2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ආර්ථිකය කඩාවැට්ටුවේ රාජපක්ෂවරුයි

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

වැඩකාරයන්ට මිස නිකමුන්ට අපි ළඟ ඉඩක් නෑ

සජිත් ජනාධිපතිවුෙණාත් ඔහු කැමැති ෙකනෙක් අගමැතිකමට පත්කරන්න පුළුවන්

ගෝඨාභය මහත්තයා දෙන්නේ ඉටු කරන්න බැරි පොරොන්දු

පරණ ෆොටෝ අල්ලගෙන අපහාස කිරීම වැරදියි

හැම හොරකමක්ම අල්ලන්න බෑ

ටී. එන්. ඒ. එක්ක පොරොන්දු - ගිවිසුම් නෑ

බියගන්වා වාසි ගන්න සමහරු දඟලනවා

සම්පන්දන් මහත්තයා සජිත් මහත්තයාට සහාය දෙන බව කිව්වා
- විද්‍යා තාක්ෂණ හා පර්ෙය්ෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ

ඔබලා විශාල සටනක් පසුගිය කාලේ කළා සජිත් ප්‍රේමදාස මහත්තයව ඉස්සරහට ගන්න. දැන් ඒ අරමුණ ඉෂ්ඨ වෙලා වගේම යම් අභියෝගයකුත් ඇවිල්ලා තියෙනවා. කොහොමද ඒ අභියෝගය ජය ගන්නේ?

විශාල අභියෝගයක්. මොකද 2015 ජනතාව අපිට බලය දුන්නේ හොරකම් කරපු අයට දඬුවම් දෙන්න. ඒ වගේම ආර්ථිකය සංවර්ධනය කරන බලාපොරොත්තුවෙන්. මේ දේවල්වලින් අපිට ස්ථිරවම සිදුකරන්න පුළුවන් වුණේ යහපාලනය කියන කාරණය. අපිට හොරකම් කරපු රාජපක්ෂ පවුලට එරෙහිව දඬුවම් දෙන්න බැරුව ගියා. මොකද නීතිය ක්‍රියාත්මක කරන තැන ඉඳන් හිරේට වෙනකල්ම රාජපක්ෂලගේ බළල් අත් ක්‍රියාත්මක වෙනවා. ඒ දේ වුණේ මෛත්‍රීපාල මහත්මයාගෙයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙයි වෙන්වීම නිසා. ඒ නිසා ඒ සියලු අභියෝග මේ වනවිට සජිත් ප්‍රේමදාසගේ කරට ඇවිත් තියෙන්නේ.

ඔය කියන අභියෝගය සජිත් වගේ කෙනෙක්ට කරගන්න පුළුවන් වෙයිද?

අනිවාර්යයෙන්ම පුළුවන්. එතුමා පිරිසිදු නායකයෙක්. ඒ වගේම මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් මහත්මයෙක්. ඔබලා දන්නවා ඔහු කෙතරම් සරල පුද්ගලයෙක්ද කියලා. ඔහු කොහෙන්හරි සල්ලි හොයන් ඇවිල්ලා රට ගොඩදානවා.

කොහෙන්හරි සල්ලි හොයාගෙන කියන්නේ ණයට අරගෙනද?

නෑ. ආයෝජකයෝ ඒ වගේම ආධාර වගේ දේවල්වලින් එතුමට ජාත්‍යන්තරය උදව් කරන්න බලන් ඉන්නවා. ඒ හරහා රටේ ආර්ථිකයත්, සංවර්ධනයත් ඉහළ නංවන්න අපට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔහු වැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා අපිට විශ්වාසයි.

2015 බලය ගන්නකොට ඔබලා චෝදනා කළේ රාජපක්ෂවරු හොරු කියලා. පුදුමය කියන්නේ අද ඔබලගේ අපේක්ෂකයගේ විරුද්ධවාදියා රාජපක්ෂ පවුලේම කෙනෙක්. ඒ වගේම ඔහු එන්නෙත් රාජපක්ෂවරු විසින් හදපු පක්ෂයකින්. මේක පොඩි අභියෝගයක් නෙවෙයි නේද?

