2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ගෝඨාභය පරද්දන්න ලෙහෙසියි

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

► මුකුත් වෙලා නෑ මුකුත් කරලා නෑ කියන කතාව බොරුවක්

► විදුලිය කැපිල්ල පිටුපස්සේ ඩීසල් මාෆියාවක්

► ඡන්ද දිනන්න වෘත්තීයවේදියොම ඕනෑ නෑ

► රාජපක්ෂලා ඒකාධිපතියෝ

► එජාපයෙන් පොදු අපේක්ෂකයෙක් ගේනවා

- ඩිජිටල් පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා

යහපාලන ආණ්ඩුවක් ගත්ත දවසෙ ඉඳන් හැමෝම කිව්වේ එජාප ආණ්ඩුවක් තිබුණා නම් මීට වඩා දෙයක් කරන්න තිබුණා කියලා. දැන් එජාප ආණ්ඩුවක් තියෙන්නේ. දැන් සාර්ථකද?

මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු දෙකකට කළින් ඡන්දෙකට ගියේ අනාගතයේ එළඹෙන්නට තිබූ දුෂ්කර කාලයක් නිසා. අපි ඒ දුෂ්කර කාලයට මුහුණ දුන්නා. කළමනාකරණය කරලා හොඳින් ලෙඩේ හසුරුවා ගත්තා. විශේෂයෙන් ණය බර මකන්න වැඩපිළිවෙල් සකස් කළා. මතක තියාගන්න 2019 වසර තමයි රටේ වැඩිම ණය ගෙවීමක් සිදු කරන්නේ. දැන් අපි ඉන්නේ ණය කන්ද මුදුනේ. අපි මීට කලින් හිටියේ කඳු මුදුනට ළං වෙලා. ඒ නිසා අපිට ඉදිරිය සුබයි.

ඒ වුණාට ගොඩක් ජනතාව ඉන්නේ කලකිරීමෙන් වගේනේ?

ඔය කියන්නේ එජාප ආණ්ඩුවක් ආවාම අර තිබෙන සරු බව මේ පාර නැහැ කියන එකනේ. නෑ ඒක පොඩි කාලයකට විතරයි. අපිට ණය බරෙන් මිදුණායින් පස්සේ ඉතාමත් හොඳින් ඒ හැමදේකටම මුහුණ දෙන්න පුළුවන්.

ඔබ කැබිනට් ඇමැතිවරයෙක් හැටියට තෘප්තිමත්ද මේ ගතවන කාලය සමඟ?

අපිට මීට වඩා දේවල් කරන්න තිබුණා කියන එක ගැන විශ්වාසයක් තියෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ හදිසි පෞද්ගලික අරමුණු වෙනුවෙන් සිදුකෙරුණු වෙනස්වීම් වගේම මුදල් අමාත්‍යංශයේ සිදුකෙරුණු වෙනස්වීම් සහ මහ බැංකුව සම්බන්ධයෙන් එල්ල කරන ලද අසත්‍ය චෝදනා නිසාත් අපි යම් ආකාරයක පසුබෑමකට ලක්වුණා. හැබැයි මේ ආකාරයෙන් කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් මට සතුටක් තිබෙනවා. එහෙම නොවුණා නම් මීට වඩා ලොකු දෙයක් කරගන්න අපිට තිබුණා.

ඔබ කියන්නේ එජාපය සම්බන්ධයෙන් එල්ල කරපු චෝදනා ජනාධිපතිවරයාගේ පෞද්ගලික අභිමතාර්ථයක් උදෙසා සිදුකළ ප්‍රකාශ කියලාද?

ඔව්. අපිට පේනවානේ හදිසියේම ආණ්ඩුව පෙරළලා පසුගිය රෙජිමයේ ලොකුම චෝදනා තිබුණු මහින්ද රාජපක්ෂ අගමැති කරන්න තරම් ජනාධිපති පහතට වැටුණානේ. සමස්තයක් හැටියට ගත්තාම ඔහුගේ වැඩපිළිවෙළ අසාර්ථකයි. ඔහු ජනතාව වෙනුවෙන් වැඩ කළේ වසරක වගේ කාලයක්.

