2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා

තුරුම්පු කියලා ගැහුවෙම ජෝකර්ලා

 2018 දෙසැම්බර් 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 110

අගමැති පුටුව අපට අදාළ නෑ
මහින්ද රාජපක්ෂලා ඇත්ත වහනවා
ස්ථාවර නියෝග අත්හිටුවන්න පුළුවන්
විධායක ජනපති ධූරය අහෝසි කර ඡන්දෙකට යා යුතුයි
ප්‍රධාන පක්ෂ දෙකම කරන්නෙ සූදුවක්
කුමන්ත්‍රණකාරයන්ට දඬුවම් දෙන්න ඕනෑ
අධිකරණ තීන්දුව ජනතාවගේ ජයග්‍රහණයක්
ජනපතිට මනස්ගාත එක්ක සෙල්ලම් කරන්න බෑ

- ජ.වි.පෙ. නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක

පාර්ලිමේන්තු විසුරුවා හැරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණාත්මක තීන්දුවක් ලබාදුන්නා. සමහර අය කිව්වේ මේකෙන් සිදුවන්නේ ජනතා පරමාධිපත්‍ය අයිතිය හීන කිරීමක් කියල. ඔබට අනුව ඒ තීන්දුව මොකක්ද?

විශේෂයෙන් මේ රටේ ජනාධිපතිවරයාගේ වගකීමත් වගවීමත් බැඳී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ඒත් මේ සිද්ධියේදී ඔහු සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළේ. යම් ආකාරයකින් මේ විසුරැවා හැරීම නිවැරදි වුණා නම් තවදුරටත් මේ රටේ මහමැතිවරණයක් තියලා තේරුමක් නෑ. හේතුව අද පත්වුණු ආණ්ඩුවක් හෙට ඔහුට ගැලපෙන්නේ නැත්නම් විසුරුවා ලීමට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ තීන්දුව නොලැබුණා නම් අතිශය බරපතළ ප්‍රහාරයක් ජනතා පරමාධිපත්‍යයට සිදුවෙනවා. ඒ නිසා මේ තීන්දුවෙන් කරලා තියෙන්නේ ජනතා පරමාධිපත්‍ය බලය ආරක්ෂා කර දීමක්. 

ජනතා පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරනවා කිව්වාට මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ සන්ධානයෙන් එල්ලවෙන චෝදනාව තමයි ඔබලා ඡන්දෙකට බයේ මේ වාරණය කැමැත්තෙන් දා ගත්තා කියලා?

පළමුකොටම රාජපක්ෂලට අපේ රටේ නීතියට යටත් වීමේ පුරුද්දක් නෑ. ව්‍යවස්ථාවකට යටත් වීම පුරුදු නෑ. ඔවුන් නීතිය කියලා පිළිගන්නේ ඔවුන්ගේ මනස තුළ හැදෙන මනස්ගාත සිතුවිලි. ඒ නිසයි ඉතිහාසයේ ඔවුන්ට නොගැලපෙන තීන්දුවක් ලැබුණාම අගවිනිසුරුවරිය ඉවත් කළේ. ඒ නිසාම තමයි ඔවුන්ගේ කරට අතදාගෙන ඉන්න අගවිනිසුරුවරුන් දුන්න තීන්දු වැරදියි කියා පසුව පිළිගන්නේ. එවැනි අවිනීත හැසිරීමක ඉන්න රාජපක්ෂලාගෙන් මේ තීන්දුව ගැන ගල් මුල් මිසක් ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නෙ නෑ.

හැබැයි මේ ප්‍රශ්නය අහනකොටත් රටේ අගමැති මහින්ද රාජපක්ෂ හැටියට පිළිඅරගෙන තියෙන්නේ?

