2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා

යහපාලන ආණ්ඩුව කියන්නෙ ජනතාව බලෙන් කරපු කසාදයක් (පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා)

 2016 දෙසැම්බර් 31 වන සෙනසුරාදා, ප.ව. 05:33 106

රටේ කීර්තිමත් නීතිවේදියකුගේ පුතෙක් වූ ඔබ ඇයි නීති වෘත්තිය අතහැරලා දේශපාලනයට ආවේ?

අෂ්රොෆ් මැතිතුමා මගේ තාත්තගෙ හොඳ මිත්‍රයෙක්. ඔහු එක්ක දේශපාලන සබඳතා තිබුණා. ඒ වගේම තොණ්ඩමන් මැතිතුමත් සමීප මිත්‍රයෙක්. එතුමාගේ නඩු කළෙත් මම. ඒ සම්බන්ධකම් නිසා මම දේශපාලනය දිහාවට යොමු වුණා. 

සමාජයේ පිළිගැනීමක් තිබෙන නම්බුකාර රැකියාවක් වූ නීති වෘත්තිය අත්හැරලා මිනිස්සුන්ගෙන් බැණුම් අහන්න දේශපාලනට ඒම යහපත් තීරණයක්ද?

අපි දේශපාලනය නම්බුකාර කරවන්න ඕන. වෘත්තියවේදීන් දේශපාලනයට පිවිසෙන්නේ නැත්නම් ඒක රටට ලොකු ප්‍රශ්නයක් වේවී.

ඔබ දේශපාලනයට එන්නේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයකින් නෙවෙයි. තොණ්ඩමන් මහත්තයාගේ ලංකා කම්කරැ කොංග්‍රසයෙන්?

මට තොණ්ඩමන් මහත්තයත් එක්ක විශාල සම්බන්ධතාවයක් තිබ්බා. වතුකරයට සීමා වූ එතුමාගේ පක්ෂය පුළුල් කරන්න එතුමාට අවශ්‍ය වුණා. ඊට පස්සේ එතුමා මට පක්ෂයේ උපසභාපති තනතුරක් දීලා මධ්‍යම කඳුකරයේ ජනතාවට සේවය කරන්න අවස්ථාව ලබාදුන්නා. 

ඔබ ඊට පස්සේ යනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ළඟට?

ඔය කාලේ තොණ්ඩමන් මැතිතුමයි මමයි අතර ගුරු පත්වීම් සිදුවීමකට පොඩි ප්‍රශ්නයක් මතුවෙලා තිබුණා. පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධ සමයේදී මට ආරාධනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. ඉතින් මම තීරණය කළා ත්‍රස්තවාදය නැතිකරන්න එතුමා එක්ක එතුවෙන්න ඕන කියලා. 

 පුංචි ඡන්දෙට මොන බයක්ද අප්පා.... 

මහින්ද රාජපක්ෂ වගේ දැඩි මතධාරී චරිතයක් එක්ක ඉදෙද්දි මුස්ලිම් ප්‍රජාවගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

නෑ.. ඔය කාලේ මහින්ද රාජපක්ෂට ජාති ආගම් කුල භේදයකින් තොරව සියලුම දෙනා ඡන්දය දුන්නා. පස්සේ කාලෙක සිදුවුණ යම් යම් සිදුවීම් නිසා තමයි මුස්ලිම් ප්‍රජාව මහින්ද රාජපක්ෂගෙන් ඇත්වීම සිදුවුණේ සහ අපිට එතුමාගෙන් ඈත් වෙන්න සිදු වුණේ. 

ඊට පස්සේ ඔබ සම්බන්ධ වෙනවා නිදහස් මතධාරී බවක් පෙන්වපු මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයා එක්ක?

පොදු අපේක්ෂකයා විදිහට එතුමා තරග කරනකොට මම ඇතුළු රටේ ප්‍රගතිශීලි කණ්ඩායම් තීරණයක් ගත්තා රටට යුග පුරුෂයෙක් අවශ්‍යයි කියලා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමයි ඒ වෙලාවේ හිටිය හොඳම යුග පුරුෂයා. 

