2019 මැයි 18 වන සෙනසුරාදා

මම සිංහල බෞද්ධයෙක් වුණානම් දන්නවා කරන්න ඕන දේ

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 394

• ආරක්ෂක කවුන්සිලයට ආණ්ඩුව ගෙන්නුවේ නෑ

• මොන රණවිරුවාද අපි හිරේ දාලා තියෙන්නේ?

• විශ්වාසභංග ගේන අයගේ පැටිකිරියත් හොයන්න ඕනෑ

• මේ සිද්ධියෙන් දේශපාලනේ කරන හැටි දන්නේ මහින්ද මහත්තයා විතරයි

• ඒ ගොල්ලො මිනීමරපුවා මාධ්‍යවේදීන් ඝාතනය කරපුවා හරිද?

• ඔය සමහර කතා රෑට පැලේ දකින හීන

• පලුදු වුණ සිත් එකතු කළ යුතුයි

එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

 

21 වැනිදා ප්‍රහාරයත් එක්ක බොහෝ දෙනෙක් චෝදනා කරන්නේ මේකේ වගකීම ආණ්ඩුව ගත යුතුයි කියලා. ඇත්තටම ඒක එහෙම නේද?

මේක තේරුම් ගන්න ඕන ආණ්ඩුවට ඇඟිල්ල දිගු කිරීම විපක්ෂයේ කාර්යභාරය වෙලා තියෙන්නේ. මේක ජාත්‍යන්තර ත්‍රස්ත ප්‍රහාරයක්. මේ අයි.එස්. ත්‍රස්තවාදීන් ලෝකය පුරාම ප්‍රධාන රටවල්වලටත් ප්‍රහාර එල්ල කරලා තිබෙනවා. මෙතැන වුණේ ආරක්ෂක කවුන්සිල වලට දේශපාලන නායකත්වය ලබාදීමේ ප්‍රශ්නය. අනෙක මේ ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ ගිය ආණ්ඩුවේ ඉඳන්. ඒ නිසා ගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් මේකේ වගකීම භාරගන්න ඕන.

දැන් අවුරුදු හතරක ඉඳන් ආණ්ඩුව කරන්නේ ඔබලා‍නේ? ඇයි මේක හොයාගන්න බැරිවුණේ?

නෑනේ... බුද්ධි අංශයෙන් තොරතුරු දුන් බව ඔප්පුවෙලා තියෙනවා. වෙලා තියෙන්නේ බුද්ධි අංශවලට අවශ්‍ය උපදෙස් ලබාදීලා නැහැ. නීතිය භාර ඇමැතිවරයා හැටියට රටේ ත්‍රිවිධ හමුදාවේ නායකයා හැටියට ජනාධිපතිවරයා ආරක්ෂක කවුන්සිලය පවත්වාගෙන ගිහින් තියෙන්නේ අත්තනෝමතිකව. ආණ්ඩුව කියන්නේ කැබිනට් මණ්ඩලය. කැබිනට් මණ්ඩලයේ කිසිම සාමාජිකයෙක් ආරක්ෂක කවුන්සිලයට සහභාගී කරගෙන නැහැ. සියලුම ආරක්ෂක අංශ තොරතුරු ඉදිරිපත් කරන්නේ ජනාධිපතිට. හැබැයි ඔහුට විතරක් දැන් මේක දාලා අත පිහදා ගන්න බැහැ. ඒ නිසා දැන්වත් පසු ප්‍රහාර ඇති නොවෙන්න කට්ටිය එකතුවෙලා වැඩ කරන්න ඕන. මතක තියාගන්න ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගහනකොටත් බුද්ධි අංශ දැනගෙන හිටියා. ඒ නිසා බුද්ධි අංශ දැනගෙන හිටියාට හැමදේම කරන්න බැහැ. හැබැයි අවම කරගන්න පුළුවන්. ඒ නිසා ඔය ඉතුරුවෙලා තියෙන අඩුම කුඩුම ටික සහමුලින්ම විනාශ කරන්න ඕන.

ආණ්ඩුවට එල්ල වෙන චෝදනාව තමයි බුද්ධි අංශ අඩපණ වුණේ රණවිරු දඩයමත් එක්ක කියලා?

