2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

සන්ධානයයි එජාපයයි වෙන වෙනම තරග කරාවි

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 137

සලකුණ අලියා නම් මමත් තරග කරන්නෙ නෑ
හිත හිතා හිටියානම් බැසිල්ලා වෙන පක්ෂයක් හදයිද?
සල්ලි වියදම් කරලා මන්ත්‍රීකම ගන්න පුළුවන් කියලා සමහරු දන්නවා
නායකතුමා කලින් පාර බේරුණේ පාර කාපට් කරගෙන
රනිල් මහත්තයා ඉන්නකම් නායකකම ගන්න බෑ
අපි එන්නේ අලුත් නමකින්, ලකුණකින්ප
ක්ෂ යාන්ත්‍රණය හදලා තියෙන්නේ පරදින්න
පක්ෂය විනාශ වෙනවා බලා ඉන්න බෑ

- එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී - අශෝක් අබේසිංහ 

මැතිවරණ පරාජයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනගන්න විවිධ යෝජනා රාශියක් ඔබලා විසින් ගෙනාවා. ඒ ගෙනාපු යෝජනා මේ වෙනකොට ඉෂ්ට කරගන්න හැකිවෙලා තියෙනවද?

දැනට අපි 80%ක් පමණ ජයග්‍රහණය කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට වැඩිම සේවයක් කරපු පක්ෂයක්. පුරෝගාමී පක්ෂයක්. එවැනි පක්ෂයක් අමු අමුවේ විනාශ වෙනවා බලන් ඉන්න බෑ. ඒකයි ඒ පක්ෂය නැවත ජයග්‍රාහී මාවතට යන්න පුළුවන් යෝජනා අපි යෝජනා කළේ. ඉතින් ඒ යෝජනාවලින් 80%ක් පමණ අපි ජයග්‍රහණය කරලා තියෙනවා.

ඔබ ඔය කියන 80% ක ජයග්‍රහණය ඇතුළේ මොනවද තියෙන්නේ?

ඊළඟ මහ මැතිවරණය සඳහා අපි තරග බිමට එන්නේ සන්ධානයෙන්. ඒ සන්ධාන නායකත්වය හම්බවුණේ සජිත් ප්‍රේමදාස මහත්මයට. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයත් සම්බන්ධ නොවුණු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තමයි ඒ යෝජනාව ගෙනාවේ. ඊළඟට ඔවුන්ම යෝජනා කළා ඊළඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා විය යුතුයි කියලා. ඒ වගේම මහ මැතිවරණයේදී පත්කරන නාම යෝජනා මණ්ඩලයත් එහි සභාපතීත්වයත් සජිත් ප්‍රේමදාස මහත්මයට ලබාදෙන්න. ඒ වගේම එතුමා දැන් විපක්ෂ නායක. නිසා අපි විශ්වාස කරනවා 80%ක ප්‍රමාණයක් අපි ජයග්‍රහණය කරලා තියෙනවා.

දැන් ඔය සන්ධානයට කවුද අකැමති?

කීප දෙනෙක් අකමැතියි. ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයම පක්ෂ නායකයා හැටියට ඉන්න ඕන කියලා විශ්වාස කරන ඒ වගේම ඒ සඳහා වැඩ කරන පිරිසක්. ඒ හැරෙන්න අනිත් හැමදෙනාම කැමතියි. මට කියන්න තියෙන්නේ කැමති අයට පුළුවන් අපිත් එක්ක ඉල්ලන්න. අකමැති අයට පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්මයගේ නායකත්වයෙන් වෙනම ඉල්ලන්න. කොහොම වුණත් මේ වෙනකොට එක්සත් ජාතික පෙරමුණ සියලු පක්ෂ මේ සන්ධානයට කැමති වෙලා තියෙනවා.

දැන් ඔය සන්ධානේ නම මොකද්ද? ලාංඡනය මොකද්ද?