ඒක අභියෝගයක් වෙන්නෙ නෑ. නමුත් අභියෝගයක් වුණේ සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන්. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය මහත්මයා, කෙහෙළිය මහත්මයා කියන හැටියට සහරාන් ඇතුළු පිරිස ඔත්තුකරුවෝ හැටියට පඩි අරගෙන තියෙනවා ආණ්ඩුවෙන්. එතකොට සහරාන්ලා හැදිලා තියෙන්නේ ඒ අය හරහා. මේ නිසා කුමක් හෝ දෙයකින් රාජපක්ෂවරුන්ට නැවත හුස්ම ගැනීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ හරහා බිය පතුරවලා ජාතිවාදය අවුස්සලා ඒ තුළින් දේශපාලන වාසියක් ගන්න ඒ අය උත්සාහ කරනවා. මේක එක පැත්තකින් අමෙරිකන් වීසා එකක් ලැබුණා වගේ වැඩක්. ඒ හරහා රාජපක්ෂලාගේ පිබිදීමක් ඇති වෙලා. හැබැයි ජනතාව දන්නවා රාජපක්ෂවරුන්ගේ ඉතිහාසය ගැන.

අද රාජපක්ෂවරු නිර්දෝශියි කියලා රටටම ඔප්පු කරලා තියෙන්නේ කියලා කිව්වොත් ඒ චෝදනාව පිළිගන්න වෙනවා. මොකද අවුරුදු 4ක් ගිහිල්ලත් ඒ කිව්ව කිසිමදෙයක් තහවුරු කරගන්න බැරිවෙලා තියෙනවා.

ඒක අනිවාර්යයෙන් පිළිගන්නවා. ඒකෙ වරද සම්පූර්ණයෙන් මම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා වෙත යොමු කරනවා. මොකද මම පැහැදිලිව කිව්වා මේ අධිකරණ ක්‍රමවේදයත් නීතිය ක්‍රියාත්මක වන ආකාරයත් අවුල් සහගතයි. මම ඒ පෙන්නලා කිව්වා මේ දේවල් නිවැරදි කළ යුතුයි කියලා. හොඳම උදාහරණය විජේදාස රාජපක්ෂ මහත්මයා. අන්න ඒ අඩුපාඩුවට සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා වගකියන්න ඕන.

ඔබගේ අපේක්ෂකයගේ කඳවුරෙන්ම දැන් ගොඩනැගෙන ප්‍රශ්නයක් තමයි කවුද මීළඟ අගමැති කියලා. වසන්ත සේනානායක මහත්මයම ඒ ගැන ප්‍රශ්න කරලා තිබුණා. ඇත්තටම කවුද ඒ අගමැති?

ඒක අවශ්‍ය උත්තරයක් නෙවෙයි. හේතුව සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වුණායින් පස්සේ එතුමට කැමති කෙනෙක්ව අගමැතිකමට පත්කරන්න පුළුවන්. මොකද ජනාධිපතිවරයා වශයෙන් ඒ මොහොතේ තත්ත්වය වෙනස් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයට එදා අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයට දෙන්න වුණා. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයාට එහෙම අනිවාර්යයෙන්ම මෙයාට දිය යුතුයි කියලා නියමයක් නෑ. එතුමගේ ප්‍රතිපත්තිවලට අනුව ගැලපෙන කෙනෙක්ව අගමැති හැටියට පත් කරයි.

නමුත් අපිට දැනගන්න ලැබුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයට අපේක්ෂකත්වය ලබාදීමට එකඟ වුණේ අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා පත්කරන පොරොන්දුව මත කියලා?