මට ඔබ මාධ්‍යවේදියෙක් හැටියට ඔප්පු කරලා පෙන්වන්න මොන රණවිරුවාද අපි හිරේ දාලා තියෙන්නේ කියලා. කොටින්ට විරුද්ධව සටන් කරපු මනුස්සයෙක් හිරේ දාලා තියෙනවාද? කොටින්ට විරුද්ධව සටන් කළා කියලා මාධ්‍යවේදීන් ඝාතනය කරන්න ඔවුන්ට අයිතියක් නැහැ. තරුණයෝ එක්ක ගිහිල්ලා කප්පම් ගන්න අයිතියක් නැහැ. ඒක නිකම් කැලේ අතරමං වෙච්ච කාන්තාවක් බේරගත්තා කියලා පස්සේ දූෂණය කරනවා වගේ වැඩක්. එහෙම අයිතියක් නැහැ. බුද්ධි අංශයේ හිරේ ඉන්නේ අතේ ඇඟිලි ප්‍රමාණයක්. එතකොට ඒ අය ඉන්නේ පුද්ගලික අපරාධවලට. ඒ අපරාධවලට ඔබලා එකඟනම් අපි එළියට දාන්නම්.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයා පාර්ලිමේන්තුවේදී නැගිටලා කියනවා සම්පූර්ණයෙන් වගකීම ආණ්ඩුව භාරගත යුතුයි කියලා. හැබැයි ආණ්ඩුවේ මැති ඇමැතිවරු මේ වරද එහෙට මෙහෙට තල්ලු කරනවා?

ආණ්ඩුවට මේ වගකීමෙන් ගැලවෙන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්. ඒ වගකීම කියන්න ඕන අගමැතිතුමා මේකේ වගකීම භාර ගත්තා. ජනාධිපතිතුමා මේ ගැන කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවත් ඇත්ත. අගමැතිතුමාව සාකච්ඡාවට ගෙන්නන්නැති බවත් ඇත්ත. හැබැයි ඒ කියලා ආණ්ඩුවට මේ චෝදනාවලින් මිදෙන්න බැහැ. ආණ්ඩුවට බලෙන් හරි හොයන්න පුළුවන්. ත්‍රිවිධ හමුදාපතිවරුන්ට පොලිස්පතිවරයාට කතාකරලා අහන්න පුළුවන්. ඒ නිසා ඒකේ අඩුපාඩුවක් තියෙනවා. අන්න ඒ අඩුපාඩු හා වගකීම ආණ්ඩුව භාරගත යුතුයි. හැබැයි එහෙම කියලා දැන් කරන්න ඕන ඒකාධිපතියෙක්ව රජ කරන ඩ්‍රාමා එක රඟපාන එක නෙවෙයි.

මේ සිද්ධියට පස්සේ අපි දැක්කා පොලිස්පතිවරයායි ආරක්ෂක ලේකම්වරයායි ඉවත් කරනවා. දැන් එතකොට මේ දෙන්නා විතරද මේකට වගකියන්න ඕන. එතකොට ප්‍රශ්නෙ ඉවරද?

මේ ප්‍රශ්නෙ කොටස් තුනක් තිබෙනවා. පළවෙනි කොටස තමයි රටේ ආරක්ෂාව තහවුරු කරලා රට සාමාන්‍ය තත්ත්වයට ගේන එක. දෙවැනි එක තමයි පලුදු වෙලා තියෙන සිත් එකතු කිරීම. සිංහල ජනතාව තුළ තිබෙන සැකයත් මුස්ලිම් ජනතාව අතර තිබෙන බයත් නැති කරන්න ඕන. තුන්වැනි කරුණ තමයි ඊළඟ මැතිවරණයකින් පස්සේ වරදකරුවන්ට දඬුවම් ලබාදීම.

දඬුවම් දෙනවා කියලා නේද ඔබලා ආවේ. ඒත් දුන්න දඬුවම් නෑනේ?

ඔව් ඉතින් ඒක ලංකාවේ නීති පද්ධතියේ තිබෙන දුර්වලතාවයක්. අපේ මහගෙදරටත් නඩුවක් තියෙනවා මගේ වයසේ තරමට. ලංකාවේ නීතිවල අඩුවක් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් ඔය රාජපක්ෂලාගේ ක්‍රමය තමයි හරියන්නේ. සමහරුන්ට ඕනෑ ඒ ක්‍රමය තමයි.

මේ වෙනකොට චෝදනා එල්ල වෙනවා ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් මැති ඇමැතිවරුන් දෙන්නෙක් මෙන්ම ආණ්ඩුකාරවරු දෙන්නෙක් සම්බන්ධවත්. ඔබ හිතන්නේ එම චෝදනා සාධාරණ චෝදනාද?

