2020 මාර්තු 14 වන සෙනසුරාදා

මේ ආණ්ඩුවට රවීවත් අල්ලගන්න බැරි වුණා

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 157

මහ ඡන්දෙන් පස්සේ පක්ෂ බලය අල්ලනවා
කොරෝනා ගැන ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ
අපි යූ.ඇන්පීයෙන් එලෙව්වොත් ඉතුරු වෙන්නේ බෝඩ් එක විතරයි
රට හදන්න 2/3 බලයක් මොකටද?
පක්ෂය දෙකට බෙදීමෙන් අපට වාසියි
මේක පක්ෂයේ ප්‍රශ්නයක් නොවේ. පක්ෂ නායකයගේ ප්‍රශ්නයක්
ඡන්ද ප්‍රතිඵල ලැබුණාම අපේ බලය කාටත් තේරේවී

- එ.ජා.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

ඔබ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්ද නැත්නම් වෙනත් පක්ෂයක සාමජිකයෙක්ද?

කෘත්‍යාධිකාරයේ අවසරය දුන්නු සන්ධානයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයෙක් හැටියට තමයි හඳුන්වන්න කැමති.

හැබැයි එක්සත් ජාතික පක්ෂය මේ සන්ධානයට නෑනේ?

ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ. මේ අය අපිට අනුමැතිය දීලා පස්සේ සන්ධානෙන් ඉවත් වුණාට අපිට කළ හැකි දෙයක් නෑ. හැබැයි ඒ අය අපට අවසරය දීලා තියෙන්නේ. 

එතකොට එක්සත් ජාතික පක්ෂය නැතිව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විතරක් එකතුවෙලා සන්ධාන හදන්නේ කොහොමද?

මේක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නයක් නෙවෙයි. මේක එක්සත් ජාතික පක්ෂයේ නායකයගේ ප්‍රශ්නයක්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නායකයා සමඟ ඉන්න හතරපස් දෙනෙකුගේ ප්‍රශ්නයක් මේක. හැබැයි මතක තියාගන්න පාක්ෂිකයන් එතන නෑ. පාක්ෂිකයො ඉන්නේ අපිත් එක්ක.

එක්සත් ජාතික පක්ෂයේ නායකයත් නෑ. සාමාජිකයොත් කීපදෙනෙක් නෑ. එහෙම තියාගෙන ඡන්ද කරලා ඇත්තටම දිනන්න පුළුවන්ද?

පැහැදිලිවම අපි පසුගිය කාලයේ ජනතාව අතරට යනකොට ජනතාව අතරේ විශාල උනන්දුවක් තියෙනවා එළඹෙන ඡන්දේ සම්බන්ධව. ඒකට හේතුව තමයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් ඡන්දවලට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් පාක්ෂිකයන්ට යම් එපාවීමක් තිබුණා. අද ඔවුන් ඉන්නේ විශාල උනන්දුවකින් නව සන්ධානයත් එක්ක. විශේෂයෙන් මධ්‍යස්ථව හිටිය අය අද අපිත් එක්ක ඉන්නේ. විශේෂයෙන් ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඒ ප්‍රබෝධමත් වීම නව සන්ධානය කෙරෙහිත් ඒ වගේම තිබෙනවා.

අපි දැක්කා එක්තරා ස්වාමීන් වහන්සේලා පිරිසක් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඉඳන් කියනවා ආයෙ පාර්ලිමේන්තු එන්න ඕනනම් දිනන්න ඕනනම් අලියා ලකුණින් පක්ෂයෙන් ඉල්ලන්න කියලා. මොකද හිතන්නේ ඒ ගැන?

ස්වාමීන් වහන්සේලාගේ ප්‍රශ්නවලට යෝජනාවලට අපි උත්තර දෙන්න අවශ්‍ය නෑ. හැබැයි මේ මැතිවරණයේදී ජනතාව ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා එක්කද රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්කද කියලා ජනතාව පෙන්වලා දෙයි.

හැබැයි අවුරුදු ගාණක් අලියා ලකුණට හුරු වුණු පාක්ෂිකයන් අභිමානයෙන් ‘මම අලියට’ කිව්ව පාක්ෂිකයා මේ අලුත් සන්ධානෙට ඡන්දය දෙයි කියලා හිතන්න පුළුවන්ද?

මතක තියාගන්න පක්ෂය තියෙන්නේ ඒ නායකයන්ගේ අතේවත් නිලධාරීන්ගේ අතේවත් නෙවෙයි. පක්ෂය තියෙන්නේ ජනතාව අතේ. ජනතාව මෙවර මහ මැතිවරණයේදී පක්ෂය තියෙන්නේ කොයි පැත්තෙද කියලා පෙන්නයි. ඒක කොයි කාට කාටත් බලාගන්න පුළුවන්.

