2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

ජාතීන් වශයෙන් බෙදීම නැවැත්විය යුතුයි

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 104

බේරගන්න තරම් කඩා වැටීමක් ශ්‍රීලනිපයේ නැහැ
දූෂණ-වංචා නවත්වන ක්‍රමයක් හදන්න ඕනෑ
විනය ක්‍රියාමාර්ග ගත්තට කාවවත් අස්කරන්නෙ නෑ
දේශපාලන පලිගැනීම් නැවත නොවේවි
ජනාධිපතිතුමා සමඟ අපේ අවබෝධය හුඟක් ඉහළයි
රාජ්‍ය ඇමැතිලා දාපු ක්‍රමය හොඳයි
ආණ්ඩුව යන්නේ ඔක්කොම එකතුවෙලා යන ගමනක්

- තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

ඔබලා සියලුදෙනා එකතුවෙලා විශාල වෙහෙසක් දරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත් කළා. මේ ජයග්‍රහණය ඔබලා දකින්නේ කොහොමද?
අපි මේක බලාපොරොත්තු වුණු ජයග්‍රහණයක්. අපි එකතුවීම මත ජයග්‍රහණය මිසක් පරාජයක් බලාපොරොත්තු වුණේ නැහැ. අපි ඉතාමත් සතුටු වෙනවා. හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතුවීමත් එක්ක මේ අති විශාල ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වුණා. 
ඔබලාට හිතෙන්නේ නැද්ද මේ ජයග්‍රහණය සඳහා මුල ඉඳන්ම මල් වට්ටියට අතගැසුවා නම් හොඳයි කියලා?
මේ ජයග්‍රහණය අපට හොඳ ජයග්‍රහණයක්. ඊට වඩා ලොකු දෙයක් මම හිතන්නේ නැහැ. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවත් එක්ක එකතු වුණේ යම් යම් එකඟතාවන් මත කියලා අපිට පහුගිය කාලේ අහන්න ලැබුණා. ඒ පොරොන්දු ඉෂ්ට කරගන්න දැන් අරමුණක් තියෙනවාද?
නැහැ. විශේෂ අරමුණක් නැහැ. අපි එතුමාත් එක්ක බොහොම අවබෝධයෙන් වැඩ කරනවා. එතුමාගේ වැඩපිළිවෙළ අපේ අරමුණු සමඟ සැසඳෙනවා. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් මේ වෙනකොට පක්ෂය හැර ගිහිල්ලා තිබෙනවා. තව පිරිසක් පක්ෂය බේරාගන්න එළියට ඇවිල්ලා තියෙනවා. දැන් මේ බිඳීම නැවත එක්කරන්න වැඩපිළිවෙළක් නැද්ද?
එහෙම කිසිම අඩුවක් වෙලා නැහැ. අපි බොහොම අවබෝධයෙන් තමයි ජනාධිපතිවරණයේදී වැඩකටයුතු කළේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනවීමේ අරමුණක් තිබුණා. ඒක අපි ජයග්‍රහණය කළා. ඒ වගේම අපේ ආණ්ඩුවක් දැන් තියෙන්නේ. අපි දැන් දුන්න පොරොන්දු ඉෂ්ට කරගන්න වැඩකටයුතු කරමින් යන්නේ. ඒකෙදි පක්ෂෙ ගොඩනගන්න, පොදුජන පෙරමුණද විමල් වීරවංශද වාසුදේව නානායක්කාරද වගේ ප්‍රශ්න නෙමෙයි අපිට දැන් තිබෙන්නේ. අපට තිබෙන්නේ මේ රට ඉදිරියට රුගෙන යන්න. ඒ සඳහායි අපි දැන් වැඩකටයුතු කරමින් යන්නේ.
නෑ මම අහන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහොමද නැවත ගොඩනැගිලා මේ ගමන යන්න බලාපොරොත්තු වෙන්නේ?
අනෙකුත් පක්ෂ වගේම අපිත් දේශපාලන කටයුතු කරගෙන යනවා. 