බැලූ බැල්මට එල්ල කරන චෝදනා සම්බන්ධව අපිට හරිද වැරැදිද කියන්න විදිහක් නැහැ. හැබැයි මඩකලපු විශ්වවිද්‍යාලයට සල්ලි ආපු විදිහ හොයන්න පුළුවන්. ඇමැතිවරු දේපල රැස්කරගත් විදිහ හොයන්න පුළුවන්. අනෙත් එක ආණ්ඩුකාරවරු පත්කළේ ජනාධිපතිතුමා. ඉතින් එතුමාට පුළුවන් මේ ගැන පරීක්ෂණයක් තියලා හොයලා බලන්න. ඒක සාධාරණයි. එතකොට ඒ අයටත් පුළුවන් මේ චෝදනාවලින් නිදහස් වෙන්න.

ඉතින් ඔබලාට පුළුවන්නේ ඔබලාගේ ආණ්ඩුවේ ඉන්න චෝදනා එල්ලවෙන මැති ඇමැතිවරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අගමැතිතුමාගෙන් ඉල්ලන්න?

ඔබතුමා කියන්නකො ඔය ප්‍රශ්නය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ඔය පරීක්ෂණය සිදුකරන්න කියලා විධායක බලතල තියෙන ජනාධිපතිට. මොකද විධායක බලතල නැති අගමැතිට කියලා තේරුමක් නැහැ.

විපක්ෂයෙන් ගෙනැල්ලා තියෙනවා මේ වෙනකොට රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට විශ්වාසභංගයක්. ඒකෙදි කියනවා අන්තවාදයට විරුද්ධ අය හොයන්න පුළුවන් හොඳ පරීක්ෂණයක් තමයි කියලා මේකට අත උස්සන සහ අත උස්සන්නැති අය ගැන බලලා?

රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමාව රැකගන්න හෝ ආරක්ෂා කරන්න මට පෞද්ගලික වුවමනාවක් නැහැ. හැබැයි ඔය ගේන අයගේ පැටිකිරිය කොහොමද? එයාලා ගහන පදේට නටන්න අපි සූදානම් නැහැ. අපි කතාබහ කරලා තීන්දුවක් ගන්නම්. තාම ඍජු තීන්දුවක් කියන්න කල් වැඩියි.

විපක්ෂයෙන් ගේන බරපතළ චෝදනාව තමයි වසර 30ක යුද්ධයක් නිමකරලා ඔබලා භාරගත්ත රට විනාශ කළා කියලා?

එතකොට ඒ ගොල්ලෝ මිනීමරපුවා, මාධ්‍යවේදීන් ඝාතනය කරපුවා හරිද? පක්ෂග්‍රාහී ප්‍රශ්න අහන්න එපා.

පක්ෂග්‍රාහීව නෙමෙයි, කාදිනල්තුමාත් ප්‍රකාශ කළා ආණ්ඩුවේ වගකීම් විරහිතභාවය ගැන. එතුමා කිව්වා ආණ්ඩුවේ නායකයෝ ජනතාව රවට්ටනවා කියලා. ඒ ගැන ඔබගේ අදහස මොකක්ද?

කරුණාකරලා එතුමාවයි මාවයි පටලවන්න එපා. එතුමා ආගමික නායකයෙක්.

නැහැ. එතුමා චෝදනා එල්ල කරන්නේ ඔබ නියෝජනය කරන ආණ්ඩුවට. ඔබ ඒකට උත්තර දෙන්න ඕන?

කාදිනල්තුමා වගේ ආගමික නායකයකුට උත්තර බඳින්න මම වගේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් සුදුසු නැහැ.

දැන් මේ සිද්ධියෙන් සති තුනකට පස්සෙ මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ ප්‍රජාව හමුවේ නොසිතූ ප්‍රහාරයක් එල්ල වෙනවා. ඔබ දකින්නේ මොකක්ද මේ ප්‍රහාරය පිටුපස්සේ තිබෙන කාරණය ගැන?

මේක දේශපාලන මෙහෙයුමක් මත මැරයන් විසින් කරපු වැඩක්. ඕකට සම්බන්ධව උසිගන්වන කොළොන්නාවේ කුඩුකාරයෙක් ඉන්නවා. මිනිහා කට්ටඩියෙක්. රස්සාවක් කරන්නේ නැහැ. වාහනයක් තියාගෙන ඔහෙ ඇවිද ඇවිද ඉන්නවා. මේ වගේ අවස්ථාවන්වලදී ඒ ගොල්ලෝ කීය කීය හරි හොයාගන්නවා. මේක පිටුපස්සේ විපක්ෂයේ දේශපාලන බලවේගත් ඉන්නවා. ඔබ දැක්කානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කට්ටිය නිදහස් කරලා අරගෙන එනවා. ඔබ අහන්නකො එතුමන්ලාගෙන්.

