2019 මාර්තු 16 වන සෙනසුරාදා

අපි ගොඩනගන්නේ එජාප විරෝධී සන්ධානයක්

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

මෛත්‍රීපාල මහත්තයා ළඟ ඉඳගෙන එයාට විරුද්ධව වැඩකරන පිරිසක් ඉන්නවා

♦ අපේ විපක්ෂයට බෝල බස්සන්න ලේසි නෑ

♦ දිනන අපේක්ෂකයා තේරිය යුත්තේ මහින්ද මහත්තයයි

♦ දයාසිරි මහත්තයා ගහපු කරණම් ගැන එතුමා දන්නෙත් නෑ

♦ ගෝඨාභය මහත්තයාගේ නමත් ඇවිත් තිබෙනවා

♦ රටේ ප්‍රශ්නවලට හොඳම පිළිතුර මහ මැතිවරණයක්

- අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ

ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරනකොට කට්ටියගේ පුදුම එකමුතුවක් තිබුණා. ඒත් නිල විපක්ෂය ලැබුණාම කට්ටිය බෙදිලා වගේ. මොකක්ද මේ බලය සම්බන්ධ අවුලක්ද?

විපක්ෂයේ බෙදීම් නැහැ. හැමදාම හැමකෙනාම තමන්ට කැමැති මතය ඉදිරිපත් කළා. ඔබ ඔය කියනවා ඇත්තේ මේ පසුගියදා පාර්ලිමේන්තු අයවැය ඡන්දයේදී වෙච්චි දේ වෙන්න ඇති. එතැන ප්‍රශ්නය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එහෙම නැතිව පැරුණි ඒකාබද්ධ විපක්ෂය නෙමෙයි. කොහොම වුණත් මේ ඇතිවෙච්චි සිද්ධිය සම්බන්ධව අපිත් විමතියෙන් ඉන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොකා පෙන්නුවා වගේ වැඩක් නේද කළේ?

මහින්ද රාජපක්ෂ මහත්තයයි මෛත්‍රීපාල මහත්තයයි එකඟතාවයකට ආවට පස්සේ අපි ඉතාම හොඳට එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව වැඩකටයුතු කරගෙන ගියා. ශ්‍රීලනිපය අයවැයට ඡන්දය නොදුන්නේ ඇත්තටම ජනාධිපති වැයශීර්ෂය සම්බන්ධ ප්‍රශ්නයක් නම් අපිට ඒක කලින් දැනුම්දෙන්න තිබුණා. හැබැයි අපි දැනගෙන හිටියා එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරැන්ට කොන්දක් නෑ කියලා, ඔය කියන දේවල් කරන්න. ඒ නිසා ඒ ගැන හිතලා තීන්දුවක් ගැනීම සම්බන්ධව අදාළ කරගන්න අවශ්‍ය නැහැ. මොකද ඒ අය දේශපාලන බංකොලොත්කාරයෝ.

ඇත්තටම ඡන්දෙ නොදුන්නෙ ඇයි කියලා ඔය පාර්ලිමේන්තුවේදී හමුවුණාමත් ඇහුවේ නැද්ද ශ්‍රීලනිප අයගෙන්?

කිසිම කෙනෙක් ඍජු පිළිතුරක් දුන්නේ නෑ. එහෙම ඡන්දෙ නොදී ඉන්න කියලා කිව්ව කියලා කියනවා. හැබැයි ඒ කිව්වේ කවුද කියලා වගකීම බාරගන්න කෙනෙක් නෑ. හැබැයි විශ්වාස කරනවා ශ්‍රීලනිපය අප්‍රේල් 5 වැනිදා විපක්ෂයක් හැටියට එජාපයට විරැද්ධව ඡන්දෙ දෙයි කියලා.

කවුද ඔය වගකීම ගන්න ඕන පුද්ගලයා?

ඒක නම් මම දන්නේ නැහැ. හැබැයි එක දෙයක් මම දන්නවා මෛත්‍රීපාල මහත්තයාගේ ළඟ ඉඳගෙන එතුමාටත් විරුද්ධව වැඩකටයුතු කරන පිරිසක් ඉන්නවා. ඒක පැහැදිලිව පෙනෙන දෙයක්. ඒ අය ජනාධිපතිවරයාව නිරන්තරව අපහසුතාවයට ලක් කරනවා. ඔය කීපදෙනාට පෞද්ගලික න්‍යාය තියෙන්නේ. ඒ නිසා ඒ අය එජාපය එක්ක ගනුදෙනු කරනවා. ඒ අය එක්සත් ජාතික පක්ෂයේ න්‍යායයට අනුව රනිල් වික්‍රමසිංහ මහත්තයා විසින් මෙහෙයවනු ලබන කට්ටිය. ඒ වගේම චන්ද්‍රිකා නෝනත් ඒ පිටුපස්සේ ඉන්නවා.