කුමක්හෝ හේතුකාරණා නිසා ඔබ කාලයෙන් කාලයට පක්ෂ මාරු කරනවා නේද?

නෑනේ. මම පක්ෂ දෙකකයි හිටියේ. ලංකා කම්කරු කොංග්‍රසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒ ඇරුණම මම පක්ෂ මාරු කළේ නැහැ. 

මුස්ලිම් කොංග්‍රසය සමඟ එකතුවෙලා දේශපාලනය කරන්න කැමැත්තක් නැද්ද? 

මම ජාතිවාදී දේශපාලනයට කැමැති නැහැ. මම අදටත් සිංහල බෞද්ධ ජනතාවත් එක්ක ජීවත් වෙනවා. මහනුවර මම ඡන්දය කරද්දී මල්වතු අස්ගිරි මහනායක හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලබපු එකම සුළු ජාතික දේශපාලනඥයා මම. අදටත් අස්ගිරි මහනායක හාමුදුරුවෝ මට සලකනවා. මම කවදාවත් දේශපාලනය දිහා මුස්ලිම් ජාතිකයකුගේ දෘෂ්ඨිකෝණයෙන් බැලුවේ නැහැ. ලාංකිකයෙක් විදිහටයි බැලුවේ. 

ඔබට පේනවද රටේ මීට පෙර තිබුණේ නැති ආකාරයේ මුස්ලිම් ජාතිය හා අනෙකුත් පිරිස අතර යම් ආකාරයක මතභේදයක ලක්ෂණ?

මිනිස්සු ගැටුම් ඇතිකරන්න උත්සහා දරනවනේ. සමහර අය සිංහල අන්තවාදය පොවනවා. තව සමහරු මුස්ලිම් අන්තවාදය පොවලා දේශපාලනය කරන්න හදනවා. වැඩක් කරන්න නැතුව මිනිස්සුන්ගේ ආවේග මතුකරලා ඡන්ද දිනන්න පුළුවන් හොඳම ක්‍රමය ජාතිවාදයයි. 

යහපාලන ආණ්ඩුව හදපු මේ ආණ්ඩුවේ පක්ෂ දෙකේ අමාත්‍යවරු වෙන වෙනම වේදිකාවල ඉදගෙන දෙගොල්ලන්ව විවේචනය කරගන්න තැනට ඇවිල්ලා?

මේක ආදරයෙන් කරපු විවාහයක් නෙවෙයි. මේක ජනතාව බන්දවපු විවාහයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂයට හෝ තනිවම ආණ්ඩු කරන්න බැහැ. ජනතාවයි කිව්වේ පක්ෂ දෙකට එකතු වෙන්න කියලා. 

 යූ.එන්.පී. යෝජනාවලින් විතරක් ව්‍යවස්ථා හදනවා බොරු 

ඔබ කියන්නේ ජනතාවද දැන් මේ ආණ්ඩුවේ පාර්ශව දෙක එකතු කළේ කියලා?

නැතුව. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පොරොන්දුවක් දුන්නා මම සම්මුතිවාදී ආණ්ඩුවක් හදනවා කියලා. ඒ පොරොන්දුවට තමයි ජනතාව ඡන්දය දුන්නේ. 

බලෙන් බන්දපු නෝනයි මහත්තයයි රණ්ඩුවෙද්දී  ජනතාව බුම්මගෙන ඉන්නවා?

ඕන තැනක නෝනයි මහත්තයයි රණ්ඩුවෙනවනේ. අඩුපාඩු තිබ්බත් අපි රට ගැන හිතන්න ඕන පක්ෂයට කලින්. නිදහස් පාක්ෂිකයෙක් හැටියට මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටවන්න ලොකු ආසාවක් තියෙනවා. ඒක ජනාධිපතිතුමාටත් තියෙනවා.

ඇයි එහෙනම් එක්සත් ජාතික පක්ෂයට මුක්කුවක් ගැහුවේ?

