2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ශ්‍රීලනිප සංවිධායකකම් සල්ලිවලටත් දුන්නා

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

ඔය කතාව පිටුපස්සේ චන්ද්‍රිකා මැතිනි ඉන්නවා

යන්න ඕනෑ කියන කට්ටිය දවල්ට කෑවෙත් රාජිතලෑ ගෙදර

යූ.එන්.පී එකට හේත්තු වෙලා ගෝස්තරේ හදාගන්න හදන මන්ත්‍රීලා දෙතුන් දෙනෙක් ඉන්නවා

අපියි පොහොට්ටුවයි එකතු වුණාම ඒ අයට ප්‍රශ්න එනවා

මෛත්‍රී - මහින්ද මහත්වරු එකතු කරන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා

එදා විසුරුවේ නැත්නම් අපි 113 පෙන්වනවා

රංගේට මම කතා කළේ නෑ එයයි කතා කළේ

- පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහත්තයා අතර ඇති වුණු එකමුතුවත් එක්ක පක්ෂය ඇතුළේ යම් ප්‍රශ්නකාරී මුහුණුවරක් ඇති වෙලා තියෙනවා. මොකද මේ?

සමහර ප්‍රශ්න ඇතිවුණේ ඔය එකතුවට කලින්. සමහර ප්‍රශ්න ඔය ඊට පස්සේ ඇති වෙච්චා. හැබැයි මොනවා වුණත් අපේ පක්ෂය ඉතාම ශක්තිමත්ව ඉදිරියට යනවා. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව විශ්වාසභංගය ගෙනාවෙත් ආණ්ඩුවෙන් එළියට බැස්සෙත් වමේ ප්‍රගතිශීලී දේශප්‍රේමී කණ්ඩායම් අප සමඟ එකතු කරගන්න. ඒ අරමුණ දැන් ඉෂ්ට වෙලා තියෙනවා. අපිට නොගැලපෙන මිනිස්සු මේ වනවිට අත්ඇරලා තියෙනවා. එතනදී ඔය ඇමැතිකම්, බලතල අහිමි වුණ කට්ටියට වේදනාව ඇති වෙලා තියෙනවා.

ඔබ ගණන් නොගෙන ව‍ගේ කිව්වට සංවිධායකවරු පිරිසක් එළියට ඇවිල්ලා පක්ෂ නායකත්වයටයි, පක්ෂයේ සමහර පුද්ගලයන්ටයි චෝදනා එල්ල කරනවා.

ඔය සමහර කාලවල්වල එක එක සංවිධායකකම් දුන්නා. ඕවා එච්චර ලොකු තනතුරැ නෙවෙයි. ඕක මෙහෙයවපු හාදයටත් ඡන්ද දෙක තුනක්වත් නෑ.

එහෙම සුළුවෙන් තකන්න බෑ නේද මේ ප්‍රශ්නේ? කඩුවෙල බුද්ධදාස කියන්නනේ ශ්‍රීලනිපයේ බල කණුවක්. ඔහුත් මේ කණ්ඩායමේ ඉදිරියෙන්ම ඉන්නවා.

ඇත්ත. බුද්ධදාසලා වගේ අය නැවතත් පක්ෂෙට ගන්න ඕනේ. ඔය බුද්ධදාසට ගොඩක්ම තියෙන්නේ පක්ෂෙත් එක්කට වැඩිය විමල් වීරවංශ එක්ක ප්‍රශ්නයක්. ඒ නිසා බුද්ධදාසව කතා කරලා ගන්න ඕනෙ පක්ෂෙට අනිවාර්යයෙන්ම. මොකද බුද්ධදාස අපේ පරණ පාක්ෂිකයා.

මේ කට්ටිය පිටිපස්සේ ඉන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා නෝනා කියලයි දැන් කතා වෙන්නේ. ඒ කියන්නේ ඇයටත් හිතවත් පක්ෂග්‍රාහී පිරිස් තවම පක්ෂය ඇතුළේ ඉන්නවා නේද?

