2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

එතනෝල්කාරයෝ ගංජාකාරයෝ එක්ක මොන බහුතර ආණ්ඩුද?

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 170

♦ දුම් අල්ල අල්ල ඉන්නෙ නැතුව ඔය වාර්තාව එළියට දාන්නකෝ

♦ රටේ පාලන බලය තිබෙන්නේ අපට: ජනාධිපතිතුමාට නොවේ

♦ එතනෝල්කාරයෝ ගංජාකාරයෝ එක්ක මොන බාරකාර ආණ්ඩුද?

♦ දවස් 51දීම ඒ ගොල්ලො අධිකරණයට - පොලීසියට අත තිබ්බා

♦ බලධාරියෝ මාව කපලා දැම්මට ජනතාව මාව කපලා නෑ

♦ කැබිනට් ඇමැතිකම් කෝටි 50ක් මට පොරොන්දු වුණා

♦ අපි අදත් කියන්නේ අපේ ජනාධිපතිතුමා කියලයි

♦ මොන ප්‍රශ්න තිබුණත් ඒවා ගොඩින් බේරාගන්න තිබුණා

- පුත්තලම දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර

 
දවස් 51ක සටනකින් පස්සේ ඔබලා කාලයක් බලන් හිටිය එජාප ආණ්ඩුවක් දැන් බිහිවෙලා. ඒ ගැන සතුටු ඇති නේද?

පහුගිය දවස්වල රටේ තනතුරු ඔක්කොම ඒකාධිපති පාලනයකට යන්න පටන් අරන් තිබුණේ. එජාපය බලය පිහිටුවීම තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වුණා.

හැබැයි ජනාධිපති කිව්වේ එජාප ඇමැතිවරුන්ගේ දූෂණ වංචා නිසයි මේ වෙනස සිදුකරන්න වුණේ කියලා. ඉතින් එජාප ආණ්ඩුවක් ගැන රටේ ජනතාවට විශ්වාසයක් තියාගන්න පුළුවන්ද?

ජනාධිපතිතුමාට ඒවගේ හැසිරීමක් දැක්කා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්න තිබුණා. අපි පාර්ලිමේන්තුව ඇතු‍ළේ මන්ත්‍රීවරුන්ට විනය සංග්‍රහ මාලාවක් හැදුවා. ඒකට අනුව නොමනා අයුරින් හැසිරුණේ කවුද කියලා මුළු රටම පහුගිය දවස්වල දැක්කා.

ඊළඟ කාරණය ගත්තාම ජනාධිපතිතුමා කියනවා දූෂණ වංචා ගැන. ඔක්තෝබර් මාසයේ 26 වැනිදා සිට අද වෙනකම් ශ්‍රී ලංකා පොලිසිය තියෙන්නේ එතුමා යටතේ. පොලිස්පති ඉන්නෙත් එතුමා යටතේ. එහෙම බලයක් තියෙනකොට ඔය කියන දූෂණ වංචා එතුමාට හොඳට අල්ලන්න පුළුවන්නේ. ඒ නිසා කියලා වැඩක් නැහැ. ඒවා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වන්න ඕනේ.

ජනාධිපතිවරයා දිගින් දිගටම චෝදනා එල්ල කරන්නේ මහබැංකු බැඳුම්කර සිද්ධියට. ඒ වගේම මෑතක ඉඳන් තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැනත් ඔහු චෝදනා එල්ල කරනවා. ඒ දෙකම ඔබේ පක්ෂයට එල්ල වෙන්නේ?

ඇත්ත. අපේ පක්ෂයේ කිහිප දෙනකුට විරුද්ධව මහබැංකු බැඳුම්කර චෝදනා එල්ල කළා. ඒ වගේම ජනාධිපති කොමිසමකුත් දැම්මා. ඒ බැඳුම්කර කොමිසමේ වාර්තාව මේ වෙනකොට ජනාධිපතිට දීලා තිබෙනවා. ඉතින් හත්දෙයියනේ ඔය වාර්තාව එළියට දාන්නේ නැතිව මොකටද දුම් අල්ල අල්ල ඉන්නේ. එහෙම වැරුදිකාරයෝ ඉන්නවා නම් පොලිසිය තිබෙනවා. අල්ලස් හා දූෂණ කොමිසම තිබෙනවා. ඒවා හරහා දඬුවම් කරන්න පුළුවන්.