ජනතාවනේ අපිට මුක්කුවක් ගහන්න කිව්වේ. අපට අපේ දේශපාලන න්‍යායපත්‍රවලට වඩා රටේ න්‍යායපත්‍රවලටයි වැඩ කරන්න වෙන්නේ. සාමාන්‍යයෙන් මන්ත්‍රීධූර 113ක් අවශ්‍යයි ආණ්ඩුවක් හදන්න. ජනතාව පක්ෂ දෙකටම එහෙම ආණ්ඩුවක් දුන්නේ නැහැ. අන්තිමට දෙගොල්ලන්ටම එකතුවෙන්න සිද්ධ වුණා. 

ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේත් මන්ත්‍රීධූර 82යි. ශ්‍රීලනිපයටත් තියෙන්නේ මන්ත්‍රීධූර 8යි. ඇයි එහෙනම් එක්සත් ජාතික පක්ෂයෙන් ටිකක් අරගෙන ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න බැරි කියලා?

රටක ස්ථාවර ආණ්ඩුවක් පැවතිය යුතුයි. එහෙම නැතිවුණොත් රට ආර්ථික හා සමාජයීය වශයෙන් කඩාගෙන වැටෙනවා. මෙතන දේශපාලන දෘෂ්ඨි කෝණයට වඩා රටේ දෘෂ්ඨි කෝණයෙන් ජනතාව ප්‍රශ්නය දෙස බැලිය යුතුයි. දැන් මිනිස්සුන්ට දේශපාලනය තිත්ත වෙලා තියෙන්නේ. 

හැබැයි සමහර දේශපාලන විචාරකයෝ කියනවා ආණ්ඩුවේ පාර්ශව දෙක එළියෙදි  රණ්ඩු වෙන්නේ බොරුවට, ඇතුළේ දෙගොල්ලෝ එකට ලුණු කනවා කියලා?

මම දන්නේ නැහැ ඒවා. දැන් ප්‍රකාශනය කිරීමේ නිදහස තියෙනවා. මාධ්‍යවේදියෙක් හැටියට ඔබ ඕනෑම දේශපාලනඥයකුගෙන් කැමැති ප්‍රශ්නයක් අහන්නේ ඒ නිදහස නිසානේ. 

හැබැයි රටේ ලොකුම පුටුවල ඉන්න අයත් නම් ගම් කියමින් මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ප්‍රසිද්ධියේම විවේචනය කරනවා නේද? 

වෙබ් මාධ්‍ය සම්බන්ධව තමයි ප්‍රශ්නය. තමන්ගේ ළමයි යන ස්කෝලේ ළඟට යන්න බැරි තරමට සමහර මිනිස්සුන්ට මේ වෙබ් මාධ්‍යවලින් මඩ ගහනවා. දේශපාලනය නම් දේශපාලනය. මිනිස්සුන්ගේ ආත්ම ගෞරවය, දරුවන්ගේ ආත්ම ගෞරවය එක්ක ගනුදෙනු කරන එක හරිද?

වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති පුටුවට ගෙන ඒමට උදව් කරපු වෙබ් මාධ්‍යයම තමයි දැන් ආණ්ඩුවේ දෝෂදර්ශනයට ලක්වෙලා තියෙන්නේ?

එක එක්කෙනාට කුණුහරුපෙන් බැණලා නෙවෙයිනේ එතුමාව ජනාධිපති කළේ. රටට වැදගත් දේවල් වෙබ් අඩවි වලින් දීලානේ. එහෙමයි කියලා දැන් වෙබ් අඩවි වල තියෙන කුණුහරුප කිසිසේත්ම අනුමත කරන්න බැහැ. 

රටේ ජනතාව චෝදනා කරනවා ආණ්ඩුවට එරෙහිව යම් ආන්දෝලනාත්මක ගැටලුවක් පැනනැගුණාම කරන්නේ එක්කෝ කොමිටියක් පත් කරනවා නැත්නම් වාර්තාවක් කැඳවනවා. ඔය දෙක ඇරුණම වෙන විසඳුමක් නැද්ද ආණ්ඩුවට?

