2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව විනාශ කළා

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

 

- එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන

රටේ ඇතිවෙලා තිබෙන තත්ත්වයත් එක්ක නොයෙකුත් කතා කියනවා. ඇත්තටම මේකෙ වගකීම ගන්න ඕන කවුද?

මේක දේශපාලන කතාවක් නෙමෙයි. කිසිම තර්කයක් නැතිව පිළිගන්න ඕන සම්පූර්ණයෙන්ම ආණ්ඩුව මේකට වගකිවයුතුයි කියලා. 

ඇයි ආරක්ෂක අංශත් ඉන්නකොට රජය විතරක් වග කියන්න ඕන?

රජය සම්පූර්ණයෙන් බුද්ධි අංශ අඩපණ කළා. යුද හමුදා බුද්ධි අංශ එහෙම පිටින්ම අඩුකළා. ගිරිතලේ කඳවුර වහන තැනට වැඩකටයුතු කළා. එහෙ තිබුණු ෆයිල් ඔක්කොම කොළඹට ගෙනාවා. අපේ රට බුද්ධි අංශ සමඟ විශාල ඉහළ තැනක තිබුණේ. ඒ අය වැටුපට වඩා රට වෙනුවෙන් වැඩකළ අය. නමුත් ඒ අයව අවසානයේ උසාවියට ගෙන්වලා ඔවුන්ගේ රැකියාව සම්බන්ධව අනාරක්ෂිත භාවයක් ඇති කළා. සම්පූර්ණයෙන් වගකීම ගන්න එක සම්බන්ධව බියක් ඇති කළා. අනෙක් කාරණය 2016 දී විජයදාස රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවේදී මේ ගැන හෙළිදරව්වක් කළා. ඒ වෙලාවේ ඔහුව පිස්සෙක් හැටියට සැලකුවේ. ඒ නිසා මේක සුළුවට තැකීම නිසයි අපි කියන්නේ රජය වගකියන්න ඕන කියලා.

වර්තමානයේ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායකයා පොලිසිය භාර ඇමැතිවරයා ලෙස ඉන්නේ ඔබේ පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. දැන්  එතකොට ඔහුට මේකෙ වගකීම එන්නේ නැද්ද?

මම ඉස්සෙල්ලාම කියන්න ඕන මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් නැහැ. මගේ සංවිධායක කමිනුත් අයින් වෙලා ඉන්නේ.

හරි හිටපු නායකයා කියමුකෝ...?

මෙහෙමයි... මම කියන්නේ මේකට ඉහළ ඉඳන් පහළට එනකම් වගකියන්න ඕන. කාටවත් මේ වගකීමෙන් ගැලවෙන්න බැහැ. ඒකට හේතු කියන්නත් බැහැ. ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි කොහෙත්ම මේ වගකීමෙන් මිදෙන්න බැහැ.

අග්‍රාමාත්‍යවරයාගේ පැත්තෙන් ගෙනෙන චෝදනාව තමයි ඔහුව මාස හයක සිට ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ නැහැ කියන එක. ඒ ඔබලාගේ බල පෙරළියෙන් පස්සේ?

හරි... එතකොට 2016 ඉඳලා ඔය කියන පෙරළිය එනකම් මොනවද මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ගත්ත පියවර. ඒ වගේම ඥානසාර හාමුදුරුවෝත් මේ ගැන කිව්වා. ඉන්දීය බුද්ධි අංශය දැනුම් දීලා තිබෙනවා. ඒ වගේම ඉන්න බුද්ධි අංශ නිලධාරි ටික හරි දැනුම්දීලා තිබෙනවා. ඒ නිසා ආරක්ෂක කවුන්සිලය කැඳෙව්වේ නැහැයි කියන එක හේතුවක් නෙමෙයි. ඒක ඒ අයගේ පරිපාලන ප්‍රශ්නයක්. එහෙම කියන්න බැහැනේ ඇමැතිවරුන්ට අවදානම නිකුත් කරපු චක්‍රලේඛනය දීලා තිබෙනවානේ. එක ඇමැති කෙනෙක් හරි ඒ ගැන අහලා තිබුණාද? හරින් ප්‍රනාන්දුගේ තාත්තා කියලා තියෙනවා යන්න එපා කියලා. එතුමාට ඒ වෙලාවේ හරි කියන්න තිබුණානේ මේ ගැන. ඒ නිසා වගකීමෙන් තොරව ක්‍රියාකරලා රටේ නැති හේතු කිව්වට වැඩක් නැහැ.

