2016 ඔක්තෝබර් 24 වන සඳුදා

ගිය ආණ්ඩුව වැඩකාරයෝ පොල්කටුවෙන් වැහුවා

 2016 ඔක්තෝබර් 24 වන සඳුදා, පෙ.ව. 12:00 31

ඔබේ පියා ගාමිණි දිසානායක මැතිතුමා 1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට සම්බන්ධ වූ මොහොතේ ඉල්ලා සිටි ඇමැතිධූරය තමයි වැවිලි කර්මාන්ත අමාත්‍යධූරය. එහෙත් ඔහුට එම අමාත්‍යධූරය ලැබුණේ නැහැ. නමුත් අද වෙද්දී දෛවය විසින් ඔබට වර්තමාන ආණ්ඩුවේ වැවිලි කර්මාන්ත අමාත්‍යධූරය ලබාදීලා තිබෙනවා. අපි මෙතනින් කතාව පටන් ගමු. මොකද හිතෙන්නේ එදා සහ අද ගැන?
එදා හැත්තෑහතේ එතුමා ප්‍රාර්ථනා කළ වැවිලි කර්මාන්ත අමාත්‍යධූරය වෙනුවට ඔහුට ලැබුණේ ඉඩම් හා ඉඩම් සංවර්ධන, මහවැලි සංවර්ධන ඇමැතිධූරය. ඒක රටේ ජනතාවවත් එතෙක් දැනගෙන හිටිය ඇමැතිධූරයක් නෙවෙයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විශ්වාසයෙන් ලබාදීපු ඇමැතිධූරයත් එක්ක ඔහු ඉතිහාසය වෙනස් කළා. ඒ නිසා මගේ පියාට එදා සිදුවූ වෙනස නිසා ඇත්තටම සිද්ධවුණේ යහපතක්. 

 

 

අද ඔබ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විදිහට ඇමැතිධූරය දකින්නේ කෙසේද?
අද තේ කර්මාන්තය එදා වගේ නෙවෙයි. අද වෙද්දී ඒක විදේශ විනිමය ගෙනෙන සිව්වැනි බෝගය බවට පත්වෙලා තියෙනවා. පොදුවේ තේ, පොල්, රබර් කියන වැවිලි කර්මාන්ත තුනෙන්ම බිලියන 3.5ක පමණ විදේශ විනිමයක් රටට ලැබෙනවා. මම සතුටුවෙනවා මට මේ ඇමැතිකම ලැබීම ගැන. මට අවුරැදු තුනක් විතර දෙන්න මම ලොකු වෙනසක් කරලා පෙන්නනවා. 

 


ඔබ කිව්වා පසුගිය ආණ්ඩුව කාලේ ඔබට හම්බවුණේ ජාතික කොඩියයි, කාර් එකයි විතරයි කියලා. යහපාලන ආණ්ඩුව ඇතුළේ දැන් ඔබට ගිය ආණ්ඩුවේදී කරන්න බැරි වුණ දේවල් කරන්න පුළුවන්ද?
මට ලබාදීලා තියෙන ක්ෂේත්‍රය තුළ වැඩ කරන්න හැකියාව, බලය හා නිදහස අඩුවක් නැතුව දීලා තියෙනවා. අර ආණ්ඩුව වගේ හැකියාව තිබුණු පුද්ගලයා පොල්කටුවෙන් වහන තත්ත්වයක් මේකෙ නැහැ. 

 


දැන් ඔබ ඉන්න ආණ්ඩුව ප්‍රබල ස්ථාවර රජයක් කියලා විශ්වාසද?
ඔව්. මම හිතන්නේ මේක ස්ථාවරභාවයක් තිබෙන ආණ්ඩුවක්. මේ ආණ්ඩුව හොලවන්න බැහැ. තුනෙන් දෙකක බලය අපට තියෙනවා. 

 


ඇයි එහෙනම් පුංචි ඡන්දයට බයේ මාසෙන් මාසේ පස්සට දමන්නෙ?
අපිත් කැමැතියි ඡන්දය හෙට තියෙනවානම්. ඒක එහෙම වුණොත් අපේ පක්ෂයට හොඳයි. නමුත් මායිම් නිර්ණ ගැටලුව නිසා අපට තව මාස තුන හතරක් යාවී. හැබැයි පුළුවන් උපරිම ඉක්මනට අපි ඡන්දය තියනවා. 

