2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා

ඇමැතිලා දෙන්නෙක් තෙල් අර්බුදෙන් ගොඩ යන්න බැලුවා

 2017 නොවැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග

මම මහින්ද මහත්තයා බයිසිකලෙන් පාර්ලිමේන්තු යැව්වා 

මෙහෙම ගියොත් බෙල්ලට පිහිය තියල තෙල් ගන්න කියාවි 

මේ තනතුරේ කොච්චර කල් ඉඳීවිද දන්නෙ නැහැ 

එපා කියපු තෙල් නැව තාම රට ඇතුළේ 

අපි හොයන්නෙ කව්ද මේ බොරු ආරංචිය පැතිරෙව්වෙ කියලා 

අපිට තාම හරි හොරෙක් අල්ලගන්න බැරිවුණා

•ඉතිහාසයේ කවදාවත් නැති විදිහට ඔබ අමාත්‍යධුරය දරපු කාලේ රටේ ඉන්ධන හිඟයක් ආවා මොකද්ද මේකේ ඇත්ත කතාව...? 

මේක මේ එකපාර වෙච්ච දෙයක් නෙමෙයි. අපි කරපු වෙනසකින් ඇති වෙච්ච දෙයකුත් නෙමෙයි. අවසනාවකට වගේ සිදුවීම් කිහිපයක් එකට එකතුවෙලයි මේ දේ වුණේ. දැන් අපි හොයන්න ඕනේ මේකේ මුල කොහෙද කියලා.

• ඔබ හිතන හැටියට කොතනින්ද මේ ප්‍රශ්නේ උඩට ආවේ...?
අයි.ඕ.සී. එකේ බාල තෙල් නැව එළියට දාපු දවසේ ඉඳලයි මේ ප්‍රශ්නය ආවේ. ඒ වගේම තමයි අපිට එන්න තිබ්බ නැවක් සතියක් පරක්කු වුණා. අපි හරියට ගියානම් බ්‍රහස්පතින්දා රැ වෙනකොට තෙල් බෙදන්න තිබ්බා. සාමාන්‍යයෙන් අපිට දවසකට යන්නේ මෙට්‍රික් ටොන් 2500ක් 2600ක් වගේ ප්‍රමාණයක්.

• මේ දේවල් දැනගෙනත් කොහොමද රටේ තෙල් හිඟයක් ආවේ...?
මේ සිද්ධි වෙනකොට ෆෝන්වලට මැසේජ් එකක් ගියා තෙල් වර්ජනයක් තියෙනවා කියලා. ඒ වගේ දෙයක් වෙනවා කිව්වම මිනිස්සු කලබල වෙනවා.

• ඉතිං කවුද මේ මැසේජ් එක ඇරියේ. ඔබලගේම අය වෙන්න එපැයි...?
ඇත්තටම අපිටත් තියෙන්නේ ඒ ප්‍රශ්නය. කවුද මේ මැසේජ් එක ඇරියේ කියලා. අපිට පරීක්ෂණවලදී ප්‍රධාන වශයෙන් සොයන්න තියෙන්නේ මේ ප්‍රශ්න. මොකද මේ ප්‍රශ්නයත් එක්ක දවසේ තියෙන ධාරිතාවත් එක්ක බලද්දී ඉල්ලීම එන්න එන්න වැඩි වුණා. ඇත්තටම මේ නිසා පහර වැදුණේ ත්‍රීවිල් සහ බයිසිකල්වල යන අයට. දවසේ ජීවන වියදම හොයාගන්න අය ගැන හිතනකොටයි මට දුකක් තියෙන්නේ. මහජනතාවට වෙච්ච ප්‍රශ්නය ගැන කනගාටු වෙනවා.

• එතකොට මේ සිද්ධිය එස්.එම්.එස්. එකකට ලඝුකරන එක හරිද...?
ඇත්තටම කිව්වොත් ඔය පරක්කු වුණ නැව නියමිත දිනයට නැතුව ඔය ආපු දවසේ ආවත් අපිට මේ ප්‍රශ්නය විසඳන්න තිබ්බා. මොකද නැව එන්න පරක්කු වන නිසා අපි හරි පරිස්සමින් කාටත් නොදැනෙන්න මේ ප්‍රශ්නය විසඳමින් හිටියේ. ඒත් මේක කොහෙන් හරි එළියට ගිය එකෙන් තමයි මිනිස්සු ඇවිස්සුණේ.

