2017 මාර්තු 18 වන සෙනසුරාදා

සරසවි බස සැරසූ සිරි ගුණසිංහ

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

ලංකා විශ්ව විද්‍යාලයට අර්ධ ශත වර්ෂයක් පිරීම නිමිත්තෙන් 1992 දී මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාසගේ මූලිකත්වයෙන් සමරු කලාපයක් නිකුත් කරන ලදි. එම සංග්‍රහයට ලිපි සැපයූ විද්වතුන් අතර සිරි ගුණසිංහ ද විය. ඔහු පේරාදෙණියේ මුල් අවධිය ගැන සටහනක් තබන අතර ඉන් පෙර සිසුවෙකු වශයෙන් තමා කොළඹදී ලත් අත්දැකීම්ද විස්තර කළේය. එකල සිසුවෝ සිංහල, පාලි, සංස්කෘත හා බෞද්ධ ශිෂ්ඨාචාරය ගැන සියලුම විෂයන් “ඉන්දු-ආර්ය” යන මාතෘකාව යටතේ පරිශීලනය කළහ. සංස්කෘත භාෂාව තම ප්‍රධාන විෂය හැටියට තෝරා ගත්තද, ඉහත සඳහන් සෙසු විෂයන් සඳහාද සාමාර්ථයක් ගැනීම සිරිට අවශ්‍ය විය. මේ සියල්ලම භාර අංශ ප්‍රධානියා හැටියට කටයුතු කළේ මහාචාර්ය ගුණපාල මලලසේකරයි.

මලලසේකර ගැන මා මීට පෙර ලියන ලද ලිපියක ද සඳහන් කර ඇත්තෙමි. ඔහු මෙරට ශාස්ත්‍රය නමැති ගගන තලේ පෑයූ දීප්තිමත්ම තාරකාවක් යැයි කිවහොත් නිවැරදිය. ඔහු ලන්ඩනයේ දී පාලි භාෂාව හදාරන අවධියේ ගුරුවරියක් වශයෙන් ළගින්ම ඇසුරු කළේ එවකට පාලි පුස්තක මාලාවේ කතුවරිය වූ රීස් ඩේවිඩ් මැතිනියවයි. එකල දීප්තිමත්ම පාලි ඇඳුරා වූ මලලසේකර, අනගාරික ධර්මපාලගේ කරුණාවට මෙන්ම ඇතැම් විට කර්කශ විවේචනයටද ලක් වූවෙකි.
කටකාරයෙක් වූ මලලසේකරද, ධර්මපාලතුමාට නතු වූයේ නැත. වරක් සංස්කෘත බස විවේචනයට ලක් කළ ධර්මපාල තුමා එමගින් පාලි භාෂාවට හානියක් වන බව මහ හඬින් කීවේය. ඊට සැණිකින් පිළිතුරු දුන් මලලසේකර “එහෙනම් ඔබ වහන්සේ ධර්මපාල කියා නම් ගන්නේ ඇයිදැයි විමසීය.” ගෝලයාගේ තර්ක‍ෙයන් නිරුත්තර වූ ධර්මපාල හිමි ඉන්පසුව ධර්මපාල යන සංස්කෘත පදය වෙනුවට පාලි භාෂාවෙන් ධම්මපාල යැයි යොදා ගැනීමට පටන් ගත්තේය. තරුණ මලලසේකරගේ වදන් පිළිගත් ධර්මපාලතුමා පෙන්වූයේ උන්වහන්සේගේ අවංක භාවය හා කරුණාවන්ත භාවයයි. සිරීගේ ලිපියේ සඳහන් වී ඇති පරිදි මලලසේකර සරසවි ඇඳුරෙක් වූවා පමණක් නොව රටේ ම ප්‍රසිද්ධ ජාතික නායකයෙක් විය. (බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු ශ්‍රී.ල.නි.ප. නායකත්වයට පත් කිරීම සඳහා මැතිනිය පළමුවෙන්ම තෝරාගත්තේ මලලසේකරවයි.)  සරසවිය තුළ ඔහු හරියට උදේ නවයට සිය දේශනය ආරම්භ කරන අතර දහයට (ඇතැම් විට 9.45ට) එය අවසන්කර සරසවියෙන් පිටවී ගොස් ඔහුගේ ජාතික මෙහෙවර ආරම්භ කරන්නේය.

දිනක් මලලසේකර කඩිමුඩියේ දේශනය අවසන් කර එළියට එන විට කොරිඩෝවේ කරක් ගසන සිරි ගුණසිංහ සිසුවා හමු විය. රත්නපුරේ බෞද්ධ උත්සවයකට යන්ඩ තියෙනවා තමුසේත් එනවා කියමින් ඔහු සිරීවද රථයට නංවා ගෙන රත්නපුරය බලා පිටත් විය. එකල ගුරුවරුන් හා සිසුන් අතර එවැනි ළබැඳියාවක් තිබුණි. තම මිත්‍ර සිසුන් සිය රථයේ නංවාගෙන කොළඹ එක්කරගෙන යෑම සිරීගේද සිරිත විය. එම ගමන යන අතර සිරි, කී කතා දැන් වුව ද මට හොඳින් මතකය. ඔහුගේ ජීවිතයේ විවිධ පැතිකඩ ගැන අපට දැනගන්නට ලැබුණේ මේ ගමන් අතරදීය. අමරදේව, මඩවල රත්නායක, සේකර, එච්.එම්. ගුණසේකර හා ඔස්ටින් ජයවර්ධන වැනි මිතුරන් සති අන්තයේදී පේරාදෙණියට පැමිණ සිරි සමඟ ඔහුගේ රථයෙන් ආපසු කොළඹ යෑමට කැමති වූයේ එවැනි රසවත් කතා ඇසීමටය.

