2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

අද රටයි මැතිසබයයි දෙකම අඩපණයි

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 44

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන

රාජපක්ෂවරු තමයි අද නායකයෝ වගේ ඉන්නේ
සමස්ත විපක්ෂ ජනමතය අද අපේ පැත්තේ
අපේ රටේ දේශපාලනය හේදිලා ගිහින්
ජාතික ආණ්ඩු කතාව ආණ්ඩුවේ බොරුවක්
එජාපය කිසිම වැඩක් කරගන්න බැරි පක්ෂයක් වෙලා
ව්‍යවස්ථාවක් නෙවෙයි ඕක උප්පරවැට්ටියක්
අපෙයි ජනපතිගෙයි අරමුණු සමානයි

2015 හදාගත්තු ඒකාබද්ධ විපක්ෂය නිල විපක්ෂයක් නොවී විශාල පෙරළියක් රට තුළ කළා. දැන් රටේ නිල විපක්ෂය. ඒත් අර පෙරළිකාර ගතිය දැන් නැතිවෙලානේ....?

කිසිලෙසකින් ආණ්ඩු විරෝධී සටන පසුබෑමක් නෑ. ඒ වසර කිහිපයක ගෙන ගිය සටනේ ප්‍රතිඵලයක් තමයි අද වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කෑල්ලෙන් කෑල්ල ඉවත්වෙලා නිල විපක්ෂයක් බවට පත්වෙලා තිබෙන්නේ. ඒ වගේම යූ.ඇන්.පී. - ශ්‍රී ලංකා ගිවිසුම කඩන්න පුළුවන් වුණෙත්. ඒ හරහා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන්න පුළුවන් වුණේ. ඒත් අපි විපක්ෂයට ආවා නැවත. විපක්ෂනායකතුමා හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා සිය රාජකාරි නිසි ලෙස ඉටු කරනවා. එතැනදී ප්‍රධාන වශයෙන් ඉක්මන් මැතිවරණයකට යාමේ සටන තමයි අපේ මූලික අරමුණ.

ඔබලා ආවේ ආණ්ඩුවේ බලය අල්ලන්න. ඇල්ලුවාට ඒ වැඩේ නීති විරෝධියි. නැවත විපක්ෂයට ගියා. මොකද මේ අඩියෙන් අඩිය පස්සට යන්නේ?

මෙහෙමයි. යූ.ඇන්.පී. විරෝධී කණ්ඩායම් එකතු කරගෙන ආණ්ඩු විරෝධී සටන ජයගන්න හැකිවුණේ පසුගිය අවුරුද්දේ පෙබරවාරි 10 වැනිදා. ඉතිහාසයේ කවරදාකවත් බලයේ ඉන්න ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයක් පරාද වෙලා නැහැ. එතැනින් පස්සේ අපි පළාත් සභාව, පාර්ලිමේන්තු, ජනාධිපතිවරණ මැතිවරණ දක්වා මේ සටන ඇදගෙන යනවා. එතැනදී අපට හිමිවෙන්න ඇති විපක්ෂය එදා දුන්නේ නැහැ. අද ඒක ලැබිලා තියෙනවා. ඒ හරහා අපිට රටේ සමස්ත විපක්ෂ ජනමතය අපේ පැත්තට නතු කරගන්න හැකිවෙලා තිබෙනවා. ඒක ජයග්‍රහණයක්.

ඔබට ජනවරමක් දුන්නේ සූදානම් වෙන්න. ඒත් හදිසියේම ජනමතයකින් තොරව බලය ගන්න ගිහිල්ලා තියෙන තත්ත්වයත් නැතිවුණා නේද?

ඇත්ත. බල අරගලය නිසා හදිසි කඩාවැටීමක් සිදුවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මෙතෙන්ට ගන්න හැකිවුණේ එදා ඒ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය. අද අපි කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට යමු කියලා. ඒක විපක්ෂයේ අරමුණ. ඒ තත්ත්වය උඩ අනාගතය තීරණය වෙයි. 