• එතකොට කවුද මේ රහස එළියට දුන්නේ...?
මේකේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. හැබැයි මම එක දෙයක් දන්නවා මේක ඇතුළේ ලොකු තෙල් මාෆියාවක් තියෙනවා. හරි දේ කරන්න හදපු කිසිම ඇමති කෙනෙක්ට මේකේ ඉන්න දුන්නේ නෑ. මම දන්නේ නෑ මටත් ඉන්න හම්බවෙයිද කියලා. නමුත් මම ඉන්නකල් තීරණයක් අරගෙන තියෙනවා වැරදි වැඩ කරන්න දෙන්නේ නෑ කියලා.

• තෙල් නැව දෝෂ සහිතයි කියලා ඔක්තෝබර් 18 වෙනකොට දැනන් හිටියා. ඒ දැනගෙනත් මේ දේ වළක්වන්න පියවරක් නොගත්තේ ඇයි...?
ඔක්තෝබර් 15 වෙනිදා තමයි පළවෙනි වතාවට මේ නැව ප්‍රතික්ෂේප කළේ. දෙවැනි පරීක්ෂාව 17 තිබ්බා. එදත් ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ අපේ ගබඩා කිරීම් සම්බන්ධ රැස්වීමේදී අපි එයාලට කිව්වා 31 හරි 1 වෙනිදා හරි ඒකට හරියන්න නැවක් ගේන්න කියලා. ඒත් ඒ අය ඇවිත් කිව්වා ඒක කරන්න බෑ කියලා. එතකොට අපි එතනත් හිරවුණා. 

• එතකොට තෙල් සංස්ථාවට එන්න තිබ්බ නැව කොහොමද දවස් 07ක් පරක්කු වුණේ...?
ඒක අපිටත් ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් නැවකට තෙල් ගහන්න දවස් එකහමාරක් විතර යනවා. ඒත් මේ නැව දවස් තුනක් නතර කරගෙන ඉඳලා තියෙනවා. එනගමන් මගදී බංකරිනුත් කරගෙන. මෙච්චර පරක්කු වෙලා තියෙනවා. දැන දැනත්. ඒ නිසා පුදුමයි. මම හිතන්නේ නෑ මේව සාමාන්‍ය සිදුවීම් කියලා. ඒකයි මම ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි කිව්වේ මේ ගැන හොයන්න ඕන කියලා.

• සමාජයට තියෙන ප්‍රශ්නය තමයි එක තෙල් නැවකට පුළුවන් වුණා රටක් වට්ටන්න කියන තැන...?
නෑ. මේක එකක් කියන්න බෑ. සාමාන්‍යයෙන් අපි ගබඩා කරන්නේ මාස දෙක තුනකට කියලා. මේ මම කරපු දේවල් නෙමෙයි. අවුරැදු ගාණක ඉඳන් කරගෙන ආපු ඒවා කියලා විශේෂයෙන් චම්පික ඇමතිතුමා විශේෂ ක්‍රමවේදයක් සකසලා තිබ්බා. ඒවා වැදගත්. ඒත් මෙතැනදී ඒ සියලු දේවල් හිරවුණා. ඒ නිසා එක නැවක් නෙමෙයි මේක හෙටත් පරක්කු වුණොත් මේ තත්ත්වය උද්ගත වෙන්න පුළුවන්. මොකද අපිට තියෙන ටැංකිවලින් මෙට්‍රික් ටොන් 90,000ක් තැන්පත් කරන්න හැකියාව තියෙනවා. ඒත් පාවිච්චි කරන්න පුළුවන් මෙට්‍රික් ටොන් 80,000කට විතරයි. ඔය එන නැව්වලින් තෙල් ගහන්නත් දවස් කීපයක් යනවා. මොකද අපේ තාක්ෂණය අඩුයි. සපුගස්කන්ද නිසා තමයි බේරිලා තියෙන්නේ. වරායෙ එකත් පැරණියි.

• ඇයි ඉතින් ඕව හදාගන්නෙ නැත්තෙ...?
ඇත්තටම මේකෙන් අපි හොඳ පාඩමක් ඉගෙනගත්තා. අපි ආණ්ඩුවක් හැටියට ආයෝජනය කරනවා අධිවේගී මාර්ගවලට වගේ දේවල්වලට. ඒත් ඒ දේවල්වලින් වාසි ලැබෙන්නේ අවුරුදු 30කින්. ඒත් මේ දේවල් සලසලා තිබ්බා නම් අපිට මෙවැනි දේකට මූණ දෙන්න වෙන්නේ නෑ. මේක හොඳ අවස්ථාවක් වුණා අපිට අතපසු වෙච්ච දේවල් හදාගන්න.

