2019 ජුනි 08 වන සෙනසුරාදා

ඊළඟ නායකයා කවුරු වුණත් මේ රට පාලනය කරන්නේ අපි

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

« කාදිනල්තුමා ආවේ රටේ ජනතාවගේ හෘදසාක්ෂිය වෙනුවෙන්

« වහන්න හදපු ප්‍රශ්න උඩට ගෙනාවේ මමයි

« නායකයෙක් ගේන එකට වඩා වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති හදන එක

« ලංකාවේ දේශපාලනය මම වෙනස් මගකට හැරෙව්වා

« දමිළ ජනතාව දිනාගන්න අපට පුළුවන් වුණා

« මුස්ලිම් මන්ත්‍රීවරු අස්වෙලා පෙන්නුවේ ත්‍රස්තවාදීන්ට උදව් කරන බවයි

« බඩගෝස්තර දේශපාලනය ඉවර කළ යුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි

♦ උපවාසයක් කරලා මේ වෙනකොට ඔබවහන්සේ විවේකීව ඉන්නේ. කොහොමද සෞඛ්‍ය තත්ත්වය එහෙම?

මම වතුර බීම ප්‍රමාණය අඩුවීම නිසා මේ වෙනකොට යූරින් පාස් වීමේ ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි දැන් වතුර ගොඩක් බොන නිසා ඒක යම් ආකාරයක අඩුවීමක් තිබෙනවා. ඒ වගේම ඇඟට වෙහෙස ගතියක් තිබෙනවා. ඒ වගේම ආහාර ගන්න බැරි තත්ත්වයක් තිබෙනවා බඩවැල් ඇකිලිලා නිසා.

♦ ඔබවහන්සේට දැන් වෛද්‍යවරුන්ගේ පැත්තෙන් ලැබෙන උපදෙස් මොනවාද?

වෛද්‍යවරු කියන හැටියට අභ්‍යන්තරයට කිසිම හානියක් ඇතිවෙලා නැහැ. මට දියවැඩියාව, ගැස්ට්‍රයිටීස් වගේ දේවල් නම් තිබුණේ නැහැ. මම නිරෝගීව හිටියේ. කල්පවත්නා රෝග කිසිවක් මට තිබුණේ නැහැ.

♦ දැන් හාමුදුරුවනේ අපි මෙහෙම කථාව පටන් ගත්තොත් ඔබවහන්සේ කරපු උපවාසය ගැන මේ වෙනකොට සාර්ථකත්වයක් දකිනවාද?

මම මුළු සමාජයම අවදි කළා කියලා මම හිතන්නේ හැමෝම දන්නවා. ඒක මාධ්‍යයත් දන්නවා. මට ඇත්තටම සමස්ත සමාජයම කම්පනයට පත් කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම මුළු රටම එකමුතු කරන්න පුළුවන් වුණා. ඒ වගේම විශාල සමාජ බලයක් මේ හරහා ගොඩනැගුණා. මම හිතනවා මම ලොකු ආදර්ශයක් තනි පුද්ගලයකු හැටියට මේ රටට දුන්නා. මම මහ ලොකු ශරීරයක් හිමි පුද්ගලයකු නෙවෙයි. නමුත් මගේ අධ්‍යාත්මය කොච්චර ශක්තිමත්ද කියලා මේ දෙයින් මට පෙන්නන්න පුළුවන් වුණා. ධනය බලය තිබෙන හැමෝටම වඩ පුංචි කෙනෙකු වුණු මට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා මම මෙයින් තේරුම් ගත්තා.

♦ මේ සමාජ බලවේගය ගොඩනැගුණේ ඔබවහන්සේ ස්වාධීනව එතැන පෙනී සිටි නිසා. ඔබවහන්සේට හිතෙන්නේ නැද්ද මේ පක්ෂ දේශපාලනයට නතුවීම විශාල හානියක් කියලා?

