2016 දෙසැම්බර් 12 වන සඳුදා

යහපාලන කට්ටිය නන්නත්තාර වෙලා!

 2016 දෙසැම්බර් 12 වන සඳුදා, පෙ.ව. 12:00 126

ඔබ කොහොමද මේ දේශපාලනයට අත්පොත් තිබ්බෙ?

මම දේශපාලනයට අත්පොත් තිබ්බෙ උසස්පෙළ ලියන කාලේ. ඒ කාලේ තමයි අධ්‍යාපන ධවල පත්‍රිකාව පැමිණියේ. මම ඒකට එරෙහිව ශිෂ්‍ය දේශපාලනයත් එක්ක තමයි දේශපාලනයට එන්නේ.

ඒ කිව්වේ ඔබේ ආරම්භක දේශපාලනය සිද්ධවුණේ වාමාශික දේශපාලන පක්ෂයක් හරහා..?

ඔව්. ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන සාමාජිකයෙක් හැටියට.

එහෙනම් කොහොමද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණියේ?

මම ජනතා විමුක්ති පෙරමුණේ අභාග්‍යසම්පන්න අවසානය වනතෙක්ම පක්ෂයේ රැඳී සිටියා. නැවත 1993 වෙනකම් පක්ෂය ගොඩනගන්නත් දායක වුණා. පස්සේ පක්ෂය විසින් අනුගමනය කරන්න සූදානම් වුණ උපාය උපක්‍රම පිළිබඳ මට බරපතළ නොසෑහීමක් තිබුණා. අපිට තිබුණ අභියෝග ජයගන්න ඒ ක්‍රමවලින් බෑ.

මොනවද තිබුණ අභියෝග..?

ඒ වෙනකොට අපිට තිබුණ ප්‍රධානම අභියෝගය වුණේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ප්‍රවිශ්ඨ වීම හා ඒ වෙද්දි රට හමුවේ තිබුණ ලොකුම ගැටලුව වුණේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පළවා හැරීම. ඒ වෙද්දී එක්සත් ජාතික පක්ෂය පෙරළා දමන්නට හැකි බලවේගයක් තිබුණා නම් ඒ පොදුජන එක්සත් පෙරමුණ. ඒ නිසා තමයි 1994දි මම පොදුජන එක්සත් පෙරමුණට ක්‍රියාකාරී සාමාජිකයෙක් හැටියට එකතුවෙන්නේ.

2015 ජනවාරි 08 වැනිදා රටේ සිද්ධ වුණ බල වෙනසත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පාර්ශවයන් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවන්න ලැහැස්ති වෙද්දි ඔබ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟම රැඳී සිටිනවා. ඇයි ඒ?

බටහිර අධිරාජ්‍යවාදී රටවල් නියෝජනය කරමින් අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඉන්දියාව ආදී රටවල් එයාලගේ මෙහෙයුම් ඉෂ්ඨ කරගන්න කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් තමයි ඒ වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මෙය බිහිකළේම එක්සත් ජාතික පක්ෂයට විරෝධී ව්‍යාපාරයක් හැටියට. වර්තමානයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ සරණ පාවාදීමට අපි පැහැදිලිව විරුද්ධයි. ඒ නිසා මම එ.ජා.ප. විරෝධී පිලේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ කටයුතු කරන්න තීරණය කළා. මෛත්‍රීපාල ජනාධිපතිවරයා දිවුරුම් දීලා දින 12ක් ඇතුළත ඒ තීරණය අපි ගත්තා.

දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා. ආපහු හැරිලා බලද්දි එදා ගත්ත තීරණය ගැන සතුටුද..?

ජනවාරි 08 වැනිදා මැතිවරණය තියලා ජනවාරි 09 වැනිදා ඉඳලාම අපි ක්‍රියාත්මක වුණා එජාප විරෝධී බලවේගය සංවිධානය කරන්න. ඒ ගත්ත ක්‍රියාමාර්ගය පිළිබඳව මම ඉතාමත්ම සතුටට පත්වෙනවා.

