2019 ජුලි 20 වන සෙනසුරාදා

ජනාධිපතිතුමාටවත් බැහැ ජනාධිපතිවරණය කල් දාන්න

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 06:52 141

ලෝක විනාශයක් වුණේ නැත්නම් ජනාධිපතිවරණය කල් යන්නෙ නෑ

මට ගැසට් ගහන්න පුළුවන් නම් දැනටමත් ඡන්දෙ තියලා

සමාලෝචන කමිටුව කියන්නේ ටිපි ටිප් කෑවා වගේ එකක්

ලෝකේ දැනට තිබෙන හොඳම ඡන්ද ක්‍රමය මිශ්‍ර සමානුපාත ක්‍රමයයි

දේශපාලනඥයන්ට මම උත්තර දෙන්නෙ නෑ

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

2019 වසර මැතිවරණ වසරක් බව පේන්න තිබෙනවා. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණයක්. එහෙම තියෙද්දී හදිසියේම පළාත් සභා මැතිවරණය තැබීම ගැන උනන්දුවක් ඇතිවෙලා ඇයි ඒ?

හදිසි උනන්දුවක් නැ. කොමිෂන් සභාව 2017 සැප්තැම්බර් මාසෙ ඉඳලා මේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට උනන්දු වෙලා තියෙනවා. අපි දිගින් දිගටම දේශපාලන පක්ෂ, පාර්ලිමේන්තුව, අධිකරණය, ජනතාව, ජනමාධ්‍යය හැමෝම දැනුම්වත් කරලා තිබෙනවා. ඒ නිසා කවුරු හරි කියනවා නම් හදිසි උනන්දුවක් තියෙනවා කියලා මැතිවරණ කොමිෂන් සභාවට එහෙම හදිස්සි උනන්දුවක් නෑ. මැතිවරණ කොමිෂන් සභාවේ උනන්දුව නිසාම තමයි ගිය අවුරැද්දෙ සීමානිර්ණය කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර තිබූ කාලයේ මොකද වුණේ?

දේශපාලන පක්ෂවලට කීවා මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන්න කියලා. අපි පෙන්වා දුන්නා පළාත් සභා නිලධාරීන්ගේ නැත්නම් ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ තියෙන එක වැරදි බව. මෙය ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දු කරලා තිබුණේ. මහජන නියෝජිතයන් නැතිව මහජන නියෝජිත ආයතන පවත්වාගෙන යාම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දුන්නා. ඒකත් සීමානිර්ණය වාර්තාවයි සමාලෝචන වාර්තාවයි පළාත් පාලන ඡන්දයයි ප්‍රමාද වීම නිසයි. පස්සෙ සමාලෝචන කමිටුව සමාලෝචන වාර්තාවක් දුන්නේ නෑ. එතනින් එහා දිගින් දිගටම අපි කටයුතු කරද්දී දින 52 මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ආණ්ඩුවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා පැරණි ක්‍රමයට ඡන්දය තියන්න කියලා. ජනවාරි මාසයේදී ජනාධිපතිතුමාත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා පැරණි ක්‍රමයට ඡන්දය තියන්න ඉල්ලලා. අගමැතිතුමා පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරලා පරණ විදිහට ඡන්දය තියන්න බලනවා කීවා. ඒ මොනවත් නොවුණු නිසා අපි දිගටම උත්සාහ කළා.

ඡන්දය තියන්න ප්‍රධාන දේශපාලන පක්ෂවල සහාය කැමැත්ත අවශ්‍යයි. නමුත් හදිසි පළාත් සභා ඡන්දයට හැමතැනම විරෝධය එනවා. ඒ අය කියන්නේ ජනාධිපතිවරණය ඕනෑ කියලා. පක්ෂවල සහාය නැතිව ඡන්දය තියන්න පුළුවන්ද?

