2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

ආණ්ඩුවෙ උපදේශකයන්ගේ කකුල් තියෙන්නේ අහසේ

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 233

මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා

ඔබ හිතන හැටියට ඉස්සෙල්ලා ආණ්ඩුව එක්ක සසඳද්දි මේ ආණ්ඩුව ධනද? ඍණද?

ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න වෙන්නේ දෙවිදියකට. ගිය ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමය එක්ක බලද්දි මේ ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාදාමය ඍණ. මානව හිමිකම් පැත්තෙන් ලබා තිබෙන ප්‍රගතිය ගත්තොත්, විදේශ රටවල් සමඟ තිබෙන සම්බන්ධතා ගත්තොත්, ජාතික සහයෝගිතාව දිහා බැලුවොත් ඒ කාරණා එක්ක මේ ආණ්ඩුව ධන.

මේ ආණ්ඩුවේ ආර්ථිකය ඍණ කියලා ඔබ පිළිගන්නවද?

ආර්ථිකය ධන පැත්තට හරවන්න බැරි ප්‍රධාන හේතු තුනක් තියෙනවා. ඒක අපට පාලනය කළ නොහැකි ලෝකයේම ඇතිවෙලා තියෙන ආර්ථික තත්ත්වයන්. දෙවැනි කාරණය ගිය ආණ්ඩුවේ තිබුණු නිවැරදි ආර්ථික ක්‍රමවේදයකට මේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික උපදේශකයන්ගෙන් උපදෙස් ලැබෙන්නේ නෑ. විශේෂයෙන් අගමැතිතුමාගේ ආර්ථික උපදේශකයන් බොහෝ දෙනෙකුගේ කකුල් තියෙන්නේ මහපොළොවේ නෙමෙයි අහසේ. පාස්කරලිංගම් මහත්තයා ගත්තත්, චරිත රත්වත්තේ මහත්තයා ගත්තත් ඉතාම හොඳ බුද්ධිමතුන්. නමුත් ඔවුන්ගේ කකුල් තියෙන්නේ අහසේ. තුන්වැනි කාරණය තමයි ආර්ථිකය ආපස්සට යන්න සිදුවුණේ වංචා හා දූෂණ නිසා. ගිය ආණ්ඩුවෙත් තිබ්බා. ඒත් මේ ආණ්ඩුවේ බැඳුම්කර චෝදනාව වගේ ගැන බලද්දි ආර්ථිකය ආපස්සට යන්න හේතුවෙලා තියෙනවා.

ඔබ ඔය හේතු කාරණා පෙන්නුවට එජාපය නම් කියන්නේ මේ ආර්ථික ගැටලුවට හේතුව ඔබතුමාලා ඉස්සර ගත්ත ණයලු. ඒ ණය ගෙවන්න වෙලා තියෙන නිසාලු මෙහෙම වුණේ?

එහෙම කියනකොට කියන්න තියෙන්නේ එයාලාට අමතක වෙලා තියෙන්නේ එයාලා ආණ්ඩු පක්ෂයේ කියලා. විරුද්ධ පක්ෂයේදී කියපුවා ආණ්ඩු පක්ෂයට ඇවිත් කියන්න බෑනේ. ණය බර කියන එකට ඉස්සෙල්ලා ආණ්ඩුවටම ඇඟිල්ල දික්කරන්න බෑ. ඉතිහාසය පුරාම අපි ණය අරගෙන තියෙනවා. ඒවා තමයි මේ ගෙවන්නේ. සමහර විට අද අපි ගෙවන්නේ මීට අවුරුදු 10කට 15කට කළින් ගත්ත ණය වෙන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලා ආණ්ඩුවලට ඇඟිල්ල දික්කරන්න බෑ. නටන්න දුන්නයින් පස්සේ පොළොව ඇදයි කියන්න බෑ. කොහොම හරි නටන්න ඕන.

