2019 මැයි 11 වන සෙනසුරාදා

ආරක්ෂාව මාරයි. බුද්ධි අංශ රහස් ෆේස්බුක් එකේ!

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 443

48 ඉඳන් කළයුතු දේවල් අවුරුදු තුනකින් කරන්න බෑ

► ගෝඨාභය එනකම් අ‍පට මැරෙන්නද එයා කියන්නෙ
► හමුදා නිලධාරීන්ගේ කොන්ද කැඩුවා කියන කට්ටිය ෆොන්සේකා හිරේ දැම්මා
► දේශපාලකයන්ට කියා වෙනස් නීතියක් තියෙන්න බෑ
► ජනතාවගේ කලකිරීම්, විරෝධතා වෙනස් කරන්න ඕනෑ
► නිලධාරින් ගෙදර යැව්වා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ

- එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක

ඔබ තිස් වසරක යුද්ධය අවසන් කරද්දීත් හිටිය ඇමැතිවරයෙක්. ඒ වගේම යහපාලනය ගේන්නත් මැදිහත් වුණු පුද්ගලයෙක්. හදිසියේම අත්වෙච්ච ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි යහපාලනය තමයි මේකට වගකියන්න ඕන. ඇත්තටම ඒක එහෙමද?

මෙතැන තියෙන්නේ රටේ වැරුද්දක්. මේ රටේ තිරසාර සැලැස්මක් තියෙන්න ඕන මොන ආණ්ඩු බලයට පත්වුණත් මොන පුද්ගලයා බලයට ආවත් රටේ ජාතික ආරක්ෂාව කියන එක ස්ථිරසාර තැනක තියෙන්න ඕන. හිතන්නකෝ ජාතික ආරක්ෂාව ගැන එච්චර කැමැත්තක් නැති කෙනෙක් පත්වුණා කියලා. එතකොට ජාතික ආරක්ෂාව වෙනස් වෙනවාද? නැත්නම් සිස්ටම් එකට අනුව යනවාද?

ගොඩක් අය කියනවා මේකට විවිධ පුද්ගලයෝ වගකියන්න ඕන කියලා?

ජනාධිපතිතුමා සම්බන්ධයි, අගමැතිතුමා සම්බන්ධයි, අපේ කාලේ මෙහෙම වුණේ නැහැ. වගේ නොයෙකුත් කතා ඇහෙනවා. නමුත් දැන් කෙරෙන්න ඕනෑ ඒ දේවල් නෙමෙයිනේ. මතක තියාගන්න ඉන්දියාව, ඇමෙරිකාව සහ යුරෝපයේ බොහෝ රටවල් ඒ පත්වෙන නායකයා හෝ විදේශ ඇමැතිවරයා හෝ ආරක්ෂක ඇමැතිවරයා හෝ නිසා එහේ විදේශ ප්‍රතිපත්තියවත් ආරක්ෂක ප්‍රතිපත්තියවත් රටේ පාලන තන්ත්‍රයවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ අය ඡන්ද කාලෙදි මොන දේ කිව්වත් පාලනය වෙන්නේ මේ සිස්ටම් එකට. ඒ නිසා කවුරු ජාතික ආරක්ෂාව භාරගත්තත් වෙනස් නොවෙන ක්‍රමවේදයක් තියෙන්න ඕන අපේ රටටත්. එහෙම නැතිවුණොත් 1948 ඉඳන් මේ වෙනතෙක්ම සියලු නායකයන් ඒ වැරැද්ද භාරගත යුතුයි.

ගොඩක් දෙනෙක් කියනවා තිස් වසරක යුද්ධය දින්න රාජපක්ෂවරු හිටියා නම් මේ දේ වෙන්නේ නෑ කියලා?