හැබැයි මේ කඩාවැටීම මත අනාගතයේ ජනමතයකට ඉඩක් තියෙයි කියලා හිතනවාද?

පළාත් සභා මැතිවරණයෙන් පස්සේ ආණ්ඩුව ඇතුළේ වගේම ආණ්ඩුවයි ජනාධිපතියි අතර ප්‍රශ්න ඇතිවුණා. ඒ වෙලාවේ අපි මැදිහත් වෙලා බලය ගත්තා. ඒ ගැන විවිධ මත අදහස් තියෙන්න පුළුවන්. ජනතාවගේ අදහස් තියෙන්න පුළුවන්. ජනතා විරෝධතා තියෙන්නත් පුළුවන්. හැබැයි අවසාන ප්‍රතිඵලය ආණ්ඩුව ගෙදර ඇරීම. ඒක අපි කළා. ඒ වගේම අනාගතයේත් කරනවා.

එහෙම බලාපොරොත්තු තිබුණාට අද වෙනකොට ආණ්ඩුව ශක්තිමත් වෙලා නැවතත් ජාතික ආණ්ඩු සංකල්පයට යන්න සූදානම් වෙනවා. විපක්ෂයේ හඬ පුස්සක්ද?

එක්සත් ජාතික පක්ෂයට ජාතික ආණ්ඩුවක් බිහිකරන්න පුළුවන් නීතිමය තත්ත්වයක් 19 වැනි ව්‍යවස්ථාව අනුව දැනට නැහැ. ඔවුන් හදන්නේ බොරු දෙයක් ඇති කරලා තව කාලයක් මේ ආණ්ඩුව ඉදිරියට අරගෙන යන්න. හොඳම දේ එක්සත් ජාතික පක්ෂයේ අයවැයට විරැද්ධව සමස්ත විපක්ෂයට පෙළගැහිලා. ඒ එක අර්බුදයක්. ඒ වගේම ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුත් ඇමැතිකම් ඉල්ලලා කෑගහනවා. ඒ තව අර්බුදයක්. මේවා වහන්න තමයි ජාතික ආණ්ඩු ගෙනෙන්න හදන්නේ. 

ඒත් ආණ්ඩුවට බහුතරය තිබෙනවා. ඔවුන් අනුමැතිය ගත්තොත්?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා කිසිම අයුරකින් ඇමැති ධුර වැඩි කරන්නේ නැහැ කියලා. දිගින් දිගටම ඒක ඔහු ප්‍රකාශ කරනවා. මුස්ලිම් කොංග්‍රසයේ නායකයා ආණ්ඩුවේ ඇමැති කෙනෙක්. ඔහු එකතු වුණා කියලා ජාතික ආණ්ඩුවක් හදන්න බැහැ. කොයිම වෙලාවකවත් එහෙම ආණ්ඩු හදන්න නීතිමය වටපිටාවක් නැහැ. 

නිකමට හරි ශ්‍රීලනිපයේ කට්ටියක් ගිහින් හේත්තු වුණොත්?

ඇත්ත. ශ්‍රීලනිපයේ කොටසක් එජාපයට ගන්න පුළුවන් කියලා ඔය ආණ්ඩුවේ කට්ටිය හිතනවා. ඒක මම හිතන්නෙ නෑ ලේසි වැඩක් කියලා. දේශපාලනමය වශයෙන් අමාරු වැඩක්. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙලා ඒකාබද්ධ විපක්ෂය සමඟ ගමනක් යනකොට ජයග්‍රහණය පෙනි පෙනී ආණ්ඩුවට යයි කියලා මම හිතන්නේ නැහැ. හැබැයි යූඑන්පීය බොරු ප්‍රචාර ගේනවා. 

ඇමැතිකම් දෙනවා කිව්වොත් යන්න අය ඉන්නවා නේද?

හිතන්නකෝ දැන් හය දෙනෙක් ගියානේ. ඒ අයට ඇමැතිකම් හම්බ වුණාද? ඔය නිකම් ගිහිල්ලා වාඩිවෙලා ඉන්නේ. 

