2017 ජනවාරි 01 වන ඉරිදා

    ඇන්.ඇම්.ගේ කනස්සල්ල

     2017 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 10:50 59

    1970-77 කාලයේදී සැලසුම් හා ආර්ථික කටයුතු භාර අමාත්‍යංශයේ උසස් නිලධාරීවරයෙකු වූ ලීලානන්ද ද සිල්වා සිය ජීවිත කතාව ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. පසුගිය සතියේ  ලිපියෙන් මවිසින් සඳහන් කරන ලද පරිදි මැතිනිය සහ ඇන්.ඇම්. අතර ඇති වූ ගැටුම පිළිබඳ විස්තර එම ග්‍රන්ථයේ සටහන් කර තිබේ. අපේද  ගුරුවරයෙක් වූ එච්.ඒ.ද.ඇස්. ගුණසේකර හා ඇන්.ඇම්. අතර අමනාපය හුදෙක්ම ‍පෞද්ගලික මතභේදයන් මත ඇති වූ එකක් නොවීය. ගුණසේකර ඇන්.ඇම්. ව සැලකුවේ යල් පැනපු  ආර්ථික මතධාරියෙකු හැටියටය. ඒ වනවිට ඔහු මැතිනියට මනාප වූ දේශීය ආර්ථිකයක් ගොඩනැගීම පිළිබඳ සංකල්පයේ න්‍යායාචාර්යවරයෙක් බවට පත්වී සිටියේය. සත්‍යය නම් දෙදෙනාගේම මත කල් ඉකුත්වූ ආර්ථික දර්ශන බවයි. එවැනි යල් පැනපු අදහස් නූතන ආර්ථිකයකට බද්ධ කිරීමට ගිය මැතිනියට 1977 දී අන්ත පරාජයක් අත්විය. එපමණක් නොව ඇගේ එම ක්‍රියාවලිය තුළින් ජාතික නිෂ්පාදනය පහළ වැටීම, බාල දේශීය භාණ්ඩ නිෂ්පාදනය වීම සහ පාරිභෝගිකයන්ගේ විරෝධය උත්සන්න වීම නිසා ජේ.ආර්.ට පහසුවෙන්ම ඇගේ රජය සමතලා කිරීමට හැකිවිය. 1977 ඡන්දයෙන් පසු මැතිනියට විරුද්ධ පක්ෂයේ නායකකමවත් ලබා ගැනීමට නොහැකි විය. එම තනතුර ගියේ ශ්‍රී.ල.නි.ප.යට වඩා ආසන සංඛ්‍යාවක් දිනාගත් දෙමළ පක්ෂයටය. ගුණසේකරගේ ආර්ථික දර්ශනයේ ප්‍රථිපලය වූයේ හාල් පොල්ල දැමීම, සතියට එක දවසක්වත් බත් නොකා සිටීම, වස්ත්‍ර හිඟයක් ඇති වීම හා එකල දරුවන්ගේ මන්ද පෝෂණය වැඩිවීමයි.  පාංශුකූලය දීමට පවා රෙදි කච්චියක් මිලදී ගැනීමට රජයේ බලපත්‍රයක් අවශ්‍ය විය. 

