2019 මාර්තු 23 වන සෙනසුරාදා

ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් අපට එකතු වෙනවා

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 46

 ජනාධිපතිතුමාට විධායක බලය තිබුණට ජනතා බලයක් නෑ

♦ පොහොට්ටුවේ අයට හීන දකින්න අයිතියක් තිබෙනවා

♦ අපේක්ෂකයා අන්තිමට තේරීම සාර්ථකම ක්‍රමයයි

♦ විපක්ෂ නායකතුමාගේ කාලෙ තමයි මාධ්‍යවේදීන් මැරුවේ

♦ නඩු ටික වැඩි කළානම් චණ්ඩි ටික ඉවරයි

♦ විපක්ෂයේ න්‍යාය පත්‍රවලට අපි වැඩ කරන්නේ නෑ

- එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්

 

යහපාලන ආණ්ඩුව පටන්ගත්ත දවසේ ඉඳන් කිව්ව දෙයක් තමයි අපේ ආණ්ඩුවක් ආවොත් රටට ගැලපෙන සිස්ටම් එකක් හදාගන්න පුළුවන් කියලා. දැන් ඒ සිස්ටම් එක හදලා ඉවරද?

නෑනේ. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් නෙවෙයිනේ. මේක එජාප ආණ්ඩුවක් තමයි හැබැයි 100%ක්ම නෙවෙයි.

නමුත් ඔබලා කියන්නේ බහුතරය තියෙන්නේ එජාපයට කියලා? ඉතින් ඇයි තවම කරගන්න බැරි?

එක්සත් ජාතික පක්ෂෙට මේ මොහොත වෙනකොටත් 113 නෑ කියලා කවුරුත් දන්නවා. ඒ නිසා අනිත් පක්ෂවල සහයෝගය අරගෙන තමයි වැඩ කරන්න පුළුවන්.

මහින්ද මහත්තයා එළවන්නනම් කට්ටිය ඉන්නවා කියලා කිව්වා.

එදා අපි කිව්වේ මහින්ද මහත්තයාගේ පත්වීම නීත්‍යානුකූල නෑ කියලා. ඒකට තමයි අපි හැමෝම එකතු වුණේ. අනිකුත් පක්ෂ අයින් වුණාට පස්සේ ඉතුරු වුණ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමාණය තමයි බහුතරය වුණේ. ඒ නිසා පාර්ලිමේන්තු වැඩිම ආසන තියෙන එජාපය ආණ්ඩුව කරගෙන යනවා. ඒ අතර අපිට සහය දක්වන්නත් පිරිස ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ සහයත් හිටපු ගමන් කල් යනවා. හැබැයි එහෙම කියලා රටේ සිදුවන සංවර්ධන වැඩකටයුතු අඩාල කරලා නෑ.

එජාප මන්ත්‍රීවරයෙක් හැටියට මේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

100%ක්ම සෑහීමකට පත්වෙන්න බෑ. මොකද තව බොහෝ දේවල් අපිට කරන්න තියෙනවා. ඒවා වේගයෙන් කළ යුතුයි. ඒ වගේම අපි මෙච්චර කල් කරපු දේවල් සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් ලැබිලත් නෑ. ඒ නිසා ඉතුරු වැඩ ටිකත් වේගයෙන් කළාම තමයි තෘප්තිමත් වෙන්න පුළුවන්.

ඒත් ජනාධිපතිනම් ඉන්නේ එජාපය සම්බන්ධයෙන් කිසිම විශ්වාසයක නෙවෙයි. ඔහු කියන්නේ එජාපය රටට සුදුසු පක්ෂයක් නෙවෙයි කියලා.

ජනාධිපතිතුමා එහෙම දෙයක් කියනවනම් එතුමා මතක් කරගන්න ඕන එතුමා බලයට ගෙනාවේ මේ අහිංසක එක්සත් ජාතික පාක්ෂිකයන් කියලා. ගුටි කාලා බැට කාලා ගෙයින් ගෙට ගිහිල්ලයි එතුමාව බලයට ගෙනාවේ. ඒ නිසි එතුමට කෙළෙහිගුණය තියෙනවද නැද්ද කියලා ලංකාව දන්නවා. ජනාධිපතිතුමා කියන්නේ මේ වෙනකොට විධායක බලයක් තිබ්බට ජනතා බලයක් නැති නායකයෙක්. එතුමා මොකක්හරි වෛරෙකින් ඉන්නේ. ඒ ගැන ජනතාව කලකිරිලා ඉන්නේ. අද ජනමතය තියෙන්නේ දෙකට බෙදිලා. එකක් පොහොට්ටුවට එකක් එජාපයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ජනමතයක් තියෙන පක්ෂයක් නෙවෙයිද?