මේකෙන් වෙන්නේ විපක්ෂයේ සමහර අය කියන දේවල් රට ඉදිරියේ හෑල්ලු වෙනවා කියන එක නෙමෙයිද?

විපක්ෂයට එන්න අපි වැඩ ගොඩක් කළා. මෙතැන තියෙන හොඳම දේ තමයි අද අපිට සියලුම රටේ මිනිසුන්ගේ ප්‍රශ්න බය නැතුව පාර්ලිමේන්තුවට කියන්න විපක්ෂ නායකවරයෙක් ඉන්නවා. පහුගිය අවුරුදු හතරේම එහෙම දැක්කේ නෑ. හිටිය සම්බන්ධන් මහත්තයා අඩුම තරමේ උතුරේ ප්‍රශ්නයක්වත් කිව්වේ නෑ. මේ ප්‍රශ්න සුළු ප්‍රශ්න. හැබැයි ඒවා තවදුරටත් ඉදිරියට අරන් යන්න ගියොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.

දැන් ශ්‍රීලනිපය ගැන විශ්වාසය තියලා වැඩ කරලා අර එදා වෙච්ච අවුලම අනාගතයේදීත් වෙන්න පුළුවන් නේද?

අප අන්ධව කටයුතු කරන්නේ නැහැ. අපේ කණ්ඩායම පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්නේ. අපි හැමවිටම ගන්න සැලසුම් සියල්ලට අමතරව ඒ කණ්ඩායම විසින් ගනු ලබන විකල්ප සැලසුම් පිළිබඳවත් අපි කල්පනා කරලා තමයි තීන්දු ගන්නේ. ඔය පස්දෙනා හෝ හයදෙනා හිතනවා නම් විපක්ෂයට වරද්දන්න, ඒක ලේසි නැහැ. හැබැයි තව දෙයක් කියන්න ඕන. ඔය කණ්ඩායම සම්පූර්ණයෙන්ම රටේ ඇතිවෙලා තියෙන අර්බුදයට වගකියන්න ඕන. එනිසා මේ පක්ෂය ඇතුළේ ඉඳලා කරන වැඩ ගැන මෛත්‍රීපාල මහත්තයාත් අවධානයෙන් ඉන්න ඕන.

ආණ්ඩුවෙන් කියන දෙයක් තමයි මේ පේන්නේ මහින්දයි මෛත්‍රීයි අතර තියෙන විරසකය කියලා?

මේ දෙන්නා දෙපැත්තට යන්නේ නැහැ. හැබැයි මේ දෙන්නා බිඳවන්න එක්තරා කණ්ඩායමක් වැඩකටයුතු කරනවා. ඒ කණ්ඩායම මෙහෙයවන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ චන්ද්‍රිකා නෝනා. ඒ කරන්න හදන විනාශය මේ විපක්ෂය ඇතුළේ කරන්න බැහැ. එයාලගේ සියුම් උත්සාහයක් තියෙනවා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මහ මැතිවරණය කල් දාන්න. ඒකට තමා ඔය ලැහැස්ති වෙන්නේ.

පහුගිය කාලේ කතාවුණා දෙගොල්ලෝ අතර සන්ධානයක්. ඒත් දෙගොල්ලෝ එකතුවෙනවාට වැඩිය යන්නේ හරහට. කෝ හදනවයි කිව්ව සන්ධානය?

ඒ සන්ධානය ගැන විවිධ මත තිබෙනවා. සමහර අය හොඳයි කියනවා. සමහර අය නරකයි කියනවා. හැබැයි අපි ගොඩනගන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව සන්ධානයක්. හැබැයි ඔය ශ්‍රීලනිපයේ සමහර අය කරන ප්‍රකාශ සන්ධානය ගොඩනැගෙද්දී එය බිඳවට්ටන්න කරන ප්‍රකාශ. හොඳම උදාහරණය දයාසිරි ජයසේකර. එතුමා පළවෙනි වතාවට විරුද්ධ අදහස් කිව්වා. දැනුත් මහින්ද මහත්තයාට විරුද්ධව අදහස් දරණවා. හැබැයි එයා එහෙම කරලා කණගාටුයි කියලා සමාව ගන්නවා. ඒ හැමෝටම කියන්න තියෙන්නේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලයි. මේ අවස්ථාව තීරණාත්මක අවස්ථාවක්.

