2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

අලුත් අවුරුදු සිතිවිලි

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 65

අලුත් අවුරුදු සතුට ගත සිත දෙකම වෙලාගනිද්දී ඒ සමඟ බැඳෙන අනතුරු සහ රෝගාබාධ පිළිබඳව බොහෝ දෙනාට කල්පනා වෙන්නේ නැත. ප්‍රවේශම් විය යුතු බවට වන හැඟීම නිරතුරුවම තිබීම අවශ්‍ය වුවද අවුරුදු දිනවල වඩාත් ඒ පිළිබඳවද අවධානය යොමු විය යුතු බව මේ දිනවල වට පිටාවේ සිදුවන අනතුරු සහ පැතිර යන රෝගාබාධ අපට මතක් කර දෙයි. රෝගාබාධ කියූ විට එය වෛරස් උණට සහ ඩෙංගු උණට සීමා වන්නේ නැත. ආහාර පාන ඇසුරින් දීර්ඝ කාලීනව ඇති විය හැකි රෝගාබාධ වලට අවුරුදු සමය තෝතැන්නකි. 

පසුගිය දින කීපය තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් 20 දෙනකුට අධික පිරිසක් මියගොස් ඇතැයි සැලවීම මේ සටහන තැබීමට අපට පෙළඹැවීමක් ඇති කළේය. මියගිය පිරිස අතරේ කුඩා දරුවෝද වූහ. ඊට අමතරව තවත් විශාල පිරිසක් තුවාල ලබා තවමත් රෝහල් ගතව සිටිති. මේ කිසිවකුටත් අවුරුදු නැත. ඒ අයගේ සමීප ඥාති හිතමිතුරන්ටද අවුරුදු ප්‍රීතිය තිබෙන්නට විදියක් නැත. අවුරුද්දට සැරැසෙමින් එහි සතුට භුක්ති විඳින්නට පෙරුම් පුරාගෙන සිටි මේ සියලු දෙනාට ඒ වෙනුවට දුක, වේදනාව තුරුල් කරගන්නට එක් නිමේෂයක වැරැද්දක් ප්‍රමාණවත් විය. නමුත් අපට හැඟී යන්නේ මේ බොහොමයක් රථ වාහන අනතුරු වළක්වාගත හැකි මට්ටමේ ඒවා බවය. එයට ආසන්නම උදාහරණය පසුගිය 10 වැනිදා තුන්දෙනකුට මරු කැඳවමින් සිදු වූ රිය අනතුරයි. 

මෙකී අනතුර සිදුව තිබුණේ කොළඹ සිට දඹුල්ල දක්වා යමින් තිබූ ත්‍රීරෝද රථයක් වැලි ටිපර් රථයක් සමඟ මුහුණට මුහුණලා ගැටීමෙනි. එකම පවුලේ සාමාජිකයන් පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රියේ සිටි කුඩා දැරියක සහ තවත් දෙදෙනකු අනතුරින් බරපතළ තුවාල ලැබූ තවත් තරුණ කාන්තාවක් රෝහල් ගතව සිටී. අප මුලින්ම සඳහන් කළ අලුත් අවුරුදු කතාව සම්බන්ධ වන්නේ මෙතැනදීය. මේ පවුලේ සියලු දෙනා අලුත් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා දඹුල්ලේ තම නිවෙසට යාමේදී මේ අනතුරට ගොදුරු වූහ. ගමන සඳහා ඔවුන් යොදාගෙන තිබුණේ රාත්‍රි කාලයයි. අනතුර සිදුවන විට වේලාව අලුයම 1.30ට පමණ වී තිබිණි. එය රියැදුරකුට හොඳටම නිදිමත දැනෙන වේලාවය.

වෙහෙසකාරී ගමනකදී රියැදුරකුට විඩාව සහ නිදිමත දැනීම සාමාන්‍ය සංසිද්ධියකි. ගමන රාත්‍රීකාලයේ යෙදෙන විට එහි අවදානම දෙගුණ තෙගුණ වෙයි. අනෙක් අතට රාත්‍රී කාලයේ මහා මාර්ගවල ගමන් ගන්නා ටිපර්, බස්, ලොරි සහ වෑන් රථ ඉතාම වේගයෙන් ඇතැම් විට බොහෝ අපරික්ෂාකාරීව ධාවනය වන බව නොරහසකි. එවැනි විටක ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටුණු විට කුමක් වී දැයි අහන්නට දෙයක් නැත. පවුලේ සියලු දෙනාම කැටුව මහ රෑ අවදානම් ගමනක යෙදෙන්නට පෙර ඕනෑම ත්‍රීරෝද රථ රියැදුරකු බොහෝ දුරට සිතාබැලිය යුතු බව මේ අනතුර දෙස් දෙයි. 
එය එක් උදාහාරණයක් පමණි. ඊට කළින් දිනයේ නිට්ටඹුවේ දෙදෙනකුට මරැ කැඳවූ ත්‍රිරෝද - ලොරි අනතුරද සිදුවී තිබුණේ අලුයම 2.45ට පමණය. ඊට අමතරව පසුගිය දිනවල මෙවැනි ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් අනතුරු අලුත් අවුරැද්දට ගම් බිම් බලා යාමේදී සිදුවූ ඒවා වීම ඉතාම කනගාටුදායක සිද්ධියකි. තවත් එක් ත්‍රීරෝද රියකට සම්බන්ධ අනතුරක් වාර්තා වී තිබුණේ පවුලේ අය කැටුව අවුරුද්දට බඩු මිලදී ගැනීමට යන අවස්ථාවකදීය. එහිදී පිරිස වැඩි වීම නිසා රියැදුරු අසුනේම කෙළවරක යන්තම් වාඩි වී ගිය පවුලේ ප්‍රමුඛම පුද්ගලයා වංගුවක් ගනිද්දී විසි වී ගොස් හිස තුවාල වී මරුමුවට පත්විය. මේ අනතුරද නොසැලකිලිමත්කම හේතුවෙන් වූ අනතුරක් බව බැලූ බැල්මටම පෙනේ. එම දරු පවුලටද සිදුවූයේ අවුරුදු ප්‍රීතිය වෙනුවට මළගමක දුක විඳින්නටය. අවදානම ගැන යන්තමින් හෝ දැනුවත්භාවයක් තිබුණේ නම් එම අනතුර වළක්වාගත හැකිව තිබිණි.

අලුත් අවුරුදු සමයේ අනතුරු පිළිබඳව අකැමැත්තෙන් වුවද මෙසේ සඳහන් කරන්නේ මෙය කාගේත් අවධානයට ලක්විය යුතු වැදගත් කාරණාවක් බැවිනි. ශ්‍රී ලංකාව රිය අනතුරු මරණ සිදුවීම් අතින් ඉහළ ස්ථානයක සිටින රටකි. මේ තත්ත්වය එළඹෙන අලුත් අවුරුද්දේ හැකි තරම් අඩුකර ගැනීමට කාගේත් ප්‍රමුඛත්වය හිමි විය යුතුය. අනතුරක් සිදුවන්නට ඉඩහැර ඒ ගැන කතා කරනවාට වඩා එය වළක්වා ගැනීමට එක් පියවරක් හෝ ගැනීම වටින්නේය. විෙශ්ෂයෙන් ත්‍රීරෝද රථ පවුලේ ගමන් සඳහා යොදවා ගැනීමේදී රාත්‍රි කාලය මග හැරීම හැම අතින්ම හොඳ බව අපි සිතමු.

මේ සමඟම අලුත් අවුරුදු සමයේ පරෙස්සම් විය යුතු තවත් අනතුරක් වන්නේ ආහාර හේතුවෙන් ඇතිවිය හැකි රෝගාබාධයි. අවුරුදු කෑමවල තෙල්, සීනි, ලුණු, පිටි, ඇඹුල් සහ මිරිස්, ගම්මිරිස්, විනාකිරි වැනි ද්‍රව්‍ය විශාල වශයෙන් අඩංගුය. සීමාවකින් තොරව දින කීපයක් තුළ මේ ආහාර ගැනීම ලෙඩ රෝග වලට අත වනන බව කිව යුතු නැත. අපේ රටේ ආහාර ගැනීමේ රටාවන් දැන් බොහෝ සෙයින් වෙනස්ව තිබේ. අතීතයේ මෙන් නොව කෘත්‍රීම රසකාරක අඩංගු පෙර සැකසූ ආහාර පරිභෝජනය ඉතාම ඉහළ මට්ටමකට ගොස් තිබේ. මේ ආහාර පුරුදුවල අයහපත් ප්‍රතිඵල පිළිබඳව කොතරම් දැනුම්වත් කළද ඒවා බොහෝ දෙනා පිළිපදින්නේ නැත. මේ අලුත් අවුරුදු සමයේ අපගේ ආහාර රටාව සොබාදහමට වඩාත් ආසන්න ආකාරයට සකස් කර ගත හැකි නම් ඒ යහපත් පුරුද්ද වසර පුරාම අනුගමනය කළ හැකිනම් නිරෝගීමත් ජීවිතයකට එය ආශිර්වාදයක් වන බව නිසැකය.

එවන් නිරෝගීමත්, අනතුරු රහිත, සශ්‍රීක අලුත් අවුරුද්දකට ඔබ සියලු දෙනාටම දේශය කර්තෘ මණ්ඩලයේ සුභාශිංශන පිරි නැමෙයි.

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00