2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ශ්‍රීලනිපයෙන් 10ක් අපට එකතු වෙනවා

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 169

පොදු අපේක්ෂකයකු ගැන අපේ විශ්වාසයක් නෑ

එජාපයේ ඉන්න දිනන්න පුළුවන් නායකයා කවුදැයි ඔක්කොම දන්නවා

චම්පික ඇමැතිතුමාට ඕනෑ විදියට එජාපය නටවන්න බෑ

19 වැනිදාට පෙර එජාප අපේක්ෂකයා නම් කරනවා

සජිත් මහත්තයාට විරුද්ධ වෙන්නේ දේශපාලනය නොදත් අයයි

සිරිසේන මහත්තයා එක්ක අපට ගමනක් නෑ

ගෝඨාභය මහත්තයාගේ ප්‍රශ්න පාස්පෝට් එකෙන් විසඳෙන්නෙ නැහැ

බහුතරයේ කැමැත්ත නායකතුමාගේත් කැමැත්තයි

- එජාප රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ

මේ වෙනකොට පක්ෂ ලහි ලහියේ ජනාධිපති සටනට ලෑස්ති වෙනවා. සමහර අය අපේක්ෂකයාගේ නම නොකියා නම කියනවා. සමහර අය මෙදාට කියනවා කියලා කියනවා. ඒත් එජාපයේ තාම අපේක්ෂකයෙක් පේන තෙක් මානයක නෑනේ?

එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ඉඳලා අපේක්ෂකයා තීන්දු කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම. මම හිතන්නේ නැහැ මෙවර එම සම්ප්‍රදාය බිඳින්න උත්සාහ කරයි කියලා. අපි ඉල්ලීමක් කරලා තියෙනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඒ පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරලා තීන්දුවක් ගන්න අවස්ථාවක් ලබාදෙන්න කියලා. ඒ සම්බන්ධව අපි ඉල්ලීමක් කරලා අග්‍රාමාත්‍යතුමාට ලිපියකුත් බාරදෙන්න යන්නේ.

එක්සත් ජාතික පෙරමුණ කියලත් ඔබේ කණ්ඩායමට කියනවා. අලුත් සන්ධානෙකුත් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම තියෙද්දී ඇයි මේ අපේ අපේක්ෂකයෙක් දාන්න උත්සාහ කරන්නේ?

2015 පොදු අපේක්ෂකයකු අරන් ආවේ එකඟතා රැසක් එක්ක. ඒ නිසා සියට අනූපහක එජාප ඡන්ද ප්‍රතිශතයක් නිසා ඔහු ජයග්‍රහණය කළා. ඒත් අපි බලාපොරොත්තු අරමුණු සඳහා 100෴ ළඟාවෙන්න බැරිව ගියා. ඒකට හේතුව ඔහු පොදු කාරණා බිඳින්න කටයුතු කළ නිසා. ඒ නිසා නැවතත් පොදු අපේක්ෂකයෙක් ගෙනැල්ලා අපි අරමුණු කරගත් දේවල් ඉටුකරගන්න පුළුවන් වෙයි කියලා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට විශ්වාසයක් නැහැ. ඒ නිසා අපි තීන්දු කළා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු විය යුතුයි කියලා. ඒ හරහා සුළු ජාතික පක්ෂ සහ අනෙකුත් පක්ෂ එකතුවෙලා ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා අපි තීරණයකට ඇවිත් තිබෙනවා. 

දැන් මේ සන්ධානයේ පක්ෂ කිහිපයක්ම තියෙන කොට ඔබලාගේ හිතුමතයට අපේක්ෂකයෙක් ගෙනාවොත් ඊට අනෙකුත් පක්ෂ එකඟ වෙයි කියලා විශ්වාසයක් තියෙනවාද?

