2017 මාර්තු 11 වන සෙනසුරාදා

විද්වත් මිතුරු සිරි ගුණසිංහ

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139

පසුගියදා අපේ හිතමිත්‍ර සිරි ගුණසිංහ මැතිතුමා සිය දිවියේ අනූතුන්වන කඩුල්ල පසු කළේය. ගූගල් මගින් අපටත් එම අසිරිමත් දිනයට සහභාගී වීමට පුළුවන් විය. කැනඩාවේ වික්ටෝරියාහි සිය නිවසේදී  ප්‍රිය බිරිය හේමමාලි හා දූ පුතුන් හා මුණුබුරු මිනිබිරියන් සමඟ සිරි සතුටු වන හැටි නරඹා ප්‍රබෝධමත් වීමට ලැබීම මාගේ භාග්‍යයක් සේ සලකමි. 

සරසවියක විශිෂ්ඨතම ලකුණ වන්නේ එහි සිසුන්ට තම ගුරුවරුන්ගෙන් ගුරුහරුකම් ලැබීම පමණක් නොව ඔවුන්ගේ ඇසුරෙන් උසස් සාහිත්‍යමය හා විද්‍යාත්මක හරයන් නිරායාසයෙන් උකහා ගැනීමට ලැබීමයි. එවැනි අත්දැකීම් අපට ලබාදීම ගැන පේරාදෙණියේ සිටි විශිෂ්ඨ ගුරුවරුන් බොහෝ දෙනකුට අප ණයගැති වුවද ඔවුන් අතුරිනුත් විශාලතම බලපෑම කිරීමට තරම් පෞරුෂයක්, දැනුමක් හා මිත්‍රශීලී බවක් තිබුණේ සිරි ගුණසිංහටයි. ඔහු අපේ කාලයේ පේරාදෙණිය සරසවිය තුළ කැපී පෙනුණ චරිතයක් විය. එම යුගයේ ප්‍රාචීණ භාෂා පිළිබඳ උසස්ම මට්ටමේ දැනුම හිමි වූයේ ඔහුටය. සංස්කෘති පිළිබඳ මහාචාර්ය බෙටී හයිමන්ගේ ප්‍රියතම ශිෂ්‍යයා වූ ඔහු සෑම තරග විභාගයකින්ම උසස් ලෙස සමත් වී සරසවියේ කථිකාචාර්යවරයෙකු වශයෙන් පත්වීම ලැබුවේය. සංස්කෘත අංශයේ මුල් යුගයේ ප්‍රධාන දක්ෂයින් දෙදෙනො වූයේ සිරි හා ආනන්ද ගුරුගේය. එහෙත් සිරි අන් සියලුදෙනාම අභිබවා ලකුණු ගනිමින් පන්තියේ පළමුවැනියා විය. ඉන් වසරකට පසු ආනන්ද ගුරුගේ ලංකා සිවිල් සේවයට බැඳුනේය.

සිරිගේ ශිෂ්‍ය අවධිය එම කාලයේ අධ්‍යාපනය පිළිබඳ අත් පොතක් බදුය. එය දක්ෂයාට හා සුදුස්සාට ඉහළටම යාමට අවස්ථා සලසන සමාජයක් විය. සිරිගේ පියා දකුණෙන් පැමිණ රුවන්වැල්ල ප්‍රදේශයෙන් විවාහයක් කරගෙන ගමේ වෙළහෙළඳාම්වල යෙදී සිටියේය. රුවන්වැල්ලට ගොස් ගඟකින් එතෙර වී යායුතු එම ගමට මා සිරි සමඟ කිහිපවිටකම  ගොස් තිබේ. මට මතක හැටියට සිරිගේ පියතුමාගේ අවමඟුලටත් අප කීපදෙනෙක් ඔහුගේ සහෝදරයා වූ ධර්මා සමඟ ගමට ගොස් ඇත. කුඩා කල සිටම හුරුබුහුටි දරුවාට “සිරියාව” යැයි ඔහුගේ මවුතුමිය හා නෑදෑයින් ආමන්ත්‍රණය කළ නිසා ඔහු දිගටම ඔහුගේ මුල් නම සිරි හැටියට යොදා ගත්තේය. නමුත් දෛවයේ බලපෑම කෙසේදයත් දක්ෂ කොලු පැටියා සිය පියාගේ ගාල්ලේ ඥාතීන් විසින් අධ්‍යාපනය සඳහා දකුණු පළාතට ගෙන ගියේය. මුලින්ම අක්මීමන පාසලකට ඇතුළු කරන ලද දරුවා පසුව එකල බෞද්ධ පරමවිඥානාර්ථ සමාගමේ සුප්‍රසිද්ධ පාසැලක් වූ මහින්දයට ඇතුළත් කරන ලදී. ඔහුට ලබාදෙන ලද අධ්‍යාපනය හා හික්මීම ගැන සිරි හැමදාම මහින්දයට ණයගැති විය. 

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපධිධාරියෙක් වූ වුඩ්වර්ඩ් නැමති ඉංග්‍රීසි ජාතිකයා එම පාසැල ඉහළම පෙලේ ශාස්ත්‍රාලයක් බවට පත් කළේය. එපමණක් නොව වුඩ්වර්ඩ් පාලි භාෂාව පිළිබඳ විශේෂඥයෙක් ද වූයෙන් පාලි ග්‍රන්ථ කීපයක් ඉංග්‍රීසියට පෙරළීය. සිරි මහින්දයට යනකල එහි ප්‍රධානාචාර්යවරයා වූ විජේසූරිය මුළු රටේම උසස්ම ගුරු නායකයෙකු හැටියට පිළිගන්නා ලදී. ඔහුද එංගලන්තයේ උසස් අධ්‍යාපනය ලබාගෙන පාසැල් දරුවන්ට බටහිර මෙන්ම ප්‍රාචීණ භාෂා ඉගෙන ගැනීමට සුදුසු පරිසරයක් ඇති කළේය.