රාජපක්ෂ ආණ්ඩුව දූෂණ වංචා ගැන ඔබලා තවමත් කතාවෙනවා. හැබැයි තවම අල්ලපු හොරෙක් නෑනේ?

ඇයි නැත්තේ? ඉස්සෙල්ලා හිටිය රජයේ ඉහළම දෙන්නෙකුට දඬුවම් දුන්නා. ජනාධිපති ලේකම් කෙනෙකුටයි තව කෙනෙකුටයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු ඔහුගේ සහෝදරයන් දරුවන් සියලුදෙනාටම මහාධිකරණය ඉදිරියේ නඩු පැවරිලා තියෙන්නේ. එතකොට මහාධිකරණයේ නඩු පවරන්නේ නීතිපතිවරයා. ඔහු සාක්ෂි මත නඩු පවරන්නේ. ඒ නඩු ප්‍රමාද වීම සම්බන්ධයෙන් අපිට මැදිහත් වෙන්න බෑ. ඒවා පිළිවෙළට වෙන දේවල්. ඒකට විසඳුමක් හැටියට පෞද්ගලිකවම මම ඉදිරිපත් වෙලා විශේෂ මහාධිකරණ ත්‍රිත්වයක් සැකසුවා. මහාධිකරණ විනිශ්චයකාරවරු 35 දෙනෙකු පත්කරගන්න විදිහට පනත් සංශෝධනය කළා. ඒ වගේ බොහෝ වැඩ කළා. කොහොමත් අධිකරණ කටයුතු කියන දේවල් හදිසියේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ගුණාත්මකභාවය වගේම ප්‍රමාදය පිළිබඳවත් ප්‍රශ්න තිබෙනවා. හැබැයි එකක් මතක තියාගන්න. මීට කළින් තිබුණ රජයකට විරුද්ධව නඩු පවරපු නීතිය ක්‍රියාත්මක කරපු එකම රජය තමයි මේ රජය. මුකුත් වෙලා නෑ මුකුත් කරලා නෑ කියන කතාව කියන්න එපා.

ඔබ කිව්වා වගේම ලංකාවේ පළවෙනි වතාව නේද තමන්ගේම ආණ්ඩුවට විරුද්ධව ජනාධිපති කෙනෙක් කොමිසමක් පත් කළේ?

එකම එක දෙයයි තියෙන්නේ. ඒ මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළ චෝදනාව. මාස දෙකක් වගේ ඇතුළත අර්ජුන් ඇලෝසියස් ඇතුළු කණ්ඩායම මේ දූෂණය සිදුකළා. හැබැයි ඊට කළින් ඉඳලත් ඔවුන් මේ දේවල් සිදුකරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේ ඉඳලාම. හැබැයි අපේ රජයේ තිබුණ වැරැද්ද තමයි වගකිවයුතු පුද්ගලයන්ට විරුද්ධව ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක නොකිරීම. ඒ හැරෙන්න අපට කිසිම චෝදනාවක් නැහැ. ඒ වගේම සිරිසේන මහත්තයා බැඳුම්කර කොමිසම පත්කිරීම සම්බන්ධව අපි සතුටු වෙනවා. ඒකෙන් අපේ අග්‍රාමාත්‍යවරයාව නිදොස් කොට තිබෙනවා. ඒ වගේම මීට අදාළ සැකකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙලා තිබෙනවා.

ඔබලාට විරුද්ධව රජයේ ඉඩම් කුණුකොල්ලයට විකුණනවා කියලා චෝදනාවක් තිබෙනවා විපක්ෂයෙන්?

