2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

පොහොට්ටුවට එන අය තොරණ ගහලා පිළිගන්නවා.....

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 111

මාතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන

පොහොට්ටුවට එන අය තොරණ ගහලා පිළිගන්නවා
ජනතා මතය එක්ක ඉන්න ආණ්ඩුවකට මාධ්‍ය ප්‍රශ්නයක් නෑ
ශ්‍රීලනිප මන්ත්‍රීවරු බයවෙන්න මොකටද?
ආණ්ඩුව නඩු දාන අය නිදහස් වෙනවා
නිදහස නැත්නම් කොහොමද රාජපක්ෂලා පැරැද්දුවේ?
සියයට පනහ ගැනීම අපට අභියෝගයක් නොවේ
වෙල්ගම මහත්තයාගේ කතාව විහිලුවක්

පොහොට්ටුවේ අපේක්ෂකයා දැන් නම් කරලා ඉවරයි. එතකොට දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ විපක්ෂයේ කණඩායම් එක්ක තිබ්බ ප්‍රශ්න ඉවරද?

අපි කිසි දෙයක් ගැන කල්පනා කරන්නේ නෑ අපේ වැඩපිළිවෙළ කරගෙන යනවා මිසක්. අපි කැමතියි කවුරැත් සහයෝගය දෙනවා නම්. නමුත් අනික් අයගේ ගැටලු ගැන කල්පනා කරන්න පුළුවන් කමක් නෑ. අපිට බරපතළ රාජකාරියක් කරන්න තිබෙනවා ඉස්සරහට. කැමති කෙනෙක්ට ඇවිල්ලා එකතුවෙන්න පුළුවන්. අපි සතුටින් බාර ගන්නවා. කිසිම අයුක්තියක් අසාධාරණයක් අපි කරන්නේ නෑ. ඒ නිසා අපි ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ රටට අවශ්‍ය දේ කරන්න. අපේ තියෙන පෞද්ගලික ප්‍රශ්න නෙවෙයි.  මේ වෙලාවේ රටට අවශ්‍ය මොකක්ද? අන්න ඒ වෙනුවෙන් අවංකව ඉදිරිපත් වෙන්න. ඒක තමා අපි ඉල්ලන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එල්ල වෙන ප්‍රධානම චෝදනාවක් තමයි මේක පවුලේ පක්ෂයක් කියන එක. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති අපේක්ෂක. මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති අපේක්ෂක. තවත් රාජපක්ෂවරු බලාගෙන ඉන්නවා. ඔබතුමන්ලා බිහිකරන ආණ්ඩුවකට මේ තත්ත්වය ප්‍රශ්නක් වෙයිද?

මහජනයා ඉල්ලන්නේ කුමක්ද? ඒකයි අපේ ප්‍රශ්නය.  මහජනයාට උවමනා කරන්නේ කවුද? මේ රටේ ඇවිදලා බලලා මහජනයා එක්ක කතා කළාම ජනතාව කියනවා කවුද ඕනෑ කරන්නේ? කවුද බලාපොරොත්තුව? කොතනද බලාපොරොත්තුව තියෙන්නේ කියලා. අපි ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ නැතිව මහජනයාට නුවුමනා කෙනෙක්, විශ්වාසයක් නැති කෙනෙක් අරගෙන ගියොත් ඒකෙන් අපි අමාරැවේ වැටෙනවා. අපිව ප්‍රතික්ෂේප වෙනවා. වෙන යමක් වෙන්නේ නෑ. ඒ නිසා තමයි මහජනයා ඉල්ලන අපේක්ෂකයා, මහජනයා ඉල්ලන නායකයා, මහජනයා ඉල්ලන පොදු වැඩපිළිවෙළ පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කරන්නේ.

එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් හදලා තම අපේක්ෂකයා ඉදිරිපත් කරනවා කියලා කියනවා. කාලෙකට පස්සේ ජනතා විමුක්ති පෙරමුණත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න සූදනම් වෙනවා. ඒ වගේම දැනටමත් නම් ප්‍රසිද්ධ වෙච්ච ජනාධිපතිවරණය අපේක්ෂකයෝ කිහිපදෙනෙක් ඉන්නවා. සියයට පනහ ලබාගැනීම අභියෝගයක් නෙවෙයිද?

