2016 ඔක්තෝබර් 24 වන සඳුදා

මහා විද්වත් තෙන්නකෝන් විමලානන්ද

 2016 ඔක්තෝබර් 24 වන සඳුදා, පෙ.ව. 12:00 41

සිංහල බෞද්ධ මැද පන්තියක් බිහි කිරීමට උරදුන් බුද්ධිමතුන් අතර මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දටද ගෞරවනීය තැනක් හිමිවෙයි. මා පේරාදෙණිය සරසවියේ විසූ කාලයේදීත් ඉන් පසුවත් එතුමාව ළඟින් ඇසුරැ කිරීමට අවස්ථාව ලැබුණි. ඒ අතින් ගත් කල මීට පෙර ලිපිවලින් මා විසින් විස්තර කරන ලද චරිතයන්ට වඩා කුලුපග සම්බන්ධයක් විමලානන්ද මහතා සමග මට ඇති වූ බව කිව හැකිය. 


අප පේරාදෙණියේ ශාස්ත්‍ර හදාරන යුගයේ විමලානන්ද එහි ඉතිහාස අංශයේ කථිකාචාර්යවරයෙක් විය. එම අංශයේ ප්‍රධානියා වූයේ පැරුණි භාරතීය ඉතිහාසය පිළිබඳව විශේෂඥයකු වූ හේමචන්ද්‍ර රායි මහාචාර්යතුමාය. ඔහු වංග ජාතිකයෙකු වූ අතර විමලානන්දද කුඩා කල සිට අනගාරික ධර්මපාලතුමාගේ ඇසුරේ කලිකතාවේ හැදී වැඩුණු බැවින් දෙදෙනාම වංග සංස්කෘතියට නෑකම් කීවෝය. ඔවුන් දෙදෙනා හමුවූ විට කතා කළේ වංග බසෙනි. ඒ අවධියේ දක්ෂ වංග ජාතික මහාචාර්යවරැන් කීප පොලක්ම අප සරසවියේ ගුරැවරැ වූහ. ඔවුන් අතුරින් ජ්‍යෙෂ්ඨයා වූයේ ආර්ථික විද්‍යා අංශයේ ප්‍රධානියා වූ දාස්ගුප්තය. මුල් වසරේ අපට අර්ථ ශාස්ත්‍රයේ  මූල ධර්මයන් හා සංකල්පයන් හදුන්වා දුන්නේ ඔහුයි. ඉතාම මිත්‍රශීලී ගුරැවරයෙක් වූ දාස්ගුප්ත මහත් ඉවසීමකින් අපගේ නිබන්ධන කියෙව්වේය. මෙරට ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥයින් සියලුදෙනාම පාහේ දාස් ගුප්තගේ ශිෂ්‍යයින්ය. අර්ථ ශාස්ත්‍ර අංශයේම තවත් ජ්‍යෙෂ්ඨයෙකු වූයේ ආචාර්ය එන්.බී. සර්කාර්ය. සංඛ්‍යා ලේඛන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වූ ඔහු ආචාර්ය ස්ටැන්ලි තම්බයියා හා එක්ව පාතදුම්බර ඉඩම් භුක්තිය පිළිබඳ වටිනා  පර් යේෂණ ග්‍රන්ථයක් සම්පාදනය කළේය. මේ ග්‍රන්ථය මුල්කර ගෙන ලෝපතල කීර්තියකින් යුතු සමාජ විද්‍යාඥයින් කීප දෙනෙක්ම සිංහල ගැමි සමාජයේ  හැඩතල පිළිබඳ පර් යේෂණ කිරීමට පෙළඹුණහ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්ය එඩ්මන්ඩ් ලීච්ද නුවරකලාවියේ “පුල් එළිය” ගම පිළිබඳ සුප්‍රසිද්ධ ග්‍රන්ථයක් රචනා කළේය. ඒ අතර මහාචාර්ය රායිගේ අන්තේවාසිකයෙකු වැනි වූ තවත් වංග ජාතිකයෙක් විය. ඔහු  මහාචාර්ය සිංහාය. සිංහාද ඉතිහාස අංශයේ නූතන භාරතීය ඉතිහාසය පිළිබඳව කථිකාචාර්යවරයෙක් විය. මේ වංග ගුරැවරැන් පිළිබඳව කීව හැක්කේ ඔවුන් අති දක්ෂ ලාංකේය ඉතිහාසඥයන් බිහිකළ බවයි. ලෙස්ලි ගුණවර්ධන, සිරිමා කිරිබමුණ, අමරදාස ලියනගමගේ හා සිරිමල් රණවැල්ල වැනි අය  ඔවුන් අතුරින් ප්‍රධාන තැනක් ගනිති. 


අරැණාචලම් ශාලාවේ භූමියේ සිටගත් විට පේරාදෙණිය - හිඳගල මාර්ගය පෙනේ. සවස් යාමේ වංග ආචාර්යවරැන් සිය බිරින්දෑවරැන් සමඟ ව්‍යායාම ගැනීම සඳහා එම පාරදිගේ ඇවිද ගෙන යන හැටි අපි නැරඹුවෙමු. ඔවුන්ගේ විලාශය සිහිගැන්වූයේ සත්‍යජිරායිගේ චිත්‍රපටවලින් අප හදුනාගත් හැසිරීම් රටාවකි.  