මොකක්ද ඒ ඉඩම් සම්බන්ධ චෝදනාව? අපිට එහෙම චෝදනා නැහැ.

ජනාධිපතිවරයාත් චෝදනා කරනවා ඒ සම්බන්ධයෙන්?

මම දන්නේ නැහැ ජනාධිපතිවරයා එහෙම චෝදනාවක් කරලා තිබෙනවා කියලා. අපි එහෙම ඉඩම් විකුණලා නැහැ. එහෙම විකුණන්න බලාපොරොත්තුවකුත් නැහැ. විකුණුවේ මහින්ද රාජපක්ෂ මහත්තයා. හැබැයි ව්‍යාපාර කටයුතු කරද්දී අපි ඉඩම් බදු දෙනවා. ඒ ඉඩම් බදු දුන්නා කියලා ස්වාධීනත්වයට බලපෑමක් වෙන්නේ නැහැ. හම්බන්තොට වරාය සම්බන්ධව අපි ඇතිකරගත් ගිවිසුම ඉතාමත් විධිමත් ලෙස කටයුතු කරපු දෙයක්. හම්බන්තොට වරාය කියන්නේ පාඩු ලබමින් තිබුණු ආයතනයක්. විශේෂයෙන් මේ හම්බන්තොට ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් කළා. ඒ විවාදයට කිසිම රාජපක්ෂ කෙනෙක් සහභාගී වුණේ නැහැ.

ඇත්තද මේ ඔබලාත් ඇමෙරිකාවත් අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන්න යනවා කියන්නේ රටට සෙතක් නොවන?

ඔබ ඔය කියන ගිවිසුම කවුරු හරි පෙන්නලා තිබෙනවාද?

හැබැයි විපක්ෂයෙන් නම් කියනවා එයට සාක්ෂි තිබෙනවා කියලා?

හරි... ඔවුන් පෙන්වලා තිබෙනවාද එහෙම ගිවිසුමක් හරි... වගන්ති හරි.... අඩුම තරමේ රටට අහිතකර වගන්තියක් පෙන්වන්න කියන්න. එහෙම දෙයක්වත් නෑ. එහෙම කිසිම අලුත් ගිවිසුමක් නැහැ. හැබැයි ඇමෙරිකානු සේවාවලට පහසුකම් සැපයීමේ ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. ඕක අත්සන් කළේ ඉස්සෙල්ලාම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. ඒ ගිවිසුමෙන් ඉවත් වෙන්න වුවමනාවක් නැහැ. ඒ ගිවිසුම අපි දිගටම ක්‍රියාත්මක කරනවා. මොකද අමෙරිකාව අපේ මිතුරු රාජ්‍යයක් මිසක් සතුරු රාජ්‍යයක් නොවෙයි. ඒ ගිවිසුමට ඉන්දියාව, පාකිස්තානය හෝ චීනය විරෝධතාවයක් ඉදිරිපත් කරන්නේත් නැහැ. කිසිම අයුරකින් අපේ ස්වාධීනත්වයට හානි සිදුවන්නේ නැහැ.

ඔබ හිටිය විදුලිබල රාජ්‍ය ඇමැති. කවදාවත් නැතිව දැන් යහපාලන ආණ්ඩුව ලයිට් කපනවා. මෙහෙම තත්ත්වයක් එයි කියලා ඔබලාට පෙනුණාද?

විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඇති ගැටලුව අපි තේරුම් අරන් තිබුණා. ඒ සඳහා කෙටිකාලීන වගේම දිගුකාලීන වැඩපිළිවෙළක් සකස් කර තිබුණා. ඒ නිසා 2015, 2016, 2017 සහ 2018 වෙනකම් අපි ලයිට් කැපුවේ නැහැ. 2018 ඔක්තෝබර් මාසයේ අපේ පාලනය අහවර වෙනවා. ඊට පස්සේ 2019 තමයි අපි ලයිට් කපන්නේ. ලයිට් කැපීම විශේෂ ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් මම කතා කරන්නේ නැහැ. විශේෂයෙක් දිගුකාලීන වැඩපිළිවෙළ අවසන් වුණායින් පස්සේ මේ ප්‍රශ්න විසඳාගන්න පුළුවන්.

