2016 ඔක්තෝබර් 24 වන සඳුදා

ජෝන් මහත්තයා තව වැඩි දවසක් ආණ්ඩුවේ ඉන්න එකක් නැහැ

 2016 ඔක්තෝබර් 24 වන සඳුදා, පෙ.ව. 12:00 103

වාසුදේව කියලා ඔබට නම වැටුණේ ඇයි?
මගේ පියා දැඩි දේව භක්තිකයෙක්. විෂ්ණු දෙවියන්ගේ නම සිහිවෙන්න මට වාසුදේව කියලා නම තිබ්බා. 

 


සල්ලිකාර, වතුහිමි, ධනවත් පැලැන්තියේ පවුලක ඉපදුණු ඔබ ඇයි සමාජවාදී දේශපාලනයට ආවේ? 
සමාජය ගැන සංවේදීභාවය සහ ප්‍රඥාව සහිත කෙනෙක්ට සමාජවාදියෙක් නොවී ඉන්න බැහැ. 

 


1970දී පාර්ලිමේන්තු ඇවිල්ලා අදටත් පාර්ලිමේන්තුවේ ඉන්න සාමාජිකයෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඔබ. ඇයි මේ නිතරම පාර්ලිමේන්තුවේදී කෑකෝ ගහන්නේ?
ඒක මගේ ස්වභාවය. ඒක හිතාමතා කරන දෙයක් නෙවෙයි. යම් යම් තත්ත්වයන්ට ප්‍රතික්‍රියා හැටියට කෙරෙන දේවල්. ඒ ඔක්කොම කරන්නේ පරමාර්ථ වෙනුවෙන්. ඒ නිසා මගෙන් අඩුපාඩුවක් වුණොත් සමාවෙන්න. 

 


ඔබත් එක්ක හැත්තෑවේ පාර්ලිමේන්තු ආව අනිත්කෙනා එහෙම නැහැ. ඔහු නිහඬව තමන්ගේ ගමන යනවා?
ඔව්. ඒ මහින්ද රාජපක්ෂගේ ස්වභාවය. ඔහු තැන්පත් රාජ්‍ය නායකයෙක්.

 


එදා හැත්තෑවේදී ඔහුත් සමඟ පාර්ලිමේන්තු ආපු කාලේ හිතුවද අද වගේ දවසක මේ වගේ එකට එකතුවෙලා එක අරගලයක යෙදෙන්න සිද්ධවේවී කියලා?
එදා ඉඳලා අපි එකට වැඩ කරලා තියෙනවා. මුලින්ම එතුමත් එක්ක මගේ ප්‍රශ්නයක් ඇතිවුණේ අනුර බණ්ඩාරනායකගේ සිද්ධියෙන්. අනුර කියන්නේ උග්‍ර දක්ෂිණාංශිකයෙක්. මහින්ද එදා කල්පනාකාරීව අනුරගේ ස්ථාවරයෙන් වෙන් වුණා. එදා ඉඳලා අද වෙනකන් මහින්ද මගේ දේශපාලන ක්‍රියාදාමයේ ලොකු පාර්ශවකරැවෙක්. 2005 ජනාධිපතිවරණයෙන් පස්සෙත් මම ඔහුගේ උපදේශකවරයෙක් විදිහට හිටියා.

 


හැබැයි මහින්ද රාජපක්ෂ ඔහුගේ රාජ්‍ය නායක සමයේ මෙච්චර කම්කරැ නායකයෙක් වුණ ඔබට කම්කරැ ඇමැති පදවියවත් දුන්නේ නැහැනේ?
මම ඉල්ලුවේ නැහැ. මම කැමති වුණා මට දුන්න ඇමැති ධූරයට. කොහොමත් එතුමා බලයේ ඉන්න කාලේ මම එතුමගෙන් ඈත් වුණා. 

 


ඇයි ඒ?
එතුමා වටා බලපැවැත්වූ මතවාදයන් හා ක්‍රියාකාරිත්වයන් පිළිබඳ මට තිබුණා වූ පරස්පරතාවයන් හා මා ඒ පිළිබඳ දැක්වූ විරෝධතාවයන්. එක සැරයක් ගෝඨාභය මහත්තයා අත්සන් කළා අමෙරිකන් තානාපතිත් එක්ක ආරක්ෂක ගිවිසුමක්. ඒක අපට කිසිම අර්ථයක් නැතත් අමෙරිකාවට ලොකු අර්ථයක් තිබෙන ගිවිසුමක්. මම ඒකට විරැද්ධ වුණා. 

 


ඉතින් ගිහිල්ලා  මහින්ද රාජපක්ෂට කියන්න තිබුණානේ?
ඔව්. මම ගිහින් කිව්වා. ඔබතුමත් මමත් අධිරාජ්‍යවාදයට විරැද්ධයි, ඒ වගේම අපි ඉන්නේ නොබැඳුණු ප්‍රතිපත්තියක. එහෙව් එකේ ඔබතුමාගේ ආරක්ෂක ලේකම් ගිහිල්ලා කොහොමද අමෙරිකාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරන්නේ කියලා ඇහුවා. 

 


උත්තරයක් ලැබුණද?
පැහැදිලි උත්තරයක් ලැබුණා. ඔහු කිව්වා මමත් ඒක අනුමත කරන්නේ නැහැ. මම අත්සන් කරන්නේ නැහැ, පාර්ලිමේන්තුවට ගේන්නෙත් නැහැ කියලා. මේක අමෙරිකානු පුරවැසියන් දෙන්නෙක් අතර ගිවිසුමක් විතරයි කියලා එතුමා කිව්වා. 

 


වාසුදේව නානායක්කාර කියන්නේ අතීතයේදී නම් වෘත්තිය සමිති අරගලයේ ප්‍රබලයෙක්. ඔබ හඬ නිතරම ඇහුණා. හැබැයි වර්තමානය වෙද්දී ඔබ වෘත්තිය සමිති සටනෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා වගෙයි?
මම තවදුරටත් වෘත්තීය සමිති සටන්වල ක්ෂේත්‍රයේ සංවිධායකයෙක් නෙවෙයි. හැබැයි අද වෙද්දී වෘත්තිය සමිති නායකයන් සමඟ මම සම්බන්ධ වෙලා වැඩකරනවා, වෘත්තීය සමිති නායකයන් සමඟ සම්බන්ධීකරණ කටයුතුවල නියැලෙනවා. ඊට අමතරව ඔවුන්ගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 

 


ඔබේ මස්සිනා, සී.වී. විග්නේෂ්වරන් කළ ප්‍රකාශයකට හතර අතින්ම ගල් ප්‍රහාර එල්ල වුණා පහුගිය කාලේ පුරාවටම. උතුරැ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ &එළුගු තමිල්* විරෝධයට ඔබත් විරෝධය එල්ල කළා. ඇයි මස්සිනාට ගල් ගැහුවේ?
ලංකාවේ තියෙන දෙමළ ජාතික සංධානයේ  ප්‍රධාන මත දෙකක් තියෙනවා. එකක් විග්නේෂ්වරන්ගේ තියුණු උග්‍ර ජාතිවාදී මතය. අනෙක සම්පන්දන්, සුමන්තිරන් දෙපළගේ සියුම් මතය. විග්නේෂ්වරන් කියනවා එක ලංකාවක් තුළ වුණත් දෙමළ ජාතිකයන්ට මධ්‍යම ආණ්ඩුවට යටත් නැති වෙනම බලයක් තියෙන්න ඕන කියලා. උතුරේ හමුදාව වැඩියි, ඔවුන් ඉවත් කරන්න කියලා. උතුරේ තියෙන බෞද්ධ වෙහෙර විහාර ඉවත් කරන්න කියලා. මේ ආදී කරැණු ටිකක් තමයි විග්නේෂ්වරන්ගේ උග්‍ර මතවාදය තියෙන්නේ. 

