2019 ජනවාරි 12 වන සෙනසුරාදා

ඇමැතිකම් ගන්න අද කට්ටිය මරාගන්නවා

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 72

හොඳම ඡන්ද පදනම තියෙන අපේක්ෂකයා තමයි තෝරාගන්නේ

සමහරු අපි අතරේ ගැටුම් ඇති කරන්න හදනවා

සහන නොලැබී ජනතාව හෙම්බත් වෙලා

ඒ ගොල්ලො වටින් ගොඩින් කියන්නෙ ෆෙඩරල් කතාවම තමයි

පාරේ ඉන්න අයගේ යෝජනා තමයි ව්‍යවස්ථා කෙටුම්පතේ තියෙන්නේ

යූ.එන්.පී.ය හැමදාම කළේ මහින්ද මහත්තයාට බණින එක

මාව ඉවත් කරලා ඡන්ද දහයක්වත් නැති අයෙක් සංවිධායක කළා

එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක

ඔක්තෝබර් 26 වැනිදා බල පෙරළියත් එක්ක රටේ යම් ආකාරයක තිගැස්මක් ඇතිවෙලා තිබෙනවා. ඒක නිසා දෙපාර්ශ්වයටම පීඩනයක් එල්ල වෙලා තිබෙනවා. නිකම් අවුල් වෙලා වගේ නේද වැඩේ?

ඇත්තම කියන්න ඕන එදා ඒ පෙරළිය සිදු නොකළා නම් අද ඔබයි මමයි කතා කරන මොහොතේ මේ රට බෙදන ව්‍යවස්ථාව සිදුවෙලා ඉවරයි. අපි විපක්ෂයක් හැටියට නැගෙනහිර පළාතෙන් අමෙරිකාවට දෙන්න ගිය ඉඩම් පවා නවත්වලා දැම්මා.

ඇයි ඉතින් එච්චර ලොකු අරමුණක් තියාගෙන ආපු ඔබලාට වැඩිකල් බලයේ ඉන්න ලැබුණේ නෑනේ?

මේ සිද්ධියත් එක්ක හැමතැනින්ම මුදල් දෝලනය වෙන්න ගත්තා. පිරිසක් ඉන්නවා වරදාන වරප්‍රසාදවලට රට පාවාදෙන. අන්න ඒ පිරිස ඒ පැත්තට මේ පැත්තට පැන්නා. ඒ අය රට පාවා දෙන පිරිසයි. හැබැයි ඒ අය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඒ ගමනට එක්වුණා කියලා. නමුත් පේනවානේ ඇමැතිකම් ගන්න ගියාම කට්ටිය මරාගන්නා හැටි.

දැන් ඔබතුමාලා කියනවා ඔබතුමාලගෙන් ඉවත් වෙලා ගිය කට්ටිය එහෙම ගියෙත් ධනය, බලයට පෙරේතකමින් කියලා. ඒත් ඔවුන් කියන්නේ රාජපක්ෂලා සමඟ වැඩකරන්න බෑ කියලා?

ඒ පෞද්ගලික අපේක්ෂාවන්, අරමුණු තිබෙන කට්ටියගේ බේරෙන්න කියන කතා. පොදු අපේක්ෂාවන් එහෙම නෙමෙයිනේ. නමුත් ඒ ගොල්ලෝ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තමයි පොදු අරමුණ කියලා. හැබැයි ඇත්ත, ඒ අයගේ තම පෞද්ගලික අපේක්ෂාවන්. මම උදාහරණයක් කියන්නම්. ගාල්ලේ සිද්ධියේදී මහින්ද රාජපක්ෂ මහත්තයාට හිතවාදීව සිටි අය වට්ටන්න දෙන්නෙක් හැදුවා. අන්තිමට ඒ දෙන්නම පැදුරටත් නොකියාම මාරුවුණා. ඒ නිසා ඔය කතා ඔක්කොම ජීවිතේ බේරාගන්න කියන ප්‍රයෝග.

අර ඔබතුමා කිව්ව ප්‍රයෝගවලට අනුවද කට්ටියම ශ්‍රීලනිපයෙන් අයින් වෙලා ගිහින් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ?

අපි උපන්ගෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු. සිරිමාවෝ මැතිනිය තමයි මාව ආසන සංවිධායක හැටියට පත්කළේ. එහෙව් මම මමවත් නොදැන සංවිධායක කමින් ඉවත් කළා. එහෙම ඉවත් කරලා ඡන්ද දහයක්වත් නැති පුද්ගලයෙක්ව සංවිධායක කළා. ඒකෙන් පෙනෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දියවෙනවා කියලා. අපිටත් ඒ එක්කම දියවෙන්න වෙන්නේ. ඒ නිසා අපි ව්‍යංගයෙන් ඔය පොදුජන පක්ෂයට උදව් කළා.