 විමල්ලට ගම්මන්පිලලට අදත් ගහනවා හෙටත් ගහනවා 

ආණ්ඩුව ගත්ත තීන්දු තීරණවල ඇයි ඍජු බවක් නැත්තේ? මේ ගන්න තීන්දු මේ වෙනස් කරනවා?

මම දකින්නේ නෑ ඔබ කියන දේ අයහපත් විදිහට. ආණ්ඩුව හරි ඇමැති කෙනෙක් හරි ගන්න තීන්දුව වෙනස් කරන්න බැරිනම් ඒක ටිකක් ඒකාධිපති ස්වරෑපයක් වෙනවා. හැබැයි මේ ආණ්ඩුවේ තීණ්දු තීරණ වෙනස් කරනවා. කාටත් තනි තීරණ ගන්න බෑ. මුදල් අමාත්‍යවරයා ගෙනාපු වැට් බදු ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වුණේ ඒ නිසා. ඒ වගේම හිටපු මහබැංකු අධිපතිතුමාට චෝදනා තියෙද්දි කාලය දීර්ඝ කරන්න ගියා. අපි එපා කිව්වා. ඒ හින්දා නතර වුණා. අන්න ඒ වගේ සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. ඒ නිසා මේක හොඳ ක්‍රමයක්.

 ආර්ථිකය පස්සට යන්න බැඳුම්කරේම ඇති 

හැබැයි එජාපය චෝදනා කරන්නේ ඔබලා ආණ්ඩුවේ ඉඳලා ආණ්ඩුවේම කකුලෙන් අදිනවා කියලා?

නෑනේ. ශ්‍රීලනිපයයි, එජාපයයි සම්මුතිවාදී ආණ්ඩුවට එන්නේ තම ප්‍රතිපත්තින් සමඟ. ඒ සමඟ තමයි ගිවිසුමකට එළඹෙන්නේ. ඒ නිසා සම්මුතිවාදී ආණ්ඩුවක් ඇතුළේ එජාපයට එහෙම කියන්න බෑ. අපිටත් එහෙම කියන්න බෑ. විශේෂයෙන් ආර්ථික කාරණයේදී පක්ෂ දෙකේ ප්‍රතිපත්ති වෙනස්. ශ්‍රීලනිපයේ ආර්ථිකය වාමවාදී, ජනතාවාදී ආර්ථික ක්‍රමයක්. එජාපයේ ආර්ථික ක්‍රමය ධනවාදී පෞද්ගලීකරණයට බර නව ලිබරල්වාදී දර්ශනයක්. ඒ නිසයි ඔය තර්ක විතර්ක ඇතිවෙන්නේ.

ඇයි ඔය වාමවාදී, ජනතාවාදී ශ්‍රීලනිපයට තවමත් ජනතාවගේ ජීවන බර නොපෙනුණේ?

අපිට දැනෙනවා. ඒකනේ ඉස්සෙල්ලා ප්‍රශ්නයෙන්ම ඔයා ඇහුවේ. ඒ නිසයි අපි ආණ්ඩුවේ ඉඳලා යූ.ඇන්.පී. එකත් එක්ක ගැටලු ඇතිවෙන්නේ.

 මහින්ද රාජපක්ෂ අප්පච්චි තමයි පක්ෂය භාර දුන්නෙ 

හම්බන්තොට ඉඩම් බදුදීම සම්බන්ධව ශ්‍රීලනිපයත් එජාපයත් ඉන්නේ මත දෙකක. ඇත්තටම මේ ඉඩම් බදු දෙන්න ඕනෙමද?

මම නම් කියන්නේ එහෙම බදුදීමක් අවශ්‍ය වෙන්නේ නෑ, අපිට ආර්ථිකය හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් නම්. ඒත් හම්බන්තොට වරාය සුදු අලියෙක් කරන්න බෑ. අපිට තවත් මුදල් වැය කරන්න බෑ වරාය සංවර්ධනය කරන්න කියලා. ඒ නිසයි අපි චීනයට බදු දෙන්නේ. හැබැයි අපි විරුද්ධයි අවුරුදු 99කට බදු දෙනවට. අපි කියන්නේ 30,40කට දෙන්න කියලා. බදු ගිවිසුම් සියයට අසූවක් එයාලටත් සියයට විස්සක් අපිටත් එන විදිහට නෙමෙයි 60%ක් 40% අතර ක්‍රමයකට ගේන්නයි අපිට අවශ්‍ය.