මෙහෙමනෙ. මේ රටේ හැමදේටම දේශපාලනය වග කියන්න ඕන කියලා. මේ රටේ හොඳ දේටත් වගේම නරක දේටත් දේශපාලනය වග කියන්න ඕන. දැන් මේ ආණ්ඩුවට තියෙන චෝදනාව තමයි හමුදා නිලධාරීන්ව අඩපණ කරලා තියෙනවා කියලා. ඒ යම් යම් අපරාධවලට අත්අඩංගුවට ගැනීම් නිසා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ යුද්ධය කරපු නායකයා සරත් ෆොන්සේකා මහත්තයා හිරේ දැම්මේ. එහෙනම් මුළු හමුදාවම කඩා වැටෙන්න එපැයි. මුළු ත්‍රිවිධ හමුදාවම කඩා වැටෙන්න ඕන. ඒ හින්දා අපි ටිකක් විවෘත මනසකින් හිතන්න ඕන. එනිසා බුද්ධි නිලධාරීන්ට බෑ අරයාට දඬුවම් කළාය, මෙයාට දඬුවම් කළාය කියලා මගහරින්න. ඒක ඔවුන්ගේ රාජකාරිය.

හැබැයි අපි යුද්ධයෙන් පස්සේ හොඳින් ජීවත් වුණානේ...?

ඔව් ඒක ඇත්ත. යුද්ධයෙන් පස්සේ මිනිස්සු නිදහස් වුණා කියලා හමුදාව නිදහස් වෙන්න බැහැ. එහෙම නිදහස් වෙලා හිටියා නම් ඒ ගැන හොයන්න ඕන. ඒක ඒ ගොල්ලන්ගේ රාජකාරියනේ.

මෙතැන අපි දැක්ක දෙයක් තමයි ආරක්ෂාව භාරව හිටිය හැමදෙනාම මේ වගකීමෙන් මිදිලා කතා කළේ. ඒ කියන්නේ කාටවත් රට ගැන කැක්කුමක් නැද්ද?

නෑ මම ඒක තමා මුල ඉඳන්ම කියන්නේ. මේ රටේ සිස්ටම් එකක් තියෙන්න ඕන. මම මුලඉඳලාම කිව්ව දෙයක් තමයි පුද්ගලයා අනුව ආරක්ෂාව වෙනස් විය යුතු නැහැ. හරි සිස්ටම් එකක් තියෙන්න ඕන. එතකොට ආරක්ෂාව හෑල්ලුවට ලක් කරන්න බැහැ. ඇත්තම කතාව අරයාට මෙයාට ඇඟිල්ල දිගු කළාට විසඳුමක් ලැබෙන්නේ නැහැ.

ඔබ කියනවා ඒ ප්‍රශ්නය වැඩිය හිතන්න එපා කියලා. හැබැයි මේකට වගකිවයුතු අයට දඬුවමක් දිය යුතුයි නේද?

අපි ඉස්සරලාම බලන්න ඕන අදාළ තොරතුරු ලැබුණාට පස්සේ ඒ අදාළ තොරතුරු ලබාගත් අය ඉස්සෙල්ලා කළේ මොකක්ද කියලා. සමහරවිට අදාළ පුද්ගලයාට දැනුම් දෙන්න බැරිවෙන්න ඇති. මොකක් හරි හේතුවක් කියන්නකෝ... එහෙම වුණානම් ඒ අය ඊට පස්සේ කළේ මොකක්ද කියලා හොයන්න එපැයි. මේකේ දේශපාලන අධිකාරිය දන්නවාද නැද්ද කියන කාරණය පැත්තෙන් තියන්නකෝ... උදාහරණයක් හැටියට ඉන්ෆොමේෂන් හරහා එන දේවල් ගැන අපිට එච්චර විශාල දැනුමක් නැහැනේ. ඒක දන්නේ ඒ අය. ඒ නිසා එහෙම තොරතුරක් ආවම මොකක්ද කරන්නේ කියන එක ඒ අය දන්නේ. ඒ නිසා ඒ අය ගැනත් අපි පරීක්ෂණයක් කරන්න ඕන.

ආරක්ෂක ලේකම්තුමායි පොලිස්පතිතුමායි අයින් වෙච්ච කතාව ඇත්තද?