විමලානන්ද උපන්නේ මහනුවරට නුදුරැ නාපාන නමැති ගමේය. එම ගමට දේශනාවක් කිරීම සඳහා පැමිණි අනගාරික ධර්මපාලතුමා ඒ කුඩා දරැවා ඔහුගේ දෙමාපියන්ගෙන් ලබාගෙන අධ්‍යාපනය සඳහා ඉන්දියාවට රුගෙන ගියේය. දරැවා හැදුණේ වැඩුණේ ධර්මපාල සෙවණේය. විමලානන්ද මුරණ්ඩු බව ධර්මපාලතුමා කීපවිටක්ම සිය දිනපොතේ සටහන් කර තිබේ. පැවිදි වීම ප්‍රතික්ෂේප කළ දරැවා කලීකතා විශ්වවිද්‍යාලයට බැදී ඉතිහාසය හැදෑරීය. තමා මිය යෑමෙන් පසුව මහාබෝධි සමාගමේ පරිපාලනය දේවප්‍රිය වලිසිංහ හා විමලානන්දට පැවරීමට ධර්මපාලතුමා සැලසුම් කර තිබුණත් පසුව ඔහු එම බලතල  සියල්ලම පාහේ දේවප්‍රියට පමණක් පැවරීය. විමලානන්ද ලංකාවට පැමිණ ගුරැවරයෙක් ලෙස කටයුතු කර පසුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් විය. උතුරැ ඉන්දියාවේ කරන ලද පුරාවිද්‍යා ගවේෂණ ගැන කළ ඔහුගේ දේශන කාගේත් සිත් ගත්තේය. ඔහු කනිංහැම්, සර් ජෝන් මාර්ෂල් හා මෝටිමර් වීලර් වැනි පුරාවිද්‍යාඥයින් ගැන කතා කළේය. එවැනි පුරාවිද්‍යාත්මක කැනීම් ගැන මහාබෝධි සමාගම සිය ප්‍රකාශන මගින් බෞද්ධ ලෝකයට දැන්වූයේය. ටික කලකට පසු විමලානන්ද වැඩිදුර ඉගෙනීම සඳහා එංගලන්තයට ගොස් ලන්ඩන් කෞතුකාගාරයට අනුබද්ධ පුස්තකාලයේ රු‍ෙඳමින් ඉංග්‍රීසි යුගය පිළිබඳ පැරුණි ලිපි ලේඛන සටහන් කරගත්තේය. දිග ප්‍රස්තාවනාවක් ඇතුළත් එම ලිපි පල කරන ලදින් සිංහල බෞද්ධ සමාජයට තම කටුක ඉතිහාසය ගැන අවබෝධයක් ලැබිණි. 1815 හා 1848 උඩරට කැරළි ගැන ඔහු පර්යේෂණ කර තිබේ.


විමලානන්ද සමඟ සතුටුසාමීචියේ යෙදීම අතිශයින් ප්‍රියජනක විය. ඔහු නූතන සිංහල හා වංග සමාජය ගැන සැඟවුණ රහස් හෙළිදරව් කිරීමට මැලි වුණේ නැත. අනගාරික ධර්මපාලතුමා ගැන බොහෝ කරැණු ඔහු මට හෙළිකළේය. එක් කතාවක් වූයේ ඔහු කලිකතාවේ වෙසෙන කාලයේ අධිරාජ්‍යවාදී පොලීසිය විසින් ලුහුබඳින ලද වංග කොමියුනිස්ට් පක්ෂයේ නායකයින්හට රහසිගතව හමුවීමට මහාබෝධි සමාගමේ බුදුමැදුර විවෘත කර දුන් හැටියි. ඒ කිසිවක් ධර්මපාලතුමාට හෙළිදරව් නොකළ බව ඔහු සිනාසෙමින් කීය. පේරාදෙණියේ විසූ කාලයේ විමලානන්දගේ මිතුරන් වූයේ උප කුලපති නිකලස් ආටිගල, මහාචාර්ය රායි හා ආර්ථික විද්‍යා අංශයේ ඇෆ්.ආර්. ජයසූරිය යන මහත්වරැන්ය. මෙවැනි ප්‍රබල ආරක්ෂක වළල්ලක් නිසා විමලානන්ද සෙසු කථිකාචාර්යවරැන් අතර ඇයි හොදයිකම් පැවැත්වීමට මහන්සි ගත්තේ නැත. ධර්පාලතුමා කියා ඇති පිරිදිම ඔහු මුරණ්ඩු විය. නිකලස් ආටිගල නිතරම පාහේ විමලානන්ද සිය නිල නිවසට ගෙන්වාගෙන සරසවි ගුරැවරැන් ගැන ඕපාදූප විමසීය. ධර්මපාලතුමාට මෙන්ම ආටිගලටත්, විමලානන්ද අත්‍යාවශ්‍ය පසුබිම් පුවත් සපයන්නෙක් විය. 

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00