ඒ කියන්නේ ඔබතුමාලට එල්ලෙන්න වැලක් නැතිව හොයාගත්ත වැලක්ද පොදුජන පක්ෂය?

ඒක ඉතින් ඕන කෙනෙකුට ඕන විදිහට හිතාගන්න පුළුවන්.

ඉතින් ඒ වැලේ එල්ලුණා නම් වැලේ එල්ලිලා ඉන්නේ නැතිව ඇයි ඒ වැල අතහැරලා ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවේ. ඔබලා පක්ෂ සාමාජිකත්වය අතහැරලා?

පක්ෂ සාමාජිකත්වය ගත්තේ නෑ. අපි ගිහින් ඒකට ඇතුළු වෙන්න අයැදුම්පත් දැම්මා. ඒ අයැදුම්පත හෝ පක්ෂ සාමාජිකත්වය දෙනවද නැද්ද කියලා ඒ අය තමයි තීරණය කරන්නේ. තාම අපිව පක්ෂයට අරගෙන නැහැ. එහෙම ගත්තේ නැති නිසා අපි පක්ෂෙ නෙමෙයි කියලා කියනවා.

හැබැයි ඔබලා මාධ්‍යයත් කැඳවලා පක්ෂ සාමාජිකත්වය මහින්ද රාජපක්ෂ මහත්තයා අතින්ම ගත්තේ නැද්ද?

ඒක අපේ පෞද්ගලික වැඩක්. එක එක ප්‍රයෝග තිබෙනවා. ඒවගේ එක ප්‍රයෝගයක් තමයි ඕකත්.

දැන් ඔබලා කෙළින්ම කියන්න මොකක්ද පක්ෂය කියලා?

අපි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු තවම.

ඔබලා ගැලවිල්ලට එහෙම කිව්වාට වෙනත් පක්ෂවල සාමාජිකත්වය ගත්ත නිසා ආර්. සම්පන්දන් මහත්මයා විපක්ෂනායක කම නොදී ඉන්න තීරණය කරලා තිබෙනවා?

ඒ එතුමාගේ විකාර කතා. රටේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තිබෙනවා. ඒවාට ගරු කරන්න ඕන. එතුමාගේ වයසත් එක්ක එතුමාට දැන් දැනෙන්නේ නැහැ.

විරසක වෙලා හිටිය මහින්ද මෛත්‍රී දෙන්නා නැවත එකතු වෙනවා. දැන් මෙතැනින් ඉස්සරහාට ගමන මේ දෙන්නා එකටද?

අපි ඉස්සරලාම කථිකාවතකට එන්න ඕන. ඒ තමයි මේ සිදුවුණු වැරදි නිවැරදි කරගන්න කළයුතු මොනවාද කියලා.

කථිකාවත මුලදීම ඇවිල්ලා පිරිසක් විරුද්ධ වුණා නේද මෛත්‍රීත් එක්ක එකට යන ගමන හොඳ නෑ කියලා?

ඔව් ඉතින් කෙනෙකුට කැමැති වෙන්නත් පුළුවන්. විරුද්ධ වෙන්නත් පුළුවන්.

වෙල්ගම මහත්තයා නම් වැඩේ වෙන්න කලින්ම ප්‍රසිද්ධියේ කිව්වා මේකෙන් දෙගොල්ලොම සවුත්තු වෙන වැඩක් කියලා. බලනකොට වැඩේ ඇත්ත නේද?

එක එක්කෙනාට එක එක සිතුවිලි අනුව හිතන්න පුළුවන්. සිතුවිලි වෙනයි ප්‍රායෝගිකව කරනකොට වෙනයි.

හැබැයි එජාපය කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අවුරුදු දෙකකට කළින් වගේ වැඩේ නැවතත් අනාගත්තා කියලා?

කිතුල් ගහකට නැග්ග මිනිහාටත් කියන්න දේවල් තිබුණානේ. ඔය අයට මහින්ද රාජපක්ෂට බනිනවා ඇරෙන්න වෙන දෙයක් නෑනේ. හැමදාම මහින්ද හොරා. නමුත් මේ අය කරන්න පුළුවන් ඔක්කොම හොරකම් කළා. ඉඩම් පවා උගස් කළා. මේ අය කාලයකදී ලසන්ත වික්‍රමතුංගලා වගේ මාධ්‍යවේදීන් කරළියට ගෙනාවා රාජපක්ෂලාට මඩ ගහන්න. ඒත් වෙච්ච සෙතක් නෑ. මේ ලෝකේ හංගන්න බැරි දේවල් තුනක් තිබෙනවා. එකක් ඉර. අනෙක හඳ. තුන සත්‍යය. සත්‍යය කවදා හරි එළිවෙයි.