එතුමාලා දෙන්නා අයින් වුණා කියලා මේ ප්‍රශ්න ඉවර වෙනවාද? අපි හොයලා බලන්න ඕන. අදාළ තොරතුරු ලැබුණු අය ගැනත් අපි හොයන්න ඕනෑ නේද? මොකද ඒ අය හම්බවුණු තොරතුරු එක එක අයගේ ඇඟ උඩදාලා මගහැරියාද දන්නේ නැහැනේ? හිතන්නකෝ ඔක්කොම පැත්තකින් තියලා අර බුද්ධි වාර්තා ෆේස්බුක් එකට යනවානේ. ඒ වාර්තා කොහොමද එළියට යන්නේ. කවුද මේක පිටුපස්සේ ඉන්නේ. අන්න ඒ ගැනත් හොයන්න ඕන.

ඔය වාර්තා එළියට ඒමෙන් මිනිස්සු දැනුවත් වුණේ නැද්ද?

නෑ මම කියන්නේ බුද්ධි අංශයෙන් ගහන කිසිම වාර්තාවක් අපි දැනගතයුතු නැහැ. බුද්ධි අංශයට තියෙනවා ඒ හැමදේටම වඩා එහා ගිය කාර්යභාරයක්. අන්න ඒක අඩුවීමක් තිබෙනවා නම් අපි ඒක හදාගන්න ඕන.

නෑ එහෙම දැනගෙන හරි ජීවිතේ බේරාගන්න හැකිවුණානේ මිනිස්සුන්ගේ. නැත්නම් ආණ්ඩුව දැනගෙනත් කියන්නේ නෑ කියලා මිනිස්සු හිතනවානේ....?

නෑ ඒක වැරුදියිනේ. ඒ තොරතුරු එළියට යාමෙන් වෙන්නේ ත්‍රස්තවාදීන් හරි ඕනෑම අන්තවාදී කණ්ඩායමක් සූදානම් වෙනවා. එතකොට යන්නේ වැරදි පාරේ. ඒ නිසා අපි කරන්න ඕන සියලු තොරතුරු ආරක්ෂා කරලා මේකට සහාය දෙන එක. කවුරු හරි එහෙම ඒ වාර්තාව එළියට දානවා නම් ඒ මිනිහා බුද්ධි අංශයේ ඉන්න ඕන කෙනෙක් නෙමෙයි.

එතකොට ඔබතුමා විතරක් දැනගත්තානම් ඇති?

නෑ මම කියන්නේ අපිවත් හිටිය අයවත් ඒ කිසි දෙයක් දැනගන්න ඕන නැහැ. ආරක්ෂක අංශ ඒවා දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. ගොඩක් දේවල් අපිට එළියට කියන්න බැරි දේවල් වෙන්න පුළුවන්. එත් අපි ඒ දේවල්වලට ක්‍රියාමාර්ග ගන්න ඕන.

නෑ නමුත් මෙතැන තියෙන්නේ ඔබතුමාලාගේ ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කළ ලිපියක් හෙළිදරව් වීම. ඒකෙන් මිනිස්සු දැනගත්තා ඔබලා බේරුණා මිනිස්සු අමාරුවේ වැටුණා කියලා.

මම කියන්නේ ඕක ආයේ ආයේ හෝද හෝද මඩේ දමන්න ඕන නැහැ. ඒ වැරැද්ද හදාගන්න ඕන. වැරැද්ද කොතැනද තියෙන්නේ? ඒක තමයි මේ බුද්ධි නිලධාරීන්ට අදාළ රාජකාරි කරන්න රටේ සිස්ටම් එකක් නැතිකම. ඒක තමයි අපි හදන්න ඕන.

හැබැයි මෙතැනදී දේශපාලනඥයාගේ හැසිරීම සම්බන්ධව බොහෝ දෙනාගේ තියෙන්නේ කලකිරීමක්?

