2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා

මහින්ද මහත්තයා විපක්ෂ නායක වුණාම ආණ්ඩුවල කාලය කෙටි වෙනවා

 2018 දෙසැම්බර් 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 350

►අපි වැරදි වැඩ කළානම් දඬුවම් කරන්න තිබුණනේ

►ලොකු රටවල් තරහා කරගෙන අපට ඉස්සරහට යන්න බෑ

►බැසිල් මහත්තයා වැඩ කරන්නේ තිරෙන් පිටුපස්සේ

►කවුද කියන්නේ අපි ඇනගත්තා කියලා

►අපි සන්ධානෙ කට්ටිය ඊළඟට තරග කරන්නේ පොහොට්ටුවෙන්

►හිටපු විපක්ෂ නායකතුමා ජනතාවගේ ප්‍රශ්න බැලුවේ නෑ

►අපට ඕනෑ වුණේ මාස තුනකින් ඡන්දෙකට යන්න

- පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා

ඔබතුමාලා ඒකාබද්ධ විපක්ෂයේ ඉඳන් දැවැන්ත සටනක් කරගෙන ආවා ආණ්ඩුවට විරුද්ධව. ජනතා ඡන්දයෙන් මිසක් බලය ගන්නෙ නෑ කිව්වා. ඇයි මේ හදිසියෙන්ම අගමැතිකමක් ආණ්ඩුවක් පිහිටුවගෙන වැඩේ වරද්ද ගත්තේ?

වසර තුනහමාරක් තිස්සේ මේ එක්සත් ජාතික පෙරමුණ දිගින් දිගටම රටට එරෙහිව ක්‍රියාත්මක වුණා. ඒක ජනාධිපතිතුමත් කිව්වා. ඒත් ඒ අය ඇහුවෙ නෑ. සමහර දේවල් ජනාධිපතිතුමා දන්නෙත් නෑ. ඒ නිසා දෙපාර්ශවයේ ගැටුමක් තිබ්බා. ජනාධිපතිතුමා කියලා තිබ්බා මහබැංකුව විතරක් නෙවෙයි ඊට පස්සේ රජයේ බැංකු ටික බේරගත්තෙත් බොහොම අමාරුවෙන් කියලා. ඒ සියලු කාරණා නිසා තමයි අපිට ආරාධනා කළාම අපි කණ්ඩායමක් හැටියට තීරණය කළේ තවදුරටත් රට විනාශ වෙන්න නොදී මේක භාරගන්නවා කියලා. ඉතින් අපි භාරගත්තා. ඒක සම්පූර්ණ රට ගැන හිතලා ගත්ත තීරණයක්.

ඉතින් දැන් රට බේරගත්තද?

මෙහෙමයි. අපිට උවමනා වුණේ අන්තර්කාලීන ආණ්ඩුවක් බිහිකරලා ඒක මාස තුනක් වගේ පවත්වගෙන ගිහිල්ලා මැතිවරණෙකට යන්න. ඒත් මැතිවරණෙට බය අය අධිකරණෙට පෙත්සම් ඉදිරිපත් කරලා ඒක නවතලා දැම්මා. හැබැයි එක දෙයක් කියන්න ඕන. ඒ හිටිය කාලය ඇතුළත අපි ගොඩක් දේවල් රට වෙනුවෙන් කළා.

ඇත්තද මහින්ද මහත්තයා අගමැතිකම ගත්තේ පවුලේ අයගෙයි එතුමා වටේ ඉන්න අයගෙයි නඩු හබවලින් බේරෙන්න කියලා කියන්නේ?

අවුරුදු තුනක් ගත වුණානේ. ඉතින් එහෙනම් අල්ලලා හිරේ දාන්න එපැයිනේ. ඔය නඩු දාලා තියෙන්නේ.. දැන් අපි ඒ නඩු අයින් කරගත්තද? ඒ නඩු ඒ වගේම ක්‍රියාත්මක වෙනවා. අගමැති වෙලා නඩු හබවලින් අයින් වෙන්න පුළුවන්නම් එතුමා දින 51ක් ඉඳීද? එහෙනම් වෙනස් කරගන්නවනේ. එහෙම කළේ නෑ.