ජනාධිපතිවරයා කියනවා මේ සියලු අවුල් නිරාකරණය කරන්නයි 26 වැනිදා වෙනස සිදුකළේ කියලා. ඒත් ඒක ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් හැටියටයි ආණ්ඩුවේ අය සලකන්නේ?

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදපු වෙලාවේ කොල්වින් ආර් ද සිල්වා සහ එන්.එම්. පෙරේරා මහත්වරු කිව්වා තව අවුරුදු විස්සකට පස්සේ රටේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නේ අධිකරණයෙන් කියලා. දැන් ඒක ඇත්තවෙලා නැද්ද?

ඔබ ඔය වක්‍රාකාරයෙන් කියන්නේ අධිකරණ තීන්දු නිසා රටට බලපෑමක් එල්ල වෙන්න පුළුවන් කියලාද?

නැහැ එහෙම කියන්නේ නැහැ. අපි අධිකරණ තීන්දුව හිසනමා පිළිගන්නවා. හැබැයි සමහර තීන්දුවලින් රටක පවතින ආර්ථික දේශපාලන සමාජයීය වශයෙන් සමාජ වෙනස් වෙන්න පුළුවන්. ඒ දේශපාලන පරිහානියක්.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවපු එක නෙමෙයි ඔතන ප්‍රශ්නය වුණේ, ඔබලාට එකසිය දහතුනක් හදාගන්න බැරිවීම නේද?

ඒක එහෙම කියන්න බෑනේ. දැන් මේ ආණ්ඩුවේ පළවෙනි සම්මතයටම තිබ්බේ 102යි ඡන්ද. ඒකෙන් පේන්නේ ඒගොල්ලන්ටත් 113 හදාගන්න බැරිවුණා කියලා නේද... පුදුම වැඩේ කියන්නේ අපේ තරුණයන් දසදහසකට වැඩිය මරපු ජේ.වී.පී. එකටත් එජාපය හොඳ වුණ එකයි. ඔබ දකින්න ඇතිනේ ජේ.වී.පී. එක එදා පාර්ලිමේන්තුවේ හැසිරුණු හැටි. ඒකෙන් පේනවා මේ කණ්ඩායම කොහෙද ඉන්නේ කියලා. මේ ප්‍රතිඵල නිසා තමයි හරීන්ලට සරමත් නැතිව පාර්ලිමේන්තුවෙන් එළියට යන්න සිදුවුණේ.

පසුගිය සිකුරාදා ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. හැබැයි ඔබලා ඒකෙන් නැති භූතයෙක් මවාපාන්න හදනවා?

කිසිම මවාපෑමක් නෑ. අපිත් ඉන්නවා පාර්ලිමේන්තුවේ. අපි නිතර කියන දෙයක් තමයි මේක සාකච්ඡා කරන්න කෙටුම්පතක් ලබාගන්න කියන එක. ඒත් වෙලා තියෙන්නේ පාරේ ඉන්න වැඩක් නැති මිනිස්සුන්ගේ යෝජනා තමයි පාර්ලිමේන්තුවට එන්නේ. කොටින්ම කිව්වොත් 225 යෝජනාත් එතන නෑ. අපි අපේ යෝජනා ලබාදුන්නා.

ඇයි ඉතින් ඕක කෙටුම්පතක් හැටියට ගන්න බැරි?

අපි කියලා තිබෙනවා. තවම දීලා නැහැ.

මීට කලින් ඔය යෝජනා ව්‍යවස්ථා සම්පාදන කමිටුවට ඉදිරිපත් කරනවා නේද? එතැනදී කතාකරගන්න බැරිද ඒවා?

අපි එතැනදීත් කියලා තියෙන්නේ. අපි කියලා තියෙනවා මේක හරියන්නේ නෑ කවදාවත් කියලා. නමුත් ඒ අය අහන්නේ නැහැ. ඔය පාරේ යන තුන් හතර දෙනෙක් යෝජනා ගෙනැල්ලා කෙටුම්පතක් කියලා පාර්ලිමේන්තුවට දාන්න හදනවා. ඒ යෝජනාවලත් තිබෙනවා බලය බෙදන්න ඕන කියලා. ඒ ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ.

දැන් ඔය ඔබලා දුන්නු යෝජනා කවුද අයින් කරලා තිබෙන්නේ?

