2017 මැයි 13 වන සෙනසුරාදා

ප්‍රංශයේ පෙරැළිය

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 69

ලංකාවට පසුව මා වැඩිමනත්ව ජීවත් වී ඇති රට ප්‍රංශයයි. මා එහි පස් වසරක් නොකඩවා ජීවත් වූ අතර ඊට පෙරත් පසුවත් අඩු ගණනේ වර්ෂයකට දෙතුන් සැරයක්වත් එම රටට ගොස් ඇත. ප්‍රංශය ගැන මට ඇත්තේ සුහද මතක සමූහයකි. ජීවිතයේ රසවත්ම කාලයේ ලෝකයේම නිදහසට සහ කලාවට මුල් තැන දෙන රටක කල්ගෙවීමට ලැබීම සැබවින්ම වාසනාවකි. 

අප ජීවත් වූයේ පැරීසියේ ආකර්ශනීය පෙදෙසක් වූ ඉකොල් මිලිටෙයාර් අසල පිහිටි මාවතක ඉදි කරන ලද තට්ටු ගෙදරකය. එය යුනෙස්කෝ ආයතනයේ මූලස්ථානයට මුහුණලා තිබූ නිවසකි. නුදුරුව පිහිටියේ පැරීසියේ ලාංඡනය හැටියට සැලකෙන අයිෆල් කුලුනයි. සෑම සවසකම පාහේ ව්‍යායාමය සඳහා ඇවිදීමට පුරුදු වූ මට නිතරම එම කුලුන පසු කර යෑමට සිදුවිය. එතැනට ළං වූ ට්‍රොකඩේරෝ නැමති ප්‍රදේශය පැරීසියේ පොහොසත්ම කලාපයයි. එහි අවට ඇති කෞතුකාගාර හා ආපනශාලා නිතරම පිරී ඉතිරී තිබුණි. චිත්‍රපට පිළිබඳ ලෝක පූජිත කෞතුකාගාරයද, මානව ඉතිහාසය පිළිබඳව කෞතුකාගාරයද, පෙරදිග කලාවන් පිළිබඳ ගිමේ කලාගාරයද පිහිටා තිබුණේ ට්‍රොකඩේරෝවලයි. මේ ප්‍රදේශය ලෝකයේ වැඩිම සංචාරකයන් ගැවසෙන කලාපයක් යැයි සඳහන් කරනු ලැබේ.

ට්‍රොකඩේරෝ පොහොසතුන්ගේ පාරාදීසයක් වූ අතර මධ්‍යම පන්තිය වැඩිය රැඳී සිටියේ පැරැණි ප්‍රංශයේ හදවත බඳු වූ රිපබ්ලික් නැමති ප්‍රදේශයේයි. මෙම ප්‍රදේශය බහුලවම වාමවාදී ජනතාව එක්තැන් වන තැනක් විය. ලංකා සමසමාජ පක්ෂය දේවත්වයෙන් පිදූ හතරවැනි ජාත්‍යන්තරයේ නායකයන් හමුවීමට මම විශේෂ වෙහෙසක් දැරුවෙමි. එයට මට සහාය වූයේ ලංකා සමසමාජ පක්ෂයේ නායකයෙක් ළඟින් ඇසුරු කළ මනු ගිනිගේ මහතා හා කොමියුනිස්ට් පක්ෂයේ පැරුන්නෙක් වූ ප්‍රේමචන්ද්‍රයි. ප්‍රේමචන්ද්‍ර ලංකාවෙන් රුසියාවට සංක්‍රමණය වී එහි කලක් ජීවත් වී පසුව පැරීසියට පැමිණියේය. ඔහු ප්‍රංශයේ වුවද කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වී සිටියේය. වරක් ලංකාවේ තරුණ කොමියුනිස්ට් නායකයකු වූ සරත් මුත්තෙට්ටුවේගම මගේ නිවසේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි කල අපි සියලුදෙනාම ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ මූලස්ථානයට ගියෙමු. එය විශාල ගොඩනැගිල්ලක් විය. එහි පරිපාලනය ලොකුම ජාත්‍යන්තර කොම්පැණියක් කළමනාකරණය කරන අයුරින් සකසා තිබුණේ යැයි මට සිතුණි. එකල කොමියුනිස්ට් වෘත්තීය සමිතිය වූ සී.ජේ. ටේ මුළු ප්‍රංශයම හෙල්ලීමට තරම් බලගතු විය.

ට්‍රොට්ස්කිවාදී ජාත්‍යන්තරයේ නායකයන් හමුවීමට මා ඔවුන්ට දුරකතනයෙන් කතා කළ විට ඔවුන් නිතරම යෝජනා කළේ රිපබ්ලික් අසල අවන්හලක හමුවෙමු කියාය. එම අවන්හල අසල උමං රේල්ලු ස්ටේසමක් තිබූ නිසා එම නායකයෝ රහසිගතව මෙන් උමං රේල්ලුවෙන් පැමිණ ඉක්මණට ආපන ශාලාවට ඇතුළු වුවෝය. එම කාලයේ මිතරොන්ගේ සමාජවාදී පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් සන්ධානගතව සිටියහ. කොමියුනිස්ට් පාක්ෂිකයන් සහ ට්‍රොට්ස්කිවාදීනුත් අතර පැවතියේ නයි වෛරයකි. මිචෙල් පැබිලෝ යන ට්‍රොට්ස්කිවාදී න්‍යායාචාර්යවරයා ඇල්ජීරියාවට ගොස් එහි එක් සටන් නායකයකු වූ මෙසාලි හජ්ට සහය දුන්නේය. එහෙත් කොමියුනිස්ට් නායකයන් වැඩි බලවත් වූ බෙන්ඩෙලා වැනි නියමුවන් හරහා පැබිලෝ එළවා දමා ඔහුගේ නිවස ගිනිබත් කළෝය. කොමියුනිස්ට්වාදීන් ඔහුව කොයි මොහොතේ හෝ ඝාතනය කරාවියැයි පැබිලෝ බියෙන් සිටියේය. ලාංකිකයන් ගැනත් ඔහු මුලින් සැකයෙන් සිටි අතර ඇන්.ඇම්. ජාත්‍යන්තරය පවාදෙන්නෙක් හැටියට  හඳුන්වා දුන්නේය. එකල හතරවැනි ජාත්‍යන්තරය සහාය දැක්වූයේ බාලාතම්පෝ හා එඩ්මන්ඩ් සමරක්කොඩිටය.

