2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

මණ්ඩලේ සරුවට කරන ප්‍රයිවෙට් ලයිට් බිස්නස්

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 305

දේව කාරියට වඩා රාජකාරිය උතුම් වන්නේ යම්සේද, දෙවියන්ට පූජා වූ මුදලට වඩා මහජන මුදල් පිදිය මනාවේ. මහජන මුදල් හෙවත් සරලව ගතහොත් රාජ්‍ය භාණ්ඩාගාරයේ ඇති මුදල් යම් පාර්ශවයක් අත්තනෝමතික ලෙස විනිවිදභාවයකින් තොරව භාවිත කරන්නෙ නම් ඊට දඬුවම් දෙකක් සූදානමින් පවතී. එකක් නම් මෙරට පොදු නීතිය ක්‍රියාත්මක වී ඒ හරහා අදාළ “වැරදිකරැ”ට ලැබෙන දඬුවමයි. නිසි විගණනයකට පසුව මෙකී දඬුවම ලැබෙනු ඇත. දෙවැනි දඬුවම නම් නේක දුක් විඳිමින් පොදු මහජනයා විසින් පෝෂණය කරනු ලබන මුදල් කාබාසිනියා කරනා “පවුකාරයින්”ට එරෙහිව සොබාදහමේ අධිකරණයෙන් ලැබෙනා දඬුවමයි. මින් පළමු වැනි දඬුවමින් බේරීමට බොහෝ දෙනා උත්සාහ ගන්න අතර ඉන් සමහරෙකු එය සාර්ථක කරගනී. එසේම තමන් විසින් කාබාසිනියා මුදල් එකී පළමු දඬුවමට හසු නොවනා පරිදි කිසිදු නීතිමය රාමුවකින් ආරක්ෂා වී නැති නම් කිසියම් රාජ්‍ය නිලධාරියෙකු හට හිතුමනාපයේ විය පැහැදම් කළහැක. පැයකට දෙකකට ලක්ෂ ගණනින් මුදල් පුලුස්සා අළු කළද ඔහු කළේ වරදක් බව කියන්නට මෙරට නීති සංග්‍රයන්වල නීති නැතිනම් මේ ලියැවෙන්නේ එවන් දුක්ඛදායක සිදුවීමකි.

මෙරට ආර්ථිකයේ වැදගත්ම කොටසක් හොබවන ක්ෂේත්‍රයක් ලෙස බලශක්ති ක්ෂේත්‍රය හැඳින්විය හැක. මෙරට ආර්ථිකයෙන් වැඩිම මුදල් විදෙස් රටවලට ගලායන්නේ ඛණිජතෙල් නිසාවෙන් වන අතර ඊට පමණක් දෙවැනි මුදල් “විදුලි මාෆියාව” නිසාවෙන්ද විනාශයට පත් වේ. මෙකී විදුලි මාෆියාව යන වදන කරළියේ තැබුවේ හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික මහතාය. විදුලිබල ක්ෂේත්‍රයේ වාර්ෂිකව එහා මෙහා වන මුදල රුපියල් කෝටි 15,000ක් පමණ වේ. මේ දිනවල කියැවෙන මහා බැඳුම්කරයේ පාඩුවද මීට වඩා අඩුයැයි කියැවේ. ඒ අනුව එතරම් දරුණු ලෙස හැඟී නොගියද විදුලිය යනු ක්ෂණික මරණය ඇතිකළ හැකි බලයකි. විදුලි මාෆියාව මෙරට සක්‍රීය කර ක්‍රියාත්මක කරන්නේ ජාතික පද්ධතියට විදුලිය ලබාදෙන පෞද්ගලික විදුලිබල සැපයුම්කරුවන් විසිනි. තමන්හට මාෆියාව රටේ පවත්වාගැනීමට ඔවුන්ට තනිව හැකියාවක් නැත. ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර උපකාරද අවශ්‍යය වේ. තමන් හට උපකාර කරන්නන් වෙත අඩුවක් පාඩුවක් නැතිවම සැලකීමටද මෙම මාෆියාකරුවෝ සැදී පැහැදී සිටිති. එබැවින් රාජ්‍ය ප්‍රධාන විදුලි ජාලයට විදුලිය විකුණන පෞද්ගලික විදුලි නිෂ්පාදකයින් හා රජය අතර මැදිහත්කාර පාර්ශවයත්, ඔවුන්ගෙන් විදුලිය මිලදීගන්නා ආකාරය තීරණය කිරීමේ අධිකාරී බලයත් පවතින්නේ කා අතේද, ඔවුන් මුදල් මුද්‍රණය කරනා යන්ත්‍ර හා සමානය යන්නට කිසිවෙකු අලගු නොතබනු ඇත.

