2019 ජුනි 28 වන සිකුරාදා

බෝල පාස්කරලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ

 2019 ජුනි 28 වන සිකුරාදා, ප.ව. 07:31 33

භයානක අනතුරක් මට පේනවා

අපි හදන බලවේගයට පොහොට්ටුවත් ඉන්න ඕනෑ

පුළුල් පෙරමුණකින් ආවොත් ජනපතිතුමා දිනනවා

විශේෂ කාරක සභාව පලක් නෑ

බෙදිලා හිටියට පක්ෂ දෙකේම ඉන්නේ එකම කට්ටිය

ජනපති මෛත්‍රී අගමැති මහින්ද කියනවා නම් ජයග්‍රහණය අතේ

වෙල්ගම කියන්නේ හොඳ ශ්‍රී ලංකාකාරයෙක්

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර

 
21දා පාස්කු ප්‍රහාරයත් එක්ක දේශපාලන ලෝකයේ යම් කලබගෑනියකට පත්වෙලා තිබෙනවා. ඔබ හිතන්නේ මෙවැනි අවුලකට හේතුව මොකක්ද?

මේ රටේ ජනතාව බලාපොරොත්තු නොවුණු දෙයක් තමයි සිදුවුණේ. මෙවැනි තත්ත්වයක් ඇතිවුණාම මේ වගේ කැළඹීමක් ඇතිවෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. මොකද මෙවැනි තත්ත්වයකට පෙර සූදානමක් තිබුණේ නැහැ. ඕනම රටක මෙවැනි අවස්ථාවක මෙවැනි දේශපාලන තත්ත්වයක් ඇතිවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

මේ සිද්ධියෙන් පස්සේ වගකිවයුතු පාර්ශ්වය සිදුකළේ එක එක්කෙනාට බෝලය පාස් කිරීම. කිසිදු කෙනෙක් වගකීමක් බාරගත්තේ නැහැ. ජනාධිපති ආණ්ඩුවටත්, ආණ්ඩුව ජනාධිපතිටත් චෝදනා එල්ල කළා. ඒක දේශපාලන අවුලක් කියලා පිළිගන්න බැහැ නේද?

මමත් ඒක පිළිගන්නවා ඒක සුදුසු තත්ත්වයක් නෙමෙයි. මම පෞද්ගලිකව දකින විදිහ නම් චෝදනා එල්ල කරගෙන මේ ප්‍රශ්නය විසඳගන්න බැහැ. විශේෂයෙන් එක එක්කෙනාට බෝලය පාස් කරන එකෙන් තමයි මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මම කියන්නේ සාමූහිකව මේ වගකීම බාරගන්න වෙනවා.

ඒ කියන්නේ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව...?

මම 225 අතර ඉන්න මන්ත්‍රීවරයකු හැටියට විපක්ෂයේ මන්ත්‍රීවරයකු හැටියට අපිත් යම් ආකාරයක වගකීමක් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් භාරගත යුතුයි. මොකද මේ වගේ දේවල්වලට මීට වඩා අවධානය යොමුකරලා සොයාබැලීමේ වගකීමක් පාර්ලිමේන්තුවට තිබුණා කියලා මම විශ්වාස කරනවා.

ඔබ කියන ආකාරයට පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙනවා කියලා ජනතාව පිළිගන්නවා. මොකද ඇතැම් දේශපාලනඥයන්ට මේ ත්‍රස්තවාදයට අන්තවාදයට උදව් කළා කියලා චෝදනා එල්ල වෙනවා. ඔබ ඒක පිළිගන්නවාද?

මම කියන්නේ නෑ කවුරුත් ඍජුව උදව් කළා කියලා. සමහර අවස්ථාවල සමහර දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සහ වැඩකටයුතු නිසා මෙවැනි තත්ත්වයන් වලට යම් ආකාරයක බලපෑමක් වෙලා තිබෙනවා. මම මේ එක්කෙනෙකුට කියනවා නෙමෙයි. අන්තවාදී දේශපාලනඥයන් නිසා මේ දේ සිදුවෙලා තිබෙනවා.

