුව මේක. හොඳම උදාහරණය කිසිම දේශපාලනයක් නැතුව තමයි අර තරුණයෝ එකතු වෙලා තැන් තැන්වල චිත්‍ර ඇන්දේ. වැඩිහිටියන්ගේ දේශපාලනය ඒගොල්ලන්ට වැදගත් වුණේ නෑ. ඒක ඒ වෙනස සමහර වැඩිහිටියන්ට දරාගන්න බැරිවෙයි. හැබැයි තරුණයෝ හැටියට අපි ඒකට කැමතියි.

සමාජයේ කතාවක් හැදිලා තියෙනවා ඊළඟ පාර්ලිමේන්තුව උගත් බුද්ධිමත් තරුණයන්ගෙන් පුරවන්න ඕන කියලා. ඇත්තටම ඒ අයගෙන් රටක් පාලනය කරන්න පුළුවන්ද?

මේ සියලු දෙනාගේම එකමුතුවක් පාර්ලිමේන්තුවේ තියෙන්න ඕන. තරුණ ජ්‍යෙෂ්ඨ උගත් බුද්ධිමත් හැමෝම ඉන්න ඕන.

අපි දැක්කා ඇතැම් ස්වාමීන් වහන්සේලා මාධ්‍ය සාකච්ඡා තියලා චෝදනා කරනවා දේශපාලන යාළු මිත්‍රකම්වලට ආණ්ඩුවෙන් ඩීල් දානවා කියලා. ඔබත් ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ආණ්ඩුව ඇතුළේ එහෙම දේශපාලන ඩීල් වෙනවද?

ඉතිහාසෙනම් එහෙම වෙලා තියෙනවා. වර්තමානයේ එහෙම දේවල් වෙනවද කියලනම් මම තාම දන්නෙ නෑ. හැබැයි එහෙම දෙයක් වෙනවනම් ඒක වැරදියි. මේ රටේ ජනතාව හැමෝම බලාපොරොත්තු වෙන්නේ නීතිය එක සමානව සිදුවෙනවට. හිතවත්කම් නෙවෙයි නීතියේ සාධාරණත්වය හැමෝටම තියෙන්න ඕන. කවුරුහරි කෙනෙක් නීතියෙන් සහයක්, යාළුකමක් පෙන්නන්න හදනවනම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්.

ආණ්ඩුව දැඩි මූල්‍ය අර්බුදයක ඉන්නවා කියලා ඇමැතිවරුම කියනවා. ඇත්තටම එහෙම ලොකු මූල්‍ය අර්බුදයකද ආණ්ඩුව ඉන්නේ?

ආණ්ඩුවක් වශයෙන් අපි යම් මූල්‍ය අර්බුදයක ඉන්නවා. ඒ විශාල වශයෙන් පසුගිය කාලයේ ලබාගත්ත ණය නිසා ඒවා ගෙවන්න සිදුවීමත් එක්ක. හැබැයි අපි මේ ආර්ථික අවුල ලිහාගත යුතුයි. හැබැයි අපි විතරක් නෙවෙයි මේ ආර්ථික අර්බුදය ජනතාව පවා දැනගෙන ඊට සහයෝගය ලබාදිය යුතුයි.

ජනාධිපතිවරයා වෙළෙඳපොළට ගිහිල්ලා ගණන් හිලව් අහලා ඒ දේවල්වලට යම් සැලසුම් ක්‍රියාත්මක කරන්න නිලධාරීන්ට උපදෙස් දෙනවා අපි දැක්කා. හැබැයි ඒ දේවල් තාම ජනතාවට ලැබිලා නෑ. ඇයි ඒ?

හාල් මිල පාලනය කරන්න පුළුවන් වුණත් එළවළු මිල පාලනය කරන්න බෑ. මොකද මාධ්‍ය මගින් මේ ගැන වෙනස් අර්ථකථන දෙනවා. එළවළු මිල පාලනය වෙන්නේ මොන ආණ්ඩුවක් තිබ්බත් ඉල්ලුම සහ සැපයුම අනුව. ඒ වගේම වර්ෂාපතනය සහ නියඟයත් බලපානවා. ඒ නිසා ඒ දේවල් නිවැරදි කළමනාකරණයත් එක්ක ඉදිරියේදී ඒ දේවල් හදාගන්න පුළුවන්.

එජාපය මේ වෙනකොට පුළුල් සන්ධානයක් හදලා සජිත් ප්‍රේමදාස මහත්මයා සමගින් මහ මැතිවරණය ජයග්‍රහණය කරන්න සැලසුම් ක්‍රියාත්මක කරනවා. එජාපය ඇත්තටම ආණ්ඩුවට අභියෝගයක් වෙයි නේද?

කිසිම අභියෝගයක් නෑ. උදාහරණයක් හැටියට ගත්තොත් අනුරාධපුරයෙන් එන්නේ අපෙන් පහකුත් එහෙන් තුනකුත් වශයෙන්. හැබැයි මේ පාර අපෙන් හතයි එහෙන් දෙකයි වශයෙන් තමයි එන්නේ. ඒ නිසා එජාපය තුළ කවුරු හිටියත් අපිට බාධාවක් වෙන්නෙ නෑ.

ඔවුන් කරන චෝදනාවක් තමයි ආණ්ඩුව දේශපාලන දඩයමක නිරත වෙලා ඉන්නවා කියලා. ඇත්තටම ආණ්ඩුව එහෙම තැනකද ඉන්නේ?

මම විශ්වාස කරන්නෙ නෑ මේවා දේශපාලන පළිගැනීම් කියලා. පාඨලී චම්පික ද, රාජිත සේනාරත්න ද නෙවෙයි වැදගත්. අපි කවුරුහරි වැරැද්දක් කරලා තියෙනවනම් දඬුවම් විඳිය යුතුයි. ඒ වගේම ඒ අය නිවැරදිකරුවන්නම් ඒ දේත් ඔවුන්ට ලැබිය යුතුයි. ඒ නිසා මම හිතන්නෙ නෑ මේවා දේශපාලන පළිගැනීම් කියලා. මේ සියලු කාරණා සාමාන්‍යයෙන් රටේ මිනිස්සු එළිපිට දැකපුවා.

අපි දැක්කා මාධ්‍යවල ගාළු මුවදොර පිහිටි තවත් ඉඩමක් රජයෙන් සිංගප්පූරැවට වික්කා කියලා. ඒක ඇත්තක්ද?
මම දන්න තරමින් එහෙම දෙයක් නෑ. අනික දැන් තියෙන නීතිය අනුව එහෙම විකුණන්නත් බෑ.

ගයාන් ගාල්ලගේ