ඔව් ඒක ඇත්ත. ජනතාවගේ බොහෝ විරෝධතා තිබෙනවා. කලකිරීමකත් ඉන්නවා. අපි ඒක වෙනස් කරන්න ඕන. ඒ නිසා ඒක අපි හෝද හෝදා මඩේ දැමීමෙන් තේරුමක් නැහැ. මෙතැන තියෙන්නේ ක්‍රමවේදයක් නැතිකමේ තිබෙන පාඩුව.

ඔබතුමා ඉන්න කාලෙදිවත් ඔය ක්‍රමවේදය හදාගන්න තිබුණානේ?

ඒක තමයි මම කියන්නේ 1948 ඉඳන් අපි සිස්ටම් හදලා නැහැ. ඒකට සියලු පාලකයෝ වගකියන්න ඕන. පාලනයට ආව හැමදෙනාම කළේ තම තමන්ට කැමැති දේවල්.

ඉතින් 2015 ඕගොල්ලන් බලය දෙන්නේ මේ සිස්ටම් එක වෙනස් කරන්නනේ? 1948 එක්ක බලද්දි වැඩියෙන්ම වගකීම එන්නේ ඔබලාට? ඇයි කරන්න බැරිවුණේ?

සිස්ටම් එක චේන්ජ් කරන්න අපි කිව්වා. අපි බලාපොරොත්තු වුණේ ඒක. මතක තියාගන්න 1948 ඉඳන් කරන්න තිබුණු දේවල් අවුරුදු තුනකින් කරන්න බැහැ. ඒ නිසා සියලු දේවල් ටික කාලයක් තුළදී නිවැරැදි කරන්න බැහැ. යහපාලන ආණ්ඩුවෙන් යම් යම් දේවල් වෙනස් කළා. යම් යම් කාරණා ජනතාවට අවශ්‍යද නැද්ද කියන කාරණය වෙනම කාරණයක්. එහෙම සියයට සියයක් හදන්න පුළුවන්කමක් නැහැ.

පහුගිය කාලේ ඉඳන්ම පොලිස්පතිවරයාට නොයෙකුත් චෝදනා එල්ල වුණා. මෙතැනදිත් ඔහුට චෝදනා එල්ල වෙනවා. මේ සිද්ධිය එක්ක බලද්දි ඔහුද සම්පූර්ණයෙන් වගකියන්න ඕන?

ඒක ඉතින් මට එහෙම කියන්න බැහැ. ආරක්ෂක ලේකම්වරයාගේ වගකීම ඉෂ්ඨ කළාද? පොලිස්පතිවරයාගේ වගකීම ඉෂ්ඨ කළාද යන්න හරියටම කියන්න බැහැ. මොකද කවුද හරි කවුද වැරදි කියලා අපි තාම හරියට දන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා පත්කරපු කොමිසමෙන් අපිට බලාගන්න පුළුවන් වෙයි මොකක්ද ඇත්ත කතාව කියලා. තොරතුරු නොදැන කාගේ හරි ඇඟේ තිබ්බොත් ඒක වැරුදියි. මට හිතෙන්නේ මෙතැනදී ලොකුම අවුල සිස්ටම් එකක් නැතිකම.

ඔය සිස්ටම් එකේ කොටසක්නේ ආරක්ෂක කවුන්සිලය කියන්නේ. ඉතින් ඒ සිස්ටම් එකටවත් වැඩේ වෙලා නෑ කියලා අගමැතිවරයා චෝදනා කරනවා. ඔහුව මාස හයකින් ගෙන්නුවේ නෑ කියලා කියනවා?

සිකියුරිටි කවුන්සිලයටම අපි වරද පටවලා හරියන්නේ නැහැ. ඒ කවුන්සිලය තමයි රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරන ඉහළම තැන. හැබැයි මේ රටේ බුද්ධි අංශ ආරක්ෂක අංශ ක්‍රියාත්මක කරන ආකාරය කලින්ම දැනන් හිටියා නම් සිකියුරිටි කවුන්සිලයට ඒ චෝදනා එන්න විදිහක් නැහැනේ.

ඔබ හිතන්නේ නැද්ද ඔය ඔක්කොම සිස්ටම්වලට නායකත්වය කියන එක බලපානවා කියලා?