 


එතකොට අර ඔබ කිව්ව සම්පන්දන් සුමන්තිරන් දෙපළගේ සියුම් මතය මොකක්ද? 
ඔවුන් කියන්නේ මධ්‍යම රජයත් එක්ක එකඟත්වයෙන් සන්ධීය ක්‍රමයට බලයට බෙදාගත් පාලනයක් ඔබට ලැබිය යුතුයි කියලා. හැබැයි ඔවුන් රාජ්‍ය ස්වෛරීත්වයේ කොටසක් ඉල්ලන්නේ නැහැ. 

 


ඔබ ඉන්නේ ඔය දෙපැත්තෙන් කොයි පැත්තෙද?
මම දෙපැත්තටම විරැද්ධයි. 

 


මොකද්ද ඔබේ ස්ථාවරය?
ඒකීය රාජ්‍යයක් තුළ පළාත් සභා මගින් බලය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. නමුත් සම්පන්දන් හා සුමන්තිරන් උත්සාහ කරන්නේ විග්නේෂ්වරන්ව පෙන්වලා එමගින් රජය බය කරලා තමන්ට අවශ්‍ය දේ කරගන්න. ඒකට අපි විරැද්ධයි. 

 


හැබැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රකාශයක් කරලා තිබ්බා විග්නේෂ්වරන් ජාතිවාදී නැහැ සහ දේශපාලන සිරකරැවන් නිදහස් කළ යුතුයි කියලා?
ඒක ඔහුගේ පෞද්ගලික මතයක්. කට්ටිය කියනවානේ මහින්ද රාජපක්ෂත් ජාතිවාදී කියලා. හැබැයි මම ඒක පිළිගන්නේ නැහැ. ඒ වගේ විග්නේෂ්වරන් ගැන මහින්ද මහත්තයගේ මතය ඒක වෙන්න ඇති.

 


ඔබ කියලා තිබුණා විග්නේෂ්වරන්ගේ &එළුග තමිල්* ජාතිවාදයට උඩගෙඩිදීමක් කියලා. ඒ එක්කම ඔබ කියලා තිබුණා මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා. මොකද්ද මේ හැම එකටම කියන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කතාව?
අධිරාජ්‍යවාදීන් තමයි මේ සියලුදේ පසුපස ඉන්නේ. මේ ආණ්ඩුව බලයට ගෙන එන්න ප්‍රධාන දායකත්වය දුන්නේ අධිරාජ්‍යවාදීන්. ඒකට උවමනා කරන සල්ලි දුන්නේ ඔවුන්. මොළය දුන්නෙත් ඔවුන්. ඔවුන්ට ඕන ඔවුන්ට හිතවත් දක්ෂිනාංශික ආණ්ඩුවක් මේ රටේ පවත්වාගෙන යන්න. අනිත් පැත්තට, ඔවුන් උතුරැ නැගෙනහිර වඩා ස්වාධීන ප්‍රදේශයක් කරලා මධ්‍යම ආණ්ඩුවේත් රටේත් බලපෑමෙන් මිදිලා ත්‍රිකුණාමලය වරායට කිට්ටුවෙන්න බලාපොරොත්තු වෙනවා. 

 


සම්පන්දන් විග්නේෂ්වරන්ව පෙන්නලා ෆෙඩරල් ඉල්ලනවා වගේ ඒකාබද්ධ විපක්ෂය අධිරාජ්‍යවාදීන් පෙන්නලා ආණ්ඩු බලය දිනා ගැනීමේ උත්සාහයක්ද මේක?
ඇත්ත කතාවත් ඒකනේ. අධිරාජ්‍යවාදීන් මේ රටට මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙන ආකාරය අපට පේනවා. අපි ඒක ජනතාවට පෙන්වනවා. පෙන්නලා ඒක වැළැක්වීමේ බලය ඉල්ලනවා. බලය කියන්නේ අපිට මාර්ගයක් මිසක් අරමුණක් නෙවෙයි. 