ජනාධිපතිවරයා මට්ටු කරන්න එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන් නම් වැය ශීර්ෂ පරාජය කරන්න හැදුවා. හැබැයි අන්තිමට ආණ්ඩුව ඇතුළෙන්ම ඒක නැවැත්තුවා. එතකොට ජනාධිපතිවරයාට ආණ්ඩුව ඇතුළෙන්ම උදව් කරනවා නේද?

ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරැන්ටත් පාක්ෂිකයන්ටත් අඩම්තේට්ටම් කළ අයෙක්. ඔහුට කෙළෙහිගුණයක් නෑ. ඒ නිසා එතුමට දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න ඕනේ. ඒකට හැකි ඉක්මණින් ඔහු ගෙදර යවන්න ඕන. ඒ වගේම වැය ශීර්ෂය පරාජය කරනවා කියලා පක්ෂයක් හැටියට අපි තීන්දුවක් අරන් හිටියේ නෑ. පක්ෂයේ තීන්දුව වුණේ එයට පක්ෂව ඡන්දය දෙන්න. මොකද අපි ගෙනාපු අයවැය.

පසුපෙළ මන්ත්‍රීවරුන්නම් කියන්නේ ජනාධිපතිවරයාව අගමැතිවරයා බේරගත්තා කියලා.

ඕන්නම් අපිට පරාජය කරන්න තිබ්බා. ජනාධිපතිවරයාට අගමැතිවරයාට කරපු දේවල්වල හැටියට අගමැතිතුමා එතුමාගේ කොලිටිය පෙන්නුවා. ඒකෙන් පෙන්නුවේ අපි ශිෂ්ඨ සම්පන්න පක්ෂයක් වගේම ආණ්ඩුවක් කියලා.

ජ්‍යෙෂ්ඨයො නම් කියන්නෙ පසුපෙළ මන්ත්‍රීන්ට අත්දැකීම් නැති නිසා ඔවුන් හරි කලබලකාරියි කියලා.

පසුපෙළ ඉන්න ගොඩක් අය අලුතෙන් ආපු අය. ඒ අයට අත්දැකීම් අඩුවෙන්න පුළුවන්. හැබැයි ඒක බොරුවට නෙවෙයි. මොනවා වුණත් ජ්‍යෙෂ්ඨයොත් එක්ක සාකච්ඡා කරලා තමයි අවසන් තීරණය ගන්නේ.

නමුත් අපි දැකලා තියෙනවා පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් ජනාධිපතිවරයාව ඉතාම අසෝභන ලෙස විවේචනය කරනවා. ඔහු මේ රටේ ජනාධිපතිවරයා.

ඔබ කියන්නේ අපිට ජනාධිපතිතුමාට කඩේ යන්න කියලද?

ඉතින් ජනාධිපතිවරයා ඔබලගේ කැබිනට් එකේ නායකයනේ.

එතුමා කැබිනට් එකේ නායකයා කියලා මල් පහන් පූජා කරලා වඳින්න වුවමනා නෑ.

හැබැයි ඔය කටවල්වලින්ම නේද මේ රටේ ඉන්න හොඳම නායකයා කියලා ජනාධිපතිව වර්ණනා කළේ?

අපි තවමත් ඉන්නවා ඒකාධිපති පාලනය පරාජය කරන්න මහින්ද රාජපක්ෂ පරද්දන්න ඒ අවස්ථාවේ ගන්න ඕන හොඳම තීරණය තමයි අපි ගත්තෙ කියලා. හැබැයි ඒක පුද්ගලයාගේ පසුකාලීන හැසිරීම් සම්බන්ධයෙන් අනේකවිධ චෝදනා විවේචන තියෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව ඔහුව විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා.

හැබැයි ජනාධිපතිවරයා කියන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන එජාපය අත්තනෝමතිකව වැඩ කරන්න ගත්ත නිසා අගමැතිවරයා ඉවත් කළා කියලා.

එහෙනම් එතුමට තිබ්බා ආණ්ඩුවේ ප්‍රධානියා හැටියට සියලු මන්ත්‍රීවරුන් ඒ ගැන දැනුවත් කරන්න. එතුමා එහෙම කළේ නෑ. අපි කැබිනට් මණ්ඩලේ සාමාජිකයෝ නෙවෙයි. අපිට ඇහෙන දේවල් විතරයි අපි දන්නේ. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් තිබ්බනම් එතුමට තිබ්බා අපි හැමෝවම හම්බෙන්න. මොකද එතුමා බලයට ගේන්න වැඩ කළේ කැබිනට් මණ්ඩලේ ඇමැතිවරු විතරක් නෙවෙයි. පසුපෙළ මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරුත් ඉන්නවා.

