2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා කාරයන්ට ඕන පක්ෂ දෙක එකතු කරන්න

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 79

► ජවිපෙ ඇඟේ ගාගෙන හලාගෙන අනාගන්න පක්ෂයක්

► යූ.එන්.පී.යේ වැඩ නිසා ව්‍යාපාරික ජාලයම ඉවරයි

► මේ රටේ මිනිස්සු කාපට් පාරවල් දැක්කේ මහින්ද රාජපක්ෂ අාණ්ඩුව නිසා

► මංගල සේරම කරන්නේ එජා සංවිධානෙ තනතුරක් බලාගෙන

► ගෝඨා කෙළින් වැඩකරන ශක්තිමත් නායකයෙක්

► මහින්ද මහත්තයාගේ කාලේ පී.බී. ජයසුන්දර මේ රටේ ආර්ථිකය ඉහළටම නැග්ගුවා

- එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙනකොට නියෝජනය කරන්නේ ආණ්ඩු පක්ෂයද විපක්ෂයද?

අපි විපක්ෂය නියෝජනය කරන්නේ.

එහෙම කටින් කිව්වට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්න සමහර තීන්දු ආණ්ඩුවට බරයි වගේ නේද?

ඔය අහන්නේ අයවැය සම්බන්ධව කියන කාරණයනේ. ඩී.බී. විජේතුංග මහත්තයාගේ කාලේ චන්ද්‍රිකා මැතිනිය විපක්ෂයේ ඉඳලා කරපු කාර්යභාරයට වඩා වෙනස් තත්ත්වයක් තමයි දැන් තිබෙන්නේ. තර්කයක් අනුව ගත්තහම මේ ආණ්ඩුව හදන්න බලය දුන්නේ ජනාධිපතිතුමා. මේ නිසාම ජනාධිපතිතුමා අමාත්‍යංශ තුනක් එතුමාගේ බාරයේ තියාගත්තා. එනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. ඒ අපි මේකට විරුද්ධ වෙනවද? පක්ෂ වෙනවද? එහෙම නැත්නම් මඟහරිනවාද? කියලා.

ඇත්තටම ඔය කියන තාක්ෂණික ප්‍රශ්නය මොකක්ද?

ජනාධිපතිතුමා ළඟ අමාත්‍යංශ තුනක් තියෙනවා. ඔය අමාත්‍යංශ තුනට වැයශීර්ෂ ඉදිරිපත් වෙන්නේ අයවැය හරහා. ඒ අමාත්‍යංශ තුනට මුදල් වෙන්කිරීම යම් ආකාරයක බාධාවක් වෙනවා මේ විරුද්ධව ඡන්දය දීම හරහා. ඒ නිසයි මේ අවුල් සහගත තත්ත්වය ඇතිවුණේ.

ඡන්දය සම්බන්ධයෙන් කට්ටිය කතා වුණේ ඡන්දය නොදීම ඉන්නද?

ඔව්. ඡන්දය නොදී ඉන්න කට්ටියක් එකතු වුණා. ඒත් අපි වගේ අය කෙළින්ම ගිහිල්ලා ඡන්දය විරුද්ධව පාවිච්චි කළා. ඒකට හේතුව වුණේ ජනාධිපතිතුමා විරුද්ධවත් ඡන්දය ප්‍රකාශ කරන්න අපිට ඉඩ දුන්නා.

ඔව් ඉතින්. බලය ගත්තත් බලය අල්ලලා තියාගන්න දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැහැ කියලා ඔප්පුවෙලා ඉවරයි නේද?

ඔබ ඔය කියන්නේ පහුගිය බල හුවමාරුව ගැන වෙන්න ඇති. ඒක වැරදුණේ පිරිසක් මහ මැතිවරණයක් අපේක්ෂා කළ නිසා. බලන්න විරුද්ධ පක්ෂයේ හිටිය මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරලා ඔහුට බලය දුන්නාම එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු පිරිස සද්ද නොකර පැත්තකට වුණා. අපට ඒ වෙලාවේ තිබුණා අපි ආණ්ඩුවක් කරනවා කියලා කට්ටිය එකතු කරගෙන ආණ්ඩුවක් කරන්න. ඒත් මේ කට්ටියක් කිව්වා 113ක් නැති නිසා ආණ්ඩුව විසුරුවලා ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගමු කියලා. ඒ නිසා ඒ අය විසිරෙව්වා. මම කට කැඩෙනකම් කිව්වා එපා කියලා. අන්තිමට එක්සත් ජාතික පක්ෂය උසාවි ගියේ මේ නීති විරෝධී පාර්ලිමේන්තු විසුරුවීම සම්බන්ධයෙන්. මමත් නීතිඥවරුත් දිගින් දිගටම කිව්වා මේක හරියන්නේ නෑ කියලා. ඒත් අර සරත් එන්. සිල්වාගේ වැරදි උපදෙස් අරගෙන අන්තිමට ආණ්ඩුව දෝතින්ම දීලා යන්න වුණා.