මොකක්ද මේ අර්බුදයට හේතුව?

මේක මෙගාවොට් 200ක පොඩි ප්‍රශ්නයක් තිබෙන්නේ. නිසි ලෙස කළමනාකරණය කරගන්න පුළුවන්. අපි මේවා දැනගෙන වැඩපිළිවෙළ හොඳට ක්‍රියාත්මක කළා.

ඒ කියන්නේ 2019 අවුලක් තිබෙන්නේ?

ඔව් 2019 වසරේ තමයි අවුල තිබෙන්නේ.

ඇත්තටම විදුලිබල මණ්ඩලය ඇතුළේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවාද?

විදුලිබල මණ්ඩලයේවත් අමාත්‍යංශයේවත් එහෙම මාෆියාවක් නැහැ. හැබැයි එළියේ තිබෙනවා ඩීසල් මාෆියාවක්. ඩීසල් මාෆියාවයි සමහර නිලධාරිනුයි ඉන්නවා මීට සම්බන්ධව. ඔවුන් විශාල ලෙස ධනවත් බලවත්. ඔවුන්ගෙන් බේරිලයි වැඩකටයුතු කරන්න ඕන. එතකොට නිසි ලෙස කරගන්න පුළුවන්.

ඒ කියන්නේ ඔබ කියන්නේ මේ වැඩේ පිටුපස ඉන්නේත් ඩීසල් මාෆියාව කියලාද?

ඔව්. ඩීසල් මාෆියාව තමයි මේක පිටුපස තිබෙන්නේ.

කවදාවත් නැතිව ජනාධිපති අපේක්ෂක තරගයක් ඇවිල්ලා ප්‍රධාන පක්ෂ අතර. ජනතා අඩුපාඩු මඟහැරලා මේ අපේක්ෂකයා හොයන වැඩේ හරිද?

ඒක සාමාන්‍ය දෙයක්... එහෙම අපේක්ෂකයෙක් හැමදාම තෝරනවා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. අනෙක ඒක හොඳ දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. සමහර දේවල් එළිපිට සාකච්ඡා කරනවා. සමහර දේවල් පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා වෙනවා. මිනිස්සුන්ට තෝරගන්න පුළුවන් හොඳම අපේක්ෂකයා කවුද කියලා. ඒකෙන් කිසි කෙනෙකුට පාඩුවක් සිදුවන්නේ නැහැ. හොඳක් මිසක්.

ඔබතුමාලාගේ අපේක්ෂකයා කවුද? හරියටම කියන්න.

අපේක්ෂකයා අනිවාර්යයෙන්ම පොදු අපේක්ෂකයෙක්. ඔහු එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක්. අපේක්ෂකයා කවුද කියලා තාම තෝරගත්තේ නැහැ. අපේක්ෂකයා තෝරාගන්නේ මැතිවරණයට ළං වුණාම. කොහොම වුණත් නියත ලෙස ජයගත හැකි අපේක්ෂකයා තමයි අපේ අපේක්ෂකයා. ඔහු දක්ෂ කළමනාකරුවකු විය යුතුයි. ඒ වගේම ජනතාවගේ හිත් දිනාගන්නා කෙනෙකු විය යුතුයි.

හැමෝම අලුතෙන් කතාවෙනවා වෘත්තීයවේදියෙක් තමයි නායකත්වයට සුදුසු කියලා. ඔබත් හිතන්නේ එහෙමද?

