2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

මේ ආණ්ඩුව කළේම පළිගැනීම් විතරයි

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 113

► ආණ්ඩුවේ ගොන් පාට් අපි ළඟ නෑ

► මුද්දරයක් වටින්නේ සීල් වදින්න කලින්

► සජිත්ගේ කතාවලට අපට හිනා යනවා

► එජාපයේ ඉන්න රටට ආදරේ අය අපි එක්ක එකතු වෙනවා

► ශ්‍රීලනිපය අපට සහාය දෙන බව ඉර හඳ වගේ විශ්වාසයි

► රටේ ජනප්‍රියම අපේක්ෂකයා ගෝඨාභයයි

► 2015න් පස්සේ රට කාපු කඩේමයි ආපහු එන්න හදන්නේ

- රෝහිත අබේගුණවර්ධන
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී

දැන් ජනාධිපතිවරණය කට ළඟට ඇවිල්ලා. ඒත් පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි එක මතයකට තවම එන්න බැරි වෙලා. මොකද්ද ඒ නොගැලපීම?

දෙපාර්ශ්වයක් අතර සාකච්ඡා සිදුවෙනකොට යම් යම් ගැටලු, ප්‍රශ්න තියෙනවා. එකඟතාවයන්වලට එන්න අමාරු වෙනවා. ඒත් දැන්නම් 95෴ක්ම මේ ප්‍රශ්නය විසඳිලා ඉවරයි. ඉක්මනින් මේ ප්‍රශ්න විසඳිලා සාකච්ඡා සාර්ථක වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය උදෙසා උපරිම කටයුතු කරන බව ඉර හඳ වගේ විශ්වාසයි.

හැබැයි ශ්‍රීලනිපයෙන් එන චෝදනාව තමයි සාකච්ඡා අතරතුරේ තමන්ගේ මන්ත්‍රීවරු පොහොට්ටුව විසින් උස්සනවා කියලා. ඇයි මේ මෙහෙම බිලි බාන්නේ?

බැසිල් රාජපක්ෂ මහත්මයා කියන්නේ අපේ පක්ෂයේ නිර්මාතෘ. මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ පක්ෂයේ නායකයා. එතුමන්ලා අපිට කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය වෙන වෙනම නෙවේ පක්ෂයක් හැටියට එකතු කරගන්න කියලා. එහෙම නැතුව බලෙන් කවුරුත් අපි ගන්නෙ නෑ. හැබැයි යම් මන්ත්‍රීවරු සිය කැමැත්තෙන් ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරනවනම් අපිටවත් නවත්තන්න විදිහක් නෑ. මොකද මේක දේශපාලන දහරාව.

ශ්‍රීලනිපයටයි පොහොට්ටුවටයි එකතු වෙන්න බැරි ප්‍රධාන බාධකය වෙලා තියෙන්නේ පක්ෂයේ ලකුණ. දැන් එතකොට ඒ ප්‍රශ්නෙ ඉවරද?

පක්ෂයක ලකුණ කියන්නේ නාමයක්. එක එක පක්ෂවලට නාමයන් තියෙනවා. නමුත් පොහොට්ටුව කියන්නේ දැන් සන්නාමයක් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකක්. ඒ නිසා ඒක මිනිස්සුන්ගෙ ඇඟෙන් ගලවන්න ගියොත් ඒක සුබවාදී නෑ. අනිත් කාරණය අපි මේ වෙනකොට පොහොට්ටුවේ ලකුණින් ගෝඨාභය මහත්මයා එක්ක ඇප තැන්පත් කරලා ඉවරයි. ඒ නිසා වෙනත් ලකුණක් ආඳන්න ගියොත් මේක නීතිමය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

95ක්ම වැඩේ හරි කියන්නේ ශ්‍රීලනිපයත් පොහොට්ටු ලකුණට එකඟද?

අපි මේ වෙනකොට නාම යෝජනා බාරදීලා නිසා ජනාධිපති මෛත්‍රීපාල මහත්මයත් පක්ෂයේ අයත් පොහොට්ටුව ලකුණ බාධාවක් කරගන්න එකක් නෑ. ඒ නිසා එකඟ වෙයි පොහොට්ටුවෙන් තරග කරන්න.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අපේක්ෂකයක් අතරින් වැඩිම නඩු ප්‍රමාණයක් තියෙන අපේක්ෂකයා. ඇයි මෙහෙම ප්‍රශ්න ගොඩක ඉන්න අපේක්ෂකයෙක් දැම්මේ?