දෙවැනි කාරණය ජනාධිපතිතුමා ඝාතන කුමන්ත්‍රණය. ඒ කතාව කියන්නේ එතුමමයි. ඒ ගැන පරීක්ෂණ කරන්න බාරදුන්නේ රහස් පොලිසියට. පසුගිය මාසේ තිබ්බා ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව. එහි ප්‍රධානියා ජනාධිපතිතුමා. මාත් සහභාගී වුණා. එහිදී ජනාධිපතිතුමා කිව්වා තව සති දෙකක් යන්න කලින් ඒ විමර්ශනය නිමාවෙනවා. මට ඒ පරීක්ෂණ නිලධාරීන් සම්බන්ධව විශ්වාසයක් තිබෙනවා කියලා. ඒ නිසා දැන් ශ්‍රී ලංකා පොලිසිය එතුමා යටතේ තිබෙන්නේ. මේකට සම්බන්ධ අපේ පක්ෂයේ කෙනෙක් ඉන්නවා නම් ඕනෑම දඬුවමක් දෙන්න එතුමාට දැන් නිල බලය තිබෙනවා.

අර දවස් 51 ඇතුළත එජාපයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාව නොසෑහෙන්න විවේචනය කළා. එතැනදී අපි දැක්ක දෙයක් තමයි මේ ප්‍රශ්නය එජාපයට ගොඩින් බේරගන්න වුවමනාවක් තිබුණේ නෑ කියන එක?

ඇයි ජනාධිපතිතුමා එජාපයේ මන්ත්‍රීවරු නායකයෝ විවේචනය කළේ. එතුමාට තිබුණානේ මොනවා හරි ප්‍රශ්නයක් තිබුණා නම් ගොඩින් බේරාගන්න. එතුමානේ මේ රටේ ප්‍රධානියා. එතුමට අගමැතිවරයා සමග විසඳගන්න පුළුවන් දේවල් තියෙද්දී එතුමා බත්තරමුල්ලේ වේදිකාවේ දැඩි ලෙස පක්ෂය නායකයා ඇතුළු කණ්ඩායම විවේචනය කළා. ඒ වගේම ශ්‍රීලනිප මහා සමුළුව වෙලාවේ එතුමා කතාකරපු කාලය වැඩිපුර ප්‍රමාණයක් ගත්තේ අපේ පක්ෂය විවේචනය කරන්න. හැබැයි අපේ නායකයා කවදාවත් ජනාධිපතිව විවේචනය කළේ නැහැ. අපේ නායකයා විවේචනය කරන කොට ඒකට අපි පිළිතුරු ලබාදීම කළයුතු වෙනවා. ඒ නිසා මේක ගොඩින් විසඳගන්න තිබුණ ප්‍රශ්නයක්. අපිට කියන්න තියෙන්නේ ‘ඔවා දෙනු පරහට’ කියලා තමයි. මුල හොඳ නම් ගහත් හොඳට හැදෙනවා.

එදා 2015 ඔය මුල ගැන කිව්වේ අපේ ජනාධිපති කියලා. එහෙම නේද?

ඔව් අපි අදත් කියනවා අපේ ජනාධිපති කියලා. එතුමා ජනාධිපති කරන්න වැඩකළේ අපි. විශේෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු වැඩකටයුතු කළේ මම. එතුමා ඒක පෞද්ගලිකව දන්නවා. ඒක මතක තියෙනවාද කියලා මම දන්නේ නැහැ. එදා එතුමාට මම කිව්වා මුදල් ගැනවත් බයවෙන්න එපා මම ඒ ගැන බලන්නම් කියලා. ඒ දේ කළා. ඒ නිසා එතුමා ජනාධිපති වුණා. ඒ නිසා එතුමා අපි පත්කරපු ජනාධිපති.

