2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ආරක්ෂාවට ප්‍රශ්න ඇතිකරන්නෙ විපක්ෂයයි

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 115

 

- එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ

වර්තමාන රටේ ඇතිවෙලා තිබෙන තත්ත්වයත් එක්ක මේ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාව එල්ල වෙන්නේ විපක්ෂයෙන් ආණ්ඩුවට. ඇයි ආණ්ඩුවට මේක නවත්වගන්න බැරිවුණේ?

අපටත් මේ ප්‍රශ්නය තිබෙනවා. පාර්ලිමේන්තුවේ අපි දිගින් දිගටම මේ ගැන සාකච්ඡා කළා. විශේෂයෙන් බුද්ධි අංශ හරහා තොරතුරු ලැබී තිබුණත් ඒවාට නිසි පියවර ගත්තේ නැහැ කියලා මේ වනවිට තහවුරැ වෙලා තිබෙනවා. මම කියන්නේ ඒ ඔස්සේ තරාතිරම නොබලා මේකට පියවර නොගත්ත ඕනෑම අයකුට දඬුවම් දිය යුතුයි. ඒ සම්බන්ධයෙන් වගකීම් දරන සියලු දෙනාම ඉල්ලා අස්විය යුතුයි.

ආණ්ඩුව කියන්නේ කැබිනට් මණ්ඩලය. රටේ ආරක්ෂාව කැබිනට් මණ්ඩලය ඇතුළු සමස්ථ රජයටම අයිතියි. දැන් ඔය කියන තොරතුරු කැබිනට් මණ්ඩලය නොදැන හිටියැයි කියන එක වෙන්න බැහැනේ?

කැබිනට් මණ්ඩලය පැහැදිලිව කිව්වානේ මාස හයක් ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයාවත් රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාවත් කැඳවලා තිබුණේ නැහැ. එය ප්‍රධාන වැරැද්දක්. ජනාධිපතිවරයා එහෙම නොකළේ ඇයිද කියලා රටට හෙළිකරන්න ඕන. ඔක්තෝබර් මාසයේ පෙරළියෙන් පස්සේ ජනාධිපතිවරයා නැවත අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ මේ සිද්ධියෙන් පස්සේ.

ආරක්ෂක කවුන්සිලයට කැඳෙව්වේ නෑ කියන්නේ දැන්. හැබැයි කැබිනට්ටුව සතියකට සැරයක් රැස්වුණා. කවුද මේ රාජ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළට ආණ්ඩුව සම්බන්ධ කර නොගැනීම සම්බන්ධව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේ?

ඒ ගැන මට උත්තරයක් දෙන්න බැහැ. මොකද මම කැබිනට් මණ්ඩලය නියෝජනය කරන්නේ නැහැ.

ඔබ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්. ඔබ දැන සිටියාද ඔබේ ආණ්ඩුවේ අගමැති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවන්නේ නැහැ කියලා?

නැහැ. ඒක දැනගත්තේත් පසුගිය දවසක අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඒ ගැන ප්‍රකාශයක් කළායින් පස්සේ. මම ඊටපස්සේ ඇහුවා ඔබතුමාලා යන්නේ නැත්තේ ඇයි කියලා. එතකොට ඒ අය කිව්වා ඔක්තෝබර් මාසයෙන් පස්සේ කැඳෙව්වේ නැහැ කියලා.

ඒ නිසා ආණ්ඩුව මේකට සම්බන්ධ නැහැ. එහෙමද කියන්නේ?

නෑ බලන්නකො... ආරක්ෂක මණ්ඩලය කැඳවලා තිබෙනවා. කැඳවලා තියෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව.

විපක්ෂයෙන් ගේන චෝදනාව තමයි රණවිරු දඩයම සහ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම මේ තත්ත්වයට මූලික හේතුව කියලා?