• ඉන්දියානු තෙල් සමාගමට අයත් නැවකින් රටක් අවුල් වුණානම් මිනිස්සු හිතන්න පුළුවන් නේද මේක මේ ඉන්දියාවේ වැඩක්ද කියලා...?
ඉන්දියාවේ බලපෑමක් නෑ. හැබැයි මට තියෙන ප්‍රශ්නෙ මෙච්චර එපා කියන නැවක් ඇයි තවම රට ඇතුළේ තියන් ඉන්නේ කියලා. සාමාන්‍යයෙන් තෙල් නැවක් එළියට දාපුවම අරගෙන යන්න ඕන. ඒත් මේක තවමත් තියාගෙන ඉන්නවා.

• මේ නැව දැන් කොහෙද තියෙන්නේ...?
කොළඹ ඉඳලා ගිහින් දැන් ත්‍රිකුණාමලයේ නවත්තලා තියෙනවා.

• කොහොමද එපා කිව්ව නැවක් නවත්තාගෙන ඉන්නේ කාගේ හයියෙන්ද...?
අනේ මන්දා මටත් හිතාගන්න බෑ. මෙහේ තියෙන ආයතනයක් එක්ක ඒ අය හැදුවා ඔය තෙල් ෆිල්ටර් කරන්න. ඒ අය කොහොම හරි ට්‍රයි කරන්නේ ඇතුළට දාන්න. මොකද ඇත්තටම පාඩුයිනේ. ඒ අයගේ වරදක් නෑ. ඒත් මට අයිතියක් නෑ මේක ඇතුළට දාන්න. මෙතැන තියෙන හොඳම දේ ඇයි අපිට එන්න තිබ්බ නැව පරක්කු වුණේ කියන එක. අපිට ඒ අයට දඩ ගහන්න පුළුවන්. ඒත් අපි බලන්න ඕන ඇයි එහෙම වුණේ කියලා. ඉතිහාසයටම නැවක් පරක්කු වෙලා තියෙන්නේ දවස් තුනයි. මේක දවස් හතක්. ඒනිසා මේවා සාමාන්‍ය දේවල් නෙමෙයි.

• බාල තෙල් නැව තවම ත්‍රිකුණාමලයේ තියෙනවා නම් ඔය තෙල් හොර පාරෙන් ඇතුළට එන්න පුළුවන්...?
මම නම් අත්සන් කරන්නේ නෑ. හැබැයි ඉතින් වෙන විදිහකට එන්න බැරිකමකුත් නෑ. අපි ඇහැ ගහගෙන ඉන්නවා. මට ඕනනම් ඒක ඇතුළට දාලා ලාබ ලබාගන්න තිබ්බා. මම එහෙම කරන කෙනෙක් නෙමෙයි කියලා ඒ අය දන්නවා. විවිධ අය හරහා ඒ අය ආවා. ඒත් මම දුන්නේ නෑ.

• ඔබ කිව්වා මාධ්‍යයට දේශපාලන බලපෑම් තියෙනවා කියලා. කව්ද ඒ?
හිටපු අය ගොඩක් දෙනෙක් කිව්වා මේ ටික ඇතුළට දාන්න එතකොට ප්‍රශ්නය ඉවරයි කියලා.

• ඔබටත් එවැනි හිටපු අයගෙන් බලපෑම් එනවා නම් ඔය පුටුවේ හිටියට තේරුමක් නෑනේ?
මම උත්තර බඳින්න ඉන්නේ ජනාධිපතිතුමාට හා අගමැතිතුමාටයි. අනෙක් ඉන්න එක එකාලට උත්තර බඳින්න ලෑස්ති නෑ. විශේෂයෙන් ඇමැතිවරුන්ට. ඇත්තටම කැබිනට් එකේ ඇමැතිවරු සියයට 95කට වැඩිය මේ ප්‍රශ්නයේදී මාත් එක්ක හිටියා. ඒත් ඇමැතිවරු දෙතුන් දෙනෙක් හිටියා අනෙක් ප්‍රයෝජන ලබාගන්න. ඒ කියන්නේ තමන්ගේ අමාත්‍යංශයේ වැරදි වහගන්න.

• කවුද මේ ඇමැතිවරු?
ආණ්ඩුව හදන්න උදව් කළ ඇමැතිවරු නෙමෙයි.