සතුටුවෙන්න තරම් දෙයක් එතන සිද්ධ වුණාද..?

ඇයි නැත්තේ. රටේ හිටිය සිවිල් සංවිධාන හා දේශපාලන නායකයන් මංමුලා වුණා ඒ මොහොතේ මොන පාරේ යනවාද කියලා හිතාගන්න බැරිව. යහපාලනය වෙනුවෙන් පෙනී සිටින්න තීරණය කළ කට්ටිය අද නන්නත්තාර වෙලා. ඔවුන් මාධ්‍යවල කියවන දේවල් බලන්න.

සිවිල් සංවිධාන හා දේශපාලන නායකයන් එහෙම දෙයක් මාධ්‍යවල කිව්වාද..?

සාධාරණ සමාජයක් උදෙසා කියලා ඉන්න සංවිධානයේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා දැන් ඒ සංවිධානයේ බෝඩ් ලෑල්ලවත් නෑ කියලා. නිර්මාල් රංජිත් දේවසිරි කියනවා ඔවුන් එදා ගත්ත තීරණය වැරදියි කියලා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ජනවාරි 08 වෙනසට බරපතළ නායකත්වය දීපු පක්ෂයක්. අද ඒ ගොල්ලම එදාගත්ත තීන්දුව වැරදියි කියන මතයට ඇවිල්ලා ඉන්නවා.

ඔබ දේශපාලනය ආරම්භ කළේ ජනතා විමුක්ති පෙරමුණින්. කවදා හරි හිතුවාද ජනතා විමුක්ති පෙරමුණ දවසක එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවන්න උදව් කරාවි කියලා.

ඉතිහාසයේ කිසිම දවසක අපි හිතුවේ නෑ ජනතා විමුක්ති පෙරමුණ නියම් ආකාරයට හරි අනියම් ආකාරයට හරි එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවන්න උදව් කරාවි කියලා. එක්සත් ජාතික පක්ෂය එදා ජනතා විමුක්ති පෙරමුණට කළ දේවල් දැන් ඉන්න ඒකේ නායකයෝ දන්නෙත් නෑ.

පොඩ්ඩක් පැහැදිලි කළොත්?

ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ ඉඳලා දේශපාලන මණ්ඩලයේ එක අයකු හැරෙන්නට අනෙක් හැමෝම ඝාතනය කරලා දාලා, මේ රටේ 60,000කට වැඩි තරුණ තරුණියන්ට මහ දවල් අමු අමුවේ වදබන්ධන දී මරා දැමූ දේශපාලන පක්ෂයක් වෙනුවෙන් තමයි එදා ජනතා විමුක්ති පෙරමුණ පෙනී හිටියේ. ඒ වගේම ප්‍රතිපත්තිමය වශයෙන් අහසත් පොළොවත් වගේ වුණ එක්සත් ජාතික පක්ෂය, බටහිර අධිරාජ්‍යවාදය හා ධනවාදය කෙළින්ම නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය වගේ පක්ෂයකට බලය ලබාදෙන්න පෙනී සිටින තැනට ජනතා විමුක්ති පෙරමුණ පත්වේවි කියලා අපි හිතුවේ නෑ.

නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඔය චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියනවා ඔවුන් කිසිම ආකාරයකින් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවන්න උදව් කළේ නෑ කියලා..?

එයාලා එදා එක්සත් ජාතික පක්ෂය හා යහපාලනය කෙරෙහි බරපතළ විශ්වාසයක් තියලා ක්‍රියාකරපු උදවිය. දැන් ඒ යහපාලනය ජනතාව අතර අතිශය අප්‍රසාදයට පත් වෙද්දි මෙයාලත් කියනවා අපි යහපාලනයට උදව් කළේ නෑ කියලා. එහෙම කීවේ නැත්තම් මෙයාලත් ජනතාව අතර පිරිහෙනවා. පොල් ටික හොරකම් කළා. හොරකමට ඔත්තු බලපු එකා දැන් කියනවා අනේ මම නම් ඕකට සම්බන්ධ නෑ කියලා.