හැබැයි ඒකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, පොදුජන පක්ෂයයි ඇදගෙන වැටුණා නේද?

අපි දෙගොල්ලන්ගෙත් පස්ස බිම වැදිලා ලෙලි ගියා. අපේ විතරක් නෙමෙයි මුළු වමේ ව්‍යාපාරයම පස්ස බිම වැදුණා. රිදෙන්නම වැදුණා. දැන් පස්ස අත ගගා නැගිටිනවා. අර සියලු වැරදි හදාගෙන.

හැබැයි මේ ශ්‍රීලනිපය සහ පොදුජන පක්ෂයේ බෙදුණු තීන්දු නිසා එක්සත් ජාතික පක්ෂය නම් ශක්තිමත් වෙලා තියෙන්නේ?

ඔය ඉතිහාසයේ ඉඳන්ම වෙන දේවල්. ඔහොම දේවල් අනන්තවත් වෙලා තිබෙනවා. හැමදාම ශ්‍රීලනිපයේ හිටියා කට්ටියක් ශ්‍රීලනිපයේ ඉඳලා ආණ්ඩුවට යන්නත් නැත්නම් ශ්‍රීලනිපයේ ඉඳලා ආණ්ඩුවට උදව් කරන්නත්. ඉතින් එහෙම වෙනකොට ආණ්ඩුව ශක්තිමත් වගේ පේනවා.

දැනුත් ඉන්නවාද ඇතුළේ ඉඳලා ආණ්ඩුවට උදව් කරන අය?

අපොයි ඉන්නවා. ඒ අය ඇතුළේ ඉඳන් උදව් කරනවා එජාපයට. ආණ්ඩුවෙත් ඉන්නවා ආණ්ඩුවට විරුද්ධ අය. ඔය දේවල් ඉතිහාසයේ ඉඳන් වෙන ඒවා. හැබැයි සමස්ත වම ගත්තහම හීන මවන්නේ අපේ එකමුතුව ගැන.

ඔබට හිතෙන්නේ නැද්ද මෙවැනි ප්‍රශ්නයක් උද්ගත වෙන්න හේතු හැටියට එක්කෝ රජපක්ෂවරුන්ට විරුද්ධ වීම. නැත්නම් මෛත්‍රීපාල මහත්තයාට තාම වම එකතු කරගත නොහැකිවීම කියලා.

ඇත්තටම මේක මෛත්‍රීපාල මහත්තයාගේවත් මහින්ද මහත්තයාගේවත් නෙමෙයි ප්‍රශ්නය. ඒ දෙන්න ඒ ගැන අවශ්‍යතාවය තිබෙනවා. උවමනාව තිබෙනවා. මේ වෙනත් කණ්ඩායමක් නිසා තමයි මේ ප්‍රශ්නය ඇතිවෙලා තිබෙන්නේ. ඒ අය ශ්‍රීලනිපයේ විතරක් නෙමෙයි පොදුජන පක්ෂයෙත් ඉන්නවා.

අපිට ආරංචි තිබෙන්නේ ශ්‍රීලනිපයත් එක්ක එකතුවෙන්න රාජපක්ෂවරුන්ගේ අකමැත්තක් තිබෙනවා කියලා?

නෑ. බැසිල්, ගෝඨා, නාමල්, චමල් ඇතුළු රාජපක්ෂවරු කිසිම විරුද්ධත්වයක් නැහැ. ඔවුන් කැමැතියි. ඒ විතරක් නෙමෙයි. මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් ලොකු වුවමනාවක් තිබෙනවා එකතුවෙන්න. කොටින්ම කිව්වොත් දෙගොල්ල අතර එකඟත්වයකුත් තිබෙනවා.