ප්‍රශ්නයක් හැදිච්ච වෙලාවක එක කණ්ඩායමක් එක පැත්තකට යනකොට තව කණ්ඩායමක් අනිත් පැත්තට යනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නිසා එතුමියට කට්ටිය එකතු වෙච්ච එක ගැන ලොකු ප්‍රශ්නයක් නෑ.

බුද්ධදාස මන්ත්‍රීතුමා කිව්වා පක්ෂයේ මන්ත්‍රීවරු 18කුත්, ආණ්ඩුකාරවරයකුත්, සංවිධායකයන් 25කුත් ඔවුන් සමඟ ඉන්නවා කියලා. මේක පොඩි ගාණක් නෙවෙයි.

ඔය බුද්ධදාස එහෙම කිව්වට ඔය කියන ගණන් ඔහොම යන්නේ නෑ. පේනවා නේද රැස්වීමට ආවෙත් පහයි හයයි. චන්ද්‍රිකා මැතිනිය ඔය කතාව පිටිපස්සේ ඇති අනිවාර්යයෙන්ම. මොකද එතුමියගේ ලොකු හීනයක් තියෙනවා පක්ෂයේ කොටසක් එක්සත් ජාතික පක්ෂයට හේත්තු කරන්න.

ඔබ කියනවා සමහර සංවිධායකවරු ඡන්ද දෙක තුනක්වත් ගත්තේ නැති අය කියලා. ඒත් පසුගිය කාලේ පක්ෂයේ අමාරු අඩියේදී ඔවුන් තමයි පක්ෂයත් එක්ක එකට හිටියේ.

දැන් මට කියන්න ඔය කතා කරන කට්ටිය මොනවද ඉල්ලන්නේ කියලා. අපි ඇත්තටම කළේ අපිට නොගැලපෙන අපිත් එක්ක ඉන්න බැරි අපේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න බැරි ආණ්ඩුවෙන් ඉවත් වීම. මොකද එක්සත් ජාතික පක්ෂයක් එක්ක ගමනක් යනවා. දැන් බලන්න අපිට බලය ආපු වෙලාවේ අපි කිව්වා ජනාධිපතිතුමාටයි මහින්ද මහත්තයාටයි අපිට ඇමැතිකම් එපා කියලා. ඒත් බලන්න යූ.එන්.පී ආණ්ඩුවේ හැම කෙනාම ඇමැතිකම් ඉල්ලනවා. ඉතින් එහෙම කට්ටියක් එක්ක අපිට ගමනක් නෑ. දැන් ඔය කතා කරන අය කියන්නේ එහෙම ගමනක් යන්න. ඔය කට්ටිය එදා කතා කරලා කොහෙද ගියේ කියලා දන්නවද දවල් කෑමට? රාජිතලෑ ගෙදර.

ඔබ කියන්නේ මේ අය යූ.එන්.පී. කොන්ත්‍රාත්තුවක් කරනවා කියලද?

ඔව්. බැලූ බැල්මට ඒක පේනවනේ. නැත්නම් මෙහෙම හැසිරෙන්නේ නෑ.

එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ඉන්නවා කියන්නේ ඒ අයත් යූ.එන්.පී. කොන්ත්‍රාත් කරන කට්ටියද?

ඔය යූ.එන්.පී එකට හේත්තු වෙලා ජරාව කන්න ඕන මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ අය පක්ෂයේ නිලතල ලබපු ජ්‍යෙෂ්ඨයෝ තමයි. ඔය ඒ අයගේ හඬ තමයි ඔය පොඩි එවුන් ඇවිල්ලා කතා කරන්නේ.

ඒ අය හදිසියේ ගියොත්?

ඉතින් කොච්චර හොඳද? ඒ අය යනකන් තමයි අපි බලන් ඉන්නේ.

දැන් ඒ කට්ටිය අඳුනාගෙන ඉන්නවද? කවුද ඒ අය?