අප්‍රේල් 05 වැනිදා අයවැය අවසාන ඡන්ද ගණන්කිරීම සිදුකරනවා. එතැනදී ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ ඔවුන් අනිවාර්යයෙන්ම අයවැය පරාජය කරනවා කියලා. ඒක බරපතළ තත්ත්වයක්.

පොහොට්ටුවේ සාමාජිකයන්ට අයවැය පරාජය කරනවා කියලා හීන දකින්න අයිතියක් තියෙනවා. ඒක අපිට නතර කරන්න බැහැ. මේ අවුරැදු 4ම අය මේ කතා කිව්වලු. අන්තිමට බලෙන් ඔක්තෝම්බර් 26 අරගෙනත් කරගන්න බැරි වුණානේ.

ඔබ කිව්වා ජනාධිපතිට ජනතා වරමක් නෑ කියලා. හැබැයි මේ වෙනකොට මෛත්‍රී - මහින්ද සංයෝගයක් ඇති වෙලා. එතකොට එජාපයට බලපෑමක් එල්ල වෙන්න පුළුවන් නේද?

මම ඔබට කියන්නම් ඔය පොහොට්ටුවයි ශ්‍රීලනිපයයි ගේන සාකච්ඡා තියෙනවා නේද? ඒක නොකෙරෙන දීගයක්. පොහොට්ටුව විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්දවන වැඩක් මේක. ඔය ශ්‍රීලනිප කට්ටියත් දන්නවා ඒ අයට  පොහොට්ටුවෙන් ඉල්ලුවොත් පොහොට්ටුවෙ අය පරාජය කරනවා කියලා. ඒ නිසා අවසානේ ඒ අයත් අපිත් එක්ක එකතු වුණා. මොකද අපි පුළුල් සංධානයක් ගොඩනගනවා ඉදිරියේදී.

දයාසිරි ජයසේකර නම් දැන් කියන්නේ අපේ අපේක්ෂකයා ජනාධිපති කියලා.

ඒක එයාලගෙන්ම තමයි අහන්න ඕන. එයා එකක් කියනවා පොහොට්ටුවේ අය තව එකක් තියෙනවා.

ඔය එක එක නම් කියලා අවසාන මොහොතේ එජාපය රවට්ටලා හොඳම කෙනාම දාන වැඩපිළිවෙළක් නෙවෙයිද ඔය?

අවසාන මොහොතේ අපේක්ෂකයා තේරීම තමයි සාර්ථකම ක්‍රමය. ඒත් අපේ මේ දවස්වල ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ ගමේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළ. ජනාධිපතිවරයා තෝරන වැඩේ නෙවෙයි.

ඔබතුමාලමනෙ කිව්වෙ ඉක්මණින් ජනාධිපතිවරණයක් ඕන කියලා.

ඔව් ජනාධිපතිවරණයක් තමයි ඕන. එතුමා දෙවතාවක් ව්‍යවස්ථාව කඩ කළා. එනිසා එතුමා මේ තනතුරේ ඉන්න සුදුසු නෑ. ඒ නිසා නීත්‍යානුකූලවත් ඉක්මණින් දෙන්න පුළුවන් ජනාධිපතිවරණයක්. අනිත් එක දයාසිරි මන්ත්‍රීවරයා කියන විදිහට ඒගොල්ලො සූදානම්නම් ඉක්මණින් ඡන්දයකට යන්න කියන්න.

ඔබලා ගෙනාපු අයවැය ගැන විපක්ෂය නම් කියන්නේ භාණ්ඩාගාරයේ සල්ලි නැති නිසා වැඩි බදු මුදල් ගහලා සල්ලි හොයන වැඩපිළිවෙළක් කියලා.

ඒ අයට ඒ කතාව කියන්න කලින් කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් මූණ බලන්න කියන්න. නූපන් දරුවන් ණයකාරයෝ වෙලා.

විපක්ෂ නායකතුමා කිව්වේ හම්බන්තොට වරාය වික්කා. විකුණලා ඒ සල්ලි කැබිනට් එකම කෑවා කියලා.

විපක්ෂ නායකතුමාමනේ කිව්වේ තාජුඩීන් පැයට කිලෝ මීටර් 175ක වේගයෙන් ගිහින් හැප්පිලා මළා කියලා. ඔය විපක්ෂ නායකතුමා කියන කතා කවුද ගණන් ගන්නේ. එතුමාගේ කාලෙ තමයි මාධ්‍යවේදීන්ව ඉස්සුවේ, මැරැවේ. ඒ ගැන එතුමා කතා කරන්නෙ නෑ. වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බා.

දැන් ඔය කියන චෝදනා බලයට එනකොටත් කිව්වා. ඒත් ඉතින් ඒ කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරුව ගියානේ. දැන් අවුරුදු 3කුත් පහු වුණා. ඔබලනේ වගකියන්න ඕන.