 


ඒකාබද්ධ විපක්ෂය කියනවා පළාත් පාලන මැතිවරණයට කලින් ජනමත විචාරණයක් තියේවී කියලා?
මට එහෙම ආරංචියක් ලැබිලා නැහැ. අපි කැබිනට් එකේදී සගයොත් සමඟ දේශපාලනය ගැන කතාකරනවා. ඒ කිසිතැනකදී මගේ කනට ජනමත විචාරණයක් ගැන ඇහිලා නැහැ. 

 


පසුගිය සතියේ රටේ ලොකු කතාබහකට ලක්වුණා උතුරැ පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ගේ එළුග තමිල් උද්ඝෝෂණය ගැන ඔබේ මතය මොකක්ද?
ඒක මම දැඩිලෙස ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. අපේ රටට ජාතිවාදය ඕනෙ නැහැ ආයෙත්. ඒක සිංහල වගේම දෙමළ ජනතාවත් දැනගන්න ඕන. රටේ පිළිගත් හිටපු විනිසුරැවරයෙක් ඒ විදිහට හැසිරීම ගැන ඔහු ලැජ්ජාවෙන්න ඕන. 

 


ඔබේ දිස්ත්‍රික්කය සිංහල දෙමළ ජනතාව එකට ජීවත්වන දිස්ත්‍රික්කයක්. ඔබේ ඡන්දදායකයොත් විශාල ප්‍රමාණයක් දෙමළ ජාතිකයන්. ඔබට නැද්ද මේ ජාතිවාදී ගැටලුව?
උතුරේ තියෙන ගැටලු නෙවෙයි මධ්‍යම පළාතේ දෙමළ ජනතාවට තියෙන්නෙ. ඔවුන් සිංහල පුරවැසියන් සමඟ ගැටුම් ඇතිකරගන්නේ නැහැ. දැනට තේ ආර්ථිකය ඇතුළේ පොඩි පොඩි ගැටලු ඇතිවෙලා තිබෙනවා. විශේෂයෙන් වැටුප් සම්බන්ධ ප්‍රශ්න. ඒවට අපි විසඳුම් ලබාදෙනවා ඉක්මනට. 

 


උතුරැ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා රජයට බලකරනවා උතුරේ සිංහල පදිංචිකිරීම් නවත්වන්න, බුදු පිළිම ඉවත් කරන්න ආදී වශයෙන්. මේ ඉල්ලීම තුළ ඇති නොවිය යුතු ගැටලු ඇතිවෙන්න පුළුවන්ද?
ඔව්. ඕක පරණ කතාවක්. වඩුක්කොඩෙයි යෝජනාවලියේදී අමිර්තලිංගම් එදා ඉල්ලුවෙත් මේවාම තමයි. ඒකෙ එගොල්ලන්ගේ ජන්ම භූමිය, ඒකට කාටවත් ඇතුළුවෙන්න බැහැ කියලා එදා ගොඩක් දේවල් කිව්වා. අපිට ඒවා පිළිගන්න බැහැ. 

 


මේ සිද්ධියට නැගෙනහිර ජනතාවගේ ප්‍රතිචාරය කොහොමද?
නැගෙනහිර 30෴ක් මුස්ලිම්, 30෴ක් සිංහල. ඉතිරි සියයට ප්‍රමාණය තමයි දෙමළ. වැඩි ජනගහනයක් ඉන්න මුස්ලිම්, සිංහල පිරිස උතුරැ නැගෙනහිර ඒකාබද්ධ කරනවට විරැද්ධයි. ඔය අතීතයේ ඉඳලා කියාගෙන එන කතන්දරය දැන් වෙනස් විය යුතුයි. මේවා දේශපාලනඥයෝ මිනිස්සුන්ට දාන විෂබීජ. ජනතාව ඔවුන්ගෙන් පරිස්සම් වෙන්න ඕන. සුමරන්තිරන්, සම්පන්දන් යන අය මීට වඩා වෙනස්. ඔවුන් ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ඉල්ලීම් දිනාගන්න යන්නේ. 