ඔබලා කතා කරන විදිහෙන් දැන් තේරෙන්නේ ජනාධිපති තරම් විශ්වාස කෙනෙක් නැති ගාණයි. දැන් ඒකාබද්ධය රන් කරන්නේ ජනාධිපතිද?

ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇමැතිකම් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ බලතලයක් භුක්ති විඳිනවා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විතරක් නෙමෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් සභාපති. අපි ගේන සටන ඉදිරියට ගෙනියනවා. ඒ සටනට ජනාධිපතිවරයාගේ සහයෝගයත් දැන් ලැබෙමින් පවතිනවා. අපේ අරමුණුයි ජනාධිපතිවරයාගේ අරමුණුයි දැන් සමාන වෙලා. ආර්ථික අවුල, මැතිවරණ අවුලට එරෙහිව එතුමත් ඉන්නවා. 

ඔහොම විශ්වාස කරලා නේද 2015 ජනාධිපතිවරයා අනික් පැත්ත හැරැණේ?

ඇත්ත. අපි පරාද වුණා. ඒ වෙලාවේ රටේ ප්‍රශ්නත් තිබුණා. ජාත්‍යන්තර මැදිහත් වීමත් තිබුණා. ඒ විසිරෙච්ච ජනමතය ඒකරාශි කරගන්න අපිට නැවත පෙබරවාරි 10 වැනිදා හැකිවුණා. ඒකෙන් පෙන්වන්නේ එජාපයට මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ කියන එක. ඒක නැවත නැවතත් ඔප්පු කරනවා. කිසිම අලුත් වැඩක් කරගන්න බැරි පක්ෂයක්. 

ඔබතුමා කියන්නේ එජාපයට රටේ ප්‍රශ්න විසඳන්න බෑ කියලා. ජනාධිපති නියෝජනය කරනවා කැබිනට් මණ්ඩලය. එතකොට එතුමටත් ඒ ප්‍රශ්න විසඳන්න බැරි චෝදනාවේ කොටසක් එල්ල වෙනවා නේද?

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවනෙ පවතින්නේ. ශ්‍රීලනිප ආණ්ඩුවක් නෙමෙයිනේ. එජාප ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න තමයි මේ ආණ්ඩුව පවතින්නේ. කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූලිකත්වය දරනවා. එතුමා සමහර දේවල්වලට එකඟ නැහැ කියනවා. ඒකෙන් පැහැදිලියිනේ ජනාධිපතිවරයායි ආණ්ඩුවයි එකට නෑ කියලා. එයින් පෙන්වන්නේ යූඇන්.පී එක තමයි ආණ්ඩුව ගෙනියන්නේ කියලා.

ජනාධිපතිවරයා සමඟ මේ ඇතිවෙලා තිබෙන බැඳීම ගිවිසුමක් කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේත් ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල මහත්තයා යොදාගන්න ඔබලා එකඟ වුණා කියලා. ඒක ඇත්තද?

ඇත්තටම ඊළඟ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළයුතු අපේක්ෂකයා කවුද කියලා ඒකාබද්ධයේ පක්ෂ එකතුවෙලා තවම තීරණයකට ඇවිත් නැහැ. එක එක්කෙනා තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරනවා. මම තරග කරන්න කැමැතියි. තවත් එක්කෙනෙක් කියනවා මමත් බලන් ඉන්නවා කියලා. ඒවා අදහස් විතරයි. 

එහෙම කොහොමද ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා කියලා එක එක අය හේතුවක් නැතිව කියන්නේ? එහෙම කියන්න අවසරයක් තියෙනවාද?