ඔබට අමතකද එදා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණයෙත් මුල ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ..?

ඔව්. 2005 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉෂ්ඨ කළා කියන එක අපි අමතක කරන්නේ නෑ.

ජනවාරි 08ට පස්සේ ආපු මහින්ද සුළඟ ව්‍යාපාරයේ සක්‍රීයව හිටිය ඔබ මේ වෙද්දි නිකම් හුළං බැහැලා වගේ. වැඩි සද්දයක් නෑ.

නෑ. එහෙම දෙයක් නෑ. මහින්ද සුළඟ තුන්වෙනි රැස්වීම අපි රත්නපුරේ පැවැත්වූවා ජානක වක්කුඹුර මැතිතුමාත් මමත් එකතුවෙලා. මහ මැතිවරණය ඉලක්ක කරගෙන මහින්ද සුළඟ පළවෙනි දෙවෙනි රැස්වීම් දෙක සංවිධානය කළේ අපි තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධියට මහින්ද සුළඟ සංවිධානය කළ පළමු ශ්‍රීලනිප මන්ත්‍රීවරු. අදත් ඒ සක්‍රීය භාවයේ කිසි වෙනසක් නෑ.

හැබැයි කතාවක් තියෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක ධූරය වෙනුවෙන් වූ මතගැටුම නිසා ඔබ තරමක් නිහඬවෙලා කියලා..?

මමත් දැක්කා මාධ්‍ය කිහිපයක ඔහොම දෙයක් කියලා තියෙනවා. ඇත්තටම එහෙම දෙයක් නෑ.

මාධ්‍යවල නිකම්ම පළවෙන්නෙත් නෑනේ මන්ත්‍රීතුමා..?

හරි. මම ඒක පැහැදිලි කරන්නම්. සංවිධායකකම් ගන්න කලින් අපි පාක්ෂිකයන් අපිත් එක්ක එක්කාසු කරගෙන සවිශක්තිමත් බලයක් හදාගන්න ඕන. කවුරුන් හෝ කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් අනාගතයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බිහිවන රජයක තනතුරු දැන්ම ඉඳලා ලබාගන්න ඒ අය දේශපාලන අඳබාලයෝ විදිහට තමයි අපි දකින්නේ. මොකද අපි මේ පෙරළන්න හදන්නේ තුනෙන් දෙකක බලයක් තියෙන, විධායක ජනාධිපතිවරයා හා අගමැතිවරයා එකට ඉන්න ආණ්ඩුවක්.

විධායක ජනාධිපතිවරයාට එරෙහිව ගිය පාර්ලිමේන්තු සාමාජිකයන්ට අතීතයේ අත් වුණේ එච්චර හොඳ අවසානයන් නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතාටත් ඒ ඉරණම අත්කරලා දෙන්නද මේ හදන්නේ..?

ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ගිය ගාමිණී, ලලිත්, ප්‍රේමචන්ද්‍ර ආදීන්ට, චන්ද්‍රිකා බණ්ඩාරනායකට එරෙහිව ගිය එස්.බී. දිසානායක වැන්නන්ට, මහින්ද රාජපක්ෂට එරෙහිව ගිය මංගල සමරවීර වැන්නන්ට සිද්ධවුණ දේ ඉතිහාසයේ තියෙනවා. අපි ඒක නොදැන මේක කරනවා නෙවෙයි.

රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ධූරය ලබාගන්න දැනට සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයා ඉවත් කරලා පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය උත්සාහයක් ගත්තා හා ඊට ඔබ ඇතුළු පිරිස විරුද්ධ වුණා කියලා වාර්තා පළවුණා..?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 95 දෙනා එකට එක දේශපාලන මතයක් වෙනුවෙන් එකතු විය යුතුයි කියන තැන අපි ඉන්නවා. 2005 ජනාධිපතිවරණය වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතාම අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණේ. ජෝන් සෙනෙවිරත්න මැතිතුමා එතෙන්දි විශාල නායකත්වයක් දුන්නා. 2020ට කලින් මේ ආණ්ඩුව පෙරළා දැමීමට අපිට ජෝන් සෙනෙවිරත්න වැනි පළපුරුදු නායකයින්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමන්ගේ මන්ත්‍රීධූරයෙන් පරාජය වූ සනී රෝහණ වැනි අය අපිට ඉදිරියේදී අවශ්‍යයි. අපි මේ කතාව තමයි එතන කිව්වේ.

ඔබ දැනට ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ..?

ඔව්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයා කවුද..?

ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා.

යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් වන ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා තමයි රත්නපුරයේ ප්‍රධාන සංවිධායක. ඔබ නියෝජනය කරන්නෙත් රත්නපුර දිස්ත්‍රික්කය. ඔබ තවමත් සූදානම් ඔහුගේ නායකත්වය පිළිගන්න..?

ඔහුගේ දේශපාලන ක්‍රියාන්විතයට මගේ කිසිම සම්බන්ධයක් නෑ. ඔහුගේ යහපාලන ක්‍රියාන්විතය නිසා ඔහුගේ දේශපාලන උපදෙස් අනුව කටයුතු කරන්න මම සූදානම් නෑ.

පහුගිය දවසේ රත්නපුරයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබුණ රැස්වීමේ සංවිධායක කටයුතුවලින් ඔබව ඉවත් කරලා තිබුණා කියලා කියන්නේ ඇත්තද..?

ඒක ඇත්ත නෙවෙයි. මමත් ජානක වක්කුඹුර මන්ත්‍රීතුමාත්, ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් පළාත් සභා, පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දැවැන්ත සහයෝගයත් එක්ක තමයි රැස්වීම සංවිධානය වුණේ. ඒ වෙද්දි ඇහැලියගොඩ ආසනයේ ආසන සංවිධායකකමෙන් පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීතුමය ඉවත් කරලා තිබුණා. ඊට අපගේ විරෝධය අපි රැලියෙන් පෙන්නුවා. ඒ නිසා රැලිය තුළ එතුමිය තරමක් කැපී පෙනුණා.

එහෙම නැතිව ඔබට පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියත් එක්ක මොකුත් නොහොඳ නෝක්කාඩුවක් නෑ..?

නෑ. එහෙම කිසිම දෙයක් නෑ. අනික කාටවත් ඕන වුණාට රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයෙන් මාව ඉවත් කරන එක කරන්න බෑ. ඒක ලේසි වැඩක් නෙවෙයි.

ඒකාබද්ධ විපක්ෂය කළා කියන සටනේ ප්‍රතිඵලයක් වුණේ ශ්‍රීලනිලයට සාපේක්ෂව දැන් අලුත් පක්ෂයක් බිහිවුණ එක. ඇත්තටම සිද්ධ කළේ ශ්‍රීලනිපය දෙකට කඩන එක නෙවෙයි ද..?

නෑ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් මේ පක්ෂය බිහිකරන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී පක්ෂයක් හැටියට. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරගෙන මේ පාර්ලිමේන්තුවෙන්ම සාරි පොටෙන් කඳුළු පිසදමමින් එළියට එන්නේ ශ්‍රී ලනිපය වෙනුවෙන්. එහෙනම් එතුමියටත් තිබුණානේ දැන් මේ කරලා තියෙනවා වගේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සමඟ සමගි සංධානයක් ගහගෙන තමන්ගේ ප්‍රජා අයිතිය බේරාගන්න. චන්ද්‍රිකා මැතිනියත් 2005 වෙනකම් එජාප විරෝධි පිලේ ඉඳගෙන අපිට නායකත්වය දුන්නා.