කතාව ආරම්භ කිරීමට ප්‍රථමව පාඨක ඔබ කාරණයේ හතර කෙළවර වටහාගෙන සිටිය යුතුය. මෙරට ඇත්තේ එක් ජාතික විදුලි පද්ධතියකි. ඊට විදුලිය සපයන ප්‍රධාන පාර්ශව දෙකකි. එනම් රජයට අයත් විදුලි බලාගාර හා පෞද්ගලික අංශයේ විදුලි බලාගාරය. රාජ්‍ය හෝ පෞද්ගලිකයැයි බෙදීමකින් තොරව පොදුවේ රටේ තිබෙන සියලුම විදුලි බලාගාර එක් ලැයිස්තුවකට ගෙන ඉන් නිපදවන විදුලි ඒකකයක් සඳහා යම් මිලක් නියම කිරීම සිදුවේ. එහිදී ජලවිදුලි බලාගාරවලින් නිපදවන විදුලි ඒකකයකට පවා මිලක් නියම වේ. යොදාගන්නේ ජලය වුවද, ඊට කිසිදු වියදමක් නොමැතිවුවද ජලය මුදාහැරීමෙන් සංචිතවල සිදුවන වෙනස්කම් අනෙක් පාර්ශවවලට (ගොවිතැන්, පානීය ජල අවශ්‍යතා ආදිය) බලපාන ආකාරය සලකා මෙම මිල නියම කිරීම සිදුවේ. මේ අනුව රජයට අයත් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ එක් විදුලි ඒකකයක මිලට වඩා කෙරවලපිටිය ‍පෞද්ගලික අංශයේ විදුලි බලාගාරයෙන් නිපදවන එක් විදුලි ඒකකයක මිල අඩුවිය හැක. 

එය එසේ තිබියදී තවත් කාරණයක් වටහා ගත යුතුය. රටේ ඇත්තේ එකම ජාතික විදුලි පද්ධතියක් නිසාවෙන් සෑමවිටෙකම එය සමබරව පවත්වාගත යුතුය. සීසෝවේ දෙපසම හරියටම ගැලපෙන සමාන බරින් යුත් දෙදෙනෙක් වාඩිකර තැබිය යුතුය. මෙතැන දෙපස සිටින දෙදෙනා නම් විදුලි ඉල්ලුම හා සැපයුමයි. නිපදවන විදුලිය ගබඩාකරගන්නට මහා දැවැන්ත බැටරි අප රටේ නොමැති බැවින් සෑම විටම සිදුවන්නේ ඉල්ලුම අනුව සැපයුම ක්ෂණිකව ලබාදීමයි. සීසෝව සමබරව තිබේද යන්න වටහා ගන්නේ විදුලි පද්ධතියේ සංඛ්‍යාතය අනුවය. තිබිය යුතු සංඛ්‍යාතය 50Hz වේද යම් අවස්ථාවක එය 45Hz වූයේ නම් එහි අර්ථය රටේ ජනතාව ඉල්ලනවාට වඩා අඩු විදුලියක් ජාතික පද්ධතියට එකතු වේ යන්නයි. එවන් අවස්ථාවක කළ යුත්තේ කුමක්ද... වහාම සැපයුම වැඩිකළ යුතුය. මෙය විනාඩි තුන හතරක් තුළ සිදුකළ යුතු ක්‍රියාවකි. එහිදී රටේ කොහි හෝ කෙළවරක ඇති ඒ මොහොතේ අක්‍රීයකර ඇති විදුලි බලාගාරයක් වහාම පණගන්වා ඉල්ලුමට සරිලන සැපයුම ලබාදිය යුතුය. පද්ධතිය අසමතුලිතව තැබීම කිසි විටෙකත් නොකළ යුතුය. මේ ආකාරයටම ඉහත ඉලක්කම 55Hz වූයේ නම්... ඔව් ඔබත් නිවැරදිය. එහිදී සිදුව ඇත්තේ ඉල්ලුමට වඩා සැපයුම වැඩි වීමයි. දැන් එසේනම් යම් සක්‍රීයව ඇති විදුලි බලාගාරයක් වහාම අක්‍රීය කර ජාතික පද්ධතියෙන් ඉවත් කළ යුතුය. මේ මහා භාරදූර කාර්යය සිදුකරන්නට විශේෂ අංශයක් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථාපිත කර තිබේ. පද්ධති පාලන මධ්‍යස්ථානය හෙවත් System Control Center යනුවෙන් අප හඳුන්වන ස්ථානයෙන් මෙම පාලන කටයුතු සියල්ලම සිදුවේ. දෙමටගොඩ දුම්රියපොළට මෙහායින් හැරී ගියවිට හමුවන මෙම ස්ථානයෙන් ලංකාවේ එක් මොහොතක සක්‍රීය කරනා හා අක්‍රීය කරනා විදුලිබලාගාර මොනවාද යන්න පිළිබඳ කෝටි ප්‍රකෝටි ගණන් වටිනා තීරණ ගනු ලැබේ.