අපේ රටේ දැන් ජනප්‍රියම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. ගම්වල කතාවක් තියෙනවා ඵල ඇති රුකටයි ගල් ගහන්නෙ කියලා. ආණ්ඩු පක්ෂයට පරාජය මේ වෙනකොට පෙනිලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය පැත්තක දාලා උත්සාහ ගන්නවා යම් නීතිමය පැත්තකින් හරි ගෝඨාභය මහත්මයාව හිර කරන්න. ඒ නිසා මේ නඩු දාන්නෙ එතුමව හිර කරන්න. අද නෙවෙයි 2015 ජනවාරි 09 වැනිදා උදේ ඉඳන් උත්සාහ ගත්තා මී කතුරට අහුකරන්නා වගේ අහුකරන්න. හැබැයි එතුමට දාපු නඩු ඔක්කොම එකින් එක නිදොස් කොට නිදහස දුන්නා. ඒ නිසා මේ දාන ඒවත් එහෙමයි. මොකද අධිකරණය ස්වාධීනයි.

මෙහෙම නඩු වැටෙනකොට ජනතාවට වුණත් තේරෙයි නේද අපේක්ෂකයත් හොඳ කෙනෙක් නෙවෙයි කියලා?

මේ රටේ මිනිස්සුගේ එකම බලාපොරොත්තුව තමයි රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම. ඒකට දැක්මක් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂට. ආර්ථික දැක්මක් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂට. ඒ නිසා මේ කරන දේවල් එක්ක මිනිස්සු තවතවත් ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතු වෙනවා. මිනිස්සුන්ව ගොනාට අන්දන්න බෑ. මිනිස්සු ඉස්සරට වැඩිය බුද්ධිමත්. මේකෙන් වෙන්නේ මිනිස්සු තවතවත් ඈත් වෙන එක නෙවෙයි. පාවෙන ඡන්ද ගෝඨාභය මහත්මයට ළං වෙනවා.

අල්ලස් කොමිසමේ හිටපු ප්‍රධානී දිල්රුක්ෂි ඩයස් සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් යන අය විශාල හෙළිදරව්වක් සිදු කළා. මේවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයට වාසි සහගත ප්‍රකාශ. මේවා මේ ප්ලෑන් කරපුවා නෙවෙයිද?

දිල්රුක්ෂි ඩයස් මහත්මිය හිටිය කොහෙද කියලා මිනිස්සු දන්නවා. කවුරු වෙනුවෙන් හිටියද කියලත් දන්නවා. ඒ නිසා ඒ චෝදනාව අපිට අදාළ නෑ. මීට කලින් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහත්මයා ඔය වගේම හෙළිදරව්වක් කළා. ඒ නිසා එතුමා ඉල්ලා අස් වුණා. සුහද ගම්ලත් මහත්මයත් මේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් හෙළිදරව් කළා. දේශපාලන අතපෙවීම් ගැන කිව්වා. ඒ නිසා මේ ආණ්ඩුව කෙරෙහි කිසිම නීතියේ සාධාරණත්වය බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොකද දේශපාලනඥයෝ නීතිය මෙහෙයවන්න හදනවා.

ඔබ පොල් ගෙඩි වගයක් ගෙනල්ලා කාලි මෑණියන්ට කන්නලව් කරනවා කියල කිව්වා. එතකොට දැන් මැති ඇමැතිවරුන්ට දඬුවම් දෙන්නේ නීතිය නැතුව පොල් ගෙඩිවලින්ද? ඒ යාළුකම් නිසාද?

මම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කෙනෙක්. මේ ආණ්ඩුව යටතේ කිසිම පොලිසියකට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන්ද? සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ ආණ්ඩුව ඒ නිදහස වහලා තියෙන්නේ. අපි දාන පැමිණිලි විභාග වෙන්නෙ නෑ. ඒ නිසා අපිට කියන්න තියෙන එකම තැන දෙවියෝ. මොකද අපි දැකලා තියෙනවා සමහර මැති ඇමැතිවරු කරපුවා පල දීලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ දෙවියන්ට. ඒකයි පොල් ගැහුවේ. ඔහු වැරැද්දක් කරලා තියෙනවනම් ඒක ඔහුට පල දෙනවා.

ඒ කියන්නේ ඔබලගේ ආණ්ඩුවක් යටතේදීත් නීතියට වඩා දෙවියන් යැදීමද කළ යුත්තේ?

මම මේ කියන්නේ 2019 නොවැම්බර් 17 වැනිදා වෙනකල් විතරයි. ඊටපස්සෙ පොල් ගහන්න ඕන නෑ. ඊටපස්සේ රටේ වැරදි කරපු අයට දඬුවම් දෙන්න නීතියක් ක්‍රියාත්මක කරනවා. දේශපාලන වශයෙන් අපිට විරුද්ධව කතා කරපු අයට විරුද්ධව ඒ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. වැරදි කරපු අයට විතරයි.