ඔය හදිසිවීම තුළ වුණේ මහින්ද මහත්තයා හිටිය තැනිනුත් පහළට වැටිලා නරක නාමයක් ගාගත්ත එක නේද?

අපිත් එක්ක මෙච්චර කල් හිටියේ මන්ත්‍රීවරු 69ක්. 97 දක්වා අද වෙනකොට වැඩි වෙලා තියෙනවා. විශාල බහුතරයක් සහිත විපක්ෂයක් බිහි වෙලා තියෙනවා. මෙච්චර කල් බෙදිලා තිබ්බ විපක්ෂය දැන් එකතු වෙලා තියෙනවා. එතකොට මහින්ද මහත්තයා සියලු දෙනාගේ කැමැත්තෙන් විපක්ෂ නායක වෙලා තියෙනවා. ඔබ දන්නවා මහින්ද මහත්තයා විපක්ෂ නායක වීමෙන් ගොඩක් ආණ්ඩුවල ඉරණම් කාලය කෙටි වුණා කියලා. එනිසා අපි පහළට වැටිලා නෑ. අපේ දිහා බලන් ඉන්න ආණ්ඩුව නම් ළඟදිම පහළට වැටෙනවා.

ඔබතුමා කියන්නකො මහින්ද මහත්තයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නැත්නම් පොහොට්ටුවේ සාමාජිකයෙක්ද කියලා?

පැහැදිලිවම අපි 2015 මහ මැතිවරණයට තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්. අපි පාර්ලිමේන්තුවේ තවම නියෝජනය කරන්නෙත් එම සන්ධානය. අපි තවමත් සාමාජික ගාස්තු ගෙවනවා. එතකොට අපි සන්ධාන මිනිස්සු. එනිසා මහින්ද මහත්තයා සන්ධානේ මන්ත්‍රීවරයෙක්.

ඒත් අපි දැක්කනේ ඔබලා ගිහිල්ලා පෝලිමේ පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නවා?

පැහැදිලිවම ඊළඟ මැතිවරණයේදී අපි සියලු දෙනා තරග කරන්නේ පොහොට්ටුවෙන්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සන්ධානගත වෙනවා. එතකොට කැමති අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලන්නත් පුළුවන් පොහොට්ටුවෙන් ඉල්ලන්නත් පුළුවන්. හැබැයි තාමත් අපි සියලු දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ.

ආර්. සම්පන්දන් මහත්තයානම් කියන්නේ ඔබතුමාලා වෙනත් පක්ෂෙක සාමාජිකයෝ නිසා විපක්ෂ නායක ධූරය ඔවුන් සතුයි කියලා. ඇත්තටම මොකද්ද මෙතන ඇත්ත?

වෙනත් පක්ෂෙක සාමාජිකයෝ වෙන්නනම් එක්සත් ජනතා නිදහස් සන්ධානය අපිව අයින් කරලා තියෙන්න එපැයි. නෑ. අපි තවමත් අපේ සන්ධානේ ඉන්නේ. අපි එහෙම නැත්නම් අපි අයින් කළා කියලා ලේකම්වරයා විසින් කතානායකවරයාට දැනුම් දෙන්න ඕනේ. ඒක කතානායකතුමත් පිළිගන්න ඕනෙ. කතානායකතුමා කියන්නේ නැතුව මේ කොහේවත් යන ලක්ෂ 5ක්වත් ඡන්ද නැති පක්ෂයක එක්කෙනෙක් දෙන්නෙක් කියන කතා අපි පිළිගන්නෑ. ඔය එක විපක්ෂ නායකයෙක්වත් පහුගිය දවස් ටිකේ ජනතාවට වුණු අසාධාරණ ගැන කතා කළාද? ඔය විපක්ෂ නායකතුමා උතුරේ ප්‍රශ්න බැලුවෙත් නෑ. දකුණේ ප්‍රශ්න බැලුවෙත් නෑ. ආණ්ඩුවෙන් රාජ්‍ය දේපළ විකුණද්දී අත උස්සලා සහයෝගය දැක්වුවේ ඔය කියන මහලොකු විපක්ෂය. ඔය කට්ටිය එකතු වෙලා තමයි මැතිවරණ පවා කල්දැම්මේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ විපක්ෂනායක ‍කෙනෙක්.