කමිටුවට එන්න කලින් තමයි ඉවත් වෙලා තිබෙන්නේ.

ඔබලා කියනවා පෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න කියලා. නමුත් ටී.එන්.ඒ. එකෙන් කියනවා එහෙම කිසිම දෙයක් නැහැයි කියලා.

අපි නොමෙයි එයාලමයි කිව්වේ. එයාල දුන්නු උත්තර පහුගිය කාලේ බලන්නකෝ. ඒවල තියෙන්නේ ඔය පෙඩරල් කතා තමයි. ඔවුන් කෙලින් කියන්නේ නැහැ ඒ ගැන. වටින් ගොඩින් තමයි කියන්නේ ඒ ගැන.

ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නකොට එහෙම රට බෙදීමේ ව්‍යවස්ථාවක් ගෙනෙයිද?

අපි නෙමෙයිනේ එයාලාගේ හැසිරීම ඉතිහාසයේ ඉඳලාම දන්නවා. අර විජයදාස රාජපක්ෂ මහත්තයා කිව්වේ වැසිකිළි අස්සේ කරපු දේවල්. මේවා මේ අපි කියන දේවල් නෙමෙයි. ඒ අය විසින්ම හදාගත්ත කතා.

මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා තව මාස දෙක තුනකින් ආණ්ඩුව පෙරළනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් පෙරළෙනකම් බලන් ඉන්නේ. ඇත්තටම ඔය කියන දේ කරන්න පුළුවන්ද?

එය කාලය තමයි තීරණය කරන්නේ. කාලයත් සමග යන දහමක් තමයි. දැන් ජනතාවත් සූදානම් වෙලයි ඉන්නේ. ජනතා සහන ජනතාවට නැතිවෙලා හෙම්බත් වෙලා ඉන්නේ.

ජීවන බර විතරමද ආණ්ඩු පෙරළියකට හේතුව?

නෑ. ඒකීය බව රැකගන්න ඕන. රට සංවර්ධනය කිරීම, ගුණධර්ම ආරක්ෂා කිරීම වගේ දේවල් තමයි අපේ මූලික පරමාර්ථ වෙලා තිබෙන්නේ.

ඔය අද ඔබතුමාලා ගොඩනගන්න හදන දේවල් එදා ඔබතුමාලට විරුද්ධව ආපු චෝදනා. ඒ නිසයි පැරදුණේ? දිනයි කියලා හිතනවාද?

දිනනවා. ඒ බොරුව සමාජගත කරපු නිසානේ අද මිනිස්සුන්ට තේරිලා තිබෙන්නේ මේ බොරැව ගැන. ඒ නිසා ජනතාව පෙළගැහිලා ඉන්නේ මේ ආණ්ඩුවේ අශීලාචාර ක්‍රියාවලට එරෙහිව. මොවුන් මහබැංකුවේ මූල්‍ය වංචාව සිද්ධ කළේ එළිපිට. ඒවා ජනතාවගේ ඔලුවේ තිබෙනවා. අමතක නෑ කාටවත්.

මේ වසරේ තීරණාත්මක මැතිවරණ කිහිපයක් එනවා. ඔබතුමාලා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මොන ලකුණෙන්ද?

ඒක අපි බලමු ඉදිරියේදී. ඉදිරියේදී සාකච්ඡා කරලා තමයි තීරණයකට එන්නේ. දැන් අපි සියලු දෙනා එකට ඉන්නේ.

දැන් එක කණ්ඩායමක් කියනවා ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා. ඔබතුමාලා කියනවා වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. ඇත්තටම කවුද අපේක්ෂකයා?

දැන් කල් වැඩියි ඒක කියන්න. අපි සන්ධානගත වුණාට පස්සේ ඒක තීරණය කරන්නම්. අපි අතරේ වෛරයක් බෙදීමක් ඇති කරන්න කට්ටියක් හදනවා. ඔය ප්‍රශ්නෙත් ඒ වගේ එකක් වෙන්න පුළුවන්.

ඒ කියන්නේ ඔය තීරණය ගන්නකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඔබතුමාලත් එක්ක එක මේසයේ වාඩිවෙනවාද?

පැහැදිලිවම. දෙගොල්ලන්ට දෙපැත්තේ ඉඳන් වැඩකරන්න බැහැනේ. එක පැත්තක ඉඳලා වැඩකරන්න ඕන. එක ගමනක් යන්න ඕන. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තෝරන්න එතුමාත් අපිත් එක්ක වාඩිවෙනවා. මොකද හොඳම ඡන්ද පදනම තිබෙන අපේක්ෂකයා තමයි අපි තෝරන්න ඕන.

►ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00