ඇත්ත වශයෙන්ම මම මේ වෙනකොට කිසිම පක්ෂයක නැහැ. අවුරුදු 4ක ඉඳන්. පක්ෂයකින් ජාතික ලැයිස්තුව නියෝජනය කරන බව ඇත්ත. හැබැයි මම ස්වාධීනව ඉන්නේ. අන්න ඒ සාර්ථකත්වය නිසා තමයි මිනිස්සු ආවේ. පක්ෂයක් අල්ලාගෙන හිටියා නම් මෙහෙම මිනිස්සු එන්නේ නැහැ. මොකද මම විෂෙන් තොර ගොවිතැන සඳහා විශාල වැඩකොටසක් කළා. මත්ද්‍රව්‍ය නිවාරණයට මම වැඩකළා. මම හිතන්නේ මම කරපු ගොඩක් දේවල් මිනිස්සුන්ගේ හිත්වල ලියැවිලා තිබෙනවා. මම විශාල කණ්ඩායම්වලට ධර්මය උගන්වලා තිබෙනවා. ඒ නිසා මට හිතෙනවා මිනිස්සු අතර පොදු භික්ෂුවක් හැටියට නම්වෙලා තිබෙනවා.

♦ ඒ කියන්නේ ඔබ වහන්සේ මීට පස්සේ පක්ෂ දේශපාලනයට නතු වෙන්නේ නැහැ?

මම හිතන්නේ පක්ෂවල පිටින් ඉඳගෙන පක්ෂ හසුරැවන පුද්ගලයෙක් හැටියට මම පත්වෙන්න ඕන. පක්ෂයක් නැති පක්ෂ හසුරුවන නායකයෙක් වෙන්නයි මට ඕන.

♦ මේ හරහා ගොඩනැගුණු ජාතික බලවේගය කුමන දිශාවකටද ඔබවහන්සේ මෙහෙයවන්න බලාපොරොත්තු වෙන්නේ?

ලංකාවට ගැලපෙන ප්‍රතිපත්තියක් සකසන සාකච්ඡාව ගොඩනගන වේදිකාවක් තවම බිහිවෙලා නැහැ. මිනිස්සු ආණ්ඩුවට බැණ බැණ ඉන්නවා විතරයි. පාර්ලිමේන්තු විවාදවල පවා තිබෙන්නේ හිස් බවක්. අද ලෝකයේ ඇතිවෙලා තිබෙන්නේ ප්‍රතිපත්තිමය දේශපාලනයක්. මෙච්චරකල් සිදුකරපු ආර්ථික දේශපාලන ක්‍රමවේද දැන් කල්පැනල තියෙන්න පුළුවන්. හැබැයි ඒකට රට ඇතුළේ විකල්ප නැහැ. දේශපාලන මතවාද හරහා අධ්‍යාපනය හරහා මිනිස්සු හදන ක්‍රමවේදයක් මේ පක්ෂවල නැහැ.

♦ එදා කුඩාපොළ හිමි හැටියට සලකපු ඔබවහන්සේව අද ආණ්ඩු විරෝධී භික්ෂුවක් වෙලා. ඇයි මේ ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්න හදන්නේ?

මට කියන්න තියෙන්නේ මේක ආණ්ඩු විරෝධී සටනක් නෙමෙයි ආණ්ඩුවේ තිබෙන අශීලාචාරකම් අවිචාරාත්මක බවට එරෙහිව සිදුකරන දෙයක්. විශේෂයෙන්ම ත්‍රස්තවාදයට එරෙහිව කරන සටනක් මේක. මේක රට රැකගැනීමේ සටනක්.

♦ හැබැයි තවමත් ආණ්ඩුවේ පිරිස ආණ්ඩුවත් එක්ක සමගාමීව වැඩේ කරගෙන යනවානේ?

මම කියන්නේ මෙච්චරයි. මේ ආණ්ඩුව කරන දේවල් ගැන බලාගෙන ඉන්න බැරි ලැජ්ජාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔය ආණ්ඩුවේ වාඩිවෙලා ඉන්නේ නැහැ. එහෙනම් මේ වනවිට අයින් වෙලා. මේ රටේ සියලු දේපල පිටරැටියන්ට විකුණන්න කටයුතු කරලා තිබෙනවා. මේවා දැක දැක තවත් කැබිනට් එකේ ඉන්නවා නම් මම කියන්නේ ඒ අය රටට ආදරය කරන මිනිස්සු නෙමෙයි. එජාපයේ රටට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් වහාම එළියට එන්න ඕන. එහෙම අය ඉන්නවා. දැන් ඒ අයට පේන්න ඕන මේ වෙන දේවල්. මිනිස්සු අලුත්වෙලා තිබෙනවා. තරුණ පරම්පරාව අලුත්වෙලා තිබෙනවා.