කිසි කෙනෙකුට විරුද්ධ වෙන්න බෑනේ. නීතියෙන් බලාත්මක වුණොත් අධිකරණය නියෝග කළොත් කරන්න වෙනවා. පරණ ක්‍රමයට ඡන්දය තියනවට විරුද්ධ අය උසාවි යන්න පුළුවන්. එතකොට ඕන කෙනකුට පේනවා පළාත් සභාව වුවමනා බව. පළාත් පාලන ඡන්දය වෙලාවෙත් ඒක ඕනෑ ඕනෑ කීවා. ඊට පස්සේ අපි තියන්න ගියානේ. නාමයෝජනා කැඳවද්දී හය දෙනෙක් අධිකරණයට ගියා. අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් ආවා. අන්න එතකොට අර නඩුව ඉල්ලා අස්කර ගත්තා.

ඔබ මේ ගැන ජනාධිපති, අගමැති, විපක්ෂනායක සහ කතානායකතුමා සමගත් පක්ෂ නායකවරු සමගත් සාකච්ඡා කළා. ඒ අයත් බහුතරය ජනාධිපතිවරණය අවශ්‍යයි කියනවා නේද?

කවුරුත් ඒක ඉල්ලන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිවරණය තියන්න ඕනෑ. කිසිම දේශපාලනඥයකුට කියන්න බෑ දෙසැම්බර් මාසෙ ජනාධිපතිවරණය තියන්න කියලා. එකම කෙනා ගරු ජනාධිපතිතුමා විතරයි. එතුමාට විතරක් ඕනනම් දෙසැම්බරයේ ජනාධිපතිවරණය තියන්න පුළුවන්. කවුරුත් එපා කීවත් අපි ජනාධිපතිවරණය තියනවා. කවුරුත් බොරුවට කෑ ගහන්න එපා. ජනාධිපතිතුමාටත් බෑ ජනාධිපතිවරණය කල්දාන්න. ඕන නම් ඉස්සරහට ගන්න පුළුවන්. වෙන කිසි කෙනෙකුට මේක කතා කරන්න බෑ. මැතිවරණ කොමිසමට විතරයි තීරණය කරන්න පුළුවන් වෙන්නේ.

මේ අතරේ ඔබ කියනවා පළාත් සභාව නොතිබුණොත් කොමිසමේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙනවා කියලා. ඒක සියුම් තර්ජනයක්ද?

ඔව්. ඒක මම කියලා තියෙනවා. ඒකට තව කල් තියෙනවා. අපිට ඔක්තෝබර්  15 වෙනකම් හරි බලන්න පුළුවන්නේ.

සමහර දේශපාලන පක්ෂ ඔබට චෝදනා කරනවා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තියෙන පරිසරය අවුල් කරන්න කරන කොන්ත්‍රාත්තුවක් කියලා?

කියන අය ඔප්පු කරලා පෙන්වන්න ඕන මම කාගේ හරි කොන්ත්‍රාත්තුවක් කරනවාද කියලා.

සීමානිර්ණය කටයුතු මැතිවරණයට බාධාවක්ද?

අපිට දැන් පේනවා මේක පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන්නෙ නෑ කියලා. ඒ නිසා අපි විවේචනය කරන ජනතාවට අපි කීවේ අධිකරණයට යන්න කියලා. දැන් ඒ පිළිබඳව නඩු 3ක් විභාග වෙනවා. ජනාධිපතිතුමාටත් මේ ගැන මතක් කළා. එක්කො සමාලෝචන වාර්තාව එහෙම නැත්නම් පරණ සීමා වාර්තාව ගැසට් කරන්න අවශ්‍යයි කියලා. සුදුසුම ක්‍රමය තමයි පැරණි ක්‍රමය. මොකද නව ක්‍රමය බලාත්මක නෑනේ. අපි හිතනවා ඔක්තෝබර් දෙවැනි සතියට කලින් ඡන්දයට තිබුණොත් ඒක ජනාධිපතිවරණයට බාධාවක් නොවෙයි කියලා. ඊටත් පස්සට ගියොත් ජනාධිපතිවරණයට බාධා වෙයි. එක ඡන්දයක් යද්දී තවත් ඡන්දයක් හැන්ඩ්ල් කරන එක ටිකක් අමාරුයි. එක ඡන්දයක ප්‍රතිඵල දෙද්දී තව එකක නාමයෝජනා ගැනීම ප්‍රශ්නයක් වෙයි. නැත්නම් සැප්තැම්බර් මාසෙ නාමයෝජනා කැඳවලා නොවැම්බර් මාසෙ ජනාධිපතිවරණය තියන්න වෙනවා. ඒ නිසා කාටවත් කියන්න බෑ අපි හදිස්සි වෙලා කියලා. උප්පරවැට්ටියක් කියන්නත් බෑ. ලෝක විනාශය වගේ දෙයක් නොවුණොත් ඇර කිසිම කෙනෙකුට ජනාධිපතිවරණය කල්දාන්න බෑ.