 


පසුගිය සතියේ උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා චෝදනාවක් කළා විග්නේෂ්වරන් නැමැති බිල්ලා පෙන්නලා සුමන්තිරන් මේ පැත්තේ ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ උත්සාහයක නිරත වෙනවා කියලා?
එයාලා ෆෙඩරල් ඉල්ලනවා. නමුත් උතුරැ නැගෙනහිර එකතු කරන්නෙ නැතුව ෆෙඩරල් ගන්න බැහැ. උතුරට විතරක් ෆෙඩරල් දෙන්නත් බැහැ. තියෙන ප්‍රශ්නයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න ඕන. හැබැයි ඒකට සිංහල ජනතාවත් එකඟ වෙන්න ඕන. සිංහල ජනතාව විරැද්ධ කිසිම දෙයක් මම හිතන්නෙ නැහැ කිසිම නායකයෙක් කරාවි කියලා. මොකද එයාලගේ දේශපාලන අනාගතය තියෙන්නේ සිංහල ජනතාවගේ කැමැත්ත උඩ. 

 


කොටි ත්‍රස්තවාදය විසින් අවාසනාවන්ත ලෙස ඝාතනය කළ පියකුගේ පුතෙක් හැටියට ඔබ හිතනවද නැවතත් යුද්ධයක් පැමිණීමේ අවදානමක් තිබෙනවා කියලා?
යුද්ධයකට රට තල්ලු කරන බලවේග තාම ඉන්නවා. අපි අපේ ආරක්ෂක හමුදා විධිමත්ව තියාගන්න ඕන. බුද්ධිඅංශ රුකගන්න ඕන. යම් අවස්ථාවක සටනක් ආවොත් ඒකට මුහුණදෙන්න අපි ශක්තිමත්ව ඉන්න ඕන. 

 


රටේ ආරක්ෂාව අනතුරේ කියලා චෝදනාවකුත් ජනතාව අතරින් එනවා?
ඒක මම ප්‍රතික්ෂේප කරනවා. ඔය මිත්‍යාවෙනුත් අපි මිදෙන්න ඕන. ජනාධිපති මහින්ද රාජපක්ෂ නැතුව ජාතික ආරක්ෂාව ඉවරයි, ගෝඨාභය රාජපක්ෂ නැතුව ආරක්ෂක සේවය ඉවරයි, පී.බී. ජයසුන්දර, බැසිල් රාජපක්ෂ නැතුව ආර්ථික ඉවරයි වගේ මිත්‍යාමත ටිකක් රටේ තියෙනවා. ඒවා බයිලා. මෛත්‍රිපාල ජනාධිපතිතුමා, වික්‍රමසිංහ අගමැතිතුමා ඒ ඒ තැන්වලට නියම පුද්ගලයෝ පත්කරලා ඉන්නේ. 

 


ඔය එනවා කියන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක සිංහල දෙමළ ගැටලුවට විසඳුමක් ලැබේවි කියලා ඔබ විශ්වාස කරනවාද?
අමාරැයි. නමුත් මම හිතන්නේ ඒකට පහුගිය ආණ්ඩුවට වැඩිය ප්‍රවේශයක් අපිට තියෙනවා. 

 


යහපාලන ආණ්ඩුව අවුරැදු දෙකක් ගිහිල්ලා ඉවරයි. රටේ ජනතාව චෝදනා කරනවා ඔවුන් ඉන්නේ ආර්ථික වශයෙන් හිරවීමක කියලා?
එහෙම කියන්න බැහැ. අපි තෙල් මිල අඩුකළා. රජයේ සේවකයන්ට රැපියල් 10000ක පඩි වැඩිකිරීමක් කළා. මේවා පොඩි දේවල් නෙවෙයි. 

 


ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වුණා කියලා වාර්තා වුණා. ලංකාවේත් ඛණිජතෙල් මිල ඉහළ යයිද?
වැඩිවෙන්න පුළුවන්. අපිට බැහැ හැමදේම නොමිලේ දෙන්න. 

 


රැපියල් 10000ක පඩි වැඩිකිරීම නිසා ආණ්ඩුව හිරවුණා කියන කතාව ඇත්තද?
නැහැ කිසිම හිරවීමක් නැහැ. ඒක අපේ මැතිවරණ පොරොන්දුවක්. අපි ඒක ඉෂ්ඨ කළා.

 


යහපාලන ආණ්ඩුව හදන්න දායක වුණු පිරිසම අද ඒ ගැන කණගාටුවෙනවා?
මටත් ඇහිලා තියෙනවා එහෙම දේවල්. එතකොටම මම අහනවා ඔයාලා සතුටු වෙනවද රාජපක්ෂලා හිටියොත් කියලා. ඔවුන් එකහෙලාම කියනවා නැහැ කියලා. 

