2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ජනාධිපතිවරණයට ජවිපෙත් එනවා

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

► හයෙන් පහේ තුනෙන් දෙකේ ආණ්ඩු මොනවද රටට කළේ?

► අපට තිබෙන්නේ විධායකය අහෝසි කරන සටනක්

► වෘත්තිකයෝ කලාකරුවෝ එක්ක අපි බලවේගයක් හදනවා

► අපි කන්නෙ බොන්නෙ නැති සතුටක් නොවිඳින පක්ෂයක් නොවේ

► රාජපක්ෂලායි යූ.එන්.පීයයි වැඩේ බැලන්ස් කරගන්නවා

► කැඳ කඩේ පහුකරන් තැබෑරුමට යන ජනතාවක් ඉන්න රටක් මේක

► යූ.එන්.පී. කොන්ත්‍රාත් කතා ජේ. ආර්. ගේ කාලෙත් තිබ්බා.

- ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති

ඉතිහාසයේ කවදාවත් නැතිව පක්ෂ විපක්ෂ දෙගොල්ලම ජනාධිපති අපේක්ෂකයෙක් සම්බන්ධව තරගයක් ඇතිවෙලා. ඔබ හිතන්නේ මොකක්ද ඒකට හේතුව?

මට කියන්නකො ජනතා විමුක්ති පෙරමුණේ අයත් ඒ අතර ඉන්නවද කියලා. ඉස්සෙල්ලා ඒක කියලා ඉන්න.

නෑ මම කියන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂය සහ නිල විපක්ෂය විශාල සටනක ඉන්නේ...

අපිත් ඉතින් නිල විපක්ෂයේනේ. අපි ඔය කියන සටනේ නැහැ. අපිට එහෙම උවමනාවක් නෑ.

එතකොට ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ මොන වගේ සටනක්ද?

අපිට තියෙන්නේ විධායකය අහෝසි කිරීමේ සටනක්. අපි හැරෙන්න අනිත් හැමෝටම තියෙන්නේ නැවත ධූරයට ඒමේ සටනක්. අපි හදන්නේ මේක අහෝසි කරලා ජනතාවට වග කියන ධූරයක් සකසන එක.

ඔබ සිතන්නේ මොකක්ද මේකට හේතුව?

මේකට හේතුව තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ ජනතා අභිමථාර්ත ඉටුකිරීමට වඩා ඔවුන් බලය වඩා ගැනීමේ අරමුණ. ඇත්තටම දැන් මේ රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය ජනාධිපති අපේක්ෂකයාද? නෑ. මේ රටේ ඊට වඩා ලොකු ප්‍රශ්න තිබෙනවා. නමුත් ඒ සියල්ල අමතක කරලා දාලා ආණ්ඩු පක්ෂයේ අයයි රාජපක්ෂ කඳවුරයි මේ ජනාධිපති අපේක්ෂකයා තෝරනවා. ජනතාව මීට වැඩිය මේ ගැන අවධානයෙන් ඉන්න ඕන. මේ ජනතාවට සේවය කරන්න තිබෙන ධනයයි කාලයයි තමා ඔය විනාශ කරන්නේ. ඇත්තටම දැන් තිබෙන්නේ ජනාධිපතිවරණයක් තියෙනවද නැද්ද කියන කාරණයට වඩා මේ රටේ පාලන ව්‍යුහයේ සිස්ටම් එකක් හැදෙන්න ඕන. ඒක මේ පුද්ගලයෙක් අරමුණු කරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

සිස්ටම් එකක් හදන්නත් මොන දේ කරන්නත් මේ පාර්ලිමේන්තුවේ කට්ටිය එකමුතු නැහැනේ. එක තැනකට එන්නේ නැහැනේ ඇයි ඒ?

ආ.... දැන් තේරෙනවද උත්තරේ. ඒක තමා අපි කියන්නේ. කිසි කෙනෙක් ඒකට සූදානම් නැහැ.

ඔබට හිතෙන්නේ නැද්ද සිස්ටම් එකක් හදාගන්නත් හරි නිවැරැදි තීන්දු ගන්න පුද්ගලයෙක් මේ රටට අවශ්‍යයි කියලා?