ඩිලාන් පෙරේරා ඒ කාලෙත් ආණ්ඩුවේ ඇමැති. ඔය කතා කිව්වේ නෑ ඉස්සර. රාජපක්ෂවරු තරම් වෙන කවුරුත් නෑ වගේනේ හැසිරුණේ?

මම ඒකනේ කිව්වේ ආර්ථිකය එක්ක බලද්දි රාජපක්ෂ ආණ්ඩුව ධන. මේ ආණ්ඩුව ඍණ කියලා. ඒ නිසා ඒ ආණ්ඩුවේ තිබ්බ අඩුපාඩු තමයි තනි මතයට ක්‍රියාත්මක වීම. ඒ කියන්නේ හරි හෝ වැරදි හෝ අදහසක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තිබ්බේ නෑ. ඒ නිසා තමයි ආර්ථිකය ධන තැනක තිබ්බ ආණ්ඩුවකුත් පැරදුණේ. අපි කියන්නේ ඒකයි ඒ අඩුපාඩු ඇති නොවන විදිහට වැඩේ කරගෙන යමු කියලා.

 ආර්ථික කාරණේදී රාජපක්ෂ ආණ්ඩුව ධන මේ ආණ්ඩුව සෘණ 

විරුද්ධ පක්ෂවලින් චෝදනාවක් තියෙනවා මැතිවරණය කල්යාම පිටුපස තියෙන සැබෑ හේතුව තමයි ශ්‍රීලනිපය තවම එක්කාසු කරගන්න බැරිවීමේ ගැටලුව කියලා.

ඒක සම්පූර්ණ බොරුවක්. මේ අලුත් මැතිවරණ ක්‍රමයම හැදුවේ සන්ධාන ආණ්ඩුව. ඒකේ නිර්මාතෘ තමයි බැසිල් රාජපක්ෂ. එතනදී කොට්ඨාස නිර්ණය කළා. ඒ නිර්ණය අවාසිදායකයි කියලා කිව්වේ අපි නෙමෙයි. දිනේෂ් ගුණවර්ධන මහත්තයලා කිව්වා, වාසුදේව මහත්තයලා කිව්වා. යූ.ඇන්.පී. එක ඇතුළු පක්ෂ ගණනාවක් කිව්වා මේක සාධාරණ නෑ කියලා. හැබැයි මේ කල්යාම නිසා වාසියක් වුණා. ඒකටයි කාන්තා නියෝජනය 25%ක් දක්වා ඉහළ ගියා. ඒ නිසා ශ්‍රීලනිපය නිසා නෙමෙයි මැතිවරණ කල්ගියේ සීමා නිර්ණය දුර්වලතා නිසා.

ඔය කිව්වට තවම ශ්‍රීලනිපය මැතිවරණයට සූදානමක් නෑ නේද?

අපි තමයි සූදානම්ම වෙලා ඉන්නේ. අපි සම්මුඛ පරීක්ෂණ තියලා අපේක්ෂකයන් තෝරාගෙන සංවිධායකවරුන් පත්කරලා තියෙන්නේ.

 දැන් ශ්‍රීල.නි.පය ආණ්ඩුවෙයි විපක්ෂයෙයි දෙකේම ඉන්නවා

ඇයි එහෙනම් ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරැ තවම ශ්‍රීලනිපයට නැත්තේ? මේක ශ්‍රීලනිපයේ ගේම් එකක්ද?