නෑ. කිසිම අභියෝගයක් වෙන්නේ නෑ. මහජනයා මේ සියලු දේ ගැන අවබෝධයෙන් ඉන්නේ. මේ රටට අවශ්‍ය කරන්නේ රටේ අරක්ෂාව තහවුරු කරන්න පුළුවන් පාලකයෙක්. ජනතාව මේ සියයට ගණන් ගැන හිතන එකක් නෑ. මගේ විශ්වාසය සියයට හැත්තෑවක් අසූවක් විතර ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙයි කියලා.

අපිට පේන්න තියෙනවා ජනතාව මෙවර පක්ෂ පාට ගැන නෙවෙයි ඉදිරිපත් වෙන වැඩපිළිවෙළ ගැන බලලා තීරණයක් ගන්න සූදනම් වෙනවා. පොහොට්ටුවට, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තියෙන වැඩපිළිවෙළ මොකක්ද?

පැහැදිලිවම ඒක තමයි ජනතාවට වුවමනා කරන්නේ. දැනටමත් පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, එතුමාගේ වැඩපිළිවෙළේ සාරාංශය පළවෙනි දවසේම කිව්වා. ඒ කතාව හොඳට විග්‍රහ කරලා බලන්න. කොයි වගේ ක්‍රියාන්විතයක්ද එතුමා ක්‍රියාත්මක කරන්නේ කියලා. ඒක තමයි ජනතාවගේ වැඩපිළිවෙළ.

ඔව්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අගෝස්තු  11 වැනිදා කතාවේ ගොඩක් දේවල් කිව්වා. ඒත් අධිකරණයේ ස්වාධීනත්වය, සංහිඳියා වැඩපිළිවෙළ, මාධ්‍ය නිදහස වගේ කාරණා කතා වුණේ නෑනේ?

එතුමා එදා කියපු ටික හොඳට විග්‍රහ කරලා බැලුවා නම් ඒ සියලු දේවල් අන්තර්ගත වෙනවා. එතුමාගේ මූලික අරමුණු අධිකරණයේ ස්වාධීනත්වය නැතිව ක්‍රියාත්මක කරන්න බෑ. එතුමා රටේ ආරක්ෂාව ගැන කතා කළා. අධිකරණය පක්ෂපාතී වෙලා කවදාවත් ඒක කරන්න බෑ. ඒ වගේම මාධ්‍ය නිදහස නැතිව ඒ කාර්යය කරන්න බෑ. හොඳට බලන්න මේ ආණ්ඩුව මාධ්‍යයට වාරණ කරදර කොච්චර කරලා තියෙනවාද? තව චෝදනාත් කරලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම කිසිදෙයක් නැතුව කටයුතු කරන්න. රටේ ජනතාවගේ අවශ්‍යතාව ක්‍රියාත්මක කරනවා නම් මාධ්‍යයට ඊට එහා යන්න පුළුවන් කමක් නෑ. ජනතා මතයත් එක්ක ආණ්ඩුව කරන රජයකට මාධ්‍යය ප්‍රශ්නයක් නෙවෙයි.

ආණ්ඩුව පැත්තෙන් කියන දෙයක් තමයි රාජපක්ෂ යුගයේ ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සීමාවෙලා තිබ්බා. දැන් ඒක තහවුරු වෙලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ පාලනයක් ඇතුළේ නැවතත් ජනතා නිදහස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමිවෙයි කියන එක. ඇත්තටම එහෙම වෙයිද?