♦ ඔබවහන්සේ පත්කරගත්ත ආණ්ඩුවක් තමයි මේ තිබෙන්නේ. දැන් මොකද හිතෙන්නේ ඒ ගැන?

දැන් ඉන්න මිනිස්සු සාක්කුවට වැටෙන මුදල ගැන හිතන ලාබය ගැන හිතන පිරිසක් ඉන්නේ. කීයක් හරි ඉක්මණින් හම්බ කරගෙන යන්න තමයි ඉන්නේ. කීයක් හරි කඩා වඩා ගන්න ඕන කියලා අදහසේ ඉන්න පහත්ම පෙළේ දේශපාලනයක් සමස්ත රටේම දේශපාලනයේ තියෙන්නේ. ඇත්තෙන්ම මට අප්‍රසන්නතාවයක් තිබෙන්නේ මේ ගැන. මට මේ මිනිස්සු ගැන තියෙන්නේ පිළිකුලක්.

♦ මේ කරපු උපවාසය ගැන බොහෝ දෙනෙක් කතාවෙන්නේ අලුත් නායකයෙක් ගෙන ඒමේ අදහසක් කියලා. ඇත්තටම ඒකද මේ?

ඇත්ත වශයෙන්ම වෙනත් නායකයෙක් ගේන්න ඕන. කිසි ප්‍රශ්නයක් නැහැ ඒක අත්‍යවශ්‍යම දෙයක්. හැබැයි නායකයෙක් ගේන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ප්‍රතිපත්තියක් සකසන එක. මම හිතනවා අලුත් කෙනෙක් එයි කියලා. ඒක හැබැයි කියන්න බෑ මේ පුද්ගලයා අහවල් කෙනා කියලා. කොයි කෙනා ආවත් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට උවමනා කරන්නේ ඒ කෙනා ප්‍රතිපත්තියක් උඩ දණගස්සන්න.

♦ උපවාසයේ යෙදිලා ඉන්න කොට ආණ්ඩු පක්ෂයේ වගේම විපක්ෂයේ අයත් එතැනට ආවා අපි දැක්කා. ඒ ආපු අය ඔබවහන්සේගේ කනට කරලා එක එක දේවල් කියනවා අපි දැක්කා. ඇත්තටම මොනවාද ඒ අය කිව්වේ?

ඇත්තම කතාව ඒ අයට හිතාගන්න බැරුව ගියා මම මේ කරපු දේ ගැන. මේක ලංකාවේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් මඟකට හරවපු අවස්ථාවක්. ගොඩක් අය තර්කානුකූලව කතාකරන අය කියලා තිබුණා මේක අලුත් මාවතක්. අලුත් පැතිකඩක් වගේම විප්ලවයක් කියලා. ඒ නිසා දැන්වත් කඳ බඩ පෙන්වලා සිදුකරන දේශපාලනය අවසන් කරන්න ඕන.

♦ ප්‍රධාන කාරණා තුනක් මූලික කරගෙන තමයි මේ උපවාසය සිදුකළේ. ඇයි මේ දේශපාලනඥයන්ටයි එක වෛද්‍යවරයකුටයි මේ වැඩේ කළේ?

මට උවමනා වුණේ නැහැ මේක තවත් සංකීරණ කරන්න. ගොඩක් ප්‍රශ්න තිබෙන බව ඇත්ත. හැබැයි මිනිස්සුන්ට වර්තමානයේ සංවේදීම කාරණා කිහිපය තමයි කතා කළේ. ඇත්තටම මම කළේ ජනතාවගේ හඬ ක්‍රියාවට නැංවීම.

♦ ඔබවහන්සේ එක්ක හිටිය ඥානසාර හාමුදුරුවෝ කියලා තිබුණා මේ සිදුකරන දේත් එක්ක මේ ප්‍රශ්නය එකතැනකට ගොනුවෙනවා කියලා. සැබෑ ප්‍රශ්නය යට යනවා කියලා. ඒක ඇත්තද?