පැහැදිලිවම අලුත් නමකින් සහ අලුත් ලාංඡනයකින් ඒවි. ඒක අපි ඉදිරියේදී ප්‍රකාශ කරන්නම්.

2005 ඉඳලා අද වෙනකල් ඔබලා කියන්නේ එජාප නායකත්වය වෙනස් වෙන්න ඕන කියලා. පක්ෂ නායකත්වය සජිත්ට හම්බවෙන්න ඕන කියලා. තවම ඒක නැතුව කොහොමද මේ 80%ක් ජයගත්තා කියලා කියන්නේ?

එජාපයේ නායකත්වය ව්‍යවස්ථාව අනුව නායකතුමා හොඳින් හෝ නරකින් තියාගන්නවා. හොඳම උදාහරණය අපට ඕන වුණේ සජිත් මහත්මයව ජනාධිපති අපේක්ෂකයා බවට පත්කරන්න. ඒ වෙලාවේ එතුමා මොකද කළේ සමුළුව කැඳවලා 2025 වෙනකල් බලයෙ ඉන්න පුළුවන් විදිහට පක්ෂ නායකත්වය හදලා ගත්තා.

එහෙම කරද්දී ඔබලා දැක්කෙ නැද්ද?

අපි නොදැක්කා නෙවෙයි. නමුත් අපිට ඕන වුණේ ජනාධිපති අපේක්ෂකකම. ඒ නිසා අපි ඒකට විරුද්ධ වුණේ නෑ. කෘත්‍යාධිකාරී කමිටු සාමාජිකයන් පත්කිරීම පවා ඒ අය හදාගෙන ඉවරයි. ඒ නිසා එජාප නායකත්වය ගන්න එක්කො එතුමාම දෙන්න ඕන. නැතුව එතුමා ජීවත් වෙලා ඉන්නතාක් පක්ෂයේ නායකත්වය හම්බවෙන්නේ නෑ.

නායකතුමාට ඔය ඔබලා කියන කාරණා මූණට කියන්න බැරි ඇයි?

මම පැහැදිලිවම එතුමගේ මූණට කිව්වා එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන හානිය. එජාපය 94 වෙනකල් සියවසකින් භාගයක් මේ රට පාලනය කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයා සියවස් කාලක් පක්ෂ නායකයා වෙලා ඉඳලා බලයේ ඉඳලා තියෙන්නේ අවුරුදු 6යි. එහෙම කියලත් තේරෙන්නෙ නැත්නම් මෙනවා කරන්නද? ඒකට හේතුව එතුමා වටේ ඉන්නවා එතුමගෙන් වාසි අරගෙන මැරෙනකල් විපක්ෂයේ හිටියත් කමක් නැති අය. ඒ අය තරුණ මන්ත්‍රීවරු පිරිසක්.

ඔබ ඔය කියන තරුණ මන්ත්‍රීවරු කවුද?

මම නම් කරන්නෙ නෑ මේ වෙලාවේ. හැබැයි මම දන්නවා කවුද මේ අය කියලා. ප්‍රබල මන්ත්‍රීවරු.

කීදෙනෙක් ඉන්නවද?

මට එහෙම ගාණක් කියන්න බෑ. එහෙම කතා කරපු අය මම හොඳට දන්නවා. උදාහරණයක් හැටියට කියන්නම්කො. අවුරුදු 30ක විතර මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. එයා හිතනවා නායකතුමත් එක්ක ප්‍රශ්නයක් ඇතිකරගන්න ඕන නෑ ඒ නිසා පාඩුවෙ ඉන්නවා කියලා. ඒ අය හිතනවා මේ ආණ්ඩුව මිනිස්සුන්ට එපා වුණාට පස්සේ අවුරැදු 20කින් 30කින් විතර බලය හම්බවෙයි කියලා.

දැන් ඒ අයද මේ සන්ධානෙට අකමැති?