ශ්‍රීලනිපය කියන්නේ මෛත්‍රීපාල මහත්තයා නෙමෙයි. මන්ත්‍රීවරු ඉන්නවා. අපේක්ෂකයෝ ඉන්නවා. ඒ අය නැතුව කොහොමද සන්ධාන හදන්නේ?

මම ඒක තමයි මුල ඉඳන්ම කිව්වේ. මෙයාලා එතුමාව පුදුම අපහසුතාවයට පත් කරන්නේ. එක දෙයක් දන්නවා, තමන්ගේ නායකයා බලයේ ඉන්නකම් විතරයි හැමෝම ගුණ වයන්නේ. වෙනස එතුමා පාවලා දෙන්නේ එතුමාගේ අය. අපි නෙවෙයි. අපිටත් හොඳට කතා කරන්න පුළුවන්. අපි මේ කතා නොකරන්නේ අපේ ගෞරවය රුකගන්න ඕන නිසා. කතාවක් තියෙනවානේ පිස්සො කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ කියලා.

ඔබ එහෙම කිව්වාට ශ්‍රීලනිපයේ අය කියන්නේ සන්ධානයක් ගොඩනගනවා නම් එයාලගේ ජනාධිපති අපේක්ෂකයාට තමයි සියලුදෙනාම උදව් කරන්න ඕනේ කියලා. ඒකට එකඟද?

එයාලට අයිතියක් තියෙනවා ඒ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරන්න. අපි ඒ අයිතිය පිළිගන්නවා. හැබැයි 2015 ජනාධිපති වුණ මෛත්‍රීපාල මහත්තයා නෙමෙයි අද ඉන්නේ. එදා එතුමාව ජනාධිපති කරන්න වැඩකරපු අයගේ බලාපොරොත්තු සියයට 90ක්ම බිඳ වැටිලා. මම මේ පෞද්ගලිකව ගහන මඩක් නෙමෙයි. ඒ නිසා ජනතාව ඉන්නේ දැඩි විරෝධතාවයක. හැබැයි ඒකෙ වගකීම ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි දෙන්නටම තියෙනවා. ජනාධිපතිතුමා ඒ වගකීම තේරුම් ගත්තා. එතුමා වෙනස කරන්න උත්සාහ කළා. ඒත් ඒක කරන්න ලැබුණේ නැහැ. ඒ නිසා ඒ ඒ අයට ඒ ඒ තීන්දු තීරණ ගන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරණයෙන් දිනන අපේක්ෂකයා තීරණය කරන්න ඕන විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්තයා. එතුමාට තමයි ජනවරම තියෙන්නේ.

දයාසිරි මහ ලේකම්තුමා කියනවා එයාලගේ අපේක්ෂකයාට උදව් කළේ නැත්නම් ඔබතුමාලාට ඕන දෙයක් කරගන්න කියලා. පුළුවන් නම් දිනලා බලමු කියලත් කියනවා?

ඔබතුමා ඔය හදන්නේ දයාසිරි මන්ත්‍රීතුමාගේ තත්ත්වයට මාවත් දාන්න. දයාසිරි මන්ත්‍රීතුමාගේ දේශපාලන තත්ත්වය මේ රටේ මිනිස්සු දන්නවා. එතුමා දේශපාලනය පටන් ගත්ත තැන ඉඳලා අද වෙනකම් තමන් වැඩකළ නායකයාව විවේචනය නොකර හිටපු අවස්ථාවක් තියෙනවාද? ඒ ප්‍රශ්නය මම ඔබෙන් අහනවා. එතුමා මාරුකරපු නායක සංඛ්‍යාව එතුමාවත් දන්නේ නැහැ. ඒ නිසා එවැනි පුද්ගලයකුගේ මතවලට අදහස් දෙන්න අපි සුදුසු නැහැ. එතුමා දක්ෂ මන්ත්‍රීවරයෙක් හැබැයි ඒක මහජනතාව වෙනුවෙන් උපයෝගී කරගන්න ඕන. ඔහුත් පෞද්ගලික න්‍යාය පත්‍රයක ඉන්නේ.

මට කියන්නකො ඇත්තටම ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරන්න ඕන පොදුජන පෙරමුණෙන් විතරමද?

දැනට තිබෙන ජනතා මතය අනුව මේ රටේ ඊළඟ ජයග්‍රහණය කරන අපේක්ෂකයා කවුද කියන එක තීරණය කරන්න ඕන මහින්ද රාජපක්ෂ මහත්තයාමයි.

මම අහන්නේ පොදුජන පක්ෂයෙන්ද ඒ නායකයා එන්නේ?

අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණ මෙහෙයවන තැනින් තමයි ඒ අපේක්ෂකයා එන්නේ.

එතකොට මේ රටේ ජනතාව නෙමෙයිද මේ රටේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තීන්දු කරන්නේ?