පැහැදිලිවම මේක ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ලවන ප්‍රකාශකයක්. රණවිරු දඩයම කියන්නේ මොකක්ද? ආරක්ෂක අංශයේ ඉන්න අයට ගිහිල්ලා මිනිස්සු මරන්න පුළුවන්ද හිතුමතේට? සමහර පැමිණිලි දාලා තියෙන්නේ එයාලාගේ වයිෆ්ලා. ඒක අධිකරණ ක්ෂේත්‍රයෙන් සිදුවන විභාගයක්. එහෙම නැතිව දේශපාලන මැදිහත්වීමකින් කිසිකෙනෙකු අත්අඩංගුවට අරගෙන නැහැ. දැන් ළමයින් පැහැරගෙන ගිහිල්ලා ඝා තනය කරපු සිද්ධිය බලන්න. ඒ අත්අඩංගුවට ගැනීම රණවිරු දඩයම්ද? මේ දේවල් වෙන්නේ හොයලා බලලා. එනිසා මේවයි රණවිරුවොයි පටල ගන්න එපා.

හැබැයි විපක්ෂයෙන් කියන්නේ ඔබලා මේ නිලධාරීන්ව කිසිම නඩුවිභාගයකින් තොරව රඳවාගෙන සිටිනව කියලා?

හිරගත කරලා ඉන්න ඇතැම් බුද්ධි නිලධාරීන්. සමස්ත බුද්ධි අංශයම නෙමෙයි. බුද්ධි අංශය කියන එක ඊට වඩා පුළුල්. සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමාත් පේනවානේ එදා පාර්ලිමේන්තුවේදී ඒ ගැන එළිකරපු දේවල්. මෙහෙම අභූත චෝදනා එල්ල කිරීමම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

හැබැයි සරත් ෆොන්සේකා මන්ත්‍රීතුමා කිව්වා සම්පූර්ණයෙන්ම ආණ්ඩුව මේකට වගකියන්න ඕන කියලා?

මම කියන්නෙත් පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම මේ වගකීම ගන්න ඕන. ජාතික ආරක්ෂාව කියන්නේ සියලුදෙනා එකතුවිය යුතු අවස්ථාවක්. ජාතික ආරක්ෂාව කියන්නෙම ආණ්ඩුවට විතරක් අයිති දෙයක් නොවෙයි. ඒකට හොඳම උදාහරණය තමයි එදා හදිසි නීතිය සම්මත කරගත් දවස. මේ එකතුවීම විශේෂයෙන් විපක්ෂනායකතුමාත් කිව්වා. දැන්වත් සියලුදෙනා එකතුවෙන්න ඕන. එකිනෙකා කුලල් කාගෙන මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.

හැබැයි ඔබතුමාලාට නම් කලින්ම තොරතුරු ලැබිලා බේරුණා නේද?

ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ තොරතුරු අපේ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්ට ලැබෙනවා. සමහර දේවල් ඔවුන් අපිව දැනුවත් කරන්නේ නෑ. ඔවුන් එයට අදාළව ආරක්ෂක කමිටුවද අනුගමනය කරනවා.

දැන් ඔබතුමා දැනන් හිටියේ නැද්ද ඔබගේ ආරක්ෂක නිලධාරීන්ට මෙහෙම අවදානාත්මක ලිපියක් දීලා තියෙනවා කියලා?

මම දන්නෙත් මේ සිද්ධියෙන් පස්සේ. අපි පිළිගන්නවා මේකේ වැරැද්දක් තියෙනවා කියලා. මේක නවත්වන්න තිබුණා. එහෙත් හිතන්නකෝ අපේ රටේ ආරක්ෂක ඇමැතිවරයෙක් නැහැ මේ සිද්ධිය වනවිට.

ජනාධිපතිවරයා නම් කියන්නේ එතුමාවත් දැන සිටියේ නැහැ කියලා මේ වාර්තාව ගැන. අගමැතිතුමා දන්නෙත් නෑ කියලා. ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමා දන්නෙත් නැහැ කියලා. ඒ හැමෝම ඇඟිල්ල දික් කරන්නේ පොලිස්පතිට. දැන් පොලිස්පතිද වග කියන්න ඕන මේ වෙච්චදේට?

සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන ජනාධිපතිතුමා. නමුත් මේක කියන්න බයයි ගොඩක් අය. මෙතැන ජනාධිපතිත් එක්ක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රාජ්‍ය ආරක්ෂක ඇමැතිවරයා සහ නීතිය හා සාමය ඇමැතිවරයා කියන තනතුරු සම්බන්ධවයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඒ තනතුරු තමා නිසි ලෙස ක්‍රියාත්මක වෙලා නැත්තේ.

අපි පාර්ලිමේන්තුවේ දැක්කේ දොගොල්ලො දෙගොල්ලන්ට ඇඟිල්ල දිගු කරලා වෙච්ච දේ ගැන කතා කරනවා. හැබැයි ඉදිරි සැලසුම් ගැන කතාබහක් නැහැ?

ඇත්ත. දැන් බලන්න ඕන මෙතැනින් එහාට අපි මොකක්ද කරන්න ඕන කියලා. ඒ නිසා ජනාධිපතිවරයා ප්‍රථමයෙන් කරන්න ඕන සරත් ෆොන්සේකා මහතාගෙන් වැඩගන්න කියලා. ඒක පාර්ලිමේන්තුවේ හැමෝම පිළිගත්ත දෙයක්. මම ජනාධිපතිතුමා කියනවා මේ පරණ දේවල් අමතක කරන්න කියලා. ඕවා ඔලුවේ තියාගෙන ජාතික ආරක්ෂාව රකින්න බැහැ. අපි විශ්වාස කරනවා එතුමාට ජාතික ආරක්ෂක අමාත්‍ය ධුරය පිරිනමයි කියලා.

දැන් ජාතික ආරක්ෂාවට සහයක් හැටියට ඔබ බුර්කාව තහනම් කරන්න කියලා පෞද්ගලික යෝජනාවක් ඔබ පාර්ලිමේන්තුවට ගෙනාවේ?

මම මේ ගැන හොයලා බැලුවා. සමාජයේ විවිධ කතා මතිමතාන්තර තිබෙනවා. මම මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කළාම ඔහු කිව්වෙත් ඔහුගේ බිරිඳ පළඳින්නේ නැහැ බුර්කාව කියලා. එය සාම්ප්‍රදායික ඇඳුමක් නොවන බවත් කිව්වා. ඒ අනුව මම පෞද්ලික මන්ත්‍රී යෝජනාවක් හැටියට මේක ඉදිරිපත් කළා. ඒ බුර්කාව තහනම් කරන්න කියලා නෙමෙයි. ඒ ගැන හොයලා බලලා තීන්දුවක් ගන්න කියලා. මම හිතනවා මේ මගේ උත්සාහය සමාජය ඇතුළේ විශාල සංවාදයක් ඇතිවෙයි කියලා. ඒ සංවාදය තුළින් අපි මේ බුර්කාව සම්බන්ධයෙන් නිගමනයකට එන්න ඕන.

ඔබ හිතන්නේ මේ තත්ත්වයෙන් ගොඩඑන්න ආණ්ඩුව ඉක්මණින්ම ගතයුතු ක්‍රියාමාර්ගය මොකක් කියලාද?

ඒක තමයි සියලුදෙනාම එක අදහසකට ගේන්න ඕන. ඒ වගේම සරත් ෆොන්සේකා මහත්තයාව ජාතික ආරක්ෂාවේ මෙහෙයුම්වලට යොදාගන්න ඕන. විපක්ෂයේ ඉන්න බුකීකාරයො ආරක්ෂක දේවල් ගැන දන්න දෙයක් නැහැ. මේවා ප්‍රසිද්ධියේ කතා කරන එක තවත් ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. නමුත් හැකි ඉක්මණින් අපි එකතු විය යුතුයි. එහෙම නැතිවුණොත් මේක නිසා ආර්ථිකයට එල්ල වෙන පහර සුළුපටු නැහැ. මේ ආර්ථිකයෙන් ගොඩ එන්න තව ටික කාලයක් යයි. ඒ කාලය තුළ රටේ ආරක්ෂාව සියයට සියයක් තහවුරු කරන්න ඕන අපි ඔක්කොම එකතුවෙලා.

► ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00