ආණ්ඩුකාරවරු ලෙස අසාද් සාලි, හිස්බුල්ලාත් ඒ වගේම අමාත්‍යවරයකු වන රිෂාඩ් බදියුදීන් කියන අයට විරුද්ධව ඍජුවම මේ චෝදනාව එල්ල වෙනවා. ඔබ ඒ ගැන මොකක්ද දකින්නේ?

ඒකට හේතුව තමයි ඒ තුන්දෙනාගේ ක්‍රියාකලාපය. ඒ සම්බන්ධව තමයි සමාජය කතා වෙන්නේ. ඒ නිසා තමයි ඒ චෝදනා එල්ල වෙන්නේ. හැබැයි ඒ තුන්දෙනා විතරක් නොවෙයි තව අය ඉන්නවා. ඊට වඩා භයානක අනතුරක් මට පේනවා.

මොකක්ද ඒ ඊට වැඩිය තිබෙන අනතුර?

ඒ මොනවක්වත් නොවෙයි. සිංහල ජාතිවාදී ප්‍රශ්න ඇතිකරන අය මීට වඩා ලොකු ප්‍රශ්නයක් අනාගතයේ රට ඇතුළේ ඇති කරනවා.

හැබැයි මුස්ලිම් ඇමැතිවරු තමන්ගේ තනතුරු තියලා පරීක්ෂණවලට කියලා ඉවත් වුණා. ඔවුන් කියන්නේ ඔවුන්ගේ ජන සමාජය වෙනුවෙන් මේ තීරණය ගත්තා කියලා. හැබැයි බොහෝ දෙනෙක් ඒ ගැන බයවෙලා ඉන්නේ. ඇයි ඒ?

ඇත්තටම ඒක හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. මෙහෙම එක කණ්ඩායමක් එක පිලකට ගියාම ඒක හොඳ තත්ත්වයක් වන්නේ නැහැ. විශේෂයෙන් විරුද්ධ පක්ෂයේ සිටින ජාතිවාදී පුද්ගලයෝ නිසා තමයි ඔවුන් ඒ වගේ තීරණයක් ගත්තේ. හැබැයි ඒ තීන්දුව සාධාරණීකරණය කරන්නෙත් නැහැ.

ඔබ පිළිගන්නේම නැද්ද  ඔවුන් ගත් තීරණය වැරුදියි කියලා?

ඔව් පිළිගන්නවා ඒකෙන් සිංහල ජන සමාජය පිළිබඳව එළියට යන්නේ වැරැදි චිත්‍රයක්.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇත්ත දැනගන්න පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පිහිටුවූවා. නමුත් ඒකට ජනාධිපතිවරයා ඇතුළු ඔබ කණ්ඩායමම විරුද්ධයි ඇයි ඒ? මිනිස්සු ඇත්ත දැනගන්න නරකද?

ඇත්තටම මේකෙ පලක් නැහැ. මේක ඇත්තටම හැදුවේ ආණ්ඩුවට එල්ල වෙන චෝදනාවලින් බේරෙන්න. මේ හරහා තව පැත්තකින් ඒ චෝදනා ටික ජනාධිපතිතුමාගේ පැත්තට දාන්න තමයි මේ අය සූදානම් වෙන්නේ. ඒ නිසයි අපිත් ඒ කාරක සභාව වර්ජනය කළේ. මේකෙන් ප්‍රශ්නයට විසඳුමක් වෙන්නේ නැහැ. තවත් තුවාලය පෑරෙන එක විතරයි වෙන්නේ.

එහෙම වෙන්නේ කොහොමද? මේකෙන් කවුරු වැරදිද කියලා රටම දැනගන්නවානේ?