මම නම් කිසිම කොමිටියක ඉඳලා නැහැ. මම දකින දේ ඕන ප්‍රශ්නයකට සෘජුව විසඳුම් අවශ්‍යයි. 

සීමා නීර්ණ කොමිටිය උදාහරණයට ගමු. ඔබේ යටතේ තියෙන කොමිටියක් මේක. දැන් පත්කරලා අවුරුද්දකට වැඩියි. වාර්තාව හෙට දෙන්නම් කියනවා අනිද්දා දෙන්නම් කියනවා. තාම මොනවද කරලා තියෙන්නේ?

ඔය කොමිටිය පත් කළේ මට ඕන නිසාවත් ජනාධිපතිතුමාට ඕන නිසාවත් නෙවෙයි. අදාළ පනතේ කියලා තියෙනවා ඒ කොමිටිය පත් කරන්න කියලා. ඒකේ එහෙම කියලා නැත්නම් මම තනියම අරගෙන හරි මේක ඉවරයක් කරලා දානවා. මම මේ කොමිටියට කිසිම ඇඟිලිගැසීමක් කරලා නැහැ. 

 ආණ්ඩුවේ ඇතැම් තීරණ නිසා ශ්‍රීලනිපයේ සිත් රිදෙනවා 

අමාත්‍යවරයා හැටියට ඔබ හිතට අවංකව කියනවද සීමා නීර්ණ කොමිටියේ ගත්ත කාලය සාධාරණයි කියලා?

හිතට අවංකව සාධාරණ නැත්නම් මම ඒ කොමිටියේ කාලය තව වැඩි කරන්නේ නැහැනේ. ඒ උදවියට දෙන කාලය තීරණය කරන්නේ මම. මම දන්නවා මේ කොමිටිය මුහුණදෙන අභියෝග. අලුත් ගෙයක් හදන එක ලේසියි. කුඩු වෙච්ච අත්තිවාරමක් තියෙන ගෙයක් අලුත්වැඩියා කරන එක අමාරුයි. 

ඔබ පසුගිය දවසක මාධ්‍යයට ඇවිල්ලා කිව්වා ඔබ ආණ්ඩුවෙන් හිඟාකන්න ලැහැස්ති නැහැ කියලා, මොකද්ද මේ කතාව?

සමහරු කියනවා අපි මේ ආණ්ඩුවේ ෆුට්බෝඩ් එකේ එල්ලිලා යනවා, ආණ්ඩුවෙන් හිඟාකනවා කියලා. අපි ආත්ම ගෞරවයක් ඇතුවයි මේ ශ්‍රීලනිපයේ ඉන්නේ. කවුරු හරි අපේ ගෞරවයට පහරක් දෙනවා නම් අපි මේ ආණ්ඩුවේ ඉන්නේ නැහැ. අපි සමපාර්ශවකරුවෙක් විදිහට තමයි ආණ්ඩුවේ ඉන්නේ. නැතුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙ එල්ලිලා නෙවෙයි. 

ඔබට මතකද මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වෙද්දී විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කියලා පොරොන්දු වුණා?

ඔබ එතුමාගේ ප්‍රකාශනය කියෙව්වද? ඒකේ පැහැදිවම කිව්වේ විධායක ජනාධිපතිධූරයේ අත්තනෝමතික බලය අඩු කරනවා කියලා.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා එතකොට විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා කිව්වේ නැහැ?

නෑ. ඔබ මෛත්‍රීපාලනයක් ප්‍රකාශය කියවලා බලන්න.

එක්සත් ජාතික පක්ෂය ගෙන එන්නට සූදානම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ පාර්ශවය දැන් කියනවා  ඔවුන්ගේ යෝජනා දැම්මේ නැත්නම් මේකට එකඟ නෑ කියලා?