දේශපාලන පක්ෂවල නැති අයට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්නේ. ඒ අය පක්ෂවලට බැඳිලා නැහැ. ඒ වගේම සමහර පක්ෂවල අයත් අදහස් ප්‍රකාශ කරනවා. අදහස් ප්‍රකාශ කරන එක නවත්වන්න බැහැනේ. මට මතකයි අසූ ගණන්වල මැතිනියට ඉදිරිපත් වෙන්න පුළුවන්ද බැරිද කියලා ආපු ප්‍රශ්නයේදී වෙන කෙනෙක් ඉදිරිපත් කරන්න සිදුවුණා. අද වගේම තත්ත්වයක්. එදත් විවිධ අය විවිධ අදහස් ප්‍රකාශ කළා ජනාධිපතිවරණයේදී. එනිසා එක්සත් ජනපදය වගේ තෝරලා තෝරලා උඩට ගේන්න එහෙම කවුරැවත් නැහැ. මේ රටේ සාකච්ඡාවෙන් තමයි තෝරන්නේ. ඔය කවුරු මොනවා කිව්වත් මහජනයා කතාවෙලයි තීරණය කරන්නේ. 

ඒකාබද්ධ විපක්ෂය බොහෝ දෙනෙක් කියනවා රාජපක්ෂ කෙනෙක් තමයි නැවත රටේ නායකයා වෙන්නේ කියලා. ඔබ හිතන්නෙත් රාජපක්ෂවරු විතරමද මේ රටේ නායකයා වෙන්නේ කියලා?

එහෙම හැමදෙනාම කියන්නේ නැහැ. හැබැයි රාජපක්ෂවරැ තමයි නායකයෝ ලෙස ඉන්නේ දැනට. එහෙත් අවසාන ප්‍රතිඵලය මොක්කද කියන එක ඒ අය කියන දේවලුත් එක්ක තේරෙනවානේ. 

ඇතුළේ අය එක එක ඒවා කියනවා කියන්නේ එකාට එකා නෑ කියන කතාවද?

එහෙම කියවිල්ලක් නෙමෙයි මම කියන්නේ. අදහස් ප්‍රකාශ කිරීම මැතිවරණය ළංවෙන කොට එන්න එන්නම වැඩිවෙනවා. ජනමාධ්‍යයත් බොහොම දියුණුයි. උණුසුම් ප්‍රවෘත්ති නිර්මාණය කරන්න තමයි මාධ්‍යයෙත් සූදානම. ඒක සාමාන්‍ය දෙයක්. අපේ පක්ෂය විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයෙත් ඕකමනෙ. ඔය හතර දෙනෙකුගේ නම් කියැවෙන්නේ. අද අපි කතානායක තුමාගෙන් ඇහුවාම ඔබතුමා නේද රටේ ඊළඟ ජනාධිපති කියලා එතුමත් හිනාවෙලා කිව්වා අනේ මට නම් කියන්න එපා මම නම් බාරගන්නේ නැහැ කියලා. 

දැන් හැමෝම ජනාධිපති තෝරනවා හැරෙන්න මේ ජනතාවගේ ජීවන බර දෛනික ප්‍රශ්න ගැන හිතන දේශපාලන වාතාවරණයක් රට ඇතුළේ ගොඩනැගිලා නැහැ නේද? විශේෂයෙන් විපක්ෂය ඇතුළේ?

ඇත්ත වශයෙන්ම අපේ රටේ දේශපාලන විශාල හෝදාපාලුවකට ලක්වෙලා පසුගිය කාලයේ. පසුගිය දශකය තුළ තමයි මේක ඇතිවුණේ. ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළට වඩා පුද්ගලයන් සහ තනතුරු තමයි මූලික වුණේ. මේක රටට හානිකරයි. මේකෙන් ඒ නිසා හානියක් වෙලා තිබෙනවා. ඒක නැති කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. විශේෂයෙන් ණය අර්බුදයෙන් අපි ගොඩඑන්න ඕන. ඒකෙන් ගොඩඑන්න වැඩපිළිවෙළක් හදන්නම ඕන. ඔය තනතුරු ගන්න ක්‍රමවේදය තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනාවේ. ඒක කනගාටුදායක තත්ත්වයක්. නාස්තියම බලන්න. 