රාජපක්ෂ පාලනයක් යටතේ මහජන නිදහස අහිමි වුණයි කියනවා නම් කොහොමද රාජපක්ෂලා පැරදුණේ. රාජපක්ෂලා පැරදුණා විතරක් නෙවෙයි මැතිවරණ ප්‍රතිඵලය එන්න කලින් රාජපක්ෂලා ගෙදර ගියා. අද මේ ආණ්ඩුව මැතිවරණ තියන්නේ නැතිව අවුරුදු හතරහමාරක් ගෙන ගිහිල්ලා තියෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් උදුරගෙන තියෙනවා. ජනතාවට ඡන්දය දෙන්න තිබෙන අයිතිය සම්පූර්ණයෙන්ම පැහැරගෙන තියෙනවා. ඉතින් අද කෝ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය? අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ දැන් යම් යම් ගැටලු මතුවෙලා තියෙනවා. විවිධ අවස්ථාවලදී පාර්ලිමේන්තුවෙත් යම් යම් කාරණා මතුවුණා. අද කෝ ඒවා ගැන කතා කරනවාද? මේ ආණ්ඩුව යටතේ සිද්ධවුණ දූෂණ ගැන අපි අල්ලස් සහ දූෂණ කොමිසමට පැමිණි කරලා තිබෙනවා. ටොප් ටෙන් කියලා ඉස්සෙල්ලා දහයක් දුන්නා. ටොප් ටුවෙන්ටි කියලා ආයේ දහයක් දුන්නා. මේ පැමිණිලි එකක්වත් විභාග වෙන්නේ නෑ. පහුගිය කාලේ එෆ්.සී.අයි.ඩී.ය විභාග කළ පැමිණිලි සියල්ල අධිකරණට පරිබාහිරව අරලිය ගහ මන්දිරයේ කමිටුවක් මගින් තෝරාගත්තු ඒවා තමා විභාග කළේ.

එහෙම නම් කෝ අධිකරණයේ නිදහස? දේශපාලන නායකත්වය තීරණය කළා මේ නඩුව විභාග කරන්න. මේ නඩුව පටන් ගන්න. මේ උදවිය හිරේට දාන්න කියලා. කෝ අධිකරණයේ නිදහස? අධිකරණයේ නිදහස ගැන කතා කරන්න මේ ගොල්ලන්ට තියෙන අයිතිය මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන්න තියෙන අයිතිය මොකක්ද? පහුගිය දවස්වල ගාමිණී සෙනරත් මහත්තයාට විරුද්ධ නඩුව නිසා අවුරුදු ගණනාවක් ඒ මනුස්සයා දුක්වින්දා හිරේ දැම්මා. අවසානයේ නිදොස් කොට නිදහස් කළා. ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදයත් මූලික මිනිස් අයිතිවාසිකමුත් උදුරගත්ත ආණ්ඩුවක් මේ ආණ්ඩුව.

ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පිටිපස්සේත් දූෂණය චෝදනා එල්ල වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ අයගෙන් මිදිලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වැඩකරන්න පුළුවන් වෙයිද? ඒක ජනතාව කොහොමද විශ්වාස කරන්නේ?

ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශ විස්තර කරලා බැලුවොත් ඔය හැම ප්‍රශ්නයකම උත්තර එතැන තියෙනවා. රටේ මතයක් තියෙනවා සුළුජන ඡන්ද ආකර්ෂණය කරගන්නේ නැතිව මේ රටේ ජනාධිපතිවරයෙක් බිහිකර ගන්න බැහැයි කියලා. සරල බහුතරක් නෙවෙයි සීයට පනහකුත් එක ඡන්දයක් ඕනාකරනවා ජනාධිපතිවරණය ජයග්‍රහණයට. කොහොමද පොහොට්ටුව සුළු ජන කොටස්වල ඡන්ද ආකර්ෂණය කරගන්නේ? සුළුජන ඡන්ද කියනකොටම ඒකෙන්  තේරෙන්නේ මොකක්ද?  මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ, මේ රටේ මූලික මිනිස් අයිතිවාසිකමක් නෑ කියන වචන තමයි එතැනදී ඉස්සරහාට එන්නේ. සුළුජන ඡන්ද කියලා දෙයක් නෑ. මේ රටේ ඉන්නේ පුරවැසියෝ. මේ සෑම පුරවැසියෙකුටම ආරක්ෂාව අවශ්‍යයි. නිදහස අවශ්‍යයි. ආහාරපාන ආදීය අවශ්‍යයි. මාර්ග පහසුකම් අවශ්‍යයි. පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා නම් කාටත් එක හා සමානව ඒක බලපානවා. ඒ නිසා මහ ජාතිය සුළු ජාතිය කියලා දෙයක් නෑ. මේ රටේ ඉන්නේ පුරවැසියෝ. ඒ අය තමයි ඡන්දය පාවිච්චි කරන්නේ. ඒ අයගේ අවශ්‍යතා තහවුරු කරන්න පුළුවන් නායකයා තමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒක තමයි එතුමාගේ කතාවෙන් කිව්වේ. මොනවද එතුමා කරගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා.

