2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

අද සමහර හාමුදුරුවරු රජ වෙන්න යනවා

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 342

පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි - රත්මලාන ධර්ම පර්ෙය්ෂණාලයේ අධ්‍යක්ෂක

ඡන්ද දිනන්න බැරි බව දැන දැනත් තරග කරනවා
මිනිස්සුන්ට පලාඵල කියලා කඩාවට්ටනවා
රජතුමා සිල්ගන්න යුගයක් නෙවෙයි මේ
රාජ්‍ය නායකයා දශරාජ ධර්මය අනුව රට පාලනය කළ යුතුයි
පාලකයා හරිමඟ ගියොත් රටත් හරිපාරට වැටේවි
රට දියුණු වෙනවා. සමාජය අගාධයට යනවා

 

අපි දැකලා තියෙනවා බොහෝ අය කියනවා බුද්ධ දේශනාවට අනුව රාජ්‍ය පාලනය සිදුවිය යුතුයි කියලා. එහෙත් ඇතැම් තීන්දු තීරණ ගැනීමේ බුද්ධ දේශනාවට හානි වන සිදුවීම් සිදුවෙනවා. ඇත්තටම කොහොමද බුද්ධ දේශනාවට අනුව රාජ්‍යයක් පාලනය කරන්නේ?

බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාවට අනුව රාජ්‍ය පාලනයට කිසිදු හානියක් හෝ බාධාවක් නෑ. බුද්ධ දේශනාව තුළ විශාල වශයෙන් රාජ්‍ය පාලනය සම්බන්ධ තොරතුරු තිබෙනවා. එහෙත්, රාජ්‍ය පාලනයේදී ඇතැම් දඬුවම් ලබාදීම්, ඇතැම් මර්දන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බුද්ධ දේශනාව තුළින් බාධාවක් සිදුවෙන්නේ නෑ. එහෙම වෙන්නේ රජ කෙනෙක් පත්වෙන්නේ සැමට එක සේ සම්පත් බෙදා දෙන්න, වැරදි කළවුන්ට දඬුවම් ලබා දෙන්න සහ රටක් නිවැරදි මාවතේ ගෙනියන්න. එසේම සමාජයේ යහපැවැත්ම උදෙසා සිදු කරන දේවල් සමචර්යාත්මක දේවල් නිසාත් නිවැරදි ක්‍රියාවන් සිදු කිරීම ධර්ම චර්යාවක් ලෙස බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ඔය බුද්ධ දේශනාවට අනුව රාජ්‍ය පාලනය කිරීමට හොඳම උදාහරණය තමයි අනුරාධපුර යුගය. එනිසාම ඉතාම සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත්වුණා.

බුදු දහමට අනුව රාජ්‍යයක පාලන අධිකාරිය කොහොමද හොඳ විය යුත්තේ?
රටේ රජ්ජුරුවෝ දසරාජ ධර්මයට අනුව රාජ්‍ය පාලනය වෙනවා නම් ඔහුගේ වටේ ඉන්න අයත් නිවැරදි ලෙස රාජ්‍ය පාලනය සඳහා හොඳට හැසිරෙනවා. දැන් බලන්න එහෙම කටයුතු නොකරන නිසා තමයි අද අපි මේ බුදු දහමෙන් ඈත් වෙලා ඉන්නේ.

ස්වාමීන් වහන්ස, අපි දැකලා තියෙනවා බොහෝ වෙලාවට තීන්දු තීරණ ගැනීමේදී පාලකයෝ බොහෝ වෙලාවට අදිමදි කරනවා. බුදු දහමට අනුව නිවැරදි තීන්දු සම්බන්ධයෙන් කොහොමද සඳහන් වෙන්නේ?
මෙහෙමයි. පාලකයෝ නිවැරදි සෘජු තීන්දු තීරණ ගන්න ඕනේ. කවුරු මොන දේ කිව්වත් කවුරු බාධා කළත් එය නිවැරදි නම් ඒක ක්‍රියාත්මක කරන්න ආත්ම ශක්තිය තියෙන්න ඕනේ. මතක තියාගන්න රටේ රජ්ජුරුවෝ කියන්නේ ඒ රටේ සළකුණ. එහෙමයි බුද්ධාගමේ සඳහන් වෙන්නේ. ඔහුගේ නායකත්වය තුළ තමයි රටේ සියලු දේවල් පිළිබිඹු වෙන්නේ. ඔහු නිවැරදි ලෙස කටයුතු කළොත් තමයි රටත් නිවැරදි මග යන්නේ. එහෙම නැතුව හිතන්න එපා බුදු දහමට අනුව රජතුමා සුදු ඇඳන් සිල් සමාදන් වෙන කෙනෙක් කියලා.