දැන් හිතෙන්නේ නැද්ද හදිස්සි වෙන්න ගිහිල්ලා ඇනගත්තා වගේ දෙයක්?

නෑ එහෙම ඇනගැනිල්ලක් නෑ. අපි හොඳට ශක්තිමත් දැන්. දැන් අපිට ඕන අභියෝගයකට මූණ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

ඔච්චර ශක්තිමත්නම් ඇයි ඔබලා එක්ක එකට හිටිය මැති ඇමැතිවරු මහින්ද මහත්තයා දාලා ආණ්ඩුවට ගියේ?

සමහර අයට නම් තනතුරු තානාන්තර සඳහා කෑදරකම් තියෙනවා. ඒ අයට ඕන වෙලාවක යන්න පුළුවන්. අපි කියන්නේ ඒ අයට නායකයෝ දෙන්නා කොටවන්නේ නැතුව යන තැනක යන්න කියලා. විපක්ෂයේ කාර්යබාරය ඉෂ්ට කරන්න බැරිනම් ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන්න බැරිනම් ඔය යන අය ගියදෙන්. ඒ අය ගියා කියලා මහජනතාවගේ ඡන්දය අඩු වෙන්නේ නෑනේ. ඒ අය පක්ෂෙ මාරු කරන්නෙත් නෑ.

හර්ෂ ද සිල්වා මහත්තයා කිව්වා ශ්‍රී ලංකා එකේ කට්ටිය බලෙන් තවත් ඇමැතිකම් ගන්න ලැජ්ජා නැතුව රිංගනවා කියලා.

ඔව්. මාත් දැක්කා. දැන් හිතන්න මේ යන මිනිස්සුන්ට ලැජ්ජා නහරයක් තියෙනවනම් ඔය වැඩේ කරයිද කියලා. ඔහොම බැනුම් අහ අහා වැඩ කරන්න ලැජ්ජා නැද්ද? ලැජ්ජ නහර නැද්ද කොහෙද මේ මිනිස්සුන්ට. අපිට ජනාධිපතිතුමා ආරාධනා කරලා ඇමැතිකම් දුන්නා වගේම අපි මේ ආණ්ඩුවත් එක්ක ඉන්න බැරි නිසා අපේ ප්‍රතිපත්ති අනුව ඉල්ලා අස්වෙලා ගෙදර ආවා. අපිට ඔය ධනය, බලය වගේ දේවල් ලොකු නෑ. අපි හැමතිස්සෙම ගරු කරන්නේ ජනතා බලයට.

සොයිසා හිටපු ඇමැතිතුමත් ප්‍රකාශ කළා මහින්ද මහත්තයානම් හොඳයි ඔහුගේ වටේ ඉන්න වෘක රැල තමයි හරි නැත්තේ කියලා. කවුද මේ වෘකයෝ?

අපි එතුමා කියන වෘකයෝ කවුද කියලා දන්නේ නෑ. එතුමා කාට කියනවද කියලා දන්නෙත් නෑ. එහෙම දන්නවනම් අපිටත් කියන්න. අද වෙනකොට මහින්ද මහත්තයයි කට්ටියයි මෛත්‍රී මහත්තයාගේ කට්ටියයි එක සාකච්ඡාවකට ඇවිත් තියෙන්නේ ඉදිරි ගමනක් ගැන. ඔය අතරතුරේදී ආණ්ඩුවෙනුත් තනතුරු දෙන්නම් කියලා කතා කරනවා. ඒත් කවුරුත් යන්නෑ. මමනම් දකින්නේ එහෙම නොගිහිල්ලා ඉන්න එක ඉතාම හොඳ ගතිගුණයක් කියලා.

2015 මහ මැතිවරණයේදී ජනාධිපතිවරයා සමඟ ගිය ඔබලට පාර වැරදුණා. මේ පාරත් ජනාධිපතිවරයත් එක්ක තමයි ගමන යන්න ඉන්නේ. කොහොමද ජනාධිපතිවරයාව විශ්වාස කරන්නේ?

ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා එදා පෞද්ගලික ජීවිතය ගැන හිතලයි එහෙම කිව්වේ කියලා. එතුමා අද කියනවා ජීවිතයට වඩා රට ගැන හිතලයි මේ තීරණය ගත්තේ කියලා. සැබැවින්ම ජනාධිපතිවරයා කළේ අනාගත දරු පරපුර විනාශයට යමින් තිබූ රටක් බේරගත්ත එක. ඒ නිසයි මොන ප්‍රශ්න තිබ්බත් මහින්ද මහත්තයත් එක්ක ගමන යන්න ලෑස්ති වුණේ. ඒත් රටේ අවාසනාවකට ඒක මග නැවතුණා.

පහුගිය දවස් ටිකේ වෙච්ච කලබැගෑනිය මැද්දේ අපි කවුරුත් දැක්කෙ නෑ ඔබතුමාලගෙ පැත්තේ හොඳ මොළයක් තියෙනවා කියන බැසිල් රාජපක්ෂ මහත්තයා. බැසිල් මහත්තයා මේකෙන් ඉවත් වුණාද?

පැහැදිලිව කියන්න තියෙන්නේ එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් නෙවෙයි. ඒ නිසා එතුමාගේ කාර්යබාරය තිරයෙන් පිටිපස්සේ. හැබැයි එතුමා පොහොට්ටුව නගා සිටුවීමේ වැඩසටහනේ සියල්ල සිද්ධ කරනවා. පාර්ලිමේන්තුවේ පේන්න නැති නිසා තමයි එතුමා පේන්න නෑ කියන්නේ. එතුමා හොඳ දක්ෂ සංවිධායකවරයෙක්.

හැබැයි අපිටනම් ආරංචි අලුත් ආණ්ඩුවට එතුමා කැමැත්තක් දැක්වුවේ නෑ කියලා.

ඒක නම් මම දන්නේ නෑ. හැබැයි පෞද්ගලිකව නම් මම ඉන්න මතය තමයි මේ ආණ්ඩුව ජනතා ඡන්දයකින් මිසක් ඔළු ගෙඩි මාරුවකින් ගන්න ඕන නෑ කියලා. ඒත් පොදු සියලු දෙනාගේ කැමැත්ත නිසයි මම ඒකට එකඟ වුණේ. හැබැයි දැන් තමයි දන්නේ එහෙම ගත්ත එක නිසා විකුණන්න තිබ්බ ගොඩක් දේවල් නතර කරගන්න පුළුවන් වුණා කියලා.

අද වැඩේ වැරදුණාම ඔබතුමාලා ඔහොම කිව්වට වෙල්ගම මහත්තයා නම් මුල ඉඳලම හිටියේ වැඩේ වරදිනවා කියන තැන.

මෙහෙමයි. වෙල්ගම මහත්තයාගේ අදහසේ තමයි බහුතරයක් හිටියේ. හැබැයි කණ්ඩායමක් වශයෙන් තීන්දු කළ අවස්ථාවේ ඊට එකඟ වුණා. හැබැයි එතුමා පොඩ්ඩක් එහාට ගිහිල්ලා ප්‍රසිද්ධියේ එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා. එහෙම නොකිව්ව එතුමාගේ මතයේ හිටිය පිරිසකුත් හිටියා. ඒ නිසා එතුමා විතරක් නෙවෙයි ඒ මතේ හිටියේ.

දැන් අලුත් සන්ධානේ මහින්ද රාජපක්ෂ මහත්තයත් ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ඉන්නවා. කවුද එතකොට නායකයා?

මෙහෙමයි. අපේ පක්ෂේ තව පක්ෂ ගණනාවක් තියෙනවා. විමල් වීරවංශ, ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරු ඔක්කොම පක්ෂ නායකයෝ. ඉතින් මෛත්‍රීපාල මහත්තයත් අපේ පක්ෂ නායකයෙක්. ඒ නිසා ඡන්දෙකදී ඡන්ද වැඩි කරගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. නායකයෝ මාරු වෙනවා. එවැනි වෙනස්කම් මේ පක්ෂෙත් තියෙනවා. නායකයා නෙවේ වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ අරමුණ. ඒ අරමුණ පොදු ජන පක්ෂය ප්‍රමුඛ සන්ධානය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් සන්ධානයත් එක්ක යන එකෙන් වෙන්නේ විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වෙන එක.

ඒ කියන්නේ හැමෝම පොහොට්ටුවෙන්ද ඉල්ලන්න හදන්නේ?