ඉදිරියේදී එන්නේ බොහෝ විට මහ මැතිවරණයක්. ඒකෙදි බොහෝ අරමුණු තිබෙනවා එක එක පක්ෂවල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොහොමද ඒ මහ මැතිවරණය සඳහා සූදානම් වෙන්නේ?
ඔබ දකින්න ඇති පක්ෂ සහ සංවිධාන රාශියක් එක්ක අලුත් ජනාධිපති ගිවිසුම් අත්සන් කළා. දැන් තියෙන්නේ ඒ කණ්ඩායමත් එක්ක ආණ්ඩුව පිහිටුවලා යන ගමනක්. අපි ඉදිරියේදී බලමු කුමක්ද කරන්නේ කියලා. කොහොම වුණත් අපි එක්ව ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. 
තවමත් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. එතුමා සමඟ කොහොමද පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩකටයුතු කෙරෙන්නේ?
අපි මීට දවස් දෙකකට කළින් එතුමාව ගිහිල්ලා හමුවුණා. එතුමා කෙළින්ම මේ අවස්ථාවේදී පැහැදිලි කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබාදෙමින් ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යන බව. එතුමා විශේෂයෙන්ම කිව්වා ක්‍රියාකාරීව තම දේශපාලන සහයෝගය ලබාදෙනවා කියලා. 
නැවතත් ඔබෙන් අහන්නේ ශ්‍රීලනිපය හැරගිය අය නැවත එක්කර ගැනීමට පක්ෂයට අදහසක් නැද්ද?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දොර වහලා නැහැ. අපි ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා. දේශපාලන පක්ෂයක් විදිහට විවිධ කාලවලදී විවිධ ප්‍රශ්න ඇතිවෙලා වෙන්වෙන්න පුළුවන්. අපි ඒ අයට ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සමඟ එක්ව යන්න කැමැති අයට නැවත එකතු වෙන්න කියලා. අපි කිසිම බාධාවක් දාලා නැහැ. ඕනෑම වෙලාවක නැවත එන්න පුළුවන්. 
පිරිසක් හැදිලා ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීම සඳහා. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාට හරි නතුවෙලාද මෙලෙස බේරාගන්න පිරිස ඉන්නේ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා වැටීමක් හෝ බේරාගැනීමක් හෝ කාට හරි නතුවෙලා හෝ නැහැ. ඔය බේරාගන්න වැඩවලට පක්ෂයේ නිලධාරීන් හැටියට අපි සහභාගී නොවුණේ ඒකයි. නමුත් දේශපාලනයේදී එක් එක් සිදුවීම් එක් එක් අයට එක් එක් විදිහට පෙනෙන්න පුළුවන්. එහෙම නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා වැටීමක් හෝ ගරා වැටීමක් සිදුවෙලා නැහැ. 
දයාසිරි ජයසේකර පක්ෂ මහලේකම්තුමා කිව්වා මැතිවරණයේදී පක්ෂය ගත්ත තීන්දුවට පිටින් වැඩකළ අයට විරැද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. හැබැයි ඔය කතාව හැමදාම කියනවා. ක්‍රියාමාර්ග ගත්තු දවසක් නැහැ?
අපි ඒ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ෆවුසි අමාත්‍යවරයා ඇතුළු අපිත් එක්ක හිටපු ගොඩක් දෙනෙකුට විනය ක්‍රියාමාර්ග අපි ගත්තා. ඒ වගේම ප්‍රාදේශීය මට්ටමෙන් විනය කඩකරපු අයටත් විරැද්ධව අරන් තිබෙනවා. ඔබලා බලාපොරොත්තු වෙන්නේ විනය ක්‍රියාමාර්ග කියලා පක්ෂයෙන් ඉවත් කිරීම නම් එවැනි දෙයක් සිදුවෙන්නේ නැහැ. දේශපාලනයේදී අපි තීන්දු තීරණ ගන්නේ අනාගතය ගැන බලලා කරලා. එහෙම නැතුව ඔබලාගේ ඔළුවේ තිබෙන අස් කිරීම හෝ ඉවත් කිරීම අපේ ඔළුවේ තියාගෙන විනය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. 