ඔව් ඒ අයට සන්ධානේ අවශ්‍යතාවයක් නෑනේ. මොකද සල්ලි වියදම් කළාට පස්සේ මන්ත්‍රීකම ගන්න පුළුවන් කියලා දන්නවා.

දැන් සන්ධානේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ අයනේ? එතකොට එජාපයේ මූලිකත්වය අරගෙනද මේ පක්ෂෙ හදන්නේ?

ඔව්. වැඩිම මන්ත්‍රීවරු ඉන්නේ එජාපයේ. ඒ අයගේ ප්‍රධානත්වයෙන්නෙ මේක කරන්න වෙන්නේ. හැබැයි සන්ධානේ නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා. එතකොට එජාපයත් මේකෙ එක පක්ෂයක් විතරයි. ඒ වගේම තව පක්ෂයක් තියෙනවා.

ඔබ ඔය නොකියා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයගේ නාම යෝජනා සම්බන්ධවත් තීරණ ගන්නේ සන්ධානේ නායකතුමා කියලද?

ඔව්. අනිවාර්යයෙන්ම. ඊළඟට පාර්ලිමේන්තු එන්නේ මේ සන්ධානේ අය නිසා එතකොට ඒ හැමෝම සන්ධානේ මන්ත්‍රීවරු. මොකද සන්ධානේ නාම යෝජනා ලැයිස්තුව අත්සන් කරන්නේ ඒකෙ මහ ලේකම්. එතකොට එජාපයට කිසිම බලයක් නැති වෙනවා.

එතකොට එජාපයටවත් එජාපෙ කෘත්‍යාධිකාරී කමිටුවටත් ඔබ කියන්නේ බලයක් නෑ කියලද?

මම ඇත්ත කතා කරන්නම්කෝ. මට නැතිවෙන්න දෙයක් නෑ. මේ අය ඊළඟ කෘත්‍යාධිකාරි කමිටුවේදී යෝජනාවක් ගේන්න යනවා සන්ධානයේ ලකුණ අලියා විය යුතුයි කියලා.

දැන් පැහැදිලියි නේද ඔබලා එජාපයේ සන්ධානය වුණාට ඔබලගේ බලතල තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රමුඛ කෘත්‍යාධිකාරී කමිටුවට එතකොට මොන දේ කළත් වැඩක් නෑ නේද කෘත්‍යාධිකාරී කමිටුවෙන් විරෝධතාවය ආවොත්?

මගෙ නම් මතය කෘත්‍යාධිකාරී කමිටුවෙන් අහන්න දෙයක් නෑ. කැමති අයට අපිත් එක්ක ඉල්ලන්න පුළුවන්. බැරි අයට යූ.එන්.පී එකෙන් ඉල්ලන්න පුළුවන්. 

අනවශ්‍ය වැඩ කරන්න ගිහිල්ලා පක්ෂ සාමාජිකත්වය නැති වුණොත් ඔබලා ගිහින් නවතින්නේ කොහෙද?

මාර්තු 02වැනිදා විසිරෙව්වොත් ආයෙත් මන්ත්‍රීකම් නැහැ. එතකොට මන්ත්‍රීකම ගැන එජාපෙට තීන්දු ගන්න බෑ. ඕනනම් සංවිධායකකම ගැන තීරණ ගන්න පුළුවන්. හැබැයි ඔබ හිතනවද ගමට ගියාම රනිල් වික්‍රමසිංහ මහත්මයගේ යටතේ ඉල්ලන අයට ඡන්දය දෙයි කියලා? මගේ මිනිස්සු කියනවා රනිල් වික්‍රමසිංහ හරි කරු ජයසූරිය හරි ඉල්ලුවොත් ඡන්දෙ දෙන්නෙ නෑ කියලා.

නෑ. මම අහන්නේ එජාපයේ සාමාජිකත්වය නැති වුණොත් අශෝක අබේසිංහ සන්ධානයේ සාමාජිකත්වය ගන්නවද?