ඔව්. ඔවුන් කරපු අශීලාචාරම දේ තමයි මහින්ද මහත්තයයි, මෛත්‍රියි හඳපානේ ආණ්ඩුවක් හදාගත්තා. ඔවුන් දෙදෙනාටම ලැබුණු ජනවරමට පයින් ගැසුවා. මේ රටේ ආණ්ඩු පෙරළන්න පුළුවන් ක්‍රම තිබෙනවා. මැතිවරණයකින් පුළුවන්. පාර්ලිමේන්තුවේ ක්‍රම හරහා පුළුවන්. ඒත් මේ වෙලා තියෙන්නේ දෙදෙනෙක්ගේ කැමැත්ත මත හදපු ආණ්ඩුවක්. එහෙමනම් ඒ අයට තිබ්බනේ ඔක්තෝබර් 26 වැනිදාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. ඔවුන් පාර්ලිමේන්තු සැසිවාරය කල් දැම්මා. ඊට පස්සේ මන්ත්‍රීවරු සල්ලිවලට ගන්න ගියා. ඒ දෙකම අසාර්ථක වුණායින් පස්සේ තමා ආණ්ඩුව විසුරුවා හැරියේ. ඊට පස්සේ ඔවුන් කතාවෙනවා බොරුවට ජනතාවගේ පරමාධිපත්‍යය ගැන. මෙය සම්පූර්ණයෙන්ම විහිලුවක්.

හැබැයි ජනාධිපතිවරයා කියනවා ඔහුට හරියන අගමැති කෙනෙක් පත් කර ගැනීමේ අයිතිය තමන් සතුයි කියලා?

හරි... ඔහුට එහෙම බලයක් තියෙනවා කියමුකෝ... එහෙම කරලානේ පසුගිය 26 වැනිදා බලය පැවරුවේ. දැන් ඒ ආණ්ඩුව ඉස්සරහට ගියාද? ඒකෙන් අරාජික තත්ත්වයක් ඇතිවුණේ. අඩුම තරමේ නීති පොතේ තියෙන දේවල් දැනගෙන ක්‍රියාකරන්න එපැයි. ඒ දේවලුත් ගණන් ගන්නේ නැතිව සිදුකළ නිසයි අද මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ.

දැන් මේ රටේ විධායක ජනාධිපති මෛත්‍රීපාල මහත්තයා. ඉතින් ඔහු මේ සියල්ල නොදැනගෙන මේ වැඩකරනවා කියලාද ඔබ කියන්නේ?

පැහැදිලිවම. මෙතැන තියෙන්නේ මජර දේශපාලනය. කුමන්ත්‍රණකාරී බල උවමනාව. ඔහුට තියෙන්නේ නැවත ජනාධිපති පුටුවේ වාඩිවීමේ කෑදරකමක්. ඒ නිසයි ඔහු මෙවැනි දේවල් කරන්නේ. ඒ වගේම රාජපක්ෂලටත් බලය නොමැති වීමේ විශාල ප්‍රශ්නයක ඉන්නේ. ඒ වගේම ඔවුන්ට විරුද්ධව විශාල වංචා දූෂණ රැසක් තිබෙනවා. ඒවාටත් මුහුණ දෙන්න බැරුව හිටියේ. ඒ නිසයි මේ බලය අල්ලන්නේ. ඒකට බලය තියෙන අය උදව් කළා. මේක නොපෑහෙන දීගයක්.

ඔබ හිතනවාද මේ සියලු ප්‍රශ්නවලට මේ නඩු තීන්දුවෙන් පස්සේ විසඳුමක් ලැබෙයි කියලා?

අපේ රටේ ආණඩුක්‍රම ව්‍යවස්ථාව නිතර මේ ජනාධිපතිවරයා උල්ලංඝනය කරලා තියෙනවා. ඒක කෙතරම් බරපතළද කියලා ඔහු තේරුම් ගත යුතුයි. ජනාධිපතිවරයාට විරුද්ධව දෝශාභියෝගයක් ගෙන ඒමේ ප්‍රධාන කරුණු දෙකක් තිබෙනවා. එක චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම. අනෙක මනෝව්‍යාධිය. චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය ඔහු ඔප්පු කර හමාරයි. ඒ නිසා මේ තත්ත්වයට විසඳුමක් වන්නේ ජනාධිපතිවරයා වහාම ව්‍යවස්ථාවට වැඩකටයුතු කිරීමයි. ඔහු තවදුරටත් ව්‍යවස්ථාවට අනුගත වෙන්නේ නැත්නම් ඉතිහාසයේ අතිශය අභාග්‍යසම්පන්න ජනාධිපතිවරයා හැටියට යන්න වෙන්නේ.

ඔබ මේ දෙන්නේ අවවාදයක්ද? අවදානමක්ද?

ඔහු තේරුම් ගත යුතුයි. ජනාධිපතිවරයාට ඔහුගේ ඔළුවෙ හැදෙන මනස්ගාත එක්ක සෙල්ලම් කරන්න අයිතියක් නෑ. ඔහුට කිසිම අයිතියක් නෑ රටත් එක්ක සෙල්ලම් කරන්න. මෛත්‍රීපාල මහත්තයයි මහින්ද මහත්තයයි ෆුට්බෝල් පිට්ටනියට බැහැලා බෝලයක් අරගෙන එහාට මෙහාට සෙල්ලම් කරනවා වගේ මේ රට හෑල්ලුවට පත් කරලා ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත් කළේ. ඒක දේශපාලන කුමන්ත්‍රණයක්. ඔහුට මම කියන්නේ මේක බලපෑමක්.

ඔබ ඔය කියන දේශපාලන බලපෑමේ අවසානය කුමක්ද?

එහි අවසානය තීන්දු කරන්නේ අප නෙමෙයි ඔහු. අපේ අරමුණ තියෙන්නේ මේ ප්‍රශ්නය ඉතාමත් සාමකාමී ලෙස විසඳා ගැනීම. හැබැයි ඔහුගේ උත්සාහය තියෙන්නේ මේක සාමකාමීව විසඳාගන්න නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ඔහු වටේ ඉන්න ත්‍රාඩ කණ්ඩායමක් තමයි මේකේ අනාගතය තීන්දු කරන්න යන්නේ.

මේ වෙනකොට පාර්ලිමේන්තුවේ 117ක කැමැත්ත පළකරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ජනතා විමුක්ති පෙරමුණ මහින්ද මහත්තයාගේ ආණ්ඩු පෙරළන්න උදව් කළාට රනිල් මහත්තයාට කැමැත්ත පළකළේ නැහැ. මොකක්ද මේ වැඩේ තේරුම?

රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව අප්‍රේල් මාසේ 4 වැනිදා විශ්වාසභංගයක් ගෙනාවා පාර්ලිමේන්තුවට. ඒ විශ්වාසභංගයේදී ඔහු මේ රටට කරපු හානියට එරෙහිව එදා අපි ඊට සහයෝගය දැක්වූවා. ඒ චෝදනාව අදටත් වලංගුයි. රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්ත මුරකරුවා නෙමෙයි. අපට මෙතැන තියෙන්නේ රනිල් හරි මහින්ද හරි නැගිටුවලා ඒ දෙන්නාගෙන් එක්කෙනෙක්ව අගමැති පුටුවේ වාඩිකරන එක නෙමෙයි. අපට තියෙන්නේ අපේ රටේ ආණ්ඩුවක් පෙරළිය යුතු ව්‍යවස්ථානුකූල ක්‍රමවේදයට පිටුපා කටයුතු කිරීම සම්බන්ධව අවුලක්. ඊට එරෙහිවයි අපි නැගී සිටියේ. එවැනි දෙයක් තවදුරටත් කරන්න දුන්නොත් ලේ ගංගාවක් වෙලයි රට නවතින්නේ. මේක වෙන කෙනෙකුටත් වෙන්න පුළුවන්. අපිට වාඩිවෙන්නේ කවුද කියලා අදාළ නෑ. අපි පෙනී සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන්. ඔය පුටුවේ එක එක අය වාඩිවෙලා තියෙනවා.

හැබැයි ජනාධිපතිවරයා බහුතරයේ හිටියත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම දෙන්නේ නෑ කියලා දිගින් දිගටම කියනවා?

අපිට අගමැතිකම දෙන්න ඕනේ කාටද නොදෙන්න ඕනේ කාටද කියලා අදාළ නෑ. අපට තියෙන එක ප්‍රශ්නයයි. ඔහු ව්‍යවස්ථාවට යටත්ව වැඩකරනවාද කියන එක විතරයි.