    ජාත්‍යන්තරවාදීන් වූ සම සමාජ නායකයින්ට මැතිනියගේ දර්ශනය පිළිගැනීමට නොහැකි විය. දේශීයත්වය නාමයෙන් ශ්‍රී.ල.නි.ප.ය වටා සුළු ධනේෂ්වර පන්තියක් පෙළගැසීම සම සමාජිකයින් සතුටට පත් කරන්නක් නොවීය. එකල පුවත්පත්වල සඳහන් කරන ලද්දේ රජයේ අර්ථිකය ඇදගෙන යන්නේ ගුණදාස හා පියදාස වැනි රජයට ළැදි අලුත් ධනපතියන් විසින් බවයි. ධර්මදාස (නවලෝක මුදලාලි) එ.ජා.ප.ය අත නොහැර නැගී එන එ.ජා.ප. නායකයා වූ ප්‍රේමදාසට කිට්ටු විය. එකල ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයෙක් වූ මට මේ සමාජයීය වෙනස තුළින් එන ගැටුම්කාරී තත්ත්වය හොඳින්ම වටහාගත හැකි වූයේ මගේ ඇමැතිතුමා ආර්.ඇස්. පෙරේරා වූ නිසාය. සෑම කැබිනට් රැස්වීමකටම පසුව ඉහත කී මුදලාලි කල්ලිය අප අමාත්‍යංශයට පැමිණ ආර්.ඇස්. සමඟ එක්වී ඇන්.ඇම්.ව දැඩි ලෙස විවේචනය කළෝය. ආර්.ඇස්.ගේ සහයට ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක හා මෛත්‍රීපාල සේනානායකද සිටියහ. ඔවුන් එක්ව නිතර මැතිනියට කියා සිටියේ මුදල් අමාත්‍යංශය ඇන්.ඇම්.ගෙන් ගලවා ෆීලික්ස්ට ලබාදෙන ලෙසයි. ටිකෙන් ටික මැතිනියද එම අදහසට අවනත විය. 

    ඒ අතර සමසමාජ පක්ෂයට වමෙන් හා දකුණෙන් ප්‍රහාර එල්ලවීමට පටන් ගත්තේය. 1971 ජ.වි.පෙ. කැරැල්ලේ පන්ති පහෙන් එක් පන්තියක් වූයේ සම්ප්‍රදායික වමේ පවාදීම් පිළිබඳවය. ඇන්.ඇම්. හා කොල්වින් දැඩි ස්ථාවරයක සිටිමින් කැරලිකරුවන් වහාම මෙල්ල කළ යුතුයැයි බල කර සිටියෝය. එම අදහසම පෙරදැරි කරගෙන උග්‍ර ට්‍රොට්ස්කි වාදියෙකු වූ අනිල් මුණසිංහ “විප්ලවය රැක ගැනීම” සඳහා හංස හමුදාව නමින් අවිගත් කම්කරුවන්ගේ යුද හමුදාවක් නිර්මාණය කළ යුතු යැයි කියමින් කොහුමිටි කරේ තියාගත් වයසක කම්කරුවන්ගේ සේනාංකයක් පිහිටුවාගෙන ගාලු මුවදොර පිටියේ රංගනයක යෙදුණේය. අනිල්ගේ “විප්ලවකාරී කම්කරුවෝ” කැමරාවට මුහුණදීමෙන් පසු සතුටින් විසිර ගියහ. අවිගත් තරුණ විප්ලවකාරයින් සමඟ ගැටීමට තරම් ඔවුන් තුළ වුවමනාවක් නොතිබුණි. ඉන් ටික කලකට පසුව කුමාර් රූපසිංහ ලංකාවට පැමිණ මැතිනියගේ බලය යොදාගනිමින් ශ්‍රී.ල.නි.ප. තුළ වාමවාදි අති ධාවනකාරී කණ්ඩායමක් නිර්මාණය කිරීමට තැත් කිරීමද සමසමාජ නායකයින්ගේ අප්‍රසාදයට හේතුවක් විය.

    කොටි මදිවට හරක් කියන්නාක් මෙන් මේ අවදියේ එංගලන්තයේ සරසවියක ඉතිහාසය හදාරමින් සිටි අනුර බණ්ඩාරනායක ද පෙරළා ලංකාවට පැමිණියේය. ඔහු එක් අතකින් සිය මස්සිනාටත් අනිත් අතින් සමසමාජ පක්ෂයටත් දැඩි ප්‍රහාර එල්ල කළේය. සිය එකම පුතාට ආදරය දැක්වූ මැතිනිය අනුරගේ නූතන ආර්ථිකය පිළිබඳ අදහස් දෙස ඇදෙන්නට වූවාය. ශ්‍රී.ල.නි.ප.යට පක්ෂ වූ දේශිය මුදලාලි පැලැන්තියේ කථකයා බවට අනුර පත්විය. ශ්‍රී.ල.නි.ප යේ මේ අවුල් වියවුල් දෙස එජාප නායක ජේ.ආර්. මහත් උනන්දුවෙන් බලා සිටියා පමණක් නොව ඉතා කපටි ලෙස අනුරගේ නායකත්ව බලාපොරොත්තු වර්ධනය කිරීමට පොහොර සැපයුවේය. 

