2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

ජනාධිපතිතුමාට අපට ඇඟිල්ල දික්කරන්න බැහැ

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 55

• යූ.ඇන්.පී. කාරයො ඉල්ලුව දේ ලැබුණෙ නැහැ

• හොඳම ජොකිය සටනට නොදැම්මොත් මම උදව් දෙන්නෙ නැහැ

• මොන දේ කරන්නත් ජනාධිපතිතුමාගෙ සහය ඕනෑ

• ආණ්ඩුවෙන් මටයි ලොකුම අසාධාරණය වුණේ

• ජනාධිපති අපේක්ෂකය තෝරන්න අපි දඟලන්නෙ මොකටද?

• මහින්ද ආණ්ඩුව වගේ අපි හිතුමතේ වැඩ කරන්නෙ නැහැ

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ

යහපාලන ආණ්ඩුව පටන් ගත්ත දවසේ ඉඳන් කිව්ව දෙයක් තමයි ඔබලාට අවශ්‍ය එජාප ආණ්ඩුවක් කියල. දැන් ඒ ආණ්ඩුව ලැබිලා තිබෙනවා. අපේක්ෂා කළ අරමුණුවලට යන්න පුළුවන් වෙලා තිබෙනවාද?

එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් නෙමෙයි, පෙරමුණු ආණ්ඩුවක් ලැබිලා තිබෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් ඉල්ලුවේ ජනතාව. හැබැයි අපි එජාපය සහ ශ්‍රීලනිපය එකතුවෙලා හදපු ආණ්ඩුව වැඩිකල් දුවන්න දුන්නේ නැහැ. කට්ටිය කකුලෙන් අදින්න ගත්තා. සමහර ප්‍රශ්න බොහොම හොඳට විසඳගෙන ගියා. ඒත් ඉතින් ආපු ප්‍රශ්න හින්දා එජාපයට බලය ආවා. ඒක ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සටනක් දීලා. කොහොම වුණත් අපිට මැතිවරණයෙන් තනි ආණ්ඩුවක් ආවේ නැහැ. අපි එකතුවෙලා තමයි 19 වැනි සංශෝධනය ගෙනාවේ. ඒ නිසා හැමෝගෙම සහයෝගය ඇතුව තමයි මේ පෙරමුණ ගොඩනැගුණේ. ඒත්, එජාප පාක්ෂිකයා බලාපොරොත්තු වූ දේ නම් ලැබුණේ නැහැ.

එජාප තනි ආණ්ඩුවක් හදන වැඩේ දැන් අත්හැරලාද?

නැහැ. තවමත් අපේ හිතේ තියෙන්නේ එජාප තනි ආණ්ඩුවක්.

එජාප පෙරමුණ ආණ්ඩුවක් ඕනමද ඉදිරියේදී රට ගැන තීරණයක් ගන්න?

නැහැ. ඒත් අපි ඉදිරියේදී හදන්නේ එජාප පෙරමුණු ආණ්ඩුවක්. අපිට ඒකට ප්‍රශ්නයක් නැහැ. මම කිව්වේ ජනතාවගේ අරමුණ. එහෙම දෙයක් ඉල්ලන්න හේතුව ඒ අයගේ ඔලුවේ තියෙන්නේ ජේ.ආර්. ජයවර්ධන යුගය. හැබැයි මොන දේ කරන්නත් ජනාධිපතිතුමාගේ සහයෝගය අවශ්‍යයි.

ජනාධිපතිවරයාගේ සහයෝගය ලැබෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද පසුගිය කාලේ එතුමා එල්ල කරපු චෝදනා එක්ක බලද්දි?

මෙහෙමයි, ජනාධිපති පත් කළේ අපි. ජනාධිපතිතුමාට කවුරු හරි දුන්න වැරදි උපදෙස් නිසා තමයි පසුගිය දවස්වල ඒ දේවල් වුණේ. එතුමා ඒ දේවල් නිවැරුදි කළා. එනිසා පහුගිය ඒ අඳුරු යුගය ගැන මතක් කරන එකේ තේරුමක් නැහැ. අපි දැන් කල්පනා කරන්නේ ඉදිරි ගමන ගැන.

ඇයි ජනාධිපතිට එහෙම දෙයක් වුණේ?

එහෙම දෙයක් වුණේ එතුමාගේ ඇඟට පක්ෂයක් කඩාගෙන වැටුණු හින්දා. ඒ නිසා ජනාධිපතිට කටයුතු කරගන්න බැරිවෙලා තිබෙනවා පක්ෂයේ වගකීම් නිසා. එනිසා එතුමාටත් හරි අමාරු තීරණ තමා ගන්න වෙලා තිබෙන්නේ. අපි කවදාවත් රටට අකටයුතුකම් කරලා නැහැ.

ඔබ එහෙම කිව්වාට ජනාධිපතිවරයා ඉන්නේ එජාප ආණ්ඩුව ගැන කලකිරීමෙන්. ඉඩම් විකිණීම්, දේපල විකිණීම් ගැන චෝදනාව ඔබලාට එල්ල කරනවා?

මම දන්නේ නැහැ එතුමා කාට කිව්වාද කියලා. නමක් කිව්වේ නැහැනේ. එතුමා විරුද්ධයි ඉඩම් විකුණනවාට. ඉතින් අපිත් විරුද්ධයි. අපි විකුණලා නෑනේ මාධ්‍ය වලින් කිව්වාට. ෂැංග්‍රිල්ලා වික්කේ කවුද? හම්බන්තොට වරාය ගිවිසුම් ගැහැව්වේ කවුද? පෝට් සිටි ගිවිසුම් ගැහැව්වේ කවුද? අපිද? ෂැංග්‍රිල්ලා එක අපට ගන්න බැහැ. පෝට් සිටි වික්ක එක අපි බේරාගත්තා. වරාය සින්න වෙන්න ගිහිල්ලා අපි බේරාගත්තේ. මේ ණය පවා අපි ගත්ත දේවල් නෙමෙයි. ඩොලර් මිලියන 15,000ක් අපි ගෙවලා තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට අපිට ඇඟිල්ල දික් කරන්න බැහැ. එහෙම දේවල් තිබ්බා නම් එතුමා කතා කරන්න ඕනෑ රාජපක්ෂලාත් එක්ක. අපි එහෙම දේවල් කරලා නැති හින්දා අපේ ඇඟට දාගන්න නරකයි.

එහෙම ඇඟ බේරාගන්න බැහැනේ. එජාප ප්‍රමුඛ ආණ්ඩුවක් තිබුණේ?

මම දෙයක් කියන්නම්. කැබිනට් එකෙන් තමයි තීන්දු තීරණ ගන්නේ. කැබිනට් එක ගන්න තීන්දු තීරණවලට හැමෝම වගකියන්න ඕන. ජනාධිපතිතුමා අගමැතිතුමා කියලා ඇඟ බේරාගන්න බැහැ. ජනාධිපතිතුමා තමයි කැබිනට් එකේ ලොක්කා. එනිසා කැබිනට් එක වැරැදි තීරණ අරගෙන තිබෙනවා නම් ඒ වැරැද්ද කැබිනට් එකේ වාඩිවෙලා හිටපු හැමෝම ගන්න ඕන. කාටවත් ගැලවෙන්න බැහැ. ඔය ජනාධිපතිතුමා කියන එකක්වත් අපිට නම් නෙමේ කියලා විශ්වාස කරන්නේ. අපි ගැන කියලා කිව්වොත් එහෙම මොකද එතුමත් කැබිනට්ටුවෙ හිටිය.

කැබිනට් එකේ ඔබලත් එක්ක එකට වාඩිවුණු ශ්‍රීලනිප පිරිසක් හිටියා. ඒ කරපු චෝදනාව තමයි ඔය ජනාධිපතිවරයා කරන චෝදනා ටික. එතකොට බොරැවෙන්න බෑ නේද?

ඔය කියන මන්ත්‍රීවරු ගොඩක් අය ඡන්දෙන් පැරදිලා ඇතුළට ආපු අය. ජනතා මතයකින් ආපු අය නෙමෙයි. ඒ අය කල්පනා කරන්නේ ඊළඟ මැතිවරණයෙන් කොහොමද ඇතුළට එන්නේ කියලා. ඒ නිසා ඒ අය එළියට ගිහිල්ලා කියන දේවල් කාටවත් පිළිගන්න බැහැ.

ඇයි එජාපයේ අය ඒවාට පිළිතුරු නොදෙන්නේ?

මොනවටද අපි පිළිතුරු දෙන්නේ. අපි වැරැද්දක් කරලා නැහැනේ.

ඊළඟ මැතිවරණය සඳහා සන්ධානයකින් ඔබලා තරග වදිනවා කියලා කියනවා. මේ අලුත් සන්ධානයේ වැඩකටයුතු කොහොමද?