නැහැ. වෘත්තීයවේදියෙක්ම වෙන්න කියලා අත්‍යවශ්‍යතාවයක් නැහැ. හොඳ ප්‍රායෝගිකව වැඩකළ හැකි නායකත්වය දැරිය හැකි නායකයකු තමයි රටට අවශ්‍ය. විශේෂයෙන් ජනතාවගේ ආකර්ෂණය දිනාගත හැකි අයකු විය යුතුයි. ඒ මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදීව තමයි ජනාධිපතිවරයා තෝරන්නේ. විශේෂයෙන් සියලුම වර්ගයේ ජනතාවගේ සිත දිනාගන්න පුළුවන් නායකයෙක් වෙන්න ඕන.

විරුද්ධ පක්ෂයේ කඳවුරෙන් එන්නේ රාජපක්ෂවරයෙක්. ගෝඨාභය රාජපක්ෂ වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඔබලාට තරගකාරීත්වය වැඩියි නේද?

නැහැ. අපිට කිසිම අවාසියක් නැහැ. අපිට එයින් වන්නේ වාසියක්. මොකද රාජපක්ෂලා විතරක් නෙමෙයි රටට ආදරය කරන්නේ. පෙරේරලා, සිල්වලා, පීරිස්ලත් රටට ආදරය කරනවා. විශේෂයෙන් ඔය රාජපක්ෂලා පසුගිය අවුරුදු කිහිපය තුළ හැසිරිච්ච විදිය ජනතාව හොඳින් දන්නවා. විශේෂයෙන් රාජපක්ෂ පවුල ජනතා විරෝධියි. දේශද්‍රෝහියි. හරිම ඒකාධිපතියි. ඔවුන් රජ පවුලක් හැටියට ජීවත් වෙන්නේ. ඒත් අපේ රජය එහෙම රජයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන රජයක්. විශේෂයෙන් රාජපක්ෂලා එන්නේ ධනයි ඍණයි දෙකම අරගෙන. හැබැයි අපිට පුළුවන් හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කරන්න.

අනෙක් පැත්තෙන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා. එහෙම වුණොත් 51 ගන්න එක අපේක්ෂකයකුට අමාරු වෙනවා නේද?

එහෙම වෙන්නේ නැහැ. අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නකොට 51 ගන්න ඕන වුණාට ඊට වඩා වැඩි දෙනෙක් ඉදිරිපත් වන විට වැඩිම ඡන්ද ගන්න කෙනාට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක කවුරුත් දන්නෙ නැති දෙයක්. ඉතින් මෛත්‍රීපාල සිරිසේන කියන්නේම සම්පූර්ණයෙන්ම විනාශ වෙච්ච කෙනෙක්. ඔහුට අනුගාමිකයෝවත් සහාය දක්වන අයවත් නැහැ. බහුතරයක් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. අනෙක ඔහු අපේක්ෂා කරන විදිහට පොහොට්ටුවෙන් සහය ලැබෙන්නෙත් නැහැ. විශේෂයෙන් අපි සතුටු වෙනවා ගෝඨාභය රාජපක්ෂ එන එක ගැන. ඔහු පරාද කරන්න ලෙහෙසියි. හැබැයි එක දෙයක් කියන්න ඕන තවම විශ්වාසයක් නැහැ ඔවුන්ගේ පවුලේ අපේක්ෂකයා කවුද කියලා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ වනවිට තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්න කටයුතු කරලා තියෙන්නේ?

කවුද කියන්නේ. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තවමත් ශ්‍රී ලංකා ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලබාදීලා නැහැ. මේ කතාකරන මොහොතෙත් දීලා නැහැ. වගකීමෙන් කියන්නේ. ඔහු අයදුම්පත්‍රය බාරදුන්නා නම් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයත් බාර දෙන්න ඕන. ඔහුගේ සත්‍ය තත්ත්වය මේ රටට ආපු ගමන්ම කිව්වා. අන්ධානුකරණයෙන් ඉන්න අය තමයි ඔය කතා පතුරුවන්නේ.