ඔබ ජනාධිපතිවරණය අවුල් කරන කොන්ත්‍රාත්තුවක් කරනවා කියල හිටපු ඇමැතිවරයෙක් වන දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කීවා ඔබ පුංචි බොරුකාරයෙක් කියලා. මොකද ඒ ගැන හිතන්නේ?

මම දේශපාලනඥයන්ට උත්තර දෙන්නේ නෑනේ. ඔවුන්ගේ ප්‍රකාශවලට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතිපත්තියක් විදිහට පිළිතුරු දෙන්නේ නෑ. මට පුංචි බොරුකාරයා කීවත් මහා බොරුකාරයා කීවත් සමහර දේශපාලන පක්ෂ විපක්ෂයේ ඉද්දි මැතිවරණ කොමිෂන් සභාව විවේචනය කරන එක තමයි කරන්නේ. ඒ නිසා එතුමන්ලාට උත්තර දීම අවශ්‍ය නෑ. එතුමා මම ගැන කෝපයක් ද්වේශයක් ඇති කරගත්තත් මම ඡන්දෙදි ඒ අයට සමාන සැලකිල්ල දක්වලා කටයුතු කරන්න අවශ්‍යයි. ඒ විවේචනවලට සභාපති විදිහට උත්තර දෙන්නේ නෑ.

අපි පිළිගත්තත් නැතත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ කඩා වැටීමක් තිබෙනවා. හුඟක් අංශ පසුබැහැලා. එහෙම වෙද්දි මැතිවරණ දෙකක් එක ළඟ පැවැත්වීම ප්‍රායෝගිකද?

ඡන්ද දෙකක් එකවර තිබ්බයි කියලා අලුතින් වියදමක් දරන්න වෙන්නේ නෑ. ඡන්දෙකට කෝටි 400 යනව නම් දෙකම තිබ්බා කියලා කෝටි 800ක් යන්නේ නෑ. ඒක අඩුවෙලා කෝටි 600ට බහිනවා. වියදම් යනවා කියලා එහෙනම් නොතියා ඉන්න පුළුවන්. නිලධාරීන්ටත් කියන්න රට වෙනුවෙන් දීමනා අඩුවෙන් ගන්න කියලා. මැති ඇමැතිවරුන්ගේ වියදම් අඩු කරනවා නම් අපිත් නිලධාරීන්ට කියනවා වියදම් අඩුකරගමු කියලා. කටවුට් පෝස්ටර් ගහන වියදම් අඩු කළොත් ඡන්ද වියදම අඩුයි. මැර ක්‍රියා නැත්නම් අඩුවෙන් පොලීසිය යොදවන්න පුළුවන්. එකසැරේට දෙකටම නිලධාරීන් පුහුණු කරන්න පුළුවන්. ඡන්ද පොළේදීම ගණන් කරන්නත් පුළුවන්. එතකොට වියදම අඩුයි.

කවුරුත් දන්නවා මැතිවරණයේදී දේශපාලන පක්ෂවලට ව්‍යාපාරිකයන් උදව් කරන බව. ඔවුන්ගේ ආධාර නැතිව ඡන්ද කරන්න බෑ. රටේ ආර්ථිකය අඩාල වෙලා තියෙද්දී ඒ අයගෙන් උදව් ලබාගැනීම අපහසු නිසා දේශපාලන පක්ෂ පළාත් සභා ඡන්දයට අකමැතියිලු. ඒකට ඔබ එකඟද?