පුළුල් සංවිධාන කටයුතු අපි මේ වනවිට සිදු කරගෙන යනවා. අගමැතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කළා. ඒක අපි ඒකමතිකව සම්මත කළා. ඉදිරියේදී සිවිල් සංවිධාන ඇතුළු අපි සියලුදෙනා එකතු වෙනවා. හැම මැතිවරණයකටම අපි එන්නේ මේ එකතුවෙන්. ජනාධිපති දින්නේ එජාප සියයට 95ක ඡන්දවලින්. ඒ නිසා එජාපය ප්‍රබලයි.

එතකොට කවුද මේ ජනාධිපති අපේක්ෂකයා?

අපිට ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා දඟලන්න ඕනෑ නැහැ. මේ අවුරුද්ද අන්තිමට ජනාධිපතිවරණය තියෙන්නේ. ඊට කළින් කරන්න අපිට වැඩ තිබෙනවා. ජනාධිපතිට පුළුවන් ඕනෑ නම් හෙට වුණත් මැතිවරණය කැඳවන්න. හැබැයි ඒකට වුණත් අපි ලෑස්තියි.

හොඳම අපේක්ෂකයා තෝරලා ඉවර නැද්ද තවම?

ඒක තීණ්දු කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම යෝජනා කළාට පස්සේ වෙන අයගෙ නම් යෝජනා කරන්න බැහැ. සමහර දේවල්වලට පක්ෂයේ නායකයාට බලතල දුන්නාට ජනාධිපති අපේක්ෂකයා තෝරන බලතල තියෙන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට. ඒ නිසා ඒ බලය අතට අරන් කතා කරන්න අයිතියක් නැහැ.

එක්සත් ජාතික පක්ෂය දැන් පෙරමුණක් බවට පත්වෙලා. ඉදිරියේදී සන්ධානයක් වෙනවා. එතකොට එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නෙමෙයි නේද අපේක්ෂකයෝ තෝරන බලතල එන්නේ? ඔය හදන සන්ධානවලට නේද?

මෙහෙමයි. එජාපයේ අපේක්ෂකයා තීරණය කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. එහෙනම් කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා ඉවරයි ඊළඟ ජනාධිපතිවරණය සඳහා එජාපයේ සාමාජිකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියලා. පැනපු අය දාන්න බැහැ.

යම් විදිහකට ඔය එජාපයේ තීරණවලට අනෙක් පක්ෂ අකමැති වුණොත්?

ඒක ඒ වෙලාවට තීරණයක් ගන්නවා. හැබැයි ඔය මොන දේ කළත් ඒ තීරණය වෙනස් වෙන්නේ නැහැ.

හැබැයි ගොඩක් දෙනෙක් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කියලා?

මම කිව්වානේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තමයි තීරණය කරන්නේ.

හදිසියේ වෙන කෙනෙකු දාන්න තීරණය කළොත්?

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී හොඳම ජොකියා සටනට අපි දානවා. හොඳම ජොකියා නෙමෙයි නම් මම උදව් කරන්නේ නැහැ.

මේ වෙනකොට ජනාධිපතිවරයයි හිටපු ජනාධිපතිවරයයි එකතුවෙලා වෙනම සන්ධානයක් ගොඩනගන්න යනවා. අනෙක් පැත්තෙන් ලොකු පීඩනයක් එල්ල වෙයි නේද ඔබතුමාලට?

අනිවාර්යයෙන්ම පීඩනයක් එල්ල වෙනවා. අවුරුදු විස්සක් තිස්සේ විරුද්ධ පක්ෂයේ ඉඳලත් ඒ ගොල්ලෝ ආණ්ඩු බලයක් තියාගෙන අපිට පීඩනයක් දුන්නානේ. හැබැයි එදත් අපි දින්නා. ඒ නිසා දැන් ඒ පීඩනය දැනෙන්නේ නැහැ.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලත් එක්ක අනාගතයේ ප්‍රතිඵල සසඳන්න පුළුවන් වෙයිද?

මම හිතන්නේ නැහැ ඒ ප්‍රතිඵල සංසන්දනය කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙලාවේ මිනිස්සු හොඳ කනේ පහරක් ගැහුවා. එන්න ඒ එක තේරුම් අරගෙන වැඩකටයුතු කරන්න ඕනේ.

ඔබලාට විපක්ෂයෙන් එල්ල වෙන චෝදනාවක් තමයි මැතිවරණ කල්දානවා කියන එක?