කවුද මහත්තයෝ එහෙම කියන්නේ.... එහෙම කියලා කී දෙනෙක් ආවාද? ඒ අය කළාද? හැමපාරම විධායකය අහෝසි කරනවා බලය බෙදනවා අලුත් ව්‍යවස්ථා හදනවා කියලා කියනවා. කරපු කෙනෙක් ඉන්නවාද? නෑ. ඒ අය එනකොට කියන දේවල් නෙමෙයි කාලයක් යනකොට වෙන්නේ. අන්තිමට නැවත බලය ලබාගන්න කටයුතු කරනවා. මට තාමත් දෝංකාර දෙනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විධායකය අහෝසි කරනවා කිව්ව කතාව. ඉතින් දැන් එයා මොකද කරන්නේ. දෙවැනි වරට බලයට එන්න හදනවා.

විධායක ජනාධිපති ක්‍රමය රටට උචිතයි කියලා බොහෝ දෙනෙක් කියනවා. ඇයි ඔබලා විතරක් විරුද්ධ?

දැන් බලන්න.. ජන වරමින් එන ආණ්ඩුවක් පාලනය කරන්නේ වෙනත් ජන වරමකින් එන නායකයෙක්. ඒ කියන්නේ කැබිනට්ටුවේ නායකයා ජනාධිපති. දැන් මේක විකෘතියක් නෙවෙයිද? දැන් මට කියන්න ඔය උචිතයි කියන කට්ටියට අනුව ඔය විධායකය පටන්ගත්ත දවසේ ඉඳන් මෙතුවක් කල් රටට වෙච්ච හොඳ දෙයක් නෑනේ.

ඔබලා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ගේන්න හදන්නේ විධායකය අහෝසි කරන්න. දැන් පක්ෂත් එක්ක යන සාකච්ඡා කොහොමද?

මේ වෙනකොට හැමෝම එක්ක සාකච්ඡා සාර්ථකයි. හැබැයි වැඩේ වෙන්නේ නෑ. මහින්ද මහත්තයාගේ පැත්ත එයාලා කැමතියි ඒ වැඩේ කරන්න. හැබැයි එයාලට ඕන ඉස්සෙල්ලා එයාලගේ නායකයෙක් පත්කරගන්න. ඊටපස්සේ ඒක අහෝසි කරමු කියලා තමයි එයාලා කියන යෝජනාව. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කැමැත්ත තිබ්බා අහෝසි කරන්න. ඒත් ගෝඨාභය ඉල්ලනවනම් එයා දිනන්න පුළුවන් කියලා හිතාගෙන ඉල්ලන්න හදනවා. ඒකෙන්ම පේනවනේ මේගොල්ලන්ගේ අරමුණු මොකද්ද කියලා. සාකච්ඡා තියලා වැඩේ වෙන්නෙ නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තදින් මේකට විරුද්ධයි.

ඔව්. ජනාධිපතිවරයා බලයට එන්න කලින් පොරොන්දු දුන්නනේ ඒක අහෝසි කරනවා කියලා. ඔහු සභාපතීත්වය දරණ පක්ෂය මේක.

ජනාධිපතිවරයානම් කියන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන එන්න කියලා ඔහුගේ විරුද්ධත්වයක් නැහැ කියලා.

අපි පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන එන්නම්. එතුමට කියන්නකෝ ඉස්සෙල්ලා එතුමගේ පක්ෂය විරුද්ධ වෙන එක නතර කරගන්න කියලා. එතුමට අවනත නෑනේ එතුමගේ පක්ෂය. කොහොම වුණත් මේක ඉතිහාසෙ ඉඳන්ම ජනාධිපතිවරු කඩ කළ පොරොන්දුවක්. චන්ද්‍රිකා මැතිණිය, මහින්ද රාජපක්ෂ මහත්තයා ඉඳලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වෙනකල්ම ඔය පොරොන්දුව දුන්නා. ඒත් වුණේ නෑනේ.

ඇයි මේ කවදාවත් නැතුව මේ ජනාධිපති අපේක්ෂක ගැන කතාවක් කරළියට එන්නේ?

