2016 ඔක්තෝබර් 24 වන සඳුදා

නිදහස් අධ්‍යාපනයේ සම කර්තෘ ඒ. රත්නායක

 2016 ඔක්තෝබර් 24 වන සඳුදා, පෙ.ව. 12:00 19

ලංකාව ලෝක පූජිත වන්නේ අප නිදහස් අධ්‍යාපන ක්‍රමය නිසයි. මා දන්නා තරමින් පහළ බාලාංශයේ සිට සරසවි උපාධිය පිරිනැමීම දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාදෙන එකම රට ලංකාවයි. පසුගියදා චීනයට ගිය මා එහි අධ්‍යාපන පහසුකම් ගැන සොයා බැලුවෙමි. කොමියුනිස්ට් චීනයේ වුවද නිදහස් අධ්‍යාපනය ලබාදෙන්නේ හත්වැනි පන්තිය දක්වා පමණය. ඉන් ඔබ්බට අධ්‍යාපන ලැබීමට නම් සිසුවා වෙනුවෙන් සැලකිය යුතු මුදලක් යටකළ යුතුය. සමාජවාදී  ඉතිහාසයක් ඇති රටවල්වල පවා නොමිලේ අධ්‍යාපනය ලබාගත නොහැකිය. 


දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ කාලයේ ලංකාව පොහොසත් රටක් විය. විශේෂයෙන්ම රබර් සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් ඇති වූයේ එය යුද ආයුධ නිෂ්පාදනයට අවශ්‍යය වූ භාණ්ඩයක් නිසාය. එකල අප ගෙවුම් ශේෂයේ අතිරික්තයක් සටහන් විය. රටේ වාසනාවකට එම අතිරික්තය මෙරට අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට යොදාගැනීමට එකල පැවැති රජය තීරණය කළ නිසා නිදහස් අධ්‍යාපනය මෙන්ම පේරාදෙණියේ නව විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා මුදල් වෙන් කරන ලදී.


නිදහස් අධ්‍යාපනයේ පුරෝගාමීන් තිදෙනෙකි. ඉන් පළමුවැන්නා ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාය. දෙවැනි ලෝක සංග්‍රාමය කාලයේදී සෙසු සමසමාජ නායකයන් සමඟ ඇන්.ඇම්ව හිරභාරයට ගන්නා ලදී. ට්‍රොට්ස්කිවාදීන් වූ සමසමාජවාදීන් ලෝක යුද්ධය අධිරාජ්‍යවාදීන් අතර සටනක් හැටියටත්, ලෝක කම්කරැ පක්ෂය දෙකඩ කරන අවාසනාවන්ත සංසිද්ධියක් ලෙසත් හදුන්වාදී එයට දැඩි ලෙස විරැද්ධ විය. එම ගැටුම තුළින් අධිරාජ්‍යවාදී යකඩ සපත්තුවට යටවී සිටි රටවල් තුළ යුද විරෝධය නිදහස සඳහා සටනක් බවට පත්කළ හැකි බව ඔවුන් තර්ක කළහ. එම මතවාදය නොරිස්සූ ඉංග්‍රීසි පාලකයින් සමසමාජ නායකයින්ව අත්අඩංගුවට ගෙන මහනුවර සිරගෙදර තුළ රඳවා ගත්හ. 


උසස්ම ගණයේ ශ්‍රාස්ත්‍රඥයන් වූ සමසමාජ නායකයින් තමන් වෙත බලෙන් පනවන ලද මේ  ‘නිවාඩුව’ ගත කළේ පොත් ලියමින්ය. කොල්වින් ආර්. ද සිල්වා “බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලංකාව”  යන මැයෙන් අගනා ඉතිහාස ග්‍රන්ථයක් සම්පාදනය කළේය.

ඇන්.ඇම්. සිරගෙදර සිටිමින් ‘නිදහස් අධ්‍යාපනය අවශ්‍ය ඇයි?’ යනුවෙන්  ග්‍රන්ථයක් ලීවේය. ඔහු තර්ක කළේ නොදියුණු රටක් වූ ලංකාවට සමාජ සාධාරණය වෙනුවෙන් ප්‍රගතිශීලී නිදහස් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය බවයි. එම තර්කය වාමාංශික පක්ෂ පමණක් නොව දක්ෂිණාංශික දේශපාලඥයන් බොහෝ දෙනෙක් විසින්ද පිළිගන්නා ලදී. මෙරට නිදහස් අධ්‍යාපනය සමසමාජ පක්ෂය රටට දුන් දායාදයක් ලෙස සැළකීමේ වරදක් නැත.