 


ඔබ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා සමයේ සංහිඳියාව වෙනුවෙන් දැඩිව පෙනීසිටි අයෙක්. මේ සිද්ධවෙන දේවල් දැක දැක තාමත් ඔබ හිතනවද මේ රටේ සිංහල දෙමළ සංහිඳියාවක් ඇතිකරන්න පුළුවන් වෙයි කියලා?
ඔව්. 

 


විග්නේෂ්වරන් උතුරේ අර විදිහට නටද්දී දකුණේ මිනිස්සු ලෑස්තිද සංහිඳියාවට?
දකුණේ මිනිස්සු බලන්න ඕන විග්නේෂ්වරන් දිහා නෙවෙයි, උතුරේ මිනිස්සු දිහා. පළමුවෙන්ම භාෂා ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක කරන්න ඕන. ඊළඟට යුද්ධයෙන් හානි වුණු අයට හානිපූර්ණය කරන්න ඕන. 

 


විග්නේෂ්වරන් උතුරේ ඉඳන් සිංහල පදිංචිකිරීම් නවත්වන්න කියද්දී, බෞද්ධ සිද්ධස්ථාන ඉවත් කරන්න කියද්දී දකුණේ ජනතාවත් ඒ විදිහටම ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තොත් ආපහු අපි යන්නේ අතීතයට නේද? 
විග්නේෂ්වරන්ගේ ඒ ප්‍රකාශය පසුව විග්නේෂ්වරන්ම නැහැයි කියලා තියෙනවා. එයා එහෙම කිව්වත් එකයි කිව්වේ නැතත් එකයි එයාට ප්‍රතික්‍රියා දැක්වීම නෙවෙයි දකුණේ මිනිස්සු කරන්න ඕන. මොකද විග්නේෂ්වරන් උතුරේ ජනතාවගේ නියෝජිතයා විදිහට අපි සලකන්න ඕනෙ නැහැ. දෙමළ ජනතා බලවේගය එකතු කරගන්නෙ නැතුව ලංකාව එක්සත් කරන්න අපට බැහැ. ඒ වගේම සිංහල ජනතාවගේ එකඟත්වය නැතුව දෙමළ ජනතාවට කවදාවත් තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්නත් බැහැ. 

 


මේ ජරමර අස්සේ මස්සිනාට ළඟදි කතා කළේ නැද්ද?
නැහැ අපි එහෙම කතා කරන්නේ නැහැ. සිරිතක් වශයෙන් ඔහු මටවත්, මම ඔහුටවත් කතා කරන්නෙ නැහැ. පවුලේ කටයුත්තකදී හමු වුණොත් පමණයි අපි කතා කරන්නේ.

 


විග්නේෂ්වරන් මහත්තයා දශක තුන හතරක ඉඳලා ඔබගේ පවුලේ මිතුරෙක්. බැරි වුණාද ඔහුට මේ කාරණය පැහැදිලි කරලා දෙන්න?
පෞද්ගලික දැන හැඳුනුම්කම් දේශපාලනයට අදාළ නැහැ. දේශපාලනය උඩ අපේ නෑකම් හැදිලා නැහැ. නෑකම් උඩ දේශපාලනය කරන්නෙත් නැහැ. අපේ මල්ලී ඉන්නේ යූඇන්පී එකේ. එයා ඉන්නෙ ආණ්ඩුවේ.

 


අටවැනිදා රත්නපුරයේ පවත්වන්න ලෑස්ති කරලා තියෙන තීරණාත්මකයි කියන රුස්වීමේදී ඒකාබද්ධ විපක්ෂය නව පක්ෂයක් පිහිටුවනවාද?
නැහැ. 

 


ඔබ නැහැයි කිව්වට බැසිල් රාජපක්ෂ මහත්තයා කියනවා නව පක්ෂයක් පිහිටුවනවා කියලා?
බැසිල් රාජපක්ෂ මහත්තයට අලුත් පක්ෂයක් හදන්න උවමනාවක් තියෙනවද කියලා මම දන්නෙ නැහැ. හැබැයි ඒක එදාටනම් සිද්ධ වෙන්නේ නැහැ. 