 


ඇත්තටම ඔබත් මීට වඩා දෙයක් යහපාලනයෙන් කරන්න පුළුවන් කියලා බලාපොරොත්තු වුණාද?
මම හිතුවේ නැහැ කවදාවත් එකතුවෙලා ආණ්ඩුවක් හදන්න. මම හිතන් හිටියේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හරහා වැඩ කරන්න. ජාතික ආණ්ඩුව නිසා එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය යම්කිසි දුරකට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. 

 


රටේ තියෙන හැම ආර්ථික ප්‍රශ්නයකටම රජය කියන නිදහසට කාරණය තමයි ඒකට හේතුව රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය කියන එක. ඔබෙත් පිළිතුර ඒකද?
ඒක නිදහසට කාරණයක් නෙවෙයි. ඒක තමයි ඇත්ත. සමහර අපි අරන් තියෙන ණය මුදල් අමාත්‍යංශය දන්නෙත් නැහැ. ඒවා වෙන විදිහකට වෙලා තියෙන්නේ. අපි තාම දන්නෙ නැහැ අපි ගත්ත ණය කොච්චරද කියලා. රටක දල දේශීය ආදායමෙන් 60෴ක් පමණ ණය තිබුණට කමක් නැහැ. 

 


දැනට ලංකාව අරන් තියෙනවා කියන ණය ප්‍රමාණය දළ දේශීය ආදායමෙන් කොපමණ ප්‍රමාණයක්ද?
90෴ක්. හැම රැපියලකින්ම ශත 90ක් අපි දෙන්නේ ණය ගෙවන්න. 

 


දැන් ඕක කිය කිය ඉන්නද යහපාලන ආණ්ඩුව අරන් ආවේ?
නැහැ. ඒවා වුණා. වෙලා ඉවරයි. අපි ඒවා වමාර වමාර ඉන්නෙ නැතුව ආර්ථිකය හරියට කළමනාකරණ කළොත් දවසක මේකෙන් ගොඩ එනවා. 

 


මොකද්ද පසුගිය දවසක මුදල් අමාත්‍යවරයා සමඟ ඇතිවුණ හුටපටය?
නැහැ අපි දෙන්නා හරි යාලුයි. එහෙම හුටපට ඇතිවෙන්නෙ නැහැ අපි අතරේ. පොඩි මතවාදයක් නම් ඇතිවුණා තේ මණ්ඩලයේ තිබෙන මුදල් ගැන. මගේ මතය වුණේ ඒක මුදල් අමාත්‍යංශයට ගන්න බැහැ කියලා. 

 


නමුත් රවී කරැණානායක අමාත්‍යවරයා කියලා තිබුණා මුදල් අමාත්‍යංශයට රටේ ඕනෑම ගිණුමකට ප්‍රවිශ්ඨ වෙන්න පුළුවන් කියලා?
ඔව් එහෙම කියලා තිබුණා. මමත් ඒකට පිළිතුරක් යැව්වා. මගේ මුදල වෙනම ගැසට් එකකින් වෙනම් කාරණයක් උදෙසා වෙන්කරලා තියෙන්නෙ. ඒක පැහැදිලිවම සෙස් මුදල් ගිණුමට ගන්න බැහැ. 

 


ආණ්ඩුවෙම පාර්ශව චෝදනා කරනවා මුදල් අමාත්‍යවරයා එක්ක වැඩ කරන්න අපහසුයි කියලා?
මට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මම ඔහුත් එක්ක කතා කරලා විසඳගන්න උත්සාහ කරනවා. මේ වෙනකන් ඒ දේවල් අසාර්ථක වෙලා නැහැ. 

 


අපි ඔබේ ක්ෂේත්‍රයට එමු දැන්. මොනවද රටේ තේ කර්මාන්තයට අලුතෙන් ඇතිවෙලා තියෙන ගැටලු?
මම එන්නත් කලින් ඉඳලා තේ කර්මාන්තය විශාල අර්බුදයක තියෙන්නේ. විශේෂයෙන්ම නියඟය නිසා මේ මාස 4ට අපේ තේ නිෂ්පාදනය හතරෙන් පංගුවක් අඩුවෙලා තියෙන්නේ. අනිත් ප්‍රශ්නය තමයි වැටුප්. ඊළඟට ග්ලයිෆොසේට් ප්‍රශ්නය. 