කෙළෙහි ගුණ ගැන දන්න නිසා නේද ඔබට ඇමැති ධුරයක් සඳහා එතුමලා ආරාධනය කළේ?

ඒක කෙළෙහි ගුණයටද නැත්නම් එතුමාගේ බහුතරය සකස් කරගන්නටද කියලා පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. අලුත් ආණ්ඩුව කියන එක ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක්. එවැනි ආණ්ඩුවකට එකතුවෙන්න මට කිසිම වුවමනාවක් නැහැ. එනිසා කෙළෙහි ගුණයටද ඒ අයගේ බහුතරය හදාගන්නද කියන එක පැහැදිලිව පේනවා.

ආණ්ඩුවට එකතු වුණොත් මොනවාද දෙන්නම් කීව තෑගි බෝග?

පුත්තලම් දිස්ත්‍රික්කයේ නායකත්වය දෙන්නම් කිව්වා එයාලාගේ කණ්ඩායමේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය, ආණමඩුව ආසන සංවිධායක ධුරය, කැබිනට් ඇමැති ධුරයක් වගේ දේවල් තමයි එස්.බී. දිසානායක මහත්තයා මට දෙන්නම් කිව්වේ. මහාචාර්ය රන්ජිත් බණ්ඩාරගේ පැත්තෙන් යෝජනා වුණේ කෝටි පනහක මුදලක්.

ඔබ වේලාසනින් දැනගෙන සිටි නිසා නේද ඒක පටිගත කරලා සමාජයට මුදාහැරියේ?

ඇත්ත. ඒක මුල ඉඳන්ම අපි දැක්කා. ඔය සිද්ධිය වෙනකොට මම හිටියේ ජපානයේ. මම දැනගත්තා මටත් එනවා කියලා.

ඔබට එහෙම හිතෙන්නත් එයාලට ඔබව ඕනෑ වෙන්නත් මොකක්ද මේ ගනුදෙනුව. මොකක් හරි යට සාකච්ඡාවක් තිබුණාද?

මෙහෙමයි, මගේ යට සාකච්ඡා නැහැ. කරන දෙයක් එළිපිට කරන්නේ. මට විතරක් නෙමෙයි මේ ගැන තව කට්ටියට කතා කරලා තිබුණා. සමහර අය ගාවත් රෙකෝඩින් තිබුණා.

හැබැයි ඒ කවුරුත් ඒ පටිගත කිරීම් එළියට දැම්මේ නෑ නේද?

ඔව් ඒක තමයි. ඒක ඒ ගොල්ලන්ගෙන් අහන්න ඕන දෙයක්.

ඔබ එතැනින් නතර වෙන්නේ නෑ. පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාව දැඩි ලෙස විවේචනය කරනවා. මොකක්ද ඒකට හේතුව?

නෑ. මම දැඩි විවේචනයක් නෙමෙයි. කරන්න ඕන සාධාරණ විවේචනය මම සිද්ධ කළා. එතුමාව පෞද්ගලිකව විවේචනය කළේ නැහැ.

ඔබ එතැනදී කිව්වේ ජනාධිපති ධූරය දරන්න කළින් එතුමාගේ අතීත කතා යැයි කියන කතා කීපයක්. ඒවා පෞද්ගලික විවේචන?

එතුමා අපේ නායකයාටත් පක්ෂයේ අනෙකුත් සාමාජිකයන්ටත් දැඩි විවේචන එල්ල කළා. එහෙම වෙලාවක අපි කණ්ඩායමක් හැටියට වැඩ කරන්නේ. මම ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්. ඒ වගකීම තමයි මම ඉෂ්ඨ කළේ. සාමාන්‍යයෙන් විවාද කණ්ඩායමක වුණත් විවාදයට නායකයා විතරක් මුහුණ දෙන්නේ නැහැ. අනෙක් අයත් යන්නේ ඒකනේ. මමත් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට ඒ තර්ක බිඳහෙලන්න කටයුතු කළා.