තරුණ ඡන්ද පොහොට්ටුවට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයිද? මොකද ජනතා විමුක්ති පෙරමුණත් විකල්ප අපේක්ෂකයෙක් දාන්න යනවා?

ජනතා විමුක්ති පෙරමුණ තරුණයන්ගේ පක්ෂයක්ද කියන ප්‍රශ්න මතුවෙනවා. තරුණ ඡන්ද කියලාත් විශේෂ එකක් නෑ. තරුණයො නෙවෙයි මේ රට භාරගන්නේ මේ රටේ පුරවැසියෝ. බාල මහළු තරුණ කියලා පුරවැසියාගේ භේදයක් නෑ. ඒ සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුයි. ඔය කියන තරුණ ඡන්දවලට අවශ්‍ය වෙන්නේත් රටේ ආරක්ෂාව, රටේ ජීවත්වීමේ අයිතිය, ඒ අයගේ රැකීරක්ෂා අනාගතය පිළිබඳ තහවුරුවක්. ෂැංග්‍රිලා බෝම්බයෙන් මියගියේ කවුද වැඩිහරියක් තරැණයෝ. එතැනදී තරුණයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වුණාද? අවුරුදු විසි දෙකයි වයස. රස්සාවට ගිහිල්ලා මාස හයයි. ඒ තරුණයත් නැති වුණා. එනිසා තරැණයෝ රටේ ආරක්ෂාව අගය කරනවා කියලා මම හිතනවා.

ඒ වුණාට තරුණ ඡන්ද ලක්ෂ තුනක් විතර ඡන්ද හිමි නාමලේඛනයට එකතු වෙලා නෑ කියලා පසුගිය දවසක තරුණ විරෝධතාවක් තිබ්බා. තරැණ්‍යය ජනාධිපතිවරණය ගැන අවදියෙන් ඉන්නේ?

එතන පොඩි ගැටලුවක් තිබෙනවා. 2019 ඡන්ද නාමලේඛනය ගන්නේ නෑ කියනවා ජනාධිපතිවරණයට. ඒකට අපෙත් එකඟතාවක් නෑ. ලක්ෂ තුනහමාරකට විතර ඡන්දය පාවිච්චි කරන්න තිබෙන අයිතිය නැතිවෙලා යනවා. මේ ඡන්ද නාමලේඛනය සහතික කිරීමේ ප්‍රමාදයටත්, මැතිවරණ කොමසාරිස්ගේ 2018 ඡන්ද නාමලේඛනයට ඡන්දය පැවැත්වීමේ තීරණයටත් පෞද්ගලිකව මමත් එකඟ නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා දයාසිරි ජයසේකර මහත්මයා කිව්වා අපේක්ෂකයා නම් කළාට පස්සේ මොන සාකච්ඡාද කියලා. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් වුණු කුමාර වෙල්ගම මහත්මයා කිව්වා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැත්නම් මම වුණත් සූදානම් කියලා. මේවා ප්‍රශ්න නේද?

ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට මට වුණත් ඉදිරිපත් වෙන්න පුළුවන්. මගේ තිබෙන නුසුදුසුකම මොකක්ද? මේ රටේ පුරවැසියෙක් විදිහට මටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. කිසිම නුසුදුසුකමක් නෑ. අපිටත් ගිහින් රටට මොනවා හරි කියන්න පුළුවන්. එහෙම කිව්වාම මාතර දිස්ත්‍රික්කයේ මට ඡන්දේ දෙන කොටසක් ඉඳීවි. ඒත් ඒක කොච්චර දුරට විහිලු සහගතද කියන එක ආයේ මම කියන්න ඕනේ නෑ.