සරසවියේ භාෂාවන් හදාරන සිසුන්ගේ විශේෂිත ලකුණක් වන්නේ ඔවුන් වචන හා එහි භාවිතය පිළිබඳ අවධානය යොමු කිරීමයි. එහෙත් ඔවුන්ගෙන් බොහෝදෙනා වචන  විමසන්නේ ඒවායේ නිරුක්තිය විස්තර කරමින්ය. සිංහල උගන්වන මහාචාර්යවරුන් බොහෝ දෙනෙක් වචනවල ඉතිහාසය, නිරුක්තිය, පරිණාමය ආදිය ව්‍යක්ත ලෙස හඳුන්වා දුන්නද ඒවා යොදා ගොඩනැගෙන  සාහිත්‍යයේ පදනම ගැන උගැන්වූයේ නැත. අප පේරාදෙණියේ විසූ කාලයේ වාග් විද්‍යාව ගැන සිංහල අංශය තුළ විශාල උනන්දුවක් තිබුණි. හෙටිටිආරච්චි, රම්මණ්ඩල, පීටර් සිල්වා සහ විජේරත්න යන ආදර්ශමත් ගුරුවරු සිංහල බසේ ව්‍යාකරණය කෙරෙහි අවධානය යොමු කළහ. මේ කාලයේම එංගලන්තයේ දී නූතන වාග් විද්‍යාව හදාරා ආපසු පැමිණි සුගතපාල ද සිල්වා සිංහල අංශය තුළ විප්ලවයක් කළේ එම නිරුක්ති සෙවීම යල් පැනපු විග්‍රහ ක්‍රමයක් බව පෙන්වා දෙමිනි. ඔහු සිදත් සඟරාවේ එන න්‍යායන් විචාරයට ලක්කරමින් ලියන ලද දීර්ඝ ලිපියක් සරසවිය තුළ මහත් අන්දෝලනයක් ඇති කළේය. එමෙන්ම මානව විද්‍යාවට ළංවෙමින් වැදි භාෂාව පිළිබඳ පර්යේෂණවලට ඔහු මුල පිරීය. ඔහු රාමොන් ජා කොබ්සන් නැමති වාග් විද්‍යාඥයා විසින් හඳුන්වාදුන් බසේ ආකෘතියේ සහ සංකීර්ණ අභ්‍යන්තර රටා සැලැස්ම කෙරෙහි සිසුවන්ගේ අවධානය යොමු කළේය.

එසේ වුව ද සිරී හා තරමක් දුරට සරච්චන්ද්‍ර වෙනත් මඟක් ගත් අය වූහ. ඔවුන් විසින් සංස්කෘත පඬිවරුන්ගේ විචාර සංකල්ප කෙරෙහිත් ඒවා යොදා ගනිමින් නූතන සාහිත්‍ය කෘති විභාග කිරීමත්, ආරම්භ කළෝය. සංස්කෘත භාෂාව පිළිබඳ දැනුමෙන් මෙන්ම නූතන බටහිර සාහිත්‍ය ඇසුර අතින් සිරි සරච්චන්ද්‍රට ඉදිරියෙන් සිටියේය.  කාව්‍යය රස විඳීම පිළිබඳ සංස්කෘත බසින් ඉදිරිපත් කරන ලද න්‍යායන් යොදා ගනිමින් සිරි “මේඝදුතය”  සිය සිසුන්ට උගැන් වූ හැටි ගැන විමල් දිසානායක වටිනා රචනාවක් සපයා ඇත. ඇත්ත වශයෙන් “කල්පනා ලෝකය” තුළින් සරච්චන්ද්‍ර ඉදිරිපත් කරන සංස්කෘත ශ්ලෝක තේරීම හා ඒවායේ අරුත පැහැදිලි කිරීමේදී සිරි ඔහුට බෙහෙවින් උපකාරී වූවා යැයි සිතමි. එම රචනා කරන කාලයේ සිරි හා සරච්චන්ද්‍ර ළගින් ඇසුරු කළ බව මට මතක් වෙයි. ඔවුන් තරම් සකුබස් දැනුමක් නොතිබි මාර්ටින් වික්‍රමසිංහ ද ‘රසවාදය’ පිළිබඳ විවාදයට එක් වුණේය.

එළිසමය මත රුඳුණු “කොළඹ කවිය” සිරි විසින් විවේචනය කරන ලද්දේ ඔහු කාව්‍යය පිළිබඳ සංස්කෘත පඬිවරුන්ගේ වැකි අතැඹුලක් සේ දැන සිටිය බැවිනි. 

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00