ඔව්. අනිවාර්යයෙන්ම ගන්නවා.

ඒ කියන්නේ අශෝක අබේසිංහ සන්ධානෙන් විතරමද තරග කරන්නේ?

මම පැහැදිලිවම. මුල ඉඳලම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයා යටතේ තරග කරන්නෙ නෑ කියලා. ඒ වගේම දැන් කියනවා මම මෙවර මැතිවරණයට අලියගේ යටතේ තරග කරන්නෙත් නැහැ. පැහැදිලිවම සන්ධානේ සලකුණ අලියා වෙනවනම් මම එන්නෙ නෑ.

ඇයි එහෙම කියන්නේ? ඔබ ආපු පක්ෂය නේද?

එහෙම කරපු ගමන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා එජාපයේ නායකයා මම. එජාපයේ ලකුණ අලියා ඒ නිසා සන්ධානය මගේ කියලා. එහෙම කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම අපි පරදිනවා. මේ වක්‍රව කරන්නේ ආණ්ඩුවට 2/3 දෙන එක.

නායකතුමත් කියලා තිබුණා නේද එජාප නායකත්වයත් සමඟ හැප්පිලා කවුරුත් දින්නෙ නෑ කියලා?

එතුමා එහෙම හිතලා ඇති. ඒත් මේ පාර අපි දිනනවා. ඇත්ත. එයා දෙන්නෙ නැත්නම් අපිට ගන්න බෑ. මොකද ව්‍යවස්ථාව අනුව කොච්චර හැප්පුනත් නායකත්වය ගන්න බෑ. දාලා ගියොත් හරි මැරුණොත් හරි ඇරෙන්න ඒ නායකත්වය කාටවත් යන්නෙ නෑ. කොච්චරද කියනවනම් එක පාරක් ඔය ප්‍රශ්නෙ ආපු වෙලාවේ සිරිකොත ඉස්සරහා පාර කාපට් කළා. ඒ තරම් ඩීල් තියෙන්නේ.

දැන් නායකතුමාට කියන්න පුළුවන්නේ සජිත් ප්‍රේමදාස පරදින නායකයෙක් කියලා?

මෙහෙමයි. මේ පක්ෂය පරදින විදිහට තමයි පහළ යාන්ත්‍රණය හදලා තියෙන්නේ.

කවුද හදලා තියෙන්නේ?

රනිල් වික්‍රමසිංහ මහත්මයා.

පක්ෂයක් පරදින්න යාන්ත්‍රණයක් හදනවා. ඒක මොන බොරුවක්ද?

ඒ නායකත්වයේ ඉන්න. දැන් බලන්න අපේ බෞද්ධ ජනතාවට පහුගිය කාලේ අපහාස කළා. ඒකෙන් බෞද්ධ පදනම නැති වුණා. ඇයි නිකන් හරි කැඳවලා අවවාද කළේ නැත්තේ?

බෞද්ධයන්ට ගැහුවා කියලා චෝදනා කරන්නේ මංගල සමරවීර මහත්මයාට. හැබැයි ඔහු සජිත් ප්‍රේමදාස මහත්මයට බලයට ගේන්න වැඩ කරපු කෙනෙක්. කොහොමද එයින් ගැලවෙන්නේ?

මෙහෙමයි. එක එක්කෙනාගේ මත තියෙනවා. එතුමගේ මතය හරි. හැබැයි එතුමා මතය ප්‍රකාශ කරන විදිහ වැරදියි. අපි හැමෝම බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන්න ඕන. නමුත් නැත්තෙත් බෞද්ධ දර්ශනය. ඒ ගැන කිව්වම ඒ මහත්මයා බෞද්ධ විරෝධී වුණා. මතක තියාගන්න වැඩියෙන් බෞද්ධයන්ට වැඩ කළේ එජාපය.

දැන් ඔබලට එජාපය අවශ්‍ය නැද්ද?