මේක රංගේ බණ්ඩාරගේ විවේචනයක්ද නැත්නම් වෙන කාගේ හරි මෙහෙයුමක්ද?

මාව කිසි කෙනෙක් මෙහෙයවූවේත් නෑ. එහෙම ඔපීනියන් දෙන්න ආවෙත් නැහැ. වියයුතු කාර්යභාරය ඉෂ්ඨ කරලා ඇති.

අනවශ්‍ය ලෙස පෙනී ඉන්න ගිහිල්ලා රංගේ බණ්ඩාරට වැරදුණා කියලා හිතෙන්නේ නැද්ද?

නෑ. මට එහෙම හිතෙන්නේ නෑ. මට පෞද්ගලිකව හරි ගියාද නැද්ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. මෙතැන රට සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙන්නේ. මම මහජන නියෝජිතයෙක්. මම ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා. 2000 අගෝස්තු මාසයේ 24 වැනිදා මගේ පොලිස් නිල ඇඳුම ගලවලා මම මැතිවරණයට ආවේ. ඔක්තෝබර් මාසේ 13 වැනිදා වෙනකොට දවස් 33යි මගේ දේශපාලනයට. මම පාර්ලිමේන්තුවට ගියා. මම පුත්තලමේ දවස් දෙකක්වත් වැඩකරපු නැති මනුස්සයෙක්. එහෙම පත්කරපු ජනතාව වෙනුවෙන් මම සාධාරණය ඉෂ්ඨ කළ යුතුයි නේද? කාටවත් විකිණෙන්නේ නැතිව හෘද සාක්ෂියට අනුව නේද මම වැඩකරන්න ඕනේ. ඒකෙන් රටට වෙන්න ගිය හානිය නතර වුණා.

හැබැයි මේ පාරත් පුත්තලමට ඇමැතිකමක් නැතිවෙන්න හේතුව ඔය කරපු විවේචන නේද?

ඔව් බලධාරීන්ට කපාහැරීමට ලක් කරන්න පුළුවන්. ඒත් මගේ ජනතාව කපා හැරලා නෑනේ. ඊළඟ මැතිවරණයේදී බලන්න පුළුවන් මාව ජනතාව කපලාද නැද්ද කියලා.

අපිට ආරංචියි ඔබ වගේම විවේචනය කරපු සරත් ෆොන්සේකා මහතාටත් ඇමැතිකම් නැතිවුණා කියලා. ඔහුට දැන් සමාව ගන්න කියනවාලු. ඔබත් සමාව ඉල්ලන්න ලෑස්තිද?

කිසිම කෙනෙක් මට එහෙම කියලා නැහැ.

ඔබතුමා සමාව ඉල්ලන්න බලාපොරොත්තුවක් නැද්ද?

සමාව ගන්න දෙයක් නෑනේ. මම වැරුදි දෙයක් කියලා නැහැ. මම හරියට කතා කරලා තියෙන්නේ. නිවැරුදිව වැඩ කිරීම සමාව ගන්න හේතුවක් නම් අපි තවත් මේ රටේ ඉඳලා තේරුමක් නෑනේ.

ඇත්තද ඔබත් සමග හිටිය තුන් දෙනෙක් හොරෙන් ගිහින් වෙන වෙනම ජනාධිපතිගෙන් සමාව ගත්තා කියන්නේ?

අනේ මම නම් දන්නේ නැහැ එහෙම ගියාද නැද්ද කියලා. ඔබම තමයි ඒ කතාව කියන්නේ. කෙසේ නමුත් ඒ වගේ තත්ත්වයක හැසිරෙනවා නම් ඒක සාමාන්‍ය දෙයක්. ශ්‍රී ලංකා ඉතිහාසයේ රජවරුන්ගේ යුගයේ ඉඳලා බලද්දි පාවා දෙන්නන් නිවට කේවට්ටයන් ඕනෑතරම් ඉඳලා තියෙනවානේ. ඒක සාමාන්‍ය තත්ත්වයක්.