ඔබ කියනවා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමලු මෙතැන තියෙන්නේ. ඒත් දැන් දෙමළ ජාතික සන්ධානයයි එජාපයයි එකතුවීම පිටුපස යම් ගිවිසුම්සහගත බවක් තියෙනවා කියලයි රාජපක්ෂ කණ්ඩායමෙන් කියන්නේ?

මම දැක්කා සුමන්තිරන් මහත්තයා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට සහයෝගය ලබාදෙන්නේ නම් ඔවුන් ඉල්ලන ඕනම දෙයක් දෙන බවට ප්‍රකාශ කරලා තියෙනවා කියලා. ඒ නිසා මහින්ද රාජපක්ෂලා ඇත්ත වසං කරන ව්‍යාජ බොරු වේෂනිරූපණ ඉදිරිපත් කරනවා. මේ මොහොතෙත් ඔවුන් රට බෙදන කතා කියන්නේ. ඔය කියන අය කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයා එල්.ටී.ටී.ඊ.යත් එක්ක ගිවිසුම් අත්සන් කරන කාලේ එයා පිටුපස්සේ හිටගෙන හිටිය අය. ජී.එල්. පීරිස් කියන්නේ ගිවිසුමේ සම්පාදකයා. ඒ නිසා අපි කිසිම මොහොතක රට බෙදන්න ඉඩ නොදෙන ජාතික ව්‍යාපාරයක්. හැබැයි මෙතැන එක එක මන්ත්‍රීවරැන්ට ඇමැතිකම් සල්ලි දීලා තියාගත්ත නඩු ඉවත් කරගත්ත ඒවා තියෙනවා. ඒ නිසා මේ අය බල සූදු වෙනුවෙන් කරන සටනක්.

ඔබලා කොච්චර නිර්දෝෂී වෙන්න හැදුවත් එල්ල වෙන චෝදනාව තමයි ජවිපෙ කියන්නේ එජාපයේ නැට්ට කියලා?

අපිට එක්සත් ජාතික පක්ෂයෙන් ගන්න මොනවාද තියෙන්නේ? එහෙම කිසිවක් නැහැ. මම හෝ මගේ පක්ෂයේ කිසිම කෙනෙක් එක්සත් ජාතික පක්ෂයෙන් කිසිදෙයක් අරගෙනත් නැහැ. නඩු බේරාගෙනත් නෑ. අදටත් ප්‍රශ්නයක් ජනවාරි 8 වැනිදා මහින්ද යන වෙලාවේ අරලියගහ මන්දිරයේ වාඩිවෙලා රනිල් - මහින්ද කතා කළේ මොනවාද කියලා. ඒ නිසා යටි තීරණ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ මහින්ද රාජපක්ෂ මහත්තයා අතර. අපි එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිම හේතුවකට ගනුදෙනු කරලා නැහැ. අපි කටයුතු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වෙනුවෙන්. ප්‍රශ්නය තියෙන්නේ එතැන. ඒ මූලධර්මය වෙනුවෙන් පෙනී සිටින අය එක්ක ගනුදෙනු කරන්න සිදුවෙයි. හැබැයි ඒකෙන් කියන්න බෑ ඒක කොන්ත්‍රාත්තුවක් කියලා.

ප්‍රජාතන්ත්‍රවාදය දින්නාය කිව්වාට අවසානයේ එක් පක්ෂයකට ජයග්‍රහණයක් බවට ලඝු කරන්න ඇතැම් පිරිස උත්සාහ ගන්නවා?

නෑ. මේක සැබැවින්ම ජනතාවගේ ජයග්‍රහණයක්. ජනාධිපතිවරයා හිතූ හිතූ පරිදි සිදුකරන මේ වැඩවලට අධිකරණයෙන් දුන් හොඳ තීන්දුවක්. ඒ නිසා මේක ජනතාවගේ ජයග්‍රහණයක්.

හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී කතා අස්සේ එන්නේ කවුද අගමැති කියන කතාව නේද?