• මේ ජනතාවට වෙච්ච පාඩුවට ඔබ වගකියනවද?
ඇත්තටම මේකෙන් පාඩුව වුණේ ජනතාවගෙනුත් ත්‍රීවිල් අයටයි, යතුරු පැදි අයටයි. මම කනගාටු වෙනවා ඒ ගැන. මෙතැනදී කියන්න ඕන සමහර පෙට්‍රල් ෂෙඩ්වල ඩීසල් දෙන්නේ නැතුවත් නැවැත්තුවා. විවිධ ප්‍රචාර යැව්වනේ. මේ නිසා මේ තෙල් හැංගුවා.

• ඔබට වගකීම බාරගන්න පුළුවන්ද මෙතැනින් පස්සෙවත් මේ වගේ දෙයක් රටේ නොවෙයි කියල?
ඇත්තටම අපි මේ දෙයින් හුඟක් දේවල් ඉගෙන ගත්තා.

• ඔබට අනුව මේක මාෆියාවක්?
ඔව්. මේ කළේ තෙල් මාෆියාවේ වැඩක්. මේක සාමාන්‍ය දෙයක් නෙමෙයි.

• මාෆියා කට්ටිය ඔබේ අමාත්‍යංශය ඇතුළෙද ඉන්නේ?
මේ වෙලාවේ මම කාටවත් දොස් කියන්නේ නෑ. හැබැයි මේ රටට තෙල් ගෙන්වන ඒජන්තවරු ඉන්නවා. පසුගිය කාලේ අපි දැක්කා ඕකට එක්කෙනාට ටෙන්ඩර් තුනක් යනවා. අපි ඒ ක්‍රමය නැවැත්තුවා. මේ ටෙන්ඩර් හරි භයානකයි. මේ ක්‍රමය අනුව ඔය ඒජන්තවරයෙක්ට පුළුවන් බෙල්ලට පිහිය තියලා කියන්න තෙල් ගත්තේ නැත්නම් රටට තෙල් නෑ කියලා.

• ඒ කියන්නේ මේ ක්‍රමය අතීතයේ ඉඳන් ආපුවද?
සමහර විට. හැබැයි ඒවා අහඹු සිදුවීම් නෙමෙයි.

• ඇත්තද ඉන්දියාවෙන් තව තෙල් නැවක් එවනවා කියන්නේ? 
එකක් එනවා ත්‍රිකුණාමලයට. ඒකෙත් තත්ත්වය පරීක්ෂා කරන්න ඕන.

• ඔය තෙල් ප්‍රශ්නේ නිසා හිටපු ජනාධිපති ඇතුළු විපක්ෂයේ පිරිස බයිසිකලෙන් පාර්ලිමේන්තු ආවේ? ඒක ලෝකයම දැක්කා.
මෙහෙමයි මේ වෙලාවේ රටේ මිනිස්සු මොන ප්‍රශ්නයක හිටියත් ඒ අය ඕක ප්‍රචාරණයකට පාවිච්චි කරන්නේ. අනික ආපු බයිසිකල් බලන්න. ඒ බයිසිකලයක් ලක්ෂ ගාණක් වටිනවා. පස්සෙන් ජීප් ටික ආවා. එක ජීප් එකක් නෑ පෙට්‍රල්වලින් දුවන. ඔක්කොම ඩීසල් ජීප්. ඒ නිසා මේවා ඇවිල්ලා බොරදියේ මාළු බාන වැඩ. මේක නින්දිත දේශපාලන ක්‍රමයක්. මම හිතුවේ නෑ මහින්ද රාජපක්ෂ මහත්තයා ඔහොම කරයි කියලා. එක පැත්තකින් සතුටකුත් තිබෙනවා. මම මහින්ද රාජපක්ෂව බයිසිකලෙන් පාර්ලිමේන්තු යැව්වා කියලා.

• පසුගියදා සෝභිත හාමුදුරුවන්ගේ ගුණානුස්මරණයේදී ජනාධිපතිවරයා දැඩි කතාවක් කළා ආණ්ඩුවේ අයත් එතුමට ගහනවා කියල. මේ ආණ්ඩුවේ හොරු ප්‍රබලද?
මම නම් තවම හිතනවා ජනාධිපතිතුමයි අගමැතිතුමයි මේක අතට ගන්න ඕන. පසුගිය වැරදි කරපු අය ඉන්නවා. දැන් වැරදි කරන අයත් හොයලා ඒ දඬුවම් කරන්න ඕන. දේශපාලනය නෙමෙයි. අපි තවම හරි කියල හොරෙක් අල්ලගෙන නෑනේ. ඒක දුර්වලතාවයක්. ආණ්ඩුවේ දුර්වලතාවයක්. කවුද ඒ වගකීම ගන්න ඕනේ. ලොකුම දෙන්නා තමයි.