පොහොට්ටුව ශ්‍රීලනිපය එකතුවුණොත් ශ්‍රීලනිප කණ්ඩායමේ දේශපාලන ගමන පොහොට්ටුවේ පිරිස විනාස කරයි කියලා ඒ අයට බයක් තියෙනවා?

එහෙම කාගෙවත් දේශපාලන ගමනක් විනාශ කරන්න කාටවත් බෑ. තමුන්ගේ දේශපාලනය විනාශ කරගන්නේ තමන්මයි. වෙනත් කෙනෙකුට එහෙම කරන්න පුළුවන් කියන එක අපි විශ්වාස කරන්නේ නෑ. තමුන්ගේ දුර්වලකම් තමන් දන්න නිසා තමා එහෙම කතාකරන්නේ. අපිට මෙහෙම කරයි අරහෙම කරයි කියලා හිතනවා. මම දුර්වලයි මට ගැහුව්වොත් මම වැටෙයි කියලා හිතනවා. ඒකනේ ඔය කියන්නේ. පහුගිය කාලේ මේ අයගේ දේශපාලන ක්‍රියාවලිය දිහා බැලුවාම මේ අය ජනතාව ඉදිරියේ දුර්වල වෙලා තියෙන්නේ. ඒ බයට අපිට කරන්න දෙයක් නෑ. නමුත් එහෙම දෙයක් වෙන්නේ නෑ.

වර්තමාන ජනාධිපතිතුමා ඔබතුමාලට සහයෝගය දක්වලා විශ්‍රාම ගියොත් එතුමා වෙනුවෙන් රටේ තැනක් තනතුරක් සූදානම් කරලා තියෙනවාද?

වර්තමාන ජනාධිපතිතුමා අපිට සහයෝගය දක්වනවා නම් අපි ඒක පිළිගන්නවා. එතුමාට තනතුරු දෙන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් තියනවාද? ඒක කොහොම කරයිද? දන්නේ නෑ. ඒත් ව්‍යවස්ථාව යටතේ එතුමාට දෙන්න පුළුවන් තනතුරක් මේ මොහොත වෙනකල් නෑ. ඒකට ව්‍යවස්ථාට වෙනස් කරන්න අවශයි. ඒ සඳහා තුනෙන් දෙකක බලයක් ඕනෑ. මේ ඔක්කොම අභූත කතා. මම හිතන්නේ නෑ ජනාධිපතිතුමා ජනාධිපති තනතුරු දරලා මට කොහේ හරි පොඩි තනතුරක් දෙන්න කියලා ඉල්ලයි කියලා. නමුත් එතුමාට ගෞරවාන්විතව ජීවත්වෙන්න බිල් ක්ලින්ටන්ට වගේ ඉදිරි කාලය තුළ රටට සේවයක් කරන්න, රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න, රටේ පොදු කටයුතුවලදී ඒවාට නායකත්වය දෙන්න, කිසිම අවුලක් වෙන්නේ නෑ. ඒ වෙනුවෙන් අපි සම්පූර්ණ සහයෝගය එතුමාට ලබාදෙනවා.

එජාපයෙන් සජිත් ආවොත් ඒ පැත්තෙන් පිරිසක් පොහොට්ටුවට එකතු වෙන්න ආවොත් ඔබතුමාලා පිළිගන්නවාද?

පැහැදිලිවම. පොහොට්ටුවට එන සියලුදෙනා පිළිගන්නවා. සාදරයෙන් පිළිගන්නවා. තොරණ ගහලා පිළිගන්නවා.

එතකොට පහුගිය කාලේ ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කරපු අය ආවොත් දූෂණ චෝදනා තිබෙන අය ආවොත් ඒ අයත් පිළිගන්නවා ද?

දූෂණ චෝදනා ඔප්පු වෙනතුරු ඒ අය දූෂකයෝ කියලා මේ රටේ පිළිගන්නේ නෑනේ. ඒක උසාවියකින් ඔප්පු වුණොත් ඒකට අපිට කරන්න දෙයක් නෑ. අපි මොනවා කරන්නද ඒකට.

චමිඳු නිසල් ද සිල්වා