කිසිම පොරොන්දුවක්, ගිවිසුමක් නෑ. ඒක ඔබතුමාලත් දන්න දෙයක් එහෙම ගිවිසුම් නෑ කියලා. හැබැයි යම්කිසි පිරිසක් සජිත් ප්‍රේමදාස මහත්මයාට අපේක්ෂකත්වය ලබා නොදී ඔවුන් අතරේම එය තබාගැනීමට උත්සහයක් ගත්තා. ඒත් ඒ උත්සාහය අවසාන මොහොතේදී නිෂ්ඵල වුණා. ඒකට හේතුව අපි ඊට එරෙහිව සටන් කළ නිසා.

දැන් ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයගේ ඊළඟ කණ්ඩායම සම්පූර්ණයෙන් වෙනස් කණ්ඩායමක් නේද?

සජිත් ප්‍රේමදාස මහත්මයා දූෂණයට විරුද්ධයි. ඒ නිසා ඊළඟ කණ්ඩායම සම්පූර්ණයෙන්ම අලුත් කණ්ඩායමක්. ඔවුන් අලුත් ගමනක් යන්න බලාපොරොත්තුවෙන් එකතු වෙන්නේ.

මේ වෙනකොට සමාජයේ කතාබහක් ඇතිවෙලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයා දෙමළ ජාතික සන්ධානය මගින් ඉදිරිපත් කළ යෝජනාවලියකට එකඟ වෙලා තියෙනවා කියලා. මොනවද ඒ යෝජනා?

ඒ ගැන කතා කරන්නවත් එපා. ඒ ගැන වෙලාව නාස්ති කරන එකත් අපරාදයක්. මම කතා කළා සම්පන්දන් මහත්මයට. එතුමලා කිසිම පොරොන්දුවක් ඉල්ලුවෙත් නෑ. හැබැයි ඔවුන් කිව්වා ප්‍රජාතන්ත්‍රවාදය රකින සජිත් ප්‍රේමදාස මහත්මයට තමන්ගේ සහයෝගය ලබාදෙනවා කියලා. ඒ නිසා කිසිම පොරොන්දුවක් හෝ ගිවිසුමක් දෙමළ ජාතික සන්ධානයත් එක්ක නෑ.

බොහෝදෙනෙක් අරමුණු කරගෙන ඉන්නේ උතුරු නැගෙනහිර ඡන්ද කෙසේ ලබා ගැනීමට හැකිවේද කියලා. එක්සත් ජාතික පක්ෂය ඒ ඡන්ද ලබාගන්න මොකද්ද කරලා තියෙන වැඩපිළිවෙළ?

යම්කිසි ආකාරයකින් කඩකප්පල්කාරී පිරිසක් ජාතිවාදයත් අවුස්සලා ත්‍රස්තවාදී බියක් ඇති කරලා ඒ ඡන්ද වෙනස් කරන්න පුළුවන්. ඒ දේවල් මානසික රෝගීන්ට කරන්න බැරිකමක් නෑ. හැබැයි හැමෝම කැමතියි ප්‍රජාතන්ත්‍රවාදී ලාංකීය කියන සංකල්පය හිතන නායකයෙක් බලයට ගේන්න. ඒ රට ගොඩනගන්න පුළුවන් නිසා. අපේ බහුතර ජනතාවත් ඒ මතයේ ඉන්නවා. අන්න ඒ බහුතර ජනතාව උතුරද නැගෙනහිරද දකුණ ද කියලා බලපාන්නේ නෑ. ඔවුන් හැමදාම එකතුවෙලා හරි නායකයෙක් පත්කරගන්නවා. ඔහු සජිත් ප්‍රේමදාස මහත්මයා වෙන බව විශ්වාසයි.