අපි දන්නවා කවදහරි එජාප නායකයා සජිත් වෙනවා. එතුමා දීලා ගියොත් හරි නැත්නම් මැරුණොත් හරි එදාට පක්ෂෙ අයිතිවෙයි. මොකද සජිත් නියෝජ්‍ය නායක නිසා.

එහෙම වෙන්න පුළුවන්ද කත්‍යාධිකාරී කමිටුවේ ‍ව‍න තීරණයක් ගත්තොත්?

ඔව් සමහර විට එහෙම කරයි. මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක්.

ඔබලා කතා කළාට හැමදේම ඇයි සජිත් ප්‍රේමදාස මහත්මයා නිශ්ශබ්ද?

එතුමාගේ ඔළුවෙත් තියෙනවා. අපි ඇහුවා එතුමගෙන් ඊළඟ මහ මැතිවරණයත් රනිල් වික්‍රමසිංහ මහත්මයා යටතේ ඉල්ලනවද කියලා. පැහැදිලිවම කිව්වා නැවත ඉල්ලන්නේ නෑ කියලා.

ඇයි ඔබ කෘත්‍යාධිකාරී කමිටුවේ නැත්තේ?

මම කෙළින් කතා කරන නිසා. මම කියන්න තියෙන දේ මූණටම කියනවා. සමහර අය කතා කරන්නේ නෑ.

නිකන් හරි කෘත්‍යාධිකාරී කමිටුවේ ඔබලා ගේන යෝජනාවට අකමැති වුණොත් මොකද කරන්නේ?

ඔව් මටත් එහෙම හිතෙනවා. මට හිතෙන දෙයක් තියෙනවා ඉස්සරහට සන්ධානයත් එජාපයත් වෙන වෙනම තරග කරයි කියලා.

එදාට සජිත්ට තමා වගකියන්න වෙන්නේ පක්ෂෙ කැඩුවට ?

මොන චෝදනා කළත් වැඩක් තියෙනවද පක්ෂෙ දිනන්නේ නැතුව. ඕවනම් වැඩක් නෑ, අපිට ඕන පක්ෂෙ දිනවන්න. ඔය වගේ හිත හිත හිටියනම් බැසිල්ලට ගිහිල්ලා වෙනම පක්ෂයක් හදන්න පුළුවන්ද? මේකම අල්ලන් ඉන්න ඕන කියලා එකක් නෑ. බලන්නකො අවුරුදු තිහක ළමයෙක්ට දකින්න තියෙන එකම දේ එජාපයේ පරාජය විතරයි.

නැවත කවදාවත් අලියගෙන් හරි හංසයාගෙන් හරි ඡන්දෙ ඉල්ලන්නෙ නැද්ද?

දේශපාලන අනාවැකි නිශ්චිතව කියන්න බෑ. ඒ නිසා කාලෙන් කාලෙට වෙනස් වෙනවා.

ඇත්තම කිව්වොත් කෘත්‍යාධිකාරී කමිටුවට නේද සන්ධානෙ ගැන තීන්දු ගන්න පුළුවන් බලය තියෙන්නේ?

එහෙම නෑ. හැබැයි තියෙනවා සමහර තීන්දු තීරණවලට කෘත්‍යාධිකාරී කමිටු කැමැත්තත් ඕන කියලා.

ඒ කියන්නේ කොහොම කළත් එක්සත් ජාතික පක්ෂ නායකයා ඉස්සරහින් ඉන්නේ?

අපි බලමු ඉස්සහරට මොකද වෙන්නේ කියලා. එජාපය හදන්නේ ආණ්ඩුවට 2/3 බලය දෙන්න. අපි ඒකට ලෑස්ති නෑ. අපිට තියෙන්නේ ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න කලින් අපේ පක්ෂය හදාගෙන බලය ගන්න එක.
ගයාන් ගාල්ලගේ

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:48