අපි කිසිම මැතිවරණයක් කල්දාලා නැහැ. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා මැතිවරණ කෑලි කඩලා තිබුණේ එතුමාගේ වාසියට. අපි නම් ඔක්කෝම එකට තියන්නේ. මම කැමැතියි මැතිවරණ සියල්ල එක දවසේ තියෙනවා නම්. එතකොට ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඊට පස්සේ වැඩක් කරන්න පුළුවන්. පේනවානේ පහුගිය කාලේ රට පිටුපස්සට ගිය හැටි. ඩොලර් මිලියන 1600ක් අපිට නැතුව ගියා. මේ මැතිවරණ නිසා කොච්චර වැඩ අතපසු වෙනවාද කියලා කාටවත් තේරෙන්නේ නැහැ.

ඔබලා දිගින් දිගටම කිව්ව දෙයක් තමයි මේ පහුගිය ආණ්ඩුව නිසා එජාප පාක්ෂිකයාට දෙයක් කරගන්න බැරිවුණා කියලා. දැන් ඒක කරගන්න පුළුවන් වෙලා තිබෙනවානේ?

එජාප පාක්ෂිකයා බලාපොරොත්තු වුණ දේ අපිට කරගන්න බැරුව ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයා ලක්ෂ පහෙන් දුවන්න පුළුවන් රාජ්‍ය සේවයට ලක්ෂ දහසයක් එබුවා. ඒ නිසා අපේ ප්‍රධාන අරමුණ වුණේ අඩු පඩිය වැඩි කරන එක. ඒ හරහා කාර්යක්ෂමතාව වැඩිකරන එක. වෙලා තියෙන්නේ දැන් එජාප පාක්ෂිකයොත් බලාපොරොත්තු වෙන්නේ අලුතින්ම රජයේ රස්සා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ හිතුමතයට අපිට වැඩ කරන්න බැහැ.

හැබැයි ඔබලා අරමුණු වුණු ආයෝජන ප්‍රමාණයවත් ගේන්න බැරුව ගියා නේද?

ආයෝජන ගේන්නේ කොහොමද පහුගිය කාලේ වෙච්ච දෙයින් රටට ආපු ආයෝජන 1600ක් නැවත හැරිලා ගියා. අනවශ්‍ය ලෙස රාජපක්ෂවරු ණය ගත්ත නිසා රටෙන් කෑලි තමයි දෙන්න වුණේ එයාලට. ඒ නිසා රටට ආදරය නැති මිනිස්සු රට බාරගත්තාම එහෙම වෙනවා.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරුකරන්න මේ වෙනකොට සටනක් යනවා. මේ රේගු ප්‍රශ්නය පිටුපස්සේ ඔබතුමාත් ඉන්නවා කියලා ආරංචියි. ඒක ඇත්තද?

රේගුවේ කවුරු හිටියත් මට ප්‍රශ්නයක් නැහැ. ඔය මැතිණිය මම දන්නේ මඩකළපුවේ දිසාපති වෙලා ඉන්න කාලේ ඉඳන්. එතුමිය සමග මම කටයුතු කරලා තිබෙනවා. එතුමිය දක්ෂ නිලධාරිනියක්. මම නීති විරෝධී දේවල් කරන්නේ නැති ව්‍යාපාරිකයෙක්.  කවුරු හරි කියනවා නම් මම මේකට සම්බන්ධයි කියලා ප්‍රථම වතාවට තමයි මම ඒක ඔයාගෙන් ඇහුවේ. කියන අයට එහෙම කියන්න කියන්න.

ඔබ පිටරටින් ගෙනෙන කරුංකා සහ ගම්මිරිස් ව්‍යාපාරය පිටුපස ඉන්නවා කියන්නේ ඇත්තද?

ගම්මිරිස් විෂය මට තිබ්බාට ඒක ගෙන්වන්නේ මුදල් අමාත්‍යංශයයි කස්ටම් එකයි මැදිහත් වෙලා. එහෙම වැරුදියට ගම්මිරිස් ගෙනැල්ලා ඉන්දියාවට යවනවා නම් ඒකට වගකියන්න ඕන නිලධාරීන්. ඕකට අමාත්‍යංශ තුනක් අයිතියි. මට එකක්වත් අයිති නැහැ. හැබැයි මම ඔය ගැන කතා කළා. සී.අයි.ඩී. එකේ පැමිණිලි දැම්මා. ඉන්දියානු මහ කොමසාරිස්ට දැනුම් දුන්නා. ඒ නිසා ප්‍රති අපනයනයටවත් ඉන්දියාවට ගෙනියන්න ගම්මිරිස් මෙරටට ගෙන්වන්නේ නැහැයි කියලා කැබිනට් තීරණයක් ගත්තා. ප්‍රතිඅපනයනයේ වුණු දේවල් අපිවත් දන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රතිඅපනයනය නවත්වන්න තීරණයක් ගත්තා.

ඒ කියන්නේ දැන් මේ නීතිය ක්‍රියාත්මකද?