පැහැදිලිවම මෙතන තියෙන්නේ තමන්ගේ ප්‍රශ්න විසඳගන්න අරමුණක්. පවුල් ප්‍රශ්න, වරප්‍රසාද ප්‍රශ්න, ඥාති වර්ගයාගේ ප්‍රශ්න, හොරකම් කිරීමේ අභිප්‍රාය වගේ අරමුණු තමයි තියෙන්නේ.

මේ සියලු දෙනාම කියන දෙයක් තමයි රට දියුණුවට යන්න පුළුවන් සිස්ටම් එකක් තියෙන්නේ අපිට බලය දුන්නොත් කියලා.

කොහෙද අප්පා එහෙම කළේ. අවුරුදු 70ක් ප්‍රධාන පක්ෂයක් රට පාලනය කළා. මොකද්ද රට ලබාගත්තේ? මගේ තාත්තා කිව්වෙත් මේ රට දියුණු වෙමින් පවතින රටක් කියලා. මම කියන්නෙත් ඒක. මගේ දරුවා කියන්නෙත් ඒක. දැන් කොහෙද දියුණුවක්? ඔය පක්ෂෙ කට්ටිය හයෙන් පහක බලයෙන් ආණ්ඩුව හැදුවා. තුනෙන් දෙකක බලයෙන් ආණ්ඩුව හැදුවා. මොකද්ද කළ සෙතේ? ඔය පාර්ලිමේන්තු බහුතරයත් ඔය හැම ආණ්ඩුවේම හිටිය අය. සමහර අයගේ දේශපාලන ඉතිහාසය අවුරුදු 40, 50. මොනවද මේ රටට කළේ? එහෙම කරපු අය ආයෙ බලය ඉල්ලලා කරයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද?

විශේෂයෙන් ඔබලා ගේන විසිවැනි සංශෝධන සම්බන්ධයෙන් සුළු පක්ෂවල චෝදනාව විශාලයි. මේක රට පෙරළන වැඩක් කියනවා. එජාපයේ කොන්ත්‍රාත්තුවක් කියනවා.

ඔය කියන අය බල්ලාගේ ඇඟේ ඉන්න මැක්කො වගේ. බල්ලගේ ඇඟේ ලේ බීලා තමයි මැක්කා ජීවත් වෙන්නේ. ඔය විධායකය රටට අවශ්‍යයි කියන අයත් අන්න ඒ වගේ. මොකද ඒකේ පැවැත්මක් නෑනේ. දැන් කියනවනේ අපි මේ යූ.එන්.පී කොන්ත්‍රාත්තුවක් කරන්නේ කියලා. දැන් එයාලට ඕනනම් සම්මත කරගන්න පුළුවන්නේ ඒක කොන්ත්‍රාත්තුවක්නම්. නමුත් යූ. එන්. පී එකත් තාම හරි තීරණයක නෑනේ. ඉතින් මේක කොන්ත්‍රාත්තුවක් කියන්නේ කොහොමද?

ඔබලට පුදුම විදිහට එල්ල වෙන චෝදනාවක් තමයි එජාපයත් එක්ක බොහොම ළඟ ඇසුරක් තියෙනවා කියලා. ඇයි ඔබලට ඒක ලේබල් වෙන්නේ?

දැන් මට කියන්නකෝ ඔය චෝදනාවකින් මිදෙන්න අපි මොකද කරන්න ඕන කියලා. ඔය චෝදනාව නවතින්නේ අපේ ප්‍රතිපත්ති ඔක්කොම අත්ඇරලා දාලා වෙනත් පක්ෂයකට හේත්තු වීමෙන්. අපි දැන් කාගෙ හරි පැත්තක හේත්තු වුණොත් ඔන්න දැන්නම් කොන්ත්‍රාත්තුවක් නෑ කියලා කියයි. ඒ නිසා ඕවා ප්‍රශ්න නෙවෙයි. ඉතිහාසයේ ඉඳන් ඔය දේවල් තියෙනවා. විශේෂයෙන් විජේවීර සහෝදරයා 78 ජේ. ආර්ගේ ආණ්ඩුවෙන් නිදහස් වෙනකොටත් කිව්වා ඔය කතා. ඒ නිසා ඕවා අලුත් දේවල් නෙවෙයි. ඒ නිසා ජන මාධ්‍යත් ඔය කතාව කියන එක නවත්තන්න ඕන. හිතන්නකො අපි බලයට ආවොත්, එතකොට අපි කාගෙ කට්ටිය කියලද කියන්නේ?