හැබැයි මේ සියල්ල යටපත් කරමින් සිදුවන කතාව තමයි කඳවුරු දෙකෙන්ම අපේක්ෂකයෝ දෙන්නෙක් ඉදිරිපත් කරනවා කියන කාරණය. ඇත්තටම බැලුවාම දෙගොල්ලො අතර තවම එකමුතුවක් නෑ නේද?

ඇත්තටම ඔය අනවශ්‍ය දෙයක් දෙගොල්ලොම කතා කරන්නේ. මතක තියාගන්න චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිවරණයට එනතෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම තනතුරක් තිබුණේ නැහැ. හැබැයි ඇය මාස අටක් ඇතුළත මහ ඇමැති වුණා. අගමැති වුණා. අවසානයේ ජනාධිපති වුණා. ඒ නිසා කලබල වෙන්න නරකයි.

හැබැයි දෙපැත්තෙන්ම එනවා එක එක නම්?

සමහර අය පැහැදිලි ලෙසම කියන්නෙ නම් මේ කරන්න හදන්නේ එකමුතුකම කඩන්නයි. අපේ අය මෛත්‍රී කියද්දි ඒ අය කියන්නේ පොහොට්ටුවේ කෙනෙක් තමයි ජනාධිපති අපේක්ෂකයා කියලා. ඒක දෙයක් කියන්නම් ඔය හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නේ සන්ධානෙ හදනකම් ඔය අපේක්ෂක කතා නොකියමු. මොකක්ද ලකුණ කියලා අහන්නේ නැතිව ඉමු. මොකද අපේක්ෂකයා කියන්නේ දවසින් දෙකෙන් තෝරගන්න පුළුවන් දෙයක්.

මේ අතර ශ්‍රීලනිපයේ කට්ටියක් ජනාධිපතිවරයාව ජාතික ආණ්ඩු සංකල්පයකට ඇදගෙන යන්න හදනවා. කවුද මේ අය?

මම පැහැදිලිවම කියන්නම්. ජනාධිපතිතුමා එහෙම දේකට තියා එහෙම සාකච්ඡාවකටවත් යන්නේ නැහැ. එතුමාට කිසිම වුවමනාවක් නැහැ යූ.එන්.පී.යත් එක්ක ජාතික ආණ්ඩුවකට යන්න. හැබැයි සමහර අය හොරෙන් හොරෙන් කතා කරනවා යූ.එන්.පී.යත් එක්ක. ඒ අය ඉන්නේ තාම එක්සත් ජාතික පක්ෂයේ.

ඒ කියන්නේ ඔබ කියන්නේ ශ්‍රීලනිපයේ කට්ටියක් ඉන්නවද එජාපයට උදව් කරන අය?

උදව් නෙමෙයි ඒ අය මේ වෙනකොට ඒ අයගේ ආසනත් සාකච්ඡා කරලා තිබෙනවා. ඔය තක්කඩි රෑන අඳුරගන්න තමයි මම එදා කිව්වේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දෙමු කියලා. මට තනි මිනිහෙක් විදිහට නම් ඒ දෙය කරන්න තිබුණා. ඒත් පක්ෂයේ තීන්දුවක් නිසා ඒක මට කරන්න බැරැව ගියා. එහෙම හැමෝම දුන්නා නම් අඳුර ගන්න තිබුණා ඇත්තටම කවුද මේ අය කියලා.

ශ්‍රීලනිපයේ මේ ඩබල් ගේම් නිසා පොහොට්ටුවේ අයට ශ්‍රීලනිපය ගැන විශ්වාසයක් නැහැ නේද?

මෙහෙමයි. ගමේ පොදුජන පක්ෂය කියලා දෙයක් නැහැ. මොකද ගමේ තවමත් ඉන්නේ පරණ ශ්‍රී ලංකාකාරයෝ. මේ පරණ ශ්‍රී ලංකාකාරයෝ ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂට. මේ අමුම අමු ශ්‍රී ලංකාකාරයන්ට ඕන මේ දෙක එකතු කරන්න. මතක තියාගන්න මේ පාර එකතු නොවුණොත් මේක සෝදාපාලුවට ගිහිල්ලා එක ශ්‍රී ලංකාකාරයෙක් ආයේ ඡන්දේ දෙන්නේ නැහැ.

ඇත්තද පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂ මේ අලුත් සන්ධානය හදනවාට විරුද්ධයි කියන්නේ?

නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයා ඇත්තටම කැමතියි මේක හදනවාට. ඔහු විතරක් නෙමෙයි සියලු රාජපක්ෂවරු කැමතියි අලුත් සන්ධානය හැදෙනවට.