ව්‍යාපාරිකයන්ගෙ සල්ලි මොකටද ඡන්දවලට. මිනිස්සුනේ ඡන්දය දාන්නේ. සල්ලි මොකටද මිනිස්සුන්ට බෙදන්නද? බොරු මාධ්‍ය ප්‍රචාර ටීවී ඇඩ් දාලා කටවුට්, පෝස්ටර් ගහලා තෑගි බෙදලා වැඩක් නෑනේ. මිනිස්සු ඡන්දය දෙයි තමන්ගේ ප්‍රතිපත්තිවලට. එහෙම ප්‍රතිපත්ති දේශපාලනයකට යමුයි කියලා දේශපාලන පක්ෂවලින් ඉල්ලුවා. ඒ අයත් කැමැතියි ඒක කරන්න.

ජනතා බලාපොරොත්තු නොතකා උඩුගං බලා පීනන්න ගියොත් තවදුරටත් මැතිවරණය කියන එක ජනප්‍රිය මාතෘකාවක් නොවනු ඇතැයි ඔබ පිළිගන්නවාද?

දේශපාලන පක්ෂවලටත් මාධ්‍යයටත් ජනතාවටත් බැරිවෙලා තිබෙනවා පළාත් සභා මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරණයට බාධාවක් නොවේ කියලා කියන්න. 2014 දී ඌව පළාත් සභාව ඔක්තෝබර් මාසෙ තිබ්බා. ජනාධිපතිවරණය ජනවාරියේ තිබ්බා. ඉතින් බලපෑමක් වුණාද? ඒ ගැන කවුරුත් මොනවත් කීවාද? ළඟ ළඟ ඡන්ද පැවැත්වීම පස්සෙ තියෙන ඡන්දයට බලපෑමක් කියලා මේ ඡන්දය නොතියා ඉන්න බෑ. දැන් මේකෙ වරද තිබෙන්නේ අපේ නෙවේ. මේක කල්දදා හිටපු පාර්ලිමේන්තුවේ සහ සිවිල් ජනතාවගේ. අපි ඒ අයට කීවේ ගිය අගෝස්තු මාසෙ උසාවි යන්න කියලා. කවුරුත් ගියේ නෑ.

සභාපතිවරයා විදිහට ඔබ පවතින නීති රීති අකුරටම ක්‍රියාත්මක කරන්න යද්දී බලපෑම් එන්නේ නැද්ද?

මට නම් බලපෑම් ඇවිත් නෑ. නමුත් වැඩේ තියෙන්නේ මේ නීති බලාත්මක කරන්න ගිහිල්ලා අපේ නිලධාරීන්ට කරදර වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී පෝස්ටර් කටවුට් ඉවත් කිරීමේදී හා පෙළපාලි නැවැත්වීමට යාමේදී සමහර දේශපාලනඥයන්ගෙන් බලපෑම් ඇවිත් තිබෙනවා. ඒත් අපේ නිලධාරීන් රාජකාරිය බෑ කියලා නෑ. නීතිය අකුරටම කරලා තියෙනවා. ඇතැම් වෙලාවකදී පොලිස් නිලධාරීන් මාරු කරන්න උත්සාහ කරලා තිබුණා. ඒ ඇර පත්තර කාටුන් සහ මාධ්‍ය සාකච්ඡාවලදී ප්‍රශ්න ඇසීමත් බලපෑම් තමයි. මැතිවරණ කොමිෂන් සභාවේ ඉහළ සිට පහළම නිලධාරියා දක්වා එකම අරමුණයි තියෙන්නේ. ඒ තමයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම.

ඒ වගේම මැතිවරණය සඳහා වියදම් කරන අසීමිත මුදල් ප්‍රමාණය පාලනය කිරීමට තාමත් බැරිවෙලා තියෙනවා. මේක කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක්ද?