අහන්න දෙයක් නැහැ. මේ ආණ්ඩුව ඔබලාගේනේ? ඔබලා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.

ඒක තමයි කියන්නේ අපිට ආණ්ඩුව තිබුණාට ආරක්ෂක අමාත්‍යංශය නැහැනේ. පොලිසියේ අමාත්‍යංශය අපට නැහැනේ.

අපි දැක්කා පහුගිය දවසක වැල්ලම්පිටය පොලිසිය ඉදිරිපිට ඩෑන් ප්‍රියසාද් කියන පුද්ගලයා උද්ඝෝෂණයක් කරනවා... එහිදී ඔහු ඔබට චෝදනාවක් එල්ල කළා ඔබගේ නියෝග පරිදි පුද්ගලයන් අත්අඩංගුවට ගන්නවා කියලා?

අනේ මේ ඔය කට්ටිඩියෝ කියන දේවල්වලට මම උත්තර දෙන්න යන්නේ නැහැ. අහන්න මගෙන් වැදගත් කෙනෙකුගේ ප්‍රශ්නයක්. මම උත්තර දෙන්නම්. ඔය මනුස්සයාගේ දේවල්වලට උත්තර දෙන්න ගියහම මමත් ඒ මිනිහාගේ ගාණට වැටෙනවා. මිනිහාට පුළුවන් මොකක් හරි වැරැද්දක් තියෙනවා නම් දඬුවම් දෙන්න.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා මේ ඇතිවෙලා තිබෙන තත්ත්වයට ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකියන්න ඕන. එහෙම නැතිවුණොත් මමත් තීන්දුවක් ගන්නවා කියලා?

එතුමාගේ තීරණ ගැන එතුමාගෙන් අහන්න. මට ඒ ගැන කියන්න අමාරුයි. ආණ්ඩුව වගකීම බාරගන්න ඕන. හේතුව ආණ්ඩුවේ වගකීමක් තියෙනවා මේ රටේ ජීවත්වන හැම පුරවැසියෙකුගේම අයිතිවාසිකම් රකින එක. ආණ්ඩුව ආරක්ෂාව රැක්කේ නෑ කියන එකනම් මම පිළිගන්නවා.

ඔබලා චෝදනා කරනවා විපක්ෂයේ අය ඉන්නවා කියලා මේකට. ඇයි මේ ගැන පොලිසියට පැමිණිල්ලක්වත් දැන්නේ නැත්තේ?

මම සිංහල බෞද්ධයකු වෙලා හිටියා නම් දන්නවා කරන්න ඕන දේ. මම මුස්ලිම් නිසා මට සීමාවකට වැඩකරන්න වෙලා තිබෙනවා.

ඒ කියන්නේ ඔබ වැඩ කරන ආණ්ඩුව ඇතුළෙත් සීමාවල් තිබෙනවාද?

නැහැ. එහෙම නැහැ. ඒත් මේ අපේ රට කටකතාවලට මුල්තැන දෙන කේළම් පිළිගන්න රටක්. ඒ යථා තත්ත්වය තේරුම් ගන්න ඕන.

හදිසියේම සිදුකළ පරීක්ෂාවලින් පස්සේ අපි දැක්කා මුස්ලිම් පල්ලි ඇතුළෙන් කඩු හමුවෙනවා. සමහර ඇමැතිවරු මේ කඩු හමුවීම සාධාරණීකරණය කරනවා. ඔබ හිතන්නේ මේක සාධාරණයිද?

කිසිම සාධාරණත්වයක් නැහැ. ඒ ගැන පරීක්ෂණ කරන්නම ඕන. අපි දැක්කා මේ ප්‍රහාරයෙන් පස්සේ සිදුකළ පරීක්ෂණවලට අනුව මුස්ලිම් පල්ලිවලින් කඩු කිණිසි හමුවෙනවා. හැබැයි ඒ වගේම පසුගියදා කුරුණෑගල සිද්ධියේදී ඒ ආපු අය කඩු පොලු අරගෙන ආවා. ඒ නිසා මුළු ලංකාවේම පරීක්ෂා කළා නම් ඕවාගේ දේවල් හමු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔතැන නෙවෙයි. ඕවාගේ දේවල් තියාගන්නවාද කියලා නීතිමය රාමුවක් තිබෙනවා.