කවුද ඒ අය කියලා කියන්න ඕන නෑ. පැහැදිලිවම ඒ අය ඉන්නේ එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා ඇමැතිකමක් ගන්න. ගියාට ඇමැතිකම් නොදෙන හින්දයි ඔය නැවතිලා ඉන්නේ.

ඒ කියන්නේ විජිත් විජිතමුණි සොයිසා, පියසේන ගමගේ, ෆවුසි වගේ පරණ ශ්‍රී ලංකාකාරයෝ ගියේ ඔය වරප්‍රසාද ගන්න අරමුණින්ද?

විජිතමුණිටයි පියසේන ගමගේටයි එක්සත් ජාතික පක්ෂය එක්ක ගමනක් නෑ. ඒ මතවාදයත් එක්ක ගමනක් නෑ. විජිතමුණිට තියෙනවා රාජපක්ෂලත් එක්ක ප්‍රශ්නයක්. ඒක විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ නිසා කොයිවෙලාවේ හරි නැවතත් ඒ අය එනවා. ෆවුසි නම් ගියේ අනාගත අරමුණක් තියාගෙන. එයාගේ පුතාට මැදකොළඹ ගන්නයි එයාට ජාතික ලැයිස්තුවෙන් ඊළඟ පාර ඇතුළට එන්නයි.

ජාතික ආණ්ඩු සංකල්පයේ ඉන්න පිරිසක් තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවද?

පැහැදිලිවම. රනිල්ට විශ්වාසභංගය ගෙනාපු වෙලාවෙත් ඔහුට සහයෝගය දක්වන්න පිරිසක් හිටියා. ඒ වගේම ආණ්ඩුවෙන් පක්ෂය ඉවත් කරගන්නා වෙලාවේ ඒකට විරුද්ධ වුණු තවත් පිරිසක් හිටියා. ඒ නිසා නැවත ඒ ආණ්ඩුවට ගිහිල්ලා හේත්තු වෙන්න හීන දකින පිරිසක් තවම ඉන්නවා. එහෙම යන්න පිරිසක් ඉන්නවනම් මම කියන්නේ ගියාට කමක් නෑ. මොකද දැන් අපිත් එක්ක ගමනක් යන්න වමේ දේශප්‍රේමීන් කණ්ඩායමක් බලන් ඉන්නවා. අපිට පුළුවන් ඒ අයත් එක්ක ගමනක් යන්න. ඒ පිරිසත් එක්ක අපි ඉදිරියට ගමනක් යනවා.

ඔබ කියනවා කණ්ඩායමක් ඉන්නවා ගමනක් යන්න බලාගෙන කියලා. ඒත් මහින්ද මහත්තයා අගමැති වෙලා දවස් තුනක් යන්න ලැබුණේ නෑ කට්ටයම ගිහිල්ලා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා.

ඉතින් පොහොට්ටුව කියන්නේ එයාලගේ පක්ෂෙනේ. දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණේ ශාඛා මහරගම හදනවා. පොහොට්ටුවේ ඒවත් හදනවා. අපිත් හදනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. ඇයි මේ කලබල වෙන්නේ?

නෑ මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කට්ටියත් ගිහින් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තනේ.

ඔව් ඉතින්. ඒක ඒ අයගේ කැමැත්තනේ. අපිට වළක්වන්න බෑ. නමුත් අපි ගියේ නෑ. අපි දිගටම ඉන්නවා. සමහර කට්ටියක් ගියා.

හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාට විපක්ෂ නායකකම සම්බන්ධ ගැටලුවේදී හැමෝම එක හඩින් කිව්වේ අපි පොහොට්ටුවේ නෙවෙයි අපි ශ්‍රී ලංකා එකෙන් කියලා.

ඔව් ඉතින් ඒක හොඳයිනේ.

මේකෙන් වෙන්නේ පාක්ෂිකයෝ අනාථ වෙනවනේ.