අපි දැක්කා ෆවුසි මන්ත්‍රීතුමා කියලා තිබුණා ඔහුට විනය ක්‍රියාමාර්ග අරගෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා ඇතුළට එන්නයි හදන්නේ කියලා. ඇත්තද ඒ කතාව?
එහෙම කිසිම අරමුණක් නැහැ. මැතිවරණයට කළින් ඉඳලයි කිහිප දෙනෙකුට විරැද්ධව අපි විනය ක්‍රියාමාර්ග ගත්තේ. 
බොහෝ දෙනා කතාවෙන දෙයක් තමයි මෛත්‍රීපාල මහත්තයා ජාතික ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට එන්න හදනවා කියන කතාව. ඇත්තටම එහෙම අරමුණක් තිබෙනවාද?
හිටපු ජනාධිපතිතුමා එහෙම අදහසක් අපිට කියලා නැහැ. ඒක නිසා ඒ ගැන අපි කියන්න දන්නේ නැහැ. 
බොහෝ දෙනෙක් කිව්ව කතාවක් තමයි අමාත්‍ය මණ්ඩලය අඩු කරන්න කිව්ව කතාව. ඇත්තටම ඒක අඩු කළා. හැබැයි රාජ්‍ය ඇමැතිවරැ විශාල පිරිසක් ඉන්නවා. ඔය ලබාදුන්නේ පිරිස සතුටු කරන්නද?
ඇත්තටම කැබිනට් මණ්ඩලයේ මේ පාර ඉන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. රාජ්‍ය ඇමැතිවරැ පිරිසක් ඉන්නවා කියලා අපි පිළිගන්නවා. හැබැයි ජනාධිපතිතුමා මතකද කිව්වා මේ රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමේදී අපිට ඇහුණු නම් හුරැපුරැදු නම් නෙමෙයි. එතුමා කිව්වා රටේ ඇවිදිද්දී ඇහුණ කිව්ව දේවල් එක්ක තෝරා බේරාගෙනයි මේ රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදුන්නේ කියලා. වෙනදා කැබිනට් මණ්ඩලය විශාල වුණාට රටේ ප්‍රශ්න එහෙමම තිබුණා. හැබැයි මේ පාර කැබිනට් මණ්ඩලය අඩු කරලා රටේ ප්‍රශ්න විසඳන්න රාජ්‍ය අමාත්‍යවරැන්ව යොදාගෙන තිබෙනවා. වෙනදා කැබිනට් මණ්ඩලයට දරපු මුදල්වලින් මේ ප්‍රශ්න විසඳුවා නම් අද මේ ප්‍රශ්න නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න තේරැම් අරගෙන මේ ප්‍රශ්නයට රාජ්‍ය අමාත්‍යවරැ පත් කිරීම තුළ අපිට විශ්වාසයක් තිබෙනවා මෙන්න මේ ප්‍රශ්න ඉදිරියේදී අපිට ඉවරකරගන්න පුළුවන් කියලා.
අපි දැකලා තිබෙනවා ඉතිහාසයේ රාජ්‍ය අමාත්‍යවරැ නියෝජ්‍ය අමාත්‍යවරැ ඉන්නේ පුටු රත් කරන්න විතරයි කියලා. මේ තනතුරැත් ඒ වගේ වෙයිද දන්නේ නෑ?
ඒක ඉදිරියේදී ඔබලාට බලාගන්න පුළුවන්. ඉතිහාසයේ ඒ සම්බන්ධයෙන් නරක අදහසක් තියෙනවා. ඒ නිසා අපිට ඉදිරියේදී තමයි මේක සාර්ථක අසාර්ථක බව මනින්න පුළුවන් වෙන්නේ. දැන්ම කියන්න බැහැ.
රාජ්‍ය ඇමැතිවරැ විශාල පිරිසක් ඉන්න නිසා ඔවුන්ට විශාල පිරිවැයක් දරන්න වෙයි කියලයි සමාජයේ කතාවෙන්නේ. එහෙත් ජනාධිපතිවරයා යම් සීමා වගයක් දාලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. එවැනි මොනවාහරි සීමා දාලා තිබෙනවාද?
