2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා

පක්ෂ දෙකේ ආණ්ඩුව අමාරු වැඩක්

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

♦ මහින්ද මහත්තයාගෙ වැඩවල සල්ලියි ණයයි ගෙවන්නෙ අපි
♦ කවුද කියන්නෙ ආණ්ඩුව වැඩකරන්නෙ නෑ කියලා
♦ පොලිස්පති සම්බන්ධයෙන් තීරණ ගතයුතු ක්‍රමයක් තියෙනවා
♦ පොලිස් ප්‍රතිසංස්කරණ ඕනෑබව අපි ඔක්කොම පිළිගන්න දෙයක්
♦ පළාත් සභා ඡන්දය ඉතා ඉක්මනින් තියන්න ඕනෑ
♦ ජනපතිගෙන්වත් අගමැතිගෙන්වත් මට කිසිම බලපෑමක් නෑ

- රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර

රටටම පේන්න තියෙන දෙයක් තමයි මේ රට කරවන පක්ෂ දෙක අතර අස්ථාවරභාවයක් තියෙනවා කියන එක. ඇයි මෙහෙම වෙන්න හේතුව?

අස්ථාවරභාවයක් ගැන මම දන්නේ නෑ. හැබැයි පක්ෂ දෙකම හොඳින් ආණ්ඩු කරගෙන යනවා.

නමුත් පක්ෂ දෙකේ කඹ ඇදිලි නිසා වෙන්න තියෙන වැඩක්වත් වෙන්නේ නැති තැනකට ඇවිත්නේ තියෙන්නේ?

සියලු වැඩකටයුතු ඉතා හොඳින් කරගෙන යනවා. අපේ නවතම වැඩපිළිවෙළ තමයි එන්ට්‍රප්‍රයිසස් ශ්‍රී ලංකා සහ ගම්පෙරළිය. ඒවා ඉතා සීඝ්‍රයෙන් කරගෙන යනවා.

ඔබලා ගම්පෙරළිය කරනවා. ජනාධිපති කාර්යාලයෙන් ග්‍රාමශක්ති කරනවා. ඇයි මේ එකම ආණ්ඩුවේ වැඩ දෙකක්?

දෙකම එකට යන්නේ. කිසිම ප්‍රශ්නයක් නෑ.

මේ වැඩසටහන් පක්ෂවල වැඩ නේද?

නෑ. දෙකම ආණ්ඩුවේ වැඩ. එකම ආණ්ඩුවේ වැඩ පිළිවෙළවල් ගොඩක් තියෙන්න පුළුවන්.

ඔබ නීතිය හා සාමය භාර ඇමැති. අභියෝග බලපෑම් එහෙම හොඳට ඇති නේද?

කිසිම පීඩනයකුත් නෑ. බලපෑමකුත් නෑ. ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කිසිම බලපෑමක් කරන්නේ නෑ. ස්වාධීනව වැඩකටයුතු යනවා. අපිට සංඛ්‍යාලේඛනවලින් පෙන්නන්න පුළුවන් වැඩකටයුතු ඉතා සාර්ථකව කරපු හැටි.

පුදුමේ කියන්නේ යහපාලන රජය ඇතුළේ මේ අමාත්‍යංශය දෙන්නෙක් තුන්දෙනෙක් අතට මාරු වුණානේ. ඇයි එහෙම වුණේ?

තුන්දෙනෙක් නෙමෙයි පස්දෙනෙක් අතට මාරුවෙලා තියෙනවා.

ඇයි ඒ? නීතිය හා සාමය අමාත්‍යංශය ඒ තරම් කරන්න අමාරුද?

සාමාන්‍යයෙන් මේ අමාත්‍යංශය රටේ එදිනෙදා ප්‍රශ්නවලට මුහුණ දෙන අමාත්‍යංශයක්. පහුගිය කාලයේ කැබිනට් සංශෝධන කිහිපයක් සිද්ධ වුණා. ඒ නිසයි එහෙම වුණේ. මේ අමාත්‍යංශයෙන් රටේ නීතිය හා සාමය රකින එක කරන්නේ. මත්කුඩු පාතාලය, අපරාධ මර්දනය වගේ වැඩකොටස් රාශියක් පහුගිය කාලේ කළා. දැනුත් කරනවා.