විපක්ෂයෙන් ගේන චෝදනා තමයි ඔබලා ගේන පොරොන්දු බලය ලැබිලා ඉෂ්ඨ කරගන්න බැරුව ඉන්නකොට ආයෙ ඉෂ්ඨ කරගන්න පුළුවන්ද කියලා සැකයක් තියෙනවා ඒවා කටවචනෙට විතරයි කියලා.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමයි කරන්න බැරි පොරොන්දු දෙන්නේ. එතුමා කියනවා කාබනික පොහොර දෙනවා කියලා. කාබනික පොහොර තියා දැන් ගොම ටිකක්වත් හොයාගන්න බෑ. අනික පොහොර නිකන් දෙනවා කියලා කියනවා. මේ සම්පූර්ණයෙන්ම රට ණය කිරීමක්නේ කරන්න යන්නේ. දේශපාලන බලය ගන්න කිසිම සැලසුමක් නැතුව මේ වගේ දේවල් සිදුකරන්න ලබාගත්ත ණය නිසයි රට හිර වුණේ. ට්‍රිලියන 8ක් ණය අරන් තිබ්බා. අන්තිමේ මාසිකව 15෴ක පොලිය එක්ක ගෙවන්න වුණා. ඔහොම තමයි ඔවුන් ආර්ථිකේ මෙහෙයෙවුවේ. මේ අය උත්සාහ කරන්නේ නැවත පවුලට සැප දෙන්න. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්මයට එහෙම ණය වෙන්න ඕන නෑ. මොකද එතුමට හැමෝම උදව් කරන්න ඉන්නේ. දැකලා ඇති ගංවතුරක් ඇතිවෙච්ච ගමන් කොහෙන්හරි හාල් ටිකක් හරි ගෙනල්ලා බෙදන්න පුළුවන් හැකියාවක් එතුමට තියෙනවා.

මහබැංකුවේ අධිපතිවරයා කියලා තියෙනවා ආර්ථිකය 1.6 ගණනක් දක්වා පහත වැටීමක් වෙලා කියලා. දැන් යම් ආර්ථික සැලැස්මක් අවශ්‍යයි. එහෙම සැලැස්මක් සජිත් ප්‍රේමදාස මහත්මයට තියෙනවද?

ඒක එහෙම නෙවෙයි කියලා තියෙන්නේ. අර ආණ්ඩුව පෙරළපු දවස් ටිකෙයි, සහරාන්ලා බෝම්බ ගහපු දවස්වලයි ආර්ථිකය යම් පහළ බැසීමක් වුණා කියලා. නමුත් මේ සියල්ල මැද ආර්ථික වේගය 4.2෴ දක්වා රඳවා තබාගන්න අපට හැකිවෙලා තිබෙනවා. ඒ නිසා ඔය පට්ටපල් බොරු. ආර්ථික කඩාවැටීමට සම්පූර්ණයෙන්ම රාජපක්ෂවරු සහ මෛත්‍රීපාල සිරිසේන වගකියන්න ඕන.

හරි අපිට කියන්නකො සජිත් ප්‍රේමදාස මහත්මයගේ ආර්ථික සැලැස්ම මොකද්ද කියලා?

යටිතල පහසුකම් ටික දියුණු කරලා, පාරවල් ටික සම්පූර්ණයෙන්ම ඉවර කරලා අපි රට ඇතුළේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගනවා. මේ වෙනකොට අපනයන ප්‍රතිපත්තිය මගේ නායකත්වයෙන් හදලා ඉවරයි. දැනටමත් අපේ අපනයන වේගය 15෴ දක්වා ඉහළ ගිහින් තියෙන්නේ. හම්බන්තොට වරාය මේ වනවිට වැඩ පටන් අරන් තියෙනවා. ඒ පැතිවල කර්මාන්තපුර ගොඩනැගෙනවා. ඊටපස්සේ අපේ පෝට් සිටි එක. ඒක සම්පූර්ණයෙන් මූල්‍යමය නගරයක්. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්මයා රණසිංහ ප්‍රේමදාස මහත්මයා වගේ නිෂ්පාදිත ආර්ථිකයක් මේ රට තුළ ගොඩනගනවා. ව්‍යාපාරිකයෝ තවතවත් ව්‍යාපාර වෙත යොමු කරලා ඔවුන් ධානපතියෝ කරලා ඔවුන්ගෙන් ලබාගන්නා බදු මුදල්වලින් පහළ ජනතාව ඉහළ ආර්ථික ක්‍රමයකට ගෙන එනවා.