ඒ වුණාට ඒකේ යම්කිසි තර්කයක් තියෙනවා නේද ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයා කැඳෙව්වේ නැහැයි කියන එකේ....?

ඔය මොනවා කිව්වත් වැඩක් නැහැ. ඒකේ වගකීම සම්පූර්ණයෙන් භාරගන්න ඕන යූ.එන්.පීය. දැනගන්න ඕන මේ ගැහැව්වේ යූ.ඇන්.පී. එකේ බේස්වලට කියලා. පුංචි රෝමය කියන්නේ යූ.එන්.පී. ඡන්ද කට. කොච්චිකඩේ කියන්නේ කොළඹ ඡන්ද කට. හැබැයි ජනතාවගේ ජීවිත අනාරක්ෂිතයි. එහෙම රජයක් මීට වැඩිය ජනතාව ගැන හිතන්න ඕන නේද? මට මතකයි ජෝන් අමරතුංග ඇමැතිවරයා 2015 ජනවාරි මාසයේ අවසන් කාලයේ කොළඹ චැතැම් වීදියේ බැරියර්ස් වලට පයින් ගැහුවේ රාජපක්ෂලාගේ බැරියර්ස් කියලා.

මේ සිද්ධියෙන් පස්සේ කැබිනට් මණ්ඩලයේ බහුතරය රැස්වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා රාජිත සේනාරත්න ඇමැතිවරයා කිව්වා පොලිස්පතිවරයා සම්පූර්ණයෙන් වගකියන්න ඕන කියලා. ඔහු ඉල්ලා අස්විය යුතුයි කිව්වා.

පොලිස්පති කියන්නේ නිලධාරියෙක්. ආරක්ෂාවේ තිබෙන ප්‍රශ්න නිලධාරින් පිටින් දාලා මගහරින්න බැහැ. ජනතාවගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ රජයට. කැබිනට් මණ්ඩලය ඇතුළු ඇමැතිවරුන්ට. රටේ සම්පූර්ණ ආරක්ෂාව පවත්වාගෙන යන්නේ රජය. ඔය අය මතකනෙ කිව්වා රතුපස්වල සිද්ධියේදී පොලිස්පති අයින් වෙනකොට පොලිස්පති නෙමෙයි වගකියන්න ඕන ආණ්ඩුවයි කියලා. එහෙම කිව්ව අය කොහොමද පොලිස්පති මේකට වගකියන්න ඕන කියලා. මේක සම්පූර්ණයෙන් දුර්වල ආරක්ෂක පියවර සහ දුර්වල නායකත්වය නිසා ඇතිවෙච්ච දෙයක්.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක දිසාව මගින් ප්‍රභූ ආරක්ෂක අංශය දැනුවත් කරලා තිබුණා. ඔබත් මේ ගැන දැනුවත් වෙලා හිටියාද?

මම නම් දැනගෙන හිටියේ නැහැ. මම එතකොට නිවාඩුවක් ගතකරන්න ගිහිල්ලා හිටියේ ලංකාව ඇතුළේ. මගේ ආරක්ෂකයෝත් නිවාඩු ඇරලා හිටියේ. මට එහෙම තොරතුරක් ලැබුණා නම් ඇත්තටම මම ඒක එළියට දෙනවා.

හැබැයි ප්‍රභූ ආරක්ෂකයන් දැනුවත් වෙලා තිබෙනවා. ප්‍රභූවරු රැකුණා. ජනතාව අමාරුවේ වැටුණා. එහෙම බලද්දී 225 ම මේකට වගකියන්න ඕන නේද?

මෙහෙමයි. රටේ මේ වගේ තත්ත්වයක් ඇති වුණාම පාර්ලිමේන්තුවේ 225 ටම වගකීමක් තියෙනවා. හැබැයි රජයක් කරනකොට විපක්ෂයේ අදහස්වලටත් කන්දෙන්න ඕන. ඇයි විජේදාස මහත්තයා කිව්ව දේ තුට්ටු දෙකට දාලා සැලකුවේ. ඒ එතුමා ආණ්ඩුවෙන් එළියට ආපු නිසානේ. අනිත් එක මේක අද ඊයේ ඇතිවෙච්චි දේකුත් නෙමෙයි. මේක ආරක්ෂක කවුන්සිලයේදී කීප වතාවක් දැනුවත් කරලා තිබෙනවා. ඉන්දියානු ඔත්තු සේවා මගිනුත් රජයට දැනුම් දීලා තිබෙනවා. එහෙම දැනුවත් වෙලා තියෙනකොටත් එයට ක්‍රියා නොකළා නම් ඒකට රජය වගකිවයුතුයි. නමුත් මේ අය කළේ ත්‍රස්ත සංවිධානවලට නැවත නැගිටින්න උදව් කරපු එක විතරයි. බලන්නකෝ ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් කියනවා ඇමෙරිකාව කරපු දේවල් ගැන හොයන්න අයිතියක් නැහැ කියලා. ඒත් අපේ අය ඇමෙරිකාවෙන් ගෙනැල්ලා අපටම පරීක්ෂණ තියනවා.