ඔබ කියන්නේ මේ සිවිල් සමාජයේ කාර්ය භාරය ගැන. ඒත් ජනාධිපති කියලා තියෙනවා කැබිනට් රුස්වීමේදී පොලිස්පතිගේ ඉඳලා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම වෙනස් වෙන්න ඕනේ කියලා.

ජනාධිපතිතුමා මේ රටේ ප්‍රධානියා හැටියට එතුමට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ගැන තර්කයක් නෑ. ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව අපි කටයුතු කරනවා. ඒ ගැනත් තර්කයක් නෑ.

ඔබ හිතන්නේ නැද්ද ජනාධිපතිවරයා කියන විදිහේ වෙනසක් වෙන්න ඕනේ කියලා?

පොලිස් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කමිටුවක් අපි පත්කළා. කමිටු වාර්තාව අද හෙටම මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. අපි සියලුදෙනා පිළිගන්න දෙයක්. පොලිස් ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන එක.

දීර්ඝ ඉතිහාසයක් තියෙන ශ්‍රී ලංකා පොලීසියට එන්න එන්න විරෝධතා වැඩියි. ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය නායකයා කියනවා පොලිස්පති ජෝකර් කෙනෙක් කියලා. ඇයි මෙහෙම අහන්න වෙලා තියෙන්නේ?

ඒ ගැන මම අදහසක් ප්‍රකාශ කරන්න කැමති නෑ. යම් දේවල් තියෙනවා උත්තර දෙන්න පුළුවන් ඒවත්, බැරි ඒවත්.

ඔබට උත්තර දෙන්න බැරි ප්‍රශ්නය අහපු ක්‍රමය නිසා වෙන්න ඇති. මෙහෙම ඇහුවොත් පොලිස්පතිවරයා එක වෙලාවක භාවනා කරනවා. මිනිස්සුන්ට ගහන්න යනවා. සිංදු කියනවා. නටනවා බෙරගහනවා. මේවා හොඳද? මේවා හරිද?

යම් යම් චෝදනා සම්බන්ධයෙන් බලන්න අපි ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික පරිපාලකයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරලා තියෙනවා. අමාත්‍යවරයා හැටියට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මම අරගෙන තියෙනවා. අවුරුදු ගණනාවකට පස්සේ මේ වගේ පරීක්ෂණයක් කරන්නේ. පොලිස්පතිවරයා පත්කරන්න බලතල තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාවට. ඉවත් කරන්න තියෙන්නේ වෙන විදිහකට. ඒ නිසා මට තියෙන බලතල අනුව මම කටයුතු කරනවා.

ඔබ පොලිස්පතිවරයා කැඳවලා ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කළාද? අවවාද කළාද?

අනිවාර්යයෙන්ම. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ලැබෙන යම් යම් තොරතුරුවලට අනුව ඔහුට මම උපදෙස් දීලා තියෙනවා.

පොලීසියේ සියයට 90ක්ම පොලිස්පතිවරයා සමඟ අමනාපයෙන් ඉන්නෙ. මේ ප්‍රශ්නය විසඳන්න උත්සාහ ගන්නේ නැද්ද?

මම කිව්වා වගේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විදිහක් තියෙනවා. කොහොම වුණත් ජනාධිපතිවරයත්, අගමැතිවරයත් එකතුවෙලා තීරණයක් ගත යුතුයි කියාලා මමත් විශ්වාස කරනවා..

1962දී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් නිසා මැතිනිගේ කාලේ පොලීසියේ හමුදාවේ අය වහාම අත්අඩංගුවට ගත්තා. නැවතත් පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට චෝදනා එනවා ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන. ඒත් පරීක්ෂණ මන්දගාමියි?

එක් සංවිධානයක මනුස්සයෙක් මේ කතාව කිව්වා. මේ ගැන හොයන්න ස්වාධීනව රහස් පොලීසියට අපි බාර කළා. මේ ගැන පරීක්ෂණ යනකොටම ඒ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යැව්වා. ඒ වගේම පොලිස් කොමිසමට දැනුම් දුන්නා. දැන් රහස් පොලීසියෙන් පරීක්ෂණයක් සිද්ධ කරනවා. ඒ වාර්තාව ආපුවම අපි ඒක නීතිපතිවරයාට බාරදෙනවා. මට පොලීසිය භාර ඇමැති විදිහට ක්‍රියාමාර්ග ගන්න බෑ. ඒක අයිති පොලිස් කොමිසමටයි, නීතිපතිවරයාටයි. ඒ නිසා අදාළ තැන් දැනුම්වත් කළා.