• ඔබලා වේදිකාවල කිව්වේ හොරු අල්ලනවා කියලා. දැන් ඔබලත් සද්දයක් නෑනේ?
කැබිනට් එකේ කෑගහලා කෑගහලා ඇති වෙලා තියෙන්නේ. රාජිතයි, චම්පිකයි, සරත් ෆොන්සේකයි, මමයි විතරයි කතා කරන්නේ. අනෙක් අය සහයෝගයට එනවා. දැන් අපි හතරදෙනාම කෑගහන එක නවත්තලා. ඇතිවෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාට ඔය දේ තේරෙනවා නම් ඕනම කෙනෙක්ට සමාවක් දෙන්න ඕනෑ.

• ඉතින් ඇයි කරන්නේ නැත්තේ?
ඇත්තටම අපේ ආණ්ඩුව ඉක්මන් තීරණ ගන්නේ නෑ. ආණ්ඩුව වැටෙන්න හේතුව ඔය ඉක්මන් තීරණ නොගැනීම නිසා. අපි තීරණ ගන්න හුඟක් කල් ගියා. දැනටම පරක්කු වැඩියි.

• තීරණ ගන්න කල් යන නිසාද සමහර ප්‍රශ්න ආණ්ඩුව අනාගන්නේ?
ඔතන වෙලා තියෙන්නේ විවිධ ප්‍රකාශ. අපි කැබිනට් එකේදි ගන්න තීරණවලට ඕන කෙනෙක්ට විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් පොදුවේ තීරණයක් ගත්තම එකට ඉන්න ඕන. උදාහරණයක් හැටියට සයිටම් සම්බන්ධයෙන් තීරණයක් ගත්තා නම් විවේචනය කරන්න ඕනෙ ඇතුළේ. එහෙම නැතුව එළියට ගිහින් විවේචනය කරන එක වැරදියි. මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි. ප්‍රශ්නවලට සමහර අවස්ථාවල පෞද්ගලික දේවලුත් ගන්නවා.

• ඔබලට විරුද්ධවාදියා මහින්ද රාජපක්ෂ. ඔහු එන්න එන්නම ප්‍රබල වෙනවා. ජනප්‍රිය වෙනවා. ඒ ආණ්ඩුවේ වැරදි නිසානේ?
මම නම් හිතන්නේ නෑ ඔහු ජනප්‍රිය වෙනවා කියලා. ඒක බොරු කතාවක්. ගම්වල පොඩි සැලකීමක් තියෙනවා. මම කියන්නේ සමහර විට අපිට වරදින්න පුළුවන්. අපි උත්සාහ කරන්න ඕන අපේ අඩුපාඩු හදාගන්න. මෙතැන රාජපක්ෂලා ගන්න නරකයි. වැරදි කරපු හැමදෙනාටම පියවර ගන්න ඕන. ඒත් ගන්නේ නෑ. දැන් බැඳුම්කර සිද්ධියට කොමිසමක් දැම්මා. ඇයි අනෙක් දේවලට මේ පරීක්ෂණ තියන්නේ නැත්තේ.

• ඔබට හිතෙනවද ඩීල් තියෙනවා කියලා වැරදි කාරයෝ එක්ක?
මම දන්නේ නෑ. හැබැයි මටත් සැකයක් තියෙනවා මේවා නොවෙන්නේ ඇයි කියලා. අපිත් කලකිරිලා ඉන්නේ. අපි කියන්නේ මේ ප්‍රශනය වුණත් හොයන්න. එහෙම නැත්නම් වෙන අයගේ ඇඟට යන්න පුළුවන්.

• ඇයි මේ තවම ව්‍යවස්ථා ගැටේ ලිහාගන්න බැරි ආණ්ඩුවට? හැම තැනින්ම විරෝධතා?
නෑ එහෙම තීරණයක් අරගෙන නෑ ලිහාගන්න තරම්. එක එක්කෙනා කෑගැහුවට අන්තිම තීරණයක් අරගෙනත් නෑ. ජනාධිපතිතුමා කාටත් කලින් ආගමික නායකයන්ට පෙන්වලා තමයි මේ ගැන තීරණයක් ගන්නේ. ඊට පස්සෙයි අපිට ගෙනත් මේක සම්මත කරන්නේ. ඒ නිසා තවම මේක ගැටයක් නෙමෙයි.

►ගයාන් ගාල්ලගේ
සේයාරුව I අන්තර්ජාලයෙන්