දැන් ඔබලා පවසන ජනතා හිතවාදී අදහස් ප්‍රතිපත්තිගරුකනම් ඇයි ඒ ප්‍රතිපත්ති ජනතාව වැළඳ නොගන්නේ?

ඒක අහන්න ඕන ජනතාවගෙන්. ඕක නෙවෙයිනේ දැන් බලන්න මේ රටේ කැඳ කඩේ පහු කරන් ගිහිල්ලා තැබෑරුමෙන් අරක්කු බොන මිනිස්සු ඉන්නවනේ. ඔය තැන් දෙකේ ඉන්න මිනිස්සු ප්‍රමාණය බලන්නකෝ. එතකොට තැබෑරුමේ තියෙන දේවල් හොඳ නිසාද මිනිස්සු එතැන ඉන්නේ?

ඉතින් ඒත් ප්‍රධාන පක්ෂ දෙක අතරෙනෙ බලය හුවමාරු වෙන්නේ.

පැහැදිලිවම ඔය පක්ෂ දෙකේ තියෙන්නේ ජනතාව රැවැට්ටීම. ඒක හරි ලේසියි. හැබැයි අපිට තියෙන්නේ ජනතාව වෙනස් කරන්න. ඒක අමාරුයි. හරියට නිකන් කොළ කැඳ කඩේ දේවල් ගුණදායකයි වගේ තමයි. ගුණ දේ අමාරුයි දෙන්න. නිවාස ණය ෆෝම් දෙනවා, ණය ෆෝම් දෙනවා, උස මිටි බලලා රස්සාවල් දෙනවා. ඒ වගේ දේවල්නේ ඒ අය දෙන්නේ. තනිකර රාජ්‍ය දේපළ, රාජ්‍ය බලය අවභාවිත කරනවා. ඒක ලේසියි. ඇත්ත කතාව ඕක නෙවෙයිනේ. මේ රට කොච්චර අගාධයකට වැටිලද තියෙන්නේ? ඒ අය කරපු දේවල් නිසානේ මේ තත්ත්වය ඇති වුණේ. කවුරුත් මේ ආර්ථිකය ගැන කතා කරන්නේ නෑ. උද්ධමනය වැඩි වෙලා. මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්. රටේ තියෙන සම්පත් ටික විකුණන් කනවා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නෑ.

ඉතින් මේ ගැන ආණ්ඩුව ප්‍රශ්න කරනකොට ඒ අය කියන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණ නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ කියලා.

එයාලා එහෙම කියනවා. රාජපක්ෂලා බලයට ආවම යූ.එන්.පී එක රාජ්‍ය දේපළ විකුණුවා කිව්වා. හැබැයි මේ දෙගොල්ලො හොඳට මේ වැඩේ බැලන්ස් කරන් ඉස්සරහට අරන් යනවා. ඒ අයගේ අයව බේරගන්න. ඉතින් මේ දේවල් කටවචනෙට විතරයි.

දැන් මේ දූෂණ වංචා හොයන්න පසුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණ විශාල සටනක් ගත්තා. හැබැයි දැන් ඒ සටන නෑ. මේක දියාරු වෙලා වගේ.

ඒක වැරදි කතාවක්. දැන් අපිට වඩා දූෂණ වංචාවට විරුද්ධව වැඩ කරන කට්ටිය ඉන්නවද? අපි සටන අත්හැරිලා කියන්නකෝ. ඒක දියාරුයි කියලා කියන්නෙ කියලා කියන්නකෝ. අපිට වඩා එතකොට දූෂණ වංචාවලට විරුද්ධය වැඩ කරන අය ඉන්නවද? අපිම තමයි මේ කරළියේ ඉන්නේ.

හැබැයි දැන් විරුද්ධ පක්ෂය නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමත් විශාල සටනක් අරන් යනවා ආණ්ඩුවේ දූෂණවලට විරුද්ධව.

කොහොමද කතා කරන්නේ? මට එක්කෙනෙක් කියන්නකෝ.