 


මෙරටෙන් ග්ලයිෆොසේට් ඉවත් කරනවා කියලා ආපු ආණ්ඩුවෙ ඉඳගෙන ඉදිරි අවුරැදු තුනකට හරියන්න ග්ලයිෆොසේට් දෙනවා කියලා ඔබ කළ ප්‍රකාශය පසුගිය දවස්වල තරමක් ආන්දෝලනයට තුඩුදුන්නා?
ඒක මගේ මතය නෙවෙයි. තේ කර්මාන්තයේ මතය. වාණිජ කෘෂිකර්මයට වල්නාශකයක් අවශ්‍යයි කියලා. ග්ලයිෆොසේට් ඇරැණම කෝ රටේ වෙන වල්නාශකයක්. ග්ලයිෆෝසේට් ඉවත් කරන්න. කමක් නැහැ. හැබැයි ඊට කලින් ඒ වෙනුවට විසඳුමක් තේ නිෂ්පාදකයන්ට හොයලා දීලා ඉන්න. අක්කර දහස් ගණනක් තියෙන වාණිජ තේ වතුවල වල් ගලවන එක කම්කරැ ශ්‍රමයෙන් කරන්න පුළුවන්ද බැරිද කියලා මම අලුතින් කියන්න ඕන නැහැ. 

 


ග්යිෆොසේට් නැතිවුණොත් තේ ඉවරයි කියලද ඔබ මේ කියන්නේ?
ග්යිෆොසේට් නෙවෙයි, වල්නාශක ගැන මම කතා කරන්නේ. වල් මරන්නේ නැතුව තේවලට පොහොර දැම්මම තේ පඳුර නෙවෙයි වැඩෙන්නේ වල් ගස්. අපට ඒවායේ දළු කඩලා විකුණනන්න බැහැ. මේ තියෙන ප්‍රශ්න මදිවට තේ කර්මාන්තය තවත් වට්ටගන්න මට ඕන නැහැ. 

 


වර්තමාන ජනාධිපතිවරයා ග්ලයිෆොසේට් විරෝධී ආකල්පයක ඉදිද්දී මෙවැනි මැදිහත්වීමක් කරද්දී ගැටලු ඇතිවේවී කියලා තිබුණේ නැද්ද? 
අපි ඇමැතිවරැ හැටියට ජාතික ප්‍රතිපත්තියත් එක්ක ඒ ධාරාවේ යන්නේ. අපි ඉන්නවා වස විස නැති රටක් කියන ප්‍රතිපත්තියේ. මම නැවත පැහැදිලිව කියනවා මට ඕන තේ කර්මාන්තයට වල් නාශකයක්. ඒක ග්ලයිෆොසේට්ම විය යුතුයි කියලා මම කොහෙවත් කියන්නෙ නැහැ. 

 


පසුගිය සතියේ අතුරලියේ රතන හිමි පවසලා තිබ්බා ග්ලයිෆොසේට් රටට ගෙනාවොත් උන්වහන්සේ අපවත් වෙනවා කියලා?
ඒක මම දන්නෙ නැහැ. ඒක උන්වහන්සේගෙන් අහන්න ඕන. අපි උන්වහන්සේට ආදරෙයි. නමුත් මම කතාකරන්නේ පෞද්ගලිකව නෙවෙයි. ඉදිරියට එන්න තිබෙන ජාතික ගැටලුවක් ගැන. 

 


ආණ්ඩුවේ ඇමැතිවරැන්ට ආණ්ඩුවේ නායකයන් මුණගැහෙන්න අපහසුයි කියනවා. ඔබටත් ඒක එහෙමද?
නැහැ, මටනම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිවරයා වගේම අගමැතිවරයාත් ඕනෑම මොහොතක මුණගැහෙන්න අපට වෙලාව වෙන්කරගන්න පුළුවන්. 

 


අමාත්‍යංශයේ ප්‍රශ්න ඔවුන් පැවසුවාම ඊට පිළිතුරැ ලබාදෙනවාද?
බොහෝවිට අපි තනියම තමයි මේ පිහිනුම් තටාකයේ පිහිනන්නේ. අපි අනාගත නායකයන් විදිහට අපි අපේ ප්‍රශ්න විසඳගන්න පුරැදු වෙලා ඉන්නවා. අපිට විසඳගන්නම බැරිවුණොත් තමයි අපි නායකයෝ එක්ක ඒ ගැන කතා කරන්නේ. 