මේ පරීක්ෂණයේදී ස්නයිපර් අවියක් නැතිවෙලා කියලා ආරංචියක් ආවා. එල්.එම්.ජී. අවි දෙකක් ගෙන්නගෙන කියලා ආරංචිය ආවා. තව කට්ටිය ගෑවෙනවා. මේ කුමන්ත්‍රණය පොඩි නෑ නේද?

කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න තමයි මේ පරීක්ෂණය රහස් පොලීසියට ලබාදුන්නේ. කාටවත් ඒ ගැන විවේචන නෑ. හඬපටය ගැනත් සිදුකරපු රස පරීක්ෂක වාර්තාව අද හෙටම එයි. හැබැයි ස්නයිපර් ගිනිඅවිය අතුරුදන් වෙලා නෑ. ඒ වගේම එල්.එම්.ජී අවි දෙකක් නිකුත් කිරීම ගැන රහස් පොලිස් පරීක්ෂණයෙන් තහවුරු වෙයි. ඒ ගැන වාර්තාවක් ඉල්ලලා තියෙනවා.

මේ ඝාතනය ගැන රහස් වගයක් පොලිස්පතිවරයත් දන්නවා, කියලා තියෙනවා. දැන් මේක සංකීර්ණයි නේද ඔබටත්?

ඒ ගැන ප්‍රකාශයක් කරන්න කැමති නෑ. මොකද ඇමැතිවරයගේ ප්‍රකාශයක් නිසා මේ ගැන ගැටලුවක් වෙන්න පුළුවන්. පොලිස්පතිවරයා දන්නවා නම් ඔහු දන්න තොරතුත් දෙයි අදාළ තැන්වලට.

දේශපාලනය පැත්තට යොමුවුණොත් ආණ්ඩුව කියනවා පළාත් සභා මැතිවරණය අද තියෙනවා හෙට තියනවා කියලා. හැබැයි තියෙන විදිහත් තවම තීරණය කරලා නෑ.

අපි කියන්නෙත් පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියෙන්න කියලා. මෙතන වුණේ සීමානීර්ණය ගැන ප්‍රශ්නයක්. නමුත් අද වෙනකොට අගමැතිතුමා ප්‍රමුඛ පක්ෂවලට භාරකරලා තියෙනවා මේ ගැන තීන්දුවකට එන්න. ඒකට මාස දෙකක් කල් ඉල්ලලා තියෙනවා. අපි කියන්නෙත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕනේ.

ඔබලත් පැරණි මැතිවරණය ක්‍රමයට කැමතියි. ඒකාබද්ධ විපක්ෂයත් කැමතියි. ඇයි තියන්නේ නැත්තේ පරණ ක්‍රමයට?

මේ ගැන කැබිනට් එකෙත් සාකච්ඡා කළා. ඉක්මනින් තීරණයකට එයි.

මේ කිසිදෙයකට විසඳුමක් නැතුව ආණ්ඩුවේ පක්ෂයි, විපක්ෂයේ පක්ෂයි හැමෝම ජනාධිපතිවරණයක් පස්සේ දුවනවා.

අපි නම් ඉතිං විශාල සංවර්ධන කටයුතු රැසක් සිදුකරනවා. ඒ වගේම ආරම්භ කරලා තියෙනවා. මේ අතරතුර පක්ෂ ටික සූදානම් වෙන්නත් ඕනේ මැතිවරණයකට. සංවිධානය වෙන්න කාලයක් ගත වෙනවා. ඒ නිසා මේක සාමාන්‍ය දෙයක්.

යහපාලන රජය පටන් ගත්තේ ඉස්සරහටත්  අපි එකට කියලා. ඒත් අවුරුදු පහ යන්නත් කලින් දැන් දෙගොල්ලෝ වෙන වෙනම ගමනක් ගැන කතාව. ඇයි මේ?

සමහර වෙලාවට දේශපාලන වාතාවරණය අනුව පොදු අපේක්ෂකයෙක් ගැන හිතන්න පුළුවන්. නමුත් පාක්ෂිකයෝ කියනවා එජාප සාමාජිකයෙක් පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් විය යුතුයි කියලා. කොහොමත් තවම කල්වැඩියි ඒ ගැන හිතන්න. අන්තිම මොහොතෙ බලමු මොකද වෙන්නේ කියලා. දැන්ම කලබල වෙන්න එපා.