ඔව්. ඒක විසඳාගතයුතු කාරණයක්. පළමුකොට මේ පාර්ලිමේන්තුවට දිගුකාලයක් පාලනය කරන්න අයිතියක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ කවුරු බහුතරය හදාගත්තත් ඒ හදාගෙන තියෙන්නේ වරදාන හා වරප්‍රසාදවලින්. ඒ නිසා තවදුරටත් මේ පාර්ලිමේන්තුවට බලයක් නෑ මේ රට පාලනය කරන්න. හැබැයි පාර්ලිමේන්තුවට නිශ්චිත කටයුතු වගයක් පැවරිලා තියෙනවා. ඒ මේ කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් ලබාදෙන්න ඕන. මොකද මේ රට මාස දෙකක කාලයක් අරාජිකව තිබ්බා. ඒ නිසා මේ කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දෙන්න නීතියක් සම්මත කළ යුතුයි පාර්ලිමේන්තුවේ.

හැබැයි මෙතැන පාර්ලිමේන්තුව නෙමෙයි නේද මේ ප්‍රශ්නයට මුල. ජනාධිපතිවරයාගේ පත් කිරීම සහ කටයුතු නිසා නේද මේ තත්ත්වය ඇතිවුණේ?

ඔව් පැහැදිලිවම. විධායක ජනාධිපති ධුරය විසකුරුයි කියලා පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි. ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගත යුතුයි. ඊට පසුව ජනවරමක් වෙනුවෙන් යා යුතුව තිබෙනවා. 

ඒ කියන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක්?

අනිවාර්යයෙන්ම.

ඔබ කිව්වාට කොහොමද සියලු පක්ෂ හැකි ඉක්මනින් මහමැතිවරණයක් සඳහා එකතු කරගන්නේ?

ඒක බලමු.

විශේෂයෙන් මේ සිද්ධියේදී කථානායකවරයාට චෝදනාව එල්ල වුණා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකළා කියලා?

මට උදාහරණයක් කියන්න.

ඔවුන් කියනවා ස්ථාවර නියෝග කඩකළා කියලා?

බලන්න, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තියලා 14 කැඳවන්න තීරණය කරනවා. ඊට පස්සේ 9 වැනිදා විසුරුවනවා. ඊට පස්සේ අධිකරණයෙන් ඒ විසුරැවා ලීම වාරණයට ලක්කරනවා. දැන් ජනාධිපතිවරයා 14 කැඳවන්න ගහපු ගැසට් එක අනුව 14 වැනිදා නැවත පාර්ලිමේන්තුව කැඳවනවා. දැන් මේක නීති විරෝධියිද? ඒ වගේම 14 වැනිදා අපි විශ්වාසභංගයක් ගෙන එනවා. ජනාධිපතිවරයාට අවසරයක් තියෙනවා පාර්ලිමේන්තුව කැඳවලා මංගල කතාවෙන් පස්සේ නැවත පාර්ලිමේන්තුව කල් තියන්න. ඒ කල්තියන්න කලින් තමයි අපි විශ්වාසභංගය ලබා දුන්නේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වල තියෙනවා විශේෂ යෝජනාවක් ගේනවා නම් පාර්ලිමේන්තුවේ වැඩකරන දින 5ක් ඒ සඳහා ලබාදෙන්න ඕන කියලා. ඒ වගේම එම ස්ථාවර නියෝගයේම සඳහන් වෙනවා ඕනෑම ස්ථාවර නියෝගයක් අදාළ දිනයේදී අත්හිටුවිය හැකියි කියලා. අපි විසින් කළේ මේ විශේෂ යෝජනාව අනුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටෙව්වා ඡන්දයක් අරගෙන. ඒ අවසරය ගත්තාම පාර්ලිමේන්තුව දින 5ක් ක්‍රියාත්මක විය යුතුයි කියලා ස්ථීරවම අවශ්‍ය වෙන්නේ නෑ. ඒ අනුව තමයි අපි විශ්වාසභංගය ගෙනාවේ. ඒ වගේම කතානායකතුමා ආණ්ඩුවත් පිළිගත්තා. ඒ නිසා මෙතැන එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. මේක කිසිම ව්‍යවස්ථාවක අධිකරණයක නීතියක නැති ආණ්ඩුවක්.