පසුගියදා ප්‍රංශයේ පවත්වන ලද ජනාධිපතිරණයෙන් ජයගත්තේ එමනුවෙල් මැක්රොන්ය. ඔහු ඡන්දවලින් සියයට හැට හතරක් ලබාගත් අතර ප්‍රතිවාදියාවූ මරින්ලා පෙන්ට ලබාගත හැකි වූයේ ඡන්ද සියයට තිස් ගණනක් පමණි. මේ පරතරය තුළ ප්‍රංශ දේශපාලනය ගැන ලොකු කතන්දරයක් තිබේ. පළවැනි කරුණ නම් මෙවර තරගයට මෙම දෙදෙනාම පිටස්තරයන් සේ ඉදිරිපත් වීමයි. දක්ෂිණාංශික පක්ෂයෙන් ඉදිරිපත් වූ ෆලොන් මුල්වටයෙදීම ගිලිහී ගියේය. සටන ආරම්භයේදී කවුරුත් හිතුවේ ඔහු නව ජනාධිපතිවරයා වන බවයි. එහෙත් දූෂණ චෝදනා මත හා ඡන්ද දායකයින්ගේ උදහස නිසා ඔහු අසාර්ථක විය. අනික් අතට කොමියුනිස්ට් පක්ෂය හා පැරණි වම සහාය දැක්වූ මෙලන්චියොන්ද මුල්වටයේදීම පරාජය විය. දක්ෂ කථිකයෙක් මෙන්ම දුප්පතාගේ අසතුට ගොනු කිරීමට තැත් කළ ඔහුට අනපේක්ෂිතව දෙවැනි වටයට යාමට නොහැකි විය. මේ අන්ත දෙකෙන්ම සහ මධ්‍යස්ථ ඡන්ද දායකයන්ගෙන් සමන්විත වූ ඡන්ද බැංකුවක් මැක්රොන් නිර්මාණය කළේය. ජයග්‍රාහකයාගේ ප්‍රතිපත්ති දකුණ හා වමේ අච්චාරුවකි. වම ඔහුට බැංකුකරුවන්ගේ අතකොලුවක් යැයි චෝදනා කරන අතර ඔහු දැනට ජනාධිපති වාමවාදී හොලොන්ගේ ගෝලයෙක් යැයි දක්ෂිණාංශිකය චෝදනා කරයි. මැක්රොන්ගේ නව සන්ධානය ප්‍රංශ දේශපාලනයට අලුත් අත්දැකීමකි. 
අනිත් අතට දක්ෂිණාංශික හා වර්ගවාදී මරින් ලා පෙන්ද එක්තරා විදියක ජයග්‍රහණයක් ලබාගෙන සිටී. අන්තවාදී ජාතිවාදී පක්ෂයක් ලෙස හංවඩු ගසන ලද “ජාතික පෙරමුණ” ඇය විසින් මැදමාවතට ළංකළ අතර මින් පෙර පක්ෂය නොලද ලක්ෂ මිලියන දහයක්  පමණ ඡන්ද දිනා ගැනීමට ඇය සමත්වී තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුදා හරින ලද ජාතිවාදය හා ගෝලීයකරණ විරෝධය හා සමාන්තරවූ බ්‍රිතාන්‍යයේ බ්‍රේක්සිට් තීරණ සෙසු රටවල් අනුමත නොකරන බව පෙනේ. දැනටමත් චීනය, ජපානය හා ඉන්දියාව මෙයට විරුද්ධතාවය දක්වා ඇත්තේ එම රටවල්වල අපනයනයන්ට පහර වදින නිසාය. දැන් යුරෝපයත් එම සටනට එක්වී ඇති බව ඡන්ද ප්‍රතිඵලවලින් දැක්වේ. ජයග්‍රහණය තහවුරු වූ වහාම නව ජනාධිපති මැක්රොන් දුරකථනයෙන් ඇමතුවේ ජර්මන් නායක ඇන්ජෙලා මර්කල්ටය. දෙවනුව ඔහු ඇමතුවේ කැනඩාවේ අගමැති ට්‍රෘඩෝටයි. එය ට්‍රම්ප්ට යවන ලද සංඥාවක්ද? එසේත් නැතහොත් ලෝකයේ ප්‍රංශ බස කතාකරන දෙවැනි රට කැනඩාව නිසාද? කෙසේවුවද ප්‍රංශය දැන් දැඩිව යුරෝපය හා සම්බන්ධ වන බව පැහැදිලිය. ඒ අතින් ජී.එස්.පී ප්ලස් ලබාගැනීම තුළින් ප්‍රංශ වෙළඳපොළට ඇතුළත් වීමේ ඇති  අපේ හැකියාවට තල්ලුවක් ලැබේ. එමෙන්ම ජාතිවාදය අනුව දේශපාලනය කරන්නන්ට ද මැක්රොන් ගේ විජයග්‍රහණය අභියෝගයකි.

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00