අනිවාර්යයෙන්ම. එක්සත් ජාතික පක්ෂයේ යෝජනා වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න අපි ඉඩදෙන්නේ නැහැ. අපේ හෘද සාක්ෂියට එකඟව අපේ යෝජනා තිබුණේ නැත්නම් අපි මේ සංශෝධනයට අත උස්සන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සම්බන්ධයෙන් අපි මේ දවස්වල වාර්තාවක් හදනවා. ඒ වාර්තාව අපි ඉදිරියේදී රටට එළිකරනවා.

 පක්ෂයේ න්‍යාය පත්තරේට මම නටන්නෙ නැහැ 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය විධායක ජනාධිපතිධූරය පරිස්සම් කරලා තියාගන්නද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය හෙට අනිද්දට අපි හෙළිකරනවා. මම ඒ කොමිටියෙත් ඉන්න නිසා දැන්ම ඒ ගැන කියන එක ගැළපෙන්නේ නැහැ කියලයි මම හිතන්නේ. 

සංවර්ධන පනත කියලා පනතක් හරහා ආණ්ඩුව සුපිරි ඇමැතිධූරයක් හදන්න පිඹුරුපත් සකසනවා කියලා කසුකුසුවක් යනවා?

එක ඇමැතිවරයෙක් හරහා සියලු සංවර්ධන ව්‍යාපෘති සිදුවෙනවානම් ඒක වැරැදියි. 

හැබැයි ඔය පනත කැබිනට් එකේ සම්මත වුණා නේද?

ඔව්. කැබිනට් එකේ සම්මත වුණා. ඒ පනතේ ප්‍රශ්නය තියෙන්නේ ඇමැතිවරයාගේ බලයට වඩා පළාත්සභා වලට බලය ලැබෙනවාද නැද්ද කියන එකේ. දැන් පළාත් සභා හා මධ්‍යම රජය සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. 

එහෙම නැතුව අමාත්‍යංශවල අමාත්‍යවරුන්ගේ බලයට එහා ගිය බලයක් මේ විශේෂ ඇමැතිධූරයට තියෙනවා කියන එක සම්බන්ධව නෙවෙයිද? 

එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුම් ලැබේවී.

ඇමැතිතුමා කැබිනට් එකේ පනත සම්මත කරගන්න කලින් ඔය කියන ප්‍රශ්න කතා කරලා විසඳුම් හොයන එක නෙවෙයිද වෙන්න ඕන?

දිගින් දිගටම මගේ මතය වුණේ පළාත් සභා එක්ක සාකච්ඡා කරලා තමයි මේ පනත ගේන්න ඕන කියලා. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා හැටියට මම ඒ මතය ඉස්මතු කළා. කැබිනට් එකේ කියපු දේවල් මෙතන කියන එක හරි නෑනේ.

 ජාතිවාදී දේශපාලනයට මම කැමති නෑ 

ශ්‍රීලනිපයේ ඩිලාන් පෙරේරා ඇමැතිතුමා සතියකට සැරයක්වත් රැස්වීමක කියනවා අපි ආණ්ඩුවෙන් එළියට බහිනවා කියලා. මේක කාගේ හරි කොන්ත්‍රාත්තුවක්ද? 

ඩිලාන් පෙරේරා ඇමැතිතුමා කාගේවත් කොන්ත්‍රාත් කරන්නේ නම් නැහැ. හැබැයි හිත් රිදීම් අපි කාටත් තියෙනවා. ශ්‍රීලනිපයේ ස්ථාවරයයි ආණ්ඩුව ගන්නා තීරණයි අතර යම් යම් සිත් රිදීම් වෙනවා. 

සතියකට සැරයක්වත් සිත් රිදෙනවද?

මෙහෙමයි. ඩිලාන් පෙරේරා ඇමැතිතුමා හැමදාම කියන දේවල් බලන්න මට වෙලාවක් නැහැ. හැබැයි එතුමා පක්ෂයට හොඳ ළැදියාවක් තියෙන මගේ හොඳ මිත්‍රයෙක්. සමහර අයගේ විවේචන වලට අපි උත්තර දෙන්න ගියොත් ඒක අපේ බුද්ධියටත් පහරක්.