දැන් එජාපය වෙනම. ඔබලගේ සන්ධානය වෙනම. හිතෙන්නේ නැද්ද වෙන වෙනම ඉල්ලලා ඡන්ද දෙකට බෙදිලා අවාසිසහගත තත්ත්වයක් උදා වෙයි කියලා?

මමනම් හිතන්නේ මෙතන තියෙන්නේ අවාසියට වඩා වාසියක්. ඒ වගේම බෙදෙනවද කියලා බලන්න ඕන දෙකට මැද්දෙන්ද නැත්නම් එක පැත්තකට වැඩිපුරද කියලා නෙවෙයි. මේකෙදි පැහැදිලිවම බෙදෙන්නේ අපිට 95%ක් එජාපයට 5%ක් වශයෙන්.

ඉතින් පක්ෂෙකට 5%ත් වැදගත් නැද්ද? 

5%ක් අහිමි වුණාට අපිට මධ්‍යස්ථ තරුණ ප්‍රජාවගේ ඡන්ද ඒ වගේ තුන් ගුණයකින් ලැබෙනවා. ඒ හරහා අපිට ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ මේ බෙදීම හරහා අපිටනම් අවාසියක් නෙවෙයි. වාසියක් වෙන්නේ.

මහ ලේකම් අකිල විරාජ් මහත්මයා සංවිධායකයන්ට ලියුමක් යවලා තියෙනවා ව්‍යවස්ථාවේ වගන්ති සඳහන් කරමින් පක්ෂෙට උදව් කරන්න කියලා. නොකියා කියලා තියෙනවා වෙන දේවල්වලට උදව් කරලා දඬුවම් ලබන්න වෙයි වගේ කතාවක්. ඔබ හිතනවද මේ වගේ තත්ත්වයක් තුළ සංවිධායකවරුන් බය නැතිව ඔබලා එක්ක හිටගනියි කියලා?

අපිට ගොඩක් සංවිධායකවරු ඒ සිද්ධියෙන් පස්සේ කතා කළා. හැබැයි ඒ කිසි කෙනෙක් ඒ ලියුමට බයේ නෙවෙයි ඉන්නේ. මහ ලේකම්තුමා මෙවැනි ලියුම් යැවීමෙන් සිද්ධ වෙන්නේ තවදුරටත් පක්ෂයට හිතවාදී පිරිස් පක්ෂෙන් ඈත් වන එකයි. විශේෂයෙන් පාක්ෂිකයා විරසක කරගැනීමක් තමයි වෙන්නේ. සමහරක් විට එකට හිටියනම් ඒ පාක්ෂිකයෝ අකිල විරාජ් මහත්මයටත් මනාපයක් දෙන්න තිබුණා.

අකිල විරාජ් මහත්මයා තරග කරන්නේ ඔබත් එක්ක. ඔබ කියන්නේ අකිලට මේ බෙදීමෙන් අවාසි වෙයි කියලද?

බෙදීමෙන් විතරක් නෙවෙයි මෙවැනි ලියුම් යොමු කිරීම හරහාත් පාක්ෂිකයා විරසක කරගැනීමක් වෙන්නේ. ඒ නිසා මීට වඩා කල්පනාකාරීව වැඩ කරන්න ඕන.

මේ කඳවුරේ ඉන්න බොහෝදෙනෙක් චෝදනා කරනවා ආණ්ඩුව එකක් ඩීල් දාගත්ත පිරිසක් එජාපයේ ඉන්නවා කියලා. හැබැයි කවුරුත් නම් කියන්නේ නෑ. ඔබටවත් පුළුවන්ද ඒ කවුද කියලා නමක් කියන්න?

අපි පසුගිය කාලේ ඔය ගැන දිගින් දිගටම කතා කළා. ජනතාව දන්නවා ආණ්ඩුවත් එක්ක වැඩියෙන්ම ඩීල් කරන්නේ කවුද කියලා. අවුරුදු හතරහමාරක ආණ්ඩු කෙරැවාව තුළ රාජපක්ෂලා රැක්කෙත් කවුද කියලා හැමෝම දන්නවා. කැබිනට් එකේ වැඩිවෙලා දුරකථන ඇමතුම් අරගෙන රාජපක්ෂලට කැබිනට් එකේ වෙන දේවල් අහන්න දුන්න අය ඉන්නෙත් ඒ පැත්තේ. ඒ නිසා ඔය චෝදනා කරන අය වගේම රටේ ජනතාවත් දන්නවා ඒ කවුද කියලා.