එහෙම නැහැ. මේකෙදි බුද්ධි අංශ සාමාජිකයන් රටට හෙළි කරනවා. ඒක වැරැදි දෙයක්. ඒ වගේම ආරක්ෂක අංශවල ඇතැම් කාරණාත් හෙළිදරව් වෙනවා. මේක සම්පූර්ණයෙන් මාධ්‍යයට විවෘත කරලා කරන්නේ රංගනයක්. මේක ඇත්තටම අවශ්‍ය දෙයක් වුණා නම් කරන්න තිබුණේ මාධ්‍යය පැත්තකින් තියලා මේකට පරීක්ෂණයක් කරන එක.

මේ වෙනකොට හෙළිවෙලා තිබෙනවා අගමැතිතුමත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාත් සහ පොලිස්පතිවරයාත් ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ නෑ කියලා. එහෙම බැලුවාම ජනාධිපතිවරයා වගකියන්න ඕන නේද?

ආරක්ෂක මණ්ඩලය රැස් නොවුණාට වෙනම ආරක්ෂක කමිටු කිහිපයක් ක්‍රියාත්මක වුණා. මෙතැන වුණේ ඇත්තටම ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර ගැටුමක් ඇතිවුණානේ. ඒ වගේම ආරක්ෂක මණ්ඩලයේ රහස් එළියට යන තත්ත්වයකුත් උදාවුණා. පොතක්වත් අරන් යන්නේ නැති ආරක්ෂක මණ්ඩලයට පුවත්පත්වල ආරක්ෂක මණ්ඩලයේ වුණු දේවල් ප්‍රචාරය වුණා. එහෙම වෙනකොට විශ්වාසය ගැන අවුලක් ඇතිවෙනවානේ.

මේ වෙනකොට මේ සිද්ධියට වග කියන්න ඕන හිටපු ආරක්ෂක ලේකම්වරයාත්, පොලිස්පතිවරයාත් කියලා බොහෝ දෙනෙක් කියනවා. ඔවුන්ට විරුද්ධව අපරාධමය වශයෙන් නඩුදාන්නත් යනවා. දැන් ඉතින් මේකට වගකියන්න ඕන ඔවුන් දෙදෙනා පමණද?

ඔවුන් දෙදෙනා මූලිකවම වගකියන්න ඕන. හැබැයි ඒ වගේම තව ගොඩක් කට්ටිය ඉන්නවා.

ඊළඟ ජනාධිපතිවරණය සඳහා මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පොහොට්ටුවත් අතර සාකච්ඡා සිදුවෙමින් යනවා. කොහොමද ඒ සාකච්ඡාවල තත්ත්වය?

අපි හිමිහිට සාකච්ඡා කරගෙන යනවා. ඒ සාකච්ඡා ඉතාම සුභවාදීව සිදුවෙනවා. අපි ඒ දිහා බලාගෙන ඉන්නවා. එච්චරයි.

ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇතිවුණු අවුලක් නිසා මේ වෙනකොට සාකච්ඡා කඩා වැටිලා කියලා ආරංචියි. ඇත්තද?

එහෙම කිසිම කඩාවැටීමක් නැහැ. ඒ වගේම දෙපාර්ශ්වයේ කිසිම කෙනෙක් තමන්ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර නැහැ.

එහෙම නැත්නම් ඇයි ජනාධිපතිවරයාට නැවත ඉදිරිපත් වෙන්න කියලා ඔබලා යෝජනා කළේ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පසුගියදාක ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් සම්බන්ධව සාකච්ඡා කළා. ඒ ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයට නැවත උදව් කරනවාය කියලා වගේ ප්‍රකාශයක් දුන්නයි කියලා. ඒ නිසා තමයි අපි එතුමාව ගිහිල්ලා හමුවුණේ. එතකොට එතුමා කිව්වා තමන් එවැනි ප්‍රකාශයක් සිදුකළේ නැහැ කියලා. ඒ වගේම තමන් පක්ෂය වෙනුවෙන් කැපවෙනවා කියලත් කිව්වා. ඊට පස්සේ අපි තීරණය කළා එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයක් හදලා ඒකෙ නායකත්වය ජනාධිපතිතුමාට දීලා ඊළඟ මැතිවරණය සඳහා යන්න. ඒ බලවේගයට පොහොට්ටුවත් ඉන්න ඕන.