මම හිතන්නේ ඥානසාර හාමුදුරුවන්ට මම උත්තර දෙන්න ඕන නැහැ. උන්වහන්සේට කැමැති නම් සංවාදයකට එන්න කියනවා. හැබැයි මම කැමැති නැහැ ඥානසාර හාමුදුරුවන්ට උත්තර දෙන්න.

♦ මේ උපවාසෙත් එක්ක ත්‍රස්තවාදය මර්දනය යම් ආකාරයක හැරවුමක් වුණා කියලා තේරෙන්නේ නැද්ද?

ඇත්තටම ප්‍රශ්නය යට ගියේ නැහැ. ප්‍රශ්නය මතුකරලා මම උඩට ගෙනාවා. අර මහ රෝහලේ කරපු අපරාධය කවුද එළියට ගෙනාවේ. මමයි. මම නැත්නම් ඕක එළියට එන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන් අසාද් සාලි මහත්තයා වහන්නයි හැදුවේ. ඒක අර බෝම්බෙට වඩා බරපතළයි. මව්වරු හයසියයක් හත්සියයක් පැමිණිලි දාලා. ඇයි මේක ජනාධිපතිවරයාගේ අවධානයට යොමුවෙලා නැත්තේ? මේ අම්මලාගේ කඳුළු පෙන්නේ නැද්ද? මේක සම්පූර්ණයෙන්ම ජන සංහාරයක්.

♦ උපවාසය නතර කරද්දී ඒ වෙනකොට ඔබවහන්සේ ගෙනාපු යෝජනාවලින් ඉටුවෙලා තිබුණේ එක කාරණයයි. ඒ ආණ්ඩුකාරවරු ඉවත් කිරීම පමණයි. හැබැයි බදියුදීන් ඇමැතිවරයා ඉවත්වෙලා හිටියෙත් නැහැ. වෛද්‍යවරයාට එරෙහිව කමිටුව පත්වෙලා තිබුණෙත් නැහැ. ඇයි උපවාසය භාගෙට නැවැත්තුවේ?

ජනාධිපතිවරයාට ඉවත් කරන්න පුළුවන් ආණ්ඩුකාරවරු දෙදෙනා පමණයි. බදියුදීන් ඇමැතිවරයා ඉවත් කරන්න ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරලා සිදුකරන්න ඕන. අනිත් එක ජනාධිපති කොමිසම පත් කරන එක ලොකු කාරණයක් නෙමෙයි. ඒක අපිට සිදුකරන්න පොරොන්දු වෙලා තමයි තිබුණේ.

♦ උපවාසය අවස්ථාවේදී ඔබවහන්සේගේ සුවදුක් බැලීමට ආපු කාදිනල්තුමාට මේ වෙනකොට මුදල් අමාත්‍යවරයා විශාල චෝදනාවක් එල්ල කරනවා. ඔබවහන්සේ හිතන්නේ මොකක්ද මේ ගැන?

මම හිතන්නේ කිසිම ආත්මයක් නැති මනුෂ්‍යයෙක් කරන වැඩක්. මිනිස්සු කියන දේවල් මම කියන්න කැමැති නැහැ. කාදිනල්තුමා ආවේ රටේ ජනතාවගේ හෘද සාක්ෂිය වෙනුවෙන්. ඒ නිසා පුද්ගලයෙක් වෙනුවෙන් උත්තර දෙන්න මම ලැහැස්ති නැහැ.

♦ ඔබවහන්සේට ඇයි මේක ජනාධිපතිතුමා එක්ක කතාකරලා විසඳගන්න බැරුව ගියේ?

ගිය මාසේ විසි දෙවැනිදා ජනාධිපතිතුමාට භික්ෂූන් වහන්සේලා 200කගේ අත්සන්වලින් යුක්ත සංදේශයක් භාරදුන්නා මේ කියන අය ඉවත් කරන්න කියලා. අඩුම ගානේ ඒ ලියවිල්ලට ලිපියකින් හරි දුරකතන ඇමැතුමකින් හරි ප්‍රතිචාර ලබාදුන්නේ නැහැ. මට හම්බවුණා ඊට පස්සේ එහෙමවත් කතා කළේ නැහැ. මට එතැනදී කිව්වා දවස් තුනහතරකින් සාකච්ඡාවක් දෙන්නම් කියලා. නමුත් එහෙමවත් අවස්ථාවක් දුන්නේ නැහැ. සමහරක් විට ඒකට එතුමාගේ ලේකම්වරු වගකියන්න ඕනෑ ඇති.