ඒක ඉතින් ඒ ඒ අමාත්‍යවරු දැනගන්න ඕන නීතිය ක්‍රියාත්මක කරන්න. මගේ අමාත්‍යංශය හරහා ගම්මිරිස් ගේන්න ඉඩදීලා නැහැ.

ඔබ දිගාමඩුල්ල නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඔබට ආසන්නයේ පිහිටි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇමෙරිකානු යුද කඳවුරක් නිර්මාණය කරන්න කටයුතු කරනවා කියලා චෝදනාවක් තිබෙනවා. ඒක ඇත්තද?

එහෙම කැබිනට් එකට කිසිම දෙයක් ආවේ නැහැ. එහෙම දේවල් දන්නේ අපි පත්තරවලින්. මම දන්න හැටියට අමෙරිකාවත් එක්ක ගිවිසුම් අස්සන් කරලා තියෙනවා. ඒ මේ යුද පුහුණුව සඳහා මිසක් වෙන දේවල් සඳහා නෙමෙයි. අමෙරිකාව කියන්නේ අපේ හිතවතෙක්.

මැති ඇමැතිවරු පහුගිය කාලේ මාරුවෙන අස්සේ ඔබගේ නමත් ආවා පොඩි පිම්මකට ලෑස්ති වෙනවා කියලා. ඒක ඇත්තද?

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පක්ෂ මාරුකරලා අනෙක් පැත්තට ගියත් මේ දයා ගමගේ යන්නේ නැහැ.

අවසන් වශයෙන් අහන්නේ ඔබ එජාපයේ ඉන්න ප්‍රබලයෙක්. එජාපයට මුදල් වියදම් කරපු කෙනෙක්. ඔබ එජාප ආණ්ඩුවක් හරහා ජනතාවට දෙන්න බලාපොරොත්තු වුණු දේ වර්තමානයේ දෙන්න පුළුවන් වුණාද?

එක්සත් ජාතික පාක්ෂිකයන් තියා මටවත් කරගන්න බැරුව ගියානේ. මගේ සෙවනගල සීනි කර්මාන්තායතනය කැලෑ නීතියක් ගෙනැල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා පවරා ගත්තා. ඒ ගත්තේ එජාපයට සල්ලි වියදම් කරන නිසා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා පොරොන්දුවක් වුණා කෘත්‍යාධිකාරී මණ්ඩලය වගේම පාර්ලිමේන්තුවේදීත් නැවතත් බලය ආපු ගමන් සීනි කර්මාන්ත ශාලාව නැවතත් ලබාදෙනවා කියලා මට. ඒත් අපේ ආණ්ඩුවක් ඇවිත් අවුරුදු 4 ගතවෙලත් මට වන්දි හම්බවෙලත් නෑ. මට තාම සෙවනගල හම්බවෙලත් නෑ. ඒ විතරක් නෙමෙයි ඒකට ගෙනාපු නීතිය නිසා ආයෝජකයෝ එන එකත් දැන් නැවතිලා. ජර්මනියට ගිහිල්ලා ජනාධිපතිතුමත් එක්ක එතැනදි හමුවුණු ව්‍යාපාරිකයෙක් කිව්වා ඔබලත් එක්ක ව්‍යාපාර කරන්න බැහැ. ඔබලාගේ මිනිස්සුන්ගේත් ව්‍යාපාර රජයට පවරා ගන්නවානේ කියලා. ඔහු මම කියලා නොදැන කිව්වේ. මම ඉතින් මගේ ගැන නොකියා මම කිව්වා ඒ ගිය ආණ්ඩුව. මේ ආණ්ඩුව එහෙම නැහැ කියලා.

ඔබ එහෙම කිව්වාට ඔබටත් මේ ආණ්ඩුවෙන් වෙච්ච සෙතක් නැහැනේ?

ඔව් ඉතින්. මට තමයි ලොකුම අසාධාරණය වෙලා තියෙන්නේ.

ඔබට පුළුවන්නේ අගමැතිත් එක්ක සාකච්ඡා කරලා මේක විසඳගන්න?

එතුමා දැනගන්න ඕන ඒක දෙන්න. දෙන එකට වැඩිය ඒ ඇක්ට් එක අයින් කරන්න. මේ ඇක්ට් එක නිසා කිසිම ආයෝජකයෙක් එන්නේ නැහැ. අපි මේ ආණ්ඩුව පිහිටෙව්වේ අසාධාරණයට විරුද්ධව වැඩ කරනවා කියලා. ඒත් වෙලා නැහැ.

►ගයාන් ගාල්ලගේ