 


එහෙනම් ඉදිරියේදී අටවැනිදාට පස්සෙ දවසක අලුත් පක්ෂයක් හැදෙයිද?
අපි නිදහස් සන්ධානයේ බලය නැවතත් දිනාගත යුතුයි. ඒ සඳහා පළාත් පාලන මැතිවරණයට අපි වෙනම නමකින් වෙනම ලකුණකින් සටන් කළ යුතුයි. ඒ සටන තුළ අපේ ප්‍රධාන අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජයග්‍රහණයයි. 

 


ඔය තරග කරන නව පක්ෂයේ කෙරැම්කාරයා වන්නේ මහින්ද රාජපක්ෂද? බැසිල් රාජපක්ෂද?
අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් තමයි. පාර්ලිමේන්තුව ඇතුළේ නායකත්වය දිනේෂ් මන්ත්‍රීතුමා ලබා දේවී.

 


මහින්ද රාජපක්ෂ මහත්තයට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න බැහැ සහ ඔහුගේ දේශපාලන කාලය දැන් අවසන් කියලා සමහරැ කියනවා?
ව්‍යවස්ථාවේ වෙනස්කම් ඇතිවුණාට පස්සේ ඔහුට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න අවශ්‍ය වෙයිද නැද්ද කියලා දැන්ම කියන්න බැහැ. ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන්න අවශ්‍ය වුණොත් අපට ජනාධිපති අපේක්ෂකයෙක් තෝරගන්න වෙනවා. ඒ අපේක්ෂකයා බැසිල් වේවී කියලා මම හිතන්නේ නැහැ. 

 


හැත්තෑවේ ඔබේ දේශපාලන සඟයා මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවට ගියා. ඔබට බලාපොරොත්තුවක්, කැමැත්තක් නැද්ද ඒ පුටුවේ ඉඳගන්න?
නැහැ. 

 


පසුගිය දවස් ටිකේ තිබුණු සමූපකාර ඡන්ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ශව ජයග්‍රහණය කළා කියලා ඒකාබද්ධ විපක්ෂය දැන් ඉන්නේ අධිමානයෙන්ද?
ඒකාබද්ධ විපක්ෂයට දැන් ප්‍රබල විශ්වාසයක් හා සුභවාදී හැඟීමක් තිබෙනවා ඉදිරි මැතිවරණ පිළිබඳ. ඒක අධිමාන්නයක් කියලා කියන්න මම කැමති නැහැ. 

 


සමූපකාර ඡන්දයක් දින්නා කියලා උදම්වෙලා රටක් අල්ලන්න ලැහැස්ති වෙන එක දේශපාලන වශයෙන් පරිනත පිරිස් විහිලුවක් ලෙස දකිනවා?
ඒක රටේ ජනතමතයේ දර්ශකයක් පමණයි. පළාත් පාලන ඡන්දය තියලා ආණ්ඩුව දරැණු පරාජයකට ගියොත් ආණ්ඩුවේ යුක්ති-යුක්ත භාවය නැති වෙනවා. ඊට පස්සේ ආණ්ඩුවට පවතින්න බැහැ. ආණ්ඩුවේ නිත්‍යානුකූලභාවය දෙදරනවා. 

 


ඒකාබද්ධ විපක්ෂය ඔබ වැනි සන්ධානගත අතිරේක දේශපාලන පක්ෂවලට සුබ වුණාට ඇත්තටම ඒකාබද්ධ විපක්ෂයෙන් කරන්නේ නිදහස් පක්ෂය විනාශ කිරීමද?
අපේ පළවැනි කාර්යභාරය ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන සාධකය තමයි මේ රටේ මෑත කාලීන දේශපාලනයේ ප්‍රධානම ගාමක බලවේගය වුණේ. 