ඒ අය යහපාලන ආණ්ඩුවේ දූෂණ වංචා ගැන පොතකුත් ලිව්වා.

නමක් කියන්නකෝ.. ඔය ලිව්ව අයට විරුද්ධව පොතක් ලියන්න ඕන. මම ඒ ගැන කතා කරන්න කැමති නෑ. මහ කකුළුවා කෙළින් යන්න එපැයි පොඩි උන් කෙළින් යන්නත්.

ජනතාවගේ ඡන්දය පහුගිය කාලේ පෙන්නුවේ රාජපක්ෂ කණ්ඩායමට. ඒකෙන් ජනතාව රාජපක්ෂ ආණ්ඩුවක් ඉල්ලනවා නෙවෙයිද?

ජනතාව රාජපක්ෂ ආණ්ඩුවක් ඉල්ලනවනම් අනේ අපිට කියන්න කිසි දෙයක් නෑ. ඒ අය අවුරුදු 10ක් ඉඳලා කරපු දේවල් මම හිතන්නේ ජනතාවට අමතක නෑ.

යම් ආකාරයකින් ජනාධිපතිවරණයක් ආවොත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වෙනවද?

ඔව්. අපි අපේ කෙනෙක් ඉදිරිපත් කරනවා. ඔහු හොඳ දැනුම තියෙන උගත්, බුද්ධිමත් කෙනෙක්. ආර්ථිකය කෙරෙහි විසඳුම් හොයන්න පුළුවන් අරමුණක් තියෙන කෙනෙක් තමයි ගේන්නේ. ඒ සඳහා සියලුම බලවේග අපි එකතැනකට ගේනවා. එදාට ලේසි වෙන්නේ නෑ ඔය අනිත් පක්ෂවල අපේක්ෂකයන්ට.

ඇත්තද ජනතා විමුක්ති පෙරමුණ ඒ අපේක්ෂකයා තෝරන්න විශ්ව විද්‍යාල ආචාර්යවරු සමඟ සාකච්ඡා කරනවා කියන්නේ?

එහෙම සාකච්ඡා නෑ. එහෙම සාකච්ඡා කරන්න ජනාධිපතිවරණයක් කැඳවන්න එපැයි. තවම එහෙම දෙයක් නැති හින්දා අපි තවම එහෙම සාකච්ඡාවක් නෑ.

ඔබ හිතන්නේ නැද්ද ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් ජනතාවට තියෙන ගැටලුසහගත තත්ත්වයක් නිසා මේ බලය ලැබීමේ අවුලක් තියෙනවා කියලා? ජේ. වී. පීය කන්නෙ බොන්නෙ නැති පක්ෂයක් හැටියට මිනිස්සුන්ට කාවැදිලා නේද තියෙන්නේ?

ඒ දේවල් අපි කිව්ව කතා නෙවෙයි. ධනේෂ්වර පක්ෂ විසින් අපිට විරුද්ධව ගොඩනගපුවා. අපි හදන්නේ ජනතාව දුක් විඳවන්න නෙවෙයි. අපිට ඕන දුක් විඳින ජනතාව සතුටු කරන්න. අපි කන්නේ බොන්නෙ නැති, සතුටක් නැති, සතුටක් විඳින්න බැරි පක්ෂයක් නෙවෙයි. ඔය කතා වමේ පක්ෂවලට එරෙහිව ධනවාදය විසින් ගොඩනගපුවා.

අවසාන වශයෙන් අහන්න තියෙන්නේ ඉදිරියේදී මහ මැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් හරි කැඳවන්න නියමිතයි. එතැනදී ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව මොන වගේ වෙයිද?

ජනතා විමුක්ති පෙරමුණ අති විශාල කාර්යභාරයක් කරනවා. අපි මේ වෙනකොට ඒ සඳහා වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු මේ රටේ සියලුම අංශ එකතු වෙලා බලවේගයක් හදමින් ඉන්නේ. අනිවාර්යයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ බලය ලබාගන්න කටයුතු කරනවා. ඒ හරහා දියුණු ආර්ථිකයක් එය ධනවාදී නොවූ සියලු දෙනාටම එක සමානව සැලකෙන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන ක්‍රමවේදයක් සකසනවා.

►ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00