අපි දිවුරැම් දීලා පොඩි කාලයයිනේ. ජනාධිපතිතුමා ඉන්දීය සංචාරය නිමකරලා ආවාට පස්සේ එතුමා අපිත් එක්ක සාකච්ඡා කරලා අපිට අවශ්‍ය කරන උපදෙස් ලබාදෙයි කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. එහෙම නැතිනම් රටේ නීතිය අනුව රාජ්‍ය අමාත්‍යවරයකුට හිමි වරප්‍රසාද තියෙනවා. එතුමා කළ එකම ඉල්ලීම තමයි එතුමා ලබාදුන් පොරොන්දු ඉදිරි මාසය කිහිපය තුළදී ඉටු කරන්න පූර්ණව වැඩකටයුතු කරන්න කියලා. ඒ වගේම එතුමා කිව්වා මේ තනතුරැ ලබාදුන්නේ මැතිවරණයට වැඩකරපු නිසා සිදුකරන විශේෂ සැලකිල්ලක් හැටියට නෙමෙයි කියලා. රටේ තිබෙන ප්‍රශ්න විසඳලා රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ජනතාව දුන් අවස්ථාවක් හැටියටයි මේක සලකන්නේ කියලා කිව්වා. 
දේශපාලනඥයෝ කැමැතියි තමන්ට හිතවත් පිරිස් තමන්ගේ ආයතනවල යොදන්න. ඒත් ජනාධිපතිවරයා කමිටුවක් පත්කරලා තිබෙනවා මේ පාර ඒ තෝරාගන්න අය පරීක්ෂා කරන්න. ඔබ හිතන්නේ මේකෙන් දේශපාලනයට යම් බලපෑමක් නැද්ද?
රට පැත්තෙන් ගත්තොත් ඉතාම හොඳ ක්‍රියාවක්. ඒ වගේම අපි දකිනවා නිලධාරීන් හැටියට පත්වෙන අය කොච්චර දැනුම තිබුණත් ප්‍රායෝගිකව වැඩකරන්න ඕනෑකම. ඒ නිසා මේ දෙකම බැලන්ස් කරගෙන යන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. රටක් හැටියට ගත්තාම මේක ඉතාමත් හොඳ ක්‍රියාවක් හැටියට අපි දකිනවා. 
තනතුරැ විතරක් නෙමෙයි දේශපාලනඥයොනුත් මෙවැනි තෝරාපත් කරගැනීමකට යටත් කළොත් හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද?
මේ වෙනස් වෙන දේශපාලන සංස්කෘතියත් එක්ක ඉදිරියේදී ජනතාව තීන්දු කරයි ගන්න ඕන දේශපාලන තීන්දුව මොකක්ද කියලා. එහෙනම් පක්ෂවලට තීන්දු ගන්න වෙනවා ඒ සඳහා සුදුසු අය නම් කරන්න. යම් විදිහකින් පසුගිය කාලයේ දේශපාලනඥයාට යම් විරෝධතාවයක් තිබුණා නම් ඒ හරහා නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගෙයි. 
දුමින්ද දිසානායක කියන්නේ බරපතළ තීන්දු ගත්ත මනුස්සයෙක්. ඒත් මේ පාර ගෝඨාභය රාජපක්ෂට උදව් කරන්න තීන්දු කළා. මොකක්ද ගෝඨාභය රාජපක්ෂට උදව් කරන්න දුමින්දට ඇතිවෙච්චි කැමැත්ත?
එතුමා ගැන පැහැදිලි විශ්වාසයක් අපිට තිබුණා. අපි මේ දේශපාලන ව්‍යාපාරය පටන් ගන්න කලින් එතුමාත් එක්ක සාකච්ඡා කළා. එතැනදී ඇතිවුණු විශ්වාසයත් එක්ක තමයි මේ ගමන පටන් ගත්තේ. එතුමා බලයට පැමිණියායින් පස්සේ මේ රට පාලනය කරන හැටි සහ එතුමා හැසිරෙන විදිහෙන් පේනවා අපිට කිව්ව දේත් ප්‍රායෝගිකව සිදුවෙනවා කියලා.