 


හැබැයි ඔබ ඇතුළු කිහිපදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් බාගැනීම සඳහා ඔවුන් හමුවෙන්න යනවා කියලා ආරංචියි. ජොන් සෙනෙවිරත්න ඇමැතිතුමා හමුවෙලා කළ කතාවෙන් මොනවද තීරණය වුණේ?
අපි ගියේ ජෝන් ඇමැතිතුමාගේ අදහස් දැනගන්න. ආණ්ඩුවේ ඔහු ඉන්න නිසා ආණ්ඩුව ඇතුළේ ඇතිවෙලා තියෙන විරසකයන් ඔහු දන්නවා. අපි හිතන හැටියට ජෝන් මහත්තයා තව වැඩි දවසක් ඉන්න එකක් නැහැ ආණ්ඩුවේ. 

 


ආණ්ඩුවෙන් කරනවා කියන නව ව්‍යවස්ථා සං‍ශෝධනයට ඒකාබද්ධ විපක්ෂය තමන්ගේ මත ප්‍රකාශයන් ලබාදුන්නාද?
අදහස ලබාගන්න උප කොමිටි හතක් දාලා තිබුණා. ඒවායේ ඒකාබද්ධ විපක්ෂයත් ඉන්නවා. ඒ හරහා අපි අදහස් ලබාදීම සිදුකළා.  

 


ඔය කියන ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂ විරැද්ධයි කියලා පසුගිය කාලේ කියවුණා?
නැහැ. අපි විරැද්ධ නැහැ. හැබැයි අපි ඒකට විරැද්ධ වෙනවා ඒ හරහා ඒකීය රාජ්‍ය බිඳීමේ උත්සාහයක් ක්‍රියාත්මක වුණොත්. ඒ වගේම විදේශිකයෝ මේ රටේ ඉඩම් ගනිද්දී අපි ඊට විශාල බද්දක් පනවලා තිබ්බා. මේ ආණ්ඩුව ඒ බද්ද ඉවත් කරනවා කියලා කතාවකුත් දැන් ඇහෙනවා. අපි ඒවට විරැද්ධයි. ඊළඟට මේ රටේ රාජ්‍ය දේපළ රජයට ජනතාවට අහිමි කිරීමේ සැලැස්මකුත් මේ ව්‍යවස්ථාවෙන් ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. ඒකටත් අපි විරැද්ධයි. බටහිර ගැතිවාදී රටක් ව්‍යවස්ථාවෙන් හදාවී කියලා දැනට සැකසංකා ඇවිල්ලා තියෙනවා. මොකද දැන් ඉන්න විදේශ ඇමැති ගිහිල්ලා ජිනිවා නුවරදී ඔවුන්ගේ යෝජනාවලට කණ අත්සන ගහලා ආවනෙ. අපි ඒවටත් විරැද්ධයි. මේ වගේ තව ලැයිස්තුවක්ම තියෙනවා.   

 


ඒ වගේම යෝජිත ව්‍යවස්ථාව බෞද්ධාගමට දුන් ප්‍රමුඛස්ථානය ඉවත් කරන අනාගමික ව්‍යවස්ථාවක් කියලා සමහර විද්වතුන් කියනවා. මොකද්ද ඔබ මේ ගැන හිතන්නේ?
මම නිරාගමිකවාදයට කැමති කෙනෙක්. නමුත් මේ රටේ බෞද්ධ ශිෂ්ඨාචාරය කියන්නේ කාටවත් මකන්න බැරි බැඳීමක්. ඒ බෞද්ධ ශිෂ්ඨාචාරයට ප්‍රධානත්වය දීම හා එය ආරක්ෂා කරගැනීම මේ රටේ සංස්කෘතික අවශ්‍යතාවක්. අනෙකුත් ආගම්වලටත් නිසි තැන ලබාදීලා ඒවාත් රුකගන්න ගමන් ප්‍රමුඛත්වය, රජයේ වගකීම හා රුකගැනීම බෞද්ධ ශිෂ්ඨාචාරයට ලබාදිය යුතුයි. 

 ප්‍රසාද් අබේවික්‍රම
සේයාරැව I  සුමුදු හේවාපතිරණ