පැහැදිලිවම නායකත්වය බලපානවා. හැබැයි එතැන තියෙන්නේ සිස්ටම් එකක් තිබ්බා නම් නායකත්වයක් තිබ්බත් නැතත් වැඩේ වෙනවානේ. අපි චෝදනා කරලා හරියන්නේ නැහැ. මේ වෙලාවේ කාගේවත් ඇඟ උඩින් තියන එක නෙමෙයි උත්තරය.

ඇත්තද ආරක්ෂක කවුන්සිලයට විපක්ෂයේ මන්ත්‍රීවරු සහභාගි වුණා කියන්නෙ?

නෑ... ඒක බොරුවක්. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි වුණේ මේ සිද්ධියෙන් පස්සේ.

සාමාන්‍ය මනුස්සයාට සිස්ටම් තේරෙන්නේ නැහැ. ඔවුන්ට ඕනේ රටේ ජාතික ආරක්ෂාව ඉහළින් තියන එක. දැන් ඒ මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් නේද රාජපක්ෂවරු හිටියා නම් මෙහෙම ගහන එකක් නැහැ නේද කියලා. මේ ආණ්ඩුව පත් කරලා කරගත්තේ වැරුද්දක් කියලා....?

හරි අපි වෙනසක් නොකළා කියමුකෝ.... රාජපක්ෂවරුන්ට තව කොච්චර කාලයක් බලය ගන්න පුළුවන්ද? එතකොට රාජපක්ෂවරු නැති කාලයක අපි කොහොමද රට පාලනය කරන්නේ. ඕවා මහ බොරු තර්කනෙ.

ඔබ පිළිගන්නවාද රාජපක්ෂවරු ඉන්න කාලේ ආරක්ෂාව හොඳට තිබුණා කියලා?

ඔව් පිළිගන්නවා. යුද්ධ කාලේ සිවිල් පුරවැසියාගේ ඉඳන් අපි දක්වා අවධානය සහයෝගය දීලා තිබුණා. සෙවිල්ලෙන් හිටියා. ඒ වෙලාවේ රාජපක්ෂ මහත්තුරුත් කළා. ආණ්ඩුවක් හැටියට අපිත් කළා. සිවිල් පුරවැසියෝත් කළා. එතකොට එක්කෙනෙක් කළා කියලා එයා මත්තේම අපි ඉන්නවාද? නැත්නම් සිස්ටම් එකක් හදනවාද?

රටේ මිනිස්සු ඔබලාට බලය දෙන්නේ ඔවුන්ගේ ආරක්ෂාව ගැන බලන්න කියලා. අද ඒක කරගන්න බැරිවෙලා තියෙනවා. එහෙනම් නැවත ඡන්දයක් ඉල්ලන්න මිනිස්සු ඉස්සරහාට යන්න පුළුවන්ද?

අපි ජනතාවට කියන්නේ පුද්ගලයෙක් ගැන ආරක්ෂාව ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියලා. ඔබතුමාට බලකරන්න අපිට රට සංවර්ධන වැඩ කළාට රටක් හැටියට ඉදිරියට යන්න සිස්ටම් එකක් හදන්න කියලා. කන්න දෙන්නම් බොන්න දෙන්නම් පඩි වැඩිකරන්නම් කියන පුද්ගලයෙකුට බලය දෙන්න එපා. සිස්ටම් එකක් හදන්න පුළුවන් කෙනෙකුට බලය දෙන්න.

සමහර දේශපාලනඥයන් සම්බන්ධව මෙහිදී චෝදනා එල්ල වෙනවා. ඇයි ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ කියලත් අහනවා?

මම කියන්නෙත් එක රටක් එක නීතියක් වෙන්න ඕන. එහෙම වුණායින් පස්සේ ඔයත් පොදුයි. මමත් පොදුයි. ඒ නිසා ඕනෑම කාලයකදී මා ගැන සැකයක් ආවොත් මාවත් පරීක්ෂා කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වුණා නම් ඔබට අද ඔය ප්‍රශ්නය මගෙන් අහන්න වෙන්නේ නැහැනේ.