එහෙම හිතුවට වැරදි නෑ. ගිය ජනාධිපතිවරණය ඉවරවුනාමත් කිව්වේ පක්ෂය කැඩෙනවා විනාශ වෙනවා කියලා... ඒත් වැටුණේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තය එක්ක ඡන්දය ඉල්ලුවා. එය උපායක් හැටියට හිතුවට කමක් නෑ. මොකද ජනාධිපතිතුමා ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසකට සම්මුතිවාදී ආණ්ඩුවේ වැඩකරන්න දුන්නා වගේම විපක්ෂයෙත් වැඩකරන්න දුන්නා.

ඔය දේශපාලන උපායවල් දාලා හදන්නේ මේ අහිංසක මිනිස්සු රවට්ටන්න නේද?

එහෙම නෑ. එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂය එක්ක ඉන්න අයට පේන හැටි. මේක සිරිපාදේ යනවා වගේ කියලයි ගමේ මිනිස්සු කියන්නේ. කට්ටියක් නල්ලතන්නියෙන් එනවා. අනික් අය රත්නපුරෙන් එනවා. අන්තිමට සියලු දෙනා සීත ගඟුලෙන් නාලා සිරිපාදේ කරුණා කරනවා. ඒ නිසා ඕවා එක්සත් ජාතික පක්ෂයේ අයට පේන හැටි.

ඇමැතිතුමාට එක්සත් ජාතික පක්ෂය එක්ක ටිකක් තරහක් තියෙනවා වගේ?

එක්සත් ජාතික පක්ෂයේ අයට කේන්ති යනවා මම කියන කතාවලට. ඇත්ත කියනකොට කේන්ති යනවා නම් තොප්පිය දාගෙන වගේ කියලා තමයි මට හිතෙන්නේ. මම මහ බැංකු වංචාව හොරකමක් කියනවා නම්, ඒ සල්ලිවලින් දාන මාධ්‍ය ආයතන මම වර්ජනය කරනවා නම් ඒකට යූ.ඇන්.පී. අයට තරහ යනවා. තොප්පි දාගන්න කාරණාවලට මට කරන්න දෙයක් නෑ.

 මගේ කතාවලට කේන්ති ගන්නෙ තොප්පිය දාගත්ත අය 

ඩිලාන් පෙරේරා කියන්නේ වචනවලින් හරඹ කරලා සද්දෙ දාන කෙනෙක් නේද? චන්ද්‍රිකා ආණ්ඩුවේ ඉඳලා මෛත්‍රී ආණ්ඩුව වෙනකම්ම කටින් ගේම ගහලා ඉස්සර හිටිය නායකයා විවේචනය කරලා දැන් ඉන්න නායකයගෙන් ලකුණු දාගන්නවා නේද?

දැන් මේ මාර කතාවක්නේ කියන්නේ. ඔය ප්‍රශ්නෙම තියෙනවා නේ ආත්මාර්ථකාමී ස්වභාවයක්. යූ.ඇන්.පී. කට්ටිය ඩී.එස්. සේනානායක මහත්තයගේ කාලේ සේනානායක මහත්තය විවේචනය කළේ නෑ. එතුමා එක්ක හිටියේ. ඩඩ්ලි, ජේ.ආර්., ප්‍රේමදාස එක්ක හිටියා ඔවුන්. පස්සේ රනිල් වික්‍රමසිංහ එක්ක ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණත් එහෙමයි. මේක ශ්‍රීලනිපයේ හැටි නෙමෙයි. පක්ෂයේ නායකත්වය එක්ක ඉන්න ඕන.

ඔබ පක්ෂ නායකත්වය එක්ක ඉන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම ඉඳලා ඉස්සෙල්ලා නායකත්වය විවේචනය කිරීම ගැන සමහරු ප්‍රශ්න කරනවා. ඒ කාලේ ඩිලාන් පෙරේරා හොයාගන්නත් නෑලු

සම්පූර්ණයෙන් වැරදිනේ. ආයිත් තමුන්නාන්සේ කියන්නේ වැරදි කතාවක්. මට හිතෙනවා තමුන්නාන්සෙගේ ප්‍රශ්නේ අඩුවක් තියෙනවා. දැන් ඉන්න නායකතුමාට පක්ෂය බාර දුන්නේ හිටපු නායකතුමා. ඒ හිටපු කථානායකතුමාගේ නිවසේදී එහෙම නැතුව ගහලා පක්ෂය ගත්තේ නෑනේ.