මුස්ලිම් පූජකවරු කියනවා සහරාන්ලා ගැන කලින් ඉඳන්ම ආණ්ඩුවට කිව්වා කියලා. එයින් තේරෙන්නේ මේකේ වගකීම ආණ්ඩුව නියෝජනය කරන ඔබත් බාරගන්න ඕන කියලා නේද?

ඔව් ඉතින් එතුමාලා කියනවා කිව්වා කියලා. ඇමැතිවරු කියනවා කිව්වේ නෑ කියලා. ඒ ගැන අපි දන්නේ නැහැ. හැබැයි මේක දැන් හොඳ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි එකතුවෙලා මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්නට.

බෝම්බ ප්‍රහාරයට පැමිණි එක් අයෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්. ඔබ එම ප්‍රදේශයේ මන්ත්‍රීවරයා. ඔය කියන ඊබ්‍රහිම්ව ඔබ මීට කලින් හමුවෙලා තිබෙනවාද?

කිසිම දවසක හමුවෙලාත් නැහැ. දැකලාත් නැහැ. ඔහොම එකෙක් ඉන්නවා කියලා මම දැනගත්තේ මේ වැඩෙන් පස්සේ.

මේ වෙනකොට රටේ ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙනවා මංගල සමරවීර අමාත්‍යවරයා මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවෙයි කියලා කියපු ප්‍රකාශයත් එක්ක. ගොඩක් දෙනෙක් කියන්නේ මේක නැති ප්‍රශ්නයක් කියලා. ඔබ හිතන්නෙත් එහෙමද?

මගේ පෞද්ගලික මතයත් මේ අවස්ථාවේ නොකළ යුතු ප්‍රකාශයක් ඒ කළේ.

ඔබතුමා හිතන්නේ මේ රට තුළ වෙලා තිබෙන කල්ලි ගැටුම නතර කරන්න පුළුවන් හොඳම ක්‍රමවේදය කුමක්ද?

පැහැදිලිවම හමුදාවට බලය දිය යුතුයි.

ඒකට හොඳම තුරුම්පුව හැටියට ගේන්නේ සරත් ෆොන්සේකා මහත්තයා?

අපි කියන්නෙත් එතුමාට දෙන්න ඕන. අනූවක් විතර අස්සන් කරලා ලියුමකුත් භාරදීලා තියෙන්නේ ජනාධිපතිතුමාට. ඒ නිසා එය දිය යුතුයි. කොටි පරාජය කරපු පාර්ලිමේන්තු දැනුම තිබෙන එකම පුද්ගලයා ඔහු.

හැබැයි ජනාධිපතිවරයා කියන්නේ නම් ඊළඟ ජනාධිපතිවරණයට කලින් ත්‍රස්තවාදය මර්දනය කරනවා කියලා?

ඔය පැලවල් වල රෑට හීන දකින කතානේ. ඒවා කවුරු නායකත්වය දුන්නත් නුදුන්නත් මේ රටේ ආරක්ෂක හමුදාව ඒක කරනවා. ඒකෙන්ම තේරෙනවානේ ඔහු තමයි මේ තීන්දු ගන්නේ කියලා. අපේ බලයවත් තනතුරවත් නොවෙයි වැදගත් රට.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් පසුගිය දවස්වල පසුගිය දවස්වල ප්‍රකාශ කළා එතුමා බලයට ආවට පස්සේ මුස්ලිම් අන්තවාදය මර්දනය කරනවා කියලා?

ඒකෙ ඇත්තක් තිබෙනවා. තව්හිද් ජමාත් සංවිධානයට සල්ලි දීලා තියෙන්නේ රැක්කේ එතුමන්ලාගේ කාලේ. තවත් අන්තවාදී කල්ලි පෝෂණය කළේ එතුමන්ලාගේ කාලේ. ඒ හරහා සමාජ ගැටුම් ඇති කරලා දේශපාලන බලයට එන්න ඔවුන් උත්සාහ කළා.

අවසාන වශයෙන් අහන්නේ විපක්ෂනායකතුමා කිව්වා වර්තමානයේ ඇතිවෙලා තිබෙන තත්ත්වය මෙහෙයවන්නේ ආණ්ඩුව කියලා. ඇත්තටම ආණ්ඩුවද මෙය පිටුපස ඉන්නේ?

මේ රටේ ඉන්න දක්ෂතම දේශපාලනලඥයා. රටේ ඇතිවෙලා තිබෙන සිද්ධියකින් හරියටම දේශපාලනය කරන්න දන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරයි.

► ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00