නෑ. එහෙම පාක්ෂිකයෝ අනාථ වෙන්නේ නෑ. කවදාවත් පාක්ෂිකයෝ එකතු වෙනවා මිසක්. මේ හරහා පාක්ෂිකයෝ රැකෙනවා. ඒ පාක්ෂිකයෝ නව සන්ධානයක් සඳහා මන්ත්‍රීවරු අවසානයේදී එකතු කරනවා. අලුත් පක්ෂයක්, අලුත් ලංඡනයක් එකතු වෙනවා.

හැබැයි ඔය සංවිධානය වෙලා ඉන්න ශ්‍රීලංකා කට්ටිය කියන්නේ පක්ෂයෙන් ගිය අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගනිමු කියලා.

නෑ නෑ. ඕක නෙවෙයි ඇත්ත කාරණය. ඒ අයට උවමනාව තියෙන්නේ යූ.එන්.පීයත් එක්ක ගමනක් යන්න. ඒ වගේම තමයි පොහොට්ටුව අපිත් එක්ක එකතු වීමත් එක්ක එයාලගේ ආසනයේ ගැටලුවක් ඉස්මතු වෙනවා. ඕක කීපදෙනකු ගැන ප්‍රශ්නයක්. එනිසා ඕවා ඔහොම තමයි. ඒ අය ඉන්නේ ඒ අයගේ බඩගෝස්තරය සම්බන්ධ ප්‍රශ්නෙක. මොනවහරි දෙක තුනක් හූරගෙන කාලා ජීවත් වෙන්න.

ජනාධිපතිතුමා එදා මධ්‍යම කාරක සභා රැස්වීමෙදි කියනවා ඔහුට විරුද්ධව කැරළි ගහන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේම පිරිසක් කියලා.

සමහර අවස්ථාවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකකම් මුදලට ලබාදීලා තියෙනවා. ඔය ඒ අය තමයි කෑ ගහන්නේ. ඔය අය තමයි කැරළි ගහන්නේ.

ඔබතුමා කියනවා මුදලට සංවිධායකකම් දුන්නා කියලා. දෙනවනම් දෙන්න ඕනෙ මහලේකම්. දැනට හිටියේ දෙන්නයි. එක්කෙනෙක් රෝහණ ලක්ෂ්මන්. අනිත් කෙනා දුමින්ද දිසානායක. කවුද මේ දෙන්නගෙන්?

රෝහණ ලක්ෂ්මන් නම් ඕකට සම්බන්ධ නෑ. ඒත් කවුද එහෙම කරන්න ඇත්තේ කියලා කැමති කෙනෙක් තොප්පිය දාගන්න. සමහර දිස්ත්‍රික් සංවිධායකකම් සල්ලිවලට දීලා තියෙන්නේ. උදාහරණයක් කියන්නම්. මාතර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකකම් 7යි. දිස්ත්‍රික් සංවිධායකවරු ඉන්නවා 18ක්. පේනවනේ. මොනව කරන්නද ඔය මිනිස්සු? මැල්ලුම් හදන්නද ඔච්චර ගොඩක්?

ඔය ප්‍රශ්නෙ අපෙන් නෙවෙයි නේද අහන්නේ ඕනේ? පක්ෂේ සභාපති කෙනෙක් ඉන්නවා. එතුමා දන්නේ නැද්ද මේ දේවල්?

එතුමා තමයි අපිට කියන්නේ වෙච්ච දේවල්.

වැඩේ වුණාමද කියන්නේ?

ඔව් ඉතින්. පක්ෂයක් වුණාම පක්ෂේ නිලධාරීන් විශ්වාස කරගෙන තමයි වැඩ කරන්නේ.

ඔක්තෝබර් 26 වැනිදා මහින්ද මහත්තයා අගමැති කරන තෙක් ගෙනාපු තිරෙන් පිටුපස කතාවේ හිටිය එකම පුද්ගලයා ඔබ තමයි.