මම ඇහුවේ ඒකාබද්ධ විපක්ෂය ගැන..?

ඒකට තමයි මේ උත්තර දෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජානගත ලක්ෂණයක් තමයි අපි එක්සත් ජාතික පක්ෂ විරෝධී කියන එක. මෛත්‍රීපාල මහත්තයා පක්ෂයේ මහලේකම් හැටියට ඉන්න අතරෙම පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණයක් කරලා, නිදහස් පක්ෂය අත්හැරලා ගිහිල්ලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කරවලා, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රතිගාමී කණ්ඩායම ජයග්‍රහණය කරවන්න මහන්සි වුණා. දැන් කවුද පක්ෂය දෙකට කැඩුවේ....?

එහෙනම් ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව පක්ෂයේ සභාපති කළේ...?

අර මුලින් කිව්ව තත්වය යටතේ එයාට ශ්‍රීලනිප සභාපතිකම තියා පක්ෂ සාමාජිකත්වයවත් නෑ. පස්සේ අපේ මධ්‍ය සංවිධානය නැවත තීන්දුවක් ගත්තා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඒ වෙනකොට අහිමිකරලා තිබුණ පක්ෂ සාමාජිකත්වය නැවත දීලා පක්ෂයට ගන්න. ඒ අරගත්තාට පස්සේ තමයි ඔහු නායකයා වුණේ. එහෙම නැතිව ශ්‍රීලනිප ව්‍යවස්ථාව අනුව නෙවෙයි මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා පක්ෂ නායකයා වුණේ.

එදා මහින්ද රාජපක්ෂ ජනපති සමයේ පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරලා ජනාධිපතිධූරය දරන පක්ෂ සාමාජිකයා පක්ෂයේ සභාපති කියලා එකතුකළ නිසා නෙවෙයිද ඕක වුණේ..?

නෑ. ඔබට මම එකක් මතක් කරන්නම්. මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ සභාපති තනතුරේ ඉද්දිම මෛත්‍රීපාල සිරිසේන ඔහුයි පක්ෂයේ සභාපති කියලා ප්‍රසිද්ධියට පත්කළා. ඒ වගේම පක්ෂයේ මහලේකම් තනතුරේ අනුර යාපා ඉද්දි දුමින්ද දිසානායක කියලා ප්‍රසිද්ධියට පත් කළා. පක්ෂයේ භාණ්ඩාගාරික හැටියට ඩලස් අලහප්පෙරුම ඉද්දි භාණ්ඩාගාරික හැටියට එස්.බී. නාවින්න ප්‍රකාශයට පත් කළා. මේ ආකාරයට නිලධාරින් ඉද්දි තමන්ට ඕනෑ ආකාරයට, තමන්ට හිතවත් අයගෙන් තවත් අලුත් ශ්‍රීලනිපයක් හදලා පක්ෂය දෙකට කැඩුවේ වෙන කවුරුවත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිතුමන්.

එතකොට අර අලුත් පක්ෂය..?

ඔව්. අපිට එක්සත් ජාතික පක්ෂ විරෝධී මතයේ ඉන්න අපිට තැනක් නැත්තම් අපි තැනක් හදාගන්න ඕන. අපි ඉන්න නිදහස් පක්ෂයත් දැන් වෙද්දි එක්සත් ජාතික පක්ෂයට සරණ පාවාදීලා නම් අපි කොහේද එක්සත් ජාතික පක්ෂ විරෝධී මතය තියන්නේ...?

ඒ කියන්නේ අලුත් පක්ෂය හැදුවේ ඔබලද..?