නෑ සමහර අයට පුළුවන් පොහොට්ටුවෙන් ඉල්ලන්න. තව සමහර අයට පුළුවන් තමන්ගේ පක්ෂෙන් ඉල්ලන්න.

ඔබගේ කඳවුරේ ඇතැම් අය සුළු ජාතීන් විවේචනය කරමින් ප්‍රකාශ දෙනවා. ඉතින් ඡන්ද දිනන්න පුළුවන් වෙයිද?

ඔබ කියන කාරණයට මමත් එකඟයි. සමහර මොළයක් නැති දේශපාලන වපසරියක් දන්නෙ නැති ඔලමොට්ටල පුද්ගලයෝ විවේචනය කරනවා. ඔවුන් දන්නේ ජාතික මැතිවරණයකදී සුළු ජාතික ඡන්දවල වටිනාකම. කට වාචාලකමට ඔහේ අහිංසක මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. අපි සියලු ජාතීන් එක්ක ඉදිරියට යන ගමනක් වෙන්න ඕනේ.

සුළු ජාතින් විතරක් නෙමෙයි සමහර අයට විදේශ රටවලුත් පෙන්නන්න බෑ.

ඒ බොරැවට කෑ ගහන්නේ. අපිට පුළුවන්ද ඉන්දියාව, අමෙරිකාව වගේ රටවල් තරහා කරගෙන ඉදිරියට යන්න? බෑ. ඔවුන් එක්ක හොඳ සහයෝගයක් තියෙන්න ඕනේ. කටට ආපු පලියට ඒ රටවල් විවේචනය කළා කියලා අපි මහා අමුතු මිනිස්සු වෙන්නෑ. එකම දෙයයි වෙන්නේ. මේ රට ලෝක සිතියමෙන් හුදෙකලා වෙනවා.

ජාතික දේශපාලනයෙන් මීගමුවට ආවොත් ඇත්තද ඔබ මීගමු නගර සභාව පොහොට්ටුවේ බලයට ගත්තේ මන්ත්‍රීවරුන්ට සල්ලි දීලා කියලා?

දේශපාලනය ගැන දන්න ඕන කෙනෙක් දන්නවා දේශපාලනය කරන්න ඕන විදිහ. දේශපාලනයෙදී ජයග්‍රහණ ලබාගන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ඒ නිසා මම කළේ පැවැති මැතිවරණ ක්‍රමය අනුව ස්වාධීන කණ්ඩායම් කිහිපයක් දාලා තරග කෙරෙව්වා. හේතුව මන්ත්‍රී බහුතරය උඩ තමයි බලය දෙන්නේ. ඒ හරහා තමා බලය ගත්තේ. ඒ නිසා දේශපාලනය ගැන දන්නේ නැති අය ඔය වගේ චෝදනා කරනවා. මම නීත්‍යානුකූලව ස්වාධීන කණ්ඩායම්වලට වියදම් කරලා අදාළ බලය ලබාගත්තා. එහෙම නැතුව කාටවත් සල්ලි දීලා ගත්තෙ නෑ. මීගමුව නගර සභාව බුද්ධිය භාවිතා කරලා අල්ලගත්ත නගර සභාවක්. බංකොළොත් සංවිධායකවරු ඔහොම කතා කියනවා.

ඔබලට එන චෝදනාව තමයි ලාංසා පවුල මීගමුව නගරය පාලනය කරන්න හදනවා කියලා.

ජනතාවගේ ඡන්ද බලෙන් ගන්න බෑනේ. මම අවුරුදු 24ක් මීගමුවේ දේශපාලනය කරනවා. මම තරම් මීගමුව ජනතාවට සේවය කරපු කෙනෙක් නෑ. ඒක මීගමුව ජනතාව දන්නවා. අපි හැමදාම දින්නේ ඡන්දෙන්. කිසි දෙයක් බලෙන් දිනලා නෑ. දේශපාලන උපක්‍රම යොදාගෙන ඡන්ද කලා මිසක් කවදාවත් ඡන්ද මංකොල්ල කාලා නෑ. ලංසා පවුලට ඔහොම බය වෙලා ඉන්නේ බංකොලොත් දේශපාලනඥයෝ. බුද්ධිමත් දේශපාලනඥයන් ඉන්නවානම් ජනතාවගේ කර මතින් උඩට එන්න එපැයි.  මීගමුව කියන්නේ එජාප බලකොටුවක්. ඒක පෙරලුවේ අපි. ඉතින් ඒක පොඩි දෙයක් නෙවෙයි. ඒ භීතිය තමයි දැන් ලාංසා පවුලේ භීතියක් වෙලා තියෙන්නේ. අපි බොරු කරලා දිනලා නෑ. වැඩ කරලයි දිනලා තියෙන්නේ.