ඔව්. මම තමයි. මම ඒ ගැන ආඩම්බර වෙනවා. ඒක දීර්ග කාලීන මෙහෙයුමක ජයග්‍රහණයක්. ඔයිට වඩා සටනක් කළා අනුර බණ්ඩාරනායක එළියට දාලා චන්ද්‍රිකා බණ්ඩාරනායකව ඇතුළට ගන්න. ඒ වෙලාවේ මගේ හෙවණැල්ල වගේ හිටියේ මංගල ඇමැතිතුමයි, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමයි. එදා ඒකත් මම ජයගත්තා. මට මතකයි අපේ හිටපු ජනාධිපතිතුමත් ඒ වෙලාවේ කිව්වා බණ්ඩාරනායකවරු එක්ක බොරුවට හැප්පෙන්න එපා කියලා. උඹ ඔය කළු ගලක ඔළුව හප්පගන්න හදන්නේ කිව්වා. ඒ වගේ තමයි අපි මේ දෙන්නවත් එකතු කළේ.

ඒ එකතු කිරීමේ කතාවේ කූඨප්‍රාප්තිය මහින්ද රාජපක්ෂ අගමැති කිරීමද?

නෑ. එතන වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරන්නේ නැතුව වෙන විකල්පයක් නැතිව ගියා. අපි ජාතික ආණ්ඩුවෙන් අයින් වෙන්න තීරණය කරපු ගමන් ජනාධිපතිතුමා ඉස්සෙල්ලම කතා කළේ කරුට. ඊටපස්සේ සජිත්ට. ඊටත් පස්සේ රංජිත් මද්දුමබණ්ඩාරට. ඉතින් ඒ අය කවුරුත් රනිල් විරෝධී පෙරමුණට එන්නට බැරි වෙනකොට ඔබ හිතන්නේ කවුද ඊළඟ පුද්ගලයා? ඒ මහින්ද රාජපක්ෂ.

හැබැයි මෙතන වුණේ මහින්ද රාජපක්ෂ පාර්ශවයට විශාල දූෂණ චෝදනාවක් තිබ්බා. එතනයි ප්‍රශ්නේ.

ඒ දූෂණ ටිකයි බැඳුම්කර දූෂණයයි බැලුවම බැඳුම්කර චෝදනාව කොච්චර ලොකුද?

මෙතන තියෙන ප්‍රශ්නය ජනාධිපතිවරයා කිසිදු සෙවිල්ලකින් තොරව පාර්ලිමේන්තුව විසුරැවා හැරීමයි.

ඇත්තම කිව්වොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මම විරුද්ධයි. එම විසුරුවා හැරීම නැත්නම් අපි 113 පෙන්නනවා. අපිට එය පෙන්නන්න තිබ්බා. හැබැයි ජනාධිපතිතුමා ඒ තීන්දුව ගත්තේ හිටපු අධිකරණ විනිශ්චයකාරවරු, හිටපු අගවිනිසුරුවරු සහ නීතිපතිගේ උපදෙස් අරගෙන. ඔය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 30 (1) වගන්තියේ දැම්මා පාර්ලිමේන්තුව කැඳවීම කල්තැබීමට අමතරව විසුරුවා හැරීමේ බලතලයත්. එතකොට ඒක දැම්මේ කජු කන්නද? නැත්නම් බැදගෙන මැල්ලුම් කන්නද? පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට තුනෙන් දෙකක බහුතරයක් හැදෙනකොට කාලය අවුරුදු 4 2/1 වෙනකොට හදිසි ප්‍රශ්නයක් ආවාම විසුරුවන්න තමයි ඔය විසුරුවීමේ බලතල දුන්නේ. ඒක තමයි ජනාධිපතිවරයා පාවිච්චි කළේ.

ජනාධිපතිවරයා හදිසියේ විසුරෙව්වේ 113 ඔබලට පුරවගන්න බැරි වුණ නිසා නේද?