අප මේ ගතකරන්නේ 21 වැනි සියවස. නීති රීති, සමාජ ඉතාමත් පුළුල්. එවන් පසුබිමක බුදු දහමත් සමඟ රාජ්‍ය පාලනය කරන්න පුළුවන් වටපිටාවක් තියෙනවද?
කාලෙන් කාලෙට මෙවලම් ටික වෙනස් වෙනවා. හැබැයි මෙවලම් වෙනස් වුණාට මෙවලම් භාවිතය නිවැරදිව සිදුවිය යුතුයි. ඒ නිසා 21 වැනි සියවස කියලා කිසිම බාධාවක් නෑ රාජ්‍ය පාලනයට. හැබැයි බලන්න කොච්චර දියුණු වුණත් මේ සමාජ ක්‍රමය යන්නේ ප්‍රබල අගාධයකට. එවැනි අගාධයක මේ අය සිටීමේ ක්‍රමය තමයි බුදු දහමේ කියලා තියෙන්නේ. මේ බුද්ධාගමේ මූලධර්මයන් අපි අවබෝධ කරගත යුතුයි. හැමතිස්සෙම මොන දේ කළත් පාලකයා තමන් ගන්නා ක්‍රියාමාර්ග තමන්ට හිත සුව පිණිස පවතිනවද අනුන්ට හිත සුව පිණිස පවතිනවද කියලා බලන්න ඕනේ. එසේ බලන අනුන්ටත් තමන්ටත් හිත සුව පිණිසම ඒ දේ ක්‍රියාත්මක වෙන්න ඕනේ.

එහෙත් ඇතැම් තීන්දු, තීරණ ගැනීමේදී මේක බුදු දහමට විරෝධියි, බුදු දහමට ගැලපෙන්නෑ කියලා යම් ආකාරයකින් විරෝධයක් ගොඩනැගෙනවා. මොකද්ද එවැනි අවස්ථාවක කළ යුත්තේ?
මෙහෙමයි. ඉස්සෙල්ලා බලන්න ඕනේ ඒක යහපත් දෙයක්ද කියන එක. එහෙනම් ක්‍රියාත්මක වුණාට කමක් නෑ. හැබැයි අද වෙලා තියෙන්නේ බුදු දහම නොවන බුදු දහම වගේ දේවල් බිහි වෙලා තියෙනවා.

අද බොහෝ පාලකයෝ ඇතැම් දේවල් සම්බන්ධයෙන් විවිධ ඇදහිලි, විවිධ යාගහෝම හා උපදේශකයන් මත රැඳිලයි තීන්දු තීරණ ගන්නේ. මොකද්ද ඒකට හේතුව?
මම ඉස්සෙල්ලා කිව්වා වගේ බුදු දහම නොවන බුදු දහම වගේ දේවල් අද සමාජයේ පිරිලා ඉතිරිලා. මිත්‍යා දෘෂ්ඨිකයෝ මිත්‍යාවන් තමයි බුදු දහම හැටියට පිළිගන්නේ.

බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා භික්ෂූන් වහන්සේ රාජ්‍ය පාලනයට සෘජුවම මැදිහත් වෙන්න හදනවා. ඇත්තටම රාජ්‍ය පාලනයට සෘජුව මැදිහත් වීමේ අයිතියක් භික්ෂූන් වහන්සේට තියෙනවද?
භික්ෂූන් වහන්සේ රාජ්‍ය පාලනයට යන්නෙ නෑ. උන්වහන්සේ කරන්න ඕනේ බුද්ධ දේශනාව රාජ්‍ය පාලනයට කෙසේ සම්බන්ධ කළ යුතුයි ද යන්න පාලකයාට අනුශාසනා කර දීම. පාලකයාට විතරක් නෙවෙයි ජනතාවටත් නිවැරදි අනුශාසනා ලබාදීම තමයි භික්ෂූන් වහන්සේ නමකගේ වගකීම. ඒ හරහා නිවැරදි ධර්මය සමාජගත කරන්න ඕනේ. ඒත් අද වෙලා තියෙන්නේ මේක පටලවගෙන අපි රජ වෙන්න උත්සාහ කළා. ඒ තුළින් මේ චක්‍රය වෙනස් වුණා. අන්න ඒ විකෘති වෙච්ච චක්‍රය තමයි අද මිනිස්සු බුදු දහම කියලා විශ්වාස කරන්නේ. හැබැයි සුපිරි සමාජයක් අපි හිතන තරම් ඉක්මනට බිහි කරන්න බෑ. සාපේක්ෂව බලලා ඒ සමාජය ගොඩනගන්න ඕනේ.

අපි දැකලා තියෙනවා අද පාලකයයි පාලිතයයි අතර යම් ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබවහන්සේ දකින්නේ මොකද්ද එයට හේතුව?
ඒක හේතුඵල දහම. යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුව මොකද්ද කියලා පාලකයා නිතරම හොයලා බලන්න ඕනේ. හැමතිස්සෙම පාලකයා මහජනතාවගේ ප්‍රශ්නවලට නිවැරදි තීන්දු සහ තීරණ කිසිදාක ලබාදෙන්නෙ නෑ. ඒ වගේම සමානාත්මතාවය හෙවත් සම්පත් නිසි අයුරින් මහජනතාව අතර බෙදිය යුතුයි. එහෙම නොවුණාමයි මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ. ඒ වගේම තමයි වැරදි දෙයට දඬුවමත් අවශ්‍යයි. නමුත් අද එය සිදුවන්නෙත් නෑ. අද ඥාති සංග්‍රහ වැඩියි. නිවැරදිව නීතීය ක්‍රියාත්මක වෙනවනම් මිනිස්සු නීතියට අනුගත වෙනවා.

ඇතැම් අනුශාසනාවලදී භික්ෂූන් වහන්සේ නමකගේ දේශපාලන මතවාදය, දේශපාලන කැමැත්ත සමාජයට ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනවාද?
එහෙම කොහෙත්ම වෙන්න බෑ. බුද්ධ දේශනාව තුළ දේශපාලනයක් නැහැ. බුද්ධ දේශනාව තුළ තියෙන්නේ නිවැරදි මාර්ගය පෙන්වා දීම විතරයි.

පාලකයා සහ පාලිතයා අතර ගනුදෙනුව සිදු කිරීමේදී භික්ෂූන්වහන්සේ නමකට පාලමක් වෙන්න පුළුවන්ද?
භික්ෂූන්වහන්සේ නමත් පාලිතයාම තමයි. එහෙම නැතුව භික්ෂූන් වහන්සේ නමක් පාලකයෙක් නොවේ. හොඳම උදාහරණය බුදුහාමුදුරුවෝ තමන්ට අයිති වෙන්න තිබ්බ සක්විති රජකම අත්හැරලා මහණ වුණේ බුදු වෙලා නැවත රාජ්‍ය පාලනය කරන්න නෙවෙයිනේ. හැබැයි ලංකාවේ රාජ්‍ය පාලනය තුළ භික්ෂුවත් අතර අවියෝජනීය බැඳීමක් තියෙනවා. ඒකට සම්බන්ධ වුණේ භික්ෂුව මධ්‍යස්ථව ඉඳලා. රජතුමා ඒ කාලේ වැරදි කළ මිනිසුන්ට දඬුවම් දීලා තියෙනවා. හැබැයි ඒක බුදු දහමට අකැප දෙයක් වුණාට රාජ්‍ය පාලනයට තිබිය යුතු කාරණයක්. එහෙත් බුදු දහමට අකැපයි කියලා ඒකට භික්ෂූන් වහන්සේලා මැදිහත් වෙලා නෑ.

