2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

එජාප අපේක්ෂකයා එන්නේ පොදු තීන්දුවකින්

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

► පක්ෂ දෙකේ ආණ්ඩුවෙන් එජාපයට හානිවුණා

► රටේ ප්‍රශ්න විසඳන්න සජිත් මහත්තයට පුළුවන්

► ගෝඨාභයට රටේ පාලනය ගැන කිසිම දැනුමක් නෑ

► සමහරු හිතනවා යහපාලනය කියන්නේ සුදු වෑන්වලින් උස්සලා මරණ එක කියලා

► හොරුන්ට, දූෂිතයන්ට වෙලාවට දඬුවම් නොකිරීම අපේ දුර්වලකමක්

►ආර්ථිකය වැටිලානම් පඩි වැඩි කරන්නෙ කොහොමද?

 

- රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන ඇමැති රන්ජිත් මද්දුමබණ්ඩාර

ආර්ථිකය වැටිලා නම් පඩි වැඩි කරන්නෙ කොහොමද?

බලයට පත්වූ විගසම ජනතාවට සහන දුන්නා

පොදු ජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කර අවසානයි. එක්සත් ජාතික පක්ෂය මෙතෙක් අපේක්ෂකයකු නම් කර ගැනීමට අපොහොසත් වෙලා නේද?

ඉදිරි දින කිහිපය ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පත් කිරීමට අප කටයුතු කරනවා. නියම වෙලාවට එය සිදු වේවි.

එක්සත් ජාතික පක්ෂය විසින් හදන බව කියන සන්ධානයත් මෙතෙක් බිහි වී නැහැ. එය පිහිටුවන විට එයට සම්බන්ධ ඇතැම් පක්ෂ පොහොට්ටුව සමඟ සන්ධානගත වෙලා ඉන්නත් පුළුවන්?

කිසිවකු පොහොට්ටුව සමඟ සන්ධාන ගත වෙන්නේ නැහැ. මේ වනවිට සන්ධානයට සියලු පක්ෂවල එකඟතාව ලැබී අවසන්. තවමත් යම් යම් සංශෝධන තිබෙනවා. ඒවාටත් එකඟත්වය පළ වී ඇති බැවින් කෙටුම්පත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙනවා. එම කටයුතු අවසන් වූ විගස සන්ධානය පිහිටුවන්න පුළුවන්.

මෙතෙක් ජනාධිපතිවරණය ප්‍රකාශ කර නොමැති හෙයින් එය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නම් කිරීමට පක්ෂ නායකත්වය අපේක්ෂා කරනවාද?

නැහැ. එළඹෙන දෙසැම්බර් 8 වැනිදාට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. ඔක්තෝබර් මාසය වනවිට නාම යෝජනා කැඳවිය යුතුයි. ඊට පෙර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා අපි නම් කරනවා.

නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස  ජනාධිපති අපේක්ෂකත්වයට නම් කළ යුතු බවට විශාල ප්‍රචාරයක් ගෙන යනවා. ඔහු වෙනුවෙන් බැනර්, පෝස්ටර් ප්‍රදර්ශනය කරනවා. එහෙත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඔහුට අපේක්ෂකත්වය ලබාදෙන බවට කිසිදු අයුරකින් සඳහන් කර නැහැ. එහෙම වෙන්නේ ඇයි?

එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා සාකච්ඡා කර එළඹෙන ඒකමතික තීන්දුව අනුව ජනතාව ඉල්ලන ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට කටයුතු කරනවා.

සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය දීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසියම් අකමැත්තක් තියෙනවද? නැතිනම් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණක් තිබෙනවද?

රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිදු විරෝධයක් නැහැ. අපි සියලුදෙනා සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසු අපේක්ෂකයා කවුදැයි යන්න තීරණය කරනවා. තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණත් රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් එවැනි ප්‍රකාශයක් කර නැහැ. කෙසේ වුවත් පක්ෂයේ සියලුදෙනා ඒකමතිකව ගන්නා තීන්දුව අනුව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. පක්ෂයේ බෙදීමකින් තොරව එම කර්තව්‍යය සිදුවේවි.

අපේක්ෂකයා තෝරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාව අනුවද?

අපේක්ෂකයා තේරීමේ බලය පැවරී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහ මන්ත්‍රි කණ්ඩායමටයි. එහෙයින් කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නැහැ. සියලුදෙනාගේ එකඟතාව මත අපට අපේක්ෂකයා නම් කළ හැකියි.

සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා කළ යුතු බවට මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා සිටිනවා. එම මන්ත්‍රීවරුන් නියෝජනය කරන ප්‍රදේශවලට සම සංවිධායකයන් පත් කිරීමේ සූදානමක් ඇති බවට රාවයක් පවතිනවා. එහි සත්‍යයක් තිබෙනවාද?

එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඕනෑම මන්ත්‍රීවරයකුට තම මතය ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා කිසිදිනක පළිගන්නා නායකයෙක් නොවෙයි. එතුමා හා අප අතරත් ප්‍රශ්න තිබුණා. එහෙත් කිසිදිනෙක අපට එරෙහිව කිසිවක් කළේ නැහැ. එතුමා සහයෝගයෙන් කටයුතු කරන නායකයෙක්.

යම් හෙයකින් එවැන්නක් සිදු වුවහොත් ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොන වගේ වෙයිද?

අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. එවැන්නක් පක්ෂය ඇතුළෙ කිසිවිටෙක සිදු වන්නේ නැහැ.

මේ වනවිට රජයේ ඇතැම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනතාව තුළ කලකිරීමක් පවතින බව දැකිය හැකියි. මැතිවරණය ආසන්න වනවිට රජයට බොහෝ දේ මතක් වී ඇතැයි ඔවුන් පවසනවා. මෙම චෝදනාවේ සත්‍යයක් තිබේද?

බලයට පත් වූ විගසම පඩි වැඩි කළේ, තෙල් මිල, බඩු මිල අඩු කරලා ජනතාවට සහන දුන්නේ අපේ රජයෙන්. මේ රටට අවශ්‍ය ස්වාධීනත්වය, නිදහස ඇතිකළේ අපේ රජයෙන්. අපි මෙවැනි දේ කළේ මැතිවරණ ආසන්න වනවිට නොවෙයි. බලයට පත් වූ විගසමයි.

එසේ නම් රජය කෙරෙහි ජනතාව තුළ මෙවැනි කලකිරීමක් ඇත්තේ ඇයි?

ඇතැම් මාධ්‍යවල පළවන අසත්‍ය ප්‍රකාශ නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ජනතාව බුද්ධිමත් ලෙස කටයුතු කරන ආකාරය අපිට ඉදිරි මැතිවරණවලදී බලාගත හැකියි.

රජයේ නොහැකියාව මත රටේ ආර්ථිකය කඩා වැටුණු බවට චෝදනාවක් තිබෙනවා. ආර්ථිකය නගාසිටුවීමට රජයට නොහැකි වූයේ ඇයි?

ආර්ථිකය කිසිදු අයුරකින් කඩා වැටී නැහැ. ආර්ථිකය වැටිල නම් අපි පඩි වැඩි කරන්නෙ කොහොමද? වී මිල වැඩි කරන්නෙ කොහොමද? සහනාධාර ලබා දෙන්නෙ කොහොමද? ආර්ථිකය බිඳවැට්ටුවෙ පහුගිය රජයයි. ඔවුන් අපට භාර දුන්නේ බින්දුවට වැටුණු ආර්ථිකයක් සහිත ආණ්ඩුවක්. අපට ණය ගෙවාගැනීමටවත් මුදල් තිබුණේ නැහැ. අපේ රජය යටතේ ආර්ථිකය කඩා වැටී ඇතැයි ඔවුන් මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර ගෙන යනවා.

රජය දැනට ඇති ණය පියවීමට සහ සංවර්ධන කටයුතු සඳහා තව තවත් ණය ගන්නා බවට ජනතාව චෝදනා කරනවා?

සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ණය ගැනීමට සිදුවෙනවා. රාජපක්ෂ පාලනය යටතේ අපට දැරිය හැකි සීමාව ඉක්මවා ණය ගෙන තිබුණා. මේ රජය යටතේ ණය යම් පාලනයකට කළමනාකරණයකට නතුවී තිබෙනවා. පසුගිය රජය සමයේ කිසිදු කළමනාකරණයකින් තොරව ණය ගත් අතර එවායින්ද හොරකම් කළා. අපේ රජය ලබා ගන්නා ණය මනා කළමනාකාරීත්වයක් යටතේ සංවර්ධන කටයුතු සඳහා වැය කරනවා.

2015 ඔබේ රජය බලයට පත් වූයේ යහපාලනයක් ස්ථාපනය කරන බවට සපථ කරමින්. එහෙත් ජනතාවගේ මතය වී ඇත්තේ ඉතා දුර්වල පාලනයක් පැවති බවයි?

යහපාලනය යනුවෙන් අදහස් වන්නේ නීතිය ක්‍රියාත්මක වීම, නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, ජනතාවට කතා කිරීමේ අයිතිය ලබාදීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වැනි දේවල්. අපේ රජයට යටතේ මේ සියල්ල ඉටුවුණා. යහපාලනය කියන්නේ සුදු වෑන්වලින් උස්සන එක හරි මිනිස්සු මරණ එක හරි හොරකම් කරන එක හරි කියලා ඇතැම් අය හිතනව ඇති.