පසුගිය ආණ්ඩුවේ යම් යම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. ඔබ හිතන්නේ නැද්ද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ යුතුයි කියා?
මම යහපාලන ආණ්ඩුවේ ඉන්න කාලේ නම් කිව්ව දෙයක් තමයි පසුගිය ආණ්ඩුවේ දූෂණ වංචා හොයනවාට වඩා ඉදිරියේදී දූෂණ වංචා ඇති නොවන්න ක්‍රමවේදයක් සැකසිය යුතුයි කියන කාරණය. ඒ වගේම මේ දේවල් සිදුකරන අයට දඬුවම් ලබාදෙන ක්‍රමවේදයකුත් හදන්න ඕන. මම කිව්වේ මට වුණත් මම වැරදිනම් නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි. ඔබට මතක ඇති මට එක්තරා චෝදනාවක් එල්ලවුණු අවස්ථාවක මම ගිහිල්ලා අදාළ පරීක්ෂණ කණ්ඩායමට ප්‍රකාශ ලබාදුන්නා. ඒ නිසා මම කියන්නේ ප්‍රථමයෙන් කරන්න ඕන දූෂණ වංචා සදාකාලිකව නතර කරන්න ක්‍රමවේදයක් හදන එක. ඊට පස්සේ ඕනම ආණ්ඩුවක් ගැන පරීක්ෂණ කළාට කමක් නැහැ. එක රටක් තුළ එක නීතියක් තියෙන්න ඕන. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාසය තබාගන්න පුළුවන් ප්‍රධාන කාරණයක් තමයි ඔය කාරණය. 
අපි දැක්ක දෙයක් තමයි ශ්‍රීලනිපයෙන් හරි වෙන ඕනෑම පක්ෂයකින් ඡන්දෙ ඉල්ලුවාට උතුරේ සහ නැගෙනහිර ඡන්ද ලැබුණේ නැහැ කියලා. ඒ ඡන්ද ලබාගන්න තවම වැඩපිළිවෙළක් ඔබලාට නැද්ද?
පැහැදිලිවම කියනවා ඉදිරියේදී මේ සියල්ල වෙනස් වේවි. මම කියන්නේ උතුරට වෙනම පක්ෂයක්, නැගෙනහිරට වෙනම පක්ෂයක් වශයෙන් බෙදීම නතර කරන්න ඕන. ඒ සියල්ල නතර කරලා තියන්න ඕන එක රටක් එක නීතියක් කියන දේ විතරයි. ජාතීන් අතර වර්ග විදිහට කුල විදිහට බෙදෙන එක නතර කරන්න ඕන. තවම ඒ දේවල් තිබෙනවා. රටක් දියුණුවෙන්න ඒ බෙදීම් නතරවන්න ඕන. 
මේ වෙනකොට රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂව මාරැකරලා. නිශාන්ත සිල්වා රට පැනලා. මේකෙන් පේන්නේ ආණ්ඩුව යම් මර්දනකාරී වැඩපිළිවෙළක් අරගෙන යනවා කියලාද?
මම කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉතිහාසයේ තිබුණු දේශපාලන පලිගැනීමේ ක්‍රමවේදය නැවත සිදුකරයි කියලා. එහෙම වුණා නම් නිශාන්තට රටෙන් යන්න හම්බවෙන්නේ නැහැ. එතුමා එදා පැහැදිලිවම කිව්වා එතුමාට ඡන්දය ලබාදුන් අයගේ පමණක් නෙවෙයි එතුමාට විරැද්ධව ඡන්දය ලබාදුන් අයගේත් ජනාධිපති කියලා. ඉතිහාසයේ අපිට කළු පැල්ලමක් තිබෙනවා නම් දේශපාලන පලිගැනීම් සම්බන්ධව මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවක් තුළ එවැනි පලිගැනීම් තියෙන්නේ නැහැ කියලා.
 ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00