යම් ආකාරයකින් ඔබලට විරුද්ධව විනය ක්‍රියාමාර්ග අරන් එජාපයෙන් නෙරපුවොත්, මොකද කරන්නේ?

එහෙම නෙරපනවනම් මුළු පක්ෂයම නෙරපන්න ඕන. මොකද මුළු පක්ෂෙම ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයත් එක්ක. අපි එලෙව්වොත් ඉතුරැ වෙන්නෙත් පක්ෂයේ බෝඩ් ලෑල්ල විතරයි. මතක තියාගන්න සමස්ත එක්සත් ජාතික පක්ෂ බලඇණියම ඉන්නේ අපිත් එක්ක. ඒක පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා බේරගන්න පුළුවන් එකක් නෙවෙයි.

සන්ධානේ ලකුණ දුරකථනයද, හංසයාද?

අපි දුරකථනයෙන් තමයි තරග කරන්නේ.

හංසයා ලකුණ ගන්න රවී කරුණානායක මහත්මයා එක්ක ගනුදෙනුවක් තිබුණද?

යම් යම් සාකච්ඡා කිහිපයක් තිබුණා. හැබැයි කොන්දේසි කිහිපයකට එකඟ වෙන්න බැරි නිසා ඒ වැඩේ නතර වුණා. අපි කැමතියි කොන්දේසි විරහිතව හංසයා ලබා දෙනවනම්.

දැන් මේ යන විදිහට එජාපයත්, ඔබලත් අතර එකමුතුවක් ඇත්තෙම නැද්ද?

අපි මහ මැතිවරණයෙන් පස්සේ බලය ලබාගෙන එක්සත් ජාතික පක්ෂයේ බලය ලබාගන්නවා. මොකද අපි තමයි එජාප පාක්ෂිකයෝ. ප්‍රතිඵල දැක්කම කාට කාටත් තේරෙයි බලය තියෙන්නේ සජිත් ප්‍රේමදාස කඳවුරට කියලා.

පක්ෂය දෙකට මැද්දෙන් කැඩී ආණ්ඩුව ජයග්‍රහණය කරවීමේ කුමන්ත්‍රණයක් කියලා ඔබේම එජාප සහෝදරවරු චෝදනා කරනවා.

එහෙම කියන අය ගිහින් බලන්න ඕන කණ්ණාඩියක් ඉස්සරහා හිටගෙන. පහසුවෙන්ම බලය අල්ලගන්න පුළුවන් මොහොතක ඒ විවිධ මගහැරීම් සිදුකරමින් කල් මැරීම සිදුකරන්නේ මොකටද කියලා ඒ අයගෙන් දැනගන්න පුළුවන්. පාක්ෂිකයන් රස්තියාදු කරමින් කටයුතු කරන්නේ රාජපක්ෂලා වෙනුවෙන් බවට අමුතුවෙන් කියන්න ඕන නෑ.

ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස පරාජයට පත්වෙනවා. එහෙම මොහොතක මහ මැතිවරණය ජයගන්න පුළුවන් වෙයිද කියලා එජාපයෙන් විමසනවා. ඇත්තටම දිනන්න පුළුවන් වෙයිද?

අපි එහෙම අයට කියනවා මහ මැතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ ඒකට උත්තරයක් දෙන්නම් කියලා. අපි ඒ අයට කියනවා පුළුවන්නම් ගමට ගිහින් 100ක් රැස් කරලා රුස්වීමක් කරලා පෙන්වන්න කියලා. මොකද ඒ අය ගමේ දේශපාලනය කරන්නේ නෑ.

ඔබලට තරගය තියෙන්නේ ආණ්ඩුවත් එක්කද, එජාපයත් එක්කද?

අපි නියෝජනය කරන්නේ ආණ්ඩු විරෝධී පෙරමුණයි. ජනතා විරෝධී අසාර්ථක රාජපක්ෂ පාලනය නතර කරලා දාලා ජනතාවාදී ආණ්ඩුවක් බිහිකරන එක තමයි අපේ ඉලක්කය.

රවී කරුණානායක මහත්මයා අත්අඩංගුවට ගන්න කියලා පසුගිය කාලේ වරෙන්තු නිකුත් කලා. ඒත් ඔහු ආවේ නෑ. ඔබ දන්නවද ඔහු ඉන්න ඇත්තේ කොහෙද කියලා?

මමනම් ඉන්න තැනක් දන්නෙ නෑ. හැබැයි ඒකෙන් පෙන්වන්නේ ආණ්ඩුවේ අසාර්ථකභාවය. අපි දන්නෑ ආණ්ඩුව හංගන් ඉන්නවද කියලා. මොකද අපේ ආණ්ඩුව කාලෙත් රාජපක්ෂලා රැකගන්න කට්ටියක් හිටියා. ඒ කට්ටිය අද ඉන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්මයගේ පැත්තේ.