එතුමා කියන්නෙ බලහත්කාරයෙන් පක්ෂය ලියාගත්තේ කියලා?

කතානායකතුමාගේ නිවසේදී දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ බාරදුන්නේ. එතකල් අපි හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක. ජනවාරි 08 පැය 24 යන්න කළින් මෛත්‍රී මහත්තයා ගාව තියාගත්ත කට්ටියක් ඔය ඒකාබද්ධයේ දැන් ඉන්නවා. අපි ගියේ අපේ අප්පච්චි මහින්ද රාජපක්ෂ මහත්තයා පක්ෂය මෛත්‍රීපාල මහත්තයට බාරදුන්නයින් පස්සේ. පක්ෂයයි පිළිගත්තේ නායකත්වයට මෛත්‍රී මහත්තයාව. ඒ නිසා කවුරු හරි මාධ්‍යයක් හරි කියනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තය විවේචනය කරලා මෛත්‍රී මහත්තය පත්කළා කියලා ඒක වැරදි කතාවක්. මෛත්‍රී මහත්තය පත්වෙනකොට කිසි කෙනෙක් විරුද්ධ වුණේ නෑ. ඒකමතිකවම පත්කළේ.

දැන් මේ පාර එන්නේ තරගයට ශ්‍රී.ල.නි.ප.යෙන්ද, සන්ධානයෙන්ද?

අපි තරග කරන්න යන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වඩා පුළුල් වූ සන්ධානයකින්. මේ මැතිවරණ ක්‍රමය තුළ මහා බලවේගයක් වෙනවා. සමහර තැන්වලට අපි අතෙන් තරග කරනවා. සමහර තැන්වලට අපි බුලත් කොළෙන් එනවා. සමහර තැන්වලට කරත්ත රෝදෙන් එනවා. ඒ නිසා පුළුල් සන්ධානයකින් තමයි එන්නේ.

එහෙම බලාපොරොත්තු තියන් ඉන්න ඔබ සන්ධානය දිනවන්න කැපවුණ විමල් වීරවංශ, උදය ගම්මන්පිල වගේ අයට පහර දෙනවා. මොකක්ද මේ දෙබිඩි චරිතේ?

පැහැදිලිවම. හෙටත් මම පහර ගහනවා ඔය අයට. ගම්මන්පිලලා විමල් වීරවංශලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික, ස්වදේශවාදී නැඹුරුව නැතිකරලා තනිකරම ජාතිවාදි ආගම්වාදි තත්ත්වයට තල්ලු කළේ. එහෙම නොකරන්න අදටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මුස්ලිම්, දෙමළ මිනිස්සු එහෙම නොකළා නම් ඈත් වෙන්නේ නෑ. පැහැදිලිවම අදත් හෙටත්, ජාතිවාදී, ආගම්වාදී දේශපාලනය කරන අය මම විවේචනය කරනවා.

ඔබ පසුගිය දවසක කියලා තිබුණා මැයි පළවෙනිදාට ජනාධිපතිතුමාට “හිතන්න” සූදානම් කරනවා කියලා. මීළඟ ජනාධිපතිවරණයට තරග කරන්න. මොකක්ද ඒ කතාව?

මැයි පළවැනිදා කියන්නේ මේ රටේ වැඩකරන ජනතාවට එහෙම තැත්නම් ශ්‍රී.ල.නි.ප.යේ පංචමහා බලවේගයම පාරට බැහැලා කෑ ගහලා තමන්ගේ ඉල්ලීම් අණ්ඩුවෙන් ඉල්ලන දිනය. ඒ දිනය තියෙන්නේ පක්ෂයට සුදුහුණු ගාන්න නෙමෙයි. ආණ්ඩුවෙන් ඉල්ලන්න තියෙනවා. ඒ නිසා අපි ඒ දිනය පාවිච්චි කරනවා ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන්න ඕන කියන ඉල්ලීම.