අපි අනෙකුත් පක්ෂත් එක්ක කතා කරලා තිබෙනවා. ඔවුන්ගේ මතය වෙන්නෙත් අපේම මතයයි. ඒ කියන්නේ අපෙක්ෂකයා ඉදිරිපත් කළායින් පස්සේ ඒ සඳහා එකඟතාවයන් ඉදිරිපත් කරන්නම් කියලා තමයි ඔවුන් කියලා තියෙන්නේ. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණ සමග හිටිය පාඨලී චම්පික රණවක මහත්තයා සහ චතුර සේනාරත්න මහත්මයාගේ පක්ෂ වගේ දෙකක් තමයි අපිත් එක්ක එකතු වෙන්න දැන් තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා අපි ඉදිරිපත් කරන අපේක්ෂකයාට ඒ අය එකඟ වෙන්න ඕන. කොහොම වුණත් ගැටලුවක් නැතිව අදාළ අපේක්ෂකයා තෝරලා අපි ඔහුව ගෙන එනවා.

මේ වෙනකොට එජාපයේ අපේක්ෂකයෝ තුන් දෙනෙකුගේ නම් කියවෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා, සජිත් ප්‍රේමදාස මහත්තයා, කරු ජයසූරිය මහත්තයා ඒ තුන්දෙනා. ඇත්තටම ඔබ හිතන්නේ කාටද සුදුසුකම තියෙන්නේ?

මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා විය යුත්තේ ගමේ මිනිහාව ජයග්‍රහණය කළ හැකි නායකයෙක්. ඔහු ජනතාව අතරින් නිර්මාණය වුණු නායකයෙක්. මේ වෙනකොට පාර්ලිමේන්තු කණ්ඩායමත් කෘත්‍යාධිකාරී මණ්ඩලයත් දන්නවා මේ රටේ ජයග්‍රහණය කළ හැකි නායකයා කවුද කියලා. ඒ නායකයා විනයානුකූලව නීත්‍යානුකූලව රටට හෙළි කිරීම තමයි අපිට තියෙන අභියෝගය. මෙතැන ගැටුමක් නිර්මාණය කර ගන්නවත් වෙන වෙන කඳවුරු තනා ගන්නවත් අවශ්‍ය නැහැ. කාටත් ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයාට අවස්ථාව ලබාදීම තමයි කළ යුතු එකම දේ.

එදා ඔබ මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා පක්ෂයේ තීන්දු තීරණ මේ ත්‍රීවීල් පක්ෂවල ඉන්න අයට ගන්න දෙන්න බැහැ කියලා. කවුද ඒ ත්‍රීවීල් පක්ෂ?

අපි දැක්කා පාඨලී චම්පික රණවක මහත්තයා කියනවා මීළඟ සටනට අරගෙන එන්නේ නායකයෙක් නෙමෙයි නායකත්ව මණ්ඩලයක් කියලා. ජනාධිපතිවරණයට එහෙම කරන්න හැකියාවක් නැහැනේ. මෙවර තීන්දු කරලා ඉවරයි අපේ අපේක්ෂකයා එජාපයේ අයෙක්ම විය යුතුයි කියලා. එහෙම තියෙද්දිත් වෙනත් අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරන එක වැරුදියි. එක්සත් ජාතික පක්ෂය නටවන්න එජාපයේම ඡන්ද පදනමක් හදාගත්තු පාඨලී චම්පික රණවක මහත්තයා උත්සාහ ගන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. සමහරවිට අපි දැකලා තියෙනවා එජාපයේ සිංහල බෞද්ධ ඡන්ද එතුමාගේ කියලා පෙන්වන්න හදනවා. සම්පූර්ණයෙන් වැරැදි දෙයක්. මේක ඩී.එස්. සේනානායක මහත්මයාගේ කාලේ ඉඳලාම ගොඩනැගුණු ඡන්ද පදනමක්. ඒකට මේ කවුරුත් අයිතිවාසිකම් කියන්න වුවමනා නැහැ. ඒ නිසා මේ දැවැන්ත පක්ෂයේ ප්‍රතිපත්තිවලට පයින් ගහලා තමන්ගේ ප්‍රතිපත්ති ගෙනියන්න හදනවා අපි දැඩිව විරුද්ධයි. අපි අතර තිබෙන සුහදතාවය බිඳී ගියත් අපි ඒකට තරයේ විරුද්ධයි.