ඔබ කියනවා ඔබගේ ජනතාව නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන් වුණා කියලා. හැබැයි පක්ෂයට බලය ලැබිලා ඔබට ඇමැතිකමක් දුන්නේ නෑ නේද?

ඔව් ඇමැතිකමක් ලැබුණේ නැහැ. බලමු ඉදිරියට. ඒක අපි මුලදිම කියලා තියෙනවානේ.

ඔබ ඉදිරියට එන ආණ්ඩුවකවත් තනතුරක් දෙයි කියලා විශ්වාස කරනවාද? නායකයාව දැනුවත් කරලා තියෙනවාද?

ඔව් මම ඉල්ලීමක් කරලා තිබෙනවා. දැනුවත් කිරීමකුත් කරලා තිබෙනවා. මගේ රටට මගේ දිස්ත්‍රික්කයේ ජනතාවට වැඩකරන්න පුළුවන් තනතුරක් ලබාදෙන්න කියලා මම ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒක ලැබුණොත් රංගේ බණ්ඩාරට නෙමෙයි රටට.

මහින්ද රාජපක්ෂ මහත්තයා ගේන චෝදනාවක් තමයි දින 51ක් ඇතුළත රට පොඩ්ඩක් හරි ඉදිරියට ඇදගෙන ආපු දේ නැවත ආපස්සට එජාපය අරගෙන යනවා කියලා?

මට කියන්න දින 51ට ඒ ගොල්ලෝ කරපු දේවල් මොනවාද කියලා. ඒ ගොල්ලෝ මොනවාද අඩු කළේ. අපි හදලා තිබුණ මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල චුට්ටක් අඩු කළා. ඒ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩු වූ නිසා. හැබැයි අපි ඒ ඉන්ධන මිල සූත්‍රයම යොදාගෙන ඊට වඩා වැඩියෙන් තෙල් මිල අඩු කළා. තවත් අඩුවෙයි ඉදිරියේදී. ප්‍රවාහන ගාස්තු අඩුකරලා තිබෙනවා. එකම දෙයයි කළේ දින 51ට ඒ ගොල්ලෝ. පරණ සුපුරුදු අශීලාචාරකම් පටන් ගත්තා. රූපවාහිනී සංස්ථාවට ගිහිල්ලා ගැහුවා. රාජ්‍ය ආයතනවලට බලෙන් කඩාගෙන වැදුණා.

මහින්ද මහත්තයා කිව්වේ දින 51 ආණ්ඩුවේ බාරකාර ආණ්ඩුවක් බවට පත් කරලා ඊට පස්සේ මැතිවරණයට යන්න හිටියේ කියලා. ඒත් එජාපය මැතිවරණයට බයේ මැතිවරණයට බාධා කළා කියලා?

දින 51 අරගෙන ඒ ගොල්ලෝ මොකද කළේ? අධිකරණයට අත ගැහුවා. අර විශේෂ අධිකරණය වහන්න තීරණය කළා. පොලිසියට අත ගහලා අර නිශාන්ත සිල්වා කියන මහත්තයාව රහස් පොලිසියෙන් එළවන්න හැදුවා. අපේ ස්වාධීන පොලිස් කොමිෂන් සභාවෙන් තමයි නැවැත්තුවේ. 26 වැනිදා වැඩේ ව්‍යවස්ථාවට අනුව කරලා තිබුණා නම් බාරකාර ආණ්ඩුවකට ගිහිල්ලා මැතිවරණයකට යන්න තිබුණා. රාජපක්ෂලා වගේ නඩු වැල් පිටින් තිබෙන මිනිස්සුන්ට බාරකාර ආණ්ඩුවක් බාරදෙන්න ඕනද අපි? මංකොල්ලකාරයෝ යටතේ මැතිවරණයකට යන්න අපිට පිස්සුද? ඒ අය සාධාරණ මැතිවරණයක් තියයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද? පාර්ලිමේන්තු කතානායකට විවාදයක් කරන්න බැරිනම් හොඳ මැතිවරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ඒ අයගෙන්. එතනෝල් කාරයන් ගංජාකාරයන් කුඩුකාරයන් එක්ක බාරකාර ආණ්ඩු කරන්න අපිට පිස්සුද? ඕන්නම් දැන් පුළුවන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැල්ලා මැතිවරණයකට යන්න.

ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය ඉක්මනින්ම ලෑස්තිද මැතිවරණයට යන්න?

අපි ඕනෑ වෙලාවක ලෑස්තියි. හැබැයි ජනතාවගේ මුදල් ජනතාවගේ බලාපොරොත්තු එක එක්කෙනාට ඕනෑ වෙලාවට සෙල්ලමකට ගන්න බෑ. ව්‍යවස්ථාවේ තිබෙනවා මැතිවරණයක් පැවැත්විය යුතු ආකාරය. පැහැදිලිවම තිබෙනවා අවුරුදු හතරහමාරක් ඉක්මවීමෙන් පසුව කියලා විසුරුවන්න පුළුවන් කියලා. ඒ නිසා හැමෝම මතක තියාගන්න ශ්‍රේෂ්ඨාධිකරණය නැවත වතාවත් තහවුරු කරලා තිබෙනවා ඒ කොටස. නීතියට පිටින් මැතිවරණයක් පවත්වන්න බැහැ කියලා.

ජනාධිපතිවරයා තවමත් එජාප ආණ්ඩුවට විරුද්ධයි. ඔබලා තනි එජාප ආණ්ඩුවක් බලාපොරොත්තු වෙනවා. මෙහෙම දෙගොල්ලන්ට හැප්පි හැප්පි ආණ්ඩු කරන්න පුළුවන්ද?

කිසිම ප්‍රශ්නයක් නැහැ. ආණ්ඩුවක් කිරීම සඳහා බලය දීලා තිබෙන්නේ අපිට. ව්‍යවස්ථාවෙන් බහුතරය දීලා තිබෙන්නේ අපිට. ඒ අනුව අපි ආණ්ඩුව කරගෙන යනවා. ජනාධිපතිට රට පාලනය කරන්න නැහැ. එතුමාට තිබෙන්නේ විධායකයේ කටයුතු.

නැවතත් එජාපය පොදු සන්ධානයක් ගොඩනගන්න හදනවා. මේ එන්න හදන්නේ සුපුරුදු පොදු අපේක්ෂක සංකල්පයටද?

අපේක්ෂකයා පොදු වෙන්න පුළුවන්. හැබැයි ඔහු යූ.එන්.පී. කෙනෙක් වෙන්න ඕන. ඔහු පොදු වෙන්නේ ඕනෑම කෙනෙකුට ඕනෑම විදිහට කටයුතු කරන්න පුළුවන් නායකයෙක් වීම.

යම් ආකාරයකට යූ.ඇන්.පී. නොවන අපේක්ෂකයෙක් ආවොත් රංගේ බණ්ඩාර එදාට මොකද කරන්නේ?

මම විතරක් නෙමෙයි අපේ බහුතරයක් ඒකට විරුද්ධයි. අපි බහුතරයක් එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනෑ කියන තැනට. ඔහු තමයි රටට අවශ්‍ය කියලත් අපි කියලා තිබෙනවා.

ඔබ හිතන්නේ කවුරු අපේක්ෂකයා වෙයි කියලාද?

තාම මැතිවරණයක් ළඟ නැහැ. ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලබන තීරණයක්. අපි වැඩ කරන්නේ රට වෙනුවෙන්. රට වෙනුවෙන් වැඩ කරනවා නම් අපි අරමුණට වඩාත්ම උචිත පුද්ගලයා තමයි හොයා ගන්න ඕනේ.

► ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00