ඔය පිරිහුණාය කියන දේශපාලන තත්ත්වයට වගකියන්න ඕන ඔබතුමාලම නේද? මොකද වැඩිම කාලයක් රට පාලනය කළේ ඔබලායි?

ඇත්ත. අපි දිගුකාලයක් රට පාලනය කළා අමාරු තත්ත්වයන් දෙකක් යටතේ. එකක් භීෂණයෙන් පස්සේ. අනෙක 30 වසරක යුද්ධයෙන් පස්සේ. ඒ කාලයේදී අපේ අරමුණ වුණේ රට ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආරක්ෂාව ඇති කිරීම. ඒ අතරතුර විවිධ කොටස් දේශපාලනයට පිවිසුණා. විවිධ කොටස් එකතු කරගන්න වුණා ආණ්ඩුව අරගෙන යන්න. ඒ නිසා අපිත් මේකට හවුල්කාරයෝ කියන චෝදනාව ගේන්න පුළුවන්. ඔය චෝදනාව පක්ෂ දෙකටම ගේනවා. 

හැබැයි ආණ්ඩුව කියන්නේ ඔය දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න තමයි නව ව්‍යවස්ථාවක් ගේන්නේ කියලා. ඇයි මේ ඒකට කකුලෙන් අදින්නේ?

නව ව්‍යවස්ථාවක් කියලා එහෙම එකක් හදලත් නැහැ. එක එක කෑලි සුමන්තිරන් මහත්තයලත් එක්ක එකතුවෙලා හදාගෙන ඒ අයගේ දේශපාලන තනතුරු මිත්‍රකම් ඇතිකරගන්න හදන උප්පරවැට්ටියක්. කිසිම නිශ්චිතයක් නැති වාර්තාවක්. 

ව්‍යවස්ථාව සම්බන්ධව ගේන යෝජනාවට තමයි ඔබලා පහර ගහන්නේ. ඇයි මේ දේවල් කතාකරලා විසඳගන්න බැරි?

මෙහෙමයි. යෝජනාවට කලබල වීමක් නැහැ. ඒ ගොල්ලෝ යෝජනා ටිකක් වාර්තා හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකට හේතුව ඒ අයගේ දේශපාලන පැවැත්මට පක්ෂ දෙක තුනක් සතුටු කිරීමේ අරමුණෙන්. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදුවේ දේශපාලන පක්ෂ මත අනුව. ජනරජ ව්‍යවස්ථාව විතරයි රටට හැදුවේ. ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගෙනාවා එතුමාට අවශ්‍ය ව්‍යවස්ථාවක්. ඒ ව්‍යවස්ථාව බලන්න කී පාරක් සංශෝධනය වුණාද කියලා. 78 ව්‍යවස්ථාව නැති තරමට සංශෝධන වෙලා. මේ ප්‍රශ්නෙ නිසා ජනාධිපති දන්නෙත් නැහැ අගමැති දන්නෙත් නැහැ කතානායක දන්නෙත් නැහැ ව්‍යවස්ථාවේ මොනවද කියලා. ඔය බොහොමයක් වැඩකටයුතු අනුකරණවාදියි. වෙන රටවල කරන දේවල් තමයි මෙහෙට ගේන්න හදන්නේ. 

හැබැයි මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා බොහෝමයක් ආයතන ස්වාධීන වුණා නේද? 

උදාහරණයක් හැටියට ගන්නකෝ රාජ්‍ය සේවය. අද රාජ්‍ය සේවයේ මොකද වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන් විනාශ වෙලා. පහුගිය කාලේ ගත්තු ක්‍රියාමාර්ග නිසා මුළු රාජ්‍ය සේවයම බයවෙලා. ඍජු තීන්දු තීරණ ගන්න බයවෙලා. වගකීමක් ගන්න බයයි. ඒ ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ ක්‍රියාත්මක වන නිසා. 

ඔවුන් එවැනි තත්ත්වයකට පත් කළේ ඔබලා දුන්න නියෝග නිසා නේද?