ආණ්ඩුවෙන් තිබෙන චෝදනාව තමයි ඔබලා මේ හරහා ආණ්ඩු බලය අල්ල ගන්න හදනවා කියලා?

එහෙම බලය අල්ලගන්න පුළුවන්ද මේ වගේ තත්ත්වයක. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙත් කිව්වා ඔය කතා. ඒත් එහෙම කරන්න බැරිවුණා. මෙතැන තියෙන්නේ ආණ්ඩුවේ දුර්වලතාවය. ඒක වහගෙන වෙන කතා කියනවා. අගමැතියි ජනාධිපතියි අතර බෙදීමක් තියෙනවා. ඒකත් ඒගොල්ලන්ගේ දුර්වලතාවයක්. අගමැතියි ජනාධිපතියි අතර ප්‍රශ්න මේ මෑතකදීනේ ආවේ. 2016 ඉඳන් මේ ප්‍රශ්න තියෙන්නේ. එහෙනම් එදා ඉඳන් මේ ප්‍රශ්නය විසඳන්න එපැයි.

ඒ කියන්නේ එහෙම ආණ්ඩු අල්ලන අදහසක් නැහැ?

මෙහෙමයි. අද මේ ආණ්ඩුව අසරණ වෙලා ඉන්නේ. මේ අය බලාපොරොත්තු වුණා ඡන්දයකදී දෙමළ අයගේ ඡන්ද. මුස්ලිම් අයගේ ඡන්ද. කතෝලික අයගේ ඡන්ද. ඒත් අද මේ සියල්ල අවිනිශ්චිතයි. මේ අයට ආයේ ඡන්දයක් හම්බවෙන්නේ නෑ ඒ අයගෙන්. දැන් අලුතෙන් බලය අල්ලන්න දෙයක් නැහැ. ඊළඟ පාර අත්දෙකෙන්ම මේ රට බාරදෙන්නේ අපට. මෙච්චර ඉතිහාසයේ වේලාසනින් වහන්නේ නැති ආයතන අද වෙනකොට වේලාසනින් වහන්න වෙලා. අද මේ වගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා නිසා. මේ ආණ්ඩුවට චෝදනාව තිබුණේ ආර්ථිකය වැට්ටුවා කියලා. හැබැයි දැන් චෝදනාව තිබෙන්නේ ජාතික ආරක්ෂාවත් විනාශ කළා කියලා.

ආරක්ෂක ලේකම්වරයා කිව්වා විදෙස් මාධ්‍යවලට දැනගෙන හිටියත් මෙහෙම තත්ත්වයක් උද්ගතවෙයි කියලා හිතුවේ නෑ කියලා. ඒ වගේම හෝටල්වල ආරක්ෂාව ලබාදීම ගැටලුසහගතයි කියලා. මේ සම්බන්ධව විවිධ අදහස් තිබෙනවා?

කනගාටුයි ඒ ප්‍රකාශ ගැන. වෙන කියන්න කිසිම දෙයක් මට නැහැ.

ඔබ හිතන්නේ වර්තමානයේ ඇතිවෙලා තිබෙන අවදානම් සහගත තත්ත්වයෙන් ගොඩ එන්න දේශපාලන වශයෙන් රට තුළ සිදුවිය යුතු වෙනස කුමක්ද?

ප්‍රථමයෙන්ම ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කරන්න ඕන. අපි විපක්ෂයේ හිටියත් මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න ඕනම තීන්දුවකදී අපි කිසිම පැකිලීමකින් තොරව ඊට සහාය දක්වනවා. රටේ ජනතාවට කරදරයක් ඇතිවුණාත් රටේ ජනතාවගේ ජීවිත රැකගන්න අපි මහජන නියෝජිතයෝ හැටියට මැදිහත් වෙනවා.

► ගයාන් ගාල්ලගේ