ජනතාව කියනවා හොරු ඇල්ලුවේ නැහැ, දූෂිතයන්ට ඝාතකයන්ට දඬුවම් දුන්නේ නැහැ කියලා?

මේ සම්බන්ධයෙන් අපේ යම් දුර්වලතාවක් ඇති බව පිළිගත යුතුයි. මේ වනවිට නඩු එකසිය ගණනක් පවරා තිබෙනවා. අපේ අධිකරණ ක්‍රියාවලිය තුළ නඩු ප්‍රමාද වීමක් පවතිනවා. නඩු සම්බන්ධ තීන්දු කෙටි කාලයක් තුළ ලබාදිය නොහැකියි. අපේ රජයේ ප්‍රධානම දුර්වලතාව තමයි හොරුන්ට, දූෂිතයන්ට නිසි වෙලාවට දඬුවම් නොකිරීම. එම වරද මම පිළිගන්නවා.

පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රබලම අපේක්ෂයා බව එම පක්ෂය සඳහන් කරනවා. ජාතික ආරක්ෂාවට මුල් තැනක් දෙමින් ඔහුට අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතාද පැහැදීමකින් කතා කළා. ඇත්තටම ඔහු ප්‍රබල අපේක්ෂකයෙක්ද? එක්සත් ජාතික පක්ෂයට ඔහු අභියෝගයක්ද?

ඔහු දේශපාලනික වශයෙන් පළපුරුද්දක් නොමැති පුද්ගලයෙක්. අවම වශයෙන් ප්‍රාදේශීය සභාවක් හෝ නියෝජනය කළ පුද්ගලයකු නොවෙයි. යුද්දෙත් අතහැරල ගිය පුද්ගලයෙක්. ඔහු මේ රටට නැවත ආවේ තම සහෝදරයා ජනාධිපති වූ නිසයි. අපට බය නැතුව කියන්න පුළුවන් දැනට සිටින දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ කියලා.

ගෝඨාභය රාජපක්ෂට දකුණේ විශාල පිළිගැනීමක් තිබෙනවා?

එම පිළිගැනීම එක්සත් ජාතික පක්ෂයටත් තියෙනවා. ඔහු දකුණේ ජනප්‍රියයි කියලා එම පක්ෂයේ අය පවසනවා. ඒ වුණාට නාමල් රාජපක්ෂ ගිහින් ගෝඨාභය රාජපක්ෂගේ කටවුට් බැනර් ගලවන්න කියා තිබෙනවා. එය එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවෙයි.

සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය හිමිවුවහොත් ඔහු රටේ ප්‍රශ්න විසඳිය හැකි නායකයෙක් ලෙස ඔබ පිළිගන්නවාද?

අනිවාර්යයෙන්ම පුළුවන්. එක්සත් ජාතික පක්ෂයෙන් පත් වූ සෑම නායකයෙක්ම මේ රටේ ප්‍රශ්න විසඳුවා. මේ රටේ කෘෂිකර්මය, කර්මාන්ත දියුණු කළේ එක්සත් ජාතික පක්ෂයයි. ස්වාධීන්ත්වය ඇති කළේ එක්සත් ජාතික පක්ෂයයි. ඉතින් සජිත් ප්‍රේමදාස මහතාට එම වැඩ කොටස ඉටුකළ හැකියි.

ඔබ කිව්වා ගෝඨාභය රාජපක්ෂ කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති නායකයෙක් කියලා. සජිත් ප්‍රේමදාස මහතාටත් නායකත්වය පිළිබඳ අත්දැකීම් නැහැ නේද?

සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රීවරයෙක් ලෙස, ඇමතිවරයෙක් ලෙස දීර්ඝකාලීන අත්දැකීම් සහිත පුද්ගලයෙක්. ගෝඨාභය රාජපක්ෂ මහතාට එවැනි අත්දැකීමක් නැහැ. එතුමා දන්නේ හමුදාව පිළිබඳව විතරයි. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ඔහු හමුදා සෙබළුන් යොදා ගනිමින් විවිධ කටයුතු කළා. රටක් පාලනය කිරීම හමුදාවක් පාලනය කරනවා වගේ නොවෙයි.

අවසාන වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සීතල යුද්ධය නිසා එක්සත් ජාතික පක්ෂයේ පසුබෑමක් ඇති වුණා කියලා ඔබ පිළිගන්නවද?

ඇත්ත වශයෙන්ම අගමැතිවරයා සහ ජනාධිපතිවරයා පක්ෂ දෙකක අයවීම නිසා එක්සත් ජාතික පක්ෂයට විශාල හානියක් වුණා. එය අප පිළිගත යුතුයි. මත දෙකක්, දර්ශන දෙකක් තිබූ නිසා රට පාලනයේදී යම් යම් බාධා පැමිණුනා.

► සාකච්ඡා කළේ:  ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00