ඔව් ඇත්ත. හැම ආණ්ඩුවකම එහෙම වෙලා තිබෙනවා. දැන් ජනාධිපතිතුමා කියලා තියෙනවා 2015 ඉඳන් අද වෙනකම් මේ ආණ්ඩුව කරපු දූෂණ වංචා ගැන පැමිණිලි එවන්න කියලා. පේනවානේ. ඕකයි තත්ත්වය. 

හැබැයි මේ පරීක්ෂණයක්ම නිකම් පෙනුමට විතරයිනේ. ආණ්ඩු මාරුවෙනකොට එයාලම එයාලගේ පැමිණිලි වහගන්නවා?

ඇත්ත. නිත්‍යනුකූලව පියවර ගන්න පුළුවන් වන්නේ රටේ නීතිය අනුව. ඒත් හිතන්න මේ විමර්ශන යන ක්‍රමවේදය අනුව කිසිම නිලධාරියෙක් ස්වාධීන වෙලා තීන්දු තීරණ ගනීද කියලා. පාරකට තාර ටිකක් දාන්න වුණත් ඒ නිලධාරියා දෙපාරක් කල්පනා කරනවා. මොකද අමාරුවේ වැටෙන්න කැමැති නැහැ. මොකක්ද මේ රටට වෙලා තියෙන තැන. දේශපාලන පළිගැනීම සහ දේශපාලන නායකත්ව මානසිකත්වය ඔලුවෙන් ඉවත්විය යුතු දෙයක්. ප්‍රධාන කාරණය දේශපාලන පළිගැනීම. බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම තැන ඉඳන් පටන් ගත්ත දෙයක්. මේ පළිගැනීම නිසා තමයි රටම මේ අවුලට පත්වෙලා තියෙන්නේ. 

ඔබ පක්ෂ නායකයෙක්. මේ වෙනකොට පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ අරමුණ ඉස්සරවෙලාම පළාත් සභා මැතිවරණයද නැතිනම් මහමැතිවරණයක්ද?

අපි පැහැදිලිවම කියනවා යථාර්ථවාදීව දැන් පවතින පාර්ලිමේන්තුව කිසිදු නීත්‍යානුකූල පාර්ලිමේන්තුවක් නෙමෙයි. පෙබරවාරි මාසයේ ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන සියල්ල පරාදයි. මේකෙන් යූ.එන්.පී. - ශ්‍රී ලංකා හවුලත් කඩා වැටෙනවා. ඒ නිසා අපි දැන් ගතයුතු හොඳම පියවර මහමැතිවරණය. ඒකයි අපි බලය ගත්තු ගමන් මහින්ද අගමැතිතුමයි ජනාධිපතිතුමයි එකතුවෙලා ආණ්ඩුව විසුරුවේ. ඒත් පිරිසක් ගිහිල්ලා එහෙම බලයක් නැහැයි කියා නැවත අවුරුදු හතරහමාරක් තියන්න තීරණය කළා. නමුත් දැන් පාර්ලිමේන්තුව අඩපණයි. ඒ නිසා රටත් අඩපණයි. ඒ නිසා අපි කියන්නේ ඉක්මනින්ම පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න කියලයි. 

අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ ඔබ අවුරුදු ගාණක් රටේ නායකයන් බිහිකළා. ඇයි තවමත් බොරළුගොඩ පරම්පරාවේ රටේ නායකත්වයක් ගන්න බැරිවුණේ?

ඇයි මම මේ බිහිවෙලා ඉන්නේ (සිනාසෙයි)

රටේ නායකත්වයක්....?

රටේ නායකත්වයක් බිහිකරන එක ජනතාව අතේ තීන්දුවක්. අපිට ඉටුකළ හැකි කාර්යභාරය රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ඉෂ්ඨ කරනවා. ඉදිරියටත් ඉෂ්ඨ කරනවා මීට වඩා. 

 ගයාන් ගාල්ලගේ