එජාපය පුළුල් සන්ධානයක් ගොඩනගනවා කියලා පසුගිය 5 වැනිදා වැඩේට ලෑස්ති වුණා. ඒත් වැඩේ වුණේ නැහැනේ. මොකද ඒ?

අපි එදා ඒ සන්ධානයට විරුද්ධ වුණා. ඒකට හේතුව තමයි සියලුම මන්ත්‍රීවරු එකඟත්වයකට නොපැමිණි ගිවිසුමකට අත්සන් කිරීම වැරදි නිසා. මොකද මේක සියලු දෙනාගේම කැමැත්ත මත සිදුවිය යුතු කාරණයක් හැටියටයි අපි ඒක පෙන්වා දුන්නේ. ඒ නිසා අපි දැන් තීරණය කරලා තියෙන්නේ අගෝස්තු 19ට පෙර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා කවුද කියලා රටට හෙළි කළ යුතුයි. ඒ නිසා අනෙකුත් මේකට විරුද්ධ පක්ෂ සාධාරණයි. එයට හේතුව කවුද මේ අපේක්ෂකයා කියලා තීරණය කරලයි මේ ගිවිසුමට යන්න ඕන. සමහරු උත්සාහ ගත්තා මේ සන්ධානය වෙනම පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වල පවත්වාගෙන යන්න. ඒකට අපි වුරැද්ධ වුණා. ඒ නිසා මේ සන්ධානය ඉතාම සැලකිලිමත්ව සිදුකළ යුතු දෙයක්.

එජාපයේ අපේක්ෂක නම් ලැයිස්තුවේ සජිත් ප්‍රේමදාස කියන නමට බොහොම දෙනෙක් විරුද්ධයි. ඒකට හේතුව ඇයි?

ඇත්තටම සජිත් ප්‍රේමදාස මහත්තයාට විරැද්ධ වෙන්නේ දේශපාලනය ගැන හරිහැටි අවබෝධයක් නැති අයයි. විශේෂයෙන් පෞද්ගලික න්‍යාය පත්‍රත් එක්ක කටයුතු කරන අයයි. බහුතර කැමැත්තක් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට. හැබැයි ඔබ කිව්වා වාගේ සමහර අය ඉන්නවා පෞද්ගලික න්‍යාය පත්‍ර නිසා ඔහුට විරුද්ධ අය. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණායින් පස්සේ තමන්ගේ ගේම් ටික ගහගන්න බැරිවෙයි කියලා හිතන අය තමයි ඊට විරුද්ධ. විශේෂයෙන්ම තමන්ගේ දේශපාලනය ඇතුළේ කරපු සෙල්ලම් ටික තවදුරටත් කරගන්න බැරි අය තමයි ඔහුට විරුද්ධ. හැබැයි ඕක මහ ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.

පසුගිය සතියේ ආරංචියක් ආවා විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා හැටියට නම්වෙලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හමුවෙන්න කබීර් හෂීම් මහත්තයාත් සාගල රත්නායක මහත්තයාත් ගියා කියලා. එජාපයේම අය කියනවා මේක දේශපාලන ඩීල් එකක් කියලා.

මේ ගැන ලොකු කතාබහක් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගියා. එතැනදී සාගල රත්නායක මහත්තයාත් කබීර් හෂීම් මහත්තයත් කිව්වේ ඔවුන්ගේ පෞද්ගලික හිතවත්කම් මත ඔහුගේ අසනීප තත්ත්වය බලන්න ගියා කියලා. කොහොම වුණත් මැතිවරණයක් ළඟ තියෙන කොට මෙහෙම පෞද්ගලික හිතවත්කම් මත හමුවෙන්න යන එක මම පෞද්ගලිකව අනුමත කරන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ විපක්ෂයට හොඳ මාතෘකා හම්බවෙන එක විතරයි. ඒ නිසා මීට වඩා සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන.