ඒ අයත් කිව්වොත් මේවා දේශපාලන පලිගැනීම් කියලා දඬුවම් දෙද්දි?

ඒක තමයි කිව්වේ අපිත් මේ ආණ්ඩුව වගේ බලය ගත්ත ගමන් ගොන් පාට් රඟපාන්න ගත්තොත්. එතන වැරදියි. මොකද අපිට නඩු දානවට වැඩිය කරන්න වැඩ ගොඩක් තියෙනවා. රටේ ආර්ථිකය, සංවර්ධනය, ආරක්ෂාව ගොඩනගන්න තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව යටතේ යම් කෙනෙක් වරදක් කරලා තියෙනවනම් හොයලා බලලා නීතිය ක්‍රියාත්මක කරනවා. එහෙම නැතුව දේශපාලන වශයෙන් කට වහන්න මිනිස්සුන්ට නඩු දන්නෙ නෑ.

දැන් එතකොට ඔබට විරුද්ධව ආණ්ඩුවෙන් දාපු නඩු ඔක්කොම බොරැද?

බොහොම පැහැදිලිවම කීදෙනෙක් බොරු චෝදනා දාලා හිර ගෙවල්වල තිබ්බද? සමහර අයගේ නඩු නිදොස්කොට නිදහස්. දිල්රුක්ෂිගෙ කතාවෙන් පේනවනේ පැහැදිලිවම මේවා දේශපාලනඥයන් විසින් දාපු චෝදනා කියලා. අධිකරණයට වරදක් කියන්න බැහැ. මොකද අධිකරණයට එන්නේ මේ හදපු චෝදනා. අධිකරණයෙන් තමයි ඒ දේවල් නිරාකරණය කරන්නේ. නමුත් බී වාර්තා හදන්නේ පොලීසියෙන්. පොලීසියට උපදෙස් දෙන්නේ දේශපාලනඥයෝ. එහෙම නැත්නම් ආණ්ඩුව.

රාජිත සේනාරත්න ඇමැතිවරයා කියනවා රාජපක්ෂලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්න කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියලා. ඇත්තද?

මෛත්‍රීපාල මහත්මයා එක්ක ආණ්ඩුව හැදුවේ අපි නෙවෙයි. ඔය රාජිත සේනාරත්න. රාජිත සේනාරත්න කියන්නේ එක තැනක හිටිය කෙනෙක් නෙවෙයි. බලන්න එතුමා මාරු කරපු පක්ෂ ප්‍රමාණය. ඉතින් මෛත්‍රීපාල මහත්මයා එක්ක ආණ්ඩුව හදපු එයාලට බැරි වුණාද අපිට විරුද්ධව තියෙන චෝදනා ඔප්පු කරන්න? කාගෙද වැරැද්ද? දඩයම් කරන්න ගිහාම සීමාවක් නැතුව දඩයම් කරන්න ගිහාම වෙන්නේ ඔන්න ඔය දේ තමයි.

ඔබලගේ ආණ්ඩුවක් ආවොත් මේ නඩු අයින් කරගනීද?

අපේ කිසිම කෙනෙක් අධිකරණය මඟහැරියේ නෑ. අධිකරණයට අපේ ගෞරවය තියෙනවා. ඒ නිසා අධිකරණය ගැන විශ්වාස තබලා ඉදිරියටත් අපේ දේවල්වලට සහභාගී වෙනවා. අධිකරණය තීන්දු කරන්නේ සාධාරණය මොකද්ද කියලා.

ඔබලා යූ.ඇන්.පී එකෙන් ඉල්ලුව අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඔන්න දැන් තරගෙට ඇවිල්ලා ඉන්නවා. යූ.ඇන්.පීය හැරගිය අයත් දැන් ඇවිල්ලා ඉන්නවා. නොහිතපු අභියෝගයක් ආවා නේද?

හිනාත් යනවා ඒවා මතක් වෙනකොට. සජිත් ප්‍රේමදාස මහත්මයා නොවැම්බර් 13 තමයි අවසාන ජනරැලිය අමතන්නේ. එතකන් ඒ කතා ටික අහගෙන ඉන්න. එජාපයට ස්ථිර ඡන්ද පදනමක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. අන්න ඒ ස්ථිර ඡන්දවලිනුත් ලක්ෂ 4ක් 5ක් නැති කරගන්නවා මයික් එක ඉස්සරහා කතා කරන්න ගිහිල්ලා. ඔහු කියනවා ජනාධිපති වැටුප ගන්නෙත් නෑලු. පැය 24ම එතුමව හම්බෙන්නත් පුළුවන්ලු. ඕවා මේ කරන්න පුළුවන් වැඩද? අපි කැමතියි සජිත් ප්‍රේමදාස එනවට. මොකද එයා තමයි යූ.ඇන්.පී එකේ දැන් වීරයා. වීරයට තමයි ගහන්න ඕනේ. පඹයන්ට ගහලා තේරුමක් නෑ.

සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ දුප්පත් ජනතාව ඇති හැකි අය කරන ප්‍රේමදාස යුගයක් ඇතිකරනවා කියලා. ඒ කෙරේ ජනතාවගේ හිත යන්න පුළුවන් නේද?

ප්‍රේමදාස යුගයේ භයානක පැත්තක් තිබුණා. ඒක ඔය තරුණ පරපුර දන්නෙ නෑ. පාරවල් ගාණෙ ටයර් සෑයවල් හැදුවේ. අනිත් කාරණේ තමයි ප්‍රේමදාස යුගයක් කියලා ගේන්න යන්නෙ මොකද්ද? අගමැති රනිල් වික්‍රමසිංහ කරන වැඩක්. ඔය නඩේමනේ එදාටත් ඉන්නේ. 2015 ඉඳන් මේ වෙනකල් ඔය නඩේමනේ මේ රට කෑවේ. හොඳට බලාගන්න පුළුවන් ප්‍රේමදාස යුගය එදාට.

ශ්‍රීලනිපයේ කිහිපදෙනෙක් එජාපයට ගිහිල්ලා හේත්තු වෙලා ඉන්නවා. ඒ අය නැවත ගන්න කල්පනාවක් නැද්ද?

මුද්දරයක වටිනාකම තියෙන්නේ සීල් එක ගහන්න කලින්. ගැහුවොත් ආයි පාවිච්චි කරන්න බෑ. එහෙම වුණාම වෙන්නේ එක්කො මුද්දර එකතු කරන අයට දෙන්න. නැත්නම් පොතක අලවන්න. එහෙම ජාතියේ කට්ටියක් තමයි ඔය ගිහිල්ලා ඉන්නේ.

ඇත්තද එජාපයේ ප්‍රබල ඇමැති කෙනෙක් ඇවිල්ලා ඔබලා එක්ක සාකච්ඡා කළා කියන්නේ?

යුදමය තත්ත්වය ජයග්‍රහණය කරනකල් යුද රහස් එළි කරන්න බැහැ. එන දින 45 ඇතුළතදී අපි ඒක ලස්සනට පැහැදිලි කරලා පෙන්නන්නම්.

2015 දතට දතක් ගත්තා වගේ එජාපයෙනුත් ගන්න කට්ටියක් ඉන්නවා ඒ කියන්නේ?

ඔව්. එජාපයෙත් ඉන්නවා රටට ආදරය කරන නායකයෝ. අන්න ඒ අයත් එක්ක සාකච්ඡා කරලා අපේ පැත්තට එකතු කරගන්නවා.

මේ වෙනකොට රටේ වැඩ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වෙනවා. ඒක මෙහෙයවන්නේ පොහොට්ටුව කියලයි කියන්නේ. ඇයි මෙහෙම දේවල් කරන්නේ?

කිසිසේත්ම නැහැ. අපිට එහෙම කිසිම වැඩ වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරන්න ඕන නැහැ. එහෙම කරන්න බැරිකමකුත් නැහැ. හැබැයි තමන්ගේ වෘත්තිය වෙනුවෙන් පෙනී ඉන්න ඒ වෘත්තියවේදීන්ට අයිතියක් තියෙනවා. අපේ පක්ෂයේ වෘත්තිය සමිති ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ ආණ්ඩුව කළේ නීති ක්ෂේත්‍රයේ අයගේ විතරක් පඩි වැඩි කළා. එතකොට ඒ අය විතරද බත් කන්නේ? අනිත් අය බත් කන්නෙ නැද්ද? ඒ නිසා දැන් වැඩේ අනාගෙන මේ ආණ්ඩුව අපේ කරට දාන්න හදනවා.

අවසාන වශයෙන් අහන්නේ ඇත්තද ඔබලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයට බැරුව ගියොත් වෙන අපේක්ෂකයෙක් සූදානම් කරන් ඉන්නවා කියන්නේ ඉදිරිපත් කරන්න?

අවශ්‍ය නෑ. මේ සියල්ල සුද්ධ පවිත්‍ර වෙලා කරදරයක් නැතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකකමට සුදුසුකම් ලබනවා.

► ගයාන් ගාල්ලගේ