සාමාන්‍ය ක්‍රමවේදය අනුව සෑම වසරකදීම, සෑම මසකදීම, සෑම සතියකදීම හා දෛනික වශයෙන් ඉදිරියේදි තමන් විදුලිය ලබාගන්නේ කාගෙන්ද යන්න පිළිබඳ සැලැසුම් සෑදීම සිදුවේ. මෙම විදුලිය ලබාගැනීමේ කාරණය අද අප ලිපියේ මූලික ප්‍රස්තුතයයි. එනම්, රාජ්‍යය අංශයෙන් ලබාගන්නා මෙන් නොව පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම අතිශයෙන් මුදල් වියදම් වන කෝටි ගණනක ව්‍යාපාරයකි. එය මෙසේ පැහැදිලි කළ හැක. මෙරට ඩීසල් හා දැවිතෙල් වැනි දෑවලින් ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ පෞද්ගලික විදුලි බලාගාර තිබේ. මේ කියන්නේ රටේ ජල පෝෂක වසා ඒ මත ක්‍රියාත්මක කරනා කුඩා ජල විදුලි බලාගාර නොවේ. විශාල පරිමාණයේ පෞද්ගලික බලාගාරයන්ය. මේවායින් ජාතික පද්ධතියට විදුලිය ලබාගැනීමේදී එක් තත්පරයකට ලක්ෂ ගණනක් ගෙවීමට සිදුවේ. එසේම මෙම පෞද්ගලික විදුලි බලාගාර මාෆියාව මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී ආකාරයේ ගේම් එකකි. මේවායින් විදුලිය ලබාගත්තද නැතිද විදුලිය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් සක්‍රීයව තබන්නේ නම් නිකම්ම සිටිනවාටත් මාසිකව මිලියන ගණනේ සිට කෝටි ගණනක් දක්වා මුදල් ගෙවිය යුතුය. සක්‍රීය නොකර අක්‍රීයව තබා සක්‍රීය කරන්නා විට එසේ සක්‍රීය කරවන්නටද මිලියන ගණනින් මුදල් ගෙවිය යුතුය. උදාහරණයක් ලෙස කැලණිතිස්ස AES විදුලිබලාගාර අක්‍රීයව තබා නැවත සක්‍රීය කිරීමේදී එක්වාරයකට රුපියල් මිලියන 8.5 හෙවත් කෝටියකට ආසන්න මුදලක් නිකම්ම පිදීමට සිදුවේ. කෙරවලපිටිය වෙස්ට්කෝස් බලාගාරය අක්‍රීයව තබා නැවත සක්‍රීය කිරීමට එක්වරකට රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවේ. එබැවින් මෙම බලාගාරවලින් විදුලිය ලබාගැනීම මෙරට ජනතාවගේ මුදල් අසුරු සැනින් වාෂ්ප කිරීමක් හා සමානය. 

ඉහත පැහැදිලි කිරීම අනුව විදුලි මිලදී ගැනීම හා බලාගාර කළමනාකරණය සැර හා වගකීම් බහුල කාරණයක් වග පැහැදිලිවනු ඇත. අවාසනාව නම් මෙම වගකීම දරනා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානය මෙතෙක් ඉතිහාසයේ කිසිදිනක ඒ සඳහා රාජ්‍ය සේවයේ අනිවාර්යයෙන් පැවතිය යුතු විනිවිදභාවය පවත්වාගෙන නැත යන්නයි. ඔවුන් එක් පැය දෙක තුනකට කෝටි ගණනක් මහජන මුදල් වියදම් කරන්නේ ඔවුන්ගේ හිතූමනාපයට වන අතර එහිදී විවිධ පෞද්ගලික බලාගාර හිමියන් සතුටු කරන්නට විදුලි මිලදීගැනීම් සිදු නොවෙනවායැයි කියන්නට ඔවුනට මෙන්ම අපිටද සාක්ෂි නැත. මන්දයත් විදුලි මිලදී ගැනීමේ ක්ෂණික තීරණයන් කුමන පදනමක් මත ගන්නවාද යන්න අවම තරමේ විදුලි ඉංජිනේරුවන් වූ ඔවුන් දන්නේද නැත. එවැනි කිසිදු ලේඛනගත ක්‍රමවේදයක් මෙවන් කෝටි ගණනක් මුදල් එහා මෙහා කරනා ස්ථානයක මෙතෙක් ඉතිහාසයේ නොපැවතීම සැබැවින්ම තමන්ගේ ඒකාධිපති මුදල් වියදම සඳහාම තබාගත් කපටි ආයුධයක් ලෙස යමෙකු හැඳින්වීමට පුළුවන. එය සැබැවින්ම එසේ නොවේද...

සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලිය අනුව දවසේ විදුලි ඉල්ලුම පිළිබඳ සටහන් හා අනාවැකි අනුව යමින් යම් සටහනක් (Merit Order Plan) සෑදීම මෙම ඉංජිනේරුවන් විසින් සිදුකෙරේ. අරුමය නම් ඔවුන් එවැන්නක් සාදන්නේ කුමන පදනමක සිට ද යන්න අද මේතාක් කිසිදු ලිඛිත පටිපාටියක සඳහන් නොවීමයි. රජයේ ආයතනයකට ඉදලක් කොස්සක් මිලදී ගැනීමටද චක්‍රලේඛ පවතින රටක මෙවැනි භාරදූර කාරණයක් වෙනුවෙන් කිසිදු ලේඛනගත මඟ පෙන්වීමක් නැතැයි කීමද රාජ්‍ය සේවයේ නියැලෙන්නෙකුට නම් විශාල උභතෝකෝටිකයක් වනවාට සැක නැත. පද්ධති පාලන මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් සිය අභිමතය පරිදි විදුලි බලාගාර සක්‍රීය කිරීම හා අක්‍රීය කිරීම දැනට සිදුකරන අතර එහිදී ඔවුන් විසින් කුසලතා පදනම මත සැකසූ ඔවුන්ගේම නම් ලේඛනයක් භාවිතා කරයි.

රාජ්‍ය සේවයේ සෑම කෙළවරක්ම විගණනය වන පසුබිමක මෙය විගණනය නොවන්නේද.. පාඨක ඔබ එය විමසනු ඇත. ඔව්, මෙය ද විගණනය වේ. එහෙත් ඒ මූල්‍යමය විගණනයක් පමණි. පද්ධති පාලන මධ්‍යස්ථානය විසින් යම් විදුලි මිලදී ගැනීමක් සිදුකළ පසු ඒ සඳහා කෝටි පනහක රිසිට් පතක් පැමිණියේ නම් රිසිට් පත පමණක් විගණනය වන අතර එකී කෝටි පනහ එසේ වියදම් කළේ ඇයිද යන්න විගණනය නොවේ. කෝටි පනහකින් කළ කාරණය කෝටි දහයකින් කළ හැකිව තිබූවක් ද විය හැකි මුත් එම තාක්ෂණික විගණනය සිදු කරන්නට අයෙකු දැනට වේදිකාවේ නොමැත.

සැබෑවටම තාක්ෂණික විගණනයක් කිරීමටද විදුලිය මිලදී ගැනීමට අදාළ ලිඛිත පොදු පටිපාටියක් නොමැතිවීම එක් හේතුවක් විය හැක. නමුදු, දැන් පද්ධති පාලන මධ්‍යස්ථානයට නව මෘදුකාංගයක් හඳුන්වා දී ඇති අතර ඉන් මිලදී ගත යුතු විදුලි බලාගාර හා විදුලි ප්‍රමාණයන් පිළිබඳ පූර්ව කථන ලබාදීම සිදු කෙරේ. එහෙත් එම මෘදුකාංගය ක්‍රියාත්මකවන්නේ ද මුලින් කී ඉංජිනේරුවන් ඊට ලබාදෙන දත්ත මත බැවින් යම් හෙයකින් ඊට වැරදි දත්ත ලබාදී තමන්ට හිතවත් හා තමන් පෝෂණය කරනා පෞද්ගලික විදුලි බලගාර හිමියන්ගේ බලාගාරවල නම් යෝජනා කරනා පරිදි ක්‍රියාත්මක කර ඇතැයි අනාගතයේදී චෝදනා එල්ල විය හැක. ඊට නිසි පිළියම් යෙදීම වගකිවයුතු අංශවල වගකීමයි. එසේම පැය 8-16 තරම් ඉහළ වැඩමුර සිදු කරනා පිරිස් පිළිබඳවද වෙනම සොයාබලා ලිවිය යුතුය. මෙම කාරණයේදී විශාල වගකීමක් ඇති මහජන උපයෝගීතා කොමිසමේ මැදිහත් වීමද ප්‍රමාණවත් නොවන තත්ත්වයක පවතින බව අවසන් වශයෙන් ලියා තැබිය යුතුය.

(සංවාදයට විවෘතයි)

♦ විමුක්ති රත්නමලල

 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30