දැන් මේ හැමදේකටම රාජපක්ෂවරු හොරු කිව්වට එකක්වත් තහවුරු කරලා එක රාජපක්ෂ කෙනෙක්ට දඬුවමක් දෙන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි?

ඔබ දන්නවා හැම හොරකමක්ම අල්ලන්න පුළුවන්කමක් නෑ. සමහර දේවල් අධිකරණයේදී පවා තහවුරු වෙන ප්‍රමාණය අඩුයි. හේතුව සාක්ෂි මදිකම. හැබැයි ජනතාව දන්නවා ඒ අය හොරු කියලා. මොකද ජනාධිපතිට තමන්ගේ බලතල යොදලා දේවල් කරන්න පුළුවන්. ඒක උසාවියට අරන් ගිහින් දඬුවම් කරන්න පුළුවන් හැකියාවක් හැමඑකටම නෑ. හොඳම දේ තමයි ශ්‍රී ලංකා එයාර් ලයින්ස් එකට කරපු පාඩුව. පවුලේ අයට ටිකට් එකක් ගන්න බැරිවුණාම එමිරේට්ස් එක එලවලා තමන්ගේ පවුලේ බූදලයක් කරගත්තා.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාර්ශ්වය ගේන චෝදනාවක් තමයි ඔවුන් නිදහස් කරලා දුන්න රට නැවත අවදානමක් සහිත තැනකට ගෙනිච්චා කියලා. ඒ නිසා රට රැකගන්න හැකියාව ඔවුන්ට තියෙනවා කියලා.

මහින්ද රාජපක්ෂ මහත්මයයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයයි කෙළින්ම එදා කිව්වා යුද්දෙ මෙහෙයෙව්වේ එයා නෙවෙයි යුද හමුදාව කියලා. ඒක අපිත් දන්නවා. ඒ නිසා මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නොම්මර එකේ පුද්ගලයා වෙච්ච සරත් ෆොන්සේකා මහත්මයට ජාතික ආරක්ෂාව භාර කළා. ඒ නිසා ආයෙ ඒ ගැන ප්‍රශ්න කරන්න කාටවත් බෑ. මොකද ඔහු 100%ක් මේ රටේ ආරක්ෂාව තහවුරැ කළා.

ඔබලා ජාතික ආරක්ෂාව අනතුරේ හෙලුවා කියලයි චෝදනා තියෙන්නේ.

ඒක අපි පිළිගන්නවා. ඒක කළේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයයි රනිල් වික්‍රමසිංහ මහත්මයයි. හැබැයි අලුතෙන් පත්වෙන අපේ ආණ්ඩුවේ වැඩකාරයන්ට මිසක් නිකන් අයට ඉඩක් නෑ. යාළුවෝ, එහෙයියෝ අපේ ආණ්ඩුවේ නෑ.

2015දීත් අපි ඇහුවා රජ ගෙදර යන්න ජනතාව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කැපවෙනවා. ජනතාව වෙනුවෙන් මැරීගෙන වැඩ කරනවා වගේ කතා. හැබැයි ඒවා සජිත් ප්‍රේමදාසත් කියනවා. ඒවා මිනිස්සු විශ්වාස කරයිද?

ඒක බොරැ කතාවක්නේ. සජිත් ප්‍රේමදාසගේ අල්පේච්ඡකමයි සරලකමයි එක්ක ඒවා කරන්න බෑ කියලා හිතන්න බෑ. මොකද අපි වගේ හෙව්වොත් විශ්වාස කරන්න අමාරැයි. මොකද අපිට එහෙම කරන්න අමාරැයි. සජිත් ප්‍රේමදාස මහත්මයගේ පසුබිම බලද්දි එතුමා මේ ආකර්ෂණයට කියන ඒවා නෙවෙයි. ඒවා සාමාන්‍ය දේවල්. හැබැයි ඒක රටේ ජනතාවට ප්‍රමාණවත් ද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් ඒ දේවල්වලටත් ගරු කරන ජනතාව ඉන්නවා. ඒවා අගය නොකරන පිරිසකුත් ඉන්නවා.