ඔබලාත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එකතු වෙන්න හදනවා කියලා රාවයක් යනවා. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියටද එකතු වෙන්න හදන්නේ. නැත්නම් වෙනම කණ්ඩායමක් හැටියටද?

ජනතාව බලාපොරොත්තු වෙන ජයග්‍රහණය කළ හැකි සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති අපේක්ෂකයා හැටියට නම් කළොත් දැනට තිබෙන තොරතුරු අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දස දෙනෙක් ඉන්නවා අපිට එකතු වෙන්න. මේ වෙනකොට ඒ පිරිස සජිත් ප්‍රේමදාස මහත්තයා සමඟ සාකච්ඡා කරලාත් තියෙනවා. මට වගකීමෙන් ඒක කියන්න පුළුවන්. මේ වෙනකොට ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේත් පිරිසක් සජිත් ප්‍රේමදාස මහත්තයා සමඟ සාකච්ඡා කරලා තිබෙනවා.

තවත් පිරිසක් කතා වෙනවා ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයාට වක්‍රාකාරයෙන් උදව් කරනවා කියලා. ඒ ජනාධිපති අපේක්ෂකයා හැටියට ගේන්න. ඒකෙ ඇත්තක් තිබෙනවාද?

මම දන්න විදිහට ගමේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සමඟ එකඟතාවයකට එනවාට කොහෙත්ම කැමැත්තක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ගත්තහම ඔහුට සැලකිය යුතු ඡන්ද පදනමක් මේ වෙනකොට නැහැ. අපි එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයා හැටියට කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් තොර දේශපාලන ගමනක්. අපි හිතනවා අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සමඟ එකඟතාවයකට යාමට අවශ්‍යතාවයකුත් නැහැ, එහෙම යන එහෙකුත් නැහැ කියලා.

පොහොට්ටු අපේක්ෂකයා හැටියට මේ වෙනකොට කියැවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඔබේ පැත්තෙන් ඉස්සරහට දාන අපේක්ෂකයාට යම් අභියෝගයක් එල්ල වෙන්න පුළුවන් නේද? හේතුව රාජපක්ෂවරු පළාත් පාලන ඡන්දෙත් බහුතරයක් දිනලා පෙන්නුවා.

මම මෙතැනදී මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන ගේම් එකක් ගැන අනාවැකියක් කියන්න මේක අවස්ථාවක් කරගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කරන්න කියලා ජනතාවගේ විශාල ඉල්ලීමක් තිබෙනවා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කිසිම අපේක්ෂාවක් නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්න. ඒක දේශපාලනය දිහා බලන ඕනෑම කෙනෙකුට පෙනෙන දෙයක්. කෙසේ වෙතත් ඔහු නම් කළා. ඔහු රටේ ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කරලා නැහැ. මේ වෙනකොට ඔහු නිල වශයෙන් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට සහතික කිසිවක් ඉදිරිපත් කරලා නැහැ. ඒ වාගේම ඔහුට නඩු කිහිපයකුත් තිබෙනවා. මේ නිසා ඔහුට ඒ සඳහා ඉදිරිපත් වෙන්න දේශපාලන වශයෙන් වටපිටාවක් නැහැ. කොහොම වුණත් ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි කවුරු වුණත් ඉදිරිපත් වෙන අයකුට මුහුණ දෙන්න හැකියාව අපේ අපේක්ෂකයාට තියෙනවා. මෙවර ජයග්‍රහණය 2015ට එහා ගිය ජයග්‍රහණයක්.