අපි දැකලා තියෙනවා රටේ නැති වැරදි කරන පාලකයෝ හැමදාම ගිහිල්ලා භික්ෂූන් වහන්සේලාගෙන් අනුශාසනා අරගෙන එනවා. ඒත් ඒවා ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. මොකද්ද ඔබවහන්සේ හිතන්නේ?
හොඳම විදිහ තමයි භික්ෂූන්වහන්සේලා ධර්මානුකූලව ජීවත් වීම. යම්කිසි නිවැරදි දෙයක් තියෙනවනම් ඒක සියලුම දෙනා නිවැරදි විය යුතුයි. අද වෙලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා අපේක්ෂකයෝ වෙලා. පිරිසක් රජ වෙන්න යනවා. තව පිරිසක් පාර්ලිමේන්තු යනවා. තවත් අය පළාත් සභා යනවා. සමහර අය ප්‍රාදේශීය සභාවල. අපේ තවම වෙලා නැත්තේ ග්‍රාම සේවක වීම විතරයි. ඉස්සරහට ඒකට තමයි තරග කරන්නේ. මම ජනාධිපතිවරණයට ඉල්ලනවනම් හිතලා බලන්න ඕන මට දිනන්න පුළුවන්ද කියලා. ඒත් බැරි බව දැන දැන ඉල්ලනවනේ.

ඔබවහන්සේට දැනෙන හැටියට වර්තමානයේ පාලකයයි පාලිතයයි අතර ඇතිවෙලා තිබෙන සම්බන්ධය මොන වගේද?
දැන් සම්බන්ධයක් නෙවෙයි ඇතිවෙලා තියෙන්නේ. දැන් තියෙන සම්බන්ධය අනුව වෙලා තියෙන්නේ එක්කො තමන් ඉස්මතු වීම, නැතිනම් ලාභ ප්‍රයෝජන ගැනීම. අද වෙලා තියෙන්නේ නිවැරදි චින්තනයක් මත නොවුණු මිත්‍රත්වයක් ගොඩනැගිලා තියෙන්නේ.

ඔබවහන්සේට පේන විදිහට වර්තමාන තරැණ ප්‍රජාව බුදු දහමට නැඹුරු වීම කොයි වගේද?
ලොකු ප්‍රබෝධයක් වගේ දෙයක් පේනවා. හැබැයි ඒ බෞද්ධ දර්ශනය කෙරෙහි තියෙන නැඹුරැව නෙවෙයි. ඒ තියෙන්නේ බුද්ධාගම වගේ දේකට ඇති වී තිබෙන නැඹුරුව. විශේෂයෙන් මිත්‍යා මත වගේ දේවල්වලට තරුණ තරුණියෝ නැඹුරු වීම විශාල ලෙස වැඩියි. අද හැමතැනම තියෙන්නේ ආශිර්වාද පූජා. ඒ වගේම අද පිරිත් කියනවා. පිරිත් කියන්නේ බුදු හාමුදුරුවොවත් නොකියපු පිරිත්. අද බලන්න ගොඩක් අය රාහු කාලය බලලා, නිවැරදි දිශාව බලලා තමයි වැඩකටයුතු කරන්නේ.

අපි තවමත් දැකිනවා පිටකොටුවේ රෙකෝඩ් බාර්වල බණ පද ඇහෙනවා. හැබැයි අද නූතන තාක්ෂණය මීට වැඩිය ඉහළට ගිහිල්ලා. ඔබවහන්සේ හිතන්නෙ නැද්ද නූතන තාක්ෂණයත් එක්ක බුදු දහම ඉදිරියට යාම මන්දගාමී කියලා?
පැහැදිලිවම. අද වෙලා තියෙන්නේ නූතන තාක්ෂණයත් එක්ක ඉදිරියට ගිහින් තියෙන්නේ බුදු දහම නොවන බුදු දහම වගේ දෙයක්. විශේෂයෙන් සූත්‍ර පිටකට සහ අභිධර්ම පිටකයේ තියෙන ධර්මය නිවැරදි ලෙස නූතන තාක්ෂණ ඔස්සේ සමාජගත විය යුතුයි. බලන්න බුදු දහම අකාලික දහමක්. හැබැයි? ස්වාමීන් වහන්සේලා කාලීන ධර්ම දේශනා කරනවා.