නිදහස් අධ්‍යාපන ක්‍රමයේ පියා හැටියට සැලකෙන්නේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරය. ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන අනුකමිටුවේ සභාපතිවරයා වශයෙන් ඇමැති මණ්ඩලයේ සාමාජිකත්වය දැරීය. එම පාලන ක්‍රමය යටතේ කාරක සභා හතක සභාපතිවරැ අනිවාර්යයෙන් ඇමැති මණ්ඩලයේ තනතුරැවලට පත්කරන ලදී. ඒ නිසා එම ඇමැතිවරැන්ට සැලකිය යුතු ස්වාධීනත්වයක් හිමි විය. කැබිනට් ක්‍රමය තුළ මෙන් අගමැතිවරයාට අනිවාර් යෙන්ම පක්ෂපාත වීමේ සිරිතක් එම ව්‍යවස්ථාව තුළ නොතිබුණි. කන්නන්ගර ඔහුට අහම්බෙන් ලැබුණ ස්වාධීනත්වය නොබියව යොදාගත්තේය. ඔහුගේම පක්ෂයේ ඩී.ඇස්. සේනානායක වැනි නායකයින් නිදහස් අධ්‍යාපනයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් ඩඩ්ලි හා ජේ.ආර්. ජයවර්ධන වැනි තරැණ නායකයින් කන්නන්ගරගේ සහයට සිටියෝය. අවසානයේදී තර්ක විතර්ක මැද එම පනත සම්මත විය. දේශපාලන ප්‍රවාදයන් අනුව මෙම නිර්භීත තීරණය නිසා කන්නන්ගරට විශාල දේශපාලන වන්දියක් ගෙවීමට සිදුවිය. ඔහුට තම පක්ෂය තුළින් ලැබිය යුතු සහාය අඩුවී අවසානයේදී මහජන ඡන්දයෙන්ද පරාජය විය. ඔහුට හුරැපුරැදු ගාලු දිස්ත්‍රික්කයෙන් ඉවත්ව මතුගමින් ඡන්දය ඉල්ලූ නමුත් ඔහුට පරාජය අත්විය. 


නිදහස් අධ්‍යාපන සටනේ තෙවැනි වීරයා කන්ද උඩරට ඒ. රත්නායකයි. මන්ත්‍රණ සභාව තුළ කන්නන්ගරට සෑම අතින්ම සහයෝගය දී තම කමිටුව තුළ නිදහස් අධ්‍යාපන සටනට පණ පෙව්වේ රත්නායකයි. ඔහු නොසිටින්නට කන්නන්ගර තනි වී අසරණ වනවා පමණක් නොව  නිදහස් අධ්‍යාපන පනතද පරාජය වීමට ඉඩ තිබුණි.


මහනුවර කහල්ල ග්‍රාමයේ උපන් රත්නායක අනගාරික ධර්මපාලතුමාගේ ඇසුරේ හැදී වැඩුණු උඩරුටියෙකි. ඔහුගේ පියා වූ  පී.බී. රත්නායක කන්ද උඩරට අමද්‍යප ව්‍යාපාරයේ නායකයෙක් විය. එසේ ජාතික උන්නතිය සඳහා කැපවුණු රත්නායක ධර්මපාලතුමාගේ මිතුරෙක් වූයෙන් ඔහුගේ පුතා වූ අබේරත්න රත්නායකට අධ්‍යාපනය ලබාදීම සඳහා ධර්මපාලතුමාගේ මව්තුමියට භාරදෙන ලදී. ඈ විසින් ඔහුව රාජකීය විද්‍යාලයට ඇතුළත් කරනු ලදුව පාසැල් සමයේ නවාතැන් ගෙන සිටියේ හේවාවිතාරණලාගේ ඇලෝ ඇවනිව්හි පිහිටි මහගෙදරයි. දක්ෂ සිසුවෙක් වූ ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් දිනාගත්තේය. කලක් මහාබෝධි විද්‍යාලයේ ප්‍රධානාචාර්යවරයා වූ රත්නායක පසුව උඩරට දුම්බර ආසනය ජයගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට තේරීපත් විය. නිදහස් අධ්‍යාපනය සඳහා රත්නායක එම සභාව තුළ කන්නන්ගර හා සමානවම සටනක යෙදුනේය. ලංකාව නිදහස දිනාගත් පසු ඔහු ස්වදේශ කටයුතු හා ආහාර පිළිබඳ ඇමැති වශයෙන් පත්කරන ලදී. පසු කලෙක ජනාධිපති වූ ඩී.බී. විජේතුංග, රත්නායක ඇමැතිතුමාගේ පුද්ගලික ලේකම් වශයෙන්ය මුලින්ම ජනාදරයට පාත්‍ර වූයේ. සේනානායකලා නොසිටින්නට, ඒ. රත්නායක ලංකාවේ අගමැතිකමට සුදුසුයැයි එකල රටේ දැඩි විශ්වාසයක් තිබුණි. 

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00