ජනාධිපතිවරණය පටන්ගන්නකොට එ.ජා.පයේ බොහෝදෙනෙක් කිව්වා ශ්‍රී.ල.නිපයේ බොහෝ දෙනෙක් ඉන්නේ අපිත් එක්ක කියලා. හැබැයි දැන් ඔක්කොම ඉන්නෙ පොහොට්ටුවේ. කෝ එනවා කිව්ව අය?

ඇත්තටම ශ්‍රීලනිපය ගන්න බැරි හේතුවක් තියෙනවා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. මොකද එතුමට අපේ පාක්ෂිකයන්ගෙන් අප්‍රසාදයක් තියෙනවා. ඒ නිසා එතුමා සම්බන්ධ කරගන්න බෑ. කොහොම වුණත් ශ්‍රීලනිපයේ ආශිර්වාදය තියෙන්නේ එජාපය දිනන්න ඕන කියලා. ඒක තමයි මෛත්‍රීපාල මහත්මයා නිහඬ වුණේ. ඒක තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අපට උදව් කරන්නේ.

වසන්ත සේනානායක මහත්මයානම් ඔබලගේ ප්‍රශ්න ටික අහලා තිබ්බා. මොකද එතුමා ආයේ පැත්ත මාරු කරන්නවත්ද?

ආ.. ඒවා ගණන්ගන්න එපා. ඒ එතුමා හිතුන ගමන් කරන ඒවා. මම එතුමට කතා කරලා කිව්වා ඕවා ගණන්ගන්න එපා කියලා. අපේ පක්ෂෙ ප්‍රජාතන්ත්‍රවාදී නිසයි ඔහොම කතා කරන්නේ.

යම් ආකාරයකින් සජිත් ප්‍රේමදාස මහත්මයා ආවොත් මොකද්ද ඉස්සෙල්ලම කරන්න හිතන් ඉන්නේ?

අපි හැමෝම එකතු කරලා රට ඉදිරියට ගෙනයන්න පුළුවන් අලුත් සැලැස්මක් හදනවා. ඒ සඳහා අලුත් කණ්ඩායමක් පත්කරගන්නවා. වැඩ කරන්න පුළුවන් හොඳම කෙනෙක් පත්කරගන්නවා. අවුරුද්දක් ඇතුළත යම් දැනෙන වෙනසක් කරන්න අපි කටයුතු කරනවා. ඊටපස්සේ අපි දෙවැනි වරට පාර්ලිමේන්තු බලය ලබාගෙන නව ගමනක් ආරම්භ කරනවා.

අවසාන වශයෙන් මම අහන්නේ මේ වෙනකොට පාස්කු ප්‍රහාරයත් එක්ක චෝදනා එල්ල වුණ පිරිස ඔබලා එක්ක ඉන්නෙ කියලා බරපතළ චෝදනාවක් තියෙනවා?

ඒක බොරු කතාවක්. වැඩියෙන්ම ගනුදෙනු කළේ රාජපක්ෂලා කියලා ඒ අය පිළිඅරන් තිබුණා. අනික බොරු චෝදනා කරන්න ඕන නෑනේ. පරණ ගත්ත ෆොටෝ එකක් අල්ලගෙන එහෙම අපහාස කරන එක වැරදියි. මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගෙවත් එවැනි ෆොටෝ තියෙනවානම් ඒ දේවල්වලට අපහාස කරන්න නරකයි. හේතුව විවිධ පුද්ගලයෝ අපි දේශපාලනඥයෝ හම්බෙන්න එන්න පුළුවන්. ඒ අය කවුද කියලා අපි දන්නෙ නෑ. ඒ නිසා එහෙම එක්කෙනෙක් එක්ක හිටියා කියලා ත්‍රස්වාදයට උදව් කළා කියලා කියන්න බෑ.

► ගයාන් ගාල්ලගේ