ජනතාව ඒ වරම දීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට. ඒක මම ඍජුව ප්‍රකාශ කරනවා.

ඔබ කියන්නේ ඔබලා වගේම රටේ ජනතාවත් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ රාජපක්ෂ කෙනෙක් කියලා කිවයුතු බවද?

මේ වෙනකොට රටම එක රාජපක්ෂ කෙනෙක් වෙනුවෙන් පෙළගැහෙමින් යනවා. ඔහු සම්බන්ධව නම කියැවෙනවා. අද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්තිය. එනිසා ඊළඟ ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහත්තයා අමතක කරලා වැඩකටයුතු කරන්න හදනවා නම් එය පරාජය බලාපොරොත්තුවෙන් කරන කටයුත්තක් කියලයි මගේ අදහස. එනිසා රටට අවශ්‍ය තීන්දුව ගැනීමේ බලය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. අපි හිතනවා එතුමා නිවැරුදි තීන්දුවක් ගනියි කියලා. ඒ නිසා කලබල වෙන්න එපා. කිසිම නායකයෙක් බලයට ආවේ අවුරුදු ගාණක් ප්ලෑන් කරලා නෙමෙයි. හදිසියේ. ඒ නිසා අපේ අපේක්ෂකයාත් හදිසියේ එයි.

විපක්ෂයේ අපේක්ෂකයා හැටියට දැනට හැමතැනම නම කියැවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ. අර ඔබ කියන ක්‍රමවේදය අනුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම කියැවුණා ඉක්මන් වැඩි නැද්ද?

අපි කිසිම කෙනෙක්ගේ නම ඉදිරිපත් කරලා නැහැ. ඔය නමට අමතරව තව නම් කතා වෙනවා. බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ කියලා. හැබැයි ජනතාව තමයි ඒ තීන්දුව ගන්නේ. දැන් බලන්න පළාත් පාලන මැතිවරණය වෙනම තරග කළයුතුයි කියලා තීන්දු කළේ ජනතාව. අපි ඒ තීන්දුව පිළිගත්ත නිසා තමයි අපිට එය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. එනිසා ගෝඨාභය මහත්තයා ගැනත් ජනතාව කතා වෙනවා. ඔය වගේ නම් ගොඩක් තියෙනවා. අපිට ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. අපි අතරේ අර්බුද නිර්මාණය කරන්නත් බැහැ.

හැබැයි කොච්චර හංගන්න හැදුවත් අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ නේද?

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නම ජනතාව අතර වැඩිපුර කතා වෙනවා. අපි අවස්ථාව ආවාම ජනතාව ඉල්ලන ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා එළියට දානවා.

ඔබලා මෙහෙ ජනාධිපති අපේක්ෂකයා හොයනවා. ඔබේ නායකයා මහින්ද මහත්තයා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක විධායකය අහෝසි කරන්න සාකච්ඡා කරනවා. ඔබලාගේම තව පිරිසක් ඊට විරුද්ධයි. මොකක්ද මේ වෙන්නේ?

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ආපු වෙලා අපි බැලුවා එය ඉතාම දුර්වල පනතක්. එයින් සැබෑවටම මහ බැංකුවේ සල්ලි යොදවලා රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ ජනාධිපති වීමේ කොන්ත්‍රාත්තුවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසාවෙන් එය ප්‍රතික්ෂේප කළා. අපි විස්සට කොහෙත්ම එකඟ නැහැ. හැබැයි ඕනෑම කෙනෙකුට මහින්ද රාජපක්ෂ විපක්ෂනායකතුමා සමඟ සාකච්ඡා කළ හැකියි. එතුමා සාකච්ඡා කළ යුතුයි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. එනිසා කළයුත්තේ නිවැරුදි පාර්ලිමේන්තුවක් පත්කර ගන්න එක. දැන් තියෙන්නේ අධිකරණය විසින් පත් කළ ආණ්ඩුවක්. එනිසා අනාගතයේ සුමන්දිරන්ට ඕන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වුණත් සම්මත කරගන්න බැරිකමක් නැහැ.

අවසාන වශයෙන් ඔබෙන් අහන්නේ රටේ අවුල ලිහෙන්න ඉක්මණින් කළ යුත්තේ කුමක්ද?

අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕන. ජනාධිපතිවරණයකට ගියා කියලා අලුතෙන් පත්වෙන ජනාධිපතිටත් මාස කිහිපයක් මේ විකෘති පාර්ලිමේන්තුවත් එක්ක වැඩ කරන්න වෙනවා. ඒ නිසා රටේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් හොඳම මැතිවරණය මහ මැතිවරණය.

►ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00