ඔබ ඔහොම කිව්වට වැඩිපුර චෝදනා එල්ල වෙනවා මේ ලාංසා පවුල මීගමුව ප්‍රදේශය දූෂිත ප්‍රදේශයක් බවට පත් කළා කියලා. එයට වගකියන්න ඕන ඔබ කියලා කියනවා.

පසුගිය අවුරුදු 4ම අපි විපක්ෂයේ හිටියේ. අපි වැරදි වැඩ කරනව නම් ඒවා හොයලා බලලා දඬුවම් කරන්න බලය තිබ්බේ එජාප ආණ්ඩුවට. එක්සත් ජාතික සංවිධායකවරැන්ට. එහෙනම් සම්පූර්ණ වගකියන්න ඕන ඔවුන්. මොකද අපිට බලයක් නෑනේ. මම ඔච්චර බයනම් නියෝජ්‍ය ඇමැතිකම තියාගෙන ඉන්නවනේ ආණ්ඩුවට වෙලා. මම ඇමැති පදවිත් දාලයි එළියට බැහැලා ආවේ. ඒ නිසා ඔය කට වාචාලකම්වලට එක එක අය කියන ඒවා වැඩිය හිතන්නේ නෑ.

ඔබ තමයි වත්තල ආසනය බැලුවේ. මෙදා පාර වත්තල ප්‍රාදේශීය සභාව පොහොට්ටුව අයවැය පැරදුණා කියලා චෝදනා තියෙනවා. එහෙත් පොහොට්ටුවේ අය කියනවා අපි දින්නා කියලා. මොකද්ද ඒ ප්‍රශ්නේ?

වත්තල ප්‍රාදේශීය සභාව එක පාරකුත් මම ජයග්‍රහණය කරලා දුන්නා. මට ඕනෙ නම් තව පාරක් ඒ වැඩේ කරන්න පුළුවන්. හැබැයි මට සභාපතිවරයා මෙහෙම පරදින බවක් කියලා තිබ්බෙ නෑ. එහෙම කියලා තිබ්බනම් මේක නවත්වනවා. හේතුව ඒ මන්ත්‍රීවරු මාත් එක්ක බොහොම හිතවත් අය. අපි කතාබහ කරලා දිනන්න තිබ්බා. ඒත් කිව්වේ නෑ.

ඒ කියන්නේ වත්ත ප්‍රාදේශීය සභාපතිතුමාත් ඔබතුමාත් අතර ගැටුමක් තියෙනවද?

නෑ. සභාපතිතුමා මාව දැනුවත් කළේ නෑ. මම හිතන්නේ එයා හිතන්න ඇති එයාට දිනන්න පුළුවන් කියලා. ජනාධිපතිතුමයි මහින්ද මහත්තයයි එකතු වුණ නිසා දිනන්න පුළුවන් කියලා එයා හිතන්න ඇති. ඒත් අවාසනාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුන්දෙනා ඡන්දෙ දුන්නෙ නෑ. අනිවාර්යයෙන්ම මම ඒ ගැන හොයලා බලලා කටයුතු කරනවා.

ඔබතුමා පොහොට්ටුවෙන්ද ඊළඟ මැතිවරණයට තරග කරන්නේ?

අනිවාර්යයෙන්ම. දැනට සාමාජිකත්වය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ.

ඔබතුමාලගේ පක්ෂයේ සහ මෛත්‍රීපාල මහත්තයාගේ පක්ෂයේ අවසාන අරමුණ මෛත්‍රීපාල මහත්තයා නැවතත් ජනාධිපතිවරයා කිරීමද?

මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න ලෑස්ති නෑ. ඒ නිසා ඒ උත්තරය පස්සෙ බලමු.

►ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00