මේ සියලු දෙනාම කියන කාරණයක් තමයි ඊළඟ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ තමයි කියලා. ඔබත් කැමතිද ඔහුට?

මෙහෙමයි ගෝඨා කෙරෙහි රටේ ජනතා විශ්වාසයක් තිබෙනවා. ඔහු කෙළින් වැඩකරන ශක්තිමත් නායකයෙක්. ඒ වගේම එතුමාට අවාසිදායක කාරණාත් තිබෙනවා. විශේෂයෙන් සුළු ජාතිකයන් සම්බන්ධයෙන්. හැබැයි නොහිතපු විදිහට පහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සුළු ජාතිකයෝ එකතු වුණා. ඒ වගේම දෙගොල්ලෝ එකතුවීම නිසා මෛත්‍රීපාල මහත්තයා එක්ක තිබුණු තරහත් නැතිව ගියා. එනිසා මෛත්‍රීද ගෝඨාද කියන එක වැදගත් නැහැ. අපට ඒක පස්සේ තීන්දු කරන්න පුළුවන්. ඒක නායකයෝ දෙන්නා වෙලාවට තීන්දු කරයි.

ඔය කොච්චර කිව්වත් නායකයෝ අතර තිබෙන සාකච්ඡා සාර්ථකත්වයක් පේන්න නැහැ නේද?

පහළින් පෙනෙන දේවල් එච්චර සාර්ථක නැහැ වෙන්න පුළුවන්. හැබැයි ඉහළින්ම තිබෙන සාකච්ඡා ඉතාම සාර්ථකයි. ඒ සාකච්ඡා අතර මාත් ඉන්නවා.

ශ්‍රීලනිපයේ මහලේකම් කියනවා ඔය කිසිම පක්ෂයකට ශ්‍රීලනිපයේ සහාය නැතිව දිනන්න බැහැ කියලා. ලක්ෂ 14ක ඡන්දයක් පෙන්නලා එහෙම කියන එක සාධාරණද?

ඒකේ යම්කිසි තර්කයකුත් තිබෙනවා. තර්කයක් නැති කාරණයකුත් තිබෙනවා. මම කියන්නේ ඒ තර්කය කොයි පැත්තට වාසි අවාසි වුණත් අනවශ්‍ය තර්කයක් මේ ගේන්නේ. මේ අපි හදන්න යන සමගියට ඒක බාධාවක්. ඒ හදන්නේ සුළුපටු සංවිධානයක් නෙමෙයි. ඇත්තටම මේ හදන්න හදන්නේ දේශප්‍රේමී වමේ පෙරමුණක්. මතක තියාගන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී අපේ යෝජනාව අයින් වෙලා යනවා අමෙරිකාවේ ප්‍රකාශයත් එක්ක. හැබැයි නැවත යෝජනාවක් මංගල සමරවීර ගේනවා. ඒකට හේතු කාරණා දෙකක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා බටහිර ගැති පුද්ගලයෙක්. ඒ වගේම මංගලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරත් අපේක්ෂා කරනවා. ඒක බරපතළම පාවාදීමක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කතා කරන්නේ ලක්ෂ 14 ක ඡන්ද තියාගෙන. ඒ ලක්ෂ 14ම රාජපක්ෂවරුන්ට විරුද්ධව හම්බවුණ ඡන්ද. එකතුවුණා කියලා ඒ ඡන්ද හම්බවෙයිද?

මෙහෙමයි. ඔය කියන 14ත් අපට නැහැ. අර අයට හම්බවෙච්ච ලක්ෂ 44ත් නැහැ. ඇත්තම කතාව අතට ගත්ත ආණ්ඩුව ළඟ තියාගන්න බැරිවෙච්ච එවුන්නෙ අපි. ඔය ලක්ෂ 14 දැන් 8 කට බැහැලා ඇති. ලක්ෂ 44 දැන් 34ට බැහැලා ඇති. ඒ නිසා එහෙම ගණන් හදලා ඉන්න ඕනෙ. එහෙම හිතන එක ඇඟට ගුණයි.

ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය දැන් ප්‍රබලයි ඔබලාට වැඩිය?

නෑ නෑ ඒ අයත් කඩාවැටිලා තියෙන්නේ. එයාලා නිසා ව්‍යාපාරික ජාලයම කඩාවැටිලා. ආර්ථිකය විනාශ වෙලා. ඒ නිසා ඒ ගොල්ලන්ට ආයේ නැගිටීමක් නැහැ.