නෑ. ඊට වඩා එයාට තේරුණා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පිරිසක් යන්න ඉන්නවා කියලා ඔන්න ඔය අද කෑගහන කට්ටිය. ඇමැතිකම් දාලා එළියට ආවට 21ක් රනිල්ගේ ඔඩොක්කුවට යන්න බලන් ඉන්නවා කියලා ජනාධිපතිතුමා දැක්කා. අන්න ඒ නිසයි විසුරුවා හැරියේ. ඒ අනතුර එතුමා දැක්කා වේලාසනම. ඒක දැක්කේ ඒ අය ගිහිල්ලා එතුමා සමඟ සාකච්ඡා කළා. ඒ කතා කළේ ආණ්ඩුවට යන්න.

ඒ 113 හදාගන්නද ඔබයි ජනාධිපතිවරයයි පාලිත රංගේ බණ්ඩාරට කතා කරලා අල්ලස් දෙන්න හැදුවේ?

නෑ. නෑ. අල්ලස්දීමක් කතා කළේ නෑ. රංගේ බණ්ඩාරට මම කතා කළෙත් නෑ. ජනාධිපතිතුමා කතා කළෙත් නෑ. රංගේ බණ්ඩාරගේ පහත් නූගත්කම අධ්‍යාපනයක් නොමැතිකම ප්‍රදර්ශනය කරමින් එහෙම කිව්වට අපේ මූණුවලින් පරික්ෂා කරන්න පුළුවන්නේ. එයා මට කතා මිසක් මම එයාට කතා කළේ නෑ. එයා ජනාධිපතිවරයාට කතා කළා මිසක් ජනාධිපතිවරයා එයාට කතා කළේ නෑ. ජනාධිපතිතුමා කතා කරපු වෙලේ ජනාධිපතිතුමා කිව්වා ඒ ගැන එස්.බී එක්ක කතා කරන්න කියලා. තුන් සැරයක් ගත්තා. තුන් සැරයම මට එයා තමයි කතා කළේ.

ඒ කියන්නේ වරප්‍රසාද, දීමනා, තනතුරු ඉල්ලුවේ එතුමද?

ඔව් ඉතින් එතුමා ඇමැතිකමක් බලාපොරොත්තු වුණා. හැබැයි අපි කවදාවත් සල්ලිනම් දෙන්න කතා කළේ නෑ. අනික අපිට දෙන්න සල්ලිත් නෑ. අපිට 6 දෙනෙක් විතර ආවා. අපි ඒ අයට සල්ලි දුන්නේ නෑ කිසි වෙලාවක.

ජනාධිපතිතුමා දිගින් දිගටම කියනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරන්න කැමති නෑ කියලා. එජාපය දිගින් දිගටම ආණ්ඩුවේ ඉන්න උත්සාහ කරනවා. දැන් තනතුරු, ඇමැතිකම් ලබාදීම ගැනත් ආණ්ඩුවයි ජනාධිපතිවරයයි අතර ගැටුමක් ඇති වෙලා. මෙහෙම යන්න පුළුවන්ද ඉස්සරහට.

ආණ්ඩුවට යන්න අමාරැයි. ජනාධිපතිවරයා විරුද්ධ වනවිට කොහොමත් යන්න බෑ. ව්‍යවස්ථාවේ තියෙනවා අමාත්‍ය ධූර ගණන, අමාත්‍ය ධූර බෙදන ආකාරය සම්බන්ධ බලතල ජනාධිපතිවරයා සතුයි කියලා. ඉතින් එහෙම තියෙද්දී එතුමා එම බලතල පාවිච්චි කරනවා. උදාහරණයක් කියන්නම් විකුණන්න දාලා තිබ්බ රජයේ ආයතන ලක්ෂ්මන් කිරිඇල්ලට බාර දෙද්දී ඒ ටික අයින් කරලා වෙන අමාත්‍යංශවලට දැම්මා. එහෙමයි කළේ.

ඒ අවුලට ඔබතුමා හිතන විසඳුම මොකද්ද?

හොඳම දේ මැතිවරණයකට යන එක. ඒකට යූ. එන්.පී එක බයයි. ඒ නිසානේ අධිකරණයටත් ගියේ.

►ගයාන් ගාල්ලගේ