මේක හැමෝම අහන දෙයක්. නමුත් මැතිවරණයකදී හැංගිච්ච සල්ලි වියදම් කරනවා. වියදම් අඩු කිරීමට කළු සල්ලි සුදු කිරීම වැළැක්වීමට මැතිවරණ වියදම් පාලනයට වියදම් වාර්තාවක් ලබාගැනීම සඳහා මැතිවරණ නීති සකස් කරලා කෙටුම්පත් සකස් කරලා නීතිපතිතුමාට යවලා තියෙනවා. මේ සඳහා දේශපාලන පක්ෂ සියල්ල එකඟවෙලා තියෙනවා. අපේ රටේ වැඩ හෙමින්නේ. තාම වැඩේ සිදුවෙමින් පවතිනවා. කවදා හරි මේකත් වෙයි.

සීමා නිර්ණය වාර්තාව ගැසට් කළොත් පළාත් සභාව නව ක්‍රමයට තියන්න පුළුවන්. එහෙම නැතුව පැරණි ඡන්ද ක්‍රමයට පාර්ලිමේන්තුව කැමැති නම් එහෙම තියන්න පුළුවන් කියලා ඔබ ප්‍රකාශ කළා. එහෙමනම් මේ ගැසට් පත්‍රය ගහන්න ඔබටම පුළුවන්නේ?

සීමා නිර්ණ වාර්තාව ගැසට් කළොත් එතනත් පොඩි බාධා තියෙනවා. නමුත් ඒක ගැසට් කරන්න ජනාධිපතිතුමාගේ අදහසක් නෑ. ඒකෙ නීති කිහිපයක් පාර්ලිමේන්තුවේ හදන්න අවශ්‍යයි. මැතිවරණ කොමිෂන් සභාවට ඒ නීති කඩාගෙන යන්න පුළුවන්ද කියලා අභියෝගයක් තිබෙනවා. නමුත් ගැසට් කළොත් අපි යමක් කරන්න බලනවා. නමුත් මම හිතන්නේ ජනාධිතිතුමා එහෙම නෙවෙයි නීතිය විමසන්නයි සූදානම. මේ නීතිය වලංගු නෑ නේද? පරණ නීතිය නේද වලංගු කියල අහන්නයි යන්නේ. අපි දැන් ඒ මතයේ ඉන්නේ. මට ගැසට් ගන්න පුළුවන් නම් මේ වෙද්දි ඡන්දය තියලත් ඉවරයි. අපි පළාත් පාලන ඡන්දෙදි අවශ්‍ය තැනින් රිංගුවානේ. මේකෙ රිංගන්න බෑ.

සීමා නිර්ණය කමිටු ගැසට් එක ප්‍රසිද්ධ කළොත් මැතිවරණ කොමිසමට නිරායාසයෙන්ම බලය එනවා මැතිවරණය තියන්න. ඇයි එහෙම නොකරන්නේ?

උපලේඛන කිහිපයක් සකස් කිරීමට තිබෙනවා පාර්ලිමේන්තුවේ. ඒ උපලේඛන කොමිසමට පුළුවන් කියලා අපි ක්‍රියාත්මක වෙනවා. ඒක වැරදියි කියලා කවුරු හරි නඩුවක් දායි ඕනනම්. අපිට මේක කරන්න පුළුවන්. ඒකට විරුද්ධව අභියෝග කරන්නත් පුළුවන්. වඩාත්ම සුදුසුයි පැරණි ක්‍රමයට යන එක.

මේ පිළිබඳව පත්කළ සමාලෝචන කමිටුවේ සභාපති අග්‍රාමාත්‍යවරයා. ඔබතුමා මැතිවරණ කොමිසමේ සභාපති විදිහට ඇයි මේ ගැන විමසන්නේ නැත්තේ?