♦ ඇයි ඔබවහන්සේට අග්‍රාමාත්‍යවරයාත් එක්ක සාකච්ඡා කරන්න බැරුව ගියේ?

ආණ්ඩුකාරවරු ඉවත්කිරීම ගැන සාකච්ඡා කරන්න ඕන ජනාධිපතිතුමාත් එක්ක. ඒකේ වගකීම ඇත්තේ එතුමාට. ඒ දෙන්නාම නුසුදුස්සෝ. ඡන්ද 500ක්වත් ගන්න බැරි අයනේ. බදියුදීන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීරණයක් නොගත්තත් අපිට පාර්ලිමේන්තුවේදී තීරණයක් ගන්න හැකියාව තිබුණා.

♦ දැන් එතකොට රටේ පාලකයන්ට හරි වැරැද්ද පේන්න උපවාස කරලාම පෙන්වන්න ඕනද?

ව්‍යවස්ථාවේ කාරණා ගොඩක් තිබෙනවා. නමුත් අපිට ඕන වුණේ මහජනතාව පුබුදුවාගන්න. වර්තමානයේ තිබෙන මහජන මතය තමයි මම නියෝජනය කළේ. මේ අයට ත්‍රස්තවාදී චෝදනා තිබෙනවා. සැකකාරයෝ ගත්තා කියලා.

♦ ඔබවහන්සේ ගෙනාපු අවසාන යෝජනා නිසා සමස්ත මුස්ලිම් ඇමැතිවරුම සිය ධූරවලින් ඉවත් වෙලා ආණ්ඩුවේ පසුපෙළට ගියා. මේක බරපතළ ප්‍රශ්නයක් කියලයි ජනාධිපතිවරයා පවා කියන්නේ?

ඒක ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නයක්. ඒගොල්ලෝ පෙන්වලා දීලා තියෙනවා ඒ අය ඉන්නේ ත්‍රස්තවාදීන්ට උදව් කරන උදවියත් එක්ක කියලා. කබීර් හෂීම් සිංහල ඡන්දවලින් ආවේ. ඒක දැන් කෑගල්ල මිනිස්සු විසඳයි. පැහැදිලිවම එතුමාට ගැඹුරු දේශපාලනයක් තිබෙන පුද්ගලයෙක් නෙමෙයි. සාම්ප්‍රදායික දේශපාලනඥයෙක්. ඔහු නරක පුද්ගලයෙක් කියලා අපේ හිතේවත් තිබුණේ නැහැ. නමුත් මේ සිද්ධියෙන් පස්සේ ඒකත් තහවුරු වුණා.

♦ මහානායක හිමිවරු දැන් ආරාධනා කරලා තිබෙනවා නේද නැවත තනතුරු බාරගන්න කියලා මුස්ලිම් මන්ත්‍රීවරුන්ට?

මම මහනායක හිමිවරු දෙපළම හමුවුණා. එහෙම කිසිම දෙයක් කියලා නැහැ. ඒක මාධ්‍යවලින් මවපු දෙයක්. එහෙම පළවීම ගැන උන්වහන්සේලා කනගාටුවෙන් ඉන්න බවත් මට කිව්වා.

♦ උපවාසයට දළදා මාලිගාවේ පහළ මළුව යොදාගත්තා කියලා මහනායක හිමිවරු ඔබවහන්සේට අවවාද කළාද?

ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. එහෙමනම් උන්වහන්සේලා කියයිද මේ ප්‍රශ්නය මට විසඳන්න කියලා.

♦ මේකෙදි ත්‍රෛයනිකායික භික්ෂූන් වහන්සේලා පවා ඔබවහන්සේ සමඟ හිටියා කියලා අපි දැක්කා. ගිහි සමාජය වගේම භික්ෂු සමාජයත් සංකීර්ණයි. ඔය භික්ෂු සමාජය කොහොමද ඔබවහන්සේ දකින මාර්ගයට යොමු කරන්නේ?