 


ඔබේ පියා ගාමිණි දිසානායක මහතා දැඩිව හඬක් නගපු ජනතාව අතර නිතර ගැවසුණු නායකයෙක්. ඔබ තරමක් නිහඬ චරිතයක්. ඇයි ඒ?
නැහැ එහෙම දෙයක් නැහැ. වෙලාව අනුව මමත් ක්‍රියාකරනවා. 

 


ඔබ දෙවනුව සම්බන්ධ වෙන්නෙත් රටේ ඉහළ දේශපාලන පවුලකට. ඔබේ මාමණ්ඩිය කරැ ජයසූරිය කතානායකතුමාගෙන් දේශපාලනයට අවශ්‍ය ගුරැහරැකම් ලබාගන්නවාද?
එතුමා මට විශාල ශක්තියක් වෙලා තිබුණා. දැනුත් වෙනවා. මට පියෙක්ගෙ සෙනෙහස නැතිවුණා අවුරැදු 24දී. ඒ අඩුව මට දැනෙන්නට නොදී මාව බලාගත්තේ කරැ ජයසූරිය මැතිතුමා. 

 


ගාමිණී දිසානායක මහතා ආවේගශීලි ලක්ෂණවලට වඩා දේශපාලන ලෝකයේදී ඔබේ තිබෙන්නේ කරැ ජයසූරිය මහතා නිවුණු මැදිහත් හැසිරීම්?
මම මගේ තාත්තාගේ ක්‍රියාදාමයන් නිසා වේදනාවට පත්වුණා. මට රිදුණා ගොඩක්. මම එතුමට කිව්වා 94 තරග කරන්න එපා කියලා. එතුමා ඒ කියපු දේවල් ඇහුවේ නැහැ. මම හිතන්නේ එතුමා ඉක්මන් වුණා වැඩියි. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඇතිවුණු ප්‍රශ්න ඔහුට සාකච්ඡා කරලා විසඳගන්න තිබුණා. 

 


ජනාධිපති අපේක්ෂකත්වය දක්වා පියා ගිය ගමන ගැන ඔබ සතුටු නැද්ද?
ලලිත් ඇතුලත්මුදලි මහත්තයයි, ගාමිණි දිසානායක මහත්තයයි තව ටිකක් ඉවසුවානම් සහ ප්‍රේමදාස මහත්තයට පිළිවෙළකට යන්න දුන්නා නම් ස්වභාවධර්මයෙන්ම ඒ ප්‍රශ්න විසඳගන්න තිබුණා. මම හිතන්නෙ නැහැ එවැනි දැඩි ස්වරෑප අරගෙන ඉතාම ඉක්මනින් ලංකාව වගේ රටක දේශපාලනය කරන්න පුළුවන් කියලා. 

 


ඔබේ පියා ඝාතනය වෙන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට. එදා තාත්තාට යන්න බැරිවුණ තැනට දවසක යන්න ඔබට අපේක්ෂාවක් තිබෙනවාද?
මගේ එහෙම ලොකු ඉලක්කයක් නැහැ. ලැබුණු දෙයින් සතුටු වෙනවා. කරන්න පුළුවන් දේ කරනවා. බැරිවුණ දවසක ගෙදර යනවා. 

 


ඉලක්කයක් නැහැ කියලා කියන්නේ අමාත්‍යධූරයකින් ගමන අවසන් කරන්නද බලාපොරොත්තුව?
මගේ තාත්තගේ අත්දැකීම්වලින් තමයි මම එහෙම කියන්නේ. 

 


බයයිද?
බය නැහැ. නමුත් මම හිතන්නෙ නැහැ ඒ වගේ විශාල ඉලක්ක තියාගෙන යන එක හොඳයි කියලා. ලැබෙන්න තියෙන දේවල් ස්වභාවධර්මය විසින් ළඟට ගෙනල්ලා දේවී. ජනතාවත් එක්ක ඔවුන්ට සේවය කරලා ලැබෙන සතුට මට ජනාධිපතිකමට වඩා ලොකුයි. 

I ප්‍රසාද් අබේවික්‍රම

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00