හැබැයි එජාපය නම් කියන්නේ රාජපක්ෂවරුන්ගේ සීමාවක් නැති ණය නිසා තමයි රටට මෙහෙම වුණේ කියලා?

මතක තියාගන්න. චන්ද්‍රිකා මැතිනියගේ කාලේ කිසිම ලෝක ප්‍රශ්නයක් නැතිව රටේ ආර්ථිකය ඍණ අගයකට ගියා. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ පී.බී. ජයසුන්දර යුද්ධයක් තියාගෙනත් ඒකපුද්ගල ආදායම ඩොලර් 4000ට වෙනකම් ඉහළට ගෙන ආවා. ඒක විශාල ජයග්‍රහණයක්. ඒ වගේම පේන්න සංවර්ධනය කළා. ඒවාට සාක්ෂි තිබෙනවා. මම අහන්නේ මේ අය ගත්ත ණයත් එක්ක කෝ කරපුවා? පේන්න කිසිම දෙයක් නැහැ. බිලියන 45,000ක් ණයයි. මතක තියාගන්න මේ රටේ මිනිස්සු කාපට් පාරවල් දැක්කේ මහින්ද රාජපක්ෂ මහත්තයා නිසා. මේ ආණ්ඩුව කිසිම කළමනාකරණයක් නැහැ. ඒකයි මේ වගේ මෙහෙම වුණේ.

ඔබ කියන කළමනාකරණයේ අවුල නේද රාජපක්ෂවරුන්ටත් තිබුණේ? ආණ්ඩුව, පවුල, කළමනාකරණය කරගන්න බැරිවුණා නේද රාජපක්ෂවරුන්ට?

කළමනාකරණ ගැටලුවක් නෙමෙයි. හැබැයි යම් යම් ප්‍රශ්න තිබුණා. හැබැයි ඒ සියලු ප්‍රශ්න මැද්දේ ආර්ථිකය නගා සිටුවූවා. ඒ නිසා තමයි ජනතාව නැවතත් විශ්වාස කරලා පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ට ඡන්දය දුන්නේ. අපේක්ෂකයා ගැන හිතන්නේ නැතිව රාජපක්ෂවරුන්ට ඡන්දය දුන්නා.

හැබැයි මේ කළමනාකාරීත්වයෙන් යුක්ත පාලනයක් ඇති කරන්න හැකියාව තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට කියලා ඔවුන් කියන්නේ. ඔවුන් දැන් වෙනම බලවේගයකින් එන්න හදනවා?

කොහෙද අනේ ඒ ගොල්ලෝ රට කරන්නේ. ඒ ගොල්ලෝ කළොත් ඇඟේ ගා ගෙන ඇඟේ හලාගෙන අනා ගන්නවා. ඒ නිසා ඔය කියන තරම් ජනතා විමුක්ති පෙරමුණට වැඩ කරන්න බැහැ. අනෙත් එක ඒ ගොල්ලෝ කියන සමාජවාදී ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයක දැන් ලෝකේ රටවල් නැහැ.

හැබැයි ඔවුන් කියන්නේ විධායකය අහෝසි කරලා රට ක්‍රමවේදයකට හදන්න පුළුවන් කියලා?

මොන විකාර කතාද ඔය කියන්නේ. සමාජවාදය කියන්නෙම ඒකාධිපතිත්වය. ඉතින් ඒකාධිපතිත්වය නම් විධායකය අහෝසි කරලා හරියනවාද? එතැන සමාජවාදයක් තියෙනවාද? මොන විකාර කතාවක්ද? කියන දෙයින්ම තේරෙනවා ඒ ගොල්ලෝ මේ කියන දේ පැහැදිලි නැහැ කියලා.

අවසාන වශයෙන් අහන්න තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත අභියෝගය මොකක්ද?

මගේ අදහස වෙන්නේ සියලුදෙනා බොහොම ඉවසිලිවන්ත වෙලා එකමුතුවෙන් ඉස්සෙල්ලාම සන්ධානය ගොඩනගන්න ඕන. ඊටපස්සේ අනෙකුත් වැඩ ගැන කතා කරන්න ඕන. හදිසියෙන් මේ කිසිවක් කරන්න බැහැ.

►ගයාන් ගාල්ලගේ