මම භික්ෂූන් වහන්සේලා හැමෝත් එක්කම ගනුදෙනු කළා. ශාසනයේ යම් ආකාරයක කඩාවැටීමක් තිබෙනවා. ඒක ගොඩනගන්න අපි කටයුතු කරමින් හිටියේ. ගොඩක් බුද්ධිමත් භික්ෂූන් වහන්සේලා මම ගැන දන්නවා. මම ශාසනය වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක්. ධර්මය ගැන පොත පත ලියපු කෙනෙක්.

♦ කවුරු හරි කිව්වොත් මේ කරපු දෙයින් මුස්ලිම් සමාජයට මහා ජාතියෙන් පීඩනයක් හිංසාවක් එල්ල වෙන්න පුළුවන් කියලා ඔබවහන්සේ පිළිගන්නවාද?

ඒක තීරණය කරන්නේ මුස්ලිම් අය. අන්තවාදයට යනවාද? නැත්නම් අපිත් එක්ක ඉන්නවාද කියලා. මම පැහැදිලිව කියනවා මීට පස්සේ සියයට 10කට සියයට 90ක් නටවන්න දෙන්නේ නැහැ. අපි සතුටු වෙනවා අපිට දමිළ ජනතාව දිනාගන්න පුළුවන් වෙලා තිබෙනවා. මම වෙනුවෙන් දමිළ මන්ත්‍රීවරු පූජකවරු උපවාස කළා. අපි මෙතැනදී හින්දු බෞද්ධ ජනතාව අතර විශාල එකතුවක් ගොඩනගලා තිබෙනවා. ඒ වගේම කිතුනු ජනතාව සහ බෞද්ධ ජනතාව අතරත් හොඳ එකතුවකට ඇවිල්ලා තිබෙනවා.

♦ පසුගියදා පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවේ සාක්ෂිදුන් හිටපු පොලිස්පතිවරයා වගේම ආරක්ෂක ලේකම්වරයා දැන්වූ පරිදි ජනාධිපතිවරයාගේ වැඩකටයුතු සම්බන්ධයෙන් ජනතාවට යම් සැකයක් ඇතිවෙලා?

සම්පූර්ණයෙන්ම පොලිස්පති කියන්නේ කිසි වගකීමක් නැති මනුෂ්‍යයෙක්. එයාගේ හැසිරීම සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළෙත් ප්‍රශ්න තිබෙනවා. ඔහු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හිතවත් මනුස්සයෙක්. අද රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕන මේකට ජනාධිපතිවරයා වගකිව යුතු බව පෙන්වන්න.

♦ ඔබවහන්සේගේ සැබැවින්ම මීළඟ අරමුණ මොකක්ද?

ඇත්තටම මට අවශ්‍ය වෙන්නේ මේක ප්‍රතිපත්තිගරුක රටක් බවට හදන්න. ඒ ප්‍රතිපත්තිය අපි සකසමින් සිටින්නේ. ජනතාව ඡන්දෙන් පත්කරලා යවන මිනිස්සු රට විකුණාගෙන කනකොට ජනතාවට කරන්න දෙයක් නැහැ. අන්න ඒක නතර කරලා එහෙම දෙයක් වෙනකොට පසුවිපරමක් කරන්න අවස්ථාවක් තියෙන්න ඕන. අන්න ඒ අවස්ථාව ව්‍යවස්ථානුකූලව සැකසෙන්න ඕන.

♦ ඊළඟ නායකයා ඔය කියන ආකාරයට මොනවගේ වෙන්න ඕනද?

මට ඊළඟ නායකයෙක් ගැන කතාවක් නැහැ. මට තියෙන්නේ ඊළඟ ප්‍රතිපත්තියක් ගැන අදහසක්. මාස දෙකක් තුනක් විතර යනකොට කොහොමත් ඔය කියන නායකයෝ එළියට එනවා. එතකොට අපි තීරණයක් ගන්නවා මොකද අපි කරන්න ඕන කියන එක ගැන. මතක තියාගන්න රටේ ඊළඟ කවුරු නායකයා වුණත් ප්‍රතිපත්ති හදන්නේ අපි. ඒ වගේම රට පාලනය කරන්නේත් අපි.

► ගයාන් ගාල්ලගේ