ඔබ ප්‍රශ්න කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ පුරවැසිභාවය සම්බන්ධව. හැබැයි ඔහු සිංගප්පූරු ප්‍රතිකාර සඳහා ගියේ ශ්‍රී ලංකාවේ වලංගු ගුවන් ගමන් බලපත්‍රයකින්. ඒකෙන් තහවුරු වෙනවා නේද ඔහුට පුරවැසිභාවය ගැන ගැටලුවක් නැහැ කියලා?

විශේෂයෙන් පාස්පෝට් එක ගැනනම් විශ්වාසයක් තියාගන්න බැහැ. විමල් වීරවංශ මහත්තයාටත් පාස්පෝට් දෙකක්ම තිබුණේ. පාස්පෝට් එකෙන් මේ ප්‍රශ්නය ඉවරයි කියලා කියනවා නම් ඒක බොරු කාරණාවක්. ඔහුට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළා කියලා සහතික කරන්න පුළුවන් සහතිකයක් මේ රටට ඉදිරිපත් කරන්න ඕන. අද වෙනකම් ඔහු ඒක ඉදිරිපත් කරලා නැහැ. එක එක ඒවා නම් සමාජ මාධ්‍යවල යනවා. ඒත් ඒවා විශ්වාස කරන්න බැහැනේ. ඔහු නිල වශයෙන් ඔහුගේ ගිණුමකවත් ප්‍රදර්ශනය කරලා නැහැ.

ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රාහී අපේක්ෂකයෙක් වෙන්න නම් ශ්‍රීලනිපයේ සහාය අනිවාර්යයෙන් අවශ්‍ය බව ඒ පක්ෂයේ අය කියනවා. ඇත්තටම එහෙම සහායක් අවශ්‍යද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් නෙමෙයි මේ රටේ ඕනෑම පක්ෂයක් තීරණාත්මක අවස්ථාවකදී එකතුවීම වැදගත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම්කිසි ඡන්ද පදනමක් තිබෙනවා නම් ඒ ඡන්ද පදනම තියෙන්නේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අතේ. මේ වෙනකොට නායකත්වය වටාවත් පක්ෂය වටාවත් ඡන්ද පදනමක් ඉතුරු වෙලා නැහැ.

අවසාන වශයෙන් අහන්නේ ඇත්තටම එජාපයේ අපේක්ෂකයා දැන් කවදාද කළඑළි බහින්නේ?

ලබන 19ට පෙර නියමානුකූලව අදාළ අපේක්ෂකයා කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් පාර්ලිමේන්තු කණ්ඩායමේත් එකඟතාව මත රටට ඉදිරිපත් කරනවා. ඒ වගේම කඳවුරු එකතු කරලා නිර්මාණය කරන සන්ධානය ලබන මාසයේ මුල අපි පිහිටුවනවා.

ඔය කියන කාරණාවලට පක්ෂයේ නායකත්වය එකඟතාව පළකළාද?

එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා සහ පාර්ලිමේන්තු කණ්ඩායම කියන්නේ එකට බැඳිලා තියෙන තැනක්. පාර්ලිමේන්තු කණ්ඩායමේත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේත් බහුතර කැමැත්ත කියන්නේ නායකතුමාගේ කැමැත්ත. ඉතිහාසයේම ක්‍රමවේදය බලද්දී නායකතුමාට තනියම තීන්දුවක් මේකට ගන්න බැහැ. දැඩි විශ්වාසයක් තිබෙනවා කිසිදු ප්‍රශ්නයකින් තොරව සජිත් ප්‍රේමදාස මහත්තයා අපේක්ෂකයා බවට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. යම් ආකාරයකින් ඒකට සීමිත පිරිසක් එකඟ නොවුණොත් 95෴ක මතය වෙනුවෙන් පෙනී ඉන්න අපිට මැදිහත් වෙන්න සිදුවෙනවා. අපි හිතනවා එහෙම නොවෙයි කියලා.

► ගයාන් ගාල්ලගේ