විශේෂයෙන් මේ වනවිට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කොහොමද ප්‍රතිචාරය?

හැබැයි එතුමා අකමැත්තක් නම් ප්‍රකාශ කරලා නැහැ දැනට.

මේ කිසිම කෙනෙක් ඉදිරිපත් වෙනවා කියලා කියන්නේ නැතිව හදිසි ජනාධිපති සටනකට සූදානම් වෙන්න හැකියාවක් තිබෙනවාද?

ප්‍රශ්නයක් නැහැ. ඔය පක්ෂ දෙකේම ඉන්නේ අපේ කට්ටිය. ඔය බෙදිලා හිටියට ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ. දැන් ගිය පාර ජනාධිපතිවරණයේදී අවසන් මොහොතේදී සටන් කරලා ජයග්‍රහණය කළේ. ඒ නිසා ඒක අවුලක් නැහැ. හොඳ ප්‍රතිඵලයක් නම් අවසානයට එන්නේ කල්ගියාට කමක් නැහැ.

බොහෝ දෙනෙක් කියනවා ජනාධිපතිවරයා නැවත ඉදිරිපත් වුණොත් පරාජයට පත්වෙන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙමද? ඔබලා කරන්නේ මේ රැවටීමක්ද?

එවැනි ප්‍රකාශ කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. අපි එහෙම කිසිම රැවටීමේ අදහසකින් නෙමෙයි අදහස් ඉදිරිපත් කළේ. අනික එතුමා පරදින්නේ කොහොමද පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වුණොත්. එතුමා සන්ධානයේ නායකයා හැටියට ඉදිරිපත්වෙලා තරඟ කළොත් පරදින්න විදිහක් නැහැ. ඒ නායකත්වයෙන් එතුමා තරග කළොත් අපි හිතන්නේ නැහැ එතුමා පරදියි කියලා. එතුමා දිනනවා.

විරුද්ධ පක්ෂයේ අය නම් කියන්නේ මහින්ද මහත්තයාගේ ආශීර්වාදය යටතේ එන කෙනෙක් තමයි ඊළඟට රටේ ජනාධිපති කියලා. ඔබලත් එය විශ්වාස කරනවාද?

ඔව්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආශීර්වාදය ඉතාම වැදගත්. අපි ඒක පිළිගන්නවා. මොකද එතුමා ජනප්‍රිය නායකයා. ඒක කවුරුත් නෑ කියන්නේ නැහැ. හැබැයි එතුමාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බැහැ. එතුමාට ඉදිරිපත් වෙන්න පුළුවන් අග්‍රාමාත්‍ය ධුරයට. එතකොට එතුමාගේ ආශීර්වාදය කැමැත්ත මත ඉදිරිපත් වෙන අපේක්ෂකයා ජයග්‍රහණය කරයි.

ජනාධිපතිට දෙයිද එවැනි ආශීර්වාදයක්?

දෙපාර්ශ්වයේ එකඟතාව මත එතුමා සහාය දැක්වුවහොත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරාවි. එතකොට අපිට අරන් යන්න පුළුවන් ජනපති මෛත්‍රී... අගමැති මහින්ද කියලා... ජයග්‍රහණය ගැන කිසිම ගැටලුවක් නැහැ.

එහෙම හිතුවාට එහා පැත්තේ 99%ක ඉල්ලීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරන්න කියලා. එතකොට කොහොමද දිනන ප්ලෑන් ක්‍රියාත්මක වෙන්නේ?

තාම ඒ ගැන කතා කරලා නැහැ. ඒ ගැන මහින්ද මහත්තයා ප්‍රකාශයක් දීලත් නැහැ. ඒ නිසා අපිට ඒ ගැන කතා කරන්න වුවමනාවක් නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව ඉන්න විරුද්ධ පක්ෂයේ එකම පුද්ගලයා වුණු කුමාර වෙල්ගම මහ රාත්‍රියේ නිදහස් පක්ෂ මූලස්ථානයට ආවා. මොකක්ද මේ අලුත්ම ගනුදෙනුව?