වැඩකරන මිනිස්සු ඉල්ලන්න ඕන ඒවද?

ඒ විතරක් නෙමෙයි. දිගින් දිගටම යෙලෝ කාඩ් පෙන්නලත් මේ ආණ්ඩුව හරිමගට ගන්න බැරිනම් රටේ ජනවරම තියෙන්නේ එතුමාටනේ. අපිටයි අගමැතිතුමාටයි තියෙන්නේ දිස්ත්‍රික්ක ජනවරමක්. ඒ නිසා රටේම ජනවරම ලබපු ජනාධිපතිතුමාට එදාම පෙන්නලා දෙන්න වෙනවා දිස්ත්‍රික් ජනවරම ලබපු අයට ඔබතුමාට උඩින් යන්න දෙන්න එපා කියලා.

ඔබතුමාට එහෙම කියන්න අයිතියක් නෑ නේද? මෛත්‍රී මහත්තය ජනාධිපතිවරයා හැටියට පත්කිරීම සඳහා විශාල භූමිකාවක් කළේ එ.ජා.ප.ය සහ එ.ජා.ප. පාක්ෂිකයෝ?

නෑනේ. එතුමා සමඟ එක්සත් ජාතික පක්ෂය ගියා, ජනතා විමුක්ති පෙරමුණ ගියා, හෙළ උරුමය ගියා, ටී.එන්.ඒ. එක ගියා, ශ්‍රී ලංකාකාරයෝ කීපදෙනෙකුත් ගියානේ. ඔබතුමාගේ ප්‍රශ්නයට මම පිළිතුරක් දෙන්නම්. දැන් බලන්න බදුල්ල දිස්ත්‍රික්කයට අපි පැරදුණේ ඡන්ද 230කින්. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහගෙදර වෙච්චි ගම්පහ පැරදුණේ ඡන්ද 5000කින්. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිනිස්සු දුන්නේ ඡන්දය ජනාධිපතිතුමාට. ඒ නිසා එ.ජා.ප.යට කඩේ යන පිරිසක් මෛත්‍රී මහත්තය දින්නේ එ.ජා.ප.යේ ඡන්දවලින් කියන කතාව පට්ටපල් බොරුවක්.

ඉස්සෙල්ලා කිව්වා වගේ අර යෙලෝ කාඩ් කොච්චර කල් පෙන්නන්න බලාපොරොත්තු වෙනවද?

මෙහෙමනේ. මැච් එකක් උණත් යෙලෝ කාඩ් දෙකක් එසවුණායින් පස්සේ ඔටෝමැටිකලි රෙඩ් කාඩ් ඉස්සෙනවා. ඒ නිසයි මම කියන්නේ අවුරුදු දෙකක් ගතවෙන්න එනවා. ඒ නිසා දැන් රෙඩ් කාඩ් පෙන්නන්න වෙයි කියලා මට හිතෙනවා.

ඒ කියන්නේ මේ මැච් එක වෙනස් කරන්නද හදන්නේ?

එහෙම වුණොත් මැච්එක වෙනස් වෙන්න පුළුවන්. සමහර නිවැරදි වෙන්න ඕන තැන් නිවැරදි වෙයි. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අයට දඬුවම් ලැබෙයි. එතකොට හරි ට්‍රැක් එකට එයි.

ඩිලාන් පෙරේරා හදන්නේ නම් මැච් එක වෙනස් කරන්න වගේ නේද?

ඩිලාන් පෙරේරාට මැච් එක වෙනස් කරන්න පුළුවන්නම් මොනවා කරන්න බැරිද. හැබැයි ඩිලාන් පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම රකින්නේ පක්ෂයෙ ප්‍රතිපත්තිය. ඒක වෙනස් වෙන්නේ නෑ.

♦ ගයාන් ගාල්ලගේ