ඇත්තම කතාව පුංචි ඡන්දේ පරදිනවාට බය නිසා නේද මේ දවසින් දවස පස්සට යවන්නේ?

මොන බයක්ද අප්පා... අපි එදා පොදු අපේක්ෂකයා වෙනුවෙන් එළියට බහින වෙලාවේ තමයි හරිනම් බය වෙන්න ඕනේ. දැන් මේ පොඩි ඡන්දෙට මොන බයක්ද? ඒ වගේම මම මහින්ද අමරවීර ඇමැතිතුමාටත් කිව්වා මම පක්ෂයේ න්‍යායපත්‍රයට නටන්න ලැහැස්ති නැහැ කියලා. එතුමා මට චෝදනා කළා මම ඡන්ද පරක්කු කරනවා කියලා. මගේ වගකීම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා මේ ඡන්දය හරියට තියන එක. හැබැයි එස්.බී. දිසානායක ඇමැතිතුමා පසුගිය දවසක කියලා තිබ්බා පුංචි ඡන්දෙන් ශ්‍රීලනිපය තුන වෙන්නත් පුළුවන් හතර වෙන්නත් පුළුවන් කියලා?

එස්.බී. දිසානායක එහෙම කියනවා නම් ඒක එස්.බී. දිසානායකගෙන් අහන්න. මම කියන්නේ අපි දිනනවා කියලා. 
ඔබ දිගින් දිගටම කිව්වා පුංචි ඡන්දේ මාර්තුවල තියෙනවා කියලා?

ඔව් මම කිව්වා. 

හැබැයි අද වෙද්දී ජනාධිපතිතුමා කියනවා ඡන්දේ මැයිවලලු?

එතුමාට ඒක කරන්න වුණේ මම නිසා. මේකට කිසිසේත්ම ජනාධිපතිතුමාට ඇඟිල්ල දික්කරන්න බැහැ. සීමා නීර්ණ වාර්තාව අද වෙනකම් ලැබිලා නැහැ. ලැබුණ ගමන් මම ඡන්දය තියනවා. ඒක නිසා තමයි සත්භාවයෙන් එතුමා ඒ ප්‍රකාශය කළේ.

2016 අවුරුද්දේ ඔබේ අමාත්‍යංශයේ කාර්යසාධන වාර්තාවේ තියනවා සීමා නිර්ණ වාර්තාව මේ දෙසැම්බරයේ ඔබට ලැබිය යුතුයි කියලා. ඇත්තටම දෙසැම්බරයේ ඕක ලැබෙයිද?

ඔව් ඉතින් මම විශ්වාස කරනවා ලැබෙයි කියලා. 

එහෙම වුණොත් මාර්තුවේ ඡන්දය තියනවද?

ඔව් තියනවා. හැබැයි ඔබතුමා අනාගතය ගැන අනාවැකි කියන්න එපා. හුඟක් අයට වැරුදිලා තියෙන්නේ ඒ නිසා. කෙනෙක් සත්භාවයෙන් මට කිව්වොත් දෙසැම්බරයේ දෙනවා කියලා මම ඒක විශ්වාස කරලා ඉන්නවා. 

හැබැයි ඔබ මාර්තු මාසයේ ඡන්දය තියනවා කියලා රටේ ජනතාවට සත්භාවයෙන් කළ ප්‍රකාශය දැන් විශ්වාස කරන්න බැරි තැනට ඇවිල්ලා නේද? 

නැහැ... නැහැ මම මාර්තුවල ඡන්දය තියනවා. මාර්තු කියන්නේ මාර්තු-අප්‍රේල් වගේ ඡන්දේ තියනවා. ඔබතුමා මේ ඇලපිල්ලක් පාපිල්ලක් අල්ලගෙන කියවන්න එපා. 

    (මෙම සම්මුඛ සාකච්ඡාව ෆයිසර් මුස්තාපා මහතා විදේශ ගතවීමට පෙර සිදුකළ එකක් බව සඳහන් කරමු.)

♦ ප්‍රසාද් අබේවික්‍රම
සේයාරුව | සුමුදු හේවාපතිරණ