හදිසියේ ආවොත් වැඩේ ටිකක් අමාරුයි නේද?

එහෙම එකක් නැහැ. ඔහු දන්න අපේක්ෂකයෙක්. අපි නොදන්න අපේක්ෂකයෙක් ආවොත් තමයි අපිට අමාරු.

ඔබලාගේ කවුරු හරි ජ්‍යෙෂ්ඨයෙක් ගිහිල්ලා අගමැතිවරයා හමුවෙලා ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා කරන්න යෝජනාවක් ඉදිරිපත් කළාද?

නැහැ. කිසිසේත්ම එහෙම යෝජනාවක් කරලා නැහැ. එහෙම යෝජනාවක් ඉදිරිපත් කළ කෙනෙකුට අපේ පක්ෂය ඇතුළේ මුහුණ දෙන්න පුළුවන්කමක් ඇතැයි කියා මම සිතන්නේ නැහැ. ඒක යම් යම් පුද්ගලයන් අපහසුතාවයට පත් කරන්න ජනාධිපතිවරයාගේ පැත්තෙන්ම හදපු කතාවක්.

එජාපය ඇතුළේත් නායකත්වය සම්බන්ධයෙන් දැන් අවුලක් ඇතිවෙලා තිබෙනවාද?

නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂයේ සියලු දෙනා විසින්ම පිළිඅරගෙන තිබෙන්නේ.

අපි දැක්කා ඊයේ පෙරේදා ඉඳලා සජිත් ප්‍රේමදාසත්, රවි කරුණානායකත් දැඩි වාග් සංග්‍රාමයක නිරත වෙනවා. මේ අනාගතයේ නායකත්වය සම්බන්ධ අවුලක්ද?

කොහොමත් එහෙම වාග් සංග්‍රාමයක් නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. සුදුසු නැහැ. මම හිතන්නේ රවි කරුණානායක මහත්තයාත් මේ රටේ නායකයා වෙන්න උත්සාහ ගන්නවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාත් මේ රටේ නායකයා වෙන්න උත්සාහ ගන්නවා. මේ උණුසුම් තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. අපි ඒ දෙදෙනාටම සුබපාර්ථනා කරනවා ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියලා.

අවසාන වශයෙන් ඔබගෙන් අහන්න තියෙන්නේ මත්කුඩු සම්බන්ධයෙන් මරණීය දණ්ඩය ගේන්න ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ඔබ නීතිඥයෙකු හැටියට එයට එකඟද?

මරණීය දණ්ඩනයෙන් අපරාධ අඩුවුණු රටක් ලෝකේ කොහේවත් නැහැ. අමෙරිකාවෙත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙන ප්‍රාන්ත මෙන්ම නොවෙන ප්‍රාන්තත් තිබෙනවා. විශේෂයෙන් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙන ප්‍රාන්තවල අපරාධ වේගය ඉහළයි. මරණීය දණ්ඩය සම්බන්ධව ලෝකයේ දාර්ශන විවාදයක් තිබෙනවා. 76න් පස්සේ තමයි මෛත්‍රීපාල සිරසේන මහත්තයා මේක ක්‍රියාත්මක කරන්න හදන්නේ. මෛත්‍රීපාල මහත්තයා මං හිතන්නේ ක්‍රියාත්මක කරන්න බලන් ඉන්නේ. එතුමා මං දන්න හැටියට ක්‍රියාත්මක කරනවා. ඒක සාර්ථකත්වය අසාර්ථකත්වභාවය මේ රටේ ජනතාව තීන්දු කරයි. හැබැයි ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයක් අපේක්ෂාවෙන් කරනවා නම් එය පටු අරමුණක්. එහෙම වුණොත් මීට වඩා හිතලා කරන්න ඕන වැඩක්. මම කියන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න කලින් මේ රටේ ජනතාවගෙන් ජනමත විචාරණයක් තියලා කැමැත්ත අහන්න ඕන.

►ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00