නෑ. මම මේ කියන්න හදන්නේ ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියල්ලෝමත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 40ක් වුණ මන්ත්‍රීවරැත් එකතුවෙලා නිර්මාණය කළ ඒකාබද්ධ විපක්ෂය ගැන. එක්සත් ජාතික පක්ෂයට එරෙහි විය යුතුය කියන මතයේ ඉඳගෙන පහුගිය දවසක අලුත් දේශපාලන පක්ෂයකුත් බිහි වුණා. එතැන කිසිම වැරැද්දක් නෑ. හෙට දවසේ රනිල් එළවන්න සජිත් ප්‍රේමදාස අපි එක්ක එකතුවෙනවා නම් අපි ඔහුවත් හරිම ‍ෙළන්ගතු විදිහට මේ සටනට එකතු කරගන්නවා.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ පොදුජන පෙරමුණට ඒකාබද්ධ විපක්ෂයේ තියෙන සම්බන්ධතාවය මොකද්ද..?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජාතික සංවිධායකවරයා, බැසිල් රාජපක්ෂ මහත්මයා හා ජී.ඇල් පීරිස් මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක මට්ටමේ කණ්ඩායමක් පවතින ශ්‍රීලනිපය සමඟ කටයුතු කරන්න තියෙන පිළිකුළ නිසා නව පක්ෂයක් ගොඩනගා ගත්තා. ඒකාබද්ධ විපක්ෂය විධියට අපි පක්ෂය එක්සත් ජාතික පක්ෂයෙන් නිදහස් කරගන්න උත්සාහ කරනවා මිසක් පක්ෂයෙන් යන්නේ නෑ.

හැබැයි මේ අලුත් පක්ෂය හැදුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ලේ කාර්යාලයේ. ඒ වගේම ඔවුන් භාවිතා කරන්නේ මහින්ද රාජපක්ෂගේ ඡායාරූප හා බැනර්. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් හිටිය පළාත් පාලන නියෝජිතයෝ තමයි ඒකේ සාමාජිකයන් වෙලා තියෙන්නෙත්. රටේ ජනතාව මෝඩයෝ නෙවෙයි මේක පිටිපස්සේ ඒකාබද්ධ විපක්ෂය නෑ කියලා හිතන්න..?

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී ඉන්නේ ඒකාබද්ධ විපක්ෂය පමණක් නෙවෙයි. එදා යහපාලනය වෙනුවෙන් ඡන්දය දීපු උදවිය පවා දැන් කටක් ඇරලා කියන්නේ නෑ තමන් මෛත්‍රීපාලට ඡන්දය දුන්නා කියලා. ඒ නිසා ඉදිරියේදී කවුරුන් වුණත් මහින්ද රාජපක්ෂගේ රූපය එක්ක දේශපාලනය කරනවා කියන්නේ ඒකාබද්ධ විපක්ෂය වගකියන්න ඕනෑ කාරණයක් කියලා මම හිතන්නේ නෑ.

ගිය සෙනසුරාදා ආණ්ඩුව එක්ක හැප්පෙන්න ගිහින් හොඳට නාගත්තා නේද..?

අපි එදා උදේ කථානායකතුමාගෙන් මේ ගැන ඇහුවා. එතුමා කිව්වා පළාත් පාලන ආයතනවල ඉන්න ඕනෑම මන්ත්‍රීවරයෙක්ට පාර්ලිමේන්තුවට එන්න ඉඩ තියෙනවා කියලා. අපේ පළාත් පාලන මන්ත්‍රීවරු එක්ක එකතුවෙන්න මම, කාංචන විජේසූරිය, තාරක බාලසූරිය, කනක හේරත්, එස්.එම්. චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන, අපි කණ්ඩායමක් එතැනට ගියා. එකවරම අපිව වටෙන්ම වට කරලා කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. ඔතන අපිට කලින් විශ්වවිද්‍යාල සිසුන්, ජනතා විමුක්ති පෙරමුණ, විවිධ වෘත්තීය සමිති පිකටිං කරලා තියෙනවා. අපිටම තමයි ඔහොම ගැහිල්ලක් ගැහුවේ. අපි මේ පහරදීම ජාත්‍යන්තරයට අරගෙන යනවා.

 

 සංවාදය - ප්‍රසාද් අබේවික්‍රම

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00