වෙල්ගම කියන්නේ හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. අපිටත් වඩා පැරුණි ශ්‍රීලනිප සාමාජිකයෙක්. ඒ වගේම කිසිම දවසක ශ්‍රීලනිපය අතහැරලා ගිය නැහැ. වෙන අය වෙන වෙන පක්ෂවල තනතුරු ගත්තත් එතුමා කවදාවත් වෙන පක්ෂවලට ගියේ නැහැ. එහෙම කෙනෙක් අපේ සන්ධානයේ පිරිතට පැමිණීම සාමාන්‍ය දෙයක්. මම හැමෝටම ආරාධනය කළා. ඒ වෙලාවෙත් එතුමා කිව්වා. මම ශ්‍රී ලංකා කාරයෙක් කිසිම පක්ෂයකට යන්නේ නැහැ කියලා.

ජනාධිපතිවරයා පහුගිය දවසක කිව්වා එතුමා ගෙනාපු 19 වැනි සංශෝධනය රටට පිළිලයක් කියලා. ඔබලත් අත ඉස්සුවා. ඇයි ඒ පිළිලයක් ගේන්න අත ඉස්සුවේ?

ඇත්තටම අපි උදව් කළේ ජනාධිපතිතුමා ගැන විශ්වාසය තියලා. එතකොට ජනාධිපතිතුමා පොරොන්දු වුණා 19ත් එක්ක 20ත් ගේනවා කියලා. 20 වැනි සංශෝධනයේ තිබුණේ ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ඡන්ද ක්‍රමයක් ගේනවා කියලා. අපේ තිබුණු ලොකුම බලාපොරොත්තුව තමා අලුත් මැතිවරණ ක්‍රමයක්. ඒකට එකඟ කරගන්න තමයි අපි එදා අත ඉස්සුවේ.

මේ වෙනකොට 20 වැනි සංශෝධනය ජවිපෙ විසින් ගේන්න හදනවා. ඔබ සන්ධානයේ මහලේකම් හැටියට ඒ ගැන අදහස මොකක්ද?

තාම පක්ෂයේ නම් කතා කරලා නැහැ. මම නම් පෞද්ගලිකව එම යෝජනාවට එකඟයි. මේ වෙලාවේ ඇත්තටම කරන්න ඕනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. මම නම් තාම ඉන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් ඒකට අත උස්සන අදහසේ. මම ඒ සඳහා කණ්ඩායම තුළත් ඕනම තැනකත් සටන් කරනවා.

ඇයි මේ හැමෝම හොඳයි කියන එකේ ඔබ විතරක් ඕනෑ නෑ කියන්නේ?

නෑ ඉතින්.... අපේ මේක පක්ෂයේ ප්‍රතිපත්තියනේ. අපේ නායකයෝ කී දෙනෙක් පොරොන්දු වුණාද ඒත් කළේ නැහැ. දැන් ඒ අවස්ථාව තියෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමයෙන් වුණු හොඳක් නැහැ. මේ රට ආපස්සට ගිය එකයි වුණේ.

ගොඩක් අය කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය තිබුණු නිසයි ප්‍රශ්න ගොඩක් විසඳගන්න පුළුවන්, ආණ්ඩුව විසුරුවන්න පුළුවන් වගේ දේවල් ගොඩක් කර ගන්න පුළුවන් වුණේ කියලා. එහෙනම් ඒකේ වාසියක් තියෙනවා නේද? පහුගියදා ආණ්ඩුව පෙරළලා වුණු දේදිත් කිව්වා?

ඒක ඇත්තනේ... නායකයෝ දෙන්නෙක්නේ එතකොට. ජනාධිපතිත් නායකයා. අගමැතිත් නායකයා. අපි එදා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා තිබුණා නම් ඔය ප්‍රශ්නය ඇතිවෙන්නේ නැහැ. එතකොට වෙන්නේ පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙක්.

► ගයාන් ගාල්ලගේ