ඇත්ත. ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත. අපි පොරොන්දු වුණා විශේෂ අධිකරණ දාලා දඬුවම් දෙන්න. ඒත් අපිට හිටිය අධිකරණ ඇමැති හොරුත් එක්ක ඩීල් දැම්මා. ඒ නිසා අවසානයේ අපිට අධිකරණ ඇමැති එළවන්න සිද්ධ වුණා. ඔබ කියනවා වගේ නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙන නඩු ටික ක්‍රියාත්මක වුණානම් ඔය චණ්ඩි කවුරුවත් නෑ. දඬුවම් නොදීම නම් මේ ආණ්ඩුවේ වරදක්.

ජනාධිපතිවරයා එල්ල කරන චෝදනාත් ඇත්ත නේද? නීතිය ක්‍රියාත්මක වුණේ නෑ කියන්නේ ඔබලගේ ආණ්ඩුවෙදී?

දැන් එතුමගේ යටතෙනේ පොලිස් දෙපාර්තමේන්තුව තියෙන්නේ. දැන් එතුමට දඬුවම් දෙන්න පුළුවන්. එතුමනේ කිව්වේ මහබැංකු වංචා 2007 ඉඳලා වෙලා තියෙනවා කියලා. එතුමා අතේ පොලීසියත් ඉන්න නිසා දැන් අර්ජුන මහේන්ද්‍රන් ගේන්න පුළුවන්. ඒ නිසා අපිට ඇඟිල්ල දික් කර කර ඉන්න ඕන නෑ. එතුමා මේ රටේ විධායක ජනාධිපති. එහෙම කරනව නම් අපිත් සහයෝගය දෙන්නම්.

ඒ විතරක් නෙවෙයිනේ මත්කුඩු වැටලීම් පවා වැඩි වුණේ ජනාධිපතිගේ කාලේ. ඒක විපක්ෂයේ අයත් කියන දෙයක්.

මතුකුඩු අල්ලන්නේ විශේෂ බළකායෙයි පොලීසියෙයි අවංක නිලධාරීන් පිරිසක් එකතු වෙලා. ඒ අයට ආණ්ඩුවෙන් කිසිම බලපෑමකුත් නෑ. මත්කුඩු අල්ලනකොට ජනාධිපතිතුමා ලකුණු දාගන්නයි අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලන්න බැරි වුණාම අපි වගකියන්නයි ඕන. ඒ නිසා වැදගත් දෙයක් ගැන අපි කතා කරමු.

අර්ජුන මහේන්ද්‍රන් පැනලා ගියෙ නම් ඔබලා යටතේ පොලීසිය තියෙන කාලේ.

හරි. අර්ජුන මහේන්ද්‍රන් පැනලා ගියානේ. දැන් එතුමා ගාවනේ පොලීසිය තියෙන්නේ ඔක්තෝම්බර් 26 වැනිදා ඉඳන්. දැන් එතුමට අල්ලන්න පුළුවන්නේ.

හරි. දැන් කියන්න බලන්න කවුද එජාපයේ ජනාධිපති අපේක්ෂකයා?

දැන් ඔබට මම කිව්වනේ. අපිට තියෙන්නේ ජනාධිපති අපේක්ෂකකම තෝරන වැඩක් නෙවෙයි. ඊට වැඩිය රටට වැඩ කරන්න තියෙනවා. විපක්ෂයේ න්‍යාය පත්‍රවලට අපි වැඩ කරන්නේ නැහැ. ජනාධිපතිවරයා ආවට පස්සෙ අපි බලමු.

හැබැයි විපක්ෂයනම් ගෝඨාභය රාජපක්ෂ දානවා කියලා තීරණය කරලා ඉවරයි.

පොහොට්ටුකාරයෝ ගෝඨාභය මහත්තයා ඉල්ලුවට තාම එතුමට අමෙරිකාවේ ඉඩ දීලා නෑනේ ඡන්දෙ ඉල්ලන්න.

ඉස්සරහට ශ්‍රීලනිපයෙන් සහයක් ලැබෙයිද ඔබලට පාලන බලයක් අල්ලගන්න?

අපිට ඔය ශ්‍රීලනිපයෙ සහය ඕන නෑ. ඕක දියවෙලා ගිය පක්ෂයක්, හැබැයි ඔය පක්ෂෙ ඉන්නවා ජනතාව පිළිගන්න මන්ත්‍රීවරු කිහිපදෙනෙක්. ඒ අය අපට ඇවිල්ලා එකතු වෙයි. ඒ නිසා කලබල වෙන්න එපා.

►ගයාන් ගාල්ලගේ