සිරිගේ පැරැණිතම යහළුවන් මහින්දයේදී හමු වූ අයයි. ඔවුන් අතුරින් එඩ්වින් ආරියදාස, විනී විතාරණ, ප්‍රින්ස් ගුණසේකර සහ ඒ.ටී. ආරියරත්න ප්‍රධාන තැනක් ගත්තෝය. මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් තිබේ. එනම් විජේසූරිය යටතේ මහින්දය ඉංග්‍රීසි භාෂාව උගැන්වීම පිළිබඳව විශේෂ අවධානයක් යොදා තිබූ බවයි. එය ප්‍රධානාචාර්ය විජේසූරියගේ ප්‍රියතම විෂය විය. එමෙන්ම ප්‍රාචීණ භාෂා පිළිබඳව වුඩ්වර්ඩ්ගේ සම්ප්‍රදාය රැකගැනිණ. සිරි උත්පත්තියෙන්ම භාෂා ඉගෙනීම පිළිබද පුදුම හැකියාවක් තිබූ කෙනෙකි. ඔහු එකල දීප ව්‍යාප්තව පවත්වන ලද පාලි භාෂා විභාගයෙන් මුළු රටේම පළවැනියා විය. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජර්මන් වැනි භාෂා සියල්ලම ඔහු දැනගෙන සිටියේය.

මේ කරුණු මම ගෙනහැර දැක්වූයේ කොළඹ කවීන්ගෙන් ඇතැම් අය ඔහු බටහිර භාෂා හැදෑරීම නිසා ප්‍රාචීණ සම්ප්‍රදායන් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කළ නිසාය. මාර්ටින් වික්‍රමසිංහ පවා ඔහුගේ “නව පද්‍ය සිංහලයේ” එවැනි හැඟීමක් ඉස්මතු කරයි. ඇත්ත වශයෙන් ඔවුන් සියලුදෙනාම අභිබවා ප්‍රාචීණ භාෂා පිළිබඳව දැනුමක් සිරි සතු විය. ඔහු විසින් සිංහල සම්ප්‍රදාය හා සාහිත්‍ය විචාරය පිළිබඳ ලියා ඇති සටහන්වලින් එය මනාවට පැහැදිලි වෙයි. වරක් සමන් මුද්‍රණාලයේ ආරාධනයෙන් ඔහු හා මා “සාහිත්‍ය විචාර”  නමින් සඟරාවක් සංස්කරණය කලා. එහි ඔහු සිංහල කාව්‍ය පිළිබඳ ලියා ඇති රචනාව අද වුවත් විචාරකයින් විසින්  කියවිය යුතුයැයි මම සිතමි.

මෙම ලිපි මාලාවේ මම සිරිගේ පාසැල් දිවියේ තවත් කරුණක් ගැන සටහනක් තැබිය යුතුය. එනම් ඔහු එකල ප්‍රබල තරුණ සංවිධානයක් වූ බෞද්ධ ශිෂ්‍ය මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයෙකු වීමයි. එම බෞද්ධ ශිෂ්‍ය කණ්ඩායමේ ඉතිහාසය ගැන බොහෝ දෙනා නොදනිති. වැන් සයිස්ට් නම් වූ ඕලන්ද ජාතිකයෙකු භික්ෂු ධර්මපාල නමින් සසුන් ගත වූයේය. බුද්ධාගම ගැන ගැඹුරු දැනුමක් තිබූ වැන් සයිස්ට් ඔහු වටා බුද්ධිමත් තරුණ සිසු කණ්ඩායමක් රැස්කර ගත්තේය. ඔවුන් අතුරින් ප්‍රධාන තැනක් ගත්තේ එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙක් වූ ආනන්ද මීවනපලානය.  මීවනපලාන බුදුදහම ගැඹුරින් අධ්‍යයනය කළ අතර ක්‍රිෂ්ණාමූර්ති වාදියෙකුද විය. ඒ අතින් ඔහු පසුව ආ ආචාර්ය ඊ.ඩබ්ලිව්. අධිකාරම්ට සමකළ හැකිය. කාර්යශූර මීවනපලාන මෙම බෞද්ධ ශිෂ්‍ය සංගමය රටේම ප්‍රචලිත කොට ක්‍රියාකාරී බෞද්ධ සමාජයක් ඇති කිරීමටත් ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට නිදහස්  අධ්‍යාපන ක්‍රමයක් බිහිකිරීමටත් ඇපකැප විය. සර්වෝදයේ නිර්මාතෘ මහින්දයේ ආදී ශිෂ්‍යයෙක් වූ ඒ.ටී. ආරියරත්න ද මෙම සමාගමට අයිති විය. බුද්ධාගම ගැන අලුතින් සිතීමට අනුබල දුන් මෙම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූයේ සිරි ගුණසිංහයි. සිරිගේ බටහිර අධ්‍යාපනය ගැන මීළඟ ලිපියෙන් කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙමි.