2017 ජනවාරි 07 වන සෙනසුරාදා

ඡන්දෙ කල් දැම්මා ඇති!

 2017 ජනවාරි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

හරියටම මීට දෙවසරකට පෙර 2015 වසරේ ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඒ වෙනුවෙන් සියලු පාර්ශ්වවලින් පැසසුම් ලැබූ බව අපට මතකය. පූර්ණ විධායක බලතල සහිතව ජනාධිපති පදවියක්ද තුනෙන් දෙකක පාර්ලිමේන්තුවක්ද තිබූ අවස්ථාවක නිදහස් සහ සාධාරණ ඡන්දයක් පැවැත්වීමට ඔහු සමත් වූයේ බොහෝ දෙනකු ඒ පිළිබඳව සැක පහළ කරමින් සිටියදී බවත් නොරහසකි. එදා මැතිවරණ කොමසාරිස් වූ මහින්ද දේශප්‍රිය අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාය. අද ඔහුට ජනාධිපතිවරණයක් පැවැත්වීම කෙසේ වෙතත් ඡන්ද සිතියමේ පුංචිම සළකුණ වශයෙන් සැළකෙන පළාත් පාලන මැතිවරණය පවත්වා ගැනීමට පවා මහ සටනක් දීමට සිදුව තිබීම දෛවයේ සරදමක්යැයි අපි සිතමු.

දේශප්‍රිය මහතා දිගින් දිගටම පැවැසුවේ කියන ඕනෑම දිනයක තමන් ඡන්දය පැවැත්වීමට සූදානම් බවය. සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්යභාරය නිමවූ වහාම පුංචි ඡන්දය පැවැත්විය යුතු බව ඔහු අවධාරණයෙන් පවසයි. ඔහු එසේ කියන විට රජයේ මැති ඇමැතින් මෙන්ම විෂය භාර ඇමැතිවරයාද පවසන්නේ අප්‍රේල් මාසයට කළින් ඡන්දය නොපවත්වන බවය. මේ තත්ත්වය රජයට එරෙහිව අවි අමෝරාගෙන සිටින ඒකාබද්ධ විපක්ෂයට උණ්ඩ සැපයීමකි. ආණ්ඩුව ලබාදුන් ඡන්දය නොපැවැත්වීමේ උණ්ඩ යොදා ඔවුහු දැන් රජයට පහර දෙති. කට වහරින් කිව්වොත් ආණ්ඩුව මේ කරන්නේ ඉල්ලං කෑමකි.

සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්තාව නිමවන්නේ මේ අල්ලපනල්ලේය. නමුත් ඇමැතිවරයාට වාර්තාව පිළිගැන්වීම අවසන් වූයේ මාධ්‍ය සංදර්ශනයකිනි. එහි හොඳම රඟපෑම කළේ කවුදැයි යන්න විනිශ්චය කිරීම රටේ ජනතාවට භාර කිරීම සුදුසුයැයි අපි සිතමු.

එම වාර්තාව පිළිගැනීම ඇමැතිවරයා ප්‍රතික්ෂේප කළේ කමිටු සාමාජිකයන් පස්දෙනාම ඊට අත්සන් කර නැතැයි ප්‍රකාශ කරමිනි. නමුත් මේ වනවිට හතර දෙනකුම වාර්තාවට අත්සන් තබා ඇත. ඉතිරි සාමාජිකයාද අත්සන් කළ පසුව ඇමැතිවරයාට එම වාර්තාව නොපිළිගැනීමට හේතුවක් නැත. අවශ්‍ය නම් වර්තාව භාර නොගැනීමට හේතුවක් හදාගැනීම ඇමැතිවරයාට අපහසු නැත. නමුත් දෛවය එතරම්ම අකාරුණික වනු ඇතැයි රටේ ජනතාව නොසිතන බව අපගේ හැඟීමය.

අප එසේ කියන්නේ පුංචි ඡන්දය දවසින් දවස මාසෙන් මාසය, වසරින් වසර කල්යාම හෝ කල් දැමීම දේශපාලනඥයන්ට නම් ගේම් එකක් විය හැකි වුවද ජනතාවට එසේ නොවීම නිසාය. නගරබදව කෙසේ වෙතත් ඈත ගංකරේ අඩු පහසුකම් සහිතව ජීවත්වන ජනතාව එදිනෙදා මුහුණදෙන බොහොමයක් ගැටලු විසඳා දීමේ වගකීම තිබුණේ තමන් නියෝජනය කිරීමට ප්‍රාදේශීය සභාවට, නගර සභාවට, මහ නගර සභාවට තෝරා පත්කර යවන මන්ත්‍රීන් අතේය. ඒ ඒ පළාත්වල ප්‍රාදේශීය සංවර්ධන වැඩ නියාමනය කෙරුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අතිනි. ඔවුන් කුමන පක්ෂයකට අයත් වන්නේදැයි ගැටලුවක් ජනතාවට නැත. තමන්ගේ වැඩේ කරවා ගැනීමේදී ගමේ ඡන්ද දායකයා වන තමාට සමීප නියෝජිතයාගේ සහාය පැතීම ඔවුන්ගේ පුරුද්දය. දැන් එය සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් තිබේ. එය ප්‍රාදේශීය මට්ටමේ ජනතාවගේ ගැටලු වැඩි කරන්නකි.

ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා ක්‍රියාත්මකව පැවැති අවදියේ සියල්ල යහපත් අයුරින් සිදුවීයැයි අපි නොකියමු. මහජනතාවද එසේ නොකියන බවත් අපට විශ්වාසය. ඉතාම යහපත්ව මහජන සේවය ඉටුකළ මන්ත්‍රීන් සිටියත් ප්‍රාදේශීය සංවර්ධනයට වෙන්කරන ලද මුදල් 80 – 20 ක්‍රමයට (80෴ක් සාක්කුවට - 20෴ක් වැඩට) ගසා කෑ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කතා අපමණය. ගොවීන්ට බෙදා දීමට ලබාදී තිබූ රුපියල් 350 පොහොර මිටි තවමත් මේ සමහර මන්ත්‍රී සගයන්ගේ නිවෙස්වල තිබෙන බවත් කියති. එසේම ඕනෑම පාහර වැඩක් කළ අමනයන්, කුඩුකාරයන් පමණක් නොව මිනීමරුවන් වැනි අපරාධකාරයන් පවා බේරාගන්නට ඇසපිය හෙළන මොහොතින් ඉදිරියට එන මන්ත්‍රීවරුද සිටියහ. ලොක්කන්ගේ බලතල තමන්ට පවරාගෙන අහිංසක ගැමියන් පීඩනයට පත්කළ නරුම නියෝජිතයෝද වූහ. 

අප මේ කරුණු ටිකද සඳහන් කරන්නේ පුංචි ඡන්දය ඉල්ලා පොල් ගසන, පෙළපාලි යන, උද්ඝෝෂණය කරන, පක්ෂයෙන් එවූ ලියුම් රූපවාහිනී කැමරා ඉදිරියේ ඉරා දමන පිරිස් අතර ඉහත සඳහන් කළ විවිධ වර්ගවලට අයත් මන්ත්‍රීවරුන්ද සිටින වග මතක් කර දීමය. ඔවුන් පුංචි ඡන්දය ඉල්ලා කෑගසන්නේ මහජනතාවට සේවය කිරීමට නොව පෙර පරිදිම විවිධ නායකයන්ගේ බලතල පවරාගෙන යළිත් ප්‍රාදේශීය රජවරුන් බවට පත්වී අහිමිව ගිය බල පරාක්‍රමය යළි පණගන්වා ගැනීමටය. නමුත් එසේ වූ පමණින් පුංචි ඡන්දය අවශ්‍ය නැතැයි පවසන කවුරුත් නොවෙති. 
එවැනි නුසුදුස්සන් පත්වුවද පුංචි ඡන්දය පැවැත්විය යුතු බව අප පවසන්නේ එය රටේ පරිපාලනයේ වැදගත්ම කාර්යභාරයක් ඉටුකරන ආයතන ව්‍යුහයක් බැවිනි. තමන්ට සුදුසු මන්ත්‍රීවරයා තෝරා ගැනීමේ අයිතිය ඇත්තේ ඒ ඒ ප්‍රදේශවල ජනතාව සතුවය. එහෙත් නිසි කලට ඡන්දය පැවැත්වීම සමස්ත රටේම ජනතාවගේ ඡන්ද අයිතිය රැකදීමකි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමකි. ආණ්ඩුවේ ක්‍රියාපෙළ සම්බන්ධව මහජනතාවගේ අදහස් මැන බැලීමකි. ඇතැම් විට ආණ්ඩුවට තම ඉදිරි ගමන් මග පිළිබඳව පැහැදිලි අදහසක් ලබාගැනීමටද ඡන්දයේ ප්‍රතිඵලය ඉවහල් කරගත හැකිය.
පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි රට තුළින් එල්ලවන බලපෑම් කොතරම් දුරකට ගණන් නොගෙන සිටීමට බලධාරීන්ට හැකිදැයි අපට කිව නොහැක. අවශ්‍ය නම් රජයට ඡන්දය නොපෙනෙන ඈතකටම තල්ලු කර දැමිය හැක. එහෙත් කවදා හෝ ඡන්දය පැවැත්වීමේ යථාර්ථයට මුහුණදීමට සිදුවන බව සිහියේ තබාගෙන කරන දෙයක් කරන එක බලධාරීන්ගේ ඇඟට ගුණය. බෝලය එකිනෙකාට පාත් කරමින් නොසිට පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්විය යුතු වග පැවැසිය යුතුය.