චෝදනා එල්ල වෙනවා ඇතැම් කණ්ඩායම් මෙහෙයවූයේ බුද්ධි අංශ හරහා කියලා?

මම කියන්නේ ආණ්ඩුවක් හැටියට අපිට බුද්ධි අංශයේ දේවල් විවේචනය කරන්න අයිතියක් නැහැ කියලා. අපි හැමවිටම ඔවුන්ගේ මෙහෙයුම් සොයා බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා ඔවුන්ගේ මෙහෙයුම් වෙන්න පුළුවන්.

කොහොම වුණත් දැන් ඔබලටත් බෝම්බ ගහන්න ඕන කියලා ජනතාව කියන තැනකට ඇවිල්ලා. ඒ ජනතාවගේ ඉවසීමේ සීමාව පැනලා නිසා නේද?

නෑ... ඒකට හේතුව වෙලා තියෙන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා පාර්ලිමේන්තුවට එන්න ඕන නැති මිනිස්සු. මම ඔය ප්‍රශ්නය නැවත ඇහුවොත් පාර්ලිමේන්තුවේ 225ම බෝම්බ ගහලා මරන්න ඕනැයි කිව්වාට ඒ 225 ම පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ කවුද? කවුරුත් බලෙන් ආපු අය නෙමෙයිනේ... ඒ නිසා මේ ප්‍රශ්නය කාටවත් බැනලා ගොඩයන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. විවේචනය තියෙන්න ඕන. විවේචනයත් එක්ක ප්ලෑන් එකකුත් තියෙන්න ඕන.

කාදිනල්තුමා කියනවා රට අනාරක්ෂිතයි කියලා. ආරක්ෂාව දුර්වලයි කියලා. එතකොට ඒ වගකීම ගන්නේ කවුද?

නෑ ඒකනම් මම පිළිගන්නේ නැහැ. ලෝකයේ මෙවැනි ත්‍රස්තවාදී උන්මත්තකයන් ඉන්නවා. ඒ උන්මත්තකයෝ මේ වගේ දේවල් කරනවා. ඒකෙන් මුළු රටම අවදානම් කියලා හිතන්න අමාරුයි. සතියක් යනකොට මේ පරීක්ෂණය ඉවර කළා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා එතුමා ආවාම සම්පූර්ණයෙන්ම මුස්ලිම් ත්‍රස්තවාදය මර්දනය කරනවා කියලා. ඒක ජනතාවට අලුත් බලාපොරොත්තුවක් වෙන්න පුළුවන් නේද?

ඔබ හිතන්න මෙවැනි තත්ත්වයකදී ඔවැනි ප්‍රකාශයක් කිරීමම කොච්චර අවස්ථාවාදීද කියලා. ඔහුට යම් ආකාරයක සැලසුමක් තිබෙනවා නම් ඒක මේ වෙලාවේ ඉදිරිපත් කරලා රටේ ආරක්ෂාවට සහාය දක්වනවා ඇරෙන්න ඔහු එනකම් අපට මැරෙන්න කියලාද කියන්නේ? ඒ නිසා එවැනි අවස්ථාවාදී දේශපාලනය කරන අය ප්‍රතික්ෂේප කරන්නම ඕන.

ආණ්ඩුවෙන් කියන යෝජනාව තමයි ආරක්ෂක ඇමැතිකම සරත් ෆොන්සේකා මහත්තයාට දෙන්න ඕන කියන එක. ඔබ ඒක පිළිගන්නවාද?

මුලටම යන්න ඕන ඕකට උත්තර දෙන්න. මම කිව්වේ පුද්ගල මාරුවකින් රටේ ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. ඒකට සිස්ටම් එකක් තියෙන්න ඕන. ඒ සිස්ටම් එක හැදෙන කම් කවුරු කොහොම බලයට පුටුවට ආවත් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ.

►ගයාන් ගාල්ලගේ