හැබැයි මේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න මන්ත්‍රීවරු එහෙට මෙහෙට පැන්නා. පිහි ගෙනාවා. ලොකු සටනක් දුන්නා නේද?

මේ කිසිම මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට ගේට්ටු කඩාගෙන ඇතුළු වෙච්ච අය නෙමෙයි. මේ හැමදෙනාම ජනතා ඡන්දයෙන් ආවේ. මේ මන්ත්‍රීවරුන්ට චෝදනා කරනවා වගේම ඊට වැඩිය බරපතළ චෝදනාවක් ඒ අය පාර්ලිමේන්තුවට එවපු අයට තියෙනවා. ජනතාව පුටුවක් ඉස්සුවට මිරිස් කුඩු ගෙනාවාට විරුද්ධ වෙනවාට වැඩිය ඊට එහා ගිය විරුද්ධත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.

දැන් මේ ප්‍රධාන පක්ෂ දෙක කොච්චර නැටුවත් නිවැරදියි කියල හිතන ජනතා විමුක්ති පෙරමුණට ඉස්සරහට එන්න බැරිවෙලා තියෙනවානේ?

ප්‍රධාන පක්ෂ දෙක කරන්නේ සූදුවක්. ඔවුන් මේ සමාජ ක්‍රමය ආරක්ෂා කරගෙන මේකේ මුරදේවතාවුන් වෙන්න හදනවා. ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ තියෙන්නේ පොදු සමාජක්‍රමයක් වෙනස් කිරීම. ඒක දීර්ඝකාලීන මෙහෙයුමක්. ඒක දුෂ්කර කාර්යයක්. ඒක ජයගත හැකි මාර්ගයක්.

එතැන ජනතා විමුක්ති පෙරමුණට එන චෝදනාවක් තමයි ඩොලර්වලට වැඩකරනවා කියන කාරණය?

කවුද ඒ චෝදනාව එල්ල කරන්නේ. ඒ කවුරුත් නෙමෙයි. සමස්ත රටේ මහජන මුදල් කොල්ලකාලා හොරකම් කරලා මාධ්‍යවේදීන් ඝාතනය කරලා දූෂිත පාලනයක් අරන් ගිය රාජපක්ෂ පාලනයේ අය තමයි ඒ චෝදනාව ගේන්නේ. හේතුව අපි තමයි රාජපක්ෂ පාලනයට එරෙහිව දැඩි ලෙස සටන් කළේ. ඒ නිසා අපිට ඒ චෝදනාව එල්ල කරනවා. හැබැයි අපි නෙමෙයි සල්ලි ගත්තේ. එයාලා තමයි චීන රජයෙන් සල්ලි ගත්තේ.

අවසාන වශයෙන් අහන්න තියෙන්නේ ජනාධිපතිවරයා තවත් තුරුම්පු පාවිච්චි කළොත් ජනතා විමුක්ති පෙරමුණ මොකද කරන්නේ?

(සිනාසෙයි) මෙච්චර කල් ජනාධිපති තුරුම්පු කියලා ගැහුවේ ඔක්කොම ජෝකර්ලා. ඒ නිසා මෛත්‍රීපාල මහත්තයා දැන්වත් තේරැම් ගත යුතුයි තුරුම්පු නෑ කියලා. අපිත් කාඩ් සෙල්ලම් කරන කොට කියනවානේ තුරුම්පු තියෙනවා කියලා. බැලින්නම් හතේ අටේ කොළ තියෙන්නේ. මෛත්‍රීපාල මහත්තයත් ඔය බෙරිහන් දිදී කියන්නේ ඇත්තටම තුරුම්පු නැති නිසා. ඔහු ගාව තියෙන්නෙත් හතේ අටේ කොළ. ඒ නිසා දැන්වත් මේ ගේම් එක කුජීත වෙලා කියලා මෛත්‍රීපාල මහත්තයා පිළිගන්න ඕන.

ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00