    කොතරම් යල් පැනපු දේශපාලන මතවාදවල සිරකරුවන්ව සිටියත් ඇන්.ඇම්., කොල්වින්,  ලෙස්ලි හා අනිල් වැනි අය දක්ෂ කළමනාකරුවෝ වූහ. මෙය විද්‍යමාන වූයේ වතු ජනසතු කිරීම යන මාතෘකාව පිළිබඳවය. වතු පාලන විෂය හිමිව තිබුණේ කොල්වින්ටය. ඔහු ඉතාම බුද්ධිමත් මෙන්ම ප්‍රායෝගික දැනුම ඇති තේ වතු ඉඩම් හිමියෙක් විය. ඇන්.ඇම්. ද ආර්ථිකය රැකගැනීමට අවශ්‍යය තීරණවලට මුල්තැන දුන්නේය. ලීලානන්ද ද සිල්වා සිය ග්‍රන්ථයේ සඳහන් කරන පරිදි ඔවුන් වතු රජයට ගැනීම සඳහා සැලසුම් කළේ වතු කළමනාකාර කොම්පැනි හා වතු කොම්පැනි වල කොටස් මිලදී රජයට අත්පත් කර ගැනීම මගිනි.  ඒ අනුව මෙරටට වැඩිපුරම ආදායමක් ලබාදුන් තේ හා රබර් කර්මාන්තය තවදුරටත් වාසිදායක ව්‍යාපාර හැටියට ඉදිරියට ගෙන යාමට ඔවුහු සැලසුම් කළහ. මැලේසියාවේ මහතීර් මොහොමඩ්ද ලංකාවේ උපාලි විජේවර්ධන ද නිර්දේශ කළේ එම උපාය මාර්ගයයි. කොල්වින් සහ ඔහුගේ සහයට සිටි බර්නාඩ් සොයිසාද වඩාත් කැමති වූයේ එසේ කොම්පැණි රජය වෙනුවෙන් මිලදී ගැනීමටයි. වතු පරිපාලනය දියකර හැරීමට ඔවුන් කැමති වුණේ නැත. 

    එහෙත් දේශීයත්වය ඉහවහා ගිය කොබ්බෑකඩුව වැනි අර්ථ ශාස්ත්‍රය ගැන මෙලෝ හසරක් නොදත් ඇමතිවරු එම මඟ නොගොස් ගෙඩි පිටින්ම වතු අල්ලාගෙන කැබිලි කරමින් ඥාතී හිතවතුන්ට ලොකු රැකියා සපයමින් ටික කලකින් මෙරට ඉහළම ආදායම් මාර්ගය පාඩු ලබන ක්ෂේත්‍රයක් බවට පත් කළෝය. ඔවුන්  රත්තරන් බිත්තර දැමූ කිකිළිය මරා දැම්මා පමණක් නොව තමන් විසින් පිහින ලද චිකන් කරිය නුපුහුණු ඥාතීන් සහ දේශපාලන හෙංචයියන් සමඟ තලුමරමින් ගිල දැම්මෝය. අර්ථ ශාස්ත්‍රයේ මූලධර්මයන් උල්ලංඝනය කරන මේ ක්‍රියාවලියන්  තුළින් පිටස්තරයෙක් බවට පත්කරන ලද ඇන්.ඇම්. දැඩි කනස්සල්ලෙන් පසුවිය. කල්යල් බලා මැතිනියට දේශපාලන පහරක් එල්ල කිරීමට ඔහු මාන බැලීය. ඉන්පසුව සිදුවූ දෙය මීළඟ ලිපියෙන් විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙමි.

     2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
     2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
     2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
     2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00