විමසුවානේ.... එතුමාගේ නිල කාලය ඔක්තෝබර් 26 තෙක් තිබිලා නැතිවුණා. ඒ වුණාට සැප්තැම්බර් 20න් පස්සේ කිසිම රැස්වීමක් තියලා නෑ. ඒ සමාලෝචන කමිටුවට කිසි සමාලෝචනයක් කරන්න බලාපොරොත්තුවක් තිබිලා නෑ. ඒක කියන්නත් ඕනෑ. ඇත්තටම ඒ සමාලෝචන කමිටුවට ඔය කියන තරම් වෙනසක් කරන්න බෑ. ඒ අයට පුළුවන් මැතිවරණ කොට්ඨාසවල නම් වෙනස් කරන්නයි අංක වෙනස් කරන්නයි, මායිම් වෙනස් කරන්නයි විතරයි. ඒ නිසා සමාලෝචන කමිටුව කියන්නේ නිකන් ටිපි ටිප් කෑවා වගේ එකක්. මොනවත් කරන්න පුළුවන් එකක් නෙවේ. ඒ නිසා මේක නොකෙරෙන්න හදාපු පනතක්.

පළාත් සභා මැතිවරණය කල්දැමීම පටන් ගත්තේ වසර දෙකකට විතර කලින්. මෙතන පැහැදිලිව පේන්නේ කල් දැමීම රටේ දේශපාලන වුවමනාවක් බවයි. එදා මැතිවරණ කොමිසම නිහඬව ඉඳලා ජනාධිපතිවරණය මාසයකට කළින් පළාත් සභාව තියන්න යන එක දේශපාලන ගේමක් කියලා හිතන එක වැරදිද?

දේශපාලන වුවමනාවක් තියෙන්නත් ඇති. මගේ පෞද්ගලික අදහස මිශ්‍ර සමානුපාතික ක්‍රමයට ගිය එක ප්‍රගතිශීලියි. හැබැයි ගිය අවුරුද්දෙ අගෝස්තුවේදී මේ ඡන්දය තියන්න තිබුණා. මේ ප්‍රගතිශීලී පනත අරගෙන වැරදි දෙයක් කළේ. අපි අවශ්‍ය හැමදේම ලියලා දීලා තිබුණා. මොකද ලෝකේ දැනට තියෙන හොඳ ඡන්ද ක්‍රමය තමයි ඡන්ද පත්‍රිකා දෙකක් සහිත මිශ්‍ර සමානුපාත ක්‍රමය. ඒ කියන්නේ කොට්ඨාස අපේක්ෂකයාට එක ඡන්ද පත්‍රිකාවක් අනෙක සමානුපාතය සඳහායි.

පහුගිය ආණ්ඩුව අවුරුද්දට ඡන්ද දෙක තුනක් තිබ්බා. මේ ආණ්ඩුව ඡන්ද කල් දානවා. මේ දෙකේදීම ඔබ මැතිවරණ කොමිසමේ සභාපති. ඒ දෙකම වැරදියි කියලා ඔබ හිතන්නේ නැද්ද?

එකක් කඩ කඩ තිබීම වැරදියිනේ.... ඡන්ද තියන්න ඕන නිශ්චිත කාලරාමුවකට. අපි ඒක පැහැදිලිවම කියනවා. මේක එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනයේත් තියෙනවා. ලංකාවත් ඒකට අත්සන් තබා තියෙනවා. ගොඩක් අය ලංකාවේ මැතිවරණ කාලසටහන දන්නේ නෑ. අවශ්‍ය නම් ජනාධිපතිවරණය ජනාධිපතිතුමාට වාසි වෙලාවේ තියන්නත් පුළුවන්.

ඔබ මැතිවරණ කොමිසමේ සභාපති විදිහට නොව සාමාන්‍ය පුරවැසියෙක් විදිහට කල්පනා කරද්දී හිතෙන්නේ නැද්ද ජනතාවට කිසියම් වෙනසක් අලුත් මූණක් මේ ජනාධිපතිවරණයෙන් බලාපොරොත්තු වෙනවා කියලා?

මම පුරවැසියෙක් වුණාට මැතිවරණ කොමිසමේ සභාපතිනේ. ඒ නිසා පිළිතුරු දීමෙන් වැළකී ඉන්නවා. පිළිතුරක් දුන්නොත් කෙනෙක් අගතියට පත්වෙනවා. තව කෙනෙක් ප්‍රවර්ධනය වෙනවා. හොඳ ප්‍රශ්නයක් වුණත් පිළිතුරු දෙන්න බෑ.

► සමන්ත ප්‍රදීප් විල්තෙර

 

 

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00