ඔබවහන්සේ දිගින් දිගටම කියනවා බුදු දහම වගේ එකක් තමයි තියෙන්නෙ කියලා. අපි කොහොමද නිවැරදි බුදු දහම හොයාගන්නේ?
නිවැරදි බුදු දහම හොයාගන්න කිසිදු අපහසුතාවයක් නෑ. වර්තමානයේ නිවැරදි බුදු දහම දන්න භික්ෂූන් වහන්සේලා ඉන්නවා. නමුත් මිනිස්සුන්ට ගොඩක් අහුවෙන්නේ ජනප්‍රිය සංස්කෘතියේ තියෙන බුදු දහම වගේ තියෙන දේවල්. ඒක බුද්ධ ශාසන අමාත්‍යංශය ඇතුළු රාජ්‍ය මැදිහත් වීම අවශ්‍යයි. විශේෂයෙන්ම ඒ සඳහා මඟ පෙන්වීම ත්‍රෛ නිකායික නායක හාමුරුවරුන් විසින් සිදු කළ යුතුයි. නමුත් වෙලා තියෙන්නේ එවැනි කිසි දෙයක් තවම වෙලා නෑ. විශේෂයෙන් කියන්න ඕන මාධ්‍යට විශාල වගකීමක් තියෙනවා නිවැරදි බුදු දහම ජනතාවට සන්නිවේදනය කිරීමට. බලන්න උදේට මාධ්‍ය කොච්චර මිත්‍යා මත වපුරනවද කියලා. වෙලාවල් කියනවා, මරු සිටින දිශාවල් කියනවා. උදේම මිනිස්සුන්ට පලාඵල කියලා මිනිස්සුන්ව කඩාවට්ටනවා.

යම් ආකාරයක නිවැරදි බුදු දහම සෙවීමට රාජ්‍ය මැදිහත්වීමක් සිදු වුවහොත් ඒක භික්ෂූ ශාසනය ඇතුළේ බෙදීමක් වෙන්න පුළුවන් නේද? අර හාමුදුරුවො හරි බණ කියන්නේ මේ හාමුදුරුවෝ වැරදි බණ කියන්නේ කියලා සමාජය ඇතුළේ කතාවක් ඇති වෙලා ජනතාව භික්ෂූන් වහන්සේලාට ප්‍රමිති සහතික දෙන්න පුළුවන් නේද?
නෑ. නෑ. නෑ. එහෙම වෙන්නෙ නෑ. නිවැරදි බුදු දහම පෙන්වූ පසුව ජනතාව ඒ නිවැරදි බුදු දහම පිටුපස යනවා. එතකොට ජනතාව මනසින් තේරැම්ගන්නවා මේ කියන දේ වැරදියි මේ කියන දේ හරි කියලා. ඇත්තටම ප්‍රමිතියකට වඩා නියාමනයක් තමයි අවශ්‍ය.

වර්තමානයේ දේශපාලනය තුළ කතා වෙන දෙයක් තමයි නිවැරදි පාලනයක් තියෙන්නනම් රට තුළ නිවැරදි සිස්ටම් එකක් තියෙන්න ඕන කියලා. එහෙමත් නැත්නම් ප්‍රතිපත්තියක් තියෙන්න ඕන කියලා. බුදු දහමේ ප්‍රතිපත්තිගරැකභාවය කොහොමද තියෙන්නේ?
බුදු දහම තුළ තමයි නිවැරදිම ප්‍රතිපත්ති තියෙන්නේ. මේ රට පාලනය කරන්න අලුතෙන් සිස්ටම් ඕන නෑ. බුදු දහමේ නියම සිස්ටම් එක තියෙනවා. ඕන පාලකයෙක් බුදු දර්ශනයට අනුව රට පාලනය කරන්න. ඒක හොඳම සිස්ටම් එක කියලා තේරෙයි.

ගයාන් ගාල්ලගේ
සේයාරුව I සුමුදු හේවාපතිරණ