පොහොට්ටුව ශ්‍රීලනිපයත් එක්ක එකතු වෙලා තරග කරන්න යනවා. එජාපය වෙනම ඉල්ලනවා. දැන් සන්ධානයට මේක අභියෝගයක් නෙවෙයිද?

ඔය සන්ධානයේ තත්ත්වය පේනවනේ, මහ දවල් එළිපිට ඒ අය මරාගන්න හැටි දැක්කම. ඒ නිසා ඒකෙ වාසිය අපිට තමයි එන්නේ.

හැබැයි එහෙම කිව්වට සජිත් ප්‍රේමදාස මහත්මයා ශ්‍රීලනිපයට ආරාධනා කළා එකතු වෙන්න කියලා.

නෑ. ශ්‍රීලනිපයේ ඉන්නවා හොඳ පිරිසක්. අන්න ඒ අයට තමයි අපි ආරාධනා කළේ. කුමාර වෙල්ගම මහත්මයත් අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නේ.

ජනතාව කියනවා ඇති වෙලා තියෙන රටේ කොරෝනා භීතියත් එක්ක පුළුවන්නම් ඡන්දයකට නොයා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න කියලා. පුළුවන්ද එහෙම කරන්න?

මම කියන්නෙත් ඡන්දෙ නවත්තලා වහාම පාර්ලිමේන්තුව කැඳවලා ඉදිරියට එන අභියෝගයට මුහුණ දෙන්න විධිමත් සැලැස්මක් හදමු කියලා. මොකද ආණ්ඩුව මේකේ බරපතළතාවය තවම හිතට අරගෙන නෑ. ඒ නිසා මේකේ අවදානම වැඩියි. ලෝකයේ වෙන රටවල් ගන්න ක්‍රියාමාර්ග ආණ්ඩුව තවම අරගෙන නෑ. ඒ නිසා ආණ්ඩුවේ කාර්යභාරය ගැන අපිට සෑහීමකට පත්වෙන්න බෑ.

සජිත් ප්‍රේමදාස මහත්මයා බලයට පත්වුණාම ගොඩක් දේවල් කරන්නම් කියලා කිව්වා. ආණ්ඩුවේ අය අහනවා ඇයි බලයේ ඉන්න කාලයේ ඒ දේවල් කරන්න බැරිවුණේ කියලා.

අපි ඉස්සෙල්ලම හැදුවේ යහපාලන ආණ්ඩුවක්. ඒකේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. නමුත් අපිට ඒ දේවල් කරගෙන යන්න ඒ වෙලාවේ අපිත් එක්ක එකට හිටිය ශ්‍රීලනිපයේ ඇතැම් අය බාධා සිදු කළා. ඊටපස්සේ ආණ්ඩු මාරැ කෙරෙව්වා. විවිධ දේවල් සිද්ධ කළා. අවසානයේ අවුරැදු හතරහමාරක් විවිධ බාධා මැද්දේ ආවා. අපි කියන්නේ මේ ආරවුල් නැහැ. තනි පිරිසිදු එජාප ආණ්ඩුවක් ආවොත්. ඒ අවස්ථාව ලබාදෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ. ඒ බාධා මැද්දෙත් අපි විශාල වැඩකොටසක් සිද්ධ කළා.

ආණ්ඩුව කියන්නේ රට ගොඩනගන්න නම් 2/3ක් අවශ්‍යයි කියලා.

ඒකෙන් පේනවා ආණ්ඩුවේ අසාර්ථකභාවය. රටක් හදන්න, රටක් ගොඩනගන්න 2/3ක් අවශ්‍ය නෑ. මේ හදන්නේ බලය අසීමිත ලෙස එක්රුස් කරලා ඒකාධිපති පාලනයක් අරන් යන්න. ඒකට ඉඩදෙන්න සූදානම් නෑ.

අවසාන වශයෙන් අහන්නේ චම්පික රණවක මහත්මයා ඔබලත් එක්ක ඉන්නවා දැක්කට රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් වගේ සුළු ජාතික පක්ෂවල අය දකින්න නෑ. කෝ මේ අය?

හැමෝම අපිත් එක්ක ඉන්නේ. සිවිල් සංවිධාන පවා. ඒ හැමෝම අපේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැහිලා ඉන්නේ. ඒ නිසා ජයග්‍රහණය ගැන සැකයක් නැහැ.
ගයාන් ගාල්ලගේ 

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00