බලාපොරොත්තුවක් නැද්ද ජනාධිපති අගමැති සුසංයෝගය තව ඉදිරියට අරගෙන යන්න?

මේ දෙන්නම එක ගමනක් ගියොත් හොඳයි කියලා මම හිතනවා. නමුත් පාක්ෂිකයෝ ඉල්ලන්නේ එජාප අපේක්ෂකයෙක්. බලමු අපි මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳගමු.

එජාප ආණ්ඩුවක් ආවොත් මොනවා නැතත් කන්න හරි තියෙයි කියලා කතාවක් තියෙනවා. ඒත් මේ පාර හිරවුණා නේද?

මේ ආණ්ඩුව බාරගන්න වුණේ විශාල ණය බරක් එක්ක. දේශීය හා විදේශීය ණය තුන් ගුණයක් වැඩිකරලා තමයි රාජපක්ෂ ආණ්ඩුව බාරදුන්නේ. මුදල් ගැවසෙන්නේ නෑ මේ ප්‍රශ්න නිසා. අද මිනිස්සුන්ගේ අතේ සල්ලි ගැවසෙනවා. නෑ කියන්න බෑ. ඒ ගැන දත්ත තියෙනවා අපිට. ඒත් පහුගිය මාස කිහිපය තුළ මුදල් සංසරණයේ යම් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි එන්ට්‍රප්‍රයිසස් ශ්‍රී ලංකා කියලා ලොකූ ව්‍යාපෘතියක් හදලා ජනතාවට මුදල් යන ක්‍රමයක් හැදුවේ.

ව‍ර්තමානයේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ තෙල් මිල සූත්‍රය. ආණ්ඩුවේ කිසිකෙනෙක් දන්නේ නෑ. ඔබවත් දන්නවද?

නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ. අපි තීන්දු කළා ලෝක වෙළඳ පොළේ තෙල් මිල ඉහළ පහළ යන විදිහට ඒක සංශෝධනය කරන්න ඕනේ කියලා. මම තවමත් බය නැතුව කියනවා 2015 ජනවාරි 08 වෙනිදට කලින් තිබ්බ තෙල් මිලට ගෑස් මිලට සාපේක්ෂව, අපේ මිල අඩුයි.

ඒකාබද්ධ විපක්ෂය කියනවා සංවර්ධනය වෙලා තිබ්බ රටක් ඔබලට බාරදුන්නත් ඔබලා එය විනාශ කළා කියලා?

මහින්ද රාජපක්ෂ යුගයේ හැදුවේ සීමාසහිතව. ඒත් අපි ඊට වඩා දෙගුණකින් රට සංවර්ධන කරලා තියෙන්නේ. මහින්ද මහත්තයා කරපු වැඩවල සල්ලි ගෙව්වේ අපි. ණය ගෙවන්නේ අපි. කාටවත් කියන්න බෑ අපි වැඩ කරන්නේ නෑ කියලා. අපි වැඩ කරනවා. ඒත් ප්‍රචාරය කරන්නේ නෑ.

ඉතිං මෙච්චර වැඩකරන ආණ්ඩුවක් ඇයි මිනිස්සුන්ගෙන් හිටුකියලා බැණුම් අහන්නේ?

ඒකට හේතුව තමයි ආණ්ඩුව කරන්නේ පක්ෂ දෙකක්. ඒක අමාරු කාර්යයක්. පක්ෂ දෙකම එක මතයක ඉන්න ඕනේ. එහෙම නොවෙන නිසා තමයි අපිට මේ දේවල් අහන්න වෙලා තියෙන්නේ. වෙලාවට අර විවේචනය කරපු කණ්ඩායම දැන් ආණ්ඩුවෙන් ගිහින් තියෙනවා. මෙතන ප්‍රධාන හේතුව ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුව විවේචනය කිරීම.

අවසාන වශයෙන් අහන්නේ මේ ලැබිලා තියන නීතිය හා සාමය අමාත්‍යංශය ගැන ඔබ ඉන්නේ තෘප්තියෙන්ද?

අනිවාර්යයෙන්. මම විශාල වැඩ කොටසක් මේ අමාත්‍යංශය ඇතුළේ කරලා තියෙනවා.

ගයාන් ගාල්ලගේ